ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ස්වේද කර්‍ම

wedasa steambathපංච කර්ම චිකිත්සාවන් සිදු කිරීමට ප්‍රථම සිදු කරනු ලබන පූර්ව කර්මයන් පිළිබදව සාකච්ඡා කරනු ලබන ලිපි මාලවේ අවසන් ලිපිය ලෙස මෙම ලිපිය තුලින් ස්වේද කර්‍ම නැතහොත් ඩහ ගැන්වීම යන ක්‍රියාව/ කර්මය පිළිබදව සාකච්ඡා කරනු ලැබේ. මීට පෙර පංචකර්‍ම චිකිත්සාව යන මාතෘකාව යටතේ පලවු ලිපි තුන තුල පංචකර්‍ම පිළිබදව මූලික අදහසකුත් පළමු පූර්‍ව කර්‍මය වන ස්නේහ කර්‍ම පිළීබදව සම්පූර්ණ විස්තරයකුත් ඉදිරිපත් කලෙමු. පූර්ව කර්‍මයන් දෙකක් පංචකර්‍ම චිකිත්සාවේදි දක්වා ඇති බව පෙර අවස්ථාවකදීත් සදහන් කළෙමු. ස්නේහ කර්‍ම තුලින් ශරීරයේ මෘදු බවත් ස්වේද කර්‍ම තුලින් ස්‍රෝතස් අවරෝධයත් දුරලයි යනුවෙන් චරකයේ සදහන්ව ඇත. චරක සංහිතා සිද්ධිස්ථාන පළමු අධ්‍යායය හතතරවැනි ශ්‍ලෝකයෙන් පැවසෙන්නේ එයයි.

“ස්නිග්ධස්‍ය සූක්ෂ්මෙෂ්වයනෙෂු ලීනං ස්වේදස්තු දෝෂං නයති ද්‍රවත්වම්”

එහි තේරුම වන්නේ…. ස්නේහ පානය කිරිමෙන් වාතය නැසෙන බවත්, දේහය මෘදු වෙන බවත්, මල පදාර්ථයන්ගේ බලත්වය නැසෙන බවත්ය. එසේම ස්නේහ ප්‍රයෝගයෙන් පසු ස්වේද දුන් විට සියුම් මාර්ගයන්හි සැඟවී සිටුනා දොස් ද්‍රවත්වයට යෙයි. යන්නයි.

ස්‍රෝතස යනු කුමක්ද?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ඉදිරිපත් කරන සංකල්ප අතුරෙන් ඉතා ප්‍රයෝජනවත් සංකල්පයක් වන්නේ සෝතස් පිළිබද සංකල්පයයි. ශරීරය ඇති ඇසට පෙනෙන මට්ටමේ නාල වල සිට ඇසට නොපෙනෙන ඉතාම සියුම් නාල දක්වා සියල්ලන්ම හදුන්වන්නේ ස්‍රෝතස් යන නමිනි. සිරුරේ සූක්ෂ්ම ස්‍රෝතස් සහ ස්ථුල ස්‍රෝතස් ලෙස ප්‍රධානව ස්‍රෝතස් ආකාර දෙකක් ඇත. රුධිරය මෙම ස්ථූල සහ සූක්ෂ්ම යන ස්‍රො‍්තස් ආකාර දෙක තුලින්ම ගමන් කරයි. එසේම වාතය යනුවෙන් ආයුර්වේදයේ සදහන් වන ශක්ති ප්‍රභේදය/දෝෂය ගමන් කරන්නේද සූක්ෂ්ම ස්‍රෝතස් තුලිනි. මීට අමතරව wedasa srotasබහිරිමුඛ සහ අන්තර්මුඛ යනුවෙන්ද ස්‍රෝතස් වර්ග කර ඇත. බහිර්මුඛ යනු සිරුරෙන් බැහැරට විවෘත වූ විවර ඇති ස්‍රෝතස්ය. එවැනි ස්‍රෝතස් නමයක් පිරිමින්ගේද දොළහක් කාන්තාවන්ගේද ඇති බව ආයුර්වේදයේ උගන්වයි. ඇස් දෙක, කන් දෙක, නාස් පුඬු දෙක, මුඛය, ගුද මාර්ගය සහ මුත්‍ර මාර්ගය පිරිමින්ගේ ඇති ස්‍රෝතස් නමය වේ. කාන්තාවන්ගේ ඉහත ඒවාට අමතරව යෝනි මා‍ර්ගය සහ පයෝදර දෙක යන ස්‍රෝතස් තුන ඇත. සිරුරේ ඇති බාහිරයට විවර නොවු සියළුම නාල හා ප්‍රනාලයන් අන්තර්මුඛ ස්‍රෝතස් ලෙස හදුනා ගත යුතුය. ඇසට පෙනෙන මට්ටමේ සියළුම ස්‍රෝතස් ස්ථූල ස්‍රෝතස් ලෙස දක්වා ඇත.ඒ අනූව ස්ථුල ස්‍රෝතස් දහතුනක් මුල ග්‍රන්ථ වල දක්වා ඇත.

  1. ප්‍රාණවහා ස්‍රෝතස(ශ්වසන පද්ධතිය)
  2. අන්නවහා ස්‍රෝතස(ආහාර ජීර්ණ පද්ධතිය)
  3. උදකවහා ස්‍රෝතස(ආහාර ජීර්ණ පද්ධතිය)
  4. රස, රක්ත, මාංස, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර වහා ස්‍රෝතස් හත
  5. මුත්‍රාවහා  ස්‍රෝතස(බහිස්‍රාවි පද්ධතිය)
  6. පුරීෂවහා ස්‍රෝතස(බහිස්‍රාවි පද්ධතිය)
  7. ස්වේදවහා ස්‍රෝතස(බහිස්‍රාවි පද්ධතිය)

ශරීරයේ මනා ක්‍රියාකාරිත්වය සදහා මේ ස්‍රෝතස් මාර්ගයන්ගේ පිරිසිදු බව සහ අවහිරතාවන්ගෙන් තොරබව අත්‍යාවශ්‍ය අවශ්‍යතාවන්වේ. මෙම ස්‍රෝතස් කුමන ආකාරයකින් හෝ අවරෝධ වන්නේ නම් විවිධ ආකාරයන්ගේ රෝග තත්ත්වයන් හා අවසන මරණය පවා සිදුවිය හැක. ස්‍රෝතස් අවරෝධය දුරු කිරීම පිණිස විශේෂයෙන් ප්‍රතිකාර කරණුයේ එබැවිනි. පංචකර්‍මයේදී පළමුව ස්නේහ කර්ම කරන්නේ ඇයි දැයි මීට පෙර ඔබ ඉගෙන ගෙන ඇත. සුක්ෂ්ම ස්‍රෝතස් ඇතුළු සියළුම ස්‍රෝතසුන්ගේ සැගවී සිටිනා දෝෂ ද්‍රවත්වයට පත් වු විට පහසුවෙන් වහාම කෝෂ්ඨස්ථ/ කුහර කරා පැමිණිමට හැකියාව ලැබේ. එසේ කෝෂ්ඨයන් කරා ද්‍රවත්වයට පත් දෝෂයන් ගෙන ඒමේ කාර්යය සිදුවන්නේ ස්වේද කර්ම කිරීම මගිනි. න්‍යායාත්මක වශයෙන් වඩාත් පුළුල් වූත් පැහැදිලි වූත් ස්වේදන ප්‍රභේද ලැයිස්තුවක් දක්වා ඇත්තේ චරකයේය. එහිදි මූලධර්මයේ කිහිපයක් පදනම් කර ගනිමින් කරනු ලබන වර්ග කිරීම් දැක ගත හැක. එක් අවස්ථාවකදී ස්වේදය ස්නිග්ධ(Moisture) හා රූක්ෂ(Dry) වශයෙන් බෙදා වශයෙන් බෙදා දක්වා ඇත. වඩාත් විස්තීර්ණ වු බෙදීම වන්නේ සමාග්නි නිරාග්නි ලෙස කර ඇති බෙදා දැක්වීමයි. සාග්නි ස්වේද ක්‍රම 13ක්ද නිරාග්නි ස්වේද ක්‍රම 10ක්ද එහි දක්වා ඇත.

සාග්නි ස්වේද

  •   සංකර ස්වේද

wedasa pottani 02ඖෂධ ද්‍රව්‍ය තලා මිශ්‍ර කර පොට්ටනියක් සාදා හුමාලයෙන් තම්බා ගෙන ශරීරයට උණුසුම් ලබාදෙන අයුරින් තැවීම සිදුකිරිමයි. වඩාත් ප්‍රචලිත සහ භාවිතා කරනා ස්වේද විධිය මෙයයි. වාතජ, කඵජ සහ වාතකඵජ අවස්ථාවලදී දෝෂානුසාරයෙන් යොදා ගැනිම කරයි. මේ සඳහා උද්භිද ඖෂධ ද්‍රව්‍ය පමණක් නොව වැලි, ගල්කුඩු, පස්, ලෝහ චූර්ණ, ගව, ඔටු, බූරු යන සතුන්ගේ අමු මල වර්ගද යොදා ගැනිම සිදු කරයි.

  •   ප්‍රස්තර ස්වේද

ලී වලින්, ගලින් හෝ නූතනයේදි සිමෙන්තියෙන් සාදන ලද පැවති බිමක තම්බා ගන්නා ලද ධාන්‍ය උණුසුම තිබියදීම අතුරා ආලේප කර ඒ මත එරඬු හෝ වරා වැනි ශාක පත්‍ර අතුරා සකස් කර ගන්නා ස්වේද ක්‍රමයයි. මෙසේ සකස් කර ගන්නා ලද ස්ථානයේ රෝගියා ශයනය කරවීමෙන් ඩහ ගැන්වීම සිදු කරනු ලැබේ. ධාන්‍ය ලෙස මෙහිදි බොහෝ විට ඇල්හාල්, හැටදා හාල්, මුං ඇට සහ උඳු වැනි දේ යොදා ගත හැක.

  •   නාඩි ස්වේද

wedasa nadi swedaවර්තමානයේ බහුලව භාවිතා වන තවත් ස්වේද ක්‍රමයක් වන්නේ නාඩි ස්වේද යයි. මේ සදහා විශේෂිත උපකරණයක් (නාඩි යන්ත්‍රය) උපයෝගි කර ගනි. එහිදි නාඩි යන්ත්‍රයට දමා තම්බා ගනු ලබන ඖෂධ ද්‍රව්‍ය වල හුමාලය නාඩි යන්ත්‍රයේ ඇති දිගු නලය ඔස්සේ ගමන් කර නාඩි මුඛය/විවරය තුලින් පිටතට පැමිණිම සිදුවේ. මෙම ඖෂධීය හුමාලය අදාල ස්ථානයට සෘජුවම එල්ලකල හැක. මෙහිදි දැඩි හුමාලයක් ශරීරයට වැදීම වැලික්වීමට සුපරික්ෂාකාරි වීම වෛද්‍යවරගේ විශේෂ වගකිමක් වේ. මෙම ක්‍රමය ඉතාමත් සාර්ථක ස්වේද ක්‍රමයක් ලෙස පිළිගැනේ. විශේෂයෙන් ඉතා සියුම් ස්ථාන වලට ස්වේද දීමට(හිස හා මුහුණ) මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වේ.

  •   පරිශේක ස්වේද

ඖෂධීය කෂායක් සාදා ගෙන එහි උණුසුම් රැදි ඇති විටදීම සිදුරු සහිත භාජනයකින් රෝගියාගේ ශරීර‍ය මතට ඉසිම පරිශේක ස්වේදයයි. මෙහිදි රෝගියා වස්ත්‍ර වලින් වැසිම පළමුව කල යුතුය. පරි‍ශේකය කල යුත්තේ එසේ සුදානම් කල රෝගියා වෙතය. බොහෝ ස්වේද සිදු කරන්නේ වාතජන්‍ය, කඵජන්‍ය හා වාත කඵජන්‍ය රෝග අවස්ථාවලට වුවත් මෙම ස්වේදය පිත්ත ප්‍රධාන රෝග වලදීද යෙදිය හැකි වීමයි. මෙම ස්වේදය ඇති විශේෂ තත්ත්වය වන්නේ එයයි.

  •   අවඝාහ ස්වේදය

Awagaha sweda Panchakarma hospital kiribathgodaඅවඝාහ යන්නෙහි අදහස වන්නේ බැස සිටීම හෝ ගිල්වා සිටිම යන්නයි. බෙහෙත් ඔරු භාවිතා කරන්නේ මේ ස්වේද දීම සදහායි. එහිදි උණුසුම් ඖෂධීය කෂාය, තලතෙල්, ඟිතෙල් හෝ ඖෂධීය තෙල් භාවිතා කල හැක. මෙම ඔරුවේ රෝගියා ගිල්වා තැබීම තුලින් ද්‍රව ස්වේදය ලැබේ.

ජේන්තාක ස්වේදය

මෙම ක්‍රමය අතීතයේ භාවිතා වුවද වර්තමානයේදී නම් භාවිතා වන අවස්ථා ඉතාම විරල බව සදහන් කල යුතුය. මේ ස්වේදය දීම සදහා විශේෂිත ස්ථානයක් සේම විශේෂිත ගෘහයකුත් තිබිය යුතු වීම ඊට හේතුවයි. එම විශේෂිත කුටිය සෑදිය යුත්තේ ජලාශයක් අසල තැනිතලා භූමියක වන අතර රෝගියා සිටිනා ගෘහයද විශේෂිත ක්‍රමයකට සැදීය යුතුය. මූල ග්‍රන්ථ වල දක්වා ඇත්තේ එම ගෘහය හැම පැත්තක්ම රියන් දහසය බැගින් වන පියස්සක් සහිත ගෘහයක් විය යුතු බව සහ එයට ඇතුල්වීමට එක් දොරටුවක් සහ රෝගියාට රැදී සිටිමට පඩියක් ඒ තුල විය යුතු බවයි. ඊට අමතරව කුටිය තුල ඖෂධ ද්‍රව්‍ය දහනය කල හැකි වන පරිදි සෑදු උදුනක් තිබිය යුතුය. එම උදුන සිදුරු සහිත චිමිණියකින් යුක්ත විය යුත්තේ උණුසුම කුටිය තුලට පැමිණිම සදහාය. මෙම කුටියේ දොරටුව සාදා තිබිය යුත්තේ ජාලාශය පැත්තට වන්නට නොව ගොඩබිම පැත්තට මුහුණ දමාය. ස්වේද දෙන ක්‍රමය ව‍න්නේ උදුනට ඖෂධ ද්‍රව්‍ය දමා හොදින් දහනය කර හොදින් දැවුනු පසු දුම් රහිත වී උණුසුමින් යුක්ත වූ විට රෝගියාට තෛල අභ්‍යංග කර ස්වේද  වීම පිණිස කුටිය තුලට ඇතුළු කරනු ලැබේ. ප්‍රශස්ථ ලෙස දහඩිය දමා සැහැල්ලු වූ විට කුටියෙන් ඉවතට ගත යුතුය. ශරීරයේ උෂ්ණත්වය හා වෙහෙසද අඩුවු පසු උණුදිය ස්නානය කරවිය යුතුය. මෙම ස්වේද දීමේ ක්‍රමය තරමක් සංකීර්ණ හා වර්තමානයේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු ක්‍රමයක් බැව් ඉහත තොරතුරු වලින් පැහැදිලි වේ.

  •   අශ්මඝන ස්වේදය

ගල් තලාවක් මත ඖෂධීය ශාක රෝගීයාගේ ශරීරයේ ප්‍රමාණයට අතුරා ඒවා දවා අඟුරු ඉවත්කර උණුදිය ඒ මත ඉස නැවතත් ඒ මතට සේද රෙදි හෝ ඝණ රෙදි අතුරා අදාල රෝගියාට තෙල් අභ්‍යංග කොට එම රෙදි මත සයනය කරවීම මගින් ස්වේද ලබා දීම මෙම ක්‍රමයෙන් සිදුවේ. මෙහිදි වඩාත් හොද ප්‍රතිඵල සදහා රෝගියා උණුසුම් පෙරෝනා වලින් වැසීමද සිදුකල හැක.

  •   කර්ෂු ස්වේද

මෙය එක්තරා ආකාරයකට නාඩි ස්වේදයටද සමාන කර්මයකි. මෙහිදී නාඩි යන්ත්‍රයක් උපයෝගි කර ගන්නේ නැති මුත් භාවිතා කරනු ලබන මූලධර්මය එක හා සමාන වේ. ග්‍රන්ථ වල සදහන් වන්නේ දියලබු ගෙඩියක හැඩයේ ආකාරයට පොළවේ කුහරයක් සාදා ගත යුතු බවයි. එහිදි ලබු ගෙඩියේ පළල කොටස වැනිවු ගැඹුරු කොටසකුත් ගෙඩියේ පටු ඉහල කොටස වැනි වු පටු විවරයකුත් තිබිය යුතුය. කුහරය තුලට ගිනි අඟුරු පුරවා එම කුහරයේ විවරය හරස් වන පරිදි තබන ලද ශයනයක රෝගියා ශයනය කරවීමෙන් ස්වේද දීම සිදුකෙරේ.

  •   කුටී ස්වේදය

wedasa kutiswedaවර්තමානයේදී අවබෝධයක් ඇතිව හෝ නැතිව බොහෝ දෙනා විසින් සිදු කරන හා කථා කරනා ස්වේද ක්‍රමය වන්නේ මෙයයි. ස්ටීම් බාත්(Steam Bath) යනුවෙන් සමාජයේ ජනප්‍රියව ඇත්තේ මෙයයි. මෙහිදී රෝගින්ගේ සිරුරේ ප්‍රමාණයට සැකසු ලී කුටියක් උපයෝගි කර ගැනේ. මුහුණ හා හිස පමණක් එලියට සිටින සේ සිටිය හැකි වන පරිදි එය සකසා තිබිය යුතුය. මෙම කුටිය ඇඳක ආකාරයට හෝ වාඩිවි සිටිය හැකි පුටුවක ආකාරයට හෝ සිට ගෙන සිටිය හැකි ආකාරයට සැකසී තිබිය හැක. ‍හොදින් ආවරණය වූ මෙම කුටිය තුලට ඖෂධීය ද්‍රව්‍ය තැම්බීමෙන් නිකුත් වන හුමාලය ඇතුල් වීමේ මාර්ගයක් තිබිය යුතුය. තෛල අභ්‍යංග කල රෝගීයා මෙම කුටිය තුලට ඇතුලු කර හොදින් ස්වේද වන තෙක් හුමාලය වැදීමට සැලැස්වීමෙන් මෙම ස්වේද දීම ක්‍රියාත්මක වේ.

  •   භූ ස්වේදය

පෙර අවස්ථාවක දැක්වු අශ්මඝන ස්වේදයේදී යොදාගත් ගල්තලාව වෙනුවට මෙහිදි තැනිතලා භූමියක් යොදාගනු ලැබේ. ක්‍රමවේදය අශ්මඝන ස්වේද ක්‍රමයටසමාන වේ.

  •   කුම්භී ස්වේද

කර්පු ස්වේද ක්‍රමයේදි මෙන් මෙහිදීද සිදු කරන්නේ ඇදක සයනය කරවන රෝගියා‍ට ඇද යට සිට ඉහලට එන හුමාලය වැදීමට සැලැස්වීමයි. මෙහිදී වලවල් සාදන්නේ නැතිමුත් ඖෂධීය ද්‍රව්‍ය වලින් සිද්ධකල උණු කෂායක් කලයකට පුරවා එය සයනය යට වැලලිය යුතුය. එය වලලීමද සිදු කරන්නේ කළයේ තුනෙන් දෙකක් පමණ යට සිටින පරිදි වේ. ඝන ඇතිරිල්ලකින් සයනය වසා ගිනියම් කර ගන්නා ලද යකඩ, ගල්, වැලි ආදිය කෂාය පිරවු කළයට දැමිය යුතුය. එවිට එයින් පැන නැ‍ගෙන හුමාලය ඇද මත දිගාවි සිටින රෝගියාට වැදීමෙන් රෝගියාට දහඩිය දැමීම සිදුවේ. මෙහිදි රෝගියාට පළමුව තෛල අභ්‍යංග කරවීමත් වාෂ්පය වදින විය රෝගියා ඝන ඇතිරිල්ලකින් වැසිමටත් සැලකිලිමත් විය යුතුය.

  •   කූප ස්වේද

මෙහිදි අදාල රෝගියාගේ ප්‍රමාණයට ගැලපෙන පරිදි හා ශරීරයේ මහතට වඩා වැඩි ගැඹුරක් සහිත වලක් භූමියේ හාරා එය තුලට ඇත්, අස්, ගව, බැටළු, ඔටු යනාදි සතුන්ගේ වියලි වසුරු පුරවා ගිනි දැල්විය යුතුය. වසුරු හොදින් දැවි දුම් නැතිවූ පසුව රත්වු වල තුල රෝගියා ශයනය කරවිය යුතුය. රෝගියාට රෙදි පොරවා තැබීමද කල යුතුය. එවිට රෝගියා හොදින් ස්වේද වේ.

  •   හෝලාක ස්වේද

රෝගියාගේ ප්‍රමාණයට සැකසු භාජනයක් සාදා එය තුලට ඇත්, අස්, ගව ආදී සතුන්ගේ වියලි වසුරු පුරවා ගිනි තැබිය යුතුය. දුම් නැවතුන පසුව රෝගියා තෙල් ගල්වා එම භාජනය වැසෙන සේ තබනු ලබන සයනයක නිදිකරවා තැබීමෙන් ස්වේද වීමට සැලැස්වීම හෝලාක ස්වේදය නම් වේ.

නිරාග්නි ස්වේද හා නිරාග්නි ස්වේද

අග්නිය/ගින්න ස්වේද කර්මය සිදු කර ගැනීමට භාවිතා කිරිම හෝ නොකිරීම අනූව මෙම ස්වේද කර්ම වර්ග කිරීම සිදු කර ඇත. නිරාග්නි ස්වේදය යනු ගින්නේ සහයක් නොමැතිව ස්වේදන කිරීමේ ක්‍රමවේදයන්ය. සාග්නි ස්වේද යනු ඉහත දැක්වු පරිදි යම් කිසිවක් දහනය කිරිමෙන් ජනිත වන තාපය හෝ උණුසුම් වාෂ්පය රෝගියාට ස්පර්ශ වීමට සැලැස්වීමෙන් ස්වේදන කර්ම කිරීමයි.

නිරාග්නි ස්වේද

අග්නිය භාවිතා කිරීමකින් තොරව දහදිය ගැන්වීම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතා කිරිම සිදුකරන්නේ කෙසේදැයි බොහෝ දෙනෙකුට ගැටළුවක් විය හැක. චරක ආචාර්යවරයා එයට පිළිතුරු දී ඇත්තේ නිරාග්නි ස්වේද ක්‍රම දහයක් පිළිබදව විස්තර චරක සංහිතාවට ඇතුලත් කරමිනි.

  1. ව්‍යායාම
  2. උෂ්ණ සදන/ගෘහය(ජනේල නොමැති ඝන බිත්ති සහිත කාමාරයක් තුල සිටිම, එහි වාතය හමා යාමක් සිදු නොවීම හේතුවෙන් ඉබේම උණුසුම් වේ)
  3. ගුරු ප්‍රාවරණ(තද වස්ත්‍ර වලින් සැරසී සිටිම)
  4. ක්ෂුධාව(කුසගින්නේ සිටිම)
  5. උණුසුම් මත් පැන් අධිකව පානය කිරීම(බහු පාන)
  6. භය/බියවීම
  7. ක්‍රෝධය/තරහව
  8. උපනාහ(ලොම් සහිත සම් ආදිය බැදීම)
  9. ආහව(පොර බැදීම වැනි ක්‍රිඩා)
  10. ආතප(සූර්ය රශ්මියට නිරාවරණය වී සිටීම)

wedasa exercisesමෙම ක්‍රම වලින් රෝගියාට දහදිය දැමීම සිදුවන බව සූත්‍රස්ථාන ස්වේදධ්‍යායය(14 අධ්‍යායය) තුල දක්වා ඇත. සාග්නි හා නිරාග්නි  ස්වේද ක්‍රම අතුරෙන් වඩා‍ත් වැඩියෙන් භාවිතා කරන්නේ නිරාග්නි ක්‍රම නොව සාග්නි ස්වේදන ක්‍රමයන් වේ. නිරාග්නි ක්‍රම වලදී ස්වේද වීම ක්ෂණිකව හෝ ක්‍රමානුකූලව සිදු කිරීම තරමක් ප්‍රායෝගිකව අපහසුය. සාග්නි ක්‍රම වලින් ස්වේද දීම  බාහිරව කෘතිමව උණුසුම ඇතිකර පාලනයකින් යුතුව සිදු කරන බැවින් බහුලව භාවිතා වන්නේ සාග්නි ක්‍රමවේදයන්ය. කෙසේ වුවත් කුමන ආකාරයකින් ස්වේද දුන්නද ස්වේද දුන් දිනයේදි ව්‍යායාම ඇතුළු බර වැඩ වල නිරත වීම සුදුසු නොවේ. එදින හැකි තරම් සුවපහසු ලෙස ගතකල යුතු බව පිළිගැනීමයි. ස්වේද කර්‍මයෙහි ප්‍රතිඵලයක් ලෙස අවයව වල ලිහිල් භාවයක් ඇතිවේ. එවැනි තත්ත්වයක් තුල සිදු කරනු ලබන යම් යම් ක්‍රියා වලින් අස්ථි, සංධි හා මාංශ පේෂි වලට අනතුරු සිදුවිය හැක. ඉහත ව්‍යතිරේඛයට පදනම් වන හේතුව වන්නේ මෙයයි.

සුශ්‍රැත ස්වේද කර්‍ම ගැන පවසා ඇත්තේ කුමක්ද?

තාප, උපනාහ, ඌෂ්ම සහ ද්‍රව යනුවෙන් ස්වේද කර්‍ම හතරක් පමණක් දක්වා ඇතිමුත් සියුම්ව විමර්ෂණය කර බැලීමේදී මෙම ක්‍රම හතරටම චරකයේ ඇති සාග්නි ස්වේද ස්වේද ක්‍රම දහතුනම ඇතුලත් කල හැකි බව පෙනි යයි.

  •   තාප ස්වේද

ගින්නේ ආධාරයෙන් රත්කර ගත් යම් කිසි දෙයක උපකාරයෙන් තැවීම මෙයට අයත් වේ. වැලි පොට්ටනි වැනි ‍රූක්ෂ ස්වේද, පරළු පොට්ටනි, කැබිලිති පොට්ටනි, පිණ්ඩ සේවේදයන් හා අත්ල රත්කර තැවීම්ද තාප ස්වේද ක්‍රමයට අයත් වේ. චරක ස්වේදන ක්‍රම වර්ගීකරණයේ ඇති සංකර හා ප්‍රස්තර යන ස්වේදයන්ද තාප ස්වේදන ක්‍රම දෙකකි. පිණ්ඩ ස්වේද: තල, උඳු, කොල්ළු, කාඩාදිය, ගිතෙල්, තලතෙල්, මස්රස යන මේවායින් මිශ්‍රවූ බත්, කිරිබත් හා මස් යන ද්‍රව්‍ය පිණ්ඩාකාරයෙන් සකස් කර ගන්නා පොට්ටනිය.

  •   ඌෂ්ම ස්වේද

Ushma sweda Panchakarma hospital kiribathgodaඌෂ්ම යනු වාශ්පය/හුමාලයටය. වාශ්පයෙන් සිදු කරන ස්වේද මේ යටතේ දක්වනු ලැබේ. චරක වර්‍ගකරණයේ සදහන් වන නාඩි, ජේන්තාක, අශ්මඝන, කර්ෂු, කුටී, භූ, කුම්භී, කූප සහ හෝලාක යන ස්වේද ක්‍රම මෙසේ වාශ්ප භාවිතයෙන් සිදු කරනු ලබන ඒවායි. සුශ්‍රැත ආදීන්ඌෂ්ම ස්වේද විස්තර කර ඇත්තේ ඌෂධ වර් බහාලන කාඩි හෝ ජලය රත්කොට ඉන් නැගෙන වාශ්පයෙන් ස්වේද දීම සහ රත් කරණ ලද ජලයට ගල් වැලි බොරළු යකඩ වැනි ඒවා දමා ඉනු නිකුත්වන හුමාලයෙන් ස්වේද දීම ලෙසයි.

  •   ද්‍රව ස්වේද

දෝෂ තත්ත්වය අනූව සකස් කර ගත් ඖෂධීය කෂාය උණුසුම්ව කෙන්ඩියකට දමා ස්වේද යෝග්‍ය අය තෛල අභ්‍යංග කර රෙද්දකින් වසා එම උණුසුම් ජලය එම රෙද්දට ඉසීම මගින් ඇතිවන උණුසුමින් කරණු ලබන ස්වේද දීමයි. පරිශේක සහ අවඝාහ යන ස්වේද ක්‍රම දෙකෙන්ද සිදු කරන්නේ මෙම කාර්යයි.

  •   උපනාහ ස්වේද

චරකයේ දක්වා නැති එහෙත් සුශ්‍රැතයේ අක්වා ඇති වි‍ශේෂිත ස්වේද දීමේ ක්‍රමයක් වන්නේ උපනාහ ස්වේද ක්‍රමයයි. උණුසුම් බෙහෙත් වලින් සැදු පැලැස්තරයක් ශරීරයේ අදාල ස්ථානයේ තබා බැද දැමීම මෙම ක්‍රමයයි. මේ  සදහා ආයුර්වේදයේ ප්‍රචලිතම ආලේපය වන්නේ දාරුහෛමවාත්‍යාදී ලේපයයි.

දාරුහෛමවාත්‍යාදී ලේපය: වදකහ, සුරා, ශතකුප්පා, දේවදාර, හීන් අරත්ත අල, බෙහෙත් එරඬු මුල්, සවිඳ ලුණු සහ කිරි යන ද්‍රව්‍ය හා ද්‍රව එකට අඹරා ගැනීමෙන් සාදා ගනු ලබන ලේපයයි. ඉහත දැක්වු මොනම ආකාරයේ ස්වේදන ක්‍රමයක්වත් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ නිසි අධීක්ෂණයකින් තොරව සිදු කරීම අවධානම් සහිත වේ. හුදෙක් රෝගියාට දහදිය දැමීමට සලැස්වීම පමණක්ම ස්වේදන කර්ම ලෙස නොසැලකිය යුතුය. සෑම පුද්ගලයෙකුටම එකහා සමාන ආකාරයෙන් ස්වේද කර්ම වලට මුහුණ දිය නොහැක. ස්වේද කර්ම සුදුසු නොවන නැතිනම් ස්වේද කර්‍ම අයෝග්‍ය අය පිළිබදවද මූලග්‍රන්ථ වල විස්තර දක්වා ඇත.

  1. අතිස්ථුල, ශරීරය වියලි(රූක්ෂ), අති දුර්වල අය,සිහිය නොමැති වූ අය හා ස්ථම්භනය කලයුතු අය
  2. ආම හා මදය යන රෝග වලින් පෙළෙන අය, තිමිර(අක්ෂි රෝගයකි), උදර රෝග, විසර්ප, කුෂ්ඨ‍, කාමලා, පාණ්ඩු, ප්‍රමේහ රෝග, පිත්තජ ජන්‍ය රෝගයන්ගෙන් හා ගුදභ්‍රංශ(Rectal prolapsed) ඇති අය
  3. කිරි, දී, මධු(මී පැණි), ස්නේහන හා විරේචන යෝග පානය කල අය
  4. ක්ෂාර ආදියෙන් ශරීරය පිළිස්සුනු අය
  5. ක්‍රෝධය, ශෝකය, භය, යන මානසික පීඩාවන්ගෙන් පෙළෙන අය
  6. බඩගින්න හා පිපාසය යන වේගයන්ගෙන් යුත් අය
  7. ගර්භණි මවුවරුන්, ආර්තවයෙන් පෙළෙන අය, සූතිකාවන්(දරු ප්‍රසූතිය සිදුකල මවුවරුන්)

නමුත් අත්‍යාවශ්‍ය අවස්ථාවකදී ඉහත දැක්වූවන්ට මද වශයෙන් හෝ ස්වේද කිරීමේ හැකියාව පවතින බව අශ්ඨාංගහෘද සංහිතා ග්‍රන්ථ කතුවර වාග්භඨාචාර්යවරයා පවසයි. එසේ වුවත් චරක සහ සුශ්‍රැත යන දෙදෙනාම එවැනි මතයක් දරන බවට සාධක නැත. ඔවුන් එය සුදුසු යැයි නොපිළිගන්නවා විය යුතුය.

ස්වේද කල යුතු රෝග සහ පුද්ගලයින්

ස්වේද අයෝග්‍ය අය දැක්වු විට එම කාණ්ඩ වලට ඇතුලත් නොවන සියළු දෙනාටම ස්වේදන කර්‍ම සිදු කර ගැනිමේ බාධාවක් නොමැත යැයි වරදවා තේරුම් නොගත යුතුය. ස්වේද අයෝග්‍ය අය සේම ස්වේද යෝග්‍ය රෝග හා තැනැත්තන් ගැනද විශේෂයෙන් මූල ග්‍රන්ථ වල සදහන්ව ඇත.

  • ප්‍රතිශ්‍යා, කාස, ශ්වාස සහ හික්කා යන ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග වලින් පෙළෙන අය
  • කඵ ආවෘතභාවය/හිර වීම නිසා ස්‍රෝතස් අවරෝධයෙන් ශරීරයේ බර බව දැනෙන අය
  • කර්ණ ශූල, ශිර: ශූල, ස්වර භේද, ගලග්‍රහ, අර්දිත, අංශභාග තත්ත්වය යන රෝග වලින් පෙළෙන්නන්ට
  • අනාහ, විබන්ධ, මුත්‍රඝාත, ජෘම්භන, පාර්ශව ග්‍රහ, පෘෂ්ඨ ග්‍රහ, කටි ග්‍රහ, කුක්ෂි ග්‍රහ, ග්‍රැධ්‍රසි, මුත්‍රකෘච්ඡ, අණ්ඩ කෝෂ වෘද්ධි(hernia), අංග මර්ද යන රෝග වලින් පෙළෙන අය
  • අස්ථි සහ සංධි වේදනා සහ ස්තබ්ද්ධතා(stiffness) ඇති අය
  • ශෝෂ රෝග, ඛල්ලි රෝග, ආමදෝෂ, ශීතජන්‍ය රෝග, කම්පවාත,  වාත කණ්ඨ, අංග සංකෝච, ආයාම, සර්වාංග ශූල(Body pain), ගුරුතා හා ක්ෂිණතාවයන් ඇති අය

 විශේෂයෙන්ම වාත රෝග අසූව සදහාද, කඵ ජන්‍ය රෝග සදහාද, වාතකඵ ජන්‍ය රෝග සදහාද ස්වේද කිරීමට නිර්දේශ කර ඇත. පිත්තජ ජන්‍ය රෝග සදහා මෙය වර්ජනය කර ඇත. එහෙත් ද්‍රව ස්වේද ක්‍රම දෙක තුනක් පමණක් පිත්තජ ජන්‍ය රෝග සදහා යෝග්‍ය යැයි දක්වා ඇත.

සංවේදි ස්ථාන වලට ස්වේදන කර්‍ම

ඇස්, හෘදය හා වෘෂණ කෝෂ යන ස්ථාන ශරීරයේ ඇති සංවේදිම ස්ථානයන් වේ. මේ තැන් වලට ස්වේදන කර්‍ම කලයුතු අවස්ථා උදාවුව හොත් උණුසුම හැකිතාක් අඩුවෙන් ‍ස්වේදය දිය යුතු බව දක්වා ඇත. එසේ ස්වේදන කාර්යය සදහා ගනු ලබන ද්‍රව්‍යද  අති තීක්ෂ්ණ ද්‍රව්‍ය නොවිය යුතු බවට උපදෙස් දී ඇත.

පංච කර්මයන් සිදු කිරීමට ප්‍රථම සිදු කරන කර්‍මයන් ලෙස ස්නේහ සහ ස්වේද යන පූර්‍ව කර්‍මයන් දෙක මීට පෙරින්ද දක්වා ඇත. පංච කර්‍ම සාර්ථක විමට පූර්ව කර්‍මයන්ද සාර්ථක විය යුතුය. සාර්ථකව ස්වේද වූ බව හදුනා ගන්නේ කෙසේද?

සම්‍යක් ස්වින්න ලක්ෂණ

  1. ශරීරයේ උෂ්ණය සහ ශීතල ප්‍රශමණය වීම/ සාමාන්‍ය තත්ත්වයට පැමිණිම
  2. ශරීරයේ තද බව සහ බර බව නැතිවී සියළුම අවයවයන් කොමලත්වයට පැමිණිම
  3. ශරීරයට පහසුවක් /සැපයක් දැනීම (Feel comfortable)

හොදින් ස්වේදනය වූයේ නැතිනම් නැතිනම් ‍ස්වේදනය වැඩියෙන් සිදුවුයේ නම් ශරීරයේ පිත්ත ප්‍රකෝප ලක්ෂණ මතුවේ. මූර්ජා, අවසාධය,අධික පිපාසය, ශරීරය දැවිල්ල යන ලක්ෂණ පහලවේ. අධිකව දහදිය දැමීම සිදුවේ. කටහඩ දුර්වල වේ.ශරීරයේ සියළු අවයව දුර්වලත්වයට පත්වන බවත් වැඩිදුරටත් දක්වා ඇත.