ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
සුශ්‍රැත සංහිතා (පළමු කොටස)

මූලාරම්භයේ සිටම වෛද්‍ය සම්ප්‍රදායන් දෙකක් යටතේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය දියුණවු බව ආයුර්වේදයේ ආරම්භය විමර්ශනය කිරීමේදි හදුනා ගත හැක. ආත්‍රේය මහාසෘෂිවරයාගෙන් ඇරඹි ගුරුකුලය සහ ධන්වන්තරී සෘෂි ගුරුකුලය යන ප්‍රධාන ගුරුකුල දෙක මත පදනම්ව මෙම බෙදීම සිදුවු බව පෙනේ.

රාජසෘෂි ධන්වන්තරීහුගෙන් ශිල්ප හදාල ශිෂ්‍යයන් විසින්(සුශ්‍රැත, ඖපදේනව, වෛතරණ, ඖරභ්‍ර, පෞෂ්කලාවත, කරවීර්ය, ගෝපුරරක්ෂීත, නිමි, කාඞ්කායන, ගාර්ග්‍ය හා ශාලව) ධන්වන්තරී සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගියෝය. මෙම සම්පූර්ණ පිරිස කෙසේ වෙතත් කිහිප දෙනෙකු හෝ තම තමන් උගත් ශිල්පය ග්‍රන්ථාරූඪ කිරීමටද කටයුතු කලහ. ගෝපුරරක්ෂිත, ඖපදේනව සහ සූශ්‍රැත ආදීන් මේ අතරින් ප්‍රධානය. ඔවුනතරිනුත් සුශ්‍රැත ආ‍චර්යවරයා ප්‍රධානය. හෙතෙම රචිත සුශ්‍රැත තන්ත්‍රය ධන්වන්තරී සම්ප්‍රදාය කුමක්දැයි හදුනාගැනීමට ඇතිවු ප්‍රභලතම සලකුණයි. එහෙත් වර්තමානයේ චිර ප්‍රසිද්ධව ඇත්තේ සුශ්‍රැතයන් විසින් සම්පාදිත සුශ්‍රැත තන්ත්‍රය නොව බෞද්ධ නාගාර්ජුන විසින් පසුකාලිනව ප්‍රතිසංස්කරණය කරන ලද“සුශ්‍රැත සංහිතාව” නැමති ග්‍රන්ථ රත්නයයි.

  • නාගාර්ජුන

‘ යත්‍ර යත්‍ර පරොක්ෂෙ තියොගස්තත්‍රතත්‍රෛච ප්‍රතිසංස්කර්තෘසූත්‍රංඥාතව්‍යං; ප්‍රතිසංස්කර්‍තාපීභ නාගාර්ජුන එව’ (නිබන්ධ සංග්‍රහ 01)

ඩල්ලන ආචාර්යවරයා විසින් රචිත  නිබන්ධ සංග්‍රහ නැමති ග්‍රන්ථයේ දක්වා ඇති පාඨයක් ඉහතින් දැක්වේ. එහි අරුත වන්නේ,

“ යම් යම් ස්ථානයන්හි අන්‍යයන් විසින් යොදන ලද (අප්‍රසිද්ධව) දේ වෙත් නම්, ඒ ඒ ස්ථානයන්හි, ප්‍රතිසංස්කරණය කළ තැනැත්තා විසින් එසේ යොදන ලද දෙය බැවු  දත යුතුය; මෙසේ ප්‍රතිසංස්කරණය කළ තැනැත්තා ‘නාගාර්ජුන’ මය”. යන්නය.

ඒ අනූව සුශ්‍රැත සංහිතාව ප්‍රතිසංස්කරණය කල තැනැත්තා වශයෙන් දක්වා ඇත්තේ නාගාර්ජුන නැමැත්තෙකි. එය තව දුරටත් පැහැදිලි කර ගැනිමට සුශ්‍රැත සංහිතාවේ දැක්වෙන පහත පාඨය දැක්විය හැක.

“ සුශ්‍රැත ප්‍රභෘතය ඌවු:” මෙහි තේරුම වන්නේ, සුශ්‍රැත ආදීහු මෙසේ කීවෝය යන්නයි.

මෙය සුශ්‍රැත විසින් කියන ලද්දක් නොවිය යුතුය. මක් නිසාද තමන් විසින් රචිත කෘතියක තමන් මෙසේ කියූ බව සුශ්‍රැත විසින්ම කිසිලෙසකින් වත් නොලියන බැවිනි. එනිසා මෙය වෙන කවුරුන් හෝ පසුව එක් කරන ලද පාඨයක් විය යුතුය. ඒ එක් කල තැනැත්තා ‍නාගර්ජුන විය යුත්තේ ඔහු හැර සුශ්‍රැත සංහිතාව ප්‍රතිසංස්කරණය කල වෙන අයෙකු ගැන සදහනක් ඉතිහාසයේ සදහන්ව නොමැති බැවිනි.

මේ නාගාර්ජුන කවරෙක්ද? නාගාර්ජුන පඬිවරයා වෛද්‍යවරයෙකු නොව රසායන ශාස්ත්‍රඥයෙකැයි කියනු ලැබේ. කෙනෙකු ඔහු බෞද්ධ රජ‍ කෙනෙකු විය හැකි යැයි කියති. තව කෙනෙකු එතුමා වෛද්‍යවරයෙකු බව කියති. කෙසේ වුවත් එතුමා ජීවත් වන්න‍ට ඇත්තේ මීට වසර දෙ‍දහසකට පමණ පෙරදී යැයි කවුරුත් පිළිගනිති. මෙතුමා  සැදැහැවත් බෞද්ධයෙකු බව මෙතුමාගේ “රස රත්නාකර” නම් වු කෘතියෙහි සියළුම බුදු වරුන්ට නමස්කාර කිරීමේ පාඨයක් ඇතුළු කිරිමෙන් තහවුරු වේ.

ඖෂධයක් වශයෙන් ‘රසදිය’  විෂ හරණය කොට  වෛද්‍ය ශාස්ත්‍රයට භාවිතා කිරිම හදුන්වා දුන්නේ මෙතුමානන් යැයි පිළිගැනේ. මීට අමතරව අනෙකුත් ලෝහ ආදී ධාතු වර්‍ගද, ප්‍රධාන ඖෂධ වශයෙන් භාවිතා කිරීම ඇතිකරන ලද්දේ මෙතුමා විසින් යැයි පිලිගැනීමක් ඇත.

සුශ්‍රැත තන්ත්‍රය පසු කාළින ටීකා රචකයින් විසින් “වෘද්ධ සුශ්‍රැතය” යන නමින් හැදින්වීමටද කටයුතු කලහ. එසේම එසේ හැදින්වු ග්‍රන්ථයෙන් කොටස් සිය ටීකා ග්‍රන්ථ වලටද ඇතුලත් කිරීම‍ට ඔවුහු කටයුතු කලහ. කෙසේ වෙතත් සුශ්‍රැත සංහිතාව සම්භාවනීය ග්‍රන්ථයක්ය යන පදනමට මෙයින් බාධාවක් වූයේ නැති.

සුශ්‍රැත තන්ත්‍රය(වෘද්ධ සුශ්‍රැතය) නාගාර්ජුන විසින් ප්‍රතිසංස්කරණය කලද එය තමන්ගේ නමින් එලිදැක්වීමට එතුමානෝ කටයුතු කලේ නැති අතර එය සුශ්‍රැත සංහිතා යන නමින් පල කරන්නට කටයුතු සලස්වන ලදි.(අග්නිවේශ තන්ත්‍රය චරක විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව චරක සංහිතා යන නමින් ප්‍රසිද්ධ කලාක් මෙනි) කෙසේ නමුදු සුශ්‍රැත සංහිතාවට වඩා වෘද්ධ සුශ්‍රැතය විස්තරාත්මක ග්‍රන්ථයක් වන්නට ඇති බව පිළිගැනේ. එසේම වෘද්ධ සුශ්‍රැතය ශල්‍ය තන්ත්‍රයක යනු ඇතමුන්ගේ මතයයි.එහෙයින් ශල්‍ය සාධ්‍යය අර්ශස්, භගන්දර, වෘන ආදීය පිළිබදව චිකිත්සාවක් විනා ඖෂධ සාධ්‍යය කාස, අතිසාර, හික්කා, ජ්වර ආදිය පිළිබදව චිකිත්සාවක් එහි නොවන්නට ඇතැයිද මතයක් වේ. නමුත් මෙය වැරදි මතයකි. වෘද්ධ සුශ්‍රැතයෙන් උපුටා ගත් ඖෂධ සාධ්‍ය රෝග පිළිබදව චිකිත්සාවන් හා මතයන් ටිකා කතුවරුන් තම ටීකා ග්‍රන්ථ වල දක්වා ඇත. එයින්ම එම මතය බිද වැටේ.

කෙසේ නමුත් සුශ්‍රැත සංහිතා උත්තරස්ථාන ප්‍රාරම්භයේදීම දක්වා ඇති ශ්ලෝකයකින් කියෑවෙන්නේ දසරුවින් උඩ(උරහිසින් ඉහල/ ගෙල සහ හිස) ප්‍රදේශයේ හට ගන්නා රෝග පිළිබදව නිදාන හා චිකිත්සාව යන ප්‍රධාන මාතෘකා දෙක නිමි, කරාලභට්ඨ, ශෞනක, ජනක  යන ආචාර්යවරුන් විසින් කරන ලද්දාවු ශාලාක්‍ය තන්ත්‍රයන්ගෙන් උපුටා ගත් බවයි. එසේම පාර්වතක, ජීවක, බන්ධක ආදි ආයුර්වේද කතුවරුන් විසින් රචිත කෞමාරභෘත්‍යය සංග්‍රහයන්ගෙන් බාල රෝග චිකිත්සාව හා බාලකරක්ෂාවිධි යන තොරතුරු එකතු කර ගත් බවයි. මීට අමතරව වෙන වෙනත් චිකිත්සාවන් ආත්‍රේය ශිෂ්‍ය අග්නිවේශ ආදී වු ශිෂ්‍යයන් සයදෙන‍ගේ කෘති වලින් ලබා ගත් බවද  එම ‍ශ්ලෝකයේ වැඩිදුරටත් දැක්වේ. එසේ නමුත් කාස ස්වාස ආදී රෝගයන්ගේ නිදාන චික්ත්සා ද්ව්ත්වය සංග්‍රහ කරන ලද්දේ නාගාර්ජුන විසින්ම බව පැහැදිලිය.

අග්නිවේශ තන්ත්‍රය ප්‍රතිසංස්කරණය කල චරක එයට චරක සංහිතා යන නාමය දුන් පසුවද විවිධ කතුවරුන් විසින් පසුකාළිනව චරක සංහිතාවට විවිධ කොටස් නැවත එකතු කල බව දැක්වුනද(දෘඩබල ආදී) නාගාර්ජුන සුශ්‍රැත සංහිතාව එලිදැක්වීමෙන් පසුව එය නැවත ප්‍රතිසංස්කරණය කල අයෙක් ගැන දැනගන්නට නොමැත. නාගාර්ජුන චරකය ප්‍රතිසංස්කරණය කල දෘඩබලයන්ට පෙරින් ජීවත් වු අයෙකු බව සුශ්‍රැතයේ සහ චරකයේ දැක්වෙන උදර අශ්මරී රෝග චිකිත්සා පිළිබද විස්තර තුලිත කිරීමේදි පැහැදිලි කර ගත හැක.

සුශ්‍රැත සංහිතාව මනා කොට රචනා කරන ලද ග්‍රන්ථය යන වග පැහැදිලිවම කිව හැක. සුශ්‍රැත උත්තරාස්ථාන කාය චිකිත්සාව විවිධ තන්ත්‍රයන්ගෙන් සංගෘහිත යැයි කීවද එහි මෞලිකත්වය මෙන්ම  ලිපිකෞෂල්‍යයද බෙහෙවින් ඇති බව ලහත කරුනෙන් සනාථ වේ. මාධව නිදානය රචිත මාධව පඬිතුමා තම නිදාන ග්‍රන්ථය රචනා කිරීමේදි වැඩි වශයෙන්ම පාඨ උපුටා ගෙන ඇත්තේ සුශ්‍රැත සංහිතාවෙනි. ඒ චරක සංහිතා අශ්ඨාංග හෘදය සංහිතා වැනි අනෙකුත් වෘද්ධත්‍රයේ ග්‍රන්ථ තිබියදීය. මාධව ආචාර්ය වරයා එසේ කරන්නට ඇත්තේ සුශ්‍රැත සංහිතාව රචිත භාෂාවේ හා අන්තර්ගත කරුණු වල සුපැහැදිලි භාවය නිසා මිස වෙන කුමක් නිසා විය හැකිද?

සුශ්‍රැත සෘෂි වරයා ජීවත් ව සිටි කාලය නිශ්චිතව කිව නොහැකි මුත් බුද්ධ කාලයට ශත වර්ෂ තුන හතරකට පෙර විසුවේ යැයි සිතිය හැක. වෛදික යුගයේදී බොහෝ ශල්‍ය තන්ත්‍ර ප්‍රචලිතව පැවතියත් සුශ්‍රැතය හැර අන්‍ය ග්‍රන්ථයක් වර්ථමානයේ හමු වන්නේ නැත. සුහ්‍රැත සංහිතාවේ දක්වා ඇති අංග විනිශ්චය විද්‍යාව(Anatomy) යුරෝපීය ශරීර තත්ත්ව විද්‍යාවටත් වඩා ශ්‍රේෂ්ඨ යැයි කිව හැකිය. සුශ්‍රැතයේ එන සියල්ල සෘෂි භාෂිත ආප්ත වාක්‍ය ලෙස නොව ප්‍රත්‍යක්ෂ දර්ශනය කරන කොට ඇති අත්දැකීම් වේ. ශල්‍ය චිකිත්සාවේ(Surgery)  ආදි ගුරුවරුන් භාරතීය සෘෂීවරයන් යැයි කිමෙහි අතිශයෝක්තියක් නැති බව පැහැදිලිය. උදාහරණ ලෙස සිරුරේ එක් තැනකින් කපා ගත් සම අන් තැනෙක යෙදීමේ රහස (Plastic Surgery) යුරෝපියයන් සුශ්‍රැත සහිතාවෙන් උගත් බව ඔවුන් විසින්ම පිළිගෙන ඇත.

ශල්‍ය චිකිත්සාව සදහා යොදා ගන්නා විවිධ අස්ත්‍ර සහ ශස්ත්‍ර වර්ගද ඒවා නිර්මාණය කර ගන්නා ආකාරයද විධිමත්ව මෙහි දක්වා ඇත. වෛද්‍යවරයාගේ ප්‍රධාන යන්ත්‍රය අත බව සුශ්‍රැතයෙහි සදහන් වේ. ශරීරවිද්‍යා (Anatomy),ශරීරතත්ත්ව(Pathology), නිදාන, ශල්‍ය තන්ත්‍ර(Surgery), ධාත්‍රීවිද්‍යා සහ ස්ත්‍රී රෝග(Obstetrics & Gynecology), අස්ත්‍ර විධි, අගදතන්ත්‍රය(Toxicology), කෞමාරභෘත්‍යය(Pediatrics), ශස්ත්‍රසාධ්‍ය චිකිත්සා, ඉන්ද්‍රීය විඥාන, ගර්භාවක්‍රාන්ති ශරීර, භෛෂජ විධාන(Pharmacology), භූත විද්‍යා(Psychiatry), රසායන ආදි චිකිත්සා විඥානයට අයත් සියළුම අංශ පිළිබදව සුශ්‍රැතයේ සදහන්ය.

සුශ්‍රැත සංහිතාවේ සදහන් ප්‍රධානතම හා විශේෂිතම පදයක් වන්නේ පුරුෂඡෙත්තා යන්නයි. මෙම පදයෙන් බිදි ආවක් ලෙස ඩිසෙක්ටර්(Dissector) යන නාම පදය ඇති විය.