ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ස්නේහ කර්‍ම (පළමු කොටස)

wedasa Snehapanaමෙම ලිපියට පූර්‍වයෙන් පළවු පංචකර්‍ම චිකිත්සාව(ශෝධන චිකිත්සාව) ලිපිය තුල ස්නේහ කර්‍ම සහ ස්වේද කර්‍ම යන පූර්‍ව කර්මයන් ද්විත්වය පිළිබදව යම් සටහනක් අන්තර්ගත කර තිබුණි. පූර්ව කර්‍ම පොදුවේ හදුන්වා දිය හැක්කේ පංචකර්‍ම යන ප්‍රධාන කර්මයට ප්‍රථමයෙන් සහ එම ප්‍රධාන කර්මයට සුදානමක් වශයෙන් සිදුකරන ක්‍රියාවන් ලෙසය.

මෙහිදි පූර්ව කර්ම ලෙස භාවිතා කරනු ලබන ප්‍රධාන පියවරයන් දෙකක් පිළිබදව සදහන් වුණි. ස්නේහ කර්‍ම සහ ස්වේද කර්‍ම එම පියවරයන් දෙකයි. මෙම ලිපි මාලාව තුලදී අප අරමුණු කරණුයේ එම  පූර්ව කර්මයන් දෙකෙන් පළමු කර්මය/ක්‍රියාව වන ස්නේහ කර්මය පිළිබදව පුළුල් සාකච්ඡාවක් සිදු කිරිමටයි.

ස්නේහ යනු තෛල(Oil) යන්නට පර්යාය නාමයකි. ස්නේහ කර්‍ම යනු තෛල භාවිතයෙන් සිදුකරන ක්‍රියාවක්/කර්මයක් වේ. මේ පිළිබදව චරක සංහිතා සූත්‍රස්ථාන දහතුන්වන අධ්‍යායයේ සම්පූර්ණ විස්තරයක් ඇතුලත් කොට ඇත. එහි දැක්වෙන්නේ භගවත් වු ආත්‍රෙය මහර්ෂි ගෙන් ශිෂ්‍ය අග්නිවේශ තෙමේ එතුමන්ට සැක සහිත විෂයයන් පිළිබදව විචාරණ ස්වරූපයෙන් ස්නේහ පිළිබදවද විචාල ප්‍රශ්නයන් සහ ඒවාට මහර්ෂි ආත්‍රෙය ලබා දුන් පිළිතුරුය. එහිදි මහාර්ෂි ආත්‍රෙය විසින් ස්නේහ පිළිබදව විවිධ මාතෘකා ඔස්සේ ඉතා පුළුල් විස්තරයක් සිදුකර ඇත.

චරක සංහිතාවේ දැක්වෙන්නේ මෙසේය……

තෛලොත්පත්ති ස්ථානය (තෛල ඇතිවන ආකාරයන්) අනූව තෛල ස්ථාවර සහ ජංගම යනුවෙන් බෙදා දක්වමින් විස්තර කිරිම ආරම්භ කර ඇත. මෙම වර්ගීකරණය පැහැදිලි කර ගැනීම සදහා උදාහරණයන්ද එතුමන් දක්වා ඇත. තෛල නිස්සාරණය කරගැනීම සහ නිශ්පාදනය කරගැනීම කල හැකි වනස්පති, වෘක්ෂ, වීරූධ, ඖෂධි යන සතර උද්භිද ද්‍රව්‍යයන්ගෙන් නිපදවන තෛලයන් ස්ථාවර තෛල ලෙසත් මත්ස්‍ය, පශු, පක්ෂි යන සංචරණය වන සතුන්ගෙන් ලබාගත හැකි තෛල පදාර්ථ ජංගම තෛලයන් ලෙසත් දක්වා ඇත. ජංගම තෛල සදහා දීකිරි, කිරි, කිරිතෙල්, මාංස, වසා, මජ්ජා යන ඒවා යොදා ගත හැකි බවද උදාහරණ ඇසුරෙන් දක්වයි.

තෛල වර්ග අතරින් ගිතෙල්, තලතෙල්, වසාතෙල් හා මිදුලු(මජ්ජා) උත්තම තෛල වර්ග බව චරක සංහිතා කතෘවරයා දක්වයි.

ගිතෙල් ගුණ , තලතෙල් ගුණ, එරඩුතෙල් ගුණ වෙන වෙනම දක්වා ඇත.

තෛල පානය කරන්නේ නම් ඒ සදහා සුදුසු හා නොසුදුසු සෘතු කාලයන් ඇත. ඒ අනුව ගිතෙල් සරත් සෘතුවේදිද, වසා මජ්ජා  වසන්ත සෘතුවේදිද , තලතෙල් වර්ෂා සෘතුවේදිද පානය කිරිම සුදුසු බව ආත්‍රෙය  සෘෂි වරයා පැවසූ බවද දක්වා ඇත. ග්‍රීෂ්ම, හේමන්ත, ශිශිර යන සෘතුන්හිදි ඉතා අධික උණුසුම් හා සිතල පරිසර තත්වයන්හිදි ඝෘත ආදි තෛල ස්නේහ පානය නොකල යුතු බව දක්වයි.

තවද ස්නේහ පානයෙන් පසු අනුපාන ලෙස පානය කල යුතු ද්‍රව වර්ග දක්වා ඇත. එසේවුවත් ඕනෑම ස්නේහ පානයකට පසු උණුදිය පානය කිරිමට උපදෙස් දී ඇති අතර, විශේෂයෙන් තලතෙල් පානයෙන් පසුව මුං ආදියෙන් සෑදු යුෂයක් පානයටද වසා හා මිදුලු බීමෙන් පසු මණ්ඩප අනුපාන කිරිමට උපදෙස් දී ඇත.

ස්නේහ සම්බන්ධ වර්ගීකරණයන් දෙකක්…..

  • භක්ෂණ, පාන, ලේහ හා අඤ්ජනාදි  යන ආකාර වලින් සේවනය කිරිමේ හැකි තෛල ආකාරයන් විසි හතරක් ගැන තෛල විචාරණා යන මාතෘකාව ඔස්සේ දක්වා ඇත.
  • ෂඩ් රසයන් (මධුර, අම්ල, ලවණ, කටු, තික්ත සහ කෂාය) ස්නේහ සමග විවිධ රටාවලින් සංයෝග වි සැදෙන හැට හතරක් වූ වර්ගීකරණයක්ද දක්වා ඇත.

wedasa pichuතෛල පානයේදි ජීර්ණය කරගැනීම සදහා ගතවන කාලය අනූව ප්‍රධාන මාත්‍රා, මධ්‍යම මාත්‍රා හා හ්‍රස්ව මාත්‍රා යනුවෙන් මාත්‍රාව තුන් ආකාර වේ. එහිදි දිවා හා රාත්‍රී යන සම්පූර්ණ කාලය තුලදි ජීර්ණය  වන්නේ නම් ප්‍රධාන මාත්‍රා යනුවෙන්ද සම්පූර්ණ දවාලක් තුලදි ජීර්ණය වන්නේ නම් මධ්‍යම මාත්‍රා යනුවෙන්ද දිවා කාලයෙනුත් භාගයක් තුල දිරවිම සිදුවන්නේ නම් එය හ්‍රස්ව මාත්‍රාව යනුවෙන් දක්වා තිබේ. මෙම මාත්‍රාවන් යෙදීම සුදුසු වන්නාවු පුද්ගල ප්‍රකෘතියන් හා රෝග තත්ත්වයන් විවිධය. එම තත්ත්වයන් සලකා බලා මාත්‍රාව තීරණය කල යුතුය. එසේම උත්තම ස්නේහ පිළිබදවද කිව යුත්තේ ඒවාද යෙදිය යුත්තේ පුද්ගල දේහතත්ත්වයන්අනූවය.

දේහතත්වය පිළිබදව සලකා  බලන විට නිතරම බෙහෙවින් ස්නේහ පානය කර පලපුරුද්ද ඇති අය, බඩගිනි සහ පිපාසා ඉවසිය හැකි අය, තියුණු ජඨරාග්නියක් ඇති අය, ශරීර බලය අධික අය, ගුල්ම රෝගීන්ද, සර්‍පයන් විසින් දෂ්ට කරනු ලැබූ අයද, විසර්ප රෝගයෙන් පෙලෙන්නාවු අයද, උන්මත්තකයෝද, මුත්‍රකෘච්ඡරෝගීහුද යන අයවලුන් ප්‍රධාන මාත්‍රාවෙන් ස්නේහ පානය කල යුතුවේ.

ප්‍රධාන මාත්‍රාව(උත්තම මාත්‍රාව) මනා කොට යෙදීම නිසා වහාම රෝග සමූහය සංසිදවන බවත්, සකල දෝෂයන් ආකර්ෂණය කරන බවත්, ශරීරයේ කෝෂ්ඨාදි මාර්ග සියල්ල අනුසරණය කරන බවත්, එය බල කාරකයක් බවත්, ශරීරය, ඉන්ද්‍රිය, සිත යන මොවුන්ගේ අලුත් බව සම්පාදනය කරන බවත් සිදුවේ.

මධ්‍යම මාත්‍රාව සම්බන්ධයෙන් දක්වා ඇත්තේ ව්‍රණ, විස්ඵෝටක, පිඩකා, කණ්ඩු, පාමා, කුෂ්ඨ, ප්‍රමේහ, වාතරක්ත යන රෝගයන්ගෙන් පීඩිත වු අයද, අධික භෝජනය, අති අල්ප භෝජනය හෝ නොකරන්නාවු අයද, මෘදු කෝෂ්ට ඇති අයද, මධ්‍යම බල ඇත්තාවු අයද පානය කල යුත්තේ මධ්‍යම මාත්‍රාවෙනි. මෙම මාත්‍රාව අති විරේචන නොවේ. අතිශයින් බල නාශකද නොවේ. සුවසේ ස්නේහනය සිදු කරයි.ශෝධන කාර්යයෙහිද යොදා ගත හැක.

මහලු අය, බාලයන්, මෘදු ස්වභාව ඇති අයද, සුඛෝචිතයෝද, ශූන්‍යකෝෂ්ට ඇති හෙයින් දුක් ලබන්නෝද, ගිනි මද බව ඇත්තෝද, ජ්වර අතීසාර, කාස යන රෝගයන්ගෙන් දීර්ඝ කාලයක් පීඩා විදින්නෝද, අල්ප බල ඇති අයද  හ්‍රස්ව මාත්‍රාවෙන් ස්නේහ පානය කල යුතුවේ. මෙම ස්නේහය වෘංහණ, වෘෂ්‍ය, බලකාරක, අපත් රහිතය.

“ක්‍රෑර කෝෂ්ඨ ඇත්තන්ට අච්ඡ ස්නේහපානය දින හතක් දක්වාද මෘදුකෝෂ්ඨ ඇත්තන්ට දින තුනක් පමණක් දීම ප්‍රමාණවත්ය.”

ස්නේහ කර්මයන්ට සුදුස්සන් වන්නේ රළු තැනැත්තන්, වාත රෝගයෙන් පෙළෙන්නන්, නිතර ව්‍යායාම කරන්නන්, මත්පැනෙහි ඇලුනු අය, අධික ස්ත්‍රී සේවනයේ යෙදුනු අයට, බොහෝ කොට සිතිමෙහි යෙදෙන්නන් යන අයවලුන්ය.

ස්නේහ පාන නුසුදුසු පුද්ගලයන් වන්නේ සෙම්හා මේදස උත්සන්න වූවන්, මුඛයෙන් හා ගුද මාර්ගයෙන් ස්‍රාව වැගිරෙන්නන්, නිතර අග්නිමාන්ද්‍යය ඇත්තන්ය, පිපාසයෙන් හා මූර්ඡාවෙන් පීඩීත වූවන්, ගර්භණිමාතාවන්, තාලුශෝෂයෙන් පිඩිත‍යන්, භෝජනය ද්වේෂ කරන්නන්, වමන, උදර, ආමදෝෂ යන තත්ත්වයෝ, ස්නේහපානයෙන් ගිලන් වන්නෝද, මත් පැන් ආදිය බිමෙන් හටගත් රෝග ඇත්තවුන්ය. මීට අමතරව නස්‍ය කර්ම හා වස්ති කර්ම කල වුන්ද ස්නේහ පාන නොකල යුතුය.

ස්නේහ පානය මැනවින් සිදුනොවු විට මල ගැට ගැසීම, රළු බවද, වාතය විලෝම වීමද ජඨරාග්නිය අඩුවීමද, ශරීරය කර්කෂ වී රළු වීමද යන ලක්ෂණ ඇතිවේ.

ස්නේහ පානය මැනවින් සිද්ධවු විට වායුහුගේ අනුලෝම බව, ජඨාරාග්නිහුගේ දීප්තිය, මල ද්‍රව බව හා සිනිදු බවද ශරීරයේ මොළොක් බව හා ස්නිග්ධ බව යන ලක්ෂණ ඇතිවේ.

ස්නේහ පානය වැඩිවු විට ඇති ස්නිග්ධ ලක්ෂණ පහල වේ. සිරුරේ පඬුවන් බව,බර බව, ඉදුරන්ගේ ජඩ බව, මල නොපැවසු බව, තෙමරිය, අරුචිය, ඔක්කාරය එම ලක්ෂණයන්ය.

ස්නේහ පානය කල යුතු නිවැරදි ක්‍රමවේදය

  • ස්නේහපානය කරන දිනයට පෙර දිනයේ ද්‍රව, උෂ්ණ, අභිෂ්‍යන්දි(වැගිරෙන සුළු) යන ගුණයන් ගෙන් තොරවු අති ස්නිග්ධ නොවු(අධිකව මෙළෙක් නොවු) සංකීර්ණ නොවු ආහාරයක් ප්‍රමාණවත් තරමින් ස්නේහ පාන කිරීමට සුදානමින් සිටිනා තැනැත්තා ආහාරයට ගත යුතුය.
  • ස්නේහ පානය කරනු ලබන්නේ දෝෂ සමනයක් සමනය අරමුණු කරගෙන නම් පසු දිනයේ(ස්නේහ පාන කරන දිනයේ) ආහාර රුචිය ඇතිවු විට සංශමන ස්නේහ පානය කල යුතුය.
  • එහෙත් ස්නේහ පානයේ අරමුණ දෝෂ සංශෝධනයක් නම් පෙර දින රාත්‍රී භෝජනය දිරූ කල්හි(අළුයම් කාලයේ) සංශෝධන ස්නේහ පානය කල යුතුවේ.
  • ස්නේහ පානයෙන් පසුව උෂ්ණ/උණු ජලය භාවිතා කල යුතුය. ලිංගික ක්‍රියා වල නිරත වීමෙන් බැහැරව සිටිය යුතුය. රාත්‍රී කාලයේ පමණක් නිදා ගත යුතුය. මල, මුත්‍රා, අධෝවායු, උද්ගාර යන වේගයන් නොදැරිය යුතුය. ව්‍යායාම උස්හඩින් කථාකිරීම, ක්‍රෝධ, ශෝක නොකල යුතුය. ශීතල හා දැඩි අව්ව යන ඒවා වර්ජනය කල යුතුය. තදින් සුළං හමන ස්ථාන වලින් ඇත්ව සිටිය යුතුය. විශේෂයෙන් ස්නේහ පානයෙන් පසු ආහාර සමග වෙනත් තෙල් වර්ග ආහාරයට ගැනිමෙන් වැලකි සිටිය යුතුය.

හොදින් ස්නිග්ධ වු බැව් දැක ගැනීමට ගතවන කාලය

අච්ඡ(කීපයක් මිශ්‍රනොවු) ස්නේහ පානය කිරීමෙන් මෘදු කෝෂ්ඨ ඇති තැනැත්තේ දින තුනකදී සම්‍යඃ ස්නිග්ධ ලක්ෂණ පහල කරයි. මෙම ලක්ෂණ පහල වීම ක්‍රෑර කෝෂඨ ඇත්තාට දින හතක් ගතවීමෙන් පසුව දැක ගත හැකිය.