ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
වේදනාකාරි “ඉරුවාරදය” හදුනා ගනිමු.

සුශ්‍රැත සංහිතා උත්තර තන්ත්‍ර විසිපහ සහ විසිහය අධ්‍යායයන් දෙක  පිළිවෙලින් ශිරෝරෝග විඥානීය අධ්‍යායය සහ ශිරෝරෝග ප්‍රතිෂේධ අධ්‍යායය යන අධ්‍යායයන් දෙක වේ. මෙම අධ්‍යායන් දෙකෙහි අඩංගුව ඇත්තේ ආයුර්වේදය විසින් හදුනා ගෙන ඇති සියළුම ශීර්ෂ රෝග සහ ඒවායේ ලක්ෂණද එසේම ඒවා සදහා කල යුතු පිළියම්/ චිකිත්සා කරුණුය.

ඉරුවාරදය යන වේදනාකාරී හිසේ කැක්කුම් ස්වභාවය මූලිකව සුශ්‍රැතයේ එම නමින්ම සදහන්ව නැති මුත් මාධව නිදාන ග්‍රන්ථයේ තුන්දොස් කෝපයෙන් හටගන්නා රෝගයක් ලෙස ඉරුවාරදය හදුන්වා දී ඇත. සුශ්‍රැතයේ ප්‍රධාන ශිරෝ රෝග එකොළහක්(11) දක්වා ඇත. දෝෂ තත්වයන් අනූව කර ඇති එම වර්‍ගකරණය තුළ ත්‍රිදෝෂජ ශිරෝ රෝග හතරක් විශේෂයෙන් දක්වා ඇත. නම් වශයෙන් සූර්‍ය්‍යාවර්ත, අනන්තවාත, අර්ධාවභේදක සහ ශඞ්ඛක එම රෝගයන්ය. පසු කාලිනව මාධව ආචාර්‍යවරයා විසින් ඉරුවාරදය යන නමින් හදුන්වා දී ඇත්තේ ඉහත රෝග අවස්ථාවන් සතරෙන් එකක් විය යුතු බව දෝෂ තත්ත්වය විමසා බැලීමේදී පැහැදිලිය.

ශීර්‍ෂණ්‍ය නාඩි(Cranial Nerves) දොළහ අතුරෙන් පස්වැනි නාඩිය ත්‍රිධාරා නාඩිය(Trigeminal Nerve) පිටවන පළමුවැනි ශාඛාව වු චාක්ෂුසි නාඩිය (Ophthalmic Nerve) ආශ්‍රය කරගෙන සෑදෙන රෝග අවස්ථාවක් ලෙස Supra Orbital Neuralgia/Neuritis යන රෝගය පැහැදිලි කල හැක. මෙම තත්ත්වයේදි පෙන්නුම් කරනා රෝග ලක්ෂණ සංසන්දනයේදී  සූශ්‍රැතයේ දක්වා ඇති සූර්‍ය්‍යවර්‍තය රෝග අවස්ථාවේදී ඇතිවන රෝග ලක්ෂණයන්ට බොහෝ සෙයින් සමාන බව පෙනී යයි. එසේම මාධවයේ දක්වා ඇති හිරුවාරදය යනුවෙන් දැන් බොහෝ දෙනා අදුනා ගෙන ඇත්තේද  සුශ්‍රැතයේ දැක්වූ   සූර්‍ය්‍යවර්‍තය යන රෝගයම වීමට ඇති ඉඩ කඩ වැඩිය.

සූර්‍ය්‍යවර්‍තය රෝගාවස්ථාවේදි  සූර්යයාගේ නැගීමත් සමගම උත්සන්න වන වේදනාව මධ්‍යහ්න කාළයේදී උපරිම තලයට පැමිනේ. නැවතත් සූර්යාගේ අස්ථාන වීම ඇරඹීමත් සමගම වේදනාව අඩුවිගෙන යයි. එහි ගැබ්වෙන අදහස නම් උෂ්ණත්වය වැඩිවිමට අනුලෝම සමානුපාතිකව වේදනාවද වැඩිවන බවයි. උෂ්ණත්වය අඩුවන විට වේදනාවද අඩුවන බවයි. මේ නිසා සූර්‍ය්‍යවර්‍ත රෝගීන්ට ප්‍රතිකාරයක් ලෙස උෂ්ණ ක්‍රියා නොසුදුසු බව සුශ්‍රැතයේම දක්වා ඇත. ශීතල ක්‍රියා යෙදීමෙන් රෝගය සමනය වන බව සුශ්‍රැතයේ වැඩිදුරටත් සදහන් වේ.

නළල් ඇටය/ ලලාටාස්ථිය(Frontal Bone) ඇස් වලට ඉහලින් මදක් නාසාස්ථියේ මුලට වන්නට වායු‍ කොටරක(Supra orbital notch) දෙකක් ඇත. අමතරව අක්ෂි ගෝල වලට පහලින්ද කම්මුල ආස්ථරනය කරනා අස්ථිය (Maxilla) මධ්‍යයේද තවත් ප්‍රධාන කුහර/කෝඨරක දෙකක් ඇත. මීට අමතරව තවත් වායු කුහර/කෝඨරක කිහිපයක්(frontal, ethmoid, maxillary and sphenoid sinuses) අවශේෂව හිස්කබලේ  ඇත. මේවායේ ප්‍රමුඛ කාර්යයන් වන්නේ හිස් කබල තුල හා පිටත වායු පීඩනයන් තුලනය කර ගැනීමත්,කම්පන අවශෝෂණයටත් කථන ක්‍රියාවලියට උපකාර වීමත් ඇස් කන් නාසය හා දිව යන සංවේදන ඉන්ද්‍රියන් මොළය හා සම්බන්ධ වන ශීර්‍ෂණ්‍ය නාඩි(Cranial Nerves) ගමන් ගැනීමට මාර්ගය වීම යන ඒවාය.

යම් බාහිර හේතුවක් නිසා හෝ ප්‍රතිශ්‍යාව වැනි අසනීප තත්ත්ව වලදී නාසය ප්‍රදාහකාරක(Inflammatory), පූයාකාරක(pus formation) විෂ බීජයන්ගෙන් පීඩාවට පත්වු විට මෙම කුහරයන්ද පීඩාවට පත්වේ. එවිට එම කුහරය හරහා ගමන් කරනා Supra orbital nerve ස්නායුවත් පිඩාවට පත්වේ. මෙවිට එම ස්නායුවේ බලපෑම ඇති ප්‍රදේශයේ රෝග ලක්ෂණ පහල වේ. එය බොහෝ දුරට නළල පෙදෙස හා ඇස වටා ප්‍රදේශය විය හැක. සූර්‍ය්‍යවර්‍ත තත්ත්වයේදි ද වේදනාව ඇති වන්නේ මේ ප්‍රදේශයන්ගේමය. මේ අවස්ථාවේදී කටහඩ වෙනස් වීම සහ හිසේ බර ස්වභාවය යන උපදුව ඇතිවේ. මේ තත්ත්වය වර්ධනය වීම සදහා කාළගුණයේ බලපෑමක් බරපතලව අදාල වන්නේ නැති නමුදු දහවල් කාලයේදී මෙම තත්ත්වය වර්ධනය වීම වැඩිය.

මිග්‍රේන්/migraine යන නාමයෙන් වර්තමානයේ ඉතාම ප්‍රචලිතව හදුන්වන තවත් ශීර්ෂ රෝගයක් බටහිර වෛද්‍ය කර්මය තුල හදුන්වා දී ඇත. මෙය ඉරුවාරදය රෝගය නොවේ. මිග්රේන් රෝගාවස්ථාවේදී හිසේ එක් අර්ධයක් රෝගාතුරු වේ. වේදනාව හට ගනි. සුශ්‍රැතයේ සදහන් ත්‍රිදෝෂජ ශීර්ෂ රෝග අතුරින් අර්‍ධාවභේදක ශිර්‍රෂ රෝගය සතු  ලක්ෂන මිග්‍රේන් රෝගය සතු ලක්ෂණ වලට සමානය. සුශ්‍රැත සංහිතා උත්තර තන්ත්‍ර ශිරෝරෝග විඥානීය අධ්‍යායයේ පහළොස් වැනි ශ්ලෝකයේ දැක්වෙන්නේ හදිසියේ හෝ කල්ගතවී හිසේ අඩක් බිදින්නාක් වැනි වූද, ඉදිකටු වලින් අනින්නාක් බඳු වූද, හුලකින් අනින්නාක් බඳු වූද, වේදනාවෙන් යුක්ත වන අතර හිස කැරකැවිල්ලද ඇති වුව හොත් ඒ රෝගයට අර්ධාවභේදක යැයි කියනු ලැබේ යනුවෙනි.

මීට අමතරව ලලාට කෝඨරක ප්‍රදාහය  / sinusitis යනුවෙන් හදුන්වන රෝග තත්ත්වයක්ද නවීන වෛද්‍ය විද්‍යාවට අනූව හදුනා ගෙන ඇත. මෙහිදි සිදුවන්නේ හිස් කබලේ ඇති කෝඨරක තුල දූෂිත වු ශ්ලේෂම, පූයා(pus) ආදීන් සිරවී එම මාර්ග අවරෝධ කිරීමයි. මෙහීදී අධික වේදනාවක් උපදී. මෙම ‍කෝඨරක පිහිටි ස්ථානයන් බාහිරින් තද කලවිට හෝ තට්ටු කල විට ඉවසුම් නොදෙන වේදනාවක් ඇතිවේ. එය මෙම රෝගය හදුනා ගැනීමේ ප්‍රමුඛතම ලක්ෂණයයි. ප්‍රතිශ්‍යාව පීනස ආදි රෝග වලදි මෙම තත්ත්වය උපද්‍රවයක් ලෙස ඇතිවේ.

සූර්‍ය්‍යවර්‍තය රෝගයේදී උණුසුම අපත්‍ය වුවත්  ලලාට කෝඨරක ප්‍රදාහය අවස්ථාවේදි උණුසුම පත්‍ය වේ. උණු ජලය පාවිච්චිය(බීමට සහ ‍මුහුණ සේදීමට) රෝගීයාට සහනයක් වේ. උදෑසන හිසේ වේදනාව වැඩිවේ. දහවල් කාලයේදි සාපේක්ෂව වේදනාව අඩුවීගෙන යයි. බොහෝ විට විෂම ජිවන පැවැත්ම මේ තත්ත්වය ඇතිවීමට හේතුවේ. ඖෂධීය හුමාලය ආග්‍රහනය කිරිමෙන් මෙම කෝඨරක වල තැන්පත් දූෂිත සෙම් කොටස් බුරුල් වි දියවී පිටවීමට පටන් ගනී. එහිදි රෝගීයාට මහත් සහනයක් දැනේ. නිසි ප්‍රතිකාරයකින් තොරව කල් ගතවුව හොත් මෙම දූෂීත පදාර්ථ ස්ථීර ලෙස තැන්පත් වී ඝනීභවනය වී දීවා රාත්‍රී දෙකෙහිම පීඩා ගෙන දෙයි.

ප්‍රතිශ්‍යාව නොසලකා හැරීමෙන් කැස්සද එය නොසලකා හැරීමෙන් ධාතු:ෂයද පසුව ශරීර:ෂයද අවසන මනුෂ්‍යයා රෝග රාශියකට පත් කරමින් කෙළවර වේ.

පොදුවේ ගත් කල

  • ශාරීරික හා මානසික පීඩා
  • අධික කරදර
  • අධිකව වෙහෙසීම
  • ස්ත්‍රීන්ට සෘතු කාලය මුලදී හෝ අගදී
  • දුර ගමන් බිමන් යාම
  • අධිකව සීතල සුළං වැදීම
  • වැටීමෙන් හෝ හිසට පහරවල් වැදීම
  • පින්නට නිරාවරණය වීම වැනි හේතූන්ද වාත රක්ත රෝගයත් ශීර්ෂ රෝග වැලදිමට හේතුවේ.
රදේ හිසට ගියේ නම් සෙම් වාත    ද
වදේ නොවිද නික යුසයෙන් නස්න   ද

ඉරුවාරදයට  ප්‍රතිකාර කිරිමේදි විවිධ විවිධ ප්‍රතිකාර ක්‍රම යොදා ගනු ලැබේ. නස්න කර්‍ම, කෂාය වර්‍ග, ආලේප වර්‍ග, තැවිලි පොට්ටනි, තෛල වර්‍ග ආදිය ‍භාවිතා වේ. අමතරව කෙම් ක්‍රමද ඇත. (චිකිත්සාව මෙහිදි සාකාච්ඡා නොවේ.)