ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ස්නේහකර්‍ම (දෙවන කොටස)

wedasa Sarwangadharaමෙම මාතෘකාව ඔස්සේ මීට පෙර පළවු ලිපිය තුලින් සාකච්ඡාවට බඳුන් වූ කරුණු වලට අමතරව පංචකර්‍ම චිකිත්සාවේදී සිදුකරනු ලබන පූර්වකර්‍ම කොටසක් වන ස්නේහකර්‍ම/ ස්නේහ විධි පිළිබඳව දැන ගත යුතු වැදගත් සිද්ධාන්ත කොටස් මෙම ලිපිය තුලින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු. එම කාර්යයේදී පෙර ලිපිය තුලින් සාකච්ඡා වු සමහර කරුණු නැවතත් ඉදිරිපත් වීමට අවස්ථාවද ඇත. එම සිහි කැදවීම සමගින් ලිපිය ආරම්භ කරමු. පංචකර්ම චිකිත්සාවේදී පූර්වකර්‍ම ලෙස පළමුව සිදු කරන්නේ ස්නේහකර්‍මයන්ය. එසේ ස්නේහකර්‍ම පළමුව සිදු කිරීමට ඇති ආයුර්වේද සංකල්පීය පදනම අප පළමුව දැන ගෙන සිටිය යුතුය. එය වැදගත් වන්නේ ආයුර්වේද මූලධර්ම වලට ගැලපෙන පැහැදිලි කිරීමක් එහි අන්තර්ගත වන නිසා සහ පදනම දැන සීටිම මෙම විෂය අවබෝධ කර ගැනීමට රුකුලක්ද වන හෙයිනි.
පිත්ත කඵ යන දෝෂයන් මෙහෙයවන හෙයින් වාතය දෝෂයන්ගේ ප්‍රධානියාය. එහෙයින් වාතය ශමනය කිරීම සඳහා පළමුවෙන්ම ප්‍රතිකාර යෙදිම කල යුතුය. එසේ සිදු නොකොට අන් දෝෂ වලට ප්‍රතිකාර සිදු කිරීම තුලින් බලාපොරෝත්තු වන ප්‍රතිඵල ලද නොහැකිය. පළමුව ස්නේහ විධි යෙදිය යුත්තේ එහෙයිනි. වාත සමනය සඳහා සුදුසුම වන්නේ ස්නේහනයයි. ස්වේද විධි යෙදිය යුත්තේ ඉන් පසුවය. ශෝධන ප්‍රතිකාර ඇරඹිය යුත්තේ ඊටත් පසුවය.
මෙය චරක සංහිතාවේ සූත්‍රස්ථාන අධ්‍යායය 13හි දක්වා ඇත්තේ පහත ‍ශ්ලෝකයෙනි.

  “ස්නේහම්ග්‍රෙ ප්‍රයුඤ්ජිත්ත තඃ ස්වේද මනන්තරම්
ස්නේහ ස්වේදෝප පන්නස්‍ය සංශෝධන මථෙතරේත්”

ස්නේහවිධි බාහිර අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකි. බාහිර ස්නේහ විධි සිවු ආකාරයක් ගනී. අභ්‍යංග(ශරීර‍යේ තෙල් ගැල්වීම), ශේක/පරිශේක/ධාරා, පිචු දැමීම(ස්ථානිකව තෙල් රැදවීම), ශිරෝ වස්ති(හිසේ තෙල් රැදවීම) යනු එම ආකාර ‍හතරයි. අභ්‍යංග කිරිමට වඩා ශේක කිරීමත්, ශේක කිරීමට වඩා පිචු ධාරණයත්, පිචු ධාරණයට වඩා ශිරෝ වස්ති ස්නේහ විධි ක්‍රමයෙන් එකිනෙකට වඩා ස්නේහන ගුණයෙන් වැඩිවේ.
wedasa pichudaranaඅභ්‍යන්තර වශයෙන් සිදුකරණ ස්නේහකර්‍ම ‍දෙකක් පංචකර්ම චිකිත්සාවේදී දක්වා ඇත. අච්ඡපේය(කේවල ස්නේහ වර්ග පානය) සහ විචාරණා(යම් දෙයක් සමග මිශ්‍රව ද්‍රවාන්තර සංයෝග වශයෙන් ස්නේහපානය) එම ආකාර දෙකයි. අච්ඡපේය ඉතාම ශ්‍රේෂ්ඨ ස්නේහකර්‍මය ලෙස දක්වා ඇත. මෙහිදී ශරීරයේ මෘදුබව සහ තර්පණය ආදි ක්‍රියා කරන බව දක්වා ඇති අතර එම නිසාම මෙම කර්‍මය ශ්‍රේෂ්‍ඨ ලෙස දක්වා ඇත. විචාරණා ස්නේහකර්‍මයේදී යොදා ගන්නා ස්නේහ මාත්‍රාව ඉතා අල්ප බැවින් ප්‍රතිඵල ලබා දිමේ වේගවත්බව වැඩිය. මෙහිදී ස්නේහ සංයෝග කිරීම සඳහා ඕදන සහ විලේපී(කැද වර්ග), මාංශරස(මස් තැම්බූ වතුර), දුග්ධ සහ දධි(පස්ගොරස), භක්ෂ්‍ය ලෙහ සහ ශාක ආදිය යොදා ගනු ලැබිය හැක. මෙම සංයෝගකරණය නිසා අග්නිබල දේහබල වර්ධනය වේ. එසේම ස්නේහගුණ ශරීරය තුල බොහෝ කලක්ද රදා පවතින බව පිළිගැනීමයි.

අභ්‍යංගය

මෙහි සරල අදහස වනුයේ ශරීරයේ තෙල් ගැල්වීම යන්නයි. මෙහිදී හෝඳින් තෙල් ගල්වා පැයක් පමණ කාලයක් සිටිමට සලස්වයි. තෙල් පිස දැමීම පැයක් ගතවු පසු කරනු ලබන අතර ස්නානය කල යුත්තේ උණු දියයි. තෙල් ගැල්වීමෙන් අනතුරුව උරා ගැනීමට විශේෂයෙන් ඇතිල්ලීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර එය අභ්‍යංගයේ ‍පියවරයක්ද නොවේ.

ශේක/පරිශේක/ධාරා

wedasa Shirodharaස්නේහකර්‍ම සඳහා භාවිතා කරන්නේ තෙල් පමණක්ම නොවේ. තෙල් එක් ස්නේහයක් පමණි. ප්‍රධාන ස්නේහ ද්‍රව වර්ග හතරක් ඇත. ශේක කිරිමේදී තෛල(තෛල ධාරා), තක්‍ර(තක්‍ර ධාරා), ක්ෂිර(ක්ෂිරධාරා) යන ද්‍රව වර්ග භාවිතා කිරිමේදි ඒ ඒ නාමයන්ගෙන් හැදින්වේ. විශේෂයෙන් ශිර්ෂරෝග සඳහා ධාරා ප්‍රතිකාර කිරිමේදී එය හඳුන්වන්නේ ශිරෝධාරා යන නාමයෙනි. මෙහිදි සිදුවන්නේ හිස මතට අනවරත ධාරාවක් ලෙස තෛල ගලාඒමට සැලැස්වීමයි. මුළු සිරුරම ආවරණය වන පරිදි මෙම ධාරා කර්ම ය සිදුකරණ විට එය හඳුන්වන්නේ සර්ව අංග ධාරා/ සර්වාංගධාරා යන නමිනි.

පිචු ධාරණ

මෙම ස්නේහකර්‍මය තරමක් වෙනස් පූර්වකර්‍මයකි. මෙහිදි ආකාර දෙකකට පිචුධාරණය කරනු ලබයි. ස්නේහනය කල යුතු සිරුරේ නිශ්චිත ස්ථානය ආවරණය වන පරිදි ගෝස්, පුළුන් හෝ කපු රෙදි කැබැල්ලක් තුනියට අතුරා සුදුසු තෛල වර්ගයක් උණුසුම් කර ගෙන එම ආරණය මතට වත්කර තෙලෙහි ඇති උණුසුම අඩුවන විට නැවත නැවත උණූසුම් තෙල් වත්කරමින් එක දිගට උණුසුම් තෙල සිරුරට උරා ගැනිමට සැලැස්විම පළමු ක්‍රමයයි. නැතිනම් උණුසුම් තෙල් වලින් පෙඟවූ ගෝස්, පුළුන් හෝ කපු රෙදි කඩවල් විටින් විට මාරුකරමින් උණුසුම් තෙලෙහි ස්පර්ෂය ලබාදීම අනෙක් ක්‍රමයයි. මෙහිදි උණුසුම් තෙලක ස්පර්ශයත් නිශ්චිත ස්ථානයකට පමණක් ප්‍රතිකාරය ලබාදිමත් සිදුකිරිම මෙහි ඇති විශේෂත්වයයි.

ශිරෝවස්ති

ශිරෝධාරා වලට අමතරව ශිරෝ රෝග වලට භාවිතා කල හැකි ස්නේහකර්‍මයක් වන්නේ ශිරෝවස්ති යෙදිමයි. එහිදි හිස මත කිරුලක ආකාරයට සකසන ලද ආවරණය ඇතුලතින් හා පිටතින් උඳුපිටි පාප්පයකින් සිදුරු නොමැති වන සේ ආවරණය කර සුදුසු තෙල් එම හිස් ආවරණය තුලට වත්කර නිශ්චිත කාලසීමාවක් දරා සිටිමට සැලැස්වීම ශිරෝවස්ති යෙදිමයි.

wedasa shirowastiබාහිර ස්නේහකර්‍ම සම්බන්ධයෙන් දක්වා ඇති අවධානයට වඩැ වැඩි අවධානයක් යොමු කර ඇත්තේ අභ්‍යන්තර ස්නේහකර්‍ම සඳහාය. පංචකර්‍ම චිකිත්සාව යනු ශරීර අභ්‍යන්තරයේ ඇති ඉවත් කල යුතු දෝෂ කොටස් එකතු කර ආසන්නතම විවරයෙන් සිරුරෙන් බැහැර කිරිම වන නිසා මෙම කාර්යය සම්පූර්ණ කර ගැනීමට බාහිර ස්නේහකර්‍ම වලින් ලැබෙන්නාවූ ප්‍රයෝජනයට වඩා වැඩි ප්‍රයෝජනයක් ලැබෙන්නේ අභ්‍යන්තර ස්නේහකර්‍ම තුලිනි.

අභ්‍යන්තර ස්නේහකර්‍ම ගැඹුරින්………

පොදුවේ ස්නේහපානය පංචකර්‍ම චිකිත්සාවෙදි සිදුකරණ පුර්වකර්‍මයක් ලෙස වෙනම කාර්යයක් සිදුකරන අතර තුර සිරුරට විවිධාකාරයෙන් ‍ගුණදායක‍ද වේ. නිතර නිතර ස්නේහ පානය කරන්නේ නම් අග්නිය වැඩී කෝෂ්ඨය පිරිසිදුව රස රක්තාදී ධාතුන් වැඩි ශරීර ශක්තියෙන් හා වර්ණයෙන් මෙන්ම ශක්තිමත් ඉන්ද්‍රියන්ලෙන්ද යුක්තව ජරාවට නොයා දිර්ඝායුෂ වැළදීමට හැකිවන තත්ත්වයක් උදා වන්නේය.
ස්නේහපානයෙන් පසු නියම ගුණ ලැබීමට නම් ස්නේහපානය සිදුකල රෝගියා විසින් තමන්ගේ සියළුම කාර්යයන් සඳහා උණූදිය පාවිච්චි කල යුතුය. නිදාගැන්ම රාත්‍රියේදී පමණක් සිදුකල යුතුය. එසේම වාත, මල, මුත්‍රා වේගයන් නොදැරිය යුතුය. ව්‍යායාම කිරීම, උස්හඬින් කථා කිරීම, ක්‍රෝධ හෝ ශෝක නොවි සිටිය යුතුය. ශීත සේවනය නොකල යුතුය. ස්නේහපාන කොට පිළිපැදිය යුතු උපචාර විධි මනාකොට පිළි නොපැද සිටියහොත් අපේක්ෂිත ගුණ නොලැබී යන්නාක් මෙන්ම භයානක උපද්‍රව ඇතිවිමේ අවස්ථාවද ඇත. මෙසේ උපචාර පිළිපැදිය යුත්තේ ස්නේහපානයේ සිට එය පැසීමට යන කාලය තෙක් පමණි. මෙම කාල සීමාවන් තිරණය වන්නේ පහත පරිදිය.
• උත්තම මාත්‍රාවෙන් හෝ කෲර කොෂ්ඨිකයන් හෝ දින හතක් ස්නේහපාන කල අය ඇතුලත් පොදු කුලකයට අයත් වන අය දින දාහතරක් උපචාර පැවැත්විය යුතුය.
• මධ්‍යම කෝෂ්ඨිකයන් හෝ දින 4,5,6 ස්නේහපාන කල අය පසුව පිළිවෙලින් දින 8,10,12 ක් දක්වා උපචාර පැවැත්විය යුතුය.
• මෘදු කෝෂ්ඨිකයන් දින තුනක් ස්නේහපානය කල පසු දින හයක් උපචාර පැවැත්විය යුතුය. ආයුර්වේද පංචකර්මය චිකිත්සාවේ නියමය එයයි.

ස්නේහපාන කාල

wedasa snehapanaවිශේෂයෙන් අධික ශිත සහ අධික උෂ්ණ කාල වලදී ස්නේහකර්‍ම/ස්නේහ ප්‍රයෝග කිරීම සුදුසු නැති බව ආයුර්වේදයේ දක්වා ඇත. සරත් සෘතුවේදී ස්වස්ථ පුද්ගලයින්ගේ පිත් දෝෂයේ කොපවීම සිදුවන අතර නිරෝගි පුද්ගලයින්ට එම කාලයේදි සුදුසු වන්නේ ස්නේහපානය සඳහා ගිතෙල් යොදා ගැනිමයි. ආයුර්වේදයේ ද්‍රව්‍යගුණ විඥානය විෂය යටතේ ගිතෙල් පිත ශමනය කරනා ප්‍රශස්ථ ද්‍රව්‍යයක් බව දක්වා ඇත. වසා මජ්ජා පානය කල යුත්තේ වසන්ත කාලයේදිය. වසන්තය යනු ප්‍රාණින්ගේ ශක්තිය ස්වභාවයෙන්ම පිරිහි යන කාලයකි. එම කාලයේදී වසා මජ්ජා පානයෙන් ඒවායේ ඇති ශක්තිය වඩන ගුණය නිසා ශරීර ශක්තිය ස්ථිර කර තබා ගැනිමේ හැකියාව ලැබේ. වර්ෂා කාලයේදී පානය කල යුත්තේ තෛලයන්ය.
දවසේ කාලය අනුව පානය කල යුතු ස්නේහ වර්ගය දක්වන්නේ නම් ග්‍රිෂ්ම දින වලදි වාතය සහ පිත වෘද්ධි වන හෙයින් රාත්‍රී කාලයේහිදි සහ ශීත දින වලදි කඵ වෘද්ධි වන හෙයින් හිරු රැස් ඇති දිවා කාලයෙහිද ස්නේහපානය කිරිම සුදුසු යැයි දක්වා ඇත. පිත්තජ රෝග වලදී ස්නේහ පානය කිරීමට අනුදක්වා ඇති මුත් එය කල යුත්තේ දවසේ කුමන වේලාවේදිද යන්න පැහැදිලිව දැන ගත යුතු මීටම අදාල කරුණකි. පිත වෘද්ධි වීම් නිසා ඇතිවන රෝග වලදී සහ ශරත් සෘතුවේදී ස්නේහ පානය කල යුත්තේ රාත්‍රි කාලයේදිය. වාතව්‍යාධි වලදි සහ වර්ෂා සෘතුවේදී තෛලපානය කල යුත්තේත් රාත්‍රි කාලයේදිය. මිත්‍යාහාර විහරණ හේතුවෙන් යම් දොෂයක් කිසියම් වේලාවකදී රැස්වීමක් හෝ ප්‍රකෝප වීමක් සිදුවුවා නම් සහ ග්‍රීෂ්ම දිනකදී පිත සංචය වුයේ නම් එම දෝෂය එම කාලයේදීම බැහැර කල යුතු බව පිළිගැනීමයි. රාත්‍රිය ස්වභාවයෙන්ම ශීත හා උෂ්ණ ගුණ යුක්ත නිසා රාත්‍රියෙහිදිද  ස්නේහපානය අයෝග්‍ය නොවේ. වැසි කාලයේදී මිත්‍යාහාර විහරණ හේතුවෙන් සෙම් රැස්වන්නේ නම් රැස්වු සෙම බැහැර කිරීමට ස්නේහපානය කල යුත්තේ දිවා කාලයෙදිය.

ස්නේහ මාත්‍රාව සහ ස්නේහපානයට සුදානම් වීම

ස්නේහපානය කිරීමට පළමුව රෝගියාට ස්නේහපානයට පෙර සහ පසුව පිලිපැදියයුතු/අනුගමනය කලයුතු ක්‍රියාවන් පිළිබඳව අවබෝධයක් ලබා දිය යුතුය. ස්නේහපානය කිරිමට සුදානම් වන රෝගියා එයට සුදානම් විය යුත්තේ පෙර දිනයේ සිටය. උෂ්ණ, අභිෂ්‍යන්දී නොවන අසංකීර්ණ හා අතිස්නිග්ධ මෙන්ම අපථ්‍ය නොවන ආහාර සුදුසු ප්‍රමාණ වලින් ගැනීමට සැලකිලිමත් විය යුතුය. එහිදි අභිෂ්‍යන්දී අතිස්නිග්ධ ආහාර, කඵ වර්ධක සහ ගුරුගුණ යුක්ත නිසා ස්‍රෝතස් අවරෝධ කොට කෝෂ්ඨාදින්ගේ ගුරුතාවය උපදවන හෙයින් පසුදින ස්නේහන පානයෙන් පසු උපද්‍රව පහල වීමක් සිදුවිය හැකියි. ඉහත ගුණ යුක්ත ආහාර පාන අපථ්‍ය ලෙස දක්වා ඇත්තේ එබැවිනි. වෛද්‍යවරයා පමණක් නොව ස්නේහපාන කරනු ලබන රෝගියාද ස්නේහ මාත්‍රාව ගැන දැනුවත්ව සිටිය යුතුය. හීන මාත්‍රාව ප්‍රතිඵල රහිත වනවා සේම අතිමාත්‍රාව හේතුවෙන් දරුණු උපද්‍රව ඇතිවිය හැකියි. සුදුසු මාත්‍රාව පිළිබඳව හොදින්ම සැලකිලිමත් විය යුත්තේ එබැවිනි. මාත්‍රාව තීරණය කිරීමට රෝගියාගේ ප්‍රකෘති, රෝගබල, දේහබල, අග්නිබල ආදිය සහ සෘතු සාත්ම්‍යතාවයන්ද පරික්ෂා කර බැලිය යුතුය. මාත්‍රාව තීරණය කල යුත්තේ ඉන් පසුවය.මාත්‍රාව ප්‍රධාන ආකාර තුනක් ගනී. උත්තම, මධ්‍යම සහ හ්‍රස්ව යනුවෙන් ඒවා දක්වා ඇත. මෙම මාත්‍රා දැක්වීම පිළිබඳ වඩාත් පැහැදිලි විග්‍රහ කිරීමක් සුශ්‍රැත ආචාර්යවරයා විසින් සිදුකර ඇත.

• යාම එකකින්/ පැය තුනකින් පාකයට යන මාත්‍රාව, මෙම ස්නේහ මාත්‍රාව අග්නි දීප්තිය ඇති කරයි. අල්ප දෝෂ ඇති අයට යොග්‍යයි.
• යාම දෙකකින්/ පැය හයකින් පාකයට යන මාත්‍රාව මෙම මාත්‍රාව වෘෂ්‍යයි, , වෘංහණයි. මධ්‍ය දෝෂ ඇති අයට යොග්‍යයි.
• යාම හතරකින්/ පැය දොළහකින් පාකයට යන මාත්‍රාව, ග්ලානි, මද මූර්ජා රෝගීන්ට විශේෂයෙන් හිතයි. සාමාන්‍ය වශයෙන් සැමට සාධාරණ මාත්‍රාව සේ සැලකිය හැකියි.
• යාම අටකින්/ පැය විසි හතරකින් උපද්‍රව රහිතව පාකයට යන මාත්‍රාව, මෙම මාත්‍රාව කුෂ්ඨ, විෂ, උන්මාද, ග්‍රහ, අපස්මාර යන රෝග වලින් පීඩිත රෝගින්ට විශේෂයෙන් ගුණදායකයි.

wedasa snehapana drinkaස්නේහපානය නිසි පරිදි සිදුවුයේ නම් එම තත්ත්වය දැනගත හැකි සම්‍යක් ස්නිග්ධ ලක්ෂණ කිහිපයකි. සිරුරේ වාතානුලෝමනය, අග්නි දීප්තිය, මල සහ අවයව වල මෘදුබව සහ සිනිඳුබව, සිරුරේ ගිලන්බව, තව දුරටත් ස්නේහපානයට අප්‍රියවීම, සිරුරට සැහැල්ලුබව දැනීම, පසිඳුරන්ගේ නිර්මලත්වය හෙවත් පසිඳුරන් මනාලෙස අරමුණු ගැනීමේ සමත් බව යන ලක්ෂණ සම්‍යක් ස්නිග්ධ ලක්ෂණ ලෙස දැක්විය හැකිය. යමෙකුට සම්‍යක් ස්නිග්ධ ලක්ෂණ පහල වීම මෙන්ම අතිස්නිග්ධ ලක්ෂණ සහ අස්නිග්ධ ලක්ෂණද පහලවිමේ අවස්ථාව ඇත. ස්නේහපානය සිරුරට අවශ්‍ය ප්‍රමාණයට  වඩා සිදුවුව හොත් අතිස්නිග්ධ ලක්ෂණත් ස්නේහපානය පමණට වඩා අඩුවෙන් සිදුවුවහොත් අස්නිග්ධ ලක්ෂණත් පහල වේ. මෙම ලක්ෂණ හඳුනා ගෙන සිටීම තුලින් රෝගීයාට ස්නේහ පානය සිදුව ඇත්තේ කුමන ප්‍රමාණයකින්ද යන්න වෛද්‍යවරයාට දැන ගැනීමට හැකිවේ. මෙම අවබෝධය රෝගීන්ගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා අත්‍යාවශ්‍යය.

අතිස්නිග්ධ ලක්ෂණ සහ අස්නිග්ධ ලක්ෂණ

ස්නේහ පානයෙන් පසු රෝගීයාට ශරීරයේ බරබව, මල පැසවා පිට නොකරයිද, තන්ද්‍රා අරුචි, උත්ක්ලේශ යන ලක්ෂණ ඇතිවේද නැතිනම් පාණ්ඩු රෝග ලක්ෂණ ඇතිවේද සිරුරේ ජඩතාවය ඇතිවන්නේද එයින් හැ‍ඟවෙන්නේ රෝගීයාට අධිකව ස්නේහකර්‍මය සිදුව ඇති බවයි. අමතරව මල පැසවා පිට නොවීමෙන් හැඟියන්නේ අතීසාර, ප්‍රවාහිකා සහ ගුදදාහ යන ලක්ෂණ ඇති බවයි. එසේම උත්ක්ලේශයෙන් අදහස් වනුයේ මුඛස්‍රාව ඇති බවයි. ආහාර රුචියක් නැතිබව අරුචි යන්නේන් පැහැදිලි කෙරේ. පිටවෙන මල ඇලෙනසුළු විම, වාතානුලෝමනය සහ අග්නිදීපනය ඇති නොකිරීම, ශරීරයේ රූක්ෂතාවය හා දෘඪතාවය ඇති කිරීම අස්නිග්ධ ලක්ෂණ සේ දැක්විය හැකිය.
නියමිත මාත්‍රාවෙන් තොරව එසේම ස්නේහ අයෝග්‍ය අය සඳහා ලබා දෙන්නාවු ස්නේහපානය නිසා ඉහත ලක්ෂණ ඇතිවන අතර මෙම ලක්ෂණවලට අමතරව සිරුරට අහිතකර රෝග තත්ත්වයන්ටද මුහුණ දිමට සිදුවිය හැක. එවැනි අවස්ථා හඳුනාගෙන ඇති අතරම ඒවා ස්නේහ ව්‍යාපත් ලෙස ආයුර්වේදයේ දක්වා ඇත. තන්ද්‍රා, උත්ක්ලේශ, ආනාහ, ජ්වර, ස්ථම්භ, විසඥතා, කුෂ්ඨ, කණ්ඩු, පාණ්ඩුතා, ශෝථ, අර්ශ‍ස්, අරුචි, තෘෂා, අග්නිමාන්ද්‍යය, ග්‍රහනි, ස්තෛම්ත්‍ය, වාතනිග්‍රහ, උදර, ශූල, ආමදෝෂ යන රෝග අවස්ථා ස්නේහ ව්‍යාපත් ලෙස ඇතිවිය හැක.

ස්නේහ ව්‍යාපත් ප්‍රතිකාර

අවිධි සේවනයෙන් හටගත් ස්නේහපාන උපද්‍රව වලට ප්‍රතිකාර වශයෙන් වමනය හෝ ස්වේදකර්‍ම කල යුතු බව මුලධර්මයක් වශයෙන් දක්වා ඇත. මීට අමතරව විරේචනයද සුදුසු පරිදි කිරීම ප්‍රයෝජනවත් විය හැකි බව දක්වා ඇත. ඒ සඳහා රෝග රෝගී බලාබලත්වය පරික්ෂා කිරීම වෛද්‍යවරයා‍ විසින් කල යුතු කාර්යයකි. මෙහිදී මෙම ප්‍රතිකාර සඳහා තක්‍රාරි්ෂටය රූක්ෂ ආහාරපාන වර්ග හා ගවමුත්‍රා ත්‍රිඵලා යෝගයන්ද එකතු කල හැකිය.
ස්නේහාජීර්ණය(අධිකව ස්නේහ පානය නිසා ඇතිවන අජීර්ණය) ප්‍රතිකාර වශයෙන් සුශ්‍රැත ආචාර්යවරයා දක්වා ඇත්තේ උණුදිය පානය කොට වමනය කරවීමයි. උණුදිය පානය මෙහිදි ඉතා වැදගත් වන්නේ එයින් උද්ගාර ශුද්ධිය සහ ආහාරරුචිය හා ප්‍රියතාවය උපදවන හෙයිනි. මීට අමතරව වියලි ඉඳුරු තැම්බු ජලයත් ෂඩංග පානයත් ස්නේහ අජීර්ණයට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර  වශයෙන් වැඩිදුරටත් දැක්විය හැකිය.
පිත්ත ප්‍රකෘති අයගේ අග්නියේ තික්ෂ්ණතාවය වැඩි වුවහොත් එවන් අයෙකුට ස්නේහ පානයෙන් පසුව තෘෂ්ණාව/පිපාසය උපදි. මේ අයට ශීතජලය පානය කර වමනය කරවීමට දක්වා ඇත. නමුත් මෙහිදි යම්කිසි පරස්පරතාවයක් ආචාර්යවරු දෙදෙනෙකු අතර ඇතිවි ඇත. (සුශ්‍රැත සහ ශාරාංගධර කතෘ) එහිදි පැමිණ ඇති නිගමනය වනුයේ පිත්තජ සමදෝෂජ අවස්ථා වලදී පමණක් උණුදිය පානය කොට වමනය කරවීමට සැලැස්විය යුතුය යන්නයි. වාත ශ්ලේෂමල අයට ශිත කාලයේදී ස්නේහපානය කර අජීර්ණ වි ගෟරව, අරුචි, ශුල ආදා ලක්ෂණ පහල වන්නේ නම් ඔවුනටද උණූදිය පානයට දීමට නිර්දේශිතය. ස්නේහ ප්‍රයෝග දීමෙන් පසු මැනවින් ස්නිග්ධ නොවුනට තෛලාදියෙන් සධ්‍යස්නේහයක්ද අතිස්නිග්ධ වුවනට රූක්ෂණ ද්‍රව්‍ය වලින් රූක්ෂණකර්‍ම කල යුතු බව ආයුර්වේද පංචකර්ම චිකිත්සාවේ දක්වා ඇති නිගමනයයි.
ස්නේහකර්මේ පිළිබඳව ආයුර්වේදයේ දක්වා ඇති සංකල්ප සහ මුලධර්ම ඉහත වන පරිදි පංචකර්ම විෂය යටතේ තවදුරටත් මෙම පිළිබඳව ඉදිරියේදි සාකච්ඡා කිරිමට අපේක්ෂා කරමු. මෙම විෂය කොටස පිළිබඳව තව දුරටත් හැදෑරීමට අපේක්ෂා කරන අයෙකුට වෛද්‍යාචාර්ය ගාමිණි විජේසිංහ මහතා විසින් රචිත පංචකමර්‍ චිකිත්සා(ප්‍රථම භාගය) ආයුර්වේද ග්‍රන්ථය පරිශිලනය කිරිමෙන් වැඩි තොරතුරු ලබා ගත හැක.