ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
සංවර්ධනයට සෙනසුරා ලැබීම…….

senasurතිස් වසරකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ ගමක් නගරයක් පාසා ම රුදුරු ත්‍රස්තවාදීන්ගේ අඳුරු සෙවනැලිවලට භියෙන් හා තැති ගැනීමෙන් දිවි ගෙවූ යුගය නිමා කරමින් 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් විය. ඉන් පසුව වරාය, ගුවන් තොටුපල, අධිවේගී මාර්ග ඇතුළු මහා මාර්ග ආදී මහා පරිමාණ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරමින් සංවර්ධන වැඩපිලිවෙලක් දියත් කළේය. පැරණි නගර හා ගොඩනැගිලි කඩා ඉවත් කර ඒ වෙනුවට පහසුකම් සහිත අලංකාර නගර හා ගොඩනැගිලි ඉදි කළේය. භාවිතයට ගත නොහැකි මට්ටමින් අතහැර දමා තිබූ කොළඹ නගරයේ පිහිටි සුවිසල් මන්දිර කිහිපයක් ම සංවර්ධනය කළ අතර ඒවා අද වන විට දැකුම්කළු සුපිරි වර්ගයේ සාප්පු සංකීර්ණ වී ඇත. මෙලෙසින් පශ්චාත් යුද සමය සංවර්ධන ක්‍රියාදාමයකින් රට අලංකාර කිරීමට ක්‍රියා කළ කාල පරිච්ඡේදයක් විය.

මානුෂීය මෙහෙයුම නිමා වීමෙන් පසුව යුද ක්‍රියාකාරකම් සඳහා පමණක් ම පුරුදු පුහුණු කළ, වෙඩි හඬට, බෝම්බ හඬට සවනත ප්‍රකම්පිතව සිටි ත්‍රිවිධ හමුදාව පුනරුත්ථාපනය කිරීමට ලෝකයේ සෑම රටක් ම කටයුතු කරනු ලබන්නේ රණවිරුවන් සාමාන්‍ය මනසක් ඇති මිනිසුනු බවට පත් කරවීමේ අපේක්ෂාව ඇතිව ය. යුද්ධයෙන් පසුව නිවාඩුවට ගෙදර පැමිණි හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් ම ඉතා කෙටි කාලයක් තුළ අමානුෂික ආකාරයෙන් තම බිරිඳ මරා දැමූ බව මාධ්‍ය තුළින් අසන්නට දකින්නට ලැබුනි. තවත් කිහිප තැනක ම සිය රාජකාරි ගිනි අවියෙන් මිනිස් ඝාතන සිදු කළ බව ද ඒ අතර විය. මේ හේතු නිසා යුද මානසිකත්වයෙන් රණවිරුවන් මුදවා පුනරුත්ථාපනය කර ගැනීමට මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදයක අවශ්‍යතාවය ඇති විය. ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් තෝරා ගත්තේ සංවර්ධන ක්‍රියාවලිය හා ආරක්ෂක අංශ ඒකාබද්ධ කිරීමේ ක්‍රමවේදයයි. ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය පිහිටුවනු ලැබීය.

2009 – 2011 වර්ෂවල සෙනසුරු ග්‍රහයා ගෝචර ව ගමන් කළේ බුධ හිමි කන්‍ය රාශියේය. ශනි හෙවත් සෙනසුරුට බුධ මිත්‍රව ග්‍රහයෙකි. බුධට ශනි සම ග්‍රහයෙකි. කන්‍යව ශනිට මිත්‍ර රාශියකි. තව ද ශනි මේ වන විට ආරෝහණ ගමනින් කන්‍යාවට පැමිණ ඇත. මේ නිසා සෙනසුරුගේ බලවත්කම සාමාන්‍යයෙන් වැඩිය. 2011 සිට සිය උච්ච රාශිය වන තුලාවට යන බැවින් රජගෙදර පෙනි පෙනී සිටින සෙනසුරු තමන්ගේ කාරක අයිතීන් වර්ධනය කිරීම ආරම්භ කරයි.

හිමියා වෙයි යකඩ
ලොකු දත් අතරැ ඇත ඉඩ
සිතෙහි දොම්නස මැඩ
ගහ මඩුල්ලේ කරයි හැම වැඩ
ගල් වැඩ පතල් වැඩ
හිර ගෙදරැ පාලක වැඩ
ඉඩම් විකුණුම් වැඩ
ආදියට ශනි ලබා දෙයි ඉඩ

යනුවෙන් ජ්‍යෝතිෂ පද්‍යාවලිය නම් කෘතියේ ශනිගේ ස්වභාවය හා කාරක අයිතීන් විග්‍රහ කර ඇත. කිසිදු අකමැත්තකින් තොරව ග්‍රහ මඩුල්ලේ සියලු කම්කරු වැඩ කරන සෙනසුරු මනුලොවට ද එම ස්වභාවය ලබා දී තිබුණි. ඒ අනුව ලොකු පොඩි භේදයකින් තොරව සමාජයේ සෑම අංශයකින් ම රැකියා අවස්ථා බිහි කරවන්නට හැකි විය. එම රැකියා අවස්ථා සියල්ල ම දහඩිය මහන්සියෙන් කළ යුතු ඒවා වූ අතර සීත කාමරයේ සිට එම ව්‍යාපෘතිය මෙහෙයවන බලධාරීන්ටද අව්ව වැස්ස දූවිලි නොතකා වැඩබිම්වලට ගොස් සොයා බලන්නට සිතෙන තරමට සෙනසුරා සිය කම්කරු අයිතිය ඔප්පුකර පෙන්වීය.

ජ්‍යෝතිෂ පද්‍යාවලියේ සඳහන් අන්දමට එකල ගල් වැඩ පතල් වැඩ බහුල ව ඇති විය. ඉඩම් විකිණිම හා අධිවේගී මාර්ගය, වරාය, ගුවන් තොටුපල වැනි මහා පරිමාණ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත් කරගෙන ඒ සඳහා අයිතිකරුවන් සියලු දෙනාට ම සුදුසු පරිදි වන්දි හිමි වීම මත සෙනසුරුගේ පෘථුවිකාරක අයිතිය ඉස්මතුකර පෙන්වීම කැපී පෙනුනි.

රුහුණු මාගම්පුර රාජධානිය මුල් කරගෙන කාවන්තිස්ස මහරජතුමා විසින් නන්දිමිත්‍ර , සුරනිමල, වේළුසුමන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය ඇතුළු දස මහා යෝධයින්ගෙන් සමන්විත යුද සේනා සංවිධානය කළේය. මේ අතර තම දෙවැනි පුත් තිස්ස කුමරු දිගාමඩුල්ලට යවා කෙත්වතු අස්වද්දා රට ස්වයංපෝෂිත කරවීය. මේ සියල්ල සකස් කලා පමණක් නොව සහෝදරයන් දෙදෙනා අතර කිසිදු යුද්ධ කෝලාහලයක දී කිසිදු පාර්ශ්වයක් නොගෙන මධ්‍යස්ථව ක්‍රියා කරන්නට දස මහා යෝධයන් ද පොරොන්දු කරවා ගත්තේ අනාගතයේ ඇති විය හැකි අනපේක්ෂිත සිදුවීමක් පිළිබඳව මතු වූ සැකය නිසාය. එම සැකය සැබෑවක් කරමින් මහලු කාවන්තිස්ස රජු අභාවයට පත් වීමෙන් පසුව දෙසොහොයුරන් අතර යුද්ධයක් ඇති වුව ද එය දුර දිග නොගොස් විසඳන්නට මහා සංඝරත්නය ක්‍රියා කළේය. පොරොන්දු වූ පරිදි දසමහා යෝධ සේනාව මධ්‍යස්ථව ක්‍රියා කළ අතර ජීවිත හානිවලින් තොරනව ගැටළුව නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබිණි.

කාවන්තිස්ස පියරජතුමා සකස් කළ යුද යාන්ත්‍රණය නිවැරදිව හසුරුවා ගනිමින් සොළි ආක්‍රමණ වලට එරෙහිව සටන් පෙරමුණට යන්නට සැකසූ වැඩපිලිවෙල ඉතාම වැදගත් විය. ආදරණීය මෑණියන් වූ විහාර මහා දේවියගේ උපදෙස් ප්‍රමුඛ ව ගනිමින් සමස්ථ යුද සංග්‍රාමය පුරාවට ම මහා සංඝරත්නයේ ආශිර්වාද ලබමින් බල මුළු සකස් කළ ගැමුණු කුමරු ප්‍රමුඛ සේනාව ජය අත්පත් කර ගත්තේය. මේ සටන් පැවති සමයේ රජු ආහාරයට ගත් මිරිස් මාළුවක් මහා සංඝයා වහන්සේට පිළිගන්වන්නට අතපසු වූ නිසාවෙන් එයට දඬුවම් පිණිස යැයි සිතා තමන්ගේ ජයකුන්තය නිධන් කර මිරිසවැටිය දාගැබ (මහා වංශය, 26 පරි. 17 ගාථාව) ඉදිකරවීය. ඉන් පසුව ජය සිරි මහා බෝධීන් වහන්සේ පෙනෙන මානයේ දේවානම්පියතිස්ස රජු විසින් සටහන් කර (මහා වංශය, 27 පරි. 3 – 5 ගාථා) තිබූ සෙල්ලිපිය දැක ස්වර්ණමාලී ස්ථූපය කරවන්නට ක්‍රියා කළේ අප්‍රමාණ වූ ශ්‍රද්ධාවකින් යුතුවය.

ස්වර්ණමාලී ස්ථූපයේ මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකාද්වීපයේ නොයෙක් තැනින් රන් – රිදී – මුතු – මැණික් ආදිය පහල වූ බව මහා වංශයේ ථූපසාධනලාභ නම් වූ 28 වැනි පරිච්ඡේදයේ සඳහන් කර ඇත. දෙස් විදෙස් රටවලින් මෙරටට වැඩම කළ මහා සංඝරත්නය ලක්ෂ ගණනක් පමණකැයි ද ගිහි උපාසක උපාසිකා පිරිස ද ඊට සමාන වන්නේ යැයි ද මහා වංශයේ ම සඳහන් කරයි. තව ද බොහෝ දුරුකතර ගෙවාගෙන පැමිණි සියලු දෙනාට ප්‍රණීත ආහාර පානයෙන් සංග්‍රහ කිරීම අනිවාර්ය කාරණයක් වූ අතර එය ස්ථුපයේ ඉදිකිරීම් නිම වනතෙක් සිදු කළ යුතු බවට ව්‍යවස්ථා පනවා තිබූ බව ද පැවසේ. මේ සියලු සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා ලද්දේ ද අවසන් මොහොත දක්වා ම නොසැලී ක්‍රියා කළ දස මහා යෝධයන් ඇතුළු සේනාවයි. ඔවුන්ගේ යුද මානසිකත්වය හා ඔවුන් විසින් කඩු – දුනු – හී වලින් කපා කොටා මරා දමන ලද මහා සේනාව පිළිබඳව ඇති මතකය සිතින් ඉවත් කරවීම පිණිස එම චතුරංගනී සේනාව චෛත්‍යය ඉදි කරවීම හා අනිකුත් සංවර්ධන කටයුතුවලට යොමු කරවන ලදී.

වර්ෂ 2011 – 2014 දක්වා වූ කාලය තුළ ලංකාවේ සිදු වූ වේගවත් සංවර්ධනය පිළිබඳව ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවලින් තොරතුරු අනාවරණය වූ ආකාරයට එය ලොව වේගවත් ම නාගරික සංවර්ධනයයි. දුප්පත් ගම්වල මිනිසුන් සිතා සිටියේ “අනේ අපේ පාරටත් තාර ටිකක්වත් දමල පාර හදල දේවි” යැයි කියාය. එහෙත් ඔවුන් සිතුවාටත් වඩා හොඳින් පාර සකස් කර දෙන්නට වගකිව යුතු පිරිස් ක්‍රියා කළේය. බොහෝ මාර්ග කාපට් අතුරා හෝ කොන්ක්‍රීට් අතුරා ඉතා හොඳින් නිමවා ඇත. දිනපතා උදේ හවස පුරුද්දක් වශයෙන් ගෙදරට වතුර කළගෙඩි 10 – 12ක් රැගෙන එන ගැමි මව්වරුන්ට ප්‍රජා ජල ව්‍යාපෘතිය මගින් නලජලය ලබා දීම ඉතාම වැදගත් කාර්යයක් විය. මේ ආදිය පමණක් නොව “අපි වවමු – රට නගමු” යන තේමාව යටතේ කෘෂි කර්මාන්තය මිනිස් ජීවන රටාවන් තුළ ඇති උස් පහත්කම් නොසලකා සෑම ගෙදරකට ම ව්‍යාප්ත කරවීමට ගත් ප්‍රයත්නය අතිශය වැදගත්ය. 1972 ජනරජය යටතේ ලොව ප්‍රථම අගමැතිණිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වගා කිරීමට ජනතාව පෙළ ගැස්වීම හරහා උත්සාහ ගත්තේ ද මෙයට සමාන වූ ක්‍රියාවලියක් සිදු කිරීමටය.

නාගරික සංවර්ධනයේදී වැසි ජලය බැහැර කිරීම තරම් ගැටළුකාරී යමක් නොතිබුණා යැයි කියතොත් එය නිවැරදිය. ඒ හරහා සිදු වූ සෞඛ්‍ය හා පාරිසරික හානිය අප්‍රමාණය. මේ සඳහා වගුරු බිම් පිරිසිදු කර තව තවත් පුළුල්කර අලංකාර ලෙස නිමවා ඒ වටා ඇවිදින මංතීරු ඉදිකරවූයේ ප්‍රසන්න සිත්ගන්නා සුළු වටපිටාව මිනිසුන් අපවිත්‍ර කිරීමකින් තොරව පාවිච්චි කරනු ඇතැයි යන අනුමාන තීරණය ඔස්සේ ය. ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඇප කැප වී සිටි සියලු රණවිරුවන්ගේ මග පෙන්වීම හා උපදේශනය සතුටු සිතින් පිළිගත් මහජනතාව මේ ඇවිදින මංතීරු සහිත වැව් ආශ්‍රිත ව හෝ මහ මග වෙනත් ස්ථානයක හෝ කැළි කසල බැහැර කිරීමට අකමැති වූයේ ආශ්චර්යවත් ශ්‍රීලංකාවක් නිර්මාණය වනු දැකීමට ඇති ආශාව නිසා යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

මේ නාගරික සංවර්ධනයත් සමග ඇති වූ වැව් සංස්කෘතිය වටා එකතු කළ ඇවිදින මංතීරු ඔස්සේ ශාරීරික සුවය කැමති ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය ම උදේ හවස ඇවිදින්නට පටන් ගත්තේය. මේ ආශ්‍රිත ව ඇති අඳුර නසන්නට සූර්ය බලයෙන් ලබාගත් විදුලි බල්බ වලින් ආලෝකය ලබා දුන් අතර ඒ සඳහා අමතර වියදමක් විදුලි බල මණ්ඩලයට ගෙවීමට සිදු නොවූ නිසා ආර්ථික වශයෙන් ද රටට යහපතක් විය. ගෙදර ඇති ව්‍යායාම උපරණය ක්‍රියා කරවීමට විදුලිබලය අවැසිය. එවිට ජාතික විදුලිබල පද්ධතිය ද කිසියම් වැය බරක් දරනු ලබයි. මේ සියල්ල සරළ කරමින් ඇවිදින මංතීරු ඉදි වූ නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රට ම වෙලා ගත් බෝ නොවන රෝග රැසකට වැට කඩොලු බැඳී ඇත. ඊට අමතරව නිවසේ සිට මානසික සුවය විවේකය සොයා එන දහස් ගණනකගේ කායික මානසික සුවය ඇති කරවීමට මේ ස්ථාන සමත් වූ බව පැහැදිලිය.

මෙම දීර්ඝ විග්‍රහය කියවන ඔබ දැනටමත් මෙම ලිපිය පිළිබඳව කිසියම් නිගමනයකට පත් ව ඇති බව පැහැදිලි වේ. එනම් මාගේ මෙම විග්‍රහය මහින්දවාදී ව ඉදිරිපත් කර ඇත යන්නයි. සැබැවින් ම එවැනි දේශපාලන අරමුණක් හෝ පක්ෂග්‍රාහී බවක් මා සිත තුළ නොමැති බව ප්‍රඥාවන්ත ඔබ පිළිගන්නේ නම් ඉතා යහපත්ය. මා මෙසේ විග්‍රහ කරන්නේ රට සංවර්ධනය වූ / රට එක්සේසත් කළ සෑම කාල පරිච්ඡේදයකම දකින්ට තිබූ සත්‍යයි.

දුටු ගැමුණු රජුගෙන් පසුව රට ජාතිය වෙනුවෙන් අමිල සේවයක් කළ වළගම්බා රජු දොළොස් අවුරුද්දක් පුරා අති බිහිසුණු බ්‍රාහ්මණ ථීය නිසා ඇති වූ “බැමිණිතියා” සාගතයෙන් අප්‍රමාණ ලෙස පීඩා විඳි බව ඔබ අසා ඇත. එවක මූලික වශයෙන් බුදු සසුන සහ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම උදෙසා කටයුතු කළ වළගම්බා රජු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරවා තවත් වෙහෙර විහාර ගොඩ නංවා මානව සිත් ගුණ දහමින් පෝෂණය කරවීය. මෙයට සමගාමීව කැඩී බිඳී ගිය වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරවූයේ කෘෂිකර්මාන්තයෙන් පෝෂණය වූ සිහළ දේශය යලි පුබුදුවන්නට අවැසි නිසාවෙනි.

අනුරාධපුර යුගයේ අවසාන කාල පරිච්ඡේශදය වසර ගණනාවක් පුරාවට හෙළ දිව අරාජිකව පැවති නිසාවෙන් වැව් අමුණු කැඩී බිඳී ගොස් තිබුණි. මෙම යුගයේ මහ විජයබාහු රාජ්‍යත්වයට පත් වන විට අනුරාධපුර රාජධානිය පිරිහී ගොස් තිබුණි. එබැවින් අභිෂේක ලැබීමේ කටයුතු පමණක් අනුරාධපුර ඇතුළු නුවර ඉදි කළ තාවකාලික මණ්ඩපයක දී සිදු කර පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය ලෙස තොරා ගත්තේ තත්කාලීන සමය වන විට අගනුවර ලෙස සියලු අංගවලින් සමන්විත ව තිබූ බැවිනි. විජයබාහු මහ රජතුමාගේ කාලය ද වැව් අමුණු ප්‍රතිසංස්කරණ කටයුතු මූලික ව සිදු කළේය. ඊට අමතරව මංමාවත් ඉදි කරමින් ජනතාවගේ සුපුරුදු කෘෂිකාර්මික ජීවන රටාව නිසි ලෙස පවත්වාගෙන යාමට අවැසි පහසුකම් සැලසීය.

මහ පරාක්‍රමබාහු රාජ්‍ය පාලන සමය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ ද මෙවැනි ම තත්ත්වයකි. රටපුරා සතුරු කැරලි කෝලාහාල මර්දනය කරමින් රාජ්‍යත්වයට පත් වූ පරාක්‍රමබාහු රජතුමා ද සමුදුර පරයන මහා වැව් තැනව්වේ ය. ඒ අතර පරාක්‍රම සමුද්‍රයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි (මහා වංශය පරි 68 – 40 ගාථාව). පරාක්‍රමබාහු රජුගේ සෞඛ්‍ය සේවාව පිළිබඳව විමසීමේදී සමස්ථ ලෝකය ම පරදන අති දැවැන්ත රෝහල් ඉදිකළේ ය. නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් කළ නොහැකි තරම් වූ ශල්‍යකර්ම කළ බවට මහා වංශය ඇතුළු මූලාශ්‍ර වලින් තොරතුරු සොයා ගත හැකිය. විවිධ අපරාධ නිසා බන්ධනාගාර ගත කරන ලද වැරදි කරුවන්ගේ සුබසාධන කටයුතු කෙරෙහිද මෙකල විශේෂ අවධානයක් යොමු කර තිබූ බවට තොරතුරු හමුවේ. එයින් පැහැදිලි වන්නේ බන්ධනාගරයෙන් නිදහස් වන විට සෞඛ්‍ය සම්පන්න නිරෝගී පුද්ගලයෙකු ලෙස සමාජයට පිවිසීමට අවස්ථාව සලසා දී තිබූ බවයි.

ශ්‍රී ලංකාවේ පසුගිය කාල වකවානුව ගත් කළ කැඩුණු වෙන් වූ අත් පා නැවත බද්ධ කරන්නට තරම් විශ්වකර්ම වෛද්‍යවරු සිටින බව ඔප්පු කළේය. එකම දිනයක දී අක්ෂි ශල්‍ය කර්ම අතිවිශාල ප්‍රමාණයක් සිදු කරමින් ගිනස් වාර්තා පොතට නම ඇතුළත් කරන්නට තරම් දක්ෂ වෛද්‍යවරු බිහි විය. ඇතැම් පෞද්ගලික රෝහල් ලොව විවිධ රටවල භාවිත කරන නවීන උපකරණ ලංකාවට රැගෙන ආ අතර කොළඹ ජාතික රෝහල ද නවීන තාක්ෂණික උපකරණවලින් හා අති දක්ෂ, කාර්යශූර කාර්ය මණ්ඩලයකින් සමන්විත වෙමින් ශක්තිමත් විය. ඉඩ පහසුකම් අතිවිශාල ලෙස වැඩි කරමින් ජාතික රෝහල ද සංවර්ධනය විය. දිවයින පුරා පිහිටි තවත් රෝහල් රැසක් ද සංවර්ධනය විය. ඒ අනුව බලන කල සෞඛ්‍යද සේවාවන් ඉතා පුළුල් ලෙස සංවර්ධනය වී තිබූ බව පැහැදිලිය.

දේවානම්පියතිස්ස, කාවන්තිස්ස, දුටු ගැමුණු, වළගම්බා, මහ විජයබාහු, ධාතු සේන, පරාක්‍රමබාහු ආදී වූ ශ්‍රේෂ්ඨ නරේන්ද්‍රයන්ගේ තුන්කල් දක්නා නුවණින් ශ්‍රී ලංකාද්වීපය කලින් කල විරාජමාන විය. දුටු ගැමුණු රජු දවස මහා ථුපය නිමවීමට අවැසි බොහෝ රන් – රිදී – මුතු – මැණික් – උළු – ආදිය පහල වූවාක් මෙන් මෙකල ද ලංකාවේ නොයෙක් ස්ථානවලින් මැණික් රත්‍රං සහ තවත් වටිනා ද්‍රව්‍ය හමු විය. කතරගම ප්‍රදේශයේ සහ රත්නපුර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතුවල දී මැණික් හමුවීම එවැනි එක් අවස්ථාවකි. එකල මහා ථූපය අසල මහ දන්සැල් පැවැත්වූවා මෙන් මෙකල ද වර්ෂය පුරාම ස්වර්ණමාලි දාගැබ අසල දන්සලක් පැවැත්වීය. එකල මෙන් මෙකල ද යුද්ධයට ගිය සේනාව රාජ්‍ය සංවර්ධනයට යොදා ගත්තේ ය. ආරෝග්‍ය ශාලා දියුණු විය. පැරකුම්බා රාජ්‍ය සමයේද මෙසේ ම පාලන කටයුතු සිදු වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. බුද්ධදාස රජතුමාගේ පාලන කාලය විශේෂයෙන් ම දේශීය චිකිත්සා ක්‍රමයේ ස්වර්ණමය යුගය විය. මෙසේ සංවර්ධනයට සෙනසුරු ලැබීම නිසා මංමාවත් දියුණු විය. වැව් අමුණු හා වෙහෙර විහාර ඉදි විය.

මේ සෙනසුරු ග්‍රහයාගේ කාරක අයිතීන් මහජනතාව වෙත බෙදා දී ඇති ආකාරයයි. කුමන හෝ රැකියාවකින් දිවි මග සඵල කර ගන්නට කම්කරුවාගේ පටන් වෛද්‍යවරයා – ඉංජිනේරුවරයා දක්වා ම රැකියා අවස්ථා බිහිකරවා දී ගම රට – මග තොට – දැකුම්කළු පුරවරයක් කරවන්නට සෙනසුරු තම ග්‍රහකාරකත්වය ලබා දුන්නේය. මේ ආකාරයෙන් සංවර්ධනයට සෙනසුරු ලැබීම හරහා මා දිනු ලක්බිම සංවර්ධනය වූ අතර ආසියාවේ නැගී එන හොඳම – වේගවත් ම සංවර්ධනයක් හිමි රට බවට ද පත් වී තිබුණි. එහෙත් එය ලබා දුන් සෙනසුරා ම උච්ච රාශිය වූ තුලා රාශියෙන් සතුරු රාශියක් වූ වෘශ්චික රාශියට පිටව ගියේ කරගෙන ආ සංවර්ධන වැඩ කටයුතු සියල්ල එලෙසින් ම අතහැර දමමිනි. එපා කරවමිනි. “යන යකා කොරහත් බිඳගෙන යනවා” යැයි ජන වහරේ ඇති කියමන සත්‍ය කරමින් සංවර්ධනයට සෙනසුරා ලැබුවේය.

ජ්‍යෝතිෂවේදී / ශාස්ත්‍රපති
සමන් ශ්‍රී කොඩිතුවක්කු
(B.A. Sp Hons, M.A. ජ්‍යෝතිෂපති)
samansrikodithuwakku@gmail.com