ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
සඟවා දැමිය නොහැකි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව (දෙවන කොටස)
“ආයුර්වේදය යනු මහා සාගරය හා සමාන විශාල විෂයයකි. එයින් අප දන්නේ ඉතා සිමිත කොටසක් පමණි. ආයුර්වේද වෛද්‍යවරයාගේ වගකීම වන්නේ නිරන්තරයෙන් තම ආයුර්වේද දැනුම වැඩි දියුණු කර ගැනීමය. නිවැරදි ආයුර්වේද දැනුම  හැදෑරීමෙන් පසු එම මුලධර්ම මත පිහිටා ප්‍රතිකාර සිදු කිරීමට කටයුතු කල යුතුය. ආයුර්වේද මුලධර්ම සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය ගැන  ආයුර්වේද වෛද්‍යවරුන්ට අවබෝධයක් තිබිය යුතු අතරම ඒ සඳහා ආයුර්වේද අධ්‍යාපනය ලබා දෙන උසස් අධ්‍යාපන ආයතන සහ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන ස්ථානයන්ද වැඩි දියුණු වී   ප්‍රමිතියන්ද උසස් විය යුතුය. මේ කරුණු සම්පූර්ණ වන්නේ නම් ඉතා වටිනා ගුණාත්මක වෛද්‍ය සේවාවක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලින්ද විශේෂයෙන්ම ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ක්‍රමය තුලින්ද ලබා දිය හැකි ස්ථිරවම පැවසිය හැක.”ආයුර්වේද විශේෂඥ ‍ශල්‍ය වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක

ආයුර්වේද වෛදය ක්‍රමයේ වර්තමාන ඉලක්ක

හේතුව අඥාත රෝග(Idiopathic Disorders), ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම හෝ නැති වීම නිසා ඇතිවන රෝග(Auto immune diseases)වැනි රෝග, චිරකාලීනව(Chronic diseases) ඇතිවන රෝගත් දිනෙන් දිනම වැඩිවන සම්භාවිතාවක් සමාජය තුල ඇත. ලොව පුරා දිනපතා මෙම රෝග නිසා රෝගාතුරු වන සහ මිය යන ප්‍රමාණය අති වීශාලය. අවාසනාවන්ත තත්ත්වය වන්නේ මෙම බොහෝ රෝග සඳහා නිවැරදි සහ සාර්ථක ප්‍රතිකාර බටහිර වෛද්‍ය ක්‍රමය තුල නොමැති වීමයි. නමුත් ආයුර්වේදය වෛද්‍ය ක්‍රමය සැකසී ඇත්තේ සිරුරේ ඇතිවන ඕනෑම තත්ත්වයක් ආයුර්වේද සංකල්ප අනූව විග්‍රහ කර ගත හැකි වන ආකාරයෙන්ය. ඒ අනූව සියළුම රෝග ආයුර්වෙදය වෛදය විද්‍යාවට අනූව පැහැදිලි කර ගත හැකි අතර එම සියළුම රෝග සඳහා නිශ්චිත ප්‍රතිකාර විද්‍යාත්මක පදනමකින් ඉදිරිපත් කල හැක. අද රජරට ප්‍රදේශයට මහත් ව්‍යසනයක්ව ඇති වකුගඩු රෝගය සඳහාද නිවැරදි ප්‍රතිකාර සිදු කල හැකි බව පැවසිය හැක. එහිදි  සමාජය තේරුම් ගත යතු වැදගත් කරුනක් වන්නේ ආයුර්වේද ප්‍රතිකාරයේදී රෝගයේ සාධ්‍ය අසාධ්‍ය භාවය ගැන දක්වා ඇති අදහස්ය. රෝගය සාධ්‍ය අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර  අසාධ්‍ය වන තුරු සිට ප්‍රතිකාර වෙත යොමු විමෙන් සාර්ථක ප්‍රතිළුල අත්කර ගත හැකි වන්නේ නැත.

අනිවාර්යයෙන්ම පිලිගැනීමට සිදුවෙන කරුණක් වන්නේ ස්වභාවධර්මයා සමග ගැටීමට හෝ අභිබවා යෑමට කිසිවෙකුටත් හැකියාවක් නොමැත කියන කාරණයයි.  ආයුර්වේදය මෙය ඉතා හොදීන් තේරුම් ගෙන ඇත. ඒ නිසයි ආයුර්වේදය තම වෛද්‍ය ක්‍රමය ස්වභාවධර්මයාට අනුකූලව ගොඩනගා තිබෙන්නේ. ආයුර්වේදය විශ්ව පද්ධතියේම(Universal System) කොටසක් ලෙස එයත් සමග සමාන්ත‍රව ගමන් කරනවා. ස්වභාවධර්මයාට විරුද්ධව ගොස් සිදුකරන ප්‍රතිකාර පවතින්නේ නැහැ. බොහෝ බටහිර ප්‍රතිකාර වලට සිදුව ඇත්තේ එයයි. ස්වභාවධර්මයා සමග සමානව ගමන් කරනවා වෙනුවට කෘතිම සහ විකෘතිතා මගින් ප්‍රතිකාර සිදුකිරීම තාවකාලිකව සාර්ථක ප්‍රතිඵල අත්කර දෙනවා වුවත් දීර්ඝ කාලීනව සිදුවන හානිය ඉතාම වැඩියි. දැනට දශක තුන හතරකට පෙර භාවිතා කල  බටහිර ඖෂධ අද සොයා ගන්නත් නැහැ. සමහර ඖෂධ සහ ප්‍රතිකාර වසර දහයක් වත් පවතින්නේ නැහැ. ඒවා හානිකරයි හෝ සුදුසු නැහැ කියා ඔවුන්ම සොයා ගන්නවා. ඒ වුනත් ආයුර්වේද ප්‍රතිකාර එසේ වි නැහැ මේ කාලය තුල. ආයුර්වේදය පටන් ගත් දිනයේ සිට පැවත එන ඖෂධ අදත් කිසිදු ගැටළුවකින් හෝ ප්‍රතික්ෂේප වීමකින්  තොරව ඒ ආකාරයෙන්ම භාවිතා කෙරෙන්නේ ඒ අන්යොන්‍ය සම්බන්ධතාවය නිසයි.

ආයුර්වෙද කාය චිකිත්සාව පමණක් නොව ආයුර්වේද ශල්‍ය චිකිත්සාවත් ස්වභාවධර්මයේ රීතින්ට අනුකූලව ගමන් කරනා විෂයකි. යන්ත්‍ර සහ උපකරණ භාවිතයෙන් ප්‍රතිකාර සිදුකලත් ආයර්වේද ශල්‍ය චිකිත්සාව තම මුලික පදනම වෙනස් කරගෙන නැත. ආයුර්වේද ශල්‍ය වෛද්‍යවරයා ආයුර්වේද කාය චිකිත්සාවද ඉතා මැනවින් දැන සිටීය යුතුය. ඖෂධ ප්‍රතිකාර වලින් සුව කිරීමට නොහැකි රෝග පමණක් ශල්‍ය ප්‍රතිකාර සඳහා යොමු කල යුතුය යන කරුණ අවධාරණයෙන් සුශ්‍රැත ආචාර්යවරයා දක්වා ඇත. එහිදි ශල්‍ය වෛද්‍යවරයා කාය විෂය දැන සිටීම තුලින් රෝගි තත්ත්වය ගැන නිවැරදිව හඳුනාගැනීමට අවස්ථාව ලැබේ. කාය ප්‍රතිකාර තුලින් සුව කිරීමට නොහැකි බව පැහැදිලි වුව හොත් පමණක් ශල්‍ය ප්‍රතිකාර වෙත යොමුවිමේ අවස්ථාව ශල්‍ය වෛද්‍යවරයාට ලැබේ. එලෙසම ශල්‍ය ප්‍රතිකාර සිදු කලද අනිවාර්යයෙන්ම කාය ප්‍රතිකාරද රෝගියාට ලබා දිමට අවශ්‍ය වේ. ශල්‍ය ප්‍රතිකාර නිසා රෝගියාගේ ශරීරයේ දෝෂ තත්ත්වය වෙනස් වී ඇත්නම් එය නිවැරදි කල යුතු වන්නේ ඖෂධ ප්‍රතිකාර මගිනි. ශල්‍ය කර්‍මයෙන් පසු රෝගියාගේ සිරුරේ දෝෂ ප්‍රකෘතිය ගැන සොයා බැලීමට ශල්‍ය වෛද්‍යවරයාට නිරායාසයෙන්ම වගකීමක් පැවරේ. ශල්‍ය වෛද්‍යවරයාට ශල්‍ය කර්‍මය පමණක් සිදුකර තමන්ගේ කාර්යය අවසන් කිරීමට නොහැකි වන්නේය. ආයුර්වේද ශල්‍ය වෛද්‍යවරයාගේ ඇති සුවිශේෂි භාවය වන්නේ එයයි.

රුපලාවන්‍යය විෂයේ ආරම්භය ආයුර්වේද ශල්‍ය චිකිත්සාවයි

ආයුර්වේද ශල්‍ය චිකිත්සාවේදි අවධාරණය කර ඇති තවත් විශේෂ කරුණක් වන්නේ ශල්‍ය ප්‍රතිකාරයෙන් පසු කිසිදු ආකාරයේ වෙනස් කමක් රෝගියාගේ සිරුරේ සිදු නොවිය යුතු බවයි. කැපුමක් සිදුකලද මැහුමක් දැමූවද එය සිරුරේ මුල් ස්වභාවයට හානියක් නොවන පරිදි සිදු කිරීම දක්ෂ ආයුර්වේද ශල්‍ය වෛද්‍යවරයාගේ හැකියාවයි.  යම් කිසි විකෘතියක් සිදුවුව හොත් ඒවාත් නැවත සකස් කිරීමට ප්‍රතිකාර ආයුර්වේද ශල්‍ය චිකිත්සාවේම දක්වා ඇත. එම කොටස හඳුන්වා ඇත්තේ “වෛකෘතාපහම්” (විකෘතිතා ඉවත් කිරීම) කියන මාතෘකාව යටතේය. මෙම කොටස නිවැරදිව විශ්ලේෂණය කිරීමෙන් රුපලාවන්‍ය නම් වූ  විෂයේ ආරම්භය සිදුවු ස්ථානය ගැනද පැහැදිලි අවබොධයක් ලබා ගත හැක. රුපලාවන්‍ය විෂය ආරම්භ වන්නේද ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවට අනුබද්ධිතවය. ආයුර්වේදය සහ එය බිහිවු සමකාලින භාරතය මිනිසාගේ රූපය හා ශරිර ස්වභාවය ගැන ඉහලින් සලකා බැලු සමාජයකි. මීට අමතරව සංධාන කර්‍ම නම්වු කොටසක්ද ආයුර්වේද ශල්‍ය විෂය තුල ඇත. වර්තමානයේ ප්ලාස්ටික් ශල්‍යකර්‍ම (plastic surgery) යනුවෙන් හදුන්වන රුපලාවන්‍ය විෂය  සමගද ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇති විෂයෙහි මුලාරම්භය ඇත්තේද  ආයුර්වේද ශල්‍ය විෂය තුලය. නුතන ප්ලාස්ටික් ශල්‍යකර්‍ම විෂය ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ සංධාන කර්‍ම නම්වු විෂය ක්ෂේත්‍රයේ දිගුවක් ලෙස දැක්විය හැකියි. ආයුර්වේද සංධාන කර්‍ම යටතේ කර්ණ සංධාන, නාසා සංධාන වැනි ශල්‍ය කර්‍ම ගැන දක්වා ඇත. අද පවා සිදුවන ප්ලාස්ටික් ශල්‍යකර්‍ම වල යම් යම් මුලික න්‍යායයන් ආයුර්වේද සංධාන කර්‍මයන්හිදි හදුන්වා දුන් න්‍යායයන්ම වේ.

ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර සාර්ථකත්වය

ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර වැඩි වශයෙන්ම යොමුවී ඇති විශේෂිත රෝග අංශයන් ගණනාවක් ඇත. ඒවා අතර ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝග ප්‍රමුඛය. අර්ශස්(Hemorrhoids), භගන්ධර(Fistula in ano), පරිකර්තිකා (Analfissures), ගුදභ්‍රංශ (බඩවැල් පහත් වීම/Rectal prolapsed), ආහාර මාර්ගයේ තුවාල (Ulcerative colitis) වැනි තත්ත්වයන් විශේෂිත වන්නේ මෙම රෝග තත්ත්වයන් සඳහා සාර්ථක සහ ස්ථිර බටහිර ඖෂධ හෝ ශල්‍ය ප්‍රතිකාර නොමැති කම නිසාවෙනි. ඊට අමතරව මුත්‍රා මාර්ගය හා වකුගඩු ආශ්‍රිත බොහොමයක් රෝග සඳහාත් සාර්ථක ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර පවතියි. මුත්‍ර ගල්/මුත්‍රාශ්මරී/renal calculi සඳහා සාර්ථක ප්‍රතිකාර ඒ අතරින් විශේෂිතය. මුත්‍රා මාර්ගය ඔස්සේ ඖෂධ මුත්‍රාශය වෙතට ඇතුළු කර සිදුකරන ශල්‍ය ප්‍රතිකාර ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ක්‍රමය තුල දක්වා ඇත. එමගින් පහසුවෙන් හා වෙදනාවකින් තොරව විශාල හා බරපතල යන්ත්‍ර උපයෝගි නොකර ගනිමින් නිටුටාවටම මුත්‍රාගල් දියකර ඉවත් කර ගැනිමේ හැකියාව ලැබේ. මුල් අවස්ථා වලදි ඖෂධ මගින් මුත්‍රා ගල් දිය කර හැරීමේ හැකියාවද ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර වල දක්වා ඇත. පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය(prostate gland Enlargement) රෝග තත්ත්වය බොහෝ මැදි වයස පසුකරමින් සිටිනා පිරිමි පාර්ශවයට ඇති වන රෝග තත්ත්වයකි. ඒ සඳහා බටහිර ප්‍රතිකාර වන්නේ ශල්‍ය කර්‍ම ප්‍රතිකාරයකි. නමුත් ආයුර්වේද ශල්‍ය චිකිත්සාව මගින්  කැපීම් කෙටීම් සිදු නොකර මෙම තත්ත්වය සුවපත් කිරීමේ හැකියාව ඖෂධ මගින් සිදු කරනු ලැබේ. ශල්‍ය ප්‍රතිකාර යනු සිරුරේ අභ්‍යන්තරය විවෘත කර සිදුකරණ ප්‍රතිකාර පමණක් නොවන බව මෙහිදි ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව තුලින් ඔප්පු කර සිටියි. ජනතාව අතරින් බොහෝ දෙනා තුල මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති කම නිසා සිතා සිටිනුයේ ශල්‍ය ප්‍රතිකාර(Surgical treatment)  යනු සැමවිටම කපා කොටා සිදුකරන ප්‍රතිකාරයන් බවයි. එය සමස්ථ ශල්‍ය චිකිත්සාවේ එක කොටසක් පමණක් බව තේරුම් ගැනීම වැදගත්ය. මීට අමතරව දුෂ්ඨ ව්‍රණ(non healing ulcers) ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ හඳුන්වා ඇති ප්‍රතිකාර නොකර සිටින තුවාල සඳහාද ආයුර්වේද සාර්ථක ශල්‍ය ප්‍රතිකාර සිදු කරනු ලැබේ. පෙර අවස්ථාවකදීත් සඳහන් කල පරිදි ව්‍රණ ශෝධන සහ ව්‍රණ රෝපණ ඖෂධ  මගින් එවැනි තුවාල සඳහා ශල්‍ය ප්‍රතිකාර කරනු ලැබේ. අස්ථි සහ සන්ධි ආශිතව ඇතිවන විවිධ සුවි‍ශේෂි සන්ධි රෝග සඳහාද බටහිර වෛද්‍ය විද්‍යාවේදී ශල්‍ය කර්‍ම නිර්දේශ කරන විට ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර මගින් ශල්‍ය කර්‍ම වලට නොගොස් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව ඇත. ආයුර්වෙදයේ වෘද්ධී ලෙස හඳන්වන රෝගී තත්ත්වය(Hernia) බටහිර ශල්‍ය ප්‍රතිකාර නිර්දේශ කරනා තවත් සුලබ රෝගි තත්ත්වයකි. එම රෝග අවස්ථාවටත් මුල් අවස්ථාවේදිම ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමෙන් ස්ථිරවම සුවපත් වීමේ හැකියාව ලැබේ. ක්ෂිරා ග්‍රන්ථි (varicose vein) රෝගි තත්ත්වය සඳහාද ආයුර්වේද ශල්‍ය චිකිත්සා ක්‍රමයක් වන රක්ත මෝක්ෂණ ප්‍රතිකාර සිදුකිරීම මගින් ශල්‍ය කර්‍ම වලට නොගොස් සුවපත් වීමේ අවස්ථාව ඇත.

ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර බොහෝ රෝග තත්ත්වයන් සඳහා දිගුකාලින වූත් සාර්ථක වුත් ප්‍රතිඵල අත්කර දෙන අංශයක් බව ස්ථිරවම කිව හැකිය. එහෙත් වර්තමානයේදී එම කාර්යය සාර්ථකව ඉටුකිරීමට යම් යම් බාධක පවතින බවද පැවසිය යුතුය. විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ අංශයෙන් සපුරාගත යුතු අවශ්‍යතා කිහිපයක් මතුකිරීම ඉතාම වැදගත්ය. ආයුර්වේද වෛද්‍යවරුන් නිරන්තර අභ්‍යාසයේ යෙදිය යුතුය. එසේම තම දැනුම වැඩි දියුණු කර ගැනීමත් කල යුතුය. ආයුර්වේදය යනු මහා සාගරය හා සමාන විශාල විෂයයකි. එයින් අප දන්නේ ඉතා සිමිත කොටසක් පමණි. අපගේ වගකීම වන්නේ නිරන්තරයෙන් තම ආයුර්වේද දැනුම වැඩි දියුණු කර ගැනීමය. ඒ සඳහා නිවැරදි ආයුර්වේද දැනුම සොයා ගැනීමද වැදගත් වේ. ආයුර්වේදය හැදෑරීමෙන් පසු නිවැරදි මුලධර්ම මත පිහිටා ප්‍රතිකාර සිදු කිරීමට කටයුතු කල යුතුය. ආයුර්වේද මුලධර්ම සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය ගැන  ආයුර්වේද වෛද්‍යවරුන්ට අවබෝධයක් තිබිය යුතු අතර මෙම කාර්යයේදි ආයුර්වේද අධ්‍යාපනය ලබා දෙන උසස් අධ්‍යාපන ආයතන සහ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන ස්ථානයන් වැඩි දියුණු වී තිබීම අනිවාර්යය. එසේම ඒවායේ ප්‍රමිතියන්ද උසස් විය යුතුය. මේ කරුණු සම්පූර්ණ වන්නේ නම් ඉතා වටිනා ගුණාත්මක වෛද්‍ය සේවාවක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලින්ද විශේෂයෙන්ම ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ක්‍රමය තුලින්ද ලබා දිය හැකි ස්ථිරවම පැවසිය හැක.

මෑතකදී ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් සිදුකරන ලද  සමීක්ෂණයක් තුලින් අනාවරණය වි ඇත්තේ අප‍ගේ කළාපයේ රටවල බහුතරයකම ජනතාව තවමත් වැඩි විශ්වාසයක් තබා ගෙන ඇත්තේ තමන්ගේ දේශිය වෛද්‍ය ක්‍රම වෙත බවයි. එම ජනතා කොටස් වල විශ්වාසය තහවුරු වන පරිදි ප්‍රතිකාර සිදු කිරීම එම වෛද්‍ය ක්ෂේත්‍රයන්ගේ නියැලී සිටින වෛද්‍ය වෘත්තිකයන්ගේ වගකීමකි. රෝගීන්ගේ විශ්වාසය බිදී යන්නේ නම් එයට හේතුව ‍දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වරදක් නොව එම වෛද්‍ය ක්‍රමය හසුරුවන වෛද්‍යවරුන්ගේ වරදක්ය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල සියල්ල අන්තර් ගත වන අතර ආයුර්වේද වෘත්තිකයන්ගේ වගකීම වන්නේ එය නිවැරදිව අවබෝධ කරගෙන ප්‍රයෝජනයට ගැනීමයි.

ආයුර්වේද විශේෂඥ ‍ශල්‍ය වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක මැතිතුමා මෙරට තුල ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහිත එකම ආචාර්ය වරයා වේ. එතුමා ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ගැඹූරින් හදාරා ඒ පිළිබඳව ඉතා හසල අවබෝධයකින් යුතුව ප්‍රතිකාර කටයුතු සිදු කරනා දෙස් විදෙස්හි කීර්තියට පත් සිවිශේෂි ආයුර්වේදඥයෙකි. බොරැල්ල දේශිය වෛද්‍ය විද්‍යායතනයේ ශල්‍ය සහ ශාලාක්‍ය දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කථිකාචාර්යයවරයෙකු ලෙසද කටයුතු කරමින් තම දැනූම නිර්ලෝභිව වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමණය උදෙසා ලබා දෙමින් සිටින නිහතමානි ආචාර්යවරයෙකි. එතුමන්ව බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ ශල්‍ය සායනය පැවැත්වෙන දිනවලදී(සඳුදා, බඳාදා) හමුවිය හැකි අතර එම දිනවලම සවස “ඔසුකි ආයුර්වේද පුද්ගලික රෝහලේ” දීද හමුවිමේ අවස්ථාව ඇත. 0112792344/ 0114906962 යන අංක හරහා ඇමතීමෙන් එතුමන්ව සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඇත.