ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
සත්ත්ව රජස් තමස් සහ ආයුර්වේදයේ මානසික රෝග

mindආයුර්වේදයට අනූව රෝග ආකාර(ප්‍රභේද) තුනකි. නිජ ආගන්තුක සහ මානසික යනු එම ත්‍රිත්වයයි. එයින් නිජ(දෝෂජ) රෝග යනු ශාරීරික වාත, පිත්ත සහ කඵ යන දෝෂයන්ගෙන් හට ගන්නා රෝගයි. භූත, විෂ, වායු, අග්නි සහ අභිඝාත ආදියෙන් හටගන්නා රෝග ආගන්තුක රෝගයි. කැමති වු දේ නොලැබීම සහ අනිෂ්ඨ දේ ලැබීම යන හේතු නිසා ඇති වන රෝග මානසික රෝග කාණ්ඩයට වැටේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ එක් අංශයක් ලෙස ඇති මානසික රෝග අංශය හා සමානවම ආයුර්වේදයේද මානසික රෝග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර වෙනම එය සාකච්ඡාවට බඳුන් කර ඇති බව මෙයින් පෙනේ.

මානසික රෝග ශාන්තිය….

මානසික රෝග ශාන්තිය සඳහා බුද්ධිමත් තැනැත්තහු හිතාහිත කරුණු ගැන සලකා බලා ලොභ, ක්‍රෝධ, මෝහාදිය අත්හැර දමා අහිත ජනක ධර්ම, අර්ථ, කාමයන් සේවනය නොකිරීමෙන්ද, හිතකාරක ධර්මාර්ථකාමයන් සේවනය කිරීමටද උත්සහ කටයුතු යි. මේ ලොකයෙහි ධර්ම, අර්ථ, කාම යන මේවා හැර මානසික සැප දුක් සම්පාදනය කිරීම පිණිස වු අනෙකක් නැති හෙයිනි. මෙසේ හිතකාරි ධර්මන අර්ථ කාම යනාදිය සේවනය කිරීමද, ඒ පිළිබඳව දැනීම(ඥාණය) ඇති වෘද්ධයන්ගේ උපදේශ ලබා ගැනීමද, ආත්මය, දේශය, කාලය, බලය, ශක්තිය යන මොවුන් පිළිබඳ මනා දැනිමක් ඇති කර ගැනීමද යහපත්ය.
ඉහත දැක්වුයේ චරක සංහිතා සුත්‍රස්ථාන ත්‍රි‍ස්‍රෛෂණිය නම් එකොලොස් වෙනි අධ්‍යායයේ සඳහන් වන කොටසකි. අමතරව චරක සංහිතාවේ නිදානස්ථාන, චිකිත්සාස්ථාන ඇතුළු ස්ථාන බෙහො ගණනක මානස රෝග සම්බන්ධ තොරතුරු ඇතුලත්ය. මානසික රො‍ග ගැන විමසිමට පෙර මනස යනු කුමක්දැයි දැන ගැනීම වැදගත් වේ යැයි සිතමු. විශේෂම කරුණ වන්නේ මානසික රෝග යන වචනය භාවිතා කලද බටහිර වෛද්යක විද්‍යාවට මනස යනු කුමක්දැයි පැහැදිලිවම හඳුන්වා දීමට නොහැකි වී තිබීමයි. ඇත්ත වශයෙන්ම මනස යනු කුමක්ද? එවැනි දෙයක් භෞතිකව අප ශරීරය තුල ඇතිද? පළමුව විසඳා ගත යුතු පැණය වන්නේ එයයි.

මනස යනු කුමක්ද?

බටහිර මනෝ විශ්ලේෂණ වාදය තුල ඇත්තේ අසම්පූර්ණ දැණුමකි. මනස නිවැරදිවම විග්‍රහ කරනු ලබන්නේ පෙරදිග දර්ශනවාද තුලයි. එවායේ බොහො‍මයක සුළු සුළු වෙනස් කම් පැවතුනද බොහෝ දුරට එකහා සමාන පදනමක් සහ සැකැස්මක් ඒ හැම දර්ශනවාදයක් තුලම මනස විග්‍රහ කරන ස්ථාන වලදී දැක ගත හැකිය. ආයුර්වේදය තුල මනස විග්‍රහ කර ඇත්තේ සාංඛ්‍ය දර්ශනය ආදි වු දර්ශන වල සංකල්ප ගුරු කර ගනිමිනි. එය ඉතාම බරපතල සහ න්‍යායාත්මක සහ සංකල්පීය වශයෙන් සවිමත් එකකි. මානස රෝග විශ්ලේෂණය කරන්නේද එම පදනම් ගුරු කර ගනමිනි. නමුත් මනස ගැන වඩාත් නිවැරදිම ඉගැන්වීම ඇත්තේ බෞද්ධ දර්ශනය තුලයි. ධම්මපදයේ දැක්වෙන පහත ගාථා පාඨය තුලින් මනසේ සැබෑ ස්වරූපය විස්තර කරයි.

“දුරංගමං ඒක චරං අසරීරං ගුහාසයං”

මෙහි තේරුම වන්නේ ශරීරය නැමති ගුහාවේ වාසය කරන සිත තනිව ම දුර ගමන් කරයි යන්නයි. මනස අරමුණින් අරමුණට සීඝ්‍රයෙන් වෙනස් වන බව දැන් වැටහෙනවා ඇතැයි සිතමු.

මනස යනු දැනගැනීමේ හැකියාව උපදවන ජීව ස්වභාවය යැයි පෙරදිග විශ්වාසයයි. මෙයින් අදහස් වන්නේ යම් යම් දේ දැන ගන්නට ඉවහල් වන ස්වභාවය මනස බවයි. මනස දැනුම් භාණ්ඩාගාරයකි. ඇස, කණ, නාසය, දිව, සම යන පංචේන්ද්‍රියන්ට පිළිවෙලින් රූප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශය යන දේ විෂය වුවද ඒවා අප හඳුනා ගන්නේ මනස මගිනි. උදාහරණයක් ලෙස ඔබේ ඇසට රූපයක් වැටුනත් ඔබේ මනස ඒ අවස්ථාවෙහි ක්‍රියාත්මක නොවන්නේ නම් ඔබට එම රූපය හඳුනා ගන්නට හැකි වන්නේ නැත. ඇත්තෙන්ම වඩාත් නිවැරදිව පවසනවා නම් රූපය දකින්නේද නැත. එය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් ඔබ වෙනත් කල්පනාවක සිටින විට ඔබ ඉදිරියට පැමිනෙන අයෙකු නොදකින අවස්ථා එමට හමුවි ඇති බව ඔබට සිහියට නගා ගත හැකි නොවේද,මනසේ ක්‍රියාකාරිත්වය ඉතාම සියුම්ය. එය අරමුණින් අරමුණට සීඝ්‍රයෙන් ගමන් කරන සුළුය. මෙම ලිපිය කියවමින් සිටිනා මෙම මෙහෙතේද ඔබගේ සිතට විවිධ දේ නැගෙනවා වෙන්නට පුළුවන.
සියළුම සත්වයින්ට මනසක් ඇත. නමුත් මිනිසා නැමති සත්ත්වයාට ඇති මනස අන් සියළුම සතුන්ට ඇති මනසට වඩා උසස්ය. දියුණුය. ක්‍රියාශීලිය. අනෙකුත් සතුන්ට නොහැකි වුවත් මිනිසාට තමාගේ මනස වර්ධනය කර ගත හැකිය. වනචාරි ව විසු මිනිසා ක්‍රමක්‍රමයෙන් තමාගේ මනස දියුණු කර ගැනිමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ථමානයේ සිටිනා තැනට පැමිණ ඇත. අනාගතයේදී මෙතැනින් තවත් තැනකට යනු ඇත. මෙම මනසේ ගුණය නිසා අනාගතයේදි මිනිසා කෙබදු ස්ථානයක කෙබදු ආකාරයකින් සිටි දැයි කිව නොහැකිය.
අපේ ජීවිතයේ සතුට, ප්‍රීතිය, ශෝකය, භය ආදී හැඟීම් උපදවන්නේ මනස විසින් බව ඔබ දන්නවා ඇත. කෙනෙකුට නොයෙකුත් බාහිර සැප සම්පත් තිබිය හැක. එපමණින් ඔහු සෑහිමකට හෝ සතුටට පත් නොවෙයි. මක් නිසාද යත් මිනිසාගේ සතුට මනස හා සම්බන්ධව ඇති දෙයක් වන බැවිනි. ආරම්භයේදීම සිදු කල ආයුර්වේදය සහ මානස රෝග අතර ඇති සම්බන්ධය පිළිබඳව හැඳින්වීමට දිගුවක් වශයෙන් දැක්වීය හැක්කේ මානසික රෝග ඇති වන්නේ ආයුර්වේදය තුල දක්වා ඇති මනසේ ඇති ප්‍රධාන ගුණ ත්‍රිත්වයේ වෙනස්වීම් සිදුවීම තුලයි. වාත, පිත් සහ කඵ යන ඒවා ශාරිරික දෝෂ වන විට සත්ත්ව, රජස් සහ තමස් යන ත්‍රිත්වය මානසික ගුණ ත්‍රිත්වය ලෙස දක්වා ඇත. එයිනුත් රජස් සහ තමස් යන ‍ප්‍රභේද දෙක පමණක් මානසික දෝෂ වශයෙන් දක්වා ඇත. ශාරිරික දෝෂ ත්‍රිත්වයක් සහ මානසික දෝෂ ද්විත්වයක් ඇති බව ආයුර්වේදයේ උගන්වන්නේ එබැවිනි. සත්ත්ව ගුණය මෙහිදි දෝෂයක් ලෙස ගණන් නොගැනෙන අතර ඇත්ත වශයෙන්ම සත්ත්ව යනු මනස විසින් අත් කර ගත යුතු වටිනාම තත්ත්වයකි. එබැවින් අප පළමුව සත්ත්ව ගුණය පිළිබඳව සොයා බලමු. මානසික රෝගීන් යනුවෙන් හඳුන්වන්නේ රජස් සහ තමස් යන දෝෂ දෙක දුෂ්‍ය වුවන් යැයි ආයුර්වේදයට අනූව සරලවම අර්ථ දැක්වීය හැකිය. එබැවින් අප මෙම ගුණ ත්‍රිත්වය හඳුනා ගත යුතුය. එයින් මනස රෝගි වන ආකාරය සහ ඒවායේ පදනම් ලක්ෂණ හඳුනා ගත හැකිවේ.

සත්ත්ව ගුණයෙන් අදහස් කෙරෙන්නේ මිනිසා තුල පහලවන සද් ගුණයයි. එනම් ශාන්ත බව, සන්සුන් බව‍, තැන්පත් බව, සිතේ පැහැදිලි බව, ප්‍රසන්න බව, ප්‍රඥාවන්ත බව, ඉවසන සුළු බව, සැහැල්ලු බව හා සැනසිලිමත් බව ආදියයි. මේවා ‍ දෝෂ වශයෙන් නොගැනිය හැකි බව පැහැදිලිය. මෙම ගුණයෙහි කැපී පෙනෙන ලක්ෂණ
• සිහි කල්පනාවෙන් යුක්ත බව(ස්මෘති සම්පන්න බව)
• සැදැහැවත් බව(ශාන්ති සම්පන්න බව)
• කළගුණ සැලකීම( කෘතඥතාව)
• පැහැදිලි නුවණ ඇති බව( ප්‍රඥා සම්පන්න බව)
• පිරිසිදුව සිටිම(පවිත්‍රශීලි බව)
• උත්සහවන්ත බව(මහෝත්සාහි බව)
• දක්ෂ බව
• බාධක මැඩගෙන ඉදිරියට යාමේ ශක්තිය (ධෛර්ය සම්පන්න බව)
• එඩිතර කම( වික්‍රමශීලි බව)
• කළකිරුණු ස්වභාවයෙන් මිදුණු බව
• ස්ථිර ප්‍රතිපත්ති ඇතිබව
• ගැඹුරු බුද්ධිය සහ සිතුවිලි වලින් යුක්ත බව
• යහපත් අදහස් වලින් යුක්ත බව (මංගල සම්මත අදහස් ඇති බව)
සත්ත්ව ගුණයට අයත් මෙම ලක්ෂණ පුද්ගලයින් තුල අඩු වැඩි වශයෙන් ඔබට නිරික්ෂණයෙන් වටහා ගත හැකි වනු ඇත.

රජස් ගුණය

රජස් ගුණය දුක උපදවන ගුණයකි. නැතහොත් මනස කිළිටි කරන සුළු ගුණයකි.
රජස් ගුණයේ ආවේණික ලක්ෂණ
• අධික කාමුක බව/දැඩි ආශා සහිත බව
• කිපෙන සුළු බව
• ලෝභ බව
• උඩඟු බව(දර්පගය)
• අනුන් සමග තමන් සසඳා බලා තමන් උසස් යැයි සිතිම(මානය)
• ප්‍රමාණය ඉක්මනා ක්‍රියාශිලි බව/අවිවේකි සුළු බව
• දැඩි සිත් ඇති බව/රළු බව

ඉහත සඳහන් සත්ත්ව ගුණයේ ලක්ෂණ මෙන්ම මෙකී රජස් ගුණයේ ලක්ෂණ ද පුද්ගලයින් තුල අඩු වැඩි වශයෙන් පවතින බව වැටහෙනවා ඇත. රජස් ගුණයට අයත් ලක්ෂණ දොෂ සහගත බව ආයුර්වේදයේ පිළිගැනීමයි.මානසික සුවයට ඒුවා හාණිකර වීම එයට හේතුව විය හැකිය.

තමස් ගුණය

තමස යන වචනයේ අරුත අඳුර යන්නයි. එයින් අදහස් කරන්නේ නුවණ මදිකම හෙවත් අඥාණයයි.
මෙම ගුණයේ ලක්ෂණ පහත පරිදි වේ.
• ධාරණ ශක්තිය හීන වීම
• අලස බව
• නින්දට වැඩි කැමැත්ත දැක්වීම
• ප්‍රඥාහීන බව
• නිතර කනස්සලු ස්වභාවය
• අධර්මිෂ්ට බව
• පින් පවු නොසලකන බව
• උදාසින බව
තමස් ගුණයට අයත් මෙම ලක්ෂණද පුද්ගලයින් තුල අඩු වැඩි වශයෙන් පවති. මෙම ලක්ෂණද දෝෂ සහගතයි.
ආයුර්වේදයේ දක්වා ඇති ආකාරය අනූව සත්ත්ව ගුණයට අයත් ලක්ෂණ යහපත් ඒවායි. පුද්ගලයා තුල මානසික සුවය වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම ලක්ෂණ වගා කර ගත යුතුය. අනිත් කරුණ වන්නේ රජස් සහ තමස් ගුණ දෝෂ සහිත බවත් ඒ නිසාම ඒවා කායික හා මානසික රෝග වලට මුල් වන බවත් අමතක නොකර සිටීමයි.