ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය ආයුර්වේදයේ ව්‍යුත්පන්නයක්ද?

භාරතීය ආයුර්වේදීය වෛද්‍ය සම්ප්‍රදාය නම්වූ මහා වෘක්ෂය සෙවනේ හැදී වැඩී ඉන් පෝෂණය ලද ශාකා වෛද්‍ය සම්ප්‍රදායක් ලෙස සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය හැදින්වීමට බොහෝ දෙනා පෙළඹී සිටින්නේ මෙම වෛද්‍ය සම්ප්‍රදායයන් දෙක තුලම ඇති බොහෝමයක් න්‍යායාත්මක හා සංකල්පීය සමානතාවයන් පදනම් කරගෙන විය යුත බව අපගේ හැඟීමයි. එහෙත් එවැනි සමානතාවයන් තිබූ පමණින් සම්ප්‍රදායයන් දෙකෙහි උත්පත්තීන් ගැන මෙවැනි නිගමනයකට එළඹීම යුක්තියුක්තද? සැබවින්ම සිද්ධ වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයේ ව්‍යුත්පන්නයක් ලෙස හැදින්වීමට සාධාරණ පදනමක් තිබේද? අප මෙම ලිපි මාලාවෙන් සොයා බලන්නට උත්සහ කරන්නේ ඒ පිළිබඳවයි.

ඉතිහාසය කුණු කූඩයක් නොව දැනුම් ගබඩාවකි.

පුරාණ භාරතීය හින්දු ආගමික විශ්වාසයන්ට අනූළු ලොව මැවුම්කාර දෙවි “මහාබ්‍රහ්ම” විසින් තම ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගෙන සිටි විශිෂ්ටතම ශාස්ත්‍රයක් ලෙස ආයුර්වේදය හදුන්වා දී ඇත. එසේම මූල ග්‍රන්ථ වල සඳහන් ආයුර්වේදයේ මූලික විකාශය පිළිබඳ තොරතුරු තුල ආයුර්වේදය හදුන්වා දී ඇත්තේ හින්දු ආගමේ එන ඉන්ද්‍ර/ශක්‍ර දෙවියන් ගෙන් මනුෂ්‍යයන් ලද මහානර්ඝතම ත්‍යාගයක් නැතිනම් වස්තුවක්  ලෙසයි. ඒ අනූව මනුෂ්‍යයන් ආයුර්වේදය උගත්තේ දෙවියන්ගෙන් බව ආයුර්වේදාවතරණයේ විචිත්‍රවත්ව දක්වා ඇත. කෙසේ වෙතත් මෙහි සත්‍යාසත්‍යතාවය ගැඹුරින් විමසා බැලීමෙදී පෙරදිග ශීෂ්ඨාචාර බිහිවු යුගය දක්වා ඉතිහාසයට යාමට සිදුවීම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයකි. පළමුව ඒ ඉතිහාසය සැකවින් හෝ දැන ගැනීම වැදගත්ය.

ඒ අනූව පෙරදිග මුල්වරට විධිමත්වූත් බුද්ධිමත්වූත් ශිෂ්ඨාචාරයක් ගොඩ නැ‍‍‍ගෙන්නේ චීනයේ හොවැංහෝ ගංඟා නිම්න කේන්ද්‍ර කර ගනිමිනි. මොංගෝලියානු මානව ගනයට අයත් මානවයින් විසින් ක්‍රමිකව ගොඩනැඟූ සමාජ, ආර්ථික හා සංස්කෘතික පරිසරය තුල චීන ශිෂ්ඨාචාරය නොවූ විරූ ඉහල ස්ථානයකට පැමිණ තිබේ.  බුද්ධිමතුන් හා ප්‍රාඥයින් ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ ඇතිවන ගැටළු සඳහා පිළිතුරු සෙවීමට උත්සහ දරා ඇත්තේ මෙලෙස ගොඩනැගෙන සමාජ සංස්ථාව තුල ඔවුන්ට හිමි කාර්යයභාර්යය මුළු මහත් මානව වර්ගයා වෙනුවෙන්ම ඉටුකිරිම සඳහාය. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස එම ශිෂ්ඨාචාරය තුල විවිධ ක්ෂේත්‍රයන්ගේ බුද්ධිමය විප්ලවයන් වන අතර තුර තම ප්‍රජාවන්හී සෞඛ්‍යය සම්බන්ධයෙන්ද අවධානය යෙමුවී ඇති අතර සෞඛ්‍යය සංරක්ෂණ ක්‍රමයක් ලෙස මූලික චීන වෛද්‍ය ක්‍රමය ගොඩනැගෙන්නේ එහි අවසන් ඵලය ලෙසය. එය පෙරඅපරදෙදිග මිනිසා ශිෂ්ඨාචාරගත වීමත් සමග බිහිවු පළමු විධිමත් වෛද්‍ය ක්‍රමය ලෙස හැඳින්විය හැක.

යුප්‍රටීස්-ටෛග්‍රීස් ගංඟා නිම්නයේ සිට ඉන්දු නිම්න කරා……..

චීන ශිෂ්ඨාචාරයට සාපේක්ෂය ආසියාවේ දෙවනුව වර්ධනය වන විධිමත් ශිෂ්ඨාචාරය ඇති වන්නේ බටහිර ආසියාවේ යුප්‍රටීස්-ටෛග්‍රීස් ගංඟා නිම්න කේන්ද්‍ර කරගනිමිනි. එය හදුන්වන්නේ බැබිලෝනියානූ ශිෂ්ඨාචාරය යන නමිනි. කොකසයිඩ් මානව ගනයට අයත් එහි ජනතාව මුල් අවස්ථාවේ සිටම ප්‍රධාන වශයෙන් සුමේරියන් සහ ඇසිරියන් යන ජාතිද්වයට බෙදී යථොක්ත ගංඟා නිම්නයෙහි දෙපස පිහිටි භූමිභාග වල ජනපද පිහිටුවා සුමේරියාව සහ ඇසිරියාව යනුවෙන් රාජ්‍යයන්ද බිහිකොට ගෙන සිටියෝය. නව ලොව වෙත ප්‍රථම වරට තඹ, යකඩ වැනි විවිධ ලෝහ සොයාගැනීම සිදුකරන්නේ මොවුන් විසිනි. එම ලොහ මිශ්‍රනයන්ගෙන් ලොකඩ නිශ්පාදනයටත් එමගින් විවිධ ආයුධ සහ උපකරණ නිපදවීමටත් ඔවුන් දෙපාර්ශවයම ඒ අතරම දැන සිටියහ. මෙම ශිෂ්ඨාචාර භූමිය තුල කල්යත්ම භූමිය සහ සම්පත් පිළිබඳ ගැටළු පැන නැ‍ඟෙන්නේ ඒවා ගැටුම් දක්වා වර්ධනය කරමිනි. මෙම ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයම දැඩි අර්බුදයකට යන අතර වඩාත් සුවපහසු සහ ඉඩකඩ සහිත නව පරිසරයක් සොයා පළමුවෙන්ම නැගෙනහිර දෙසට සංක්‍රමණය වීම අරඹන්නේ ඇසිරියන් ජාතිකයින්ය. ඒහිදි ඔවුන් ඔවුනට හමුවන නොදියුනු ගෝත්‍රික ජනයා සමග සටන් වැද ජයග්‍රහන ලබමින් ඉදිරියටම ගොස් ඇත. අවසන ඔවුන් ‍තම නව නවාතැන බවට පත් කර ගන්නේ මධ්‍යම ආසියාවේ ඉන්දියානු භූමියේ පිහිටියා වූ සින්ධු නදී නිම්නයයි. ඔවුන් එය ඔවුන්ගේ නව ජනාවාස භූමිය බවට පත්කර ගනිමින් කෘෂිකාර්මික ජීවිත රටාවකට හුරුවූ නව ශිෂ්ඨාචාරයක් ගොඩනඟන්නේය.

මේ අතර සුමේරියානුවන් බටහිර දෙසට සංක්‍රමණය වූ අතර ඒ පුරාණ මිසරය දෙසටය. මිසර දේශය ආසන්නයේ කාන්තාර ප්‍රදේශවල ජීවත් වීම අපහසු වීම හේතුවෙන් සහ මිසර දේශ වාසීන් සුමේරීයානුවන්ව වහල් සේවය සඳහා  යොදා ගැනීම නිසාවෙන් හටගත් තත්ත්වය හමුවේ නැවතත් නැගෙනහිර දෙසට සමූහ වශයෙන් සංක්‍රමණය වීමට සුමේරීයානුවන් කටයුතු කරන්නේ වඩාත් හොඳ ජීවිතයක් සොයාය. මෙම සමූහ සංක්‍රමණයේදී මොවුන් පළමුව ඇසිරියානූ ජනාවාස වලට උපක්‍රමශිලීව ඇතුළුවී ඒවා තුල අවශෝෂණය වෙමින් අවසානායේ උත්තර භාරත ප්‍රදේශ වෙතට ව්‍යාප්ත වී ගොස් තිබේ.(මෙම ජාතීන් දෙක අතර ඇතිව තිබූ අනවරත අරගලය භාරතීය සංස්කෘත භාෂාමය ග්‍රන්ථයන්හී විස්තර කර ඇත්තේ දේවකථා විලාශයෙනි. එහිදී සුමේරියන් වරුන් සුරයන් ලෙසද ඇසිරියන් ජනතාව අසුරයන් ලෙසද හුවා දක්වා ඇත්තේ සකුවට හුරු උච්ඡාරනයේ පහසුව සලසාය.)

සුමේරීයානුවන්ගේ ආක්‍රමණශීලි සංක්‍රමණයෙහිදී ඇසිරියන් සමාජ වල බල පරාක්‍රමයත්, දේපළවල උරුමයත්, ආරක්ෂාකිරීමට යෙදූ ප්‍රතික්‍රියා නිසා හටගත් අරගලය උත්තර භාරතීය හා දක්ෂිණ භාරතීය ශිෂ්ඨාචාටයන් තම තමන්ගේ දෘෂ්ටිකෝණ වලින් සාහිත්‍ය මුසු වීර සාහිත්‍යයක් බවට පත් කරන්නේ “සුරඅසුර සංග්‍රාමය” යනුවෙන් හැදින්වෙන හින්දු ජනප්‍රවාදය සමාජයට එකතු කරමිනි. මෙයට අතිශයෝක්තීන්ගෙන්ද හැඩවැඩ වීම්ද සහිතව දේව සංකල්පයන්ද එක්ව තිබෙන්නේ තම ජනයාගේ අධ්‍යාත්මයටම ආමන්ත්‍රණය කිරීම සඳහාය.   

දක්ෂිණ භාරතීය ගංඟා නිම්න ජනාවාස වීම  

ක්‍රි. පූර්ව 3000-2500 අතර කාලයේදී දක්ෂිණ භාරතයට සංක්‍රමණය වූ ඇසීරීයන් ප්‍රභවයේ අසුර ජන සමුහය  ඒ වන විට දේශියව විසූ  නොදියුනු මානව කණ්ඩායම් සමග  සහයෝගයෙන් සහ සම්මිශ්‍රණයෙන් යුතුව කෘෂීකාර්මය ප්‍රධාන කොට ගත් ජීවන රටාවකට අවතීර්ණ ව සිටි බව පෙර අවස්ථාවකද අප සඳහන් කලෙමු. මොවුන් අතර සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් වර්ධනය වී ඇත්තේ එකිනෙකා අනුගමනය කල ක්‍රියා මාර්ග හේතුවෙනි. තඹ, යකඩ, ලොකඩ වැනි ලෝහ වර්ග භාවිතයෙන් නව පන්නයේ ආයුධ සහ මෙවලම් නිර්මාණයට ඔවුන් ලද පරිචිතය දේශිය ජනතාවටද බෙදා දීමෙන් සමාජ පරිවර්තනය සිදුවි ඇත.එකිනෙකාගේ සිතුම් පැතුම් හා ආචාරධර්ම විධි හුවමාරුව සිදුව ඇත්තේ ඉතාමත් මිත්‍රශීලි ආකාරයටය. සුමේරීයානු මූලශ්‍ර වලින් පැවත එන සුරයන්ගේ ආක්‍රමණයට අභියෝග කිරීමද මේ තුලින් හැකියාව ලැබී ඇත. මේ සඳහා ගව්වරී, වෙයිගෙයි, තාමර්පර්ණි යන නදී ප්‍රාන්තයන්හී ගම් දනවු පිහිටුවා නගර ඉදි කොට ප්‍රදේශයන් සක්‍රීය කිරීමද සිදුවූ බව විස්තර කෙරේ.

ක්‍රි. පූර්ව 1600-1500 අතර කාලය වන විට බුද්ධි වර්ධනයේ අගතැන්පත්  අධ්‍යාත්මික තත්ත්වලාභි  “අගස්ති මුනි” නම් මහාර්ෂි වරයා‍ගේ සේවය දක්ෂිණ භාරතීය සමාජයට ලැබීම සිදුව ඇත. මෙහි ප්‍රතිඵල ලෙස ශාස්ත්‍රීය පදනම සහිත සාහිත්‍යමය වර්ධනයක්ද, සෞඛ්‍යය රක්ෂණ විධි සහ රෝග නිවාරණ ක්‍රමද සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ ශීඝ්‍ර දියුණුවක්ද හට ගෙන ඇත්තේ පසුකාලිනව පුනරුද සමයේ යුරෝපය සිදුවු ආකාරයටමය.කාල වකවානු අනූව  උත්තර භාරතීය ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය ප්‍රභවය සහ ව්‍යාප්තිය සිදුවන කාලපරිච්ඡේදයට අනුරුපි වන පරිදි  දක්ෂිණ භාරතය තුලද චිකිත්සා සම්ප්‍රදායක් බීහිවීම සිදුව තිබේන බව එයින් පෙනේ. සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය යන නාමයෙන් පසුකාලීනව ප්‍රකට වී ඇත්තේ එයයි. සිද්ධයන් හෙවත් යෝගී මුණිවරයන් විසින් සංවර්ධනය කරන ලද හෙයින් යථෝකත හැදින්වීම ඒයට ව්‍යවහාර කරන්නට පටන්ගත් බව ඉතිහාසයේ සටහන්ව ඇත.  

ආරම්භයේදි උත්තර භාරතය සහ දක්ෂිණ භාරතය අතර නොගැලපීම් සහ විරසකයන් තිබුනද පසුකාලීනව මිතු සම්බන්ධතා සහ සංස්කෘතික හුවමාරුව පැවැත්වීමේ පුරෝගාමියා ලෙස ක්‍රියා කර ඇත්තේද අගස්ති මුනිවරයාය. එතුමා සිද්ධ වෛද්‍ය සම්ප්‍රදායේ පීතෘවරයාය. පංච නදී තීර්තයෙහි අත්‍රේය මහර්ෂිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති චිර ප්‍රසිද්ධ වෛද්‍ය සාකච්ඡා සම්මේලනයට අගස්තිමුනිවරයාද සහභාගිවී ඇත(චරක/ සූත්‍ර/දීර්‍ඝඤ්ජීවිතීය අධ්‍යාය/03). එහිදී අගස්ති මුනි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයද මැනවින් උගත් බව ඉතිහාසයේ සඳහන්ය. ඉන් ඉක්බිතිව  සිය දේශයට සම්ප්‍රාප්ත වූ අගස්තිමුනි තෙමේ සිය සමාජයට ගැලපෙන අයුරින් සහ දේශිකව සපයා ගත හැකි ඖෂධ සම්පත් උපයෝගී කොට ගෙන සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය වැඩි වර්ධනය කර ඇත්තේ ආයුර්වේද සිද්ධාන්තයන් හා න්‍යායයන් යෝග්‍ය පරිදි සිය වෛද්‍ය සම්ප්‍රදායයට ගලපා ගනිමිනි.

මහාබ්‍රහ්ම වෙනුවට ශීව දෙවියන් ආදේශවීම

ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය බ්‍රහ්ම දේවයා විසින් ස්වයංභූ ඥානයෙන් අවබෝධ කොට ගෙන හේතු ලිංග සහ ඖෂධඥාන යන අංගත්‍රයෙන් සමන්විතව බිහිකල විද්‍යාවක් බව සදහන්වේ. එහෙයින් එය බ්‍රහ්ම වෛද්‍ය සම්ප්‍රදාය යන නාමයෙනුදු හැදින්වෙනු දැකිය හැකිය. එහෙත් සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය නිර්මාතෘ වරයා යැයි දක්ෂිණ භාරතීයයන් සලකන්නේ ශිව දෙවියන්වය. සිද්ධ වෛද්‍ය සාහිත්‍යයට අනූව ශ්‍රව දෙවියන් විසින් තමන් විසින්ම අවබෝධ කරගත් එම වෛද්‍ය ක්‍රමය පාර්වතියට උගන්වා තිබේ. ඕතොමෝ ශිවගේ භාර්යාවයෝය. නන්දිදේව පර්වතියගෙන් එය හදාරා ඇත. අගස්ති මුනිවරයා එය උගෙන ගෙන ඇත්තේ නන්දිදේව දේවයාගෙනි. ඒ අනුව සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය ශිව වෛද්‍ය සම්ප්‍රදාය යන අපර නාමයෙනුද ප්‍රචලිතව තිබේ.

මෙහිදි ප්‍රකට වනුයේ ආදි කාලීන භාරතීය ශිෂ්ඨ සම්පන්න සමාජයන්හී බුද්ධිමතුන් විසින් අනුගමනය කල ක්‍රියා පටිපාටියයි. සමාජයට ප්‍රයෝජනවත් එසේම විශිෂ්ඨ සොයාගැනිමක් වුවද එය ස්වකීය බුද්ධි මහිමයෙන් සහ කරනු ලැබූ පර්යේෂණයන්ගේ ප්‍රතිළුල මතින්  සොයා ගත්තද ඒවායේ ආරම්භය දෙවිකෙනෙකුන් සතු කොට එහි ගෞරවය හා ගර්වය තමන් වෙතින් ඉවත් කොට තැබීම සිදුව ඇත. මෙය අරමුණු දෙකක් සඵල කර ගැනීම සදහා කල බැව් උපකල්පනය කල හැක. තමන්ද තම සමාජයද අදහන පිළිගනු ලබන හෝ විශ්වාස කරන දෙවියෙකු හෝ දේව මණ්ඩලයක් වෙත ‍නව සොයා ගැනීම් වල ගෞරවය ලබා දීම තුලින් තමන්ගේ වීරයයන්ට සම්මාන පිරිනැමීමක් සිදුකල හැකි බව ඔවුන් සිතු බව එක් උපකල්පනයකි. එසේම අනියමින් සමාජයේ සෙසු පිරිස් අතර මෙම නව සොයාගැනීම් වලට පිළීගැනීමක් ලබා දීමට ඒ හරහා හැකිවන්නේය යන විශ්වාසය බුද්ධිමතුන් තුල වන්නට ඇත යන්න දෙවන උපකල්පනයයි. මිනිසෙකු විසින් සොයාගත් දෙයකට වඩා දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු විසින් සොයා ගත්තායැයි සඳහන් දෙයක් ආදරයෙන් හා විශ්වාසයෙන් වැළඳ ගැනීමට අද සේම එදා සමාජය කැමති වන්නට ඇතැයි අපට සිතිය හැක.

සිද්ධ වෛද්‍ය ක්‍රමයේ නිර්මාපකයින්….

සිද්ධ යන නාමයන් හඳුන්වනුයේ ප්‍රාණයාම ආදී යෝග ක්‍රමයන්ගෙන් කායකල්ප ආදී රසායනික චිකිත්සාවන්ගෙන්ද අධ්‍යාත්මික ජීව බලයක් සහ දීර්ඝායුෂ වින්දනයක් ලබා ගත් මුනිවරයන්ය. ඔවුන් විසින් ප්‍රත්‍යක්ෂව සිද්ධ කොට ගත් ප්‍රතිකාර පද්ධතිය සිද්ධ වෛද්‍ය ක්‍රමය යනුවෙන් හැදින්වේ. ඒ සඳහා සිද්ධ මුනිවරයන් අටලොස් දෙනෙකුගේ බුද්ධි මහිමයත් ශ්‍රමයත් ක්‍රියාකාරීත්වයත් උපයෝගී වී තිබේ.  

නන්දිදේව, අයිදෙක්කාතාර්, කොන්කානවර්, අගස්තියාර්, බෝගර්මුනි, අසුගන්නි, ත්‍රිමුලර්, පුලිකයිඅයියාර්, අගප්පෙයි, පුලස්තියාර්, පම්බත්ති, පුන්නක්කේසර්, තෙරෙයියාර් වැනි මුනිවරුන් ‍දහඅට දෙනෙකු සිද්ධ වෛද්‍ය ක්‍රමයේ දියුණුවට ඇප කැප වි ඇත. මෙම මුනිවරුන් සිය සොයා ගැනීම් සිද්ධ වෛද්‍ය සම්ප්‍රදායේ උන්නතිය සඳහා හෙළිපෙහෙළි කරමින් ග්‍රන්ථ සම්පාදනය කර ඇත්තේ මුලික ද්‍රවිඩ භාෂාවෙනි. ඔවුන් අතරින් අගස්තියාර්, ත්‍රිමුලර් යන මුනිවරයින්ගේ නිර්මාණ බෙහෙවින් ගෞරවයට පාත්‍රවී තිබේ. එහෙත් ඒ වෛද්‍ය ග්‍රන්ථ අතරින් බොහොමයක් අද වන විට නෂ්ට ගොස් තිබෙන්නේ ආයුර්වේදයට සිදුවු පරිද්දෙමිනි.

සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය සහ ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය සංකල්පීය වශයෙන් එකිනෙකට බොහෝ දුරට සමාන වුවද ප්‍රභවය, මූලධර්ම විග්‍රහය, රෝග රෝගී පරික්ෂා විධි, චිකිත්සා ක්‍රම, භෛෂජ්‍යය කල්පය යන අංශයන්හී විවිධ වෙනස්කම් පවතී. එයින් පැහැදිලි වනුයේ සිද්ධ වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයේ තව භවයක් නොව ස්වාධිනව බිහිවී එහෙත් සංකලනයෙන් පෝෂණයක් ලබා ජනතා අනුග්‍රහය උපරිම ප්‍රමාණයෙන් ලබා ගත් ශාස්ත්‍රීය වෛද්‍ය ක්‍රමයක් බවයි.සිද්ධ ‍වෛද්‍ය මූල න්‍යාය අනූව ද්‍රව්‍ය පදාර්ථය ශිව දෙවියාටද, ශක්ති පදාර්ථය පාර්වතී දේවියටද අනුබද්ධ වේ. විශ්වයත් පෘථිවියත් එහි අන්තර්ගත සියල්ලත් උභය දේව සංයෝගයේ ප්‍රතිඵලය වශයෙන්ද දක්වා තිබේ. එසේම උප්පත්තිය, ස්ථිතිය පවත්වා අවසාන සංහාරයට හෙවත් අභාවයට පැමිණේන බවද දක්වයි. ඒ සඳහා උපයෝගී වන පංච භූත විශ්ලේෂණය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදායේ මූලධර්ම අනූව ආයුර්වේදයට තරමක් සමානය. සිද්ධ වෛද්‍ය සම්ප්‍රදායේ විශේෂත්වයක් වන්නේ එයට ආවේනික කොට ගත් ඖෂධී්‍ය වටිනා කමක් සහිත ඛනිජ ද්‍රව්‍ය පංචභූතයන්ගේ අධිකබව පරිදි විශේෂ වර්ග කිරීමකට භාජනය කොට තිබීමයි.

ආයුර්වේදය සහ සිද්ධ වෛද්‍ය ක්‍රමය අනූව  ජීවිතයේ වයස් සීමා අනූව ත්‍රිධාතු(ආයුර්වේදයට අනූව ත්‍රිදෝෂ) ප්‍රභලව ක්‍රියා කරනවායැයි සඳහන් වන ආකාරයන් වෙනස් වී ඇත. ආයුර්වේදයට අනූව බාල කාලයේ කඵ දෝෂයත් තරුණ කාලයේදී පිත්ත දෝෂයත් වෘද්ධ කාලයේදී වාත දෝෂයත් ප්‍රබල වන බව දක්වා ඇත. නමුත් සිද්ධ වෛද්‍ය ක්‍රමය තුල තරුණ කාලයේදී ප්‍රධාන වන පිත්ත දෝෂය හැර බාල කාලයේදී ප්‍රධාන වන ‍දෝෂය ලෙස වාත දෝෂයත් වෘද්ධ කාලයේදී කඵ දො‍ෂයත් ලෙස දක්වා ඇත. මෙම වෙනසට හේතුව ලෙස උත්තර සහ දක්ෂිණ භාරත කළාප වල ඇති දේශගුණික වෙනස බලපාන්නට ඇතය යන්න සිතිය හැක.

වෛද්‍ය කර්මය තුල

රෝග පරික්ෂාවේදී නාඩි පරීක්ෂණය ඉතාමත් දක්ෂතාවයකින් හා කෘතහස්තභවකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය තුල දැඩි වෙහෙසක් දරයි. එමගින් ධමනි ස්පන්ධන තත්ත්වය සහ ස්නායු ක්‍රියාකාරීත්වය යන අවස්ථාද්වයම පරික්ෂාවට ලක්කිරීමට උත්සහ දරා ඇත. මෙසේ වැඩී ගිය නාඩි පරීක්ෂාව ආයුර්වේදයට ගලපා ඇත්තේ පසු කාලයකදීය. අගස්ති මුනිවරයා‍ගේ නාඩි පරික්ෂා නිර්දේශ බහු සම්මානයට පාත්‍රව පවති. එය එතුමන් අත්කර ගන්නට ඇත්තේ ‍යම් වෙනත් ප්‍රභවයකින්ද යන්න ‍විවිදාපන්න කරුණකි. තවද මුත්‍රා පරික්ෂාවද රෝග විනිශ්චය සඳහා මහෝපකාරි වන බව කෙරෙයියාර් මුනිවරයාගේ නිර්දේශයන්ගෙන් පෙනේ. ආයුර්වේදය ශෝධන කර්‍ම ප්‍රයෝගය සඳහා පුළුල් අධ්‍යයනයක් ඉදිරිපත් කරන ලද නමුත් පශ්චාත් කාලීන චිකිත්සා ක්ෂේත්‍රය එය ඒ තරම් ප්‍රයෝජනයට ගෙන නැති බව පෙනේ.එයට හේතුව නම් නාගර්ජුනයන්ගේ රස වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයට පිවිස ගැනීමෙන් ලද සාර්ථක ප්‍රථිඵල ලාභයයි. එහෙත් සිද්ධ වෛදය ක්‍රමයේ උරුමය හා හරය වූ රස වෛද්‍ය ක්‍රමයේදී ඖෂධ ප්‍රයෝගයට ප්‍රථම උචිත ශෝධන කර්මයක් යථා යොග්‍ය පරිදි සිදු කිරීම ක්‍රමයයි. එනිසා උත්තර භාරතීය වෛද්‍ය සමාජය ප්‍රයෝග කරන ප්‍රමාණයට වඩා බහුලීකරණයක් පංචකර්‍ම සම්බන්ධව දක්ෂිණ භාරතීය සිද්ධ වෛද්‍ය ක්‍රමය  සිදුකරයි. පංච කර්‍මයේදී පූර්වකර්‍ම කිරීම අයුර්වේදීය නියමයක් වුවත් සිද්ධ වෛදය ක්‍රමය එයට එතරම් සැලකිල්ලක් දක්වා නැත.

විවිධ රෝග සහ රෝග පඞ්තීන් සඳහා සිද්ධ වෛද්‍ය ක්‍රමය තුල සඳහන්චිකිත්සාවන්ද ආයුර්වේදීය චිකිත්සා ක්‍රමයන්ද  සසදා බැලීමේදී යම් යම් ක්ෂේත්‍ර තුල සිද්ධ වෛද්‍ය ක්‍රමය ඉදිරියෙන් සිටින බව දැකගැනීමට පුළුවන. උදාහරණ ලෙස බාල රෝග, ඌර්ධවාංග රෝග එයිනුත් අක්ෂි රෝග විශේෂයෙන් සඳහන් කල හැක. මීට අමතරව ආයුර්වේදීය තර්පණ චිකිත්සාව (රසායන සහ වාජීකරණ) සමාන්තරව සිද්ධ වෛද්‍ය සම්ප්‍රදායේ දැක්වෙනුයේ “කාය කල්ප” චිකිත්සාවයි. එයින් ජරාව සහ ව්‍යාධි අවස්ථා පහව යන අතර දීර්ඝායුර්වින්දනය සහිත “ජීවන් මුක්තිය” උදෙසා යෝග ක්‍රම අනූව ශරීරය හැඩ ගැස්වීමේ ප්‍රතිලාභයද අයත්වේ.

සිද්ධ වෛද්‍ය සම්ප්‍රදායේ ද්‍රව්‍යගුණ විඥාණයද භෛෂජ්‍ය කල්පයද විශේෂයෙන් සාකච්ඡා කල යුතු මාතෘකා වේ. එසේම සිද්ධ වෛද්‍ය ක්‍රමය හා චීන වෛද්‍ය ක්‍රමය අතර සම්බන්ධයද ඒආකාරයෙන්ම සාකච්ඡා කල යුතු මාතෘකා අතර වේ. එම සම්බන්ධය තුලින් ආයුර්වේදය  සිද්ධ වෛද්‍ය ක්‍රමය ඇතුළු පෙරදිග වෛද්‍ය ක්‍රමයන්ගේ මූලය නව මානයක් ඔස්සේ එලිදැක්වීමට අවස්ථාව උදා වනු ඇත. එය බොහො විට ආයුර්වේද පාඨකයනටද නවමු අත්දැකීමක් විය හැකි බැවින් මෙම ලිපි මාලාවේ මීළඟ දිගහැරුමෙන් ඒ පිළිබඳව තව දුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නෙමු.   

මූලාශ්‍ර :ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයීය ස්වර්ණ ජයන්තිය(ප්‍රථම භාගය)  ,සම්පාදනය වෛද්‍යචාර්ය පණ්ඩිත කේ.ජී.පී   ජයතිලක මහතා