ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
සර්පයින් හදුනා ගනිමු!
පොළොං තෙලිස්සා (උග්‍ර විෂ)

පොළොං තෙලිස්සා (උග්‍ර විෂ)

මූලිකව නිවර්තන වැසි වනාන්තර සහ වියළි කලාපීය ලදු කැලෑ වලට පමණක් සීමා නොවී එකසේ අනෙකුත් සෑම පරිසර පද්ධතින් තුලදීද  දැකගත හැකි සත්ත්ව කොට්ඨාශයක් මේ මිහිපිටදී හමුවේ නම් ඒ සර්පයින් ලෙස සාමාන්‍ය බස් වහරේදී හදුන්වනු ලබන සත්ත්ව ප්‍රභේදය හැර අන් කවරෙක්ද? එසේම නූතන සත්ත්ව විද්‍යාත්මක නාමකරණයට අනුව මොවුන් ඇතුලත් කර ඇත්තේ පෘෂ්ඨවංශී සත්ත්වයන් (Chordata) අතරින් උරගයන්(Reptilia) අයත් වන වර්ගයේ පාදරහිතවූත්  බඩගා ඇවිදින සත්වයන්(squamata) ඇතුලත් කර ඇති ගෝත්‍රයටයි  . ග්‍රාමීය ප්‍රදේශ වලට හෝ වනාන්තර වලට පමණක් සීමා නොවී දැඩි ජනාකීර්ණ නගර තුලදී පවා කුමණ හෝ විශේෂයකට අයත් සර්පයෙක් අද දිනයේ වුවද දැක ගැනීමට හැකිවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

සර්පයින්ගේ දෂ්ට කිරීම් වලට පුද්ගලයින් නිරාවරණය වන ප්‍රමාණයන් අනූව  ලොව ඉදිරියෙන්ම කියැවෙන රටක් ලෙස ශ්‍රී ලංකාවද කියැවෙන්නේ මේ

නාගයා(උග්‍ර විෂ) Indian cobra

නාගයා(උග්‍ර විෂ) Indian cobra

ආකාරයට සර්පයින්ගේ ව්‍යාප්තිය සිදුව ඇති පරිසරයක් මෙරට තුල පැවතීම නිසාම  විය යුතුය. මෙරට සෞඛ්‍යය අමාත්‍යංශ දත්ත වාර්ථා වලට අනූව 1970 දශකයේදී වාර්ෂිකව 61000 ක් පමණ පුද්ගලයින් ප්‍රමාණයක් සර්ස දෂ්ට කිරීම් වලට ලක්ව ඇත. එයින් වාර්ෂිකව 694 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව සදහන්ය. ඊට පසු දශකයේදී සර්ප දෂ්ටයන්ට ලක්වු ප්‍රමාණය 65000 දක්වා වැඩිවී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 800 කට වඩා වාර්ෂිකව සිදුව ඇත. එම වර්ධනයට

එම යුගයේ මෙරට තුල සිදුවු කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘති හේතු වන්නට ඇති බව සිතිය හැක. සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වන සතුන්ට තම ස්වාභාවික වාසභූමි අහිමිවීම නිසා ඔවුන් මිනිස් ජනාවාස අසලට පැමිනීම සහ මිනිසුන් සමග ගැටීමේ අවස්ථා වැඩිවිය. එසේම නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් සිදුකල වගාකටයුතු නිසා ගොවිබිම් තුලදී සිදුවු සර්ප දෂ්ටයන්ද වැඩිවිය. සංවර්ධන කටයුතු වලට සමගාමිව යටිතල පහසුකම් (රෝහල්, මහාමාර්ග වැනි) ප්‍රමානවත් ලෙස වර්ධනය නොවීම නිසා හදිසි අවස්ථාවකදී ක්ෂණිකව නිසි ප්‍රතිකාර ලබාදීමේ අවස්ථාවන්ද මගහැරිණි.

එයද මෙවැනි මරණයන් වැඩිවීමට හේතු වී ඇත. අනූව දශකය වන විට මෙම තත්ත්වයේ යම් ස්ථාවර මට්ටමකින් දැක ගත හැකි වුවත් සර්ප දෂ්ටයන් සිදුවීමේ අවධානම් තත්ත්වය සම්පුර්ණයෙන්ම පහව ගොස් තිබුනේ නැත. පසුගිය දශකයේ අග භාගයේ සිට මේ වන තෙක් කාල පරාසය තුලදී ඉතා සීග්‍රයෙන් වනාන්තර එළිකරමින් සිදුකරන යම් යම් ව්‍යාපෘති නිසා නැවතත් සර්පයන් ඇතුළු බොහෝ සත්ත්ව විශේෂ වලට වාසස්ථාන අහිමිවීමේ හෝ ප්‍රමාණවත් නොවීමේ තත්ත්වයක් ඇතිවන බව දැක ගත හැකිය. එහි ප්‍රතිඵල ලෙස අවාසනාවන්ත ලෙස සිදුවන වනසතුන්ගේ මරණයන් ප්‍රමාණය වැඩිවි ඇත.

මුදු කරවලා(උග්‍ර විෂ) Sri lankan krait

මුදු කරවලා(උග්‍ර විෂ) Sri lankan krait

ඊට සාපේක්ෂව මෙම සතුන් වනයෙන් එළියට පැමිණ අසල මිනිස් ජනාවාස වලට හා ගොවිබිම් වලට ඇතුළු වී විශාල විනාශයන් සිදුකිරීමද වැඩිවී ඇත. සර්පයින් බොහොමයක් නිශාචර ජීවිත ගත කරන්නන් බැවින් එම සතුන්ට වැඩි අවධානමකින් තොරව මිනිස් වාසයන් අසලටම පැමිණීමේ හැකියාව තිබේ. විශාල කැලයක් තබා කුඩා වනරොදක සේයාවක් වත් නොමැති ඉතාමත් ජනාකීර්ණ නගර වල පවා විවිධ වර්ගයන්ගේ සර්ප විශේෂ හමුවීම සිදුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. බොහෝ මාර්ග වල උදෑසන පයින් ගමන් කරන්නේ නම් රථවාහන වලට හසුවි මියගොස් සිටින සර්පයින් දැක ගැනිමේ අවස්ථාව ඇත. ලොව සොයා‍ ගෙන ඇති සියළුම සර්ප විශේෂයන්ගෙන් අතිමහත් බහුතරයක් සර්පයින් ප්‍රමාණයක්  මාරාන්තික විෂ සහිත සර්පයින්‍ නොවෙති. ලොව පුරා සර්ප විශේෂ 2500 කට වැඩි ප්‍රමාණයක් සිටින මුත් ඉන් උග්‍ර විෂ වන්නේ 10% ක් පමණ ප්‍රමාණයක් පමණි. ශ්‍රී ලංකාවේ දැනට හදුනාගෙන ඇති සර්ප විශේෂ සංඛ්‍යාව 96ක් පමණ වේ. ඔවුනතුරෙන් මාරාන්තික විෂ සහිත ගොඩබිම සර්පයින් ලෙස හමුවන්නේ විශේෂ හයක් පමණි. අනෙක් විශේෂ 90 වම මද විෂ හෝ විෂ රහිත සර්පයෝ වෙති. නිසි ලෙස සර්පයින් හදුනා ගැනීමකින් තොරව සර්පයෙක් දුටු විගස එම සත්ත්වයා මරා දැමීමට සමාජයේ බොහෝ දෙනා පුරුදුව සිටින්නේ විෂ සහිත හෝ විෂ රහිත සර්පයින් වෙන් කර හදුනා ගැනීමට නොදන්නා නිසාවෙන් බව කිව හැක. මේ නොදැනුවත් භාවය නිසා අහිංසක සර්ප විශේෂ රාශියක් කෲර ලෙස මිනිසුන් විසින් මරා දැමීම සිදුකරණු ලබයි.

පරිසර පද්ධතීන් තුල පවතින බොහෝ ආහාර දාමයන්හි අත්‍යාවශ්‍ය පුරුකක් නියෝජනය කරනා සාමාජිකයින් ලෙස සර්පයින් නිසි පරිදි සොයා බැලීමකින් තොරව පරිසරයෙන් තුරන් කිරීම තුලින් සමස්ථ පරිසර පද්ධතියම බිඳ වැටීම වැලැක්විය නොහැකි අනතුරකි. ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය වැඩිකරනා බොහොමයක් සර්ප විශේෂද මේ තත්ත්වය හමුවේ පරිසරයෙන් මුලුමනින්ම තුරන්ව යැමේ අවධානමට මුහුණ පා සිටි. මෙවැනි පසුබිමක් තුල ස්වාභාවික පරිසරයේ අත්‍යාවශ්‍ය රාජකාරියක් ඉටුකරනා සත්ත්ව කොට්ඨාශයක් වශයෙන් සර්පයින් ආරක්ෂා කර ගන්නා අතරම ප්‍රභල සෞඛ්‍යය ගැටළුවක් බවට පත්ව ඇති සර්ප දෂ්ටයන්ගෙන් සමාජයේ වෙසෙන්නන් ආරක්ෂා වීමටද සර්පයින් පිළිබදවත් සර්ප දෂ්ටයකින් වැලකි සිටින අයුරු පිළිබඳවත් සර්ප දෂ්ටයකදී කල යුතු දෑ පිළිබඳවත් යම් අවබෝධයක් සහිතව සිටිම අත්‍යාවශ්‍ය වන බව පැහැදිලිය.

දෙපත් කලුවා(උග්‍ර විෂ) Sri lankan coral snake

දෙපත් කලුවා(උග්‍ර විෂ) Sri lankan coral snake

බටහිර වෛද්‍ය විද්‍යාව තුල මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලද සර්ප දෂ්ටයන්ට ප්‍රතිකාර කල යුතු ආකාරය ගැන විස්තර දක්වා ඇත. මීට අමතරව දේශිය චිකිත්සා ක්‍රමය තුල සර්ප විෂ සඳහා ප්‍රතිකාර කිරීම වෙනම ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධනය වී ඇත. එය කෙතරම් සමාජානුබද්ධ ප්‍රතිකාර ක්ෂේත්‍රයක් වී ඇති දැයි පවසන්නේ නම් මේ මොහොතේදීද බටහිර ප්‍රතිකාර සදහා යොමුනොවී සර්ප විෂ වෙද මහතුන්ගේ සේවය ලබා ගන්නන් ඕනෑතරමක් සමාජයේන් සොයා ගත හැක. බොහෝ විට නගරයෙන් බැහැර බටහිර රෝහල් පහසුකම් ලබාගැනීමට දුෂ්කරතා ඇති ප්‍රදේශ වල මෙම වෙද මහතුන් ප්‍රශංසනීය සේවයක් සිදුකරනු ලබයි. එයින් නොනැවතී බටහිර වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ පහසුකම් පවතින ප්‍රදේශ වල පවා රෝහල් කරා නොගොස් කීර්තිමත් සර්ප විෂ වෙද සෘෂිවරු වෙත රෝගීන් රුගෙන යන්නේ එම ප්‍රතිකාරයන්ගේ ඇති රෝග සුව කිරීමේ විශ්මිත බලය ප්‍රායෝගිකව ඔවුන් විසින් සනාථ කර ඇති නිසාවෙනි. බොහෝ විට දෂ්ට කල සර්පයා හදුනා නොගත්තේ නම් එවැනි රෝගියෙකුට බටහිර ප්‍රතිකාර ලබා දීමේදි යම් යම් ප්‍රායේගික ගැටළු පැන නැගීමේ අවස්ථා ඇතිවේ. එහෙත් දෂ්ට කල සර්පයා හදුනා ගත්තද නැතිවුවද බොහෝ දේශිය සර්ප විෂ වෛද්‍යවරයන් ධූත ලක්ෂණ සහ ‍නක්ෂත්‍රයද අත්දැකීම්ද උපයෝගී කර ගනිමින් සාර්ථකව රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ කාර්යය ඉටු කරන අවස්ථා අනන්තවත් ඇත.

ලොව පුරා විසිරි සිටින සර්ප විශේෂ ප්‍රධාන කුල එකොලහක් යට‍තේ වර්ග කර දක්වනු ලැබේ.

  • Leptotyphlopidae (Thread snakes)
    Typhlopidae (Blind snakes)
    Anomolepidae
    Uropeltidae (Shield-tailed snakes)
    Aniliidae (Pipe snakes)
    Xenopeltidae (Sun beam snakes)
    Boidae (Boas and pythons)
    Acrocbordidae (wart snakes)
    Colubridae (Typical snakes)
    Elapidae (Cobras etc)
    Viperidae (vipers and pit vipers)

ඉහත කුල අතරින් සර්ප විශේෂ වැඩිම ප්‍රමාණයක් ඇතුලත් වන්නේ Colubridae කුලයටයි. එම කුලයේ සර්පයින් සුළු විෂ සහිත සත්ත්වයින්ය. අප සමාජයේ බොහෝ දෙනා උග්‍ර විෂ සර්පයින් යැයි වැරදියට සිතා සිටිනා‍ මාපිල් විශේෂ අයත් වන්නේ මෙම කුලයටය. ඊට අමතරව නිතර දකින ඇහැටුල්ලා, ගැරඬියා වැනි සර්පයින්ද අයත් වන්නේ මෙම කුලයටයි. ලංකාවේ සිටිනා සර්ප විශේෂ 96 ඇතුලත් වන්නේ කුල අටකට පමණි. සර්ප කුල තුනක සර්පයින් ලංකාවේදී හමුවන්නේ නැති අතර ඒවා නම් Leptotyphlopidae (Thread snakes), Anomolepidae සහ Aniliidae (Pipe snakes) යන කුල තුනයි. කෙසේ නමුත් ලංකාවේ වාර්තා වන සර්පයින් ප්‍රධාන ලෙස උග්‍ර විෂ, මද විෂ, සුළු විෂ සහ නිර්විෂ සර්පයින් යනුවෙන් කොටස් හතරකට බෙදා දැක්විය හැක.

ලංකාවේ ගොඩබිම් සිමාව තුල වාසය කරනා උග්‍ර විෂ සහිත සර්පයින් විශේෂ හයක් පමණක් හමුවේ.

  1. නයා(Indian cobra)
  2. තෙල් කරවලා(Common krait)
  3. මුදු කරවලා(Sri lankan krait)
  4. තිත් පොළඟා(Russell’s viper)
  5. වැලි පොළඟා(Saw scaled viper)
  6. දෙපත් කලුවා(Sri lankan coral snake)

මේ අතරින් මුදු කරවලා සහ දෙපත් කලුවා යන සර්ප විශේෂ දෙක මෙරටට ආවේනික සර්පයින් ලෙස හදුනා ගෙන ඇත. මෙම විශේෂ හයට(06) අමතරව තවත් මුහුදු සර්ප විශේෂ දහතුනක්(13) උග්‍ර විෂ සහිත බව හදුනා ගෙන ඇත. මෙම විශේෂ අයත් වන්නේ Xenopeltidae/ Hydrophidae යනුවෙන් හදුන්වන කුලයටයි. මෙම උග්‍ර විෂ සහිත සර්ප විශේෂ දහනමයට(19) අමතරව මද විෂ සහිත සර්ප විශේෂ හතරක්(04) හමුවේ.

  1. පොළොන් තෙලිස්සා/කුණ කටුවා (Merrem’s hump-nosed viper)
  2. මූකලං තෙලිස්සා (Millard’s hump-nosed viper)
  3. කුඩා මූකලං තෙලිස්සා (Gloyd’s hump-nosed viper)
  4. පළා‍ පොළඟා (Green pit viper)

පොළොන් තෙලිස්සා හැර ඉතිරි විශේෂ තුනම මෙරටට ආවේනික විශේෂයන් වේ.සුළු විෂ සහිත සර්ප විශේෂ හමුවන්නේ විශේෂ එකොළහක්(11) පමණි.

  1. ඇහැටුල්ලා (Green vine snake)
  2. හෙන කඳයා (Brown vine snake)
  3. මල් කරවලා/නිතලුවා (Sri lankan keel back blossom krait)
  4. පදුරු මාපිලා (Barnes’s cat snake)
  5. නිදි මාපිලා (Sri lankan cat snake)
  6. නාග මාපිලා/ලේ මාපිලා (Forsten’s cat snake)
  7. රෑන් මාපිලා (Common cat snake)
  8. කුණු දිය කළුවා (Dog-faced water snake)
  9. මල්සරා/පොල් මල් කරවලා (Ornate flying snake)
  10. දගර දන්ඩා
  11. දිය බරියා (Gerard’s water snake)

දගර දන්ඩා, මල් කරවලා සහ පදුරු මාපිලා යන විශේෂ තුන ආවේනික විශේෂයන් වේ.

සර්ප විෂ

පළා පොළගා(මද විෂ)

පළා පොළගා(මද විෂ)

සර්පයින්ට ආහාර ගැනීමේදී ගොදුරු අඩපන කරගැනීමට ප්‍රධාව වශයෙන් උපකාර වන්නේ ඔවුන් සත් විෂයි. මීට අමතරව තම ගොදුරු ජීර්ණය පහසු කිරීමටත් සතුරන්ගෙන් ආරක්ෂා වීමටත් මෙම විෂ උලකාරි වේ. එක් දෂ්ටයකදී විෂ ග්‍රන්ථි වල ඇති විෂ සම්පූර්ණයෙන්ම පිට වන්නේ නැත. මෙම විෂ සෑදී ඇත්තේ ප්‍රෝටීන, එන්සයිම හා කාබනික අම්ලවල සංකලනයන් ලෙසය. එය අවර්ණ කහ හෝ දුඹුරු ද්‍රාවණයකි. වියලුනු විට කහ පැහැති කැට බවට පත්වේ.උග්‍ර විෂ සහිත සර්පයෙකුගේ දෂ්ටයකදී වුවද සෑම අවස්ථාවකදීම මාරාන්තික  ප්‍රතිඵල අත්කර දෙන්නේ නැත. එසේම මද විෂ හෝ සුළු විෂ සර්පයෙකුගේ දෂ්ටයකදී වුවද බරපතල  තත්ත්වයන්

ඇතිවිය හැකි අවස්ථා උදාවේ. මෙසේ වීමට හේතු වන්නේ කුමක්ද? වෛද්‍ය විද්‍යාත්මකව මේ පිළිබදව සොයා බලා ඇත. එහිදි සොයාගෙන ඇති කරුණු වන්නේ රෝගියාගේ වයස, දෂට කල ස්ථානය, දෂ්ටය සිදුවු වේලාව සහ දෂ්ටය සිදුවු ශරීරගත ස්ථානයේ ස්වභාවය යන හේතූන් නිසා විෂ ක්‍රියාවේ විචලනයන් සිදුවන බවයි.

  • රෝගියාගේ වයස

කුඩා දරුවෙකු හෝ මහළු අයෙකු නම් මාරාන්තික ප්‍රවණතාවය අධික වේ.

  • දෂ්ට කල ස්ථානය

දෂ්ටය සිදුවු ශරීරගත ස්ථානය හෘදයට හා මොළයට වඩාත් ආසන්න නම් මාරාන්තික බව අධිකය.පාදය වැනි දුරස්ථ ස්ථානයකට දෂ්ට කර ඇත්නම් අනතුර සාපේක්ෂව අඩුය.

  • දෂ්ඨය සිදුවු වේලාව

සාමාන්‍යයෙන් ප.ව 6.00 න් පමණ පසුව සිට පෙ.ව 4.00 පමණ දක්වා කාලය තුළ බෝහෝ සර්පයින් ක්‍රියාශිලි විම නිසා සර්පයින්ගේ විෂ කෝෂ පිරි පවතින බව පිළිගැනේ. එබැවින් ඒ කාලය තුළ සිදුවන දෂ්ටයන් වලදි වැඩිපුර විෂ ශරිරගත විය හැක.

දේශිය චිකිත්සාවේදි දෂ්ට කළ වේලාව අයත් වන කලාව ජෝතීෂ්‍යානුකූලව විමසා බලා එම වේලාවේ ප්‍රබලතාවය අනුව විෂ ව්‍යාප්ත විමේ විචලනයන් සිදුවන බව දක්වා ඇත. දෂ්ටය සිදුවන අවස්ථාවේදි සර්පයා නිරාහාරව හෝ බියට පත්ව ඇතිනම් එවැනි අවස්ථා වලදි සිදුවන දෂ්ටයන් වල විෂ අධික වේ.

  • දෂ්ටය සිදුවු ශරීරගත ස්ථානයේ ස්වභාවය

දෂ්ටය සිදුවන්නේ කෙළින්ම සමට නොව ඇද සිටිනා ඇදුමට නම් ශරිරගත වන විෂ ප්‍රමාණය අඩුය. විද්‍යාත්මකව සොයා ගෙන ඇත්තේ දෂ්ටයකදි 60%කටත් වඩා වැඩි විෂ ප්‍රමාණයක් ශරිරගත නොවන බවයි.

 කලබල වෙන්න එපා!

දිය නයා(සුළු විෂ)

දිය නයා(සුළු විෂ)

සර්ප දෂ්ටයක් සිදුවු විටදි බෝහෝ දෙනා කළ යුතු දේට වඩා නොකළ යුතු දේ කිරිමට පෙළඹෙන බව පිළිගැනිමයි. එසේ වන්නේ රෝගියා සේම ඔහුගේ වටා සිටින අයද නිරායාසයෙන්ම බියට පත්වන නිසාය. එවැනි අවස්ථාවකදි සිදුකරනු ලබන ක්‍රියාවන් නිසා රෝගියාගේ ජිවිතයට තර්ජනයක් පවා එල්ල විය හැක. දෂ්ට කරනු ලැබු මුඛය කිසිවිටකත් කැපිම හෝ තුවාල කිරිම නොකළ යුතුය. රෝගියා ඇවිදිම නොකළ යුතුය. දෂ්ට කළ ස්ථානය නොසෙල්වන පරිදි සිටිමට රෝගියාට උපදෙස් දිය යුතුය. දෂ්ට කළ සර්පයා අන් අය හදුනා ගත්තේ නම් ඒ බව රෝගියාට දැන්විමට යාමෙන් රෝගියා අනවශ්‍ය කලබලයකට පත් විය හැක. එසේම රෝගියා සිහි මුර්ජාවට පත්ව ඇත්නම් කිසිවක් පෙවිමට උත්සහ නොකළ යුතුය. සමහරුන් විසින් මත්පැන් පෙවිමට උත්සහ කරයි. එය කිසිසෙත්ම යෝග්‍ය නැත. දෂ්ට කළ ස්ථානය අනුව යොදන තිරිංගයේ ස්වභාවය වෙනස් වන අතර නිසි අවබෝධයකින් තොරව එවැනි දෙයක් කිරිමට යාම අනතුරුදායකයි. හැකි තරම් ඉක්මණට වගකිව යුතු වෛද්‍යවරයෙකු වෙත රෝගියා රැගෙන යාම අන් අයගේ වගකිමකි. පෙර සදහන් කළ ආකාරයට බියට පත් විම සහ කලබල විම සර්ප දෂ්ටයකදි මාරාන්තික ප්‍රතිඵල ගෙනදිමට බලපාන ප්‍රධාන සාධකයයි. එබැවින් කම්පනයට පත්ව සිටින රෝගියා සැනසිම අන් අයගේ යුතුකමයි. දෂ්ට කළ ස්ථානය සේදිය යුත්තේ ගලා යන ජලයෙනි. එහිදි සබන් යොදා සෙමින් සේදිය යුතුය. හැකිනම් දෂ්ට කළ සර්පයා හදුනා ගැනිම නිවැරදි ප්‍රතිකාරයට උපකාරි වේ. බෝහෝ සර්ප දෂ්ට වලදි ශෝථය (ඉදිමුම‍‍‍‍) ඇතිවේ. එබැවන් පැළද සිටින ආභරණ වේනම් ඒවා ගලවා දැමිම යෝග්‍ය වේ.

සර්ප දෂ්ට කිරිම් වලක්වා ගන්නේ කෙසේද ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍?

අනාරක්ෂිත භූමියක ගමන් කරන විට ආරක්ෂාකාරි පාවහන් සහ කලිසම් වැනි ඇදුමකින් සැරසි යෑම කළ හැක. තණකොළ ඇති ස්ථාන වල ගමන් කරනා විට  හැරමිටියක් හෝ ලීයක් මගින් පොළව දෙපසට තට්ටු කරමින් යාම . මක්නිසාද සර්පයින් සන්වේදි වන්නේ කම්පනයන්ටය. බෝහෝ සර්පයින් මෙම කම්පන සංවේදනය වු විට එම ස්ථාන වලින් ඉවත්ව යයි. රාත්‍රි කාලයේ ගමන් කරනා විට විදුලි පන්දමක් රුගෙන යාම කල යුතුය. නැතිනම් කුමන හෝ ආලෝකයක් සහිතව ගමන් කල යුතුය. තම නිවෙස් අවට නිතරම එලිපෙහෙලි කොට පිරිසිදුව තපා ගත යුතුය. බොහෝ සර්පයින් සීතල ස්පර්ෂය ඇති අහුමුලු වල සැගවී සිටීමට රුචි කමක් දක්වයි. එවැනි තැන් ඇත්නම් ඒවා ඉවත් කර ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. සර්පයින්ගේ ප්‍රධාන ආහාර වන්නේ ගෙම්බන් මීයන් වැනි කුඩා ක්ෂීරපායි සතුන්ය. එම සතුන් නිවෙස් තුල බොවී ඇත්නම් ඒ සර්පයිනට ඔබ නිවසට ඇතුළු වීමට දුන් යම් අවසරයක් වැනිය. සර්පයින් අතින් ඇල්ලීම භයානකය. නිසි ලෙස සොයා බැලීමකින් තොරව සර්පයින් ගැවසිය හැකියැයි අනුමාන කල හැකි දිරාගිය කදන් සහ ගල් ආශ්‍රීත ස්ථාන තුලට අත් යොමු කිරීමෙන් වලකින්න. සර්පයින් එලවා දැමීමට යෝග්‍ය වන  පැට්‍රෝල් සහ භූමීතෙල් එම කාර්යයට යෙදා ගන්න.

විෂ නිසා වන දේ……

පදුරු මාපිලා(සුළු විෂ)

පදුරු මාපිලා(සුළු විෂ)

උග්‍ර විෂ සහිත සර්පයින්ගේ දෂ්ටයන් වලදී ප්‍රධානව බලපානු ලබන ශරීර පද්ධතීන් වන්නේ ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය සහ වකුගඩු වලටය. නාගයින් සහ කරවලුන් ගේ වීෂ ප්‍රධනව අක්‍රීය කරනු ලබන්නේ ස්නායු පද්ධතියයි. එහෙත් පොළොං විෂ වලදී රුධිර සංසරණ පද්ධතියට දැඩිව බලපැන් එල්ල කරනු ලැබේ. මෙම තත්ත්වය දැනගෙන සිටිම රෝගීයට ප්‍රථමාධාර දීමේදී සහ ප්‍රතිකාර කිරීම ආරම්භ කිරිමේදි ප්‍රයෝජනවත්වේ. කරවල් විෂ ශරීර ගතවූ විට ස්ථානිකව සාමාන්‍ය වේදනාවක් සහ මද ඉදිමුමක් දැක ගත හැකිය. ඊට අමතරව ඇසේ කළු ඉංගිරියාව වැසී තිබීම, ඇස් පිහාටු ඉස්සිය නොහැකි වීම, රෝගියාගේ පෙනීම දුර්වලවීම, හුස්ම ගැනීමේ අපහසුව හා හුස්ම හිරවීම, කථා කිරීමේ අපහසුව සහ සිහි මුර්ජා වීම වැනි තත්ත්වයන් ඇතිවේ. නයි විෂ ශරීර ගතවීමේදී දෂ්ට කල ස්ථානයේ උග්‍ර වේදනාව, දැඩි‍ ලෙස ඉදිමීම සහ දෂ්ට කල ස්ථානයේ වු තුවාලය ආසාදනය වීම ස්ථානිකව දැක ගත හැකිය. ඇසිපිය කඩා වැටීම, නිදිබර ගතිය, අසහනය සහ සාංකාව ඇතිවීම, හුස්ම ගැනීමේ අපහසුතාවය සහ කළා කිරීමේ අපහසුව සිහි නැති වීම හා කම්පනයට පත්වීම යන ලක්ෂණ දැක ගත හැකිය. පොළොං විෂ ශරීර ගත වූ විට ඇතිවන විශේෂ ලක්ෂන කිහිපයක් වේ. ස්ථානීකව ගත් කල ඉදිමුම, දෂ්ට කල ස්ථානයෙන් අධිකව ලේ ගැලීම මෙහි විශේෂ ලක්ෂණයකි. රෝගියාගේ විදුරුමස්, නාසය හා ඇස්පිය වලින් ලේ ගැලීම, මල මුත්‍රා සමග ලේ පිටවීම, ලේ වමනය ඇතිවීම, අන්තර් කඵාල රක්තපාතය, ස්ත්‍රි පුරුෂ ලිංග තුලින් රක්තපාතය සිදුවීම දැක්විය හැක. අභ්‍යන්තර අවයව තුලට රක්තපාතය, නිදිබර ගතිය, කතා කිරීමේ අපහසුතාවය, ස්වශනය දුර්වල වීම, මුත්‍ර අඩස්සිය.වකුගඩු ක්‍රියා විරහිතවී මරණය ඇතිවීම.

විෂ ගෝර සර්පයා දැක නෑර මෝඩයා…….

අවසන් ලෙස පැවසීමට ඇත්තේ ඔබ නිසි පරිදි සර්පයින් හදුනන්නේ නම් සහ සර්ප දෂ්ටයක් සිදු වීම වලක්වා ගනිමින් ජීවත් වීමට දන්නේ නම් කිසි ලෙසකින් වත් සර්පයින් මරා දැමීමට නොපෙළඹිය යුතු බවයි. දුටු දුටු විගස අතට අසුවන දෙයකින් පහර දී මෙම සත්ත්වයින් මරා දමන්නේ නම් එසේ කරනුයේ සැබෑ ලෙසම මොඩයෙක් විසිනි. අපට මේ පොළවේ යම් අයිතියක් ඇත්ද ඒහා සමානම අයිතියක් මෙම සත්ත්ව කොට්ඨාශයටද පොළවේ හිමි වන්නේය.  ඔවුන් තමන්ගේ ආරක්ෂාව සදහා ගනු ලබන ආරක්ෂිත උපක්‍රමයක් නිසා මිනිසාට එයින් අනතුරක් සිදුවිය හැකි මුත් මිනිසා විසින් ආරක්ෂාකාරී වන්නේ නම් එම අනතුරෙන්ද මිනිසාට ගැලවිය හැක. එසේ නොකොට මිනිසා විසින්ද පහර දීමට ගිය හොත් සර්පයා සහ මිනිසා අතර වෙනසක් ඇති නොවුනු ඇත.

 


  • sashenka

    very interesting