ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
Jogging කරනා සක්මන් නොකරනා, Exercise කරනා ව්‍යායාම නොකරනා අපේ අප්පුහාමිලා……රන්මැණිකෙලා….

hate medicineලෝකයක් ලෙස අද අප පසුකරමින් සිටින්නේ ඖෂධ භාවිතයෙන් තොරව නිරෝගි ජීවිතයක් අත්පත් කරගන්නේ කෙසේද යන කරුණ නව මානයකින් විමසා බලමින් සිටිනා වකවානුවකය. තවදුරටත් කෘතිම ඖෂධ වලට අපව නිරෝගිව තබා ගැනීමට නොහැකි බව තහවුරු වි අවසානය. නිරෝගි ජිවිත ඇතිකර ගැනීමට හෝ ජිවිත කාලය දික් කර ගැනීමට කෘතිම ඖෂධ මත යැපීම උපකාරයක් වනවාට වඩා බාධාවක් වන බව බොහෝ දෙනා දැන් අත්දැකිමෙන් පිළිගන්නා සත්‍යයක් බවට පත්ව ඇත. පසුගිය ශතවර්ෂයේ අවසන් ‍කොටස වන විටදී මෙම සත්‍යය බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින්ද වෛද්‍ය පර්යේෂණ ඔස්සේ තහවුරු කර ගෙන තිබුනේය. මෙයට පිළියමක් ලෙස බටහිර වෛද්‍ය සංකල්ප වලට අනුකූල වන්නාවු එසේම නිරෝගිබව රැකගැනීමට උපකාරයක් වන්නාවු නව මානව චර්යාවන් සහ හුරුපුරුදු ඉදිරිපත් කිරීම ඔවුන් විසින් සිදුකරන්නට යෙදුනි. විටින් විට හඳුන්වා දුන් මෙම ක්‍රියාකාරකම් අනුගමනය කිරීම තුලින් සහ ඒවා අනූව ජිවිත හැඩගස්වා ගැනීම තුලින් ඖෂධ භාවිතය හැකිතරම් අවම කර ගනිමින් ශරීර සෞඛ්‍යය නිරෝගිව පවත්වා ගෙන යාමට හැකි බව පර්යේෂණ වලින් තහවුරු කර ගන්නට හැකි ව ඇත. බටහිර ලෝකයට මෙම නව චර්යාවන් සහ හුරුපුරුදු හඳුන්වා දීමත් සමගම බටහිරෙන් එන සියල්ල ඉතා ඉහලින් පිළිගැනීමට හුරුවු මානාසිකත්වයකින් සිටිනා පෙරදිග බොහෝ සමාජ සේම අප සමාජයද මෙම චර්යාවන් සහ ක්‍රියාකාරකම් අනුගමනය කිරීමට කටයුතු කරන්නට විය. බටහිර වෛද්‍යක්‍රමයෙන් ලද ඉතා නවීන අදහස් සහ සංකල්ප  ඉහලින් අගයමින් අප ඒවා පුරුදු පුහුණු කරනුයේ ඒවා දේශිය ආයුර්වේද වෛද්‍යක්‍රමය තුල ගැබ්ව ඇති බව අමතක කරමිනි. බටහිර වෛද්‍යක්‍රමය විසින් ශිෂ්ඨ සමාජයක වෙසෙනේනන් නිරෝගිබව පවත්වා ගෙන යැමට අනුගමනය කල යුතු චර්යාවන් සහ හුරුපුරුදු මේවා යැයි හඳුන්වා දීමට බොහෝ කලකට පෙර අපගේ පැරැන්නන් විසින් මෙම හුරුපුරදු දැන සිටි බව සහ අනුගමනය කල බවත් කීමට සාක්ෂි ඕනෑ තරම්ය. මෙතෙක් බටහිර වෛද්‍යක්‍රමයයෙන් හදුන්වා දී නැති වඩාත් ශිෂ්ඨ චර්යාවන් සහ හුරුපුරුදු ආයුර්වේදයෙන් ඉදිරිපත් කර ඇත. පහත පලවන්නේ සුශ්‍රැත සංහිතාවේ චිකිත්සිතස්ථාන අනාගතාබාධ ප්‍රතිෂේධනීය චිකිත්සීත අධ්‍යායය නම් පරිච්ඡේදයේ සඳහන්ව ඇති කරුණු වල සම්පින්ඩනයකි.

පහත දක්වා ඇති චර්යාවන් සහ හුරුපුරුදු අනුගමනය කිරීමෙන් අනාගතයේ රෝගාබාධ ඇතිවීමෙන් වැලකී නිරෝගිව වාසය කල හැකි වන බව සුශ්‍රැත ආචාර්යවරයා මෙහිදි හොදින්ම පැහැදිලි කර දක්වා ඇත. අප විසින්ම කලකදි අප ජාතියේ අමනෝඥබව නිසා භාවිතා නොකර අතහැර දමා සිටි අපේම චර්යාවන් සහ හුරුපුරුදු දැන් දැන් බටහිරෙන් අප ලද විශිෂ්ඨ දායාදයන් යැයි සිතමින් උජාරුවෙන් අනුගමනය කරන්නේ අපගේ සිත් තුල තවමත් පැල පදියම් වී ඇති කළු සුද්දන් විමේ නොනිමි ආශාව නිසාදැයි විමසා බැලිය යුතුය. අප විසින් වෙනස් කර ගත යුත්තේ මෙම බෙලහීන ආකල්පය නොවන්නේද? අප සතු විශිෂ්ඨ වෛද්‍යක්‍රමයේ නිසි ඵල නෙලා ගත හැක්කේ මෙම වෙනස ඇති කර ගතහොත් පමණි. මෙම ලිපියෙන්ද අප උත්සහ කරන්නේ අප වෛද්‍යක්‍රමයේ ඇති විශිෂ්ඨත්වය පෙන්වා දීමටයි. එසේම ඒ අනූව තම චර්යාවන් සකස් කර ගෙන නිරෝගිමත් ජීවිතයක් ඇතිකර ගැනීමට අත්වැලක් සැපයීමටයි.

ව්‍යායාම පිළිබඳව සුශ්‍රැත දක්වා ඇති අදහස

exerciseසිරුරට වෙහෙස උපදවා ලන ක්‍රියාව ව්‍යායාම නම් වේ. ව්‍යායාමය කිරිමෙන් පසු සැප සැලකෙන සේ මුළු සිරුර මඩින්නේය. ශරීරපුෂ්ටිය, කාන්තිය, අවයව සියල්ල මැනවින් බෙදී පැවැත්ම, ගින්න දැල්වී යෑම, අනලස බව, සිරුර දැඩි බව හා සැහැල්ලු බව, ශරීරශුද්ධිය, වෙහෙස-ක්ලාන්තිය-පවස- ශිතෝෂ්ණා- දිය යන මේවා ඉවසනසුලු බව යන මේ සියල්ල ව්‍යායාමය හේතු කොට ගෙන ඇති වේ. එසේම ආරෝග්‍ය සැපත ද සැලසේ. ව්‍යායාමයට සමාන කල හැකි තරබාරුව නැතිකර ගත හැකි අන් කිසිදු කාර්යයක්ද නැත්තේය. ව්‍යායාමය කරන පුද්ගලයා කෙරෙහි බියෙහි ඔහුට පීඩා කිරීමට සතුරෝ නොපෙළඹෙති. ව්‍යායාමය කරනසුලු මිනිසා හදිසියේ ආක්‍රමණය කිරීමට රෝගකාරකයන් පවා අසමත් වන්නීය. ව්‍යායාමය කිරීමට නිරත වන පුද්ගලයා ගේ ඇඟ මස දැඩි වන්නේය. කුඩා මුවකුට සිංහයකු ඇබ්බැහිවීම නො හැකිවාක් මෙන්ම මල්ලව පොර බදන්නාවු(හෝ තෙමේ ම ව්‍යායාමය කරන්නාවු)ද, ඉන් පසු පයින් ශරීරය උද්වර්තනය කරවන්නාවුද (ඇඟ පාගවන) පුද්ගලයා අබිබවන්නට රෝගයෝ අසමත් වන්නාහ. වයස-රූප-ගුණ යන මේවායින් හීන වුවත් ව්‍යායාමය කරන පුද්ගලයා සුදර්ශන වන්නේය. නිතර ව්‍යායාමය කරන්නාවු ගේ විරුද්ධ භෝජන-විදග්ධ භෝජන කරන බලවතුන් ගේ පක්ෂයෙහි ව්‍යායාමය කිරීම හැම කල්හිම පත්‍යය. ශීත කාලයෙහි හා වසන්ත කාලයෙහි ද එය ඔවුනට බෙහෙවින් පත්‍යය. ආත්ම හිතෛෂි පුද්ගලයා විසින් සෑම සෘතුවෙක දී ම ශරීරශක්තියේ ප්‍රමාණයෙන් අඩෙකට‍ සරිලන පරිද්දෙන් ව්‍යායාමය කටයුතුය. එයට අන් අයුරෙකින් කළ හොත්: සිරුර වැනැසේ යනුවෙන් සුශ්‍රතයන් විසින් දක්වා ඇත.

ව්‍යායාමය පිළිබඳ විශේෂ උපදෙස්……

ව්‍යායාම කරන කාලයේදී යම් විටෙක හෘදයයෙහි සිටි ප්‍රාණවායුව මුඛය වෙත පැමිණේයි ද(හතිවැටෙයිද) එවිට එය ශරීරශක්තියේ ප්‍රමාණයෙන් අඩෙකට සරිලන පරිද්දෙන් කළ ව්‍යායාමයේ ලක්ෂණය වේ. වයස බල ශරීරය දේශය කාලය භෝජනය යන මේවා විමසා බලා ව්‍යායාමය කළ යුතුය. ඒවා නොසලකා ව්‍යායාමය කිරිමෙන් රෝගයෝ හටගනිති. අධික ව ව්‍යායාමය කිරීමෙන් ක්ෂය-තෘෂ්ණා-අරුචි-වමන-රත්පිත්-කැරකිලි-ක්ලාන්ති-කාස – ශෝෂ-උණ-ශ්වාස යන රෝග ඇති කෙරේ. රක්ත පිත්ත-ශෝෂ-කාස-ක්ෂාය යන මේවායින් පෙළෙන රෝගියෝය. කෘශ පුද්ගලයෝය. භෝජනය කළ අයය, ස්ත්‍රී සේවනය කිරීමෙන් වෑරුණු අය ය, කැරකිල්ලෙන් පෙළෙන අයය යන මේ සියල්ලන් විසින් ම ව්‍යායාමය වර්ජනය කළ යුතුය. ව්‍යායාමය කිරීමෙන් පසු උද්වර්තනය (ඇඟ මැඬුම) කිරීමෙන් වායුව පහ කෙරේ. සෙම්-මේදෙස් දෙක ලීන වෙයි. අවයව දැඩිකෙරේ. සිවියේ පහන් බව බෙහෙවින් ඇති කෙරේ. උද්ඝර්ෂණ(චූර්ණ ආදියෙන් ඇඟ ඉලීම)- උත්සාදන(ස්නේහ වර්ග සහිත වූ කල්කය ඇඟ ඉලීම්) යන දෙකින් සිරාමුඛ විවෘතිය හා වර්ධනය ද සිවියේ සිටි ගින්න දැල්වීම ද සිදු වේ. විශේෂයෙන් උත්සාදනය කිරීමෙන් ස්ත්‍රීශරීරය කාන්තිමත් වෙයි. එසේම අධික හර්ෂය-සෞභාග්‍යය-ශුඞප්‍රභාව-ලාවණ්ය්‍යය ආදී ගුණවලින් ද යුක්ත වෙයි. උද්ඝර්ෂණය කිරීමෙන් කැසිලි-කෝඨ(මණ්ඩලාකාර ලකුණු)- වායු යන ඒවා පහ කෙරේ. ඵෙනකය(ඇඟ ඉලීමට යොදන ලීය) යෙදීමෙන්- කළවාවල ස්ථිර බව හා සැහැල්ලු බව හා වහා ඇති කෙරේ. කැසිලි-කෝඨ-වාතය තද බව-මලරෝග යන මේවා පහ කෙරේ. ගඩොළු සුණුවලින් උද්ඝර්ෂණය කිරීමෙන් සිවියෙන් සිටුනා ගින්නේ දිප්තීය මෙන් ම ශිරාමුඛවල විවෘතිය ද ඇති කෙරේ. එසේ ම කැසැලි, කෝඨ, නිද්‍රා, දැවිලි, වෙහෙස, දැඩිය, ක්ලේද, පවස් යන මේවා ද වැනැසේ.
sunbathආයුර්වේදයේ ව්‍යායාම පිළිබඳ සේම ව්‍යායාම කිරිමේ ගුණ සහ ව්‍යායාම කල යුතු ආකාර සහ නොකල යුතු අය පිළිබඳව සවිස්තරව දක්වා ඇත. ව්‍යායාම පිළිබඳව නවීන අදහස්ද සැලකීමේදී ඒවා බොහෝ දුරට මෙම දැක්වීම තුල අන්තර්ගත වන බව පෙනෙනේනට තිබේ. බටහිර රටවල යම් යම් කාල වලදී හිරුඑලිය නොලැබී යන තත්ත්වයක් ඇතිවේ. එම කාල වලදී බටහිරයන් වැඩිපුරම පෙරදිගට සංචාරය කරන්නේ මුහුදුවෙරලේ සිට අව්ව තැපීමේ අපේක්ෂාවෙනි. හිරුඑලියට නිරාවරණයවි සිටිම තුලින් සිරුරට අත්‍යාවශ්‍ය යම් යම් පෝෂණ කොටස් ස්වාභාවිකවම ලබා ගත හැකි බව බටහිර වෛද්‍යවිද්‍යාවෙන් ප්‍රකාශ කර ඇත. ආයුර්වේදයේද අව්ව/ආතප සේවනය කිරිමේ ගුණ දක්වා ඇත. පිත, පවස, අග්නිස්වේදය, මූර්ඡාව, කැරකිල්ල, රක්තදුෂ්ටිය යන ඒවා ඇතිකෙරේ. එසේම දැවිලි විවර්ණත්ව යන දෙකද ඇති කෙරේ. ඡායාව මේ සියල්ල පහ කරන්නෝය.  ගිනි තැපීම අප සිදුකරන්නේ සිරුර උණූසුම් කර ගැනීමේ අරමුණ සහිතවය. නමුත් ආයුර්වේදය තුල ගිනි තැපිමේ වෛද්‍යවිද්‍යාත්මකව ගුණාගුණද දක්වා ඇත. ගිනි තැපීම/ අග්නි සේවනය වායු සෙම් දෙකේ තද බව, ශිතල වෙව්ළුම, යන මේවා නසා දමයි. ආම-අභිෂයන්ද යන දෙක දිරවයි. රත්පිත් දුෂණය කරයි. නියමිත කාලයේදී නිදීමෙන් පුෂ්ටි-වර්ණ- බල- උත්සහ- අග්නිදීප්ති යන මේවා ඇති කෙරේ. තන්ද්‍රාව නැති කෙරේ. ධාතුන්ගේ සමබව ඇති වේ. අද වන විට විදුලි පංකා වායු සමිකරණයන්‍ත්‍ර යන කෘතිම උපකරණ වලින් සිදුකරනා කාර්යය අතිතයේ සිදුකර ඇත්තේ චාමර සැලීම මගිනි. චාරම වලින් පවන් සැලීම මගින් ලැබෙන්නාවු විශේෂ වාසි සුශ්‍රැත ආචාර්යවරයා දක්වා ඇත. චාමර වලින් පවන් සැලීම ඕජසට හිතකරය. එය මැසි ආදීන් නිවාරණය කෙරේ. සැලීමෙන් ඇතිවන වායුව ශෝෂය-දැවිල්ල-වෙහෙස- දාඩිය- මූර්ච්ඡාව යන මේවා නසාලයි යනුවෙන් දක්වා ඇත්තේ ඒවාය. එපමණක් නොව එම හමනා සුළ‍ඟ වේගය මත ඇතිවන ගුණයන්ගේ වෙනස්කම් පිළිබඳවද තොරතුරු දක්වා ඇත. සංවාහනය(සැප එලවන සේ ඇඟ මැඩිම) ප්‍රීතිය-නින්ද යන දෙක ඇති කෙරේ. වෘෂ්‍යයි. සෙම්-වා යන මේවා පහ කෙරේ. මස්-ලේ-සිවිය යන මේවා පහන් කෙරේ. සැප ගෙන දේ. ප්‍රවාතය (වේගයෙන් හමන වායුව, සැඩ සුළඟ) රළු බව, විවර්ණ බව, තදබව යන මේවා ඇති කෙරේ. දැවිලි පැසීම් යන දෙක නසා ලයි. එසේම දහඩිය මුර්ජාව පවස යන මේවාද වනසයි. අප්‍රවාතය මෙයට විපරිත ගුණ යුක්තය. ආරෝග්‍යය මෙන්ම ආයුෂද වැඩීම සඳහා සැඩ සුළඟින් තොර වු සාමාන්‍ය වාතාශ්‍රය ඇති ස්ථිර ස්ථානයන සේවනය කල යුතුය.
joggingඅද බොහෝ දෙ‍නා තමන්ගේ ශරීර සුවතාවය පවත්වා ‍ගෙන යාම සඳහා සිදුකරනා ජනප්‍රිය ක්‍රියාකාරකමක් වන්නේ ජොගින් කිරීමයි. ඇවිදිම හෝ සක්මන් කිරීම නොකරන ඔවුන් කරන්නේ බටහිරයන් හදුන්වා දුන් ජොගින් කිරීමයි. එය අන් අය සමග පවසන්නේද මහත්වු උජාරුයෙනි. එහෙත් ඔවුන් නොදන්නේ අපේ පැරැන්නන්ද මෙයම කල බවයි. ඔවුන් කලේ “සක්මන් කිරීම” වන බැවින් අ‍පගේ කලු සුද්දන්ට එය එතරම් නෙවටිනා වූහ. පයින් යෑම තම තත්ත්වයන්ට මදි කමක් සේ සිතා වාහන වලින් යෑමට පුරුදු වූහ. ඒ සුද්දන් මෙනි. නමුත් දැන් සුද්දන්ද වාහන වලින් ගොස් සිරුර අකාලයේ ලෙඩ වන බව දැන ගෙන හැකිතාක් පයින්ම යාමට පටන් ගෙන ඇත. එසේ නොකල හැකි අය හැකි අවස්ථාවල ජොගින් කරති. අපේ සමාජයේ අය වාහන වලින් නොයා‍ පයින් යාමට හැකියාව තිබියදි පවා වාහනවලින් ගොස් හවසට ජොගින්ද කරති. ඒ අපේ සමා‍ජයේ හැටිය. කෙසේ වෙතත් ජොගින් කරනා අප සමාජයේ අය නොදන්නා බොහෝ ගුණ සක්මන් කිරීම තුලින් සිරුරට ලැබෙනා බව සුශ්‍රැතයන් පවසා ඇත. එයින් ආයුෂ බල මේධා ගිනි යන මේවා වැඩේ. සැප සැලසේ. ඉන්දිය ප්‍රබෝධය ඇති‍ කෙරේ. මීට විපරීතව ස්ථිරව සිටිමෙන්/ආස්‍යයෙන් වර්ණ- කඵ- ස්ථුලත්ව- සුකුමාරතා යන මේවා ඇති කෙරේ. පයින් ගමනාගමනය කිරීමෙන් වර්ණ-කඵ-ස්ථුලත්ව- සුකුමාරතා යන මේවා නැසේ. අධික විසින් පයින් ගමනාගමනය ආස්‍යයයට විපරිත වන අතර ජරාව සහ දුබලබව ඇති කෙරේ.

අප කවුරුත් සැප පහසු ආසන සහ යහන් පාචිච්චායට ප්‍රියවන්නේ මෙම ගුණාගුණ දැනගෙන දැයි විමසා බැලිය යුතුය. සැප ඇතිකරණ යහන් සහ අසුන් පරිහරණය කිරිමෙන් වෙහෙස මෙන්ම වායුවද පහ කෙරේ. එය වෘෂ්‍ය යි. පුෂ්ටි- නිද්‍රා – ධෛර්යය යන මේවා ගෙනදේ. දුක් ඇති කෙරෙන යහන් අසුන් දෙවර්ගය මෙයට විපරිත ගුණවලින් යුක්තය.

ලස්සනටම නොව නිරෝගිබවටද හේතුවන විලාසිතා

oil for headඋෂ්ණීය (හිස්වෙළුම්, තලප්පා, තොප්පී) දැරීමෙන් ශරීරය පවිත්‍ර වෙයි. කෙස්වලට එය හිතකරය. එයින් වායු අවු දූවිලි ඒවා පහ කෙරේ. කුඩ දැරිමෙන් වැසි වායු අව් ධුලි හිම යන මේවා නිවාරණය කෙරේ. එය වර්ණයට හිතවත්ය. ඇස්- ඕජස දෙකටද හිතකරය. යහපත සිදු කෙරේ. දඬු (සැරයටි) දැරිමෙන් බළු-සර්ප- ව්‍යාඝ්‍ර ආදින්, අංඇති සතුන් යන මොවුන් නිසා ඇති විය හැකි බිය පහවේ. වෙහෙස නැසේ. පය ලිස්සා යෑමේ දෝෂ වැළකේ. මහලු වයසේදී දඬු දැරීම ප්‍රශස්ථය. එයින් සත්ත්ව, උත්සාහ, බල, ස්ථිරතා, ධෛර්‍යය , වීර්යය යන මේවා වැඩේ. බිය නැසේ. මඟ යන්නහුට ප්‍රධාන අවලම්බනයෙකි.

පාවහන් පැමිණියේ බටහිරෙන් නොවනා බව අප මතක තබා ගමු. හැමදාම පාවහන් දැරිමෙන් පාදරෝග නැසේ. වෘෂ්‍යය. රකුසුබිය නැසේ. ප්‍රීතීය වැඩේ. ගමනෙහි සැප ඇති කෙරේ. ඕජසට හිතවත් ය. පාවහන් නොදරා හැම දාම ගමනාගමනය හේතු කොට ගෙන ආරෝග්‍ය හානිය, ආයුෂය හීන වීම, ඇස්රෝග යන මේවා ඇති කෙරේ. කෙස්, නිය, ලොම් හැම දාම පවිත්‍ර කිරීමෙන් පව්ශමනය, හර්ෂය, සිරුර සැහැල්ලු බව, සෞභාග්‍යය, උත්සාහ වර්ධනය යන මේවා ඇති කෙරේ. සිරුරෙහි සන්නාහ(ආවරණ, චර්ම) දැරිමෙන් සෙවෙනි බව, වර්ණය, තේජස, බලවර්ධනය යන මේවා ඇති කෙරේ. ඇස්වල අඳුන් ගෑමෙන් නේත්‍ර මණ්ඩය, සුන්දර වූ ඇස්පිහාටුවලින් යුක්ත වෙයි. විශද-කමනීය- නිර්මල- දීප්තිමත්- විමල යන ගුණවලින් නෙත්තරුව යුක්ත වෙයි. දේවතා-ආගන්තුක-බමුණු යන මොවුන් පිදීමෙන් ඓශ්චර්‍යයලාභය, ධන ධාන්‍ය වර්ධනය, වංශවෘධිය යන මේවා සිදු කෙරේ. පදවල තෙල් ගෑමෙන් නින්ද ඇති කෙරේ. ඇඟට සැප ගෙන දේ. එය ඇසට හිතකරය. එයින් වෙහෙස හා හිරිය හා නැසේ. පාදවල හම මෘදු කෙරේ. සෑම කල්හිම එය හිතකරය. මල්වර්ග, වස්ත්‍ර, රුවන් යන මේවා දැරිමෙන් රාක්ෂස ග්‍රහයින් නැසේ. ඕජස වැඩේ. සෞභාග්‍යය ඇති කෙරේ. ප්‍රිතිය ද වැඩේ. මුහුණෙහි අනුලේපන යෙදීමෙන් ඇස් දැඩි කෙරේ. කම්මුල් මෙන් ම මුහුණ ද පීන-කමනීම වු පියුමක් වැනි බවට පත් කෙරේ. ව්‍යඞ්ග හා පිඩකා හා පහ කෙරේ.

ශරීරය පිරිසුදූ විමට පමණක් නොව

ස්නානය හෘදයයට හිතවත්ය. මලපහ කෙරේ. ශ්‍රේෂ්ඨය. සියලු ඉඳුරන් ශෝධනය කෙරේ. තන්ද්‍රාව නසාලයි. පව සංසිඳවයි. තුෂ්ටිය ගෙන දේ. පුරුෂභාවය වඩාලයි. ලෙය පහන් කෙරේ. ගින්න දල්වයි. උණුදියෙන් හිසේ නෑම හැමදාම ඇසට අහිතකරයි. සිසිල් දියෙන් හිසේ නෑම ඇසට හිතවත්ය. සෙම්-වා දෙක පිළිබඳ කෝපයන්හි දී රෝගවල බල දැන, භේෂජ වශයෙන් උණුදියෙන් හිසේ නෑම රිසි සේ කරන්නේය. ශිත කාලයේදී ඉතා සිසිල් දියෙන් නෑමෙන් වාතකෝපය ඇති කෙරේ. උෂ්ණ කාලයේ දී ඉතා උණුසුම් දියෙන් නෑමෙන් පිත හා ලෙය හා කෝප කෙරේ. අතීසාර- උණ- කර්ණශූල-වායුරෝග-ආධ්මාන-ආරෝචන යන රෝගවලින් පෙළෙන්නවුන් ගේ පක්ෂයෙහි ද, අජීර්ණය ඇති විටද, භෝජනය කිරීමෙන් පසුව ද නෑම ගර්හිතය.

හිස තෙල් ගැමේ ගුණ

බොහෝ පිරිස් හිස තෙල් ගෑමට යම් මැලිකමක් දක්වයි. එහෙත් තරුණ පරපුර විශේෂිත ක්‍රීම් වර්ග හිසේ ගෑමට පුරුදුව ඇත. තරුණියන් තෙල් ගැලිවීම ඉවත ලන්නේ එයින් සුගන්ධයක් වහනය නොවනා බව කියමිනි. නමුත් පුරුද්දක් හිස තෙල් ගැමෙන් ශිරෝගත රෝග පහ වේ. කෙස්වල මොළොක්බව-දික්බව- ඝනබව- සිනිඳුබව- කළුබව යන මේවා ඇති කෙරේ. ශිරස තර්පණය කෙරේ. මුහුණ සුන්දර සමින් යුක්ත කෙරේ. ඉන්ද්‍රීය සන්තර්පණය කෙරේ. හිස හිස්බව නැති කෙරේ. පනාවෙන් කේශප්‍රාසාධනය (කෙස් පිරීම) කරන්නේය. එය කෙසේවලට හිතවත්ය. ධූලි-මල-උකුණු යන මොවුන් පහ කෙරේ. තෙලින් කන් පිරවීමෙන් හකු-මාන්‍ය-හිස-කන් යන මේවායේ වේදනා පහ කෙරේ. එපමණක් නොව මුළු සිරුරේ තෙල් ගෑමෙන් ශරීරය මෘදු කෙරේ. සෙම්-වා දෙකේ කිපිම වැළකේ. ධාතුපුෂ්ටිය ඇති oil apply footකෙරේ. සිරුර සෙවෙනි කෙරේ. වර්ණ-බල දෙක ගෙන දේ. පරිෂේක(ද්‍රවධාරා ඇඟ හෙලීම, ද්‍රව පදාර්ථ ඇඟ වෑක්කිරීම) කිරිමෙන් වෙහෙස නැසේ. වායුව පහ කෙරේ. බිදුණූ සන්ධිය සන්ධානය(පිළිද්දීම) කෙරේ. තුවාල ඇතියෝය, ගින්නෙන් දැවුණෝය, ආඝාත(පහර) ලත් අයය, ඝර්ෂණයෙන් පෙළෙන්නෝ ය යන මොවුන්ගේ වේදනාවන් පහ කෙරේ. ගස්-පැලෑටීයේ මුලදිය වැක්කිරීමෙන් ගස වැඩෙන්නාක් මෙන් සිරුරේ ස්නේහවර්ග සේවනයෙන්(වැක්කිරීමෙන්) ශාරීරධාතූන් වැඩේ.
අවසාන වශයෙන් තාම්බුල සේවනය ගුණ දක්වමු. කපුරු, සාදික්කා, කක්කෝල, කරාඹුනැටි, කුළුරෑන, පුවක් යන මේවා යේ සුණු සමඟ තාම්බුල සේවනය (බුලත්කෑම) කිරීම ශුභකරය. එයින් මුඛයේ විශදත්වය, සුවඳ බව, කාන්තිය, සුරූප බව යන මේවා ඇති කෙරේ. එසේම කටින් ද්‍රව වැගිරීම ශමනය කෙරේ. හෘද්‍යයට හිතකරය, ගලරෝග නැසේ, නින්දෙන් අවදිවු අය-ආහාරය වැළදූ අය-ස්නාන වමන දෙක කළ අය යන මොවුනට පථ්‍යයය. එනමුත් රක්තපිත්ත, ක්ෂතක්ෂීණ, තෘෂ්ණා, මුර්ච්ඡා යන මේ රෝගීන්ට ද, රළු-දුබ-මුඛශෝෂ යන මොවුනට ද තාම්බුල සේවනය කිරීම හිතකර නොවේ.
ආරෝග්‍යය කැමති බුද්ධිමත් පුද්ගලයා විසින් දිනපතා අළුයම අවදිවී නිතර සිදුකල යුතු කාර්යය සමුහයක් ලෙස මේවා සුශ්‍රැතයන් විසින් දක්වා ඇත. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව සමාජයේ නොදැනුවත් බව නොවන්නට නිසි පරිදි පුද්ගලයින් දැනුවත් කරන්නට හැකි වන්නේ නම් නිරෝගිමත් ජනතාවක් බිහි කර ගැනීමට මෙම ක්‍රියා අනුගමනය කිරිම තුලින් අවස්ථාවක් උදා කර ගත හැකි වන්නේය.