ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
සඟවා දැමිය නොහැකි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව (පළමු කොටස)
“ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල  වෛද්‍ය ක්‍රමයකට තිබිය යුතු බොහෝ දේ අන්තර් ගත වන අතර ආයුර්වේද වෘත්තිකයන්ගේ වගකීම වන්නේ එය නිවැරදිව අවබෝධ කරගෙන ප්‍රයෝජනයට ගැනීමයි”- ආයුර්වේද විශේෂඥ ‍ශල්‍ය වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක

ආයුර්වේදය ක්‍රමාණුකූලව ගොඩනැගුණු විද්‍යාත්මක විෂයකි

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මුලිකවම අංශ දෙකක් යටතේ සංවර්ධනය වි ඇති වෛද්‍ය විද්‍යාවකි. කාය චිකිත්සාව මූලික කර ගත් කාය චිකිත්සා වෛද්‍ය විද්‍යාවකුත් ශල්‍ය චිකිත්සාව මූලික කර ගත් ශල්‍ය වෛද්‍ය විද්‍යාවකුත් ලෙස එය වර්ග කර දැක්විය හැකිය. අද බහුතරයක් භාවිතා කරන බටහිර ඇලෝපති වෛද්‍ය විද්‍යාව ලොව බිහිවීමටත් බොහෝ කාලයකට පෙරින් ‍මෙම ශල්‍ය සහ කාය අංශ දෙකම ඇතුලත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලොව බිහිවිම සිදුවී ඇත. එය පෙර අපර දෙදිග බුද්ධිමතුන් එක ලෙස පිළිගන්නා පොදු පිළිගැනීමකි. එම පිළිගැනීමට ඇති පැහැදිලිම සාක්ෂිය වන්නේ ආයුර්වේදය පිළිබඳව ලියැවී ඇති සංහිතා ග්‍රන්ථයන් ඇතුළු ආයුර්වේද වෛද්‍ය ලේඛනයන්ය. වසර 3000කට වඩා පැරණි එම ලිඛිත ආයුර්වේදය පිළිබඳ ඉතා වැදගත් සහ වටිනා සාක්ෂි එංගලන්තය වැනි බටහිර රටවල්හි කෞතුකාගාර වල පවා සුරක්ෂිතව තැන්පත් කර ඇත්තේ ඒවායේ වටිනාකම නිසාවෙන්ය. මෙම ලේඛන සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන ඉතිහාසඥයින් විසින් සිදු කර ඇති පරික්ෂණ තුලින්ද තහවුරු වී ඇත්තේ ආයුර්වේදය යනු ක්‍රමාණුකූලව ගොඩ නඟා ඇත්තාවූ ලොව පැරණිතම සහ  විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමයක්ය යන්නයි.

ආයුර්වේදය හා ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව නූතන ඇලෝපති වෛද්‍ය ක්‍රමය සමග යුක්තිසහගත සැසඳීමකට  බලාපොරෝත්තු වන්නේ නම් ඉහත පිළිගැනීම සම්බන්ධයෙන් සවිඥාණිකව සිටීම අත්‍යාවශ්‍ය වේ.

මේ පසුකරමින් සිටිනුයේ බටහිර ඇලෝපති වෛද්‍ය ක්‍රමය තුලින් ඉටුකර ගත හැකි සාර්ථකත්වයේ සීමාව ගැන බටහිර වෛද්‍ය උගතුන් තුලම යම් යම් සාධාරණ කියැවීම් ඇති වෙමින් පවතින යුගයකි.  ආයුර්වේදය වැනි පෙරදිග වෛද්‍ය ක්‍රමයක් පිළිබඳවත් ඒවායේ ශිල්පීය ක්‍රම හා දැනුම පිළිබඳවත් අළුතින් සොයා බැලීමට බටහිර උගතුන් පෙළඹි ඇති පසුබිමක විශේෂයෙන්ම ආයුර්වේදය හා මුසුවු දේශිය වෛද්‍ය ක්‍රමය ගැන වැඩි උනන්දුවක් බටහිර උගතුන් හා බුද්ධිමතුන් තුල ඇතිවී ඇති බව අපට පෙනෙන්නට ඇති තත්ත්වයකි. වර්තමානයේ බටහිර වෛද්‍ය විද්‍යාව වර්ධනය වෙමින් පවතින්නේ මීට දශක කිහිපයකට පෙර පැවති වෛද්‍ය ක්‍රමය ලෙසම නොව නව්‍ය වෛද්‍ය විද්‍යාවක්(Modern medicine) ලෙසය. ලොව පුරා ඇති විවිධ වෛකල්පිත වෛද්‍ය ක්‍රමයන්ගේ යම් යම් ශිල්පීය දැනුම් කොටස් එකතු කර ගැනීම මගින් එම නව්‍ය වෛද්‍ය විද්‍යාව බිහිවී ඇති අතර පෙර අපර දෙදිග බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයින් උත්සහ දරමින් සිටින්නේ තව දුරටත් එම එකතු කර ගැනීම සාර්ථක කර ගැනීමටයි. දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාරතීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට වඩා එහා ගිය සාර්ථක වෛද්‍ය ක්‍රමයක්ය යන සත්‍යය  මෙරට ජනතාවගෙන් බහුතරයක් දෙනාට රහසකි. ඔවුන් පමණක් නොව දේශිය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයින් අතරත් මෙම සත්‍ය නිසි පරිදි අවබෝධ කර නොගත් පිරිසක් සිටින බව පෙනෙන්නට තිබේ. මෙරට දේශිය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බුද්ධිමතුන්ගේ කාර්යය විය යුත්තේ තම දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ එහි විශේෂ අංශ පිළිබඳව ශාස්ත්‍රීය දැනුම නිවැරදිව ඉදිරිපත් කිරීමයි. එමගින් වැරදි සහගතවු අනාවබෝධයන් තුරන් කිරීමට හැකියාව ලැබේ. දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නිසි ඵල ප්‍රයෝජන අප රටේ ජනතාවටත් සමස්ථ ලෝක ප්‍රජාවටත් ලැබීමට නම් එම දුරාවබෝධය නැති කිරීම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයක් වන අතර ලෝකයට මෙම විශිෂ්ඨ වෛද්‍ය ක්‍රමය නිරාවරණය කිරීම සිදුවන්නේද එවිටය.

ශල්‍ය වෛදය විද්‍යාවේ ආරම්භය ආයුර්වේදයයි

ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව  යනු නිවැරදිව නිරාවරණය කල යුතු සමස්ත ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම අංශයකි. ශල්‍ය වෛද්‍ය විද්‍යාව යන විෂයෙහි ආරම්භය සටහන් වන්නේද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ආරම්භයත් සමගය. එය බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ ප්‍රාමාණිකයන් පවා පිළිගන්නා කරුණකි.  පෙර අපර දෙදිග වෛද්‍ය විද්‍යා උගතුන් විසින් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පීතෘත්වය ලබා දී ඇත්තේ ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව සම්බන්ධ අංග සම්පූර්ණ සංහිතා ග්‍රන්ථයක්(Compendium) සංග්‍රහ කල සුශ්‍රැත නම්වූ ආචාර්යවරයාටය. සුශ්‍රැත ආචාර්ය වරයා සංග්‍රහ කල ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ සංහිතා ග්‍රන්ථය විද්‍යානුකූල පදනමක සිට ක්‍රමවත් ආකාරයට ගොඩනැගූ අංග සම්පූර්ණ සංහිතාවකි. ශල්‍ය චිකිත්සාව සම්බන්ධ න්‍යායාත්මක කරුණු සියල්ලක්ම පාහේ අන්තර්ගත කොට ඇති මෙම සංහිතා ග්‍රන්ථය තුල ඇති කරුණු සුශ්‍රැත ආචාර්යවරයා විසින් ප්‍රායෝගිකව තම ශල්‍ය ප්‍රතිකාර තුලදී සිදුකල දේවල් සහ අත්දුටු දේවල් විම විශේෂත්වයක් වේ. මෙම සංහිතා ග්‍රන්ථය ශල්‍ය චිකිත්සාව සම්බන්ධ මුලග්‍රන්ථයකට(Sugary Text Book)එහා ගිය පුළුල් දැක්මකින් යුතුව සැකසූ සමස්ථ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳවම විශිෂ්ඨ අත් පොතක් වැනිය. පසු කාලීනව බටහිර වේවා පෙරදිග වේවා සියළුම ශල්‍ය වෛද්‍ය විද්‍යාවන් ගොඩනැගෙන්නේ මෙම සංහිතා ග්‍රන්ථය පාදක කරගෙනය යන්න පැවසීම අතිශයොක්තියක් නොවේ. එය මනාව තහවුරු වන්නේ නූතන වෛද්‍ය විද්‍යාඥයින් අති නවීන පර්යේෂණ උපකරණ සහ තාක්ෂණය උපයෝගී කරගෙන ඉමහත්‍ වෙහෙසක් දරා සොයා ගන්නා අළුත් යැයි සම්මත වෛද්‍ය විද්‍යාත්මක කරුණු පවා වසර 3000කට වඩා අතීතයේදී සුශ්‍රැත ආචාර්යවරයා ඉදිරිපත් කල න්‍යායාත්මක කරුණු හා සමපාත වීම තුලිනි. බටහිර විද්‍යාව තුල විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් ඔවුන් විසින්ම පෙර පිළිගත් සංකල්ප හා න්‍යායන් ප්‍රතික්ෂේප කරමින් නව මතවාද ඉදිරිපත් කරන්නේ බටහිර විද්‍යාව යනු තව දුරටත් සංවර්ධනය වන ක්ෂේත්‍රයක්ය යන සත්‍යය පසක් කරමිනි. බටහිර වෛද්‍ය විද්‍යාවද පෙර දිනක ඔවුන් පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක කරුණක් අද වැරදි යැයි පිළිගැනීම සිදුකරන අතර අද නිවැරදි යැයි පවසන කරුණක් හෙට දිනයේදී වැරදි යැයි සලකා ප්‍රතික්ෂේප කිරිමේ අවස්ථාවද ඇත. පෙරදිග වෛද්‍ය විද්‍යාවන් හා පෙරදිග ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ න්‍යායන් සහ සංකල්ප ප්‍රතික්ෂේප කිරීමේ සදාචාරාත්මක සහ යුක්තිගරුක අයිතියක් බටහිර වෛද්‍ය විද්‍යාවට නැත්තේ එබැවිනි. ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුල යම් යම් නවීකරණයන් සිදුවී ඇතත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තම ඉතිහාසය පුරාම තම න්‍යායන් හා ස්ථාවරයන් වෙනස් කර නොමැත.

ආයුර්වේදය යනු පූර්ණ දර්ශනවාදයක්ය යන මතය ඉදිරිපත් කෙරී ඇතත් එය සම්පූර්ණ සත්‍ය නොවේ. නවීන විද්‍යාවට ගොචර නොවන සියල්ල දාර්ශනික මතවාදයන් ගොන්නට දැමීමට නුතන විද්‍යාවේ අයිතිකරුවෝ බොහොමයක් පෙළඹි සිටිති. එසේ වුවත් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් එවැනි ස්ථාවරයක් ගැනීමට කිසිවෙකුටත් නොහැකිය. එය සම්පූර්ණ විද්‍යාත්මක විෂයකි. ස්වභාවධර්මයා සමග නොගැටී ස්වභාවධර්මය සමගත් එහි රීතීන් සමගත් අනුගතව ගොඩනගා ඇති විද්‍යාත්මක විෂයක් ලෙස ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව හදුන්වා දිය හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාව යුගයෙන් යුගයට තම ස්ථාවරයන් හා ප්‍රතිකාරයන් වෙනස් කරමින් පැමිණියද අයුර්වේද ප්‍රතිකාර එසේ වෙනස් නොවී ඇත්තේ සවභාවධර්මය සමග මනාව සංයෝජනය වු විෂයක් වන බැවිනි.

ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ න්‍යායාත්මක සහ මුලධර්මීය කරුණු බොහොමයක් එපරිද්දේන්ම බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුලද ප්‍රයෝජනයට ගෙන ඇති පසුබිමක එම අංශයෙන් බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවත් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ‍විද්‍යාවත් අතර පැහැදිලි වෙනසක් පෙන්වා දිය නොහැක. ඒ අතර බටහිර බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ නොමැති අමතර විශේෂ වර්ගයේ ප්‍රතිකාර ඇතුලත්ය. එනමුත් තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ කරුණු තුලදී පමණක් වෙනසක් ඇති බව පිළිගැනීමට සිදුවේ.      

තාක්ෂණය සහ ශල්‍ය වෛද්‍ය විද්‍යාව

පැහැදිලි ලෙසම බටහිර වෛද්‍ය විද්‍යාව අද පවතින ස්ථානයේ පවතින්නේ තාක්ෂණයේ දියුණුව කරණ කොට ගෙනය. ආයුර්වේදයද තාක්ෂණය භාවිතා කොට නැති බව මෙහිදි පැවසිය නොහැක. තාක්ෂණය වර්ධනය වෙමින් පැමිණි ඒ ඒ යුග වලදී ආයුර්වේදයත් එම තාක්ෂණික සහය තම වෛද්‍ය ක්‍රමය තුලට එකතු කරගෙන ඇත. විශේෂයෙන් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුලට එම තාක්ෂණික සහය ලබාගෙන ඇත. උදාහරණයක් ලෙස මිනිසා ලෝහ හඳුනා ගැනීම සහ ඒවායින් විවිධ යන්ත්‍ර හා උපකරණ නිර්මාණය පටන් ගැනීමත් සමග ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවත් ලෝහ වලින් තම ශල්‍ය උපකරණ නිර්මාණය කර ගැනීමට කටයුතු කර ඇත. එම යුගයන් වලදී පැවති ඉහලම තාක්ෂණයන් සහ ශිල්පීය ක්‍රම ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ කරගෙන ඇත්තේ ඒ ආකාරයෙන්ය. එනමුත් පසු කාලීනව පෙරදිගට එල්ල වූ බටහිර ආක්‍රමණ සහ බටහිර කේන්ද්‍ර කරගෙන විද්‍යාත්මක ක්ෂේත්‍රයේ සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ සිදුවූ පුනරුදයන් නිසා පෙරදිග පසුපසට ඇද දමමින් සීග්‍ර තාක්ෂණික දියුණුවක් අත් කර ගැනීමට බටහිර ජාතීන්ට අවස්ථාව උදාවිය. එහිදි එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන බටහිර වෛද්‍ය විද්‍යාවද තාක්ෂණය තම වෛද්‍ය ක්‍රමය තුලට ඉතා මැනවින් සම්බන්ධකර ගෙන ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවද පසු කර වේගයෙන් ඉදිරියට ගියහ. එය මනාව පැහැදිලි වන්නේ ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉහලම තාක්ෂණය භාවිතා කරමින් සිටි ස්ථානයත් බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාව සිග්‍ර දියුණුවක් අත් පත් කර ගැනීමට ආරම්භය ගත් ස්ථානයත් යන ස්ථාන දෙක බොහෝ සෙයින් සමාන අවධියක් විමෙන්ය.

එපමණක් නොව ආයුර්වේදය හා ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව තම න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම සහ තාක්ෂණය සැම දෙනාටම විවෘත කර තිබූ මොහොතක බටහිර විසින් ඔවුන්ගේ තාක්ෂණික දැනුම ලොවටම විවෘත නොකොට ඔවුන් සතුවම තබා ගනිමින් කටයුතු කිරීම නිසා එම තාක්ෂණික දැනුම ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට නොහැකි වී ඇත. කෙසේ නමුත් අද වන විට තාක්ෂණයට යා හැකි උපරිම සීමාවට එය පැමිණ ඇති බැවින් නැවතත් න්‍යායාත්මක දැනුම සොයා බටහිර කාය සහ ශල්‍ය වෛද්‍ය විද්‍යාවන් පෙරදිග වෛද්‍ය ක්‍රම වෙත යොමු වීමට පටන්ගෙන ඇත.

ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවට තාක්ෂණය භාවිතා කල නොහැකිය යන මතය බැහැර කල යුතු එකකි. ප්‍රධානතම ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යා ග්‍රන්ථය වන සුශ්‍රැත සංහිතාවේත් වෙනත් කිසිදු ආයුර්වේද ග්‍රන්ථයකවත් එවැනි සීමා බන්ධනයක් පනවා නොමැත. සුශ්‍රැත ආචාර්යවරයා සුශ්‍රැත සංහිතාවේ පැහැදිලිව සඳහන් කොට ඇත්තේ තමන් විසින් නිශ්පාදනය කල සහ තොරතුරු දැක්වූ  ශල්‍ය උපකරණ ශල්‍ය කර්‍ම සිදුකිරීමට ප්‍රමාණවත් නොවන්නේ නම් නව උපකරණ භාවිතයට ගත යුතු බවයි. එහිදි වෛද්‍යවරයාට තම අවශ්‍යතාවය පරිදි නව උපකරණ නිපදවා ගැනීමේ හැකියාව ඇති අතර එසේ නොහැකි නම් වෙන අයෙකු නිපදවු උපකරණ පවා භාවිතයට ගැනීමට නිදහස ලබා දී ඇත. සුශ්‍රැත ආචාර්යවරයා විසින් හඳුන්වා දුන් ශල්‍ය උපකරණ වලට අමතරව තවත් ශල්‍ය උපකරණ කිහිපයක් පසු කාලීනව වාග්භට නම් ආචාර්ය වරයා විසින් තම සංහිතා ග්‍රන්ථය තුලදී හදුන්වා දීම තුලින් එය සත්‍යයක් බව තහවුරු වේ. වර්තමානයේ පවා ආයුර්වේද වෛද්‍ය වරයාට නූතන තාක්ෂණය භාවිතා කිරීමට කිසිදු බාධාවක් නොතිබිය යුතු මුත් එය එක් පිරිසකට පමණක් අයිතිව පැවතිය යුතු දෙයක්ය යන මතය බලහත්කාරයෙන් තහවුරු කිරීමට උත්සහ ගැනීම තුලින් සිදුවී ඇත්තේ  මුළු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේම ප්‍රගමණයට බාධාවක් සිදුවීම පමණි.

ශල්‍ය චිකිත්සාව හඳුනා ගනිමු

ශල්‍ය කර්‍ම යන වචනය සමගම සමාජයේ ගොඩනැගී ඇති පොදු ආකල්පය වන්නේ ශරීරයේ කොතැනක හෝ කපා කොටා විවෘත කිරීමක් සිදුකර ශරීර අභ්‍යන්තරයට යම් කිසි ප්‍රතිකාරයක් සිදු කරනවාය වැනි අදහසකි. ශරීරයේ හානි වී ඇති යම් කොටසක් ඉවත් කිරීම, අළුතින් කොටසක් එකතු කිරීම එසේත් නැතිනම් නැවත සකස් කිරීම වැනි ක්‍රියාවක් සිදු කිරීම මුලිකව බටහිර ශල්‍ය ප්‍රතිකාරයේදී සිදුවන කාර්යයයි. ඒ සඳහා විවිධ නවීන ශල්‍ය උපකරණ හා පරිඝණක තාක්ෂණය ඇතුළු නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම සිදුවේ. මුලිකවම බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාව ලෙස අදහස් කර ඇත්තේ එයයි.( The branch of medicine that deals with the diagnosis and treatment of injury, deformity, and disease by manual and instrumental means./ A surgical operation or procedure, especially one involving the removal or replacement of a diseased organ or tissue./ An operating room or a laboratory of a surgeon or of a hospital’s surgical staff.) නමුත් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුල ඊට වැඩි දෙයක් අන්තර් ගතව ඇත. ශල්‍ය වෛද්‍ය විද්‍යාව ගැන ආයුර්වේද සුශ්‍රැත සංහිතාවේ හදුන්වා දී ඇත්තේ පහත පරිදිය.

“තත්‍ර ශල්‍යම් නාම විවිධ තෘණ- කාෂ්ඨ- පාෂාණ- ලෝහ- ලෝෂ්ට්‍රාස්ථි- බාල- නඛ- පූයාස්‍රාවන්තර්ගර්භ ශල්‍යොද්ධරණාථි යන්ත්‍ර ශස්ත්‍ර ක්ෂාරාග්නි ප්‍රණිධාන වෘණ විනිශ්චයාර්ථංච”

මෙහිදී සුශ්‍රැත ආචාර්යවරයා ශල්‍ය යන වචනය හඳුන්වා දී ඇති අතරම ශල්‍යකර්‍ම කියන ක්‍රියාවද හඳුන්වා දීමත් සිදුකර ඇත. ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේත් විවිධ ආකාරයේ කපන(ශස්ත්‍ර)උපකරණ,  අල්ලන(යන්ත්‍ර) උපකරණ රාශියක් හදුන්වා දී ඇත. ශස්ත්‍ර හා යන්ත්‍ර  භාවිතයෙන් සිදු කරණ ශල්‍ය ප්‍රතිකාර ක්‍රියාවන්ද දක්වා ඇත. ආයුර්වේදයේ සිරුර විවෘත කර සිදුකරන ශල්‍ය ප්‍රතිකාර හඳුන්වන්නේ ශස්ත්‍ර කර්‍ම යන නමිනුයි. ආයුර්වේද ශල්‍ය චිකිත්සාවේ ශස්ත්‍ර කර්‍ම 8ක් (අෂ්ඨ විධ ශස්ත්‍ර කර්‍ම) දක්වා ඇත. ඡේදන, භේදන, ලේඛන, වේධන, ඒෂණ, ආහාරණ, විස්‍රාවණ හා සීවන යනු එම අෂ්ඨ විධ ශස්ත්‍ර කර්‍මයන්ය. වැදගත්ම කරුණක් වන්නේ සිරුර තුල කුමන ශල්‍ය කර්‍මයක් සිදුකලත් අවසානයේ සිදු කර ඇති කාර්යයන් සියල්ලම මෙම අෂ්ඨ විධ ශස්ත්‍ර කර්‍මයන් අතරට අයත් වීමයි. මෙම ශස්ත්‍ර කර්‍මයන්ගෙන් සිදු කරන කාර්යයට පරිභාහිරය කිසිදු ශල්‍ය කර්‍මයක් සිදු කරන්නේ නැති අතර සිදු කරන්නට හැකියාවකුත් නැත. මෙහි සීවන කර්‍මය ලෙස දක්වා ඇත්තේ මැසීමටය(Suture). ඒ වාගේම කැපීම, පැළිම්, සීරීම්, විදීම්, සිදුරු කිරීම, ගලවා දැමීම, ඉවත් කිරීම, වැනි ක්‍රියාවන් තමයි සරලව පැවසුව හොත් අෂ්ඨවිධ ශස්ත්‍ර කර්‍ම වලින් අදහස් කෙරී ඇත්තේ. උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය අවස්ථාවේදී ප්‍රදාහයට පත්වූ කොටස ඉවත් කිරීම සිදුකරන්නේ ඡේදන කර්‍මයෙන්ය. නරක් වූ දතක්  ගලවා දැමීම ඇණුනු උල් කටුවක් ගලවා දැමීම ආහාරණය කිරීමක් වේ. සැරව හෝ සිරුරට අනවශ්‍ය දෙයක් සිරුර තුල එක් රැස් වී ඇතිනම් ඒවා ඉවත් කිරීමට අදාල ස්ථානය භේදනය කර ඒවා විස්‍රාවනය කල යුතුය. ඒ ආකාරයට සිරුර තුල සිදුකරන සියලුම ශල්‍ය ප්‍රතිකාර මෙම ක්‍රම(methods) අටට යටත්ව සිදුවන ක්‍රියාවන්ය.

ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර වල ශස්ත්‍ර කර්‍ම වලට අමතරව තවත් ශල්‍ය ප්‍රතිකාර ක්‍රම අන්තර්ගතයි. ආයුර්වේද ශල්‍ය චිකිත්සාවත් බටහිර ශල්‍ය චිකිත්සාවක් වෙනස් වන අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව දැක්විය හැකියි. උදාහරණ ලෙස ක්ෂාර ප්‍රතිකාර, අග්නි ප්‍රතිකාර, රක්ත මෝක්ෂණ ප්‍රතිකාර, වෘණ සඳහා ප්‍රතිකාර (ව්‍රණ රෝපණ ප්‍රතිකාර) දැක්විය හැකියි. ව්‍රණ රෝපණ යනු ආයුර්වේදයට පමණක් සුවිශේෂ ප්‍රතිකාර පද්ධතියකි. ව්‍රණ රෝපණ ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යාවේ අන්තර්ගත නොවේ.

ආයුර්වේදයේ සුවිශේෂි ශල්‍ය ප්‍රතිකාර

ක්ෂාර කර්‍ම යනු විශේෂ ඖෂධීය ප්‍රතිකාරයකි. ක්ෂාර යනු ශස්ත්‍ර කර්‍ම අටම සිදුකල හැකි ඖෂධයන් ලෙස කිව හැක. ක්ෂාර ඖෂධ භාවිතයේදී ශස්ත්‍ර උපකරණ භාවිතා නොකර ඡේදන කර්‍ම සිදුකිරීමටත් සීවනී කර්‍ම සිදු නොකර කැපුණු තැනක් හා කර වැසීමටත් හැකිවේ. සරලවම පවසනවා නම් ශල්‍යකර්‍මයක් ස්වයංසිද්ධව සිදුකරන ඖෂධයක් ලෙස ක්ෂාර ඖෂධ හැදින්විය හැකිය. ක්ෂාර ඖෂධ සාමාන්‍ය නොවන සුවිශේෂි ඖෂධ වන අතර මෙම ඖෂධ නිශ්පාදනයත් ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් වේ.

භගන්ධර (Fistula in ano) සඳහා ලොව ඇති සාර්ථකම ප්‍රතිකාරය වන්නේ ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාරය වන ක්ෂාර සූත්‍ර ප්‍රතිකාරයයි. එය විවාදයකින් තොරව කවුරුත් පිලිගන්නා සාර්ථක ප්‍රතිකාරයකි. භගන්ධර රෝගීන්ගේ තුවාල ස්ථානයේ ඇති නරක පටක විනාශ කරමින් නව නිරෝගී පටක ඇති කිරීමත් ක්ෂාර ඖෂධ වලින් සිදු කරනු ලබයි. විශාල කැපීම් සිදු නොකර තුවාල ඇති නොකර සිදුකරන මෙම ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාරය නිසා භගන්ධර රෝගය නැවත ඇතිවීමකින් තොරව සුව වන බව පෙන්වා දිය හැක. මිට අමතරව අර්ශස් රෝගයටත් සුව නොවන තුවාල ලෙස බැහැර කර ඇති තුවාල ඇතුළු රෝග ගණනාවක් සඳහා ක්ෂාර ප්‍රතිකාර යොදනු ලැබේ.

අග්නි ප්‍රතිකාර තවත් සුවිශේෂි ශල්‍ය ප්‍රතිකාරයක් වේ. මෙහිදී භාවිතා කරනුයේ තාපය(Heat) නැතිනම් උණූසුම වන අතර ඒ සඳහා විශේෂිත උපකරණද භාවිතා කෙරේ. පිච්චීම මඟින් සිදුකරන ප්‍රතිකාර බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේද සිදු කරනු ලැබේ. එම ප්‍රතිකාර සඳහාද මුලික අදහස් ලබා ගන්නට ඇත්තේ ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවෙන් බව සිතිය හැක. රක්ත මෝක්ෂණ ප්‍රතිකාර සඳහා දිය කූඩැල්ලන් සහ වෙනත් විස්‍රාවන උපකරණ භාවිතා කර ඇත. දිය කූඩැල්ලන් මෙහිදී වඩාත් සාර්ථකම රක්ත මෝක්ෂණ ක්‍රමය වී ඇත. ලොව පිළි ‍ගෙන ඇති වඩාත් සාර්ථකම ප්‍රතිකාර වන්නේ ජෛව උපකරණ(Bio instruments) මගින් සිදුකරන ප්‍රතිකාරයන්ය. දිය කූඩැල්ලා නැතිනම් බෙහෙත් කූඩැල්ලා හොදම සහ සාර්ථකම ජෛව උපකරණයකි. නවීන බටහිර  විද්‍යාව මගින් නිපදවා ඇති අති දියුණූතම උපකරණ වලට වඩා කාර්යක්ෂම සහ සංවේදී කාර්යයක් සිදුකිරීමට බෙහෙත් කූඩැල්ලන්ට හැකියාව ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව තුල පවා බෙහෙත් කූඩැල්ලන් තම ප්‍රතිකාරයන් සඳහා භාවිතා කරනු දැන් දැක ගැනීමට පුළුවන.

ව්‍රණ ශෝධන සහ රෝපණ ප්‍රතිකාරය(Wound cleaning &Healing)  ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාරයේ සුවිශේෂිම කොටසකි. හදිසි අනතුරු නිසා අතිවන තුවාල(පිළිස්සීම්, රිය අනතුරු, සතුන්ගේ පහරදීම් වලට ලක්වීම්) වලට සහ සහ කල් ගතවූ තුවාල වලට මෙම ව්‍රණ ප්‍රතිකාර සිදුකරණූ ලැබේ. බටහිර වෛද්‍ය විද්‍යාව තුල ඇත්තේ ව්‍රණ ශෝධන (Wound cleaning )  ප්‍රතිකාර කොටස පමණක් වන අතර ප්‍රතිජීවක ඖෂධ(Anti Biotic drugs) මගින් තුවාලය නිසා ඇතිවන උපද්‍රව සීමා කර ස්වාභාවිකවම තුවාලය සුව වීමේ අවස්ථාව දීමේ ප්‍රතිකාර පද්ධතියක් ඔවුන් අනුගමනය කරනු ලැබේ.  දියවැඩියාව වැනි රෝගයක් නිසා ඇතිවන තුවාල සුවවීම ඉතාමත්ම සෙමීන් හා අසීරුවෙන් සිදුවන දෙයක් වන අතර ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් බටහිර  වෛද්‍ය කර්‍මයේ නැත. ඒ සඳහා අවසාන ප්‍රතිකාරය වන්නේ තුවාලය සහිත කොටස සිරුරින් ඉවත් කිරීමයි. මෙයද සාර්ථක ප්‍රතිකර්මයක් නොවන අතර එක් හානියක් වැලැක්වීමට තවත් හානියක් සිදු කිරීමකි. එනමුත් ආයර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ ව්‍රණ රෝපණ ප්‍රතිකාර තුලින් මෙවැනි තුවාල සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමේ හැකියාව ඇත. දිය කුඩැල්ලන්ට අමතරව තවත් ජෛව උපකරණයක් ව්‍රණ සඳහා ප්‍රතිකාරයේදි භාවිතා කෙරේ. සුශ්‍රැත සංහිතාවේ දක්වා ඇති පරිදි කල් ගතවූ  තුවාල සඳහා ප්‍රතිකාර කිරීමේදි පණුවන් යොදවා ගෙන තුවාල වල නරක් වූ පටක කොටස් ඉවත් කිරීම සිදු කිරීමේ ප්‍රතිකාර දක්වා ඇත. වර්තමානයේදී මැගෝටිෆිකේෂන් (Maggotification)  ලෙස හඳුන්වා ඇත්තේ එම තාක්ෂණයයි. දැන් එය බටහිර වෛද්‍යවරුන්ද සිදුකිරීමට උත්සහ දරමින් සිටින ප්‍රතිකාර ක්‍රමයකි.         

 බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී  ප්‍රධාන වෙන්නේ උපකරණ භාවිතා කර සිදු කරණ ප්‍රතිකාරයන්ය වන අතර ඒ සඳහා යන්ත්‍ර හා ශස්ත්‍ර වලට අමතරව වෙනත් තාක්ෂණික මෙවලම්ද සහය කර ගනී. ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී එවැනි උපකරණ භාවිතා කර නැති මුත් එවැනි මෙවලම් භාවිතා කර සිදු කරණ ප්‍රතිකාර වලට අදාල න්‍යායාත්මක කරුණු දක්වා ඇත. විශේෂත්වය වන්නේ යන්ත්‍ර   හා ශස්ත්‍ර භාවිතයෙන් සිදුකරණ ශල්‍ය ප්‍රතිකාරයන්ට අමතරව වෙනත් ජීව අජීව සහ ඖෂධ භාවිතා කර සිදු කරණ ශල්‍ය ප්‍රතිකාර වර්ග කිහිපයක්ද ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවට ඇතුලත්ව තිබීමයි.  සිරුර විවෘත නොකර විවිධ ශල්‍ය ප්‍රතිකාර සිදුකිරීම බටහිර වෛද්‍ය විද්‍යාව තුල දැන් බහුල වශයෙන් සිදු වන දෙයකි. ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර තුලද කැපීම් සිදු නොකර සිරුර විවෘත නොකර සිදු කරණ ශල්‍ය ප්‍රතිකාරද ඇත.

සකස් කලේ වෛද්‍ය ආර්.පී.ආර්. සම්පත් බන්ධුසේන

-මතු සම්බන්ධයි-