ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ශාලාක්‍ය විෂය ආයුර්වේදයේ වැදගත්ම කොටසකි.(පළමු කොටස)

 “ජේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ ශල්‍ය වෛද්‍ය  කමල් සේරසිංහ මහතා ආයුර්වේද ශල්‍ය ශාලාක්‍ය විෂයයන්හි මෙරට තුල සිටින ප්‍රාමනික දැනුමැති විද්වතෙකි. එතුමා වසර තිහකට ආසන්න කාලයක් පුරාවට කොළඹ විශ්වවිද්‍යාලයිය දේශිය වෛද්‍ය විද්‍යයතනයේ කථිකාචාර්යවරයෙකු සේවය කරමින් ආයුර්වේද වෛද්‍ය උපාධි අපේක්ෂක විද්‍යාර්ථයන්ට නොමසුරුව ආයුර්වේද ශල්‍ය ශාලාක්‍ය දැනුම ලබා දෙන විශිෂ්ඨ ආචාර්යවරයෙකි. විශේෂඥ ශල්‍ය වෛද්‍ය  කමල් සේරසිංහ මහතා එම ආයතනයේ ආයුර්වේද අධ්‍යයන අංශයේද ශල්‍ය ශාලාක්‍ය අධ්‍යයන අංශයේද අංශ ප්‍රධානි ආචාර්යවරයා වශයෙන් විටින් විට සේවය කර ඇත. වර්තමානයේදී දේශිය වෛද්‍ය විද්‍යයතනයේ  ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරන අතර තුර එම ආයතනයේ පශ්චාද් උපාධි අධ්‍යයන අංශයේ අතිරේක අධ්‍යක්ෂකවරයා වශයෙන්ද වගකීම් රාශියක් ඉටු කරමින් සිටියි. මේ අතර  පශ්චාද් උපාධි ‍අපේක්ෂක ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා උපදේශක වෛද්‍යවරයෙකු ලෙසද කටයුතු කරනා මෙතුමා  ආයුර්වේද දෙපාර්තමේන්තුවේ  ආයුර්වේද අධ්‍යාපන සහ ආරෝග්‍යශාලා මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත් ආයුර්වේද ශාස්ත්‍රී විභාග පාළක මණ්ඩලයේ සාමාජීකයෙකු ලෙසද  කටයුතු කරමින් අතීශය කාර්යබහුල වෘත්තීය ජීවිතයක් ගත කරනා ආයුර්වේදඥයෙකි. එසේ වුවත් තම කාලයෙන් කොටසක් බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ ශාලාක්‍ය සායනයේ උපදේශක වෛද්‍යවරයා ලෙසද කටයුතු කිරීමට වෙන් කර ඇති මෙතුමා ආයුර්වේද විෂය සම්බන්ධයෙන් සහ ආයුර්වේද ශල්‍ය ශාලාක්‍ය විෂයයන් පිළිබඳවත් එම විෂයන්හි වර්තමාන දිශානතිය සම්බන්ධයෙනුත් දක්වන අදහස් ඉතාම කාලෝචිතය. එසේම වැදගත්ය. පහත පලවන්නේ වෙදැස සඟරාව සමග එතුමන් පැවැත්වූ දීර්ඝ සම්මුඛ සාකච්ඡා‍වක් ඇසුරෙන් සැකසු ලිපියකි.”

ආයුර්වේදය,  ධන්වන්තරී සහආත්‍රේය……….

ආයුර්වේදය කියන පුළුල් විෂය මූලිකවම ගොඩනැගෙන්නේ ප්‍රධාන සාම්ප්‍රදායයන් දෙකක් යට‍තේය. ශල්‍ය අංශය මුලික කර ගත් ධන්වන්තරී සම්ප්‍රදායයත් කාය චිකිත්සා අංශය ප්‍රධාන කර ගත් ආත්‍රේය සම්ප්‍රදායයත් ඒම සම්ප්‍රදායයන් දෙක ලෙස දැක්විය හැකියි. අෂ්ඨාංග ආයුර්වේදය තුල ආයුර්වේද විෂයයන් පෙළ ගැස්වීමේදී ධන්වන්තරී, ආත්‍රේය යන සම්ප්‍රදායයන් දෙක තමන්ගේ මූලික විෂයයන්ට ප්‍රමුඛතාවයක් ලබාදී තිබේ. එය තව දුරටත් පැහැදිලි කරනවා නම් ධන්වන්තරී සම්ප්‍රදාය අනූව අෂ්ඨාංග  ආයුර්වේදය පෙළගැස්වීමේදී ශල්‍ය සහ ශාලාක්‍ය යන විෂයයන් දෙක ඉදිරියට ගෙන ඇත. එසේම ආත්‍රේය සම්ප්‍රදාය තුලදී කාය චිකිත්සා විෂය ඉදිරියෙන්ම සඳහන් කිරීමට කටයුතු කර ඇත. ඊට අමතරව කාෂ්‍යප සංහිතාව වැනි සංහිතා ග්‍රන්ථයක් තුලදී කෞමාරභෘත්‍ය(බාල රෝග විෂය) වැනි විෂයයක් ඉදිරියටම ගෙන ඇත. කෙසේ වෙතත් මෙම කිසිදු සම්ප්‍රදායයක් අෂ්ඨාංගායුර්වේදයේ මූලික පදනම(ශල්‍ය, ශාලක්‍ය, කාය, කෟමාරභෘත්‍ය, අගද, භූතවිද්‍යා, රසායන සහ වාජිකරණකියන මුලික විෂයයන්) වෙනස් කිරීමට කටයුතු කර නැති බව සඳහන් කල යුතුය. මෙහිදී මතුවන  එක් වැදගත් හෙළිදරවුවක් වන්නේ අෂ්ඨාංග ආයුර්වේදයට ඇතුලත් ආයුර්වේද ශල්‍ය චිකිත්සාව සහ ශාලාක්‍ය චිකිත්සාව යන විෂයයන්ගේ මතු වීමයි. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය ක්‍රමයක් තුල ශල්‍ය චිකිත්සාව සහ ශාලාක්‍ය චිකිත්සාව යන විෂයයන්  විධිමත්ව ආරම්භ කර ඇත්තේ ආයුර්වේදය තුල බව පැහැදිළි කිරීමට එය කදිම සාක්ෂියක් සපයයි.

ඉතිහාසගත සාක්ෂි වලට අනූව ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාරය තම මූලික පදනම කර ගත් ධන්වන්තරී සම්ප්‍රදාය ගොඩ නැගී ඇත්තේ “කසී රාජ දිවෝදාස ධන්වන්තරී” යන මහර්ෂීවරයා කේන්ද්‍ර කොට ගෙනය. එතුමන් පුරාණ භාරතයේ කසී රට පාලනය කල රජකෙනෙකු ලෙස හඳුන්වා දී ඇත. දිවෝදාස යනු එතුමන්ගේ නමයි. ධන්වන්තරී යනු එතුමන් විසින් ප්‍රකට කල  විශිෂ්ඨ වෛද්‍ය සහ ශල්‍ය ඥාණය හේතුවෙන් එතුමන්ට ලබා දෙන ලද ගෞරව නාමයක් බව සඳහන් වේ. එතුමන් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ ආරම්භකයා ලෙස සැලකුවත් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පීතෘත්වය එතුමන්ට හිමිවී නැත. එතුමන්ගෙන් වෛද්‍ය ශාස්ත්‍රය ඉගැනීමට පැමිණි ශිෂ්‍යයන් අතර සිටිය වුන්ගෙන් එක් අයෙකු වූ සුශ්‍රැත නම් ශිෂ්‍යයා(ආචාර්ය වරයා) ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකිමට ආයුර්වේදය පසුකාලිනව කටයුතු කර ඇත. එතුමා ධන්වන්තරී සෘෂීවරයා විසින් උගන්වන ලද ආයුර්වේද ශල්‍ය දැනුම මනාව කැටි කොට ඉතා විශිෂ්ඨ ශල්‍ය ග්‍රන්ථයක් රචනා කර ඇත.(සුශ්‍රැත සංහිතාව). සුශ්‍රැත ආචාර්යවරයා පමණක් නොව සුශ්‍රැතයන් සමග උගත් අනෙක් ශිෂ්‍ය පිරිසද ධන්වන්තරී සෘෂිවරයාගෙන් උගත් ශිල්පය තම තමන් අවබෝධ කර ගත් ප්‍රමානය අනූව එම දැනුම කැටි කොට වෛද්‍ය ග්‍රන්ථ රචනා කර ඇති බව ආයුර්වේද ඉතිහාසයේ සඳහන් වේ. එනමුත් අවාසනාවකට අද වන විට එම ග්‍රන්ථ සියල්ලම පාහේ විනාශ වී ගොස් ඇති අතර වාසනාවකට මෙන් ඉතිරිව ඇත්තේ සුශ්‍රැත සංහිතාව පමණි.

සුශ්‍රැත සංහිතාවේ සෑම අධ්‍යායක් ආරම්භයේදීම  “ භගවත් වූ ධන්වන්තරී මහර්ෂිවරයා සුශ්‍රැත ශිෂ්‍යයාට කි අයුරින් ව්‍යාඛ්‍යා කරන්නෙමු” යැයි සඳහන් කර ඇත. එම වාක්‍ය කණ්ඩයෙන් ගම්‍ය වනුයේ සුශ්‍රැත ආචාර්ය වරයා මෙසේ ග්‍රන්ථාරූඪ කර ඇත්තේ කසීරාජ දිවොදාස ධන්වන්තරී නම්වූ තම ගුරුතුමා විසින් පවසන ලද දැනුම බවයි. නමුත් සුශ්‍රැත සංහිතාවේ සූත්‍ර, නිදාන, ශරීර, චිකිත්සා, කල්ප ආදී වු මුලික කොටස්(ස්ථාන) අතරේ අවසානයට ඇති  විශාල පරිච්ඡේදය උත්තර තන්ත්‍රය තුල  අඩංගු කරුණු වල යම් වෙනසක් ඇත. ස්ථාන වශයෙන් වෙන් කර දක්වා ඇති ප්‍රධාන පරිච්ඡේද අතරේ උත්තර තන්ත්‍රය ලෙස නාමකරණය කර ඇති  පරිච්ඡේදය තුල “ශාලාක්‍ය විෂයට” අදාල කොටස් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත. ඊට අමතරව ළමා රෝග වලට අදාල කොටස්ද එහි අන්තර්ගත කර ඇත.  නාමකරණයේ වෙනස සහ අන්තර්ගත කරුණූ වල ස්වභාවය අනූව පෙනී යන්නේ මෙම කොටස පසු කාලීනව සුශ්‍රැත සංහිතාවට එකතු කල කොටසක් බවයි. උත්තර යන විශේෂ නාමය යෙදීමේන්ම මෙම කොටසේ ඇති උසස් බව, වෙනස් බව පෙන්වීමට උත්සහ කර බැව සිතිය හැක.

ශාලාක්‍ය විෂය ගැන තව දුරටත්……

ආයුර්වේදය තුල පමණක් ඇති ශාලාක්‍ය විෂයට ඇස්, කන්, නාසා, මුඛය සහ ශීර්ෂයයන ස්ථාන වලට බලපාන රෝග ඇතුලත් වේ. නමුත් උත්තර තන්ත්‍රය තුල අන්තර්ගතව ඇත්තේ ඇස්, කන්, නාසා සහ ශීර්ෂයට බලපාන රෝග පිලිබඳව තොරතුරු පමණි. කුමන හෝ හේතුවකට විශේෂිතම ඉන්ද්‍රියක් වන මුඛය සහ දිව යන කොටස් ආශ්‍රිත රෝග පිලිබඳ විස්තර  උත්තර තන්ත්‍රයට ඇතුලත් කර  නැත. එම තොරතුරු ඇතුලත් වන්නේ අනෙකුත් සාමාන්‍ය කායික රෝග පිළිබද තොරතුරු පරිදිම නිදාන සහ චිකිත්සා වැනි අධ්‍යායන් තුලයි. උත්තර තන්ත්‍රයේ ශාලාක්‍ය වලට අදාල අධ්‍යායයන් ආරම්භ වන ස්ථානයන්හී දැක්වෙන්නේ “මෙම ශාලාක්‍ය තන්ත්‍රයේ විස්තර කරන්නේ විදේහ අධිපති පැවසු ආකාරයට බවයි”.  අනෙකුත් අධ්‍යායයන් ආරම්භයේදී ධන්වන්තරි සෘෂි පැවසු ආකාරයට සඳහන් කරන බැව් දක්වා තිබුනත් මෙම විශේෂ කොටස් වල විදේහ අධිපති පැවසු ආකාරයට සඳහන් කරන බැව් දක්වා තිබීමෙන් ගම්‍ය වන්නේ ශාලාක්‍ය පිළිබඳ මුලික දැනුම තිබී ඇත්තේ විදේහ අධිපති ලෙස දක්වා තිබූ තැනැත්තාට බවයි.

ආයුර්වේද ශාලාක්‍ය අංශයේ අදිකතෘවරයා නිමි (ජනක රාජශ්‍රී) ආචාර්යවරයාය.

 විදේහ අධිපති යනු කවරහුද? ආයුර්වේද ඉතිහාසයට  අනූව විදේහ අධිපති යනු විදේහ රටේ අධිපතිත්වය දැරු “ජනක රාජශ්‍රී” නම් රජතුමන්ය. (විදේහය යනු පුරාණ භාරතයේ පැවති ප්‍රාන්ත රාජ්‍යයන්ගෙන් එකක් බව භාරතීය ඉතිහාසයේ දැක්වේ.)  එතුමන් “නිමි” යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වා දී ඇත. නිමි තන්ත්‍රය විදේහ තන්ත්‍රය යන නම් වලින් දැක්වෙන තන්ත්‍ර රචනා කොට ඇත්තේද එතුමන් විසින්ය. මේ අනුව පෙනි යන්නේ ආයුර්වේදයේ ශල්‍ය කොටස ධන්වන්තරී සෘෂී පැවසු ආකාරයටත් ශාලාක්‍ය කොටස් වේදේහ රටේ රජු වු ජනක රාජශ්‍රී පැවසූ ආකාරයටත් ගොඩ ඇති බවයි. මෙහි විශේෂත්වය වන්නේ මේ සමගම ආයුර්වේද ශල්‍ය අංශයේ ආදිකතෘවරයා සුශ්‍රැත ආචාර්යවරයා බවට පත්වන විට ශාලාක්‍ය අංශයේ අදිකතෘවරයා බවට නිමි (ජනක රාජශ්‍රී) ආචාර්යවරයා පත්වීමයි.

ශල්‍ය Surgery වන විට ශාලාක්‍ය……..

ආයුර්වේදයේ ඉදිරිපත් කරන ශල්‍ය  විෂය ක්ෂේත්‍රය වර්තමානයේ බටහිර වෛද්‍ය ක්‍රමය තුල Surgery කියන ඉංග්‍රිසි වචනයෙන් අදහස් කරනා විෂයයට බොහෝදුරට සමානවේ. නමුත් ශාලාක්‍ය කියන වචනයට තනි ඉංග්‍රිසි වචනයක් හෝ විෂයයක් පිළිබඳව තොරතුරක් වත්මන් ඉංග්‍රිසි ශබ්දකෝෂයන්හි සඳහන් නොවේ.  ශාලාක්‍ය යන වචනය තරමක් ව්‍යාප්ත වු අදහසක් තියෙන වචනයක් බව තේරුම් ගත යුතුය. එහි එක් අදහසක් වන්නේ දසරුවෙන් ඉහල, නැතිනම් උරහිස් මට්ටමෙන් උඩ ඇතිවන රෝග(ඌර්ධව ජත්‍රෑගතව ඇතිවන ) යන  අදහසයි. ඒයට අයත් වන කොටස් වන්නේ ඇස්, කන්, නාසා, මුඛය සහ හිස කියන මිනිස් සිරුරේ ඉතාම සංවේදී සහ වැදගත්ම ඉන්ද්‍රියන් කිහිපයයි. මීට අමතරව පසු කාලීනව ශාලාක්‍ය තන්ත්‍රය යන හැඳින්වීම පැහැදිලි කිරීම සඳහා  නව අදහසක් ඉදිරිපත් වී ඇත. ඉහත දැක්වූ ඉන්ද්‍රියන් බොහොමයක්ම(නාසය, මුඛය සහ කන්) සිදුරු සහිත ගැඹුරට විහිදි ගිය ඉන්ද්‍රියන් වන බැවින් ප්‍රතිකාර කිරීමේදී යොදාගන්නේ ගැඹුරු ස්ථාන කරා පහසුවෙන් ඇතුල් කල හැකි දිගටි සිහින් කූරු වැනි උපකරණයි. භාවිතා කරන අඬු කතුරු වැනි ආධාරක උපකරණ පවා ඒයට සුදුසු ආකාරයට නිපදවා ඇත. එම උපකරණ පොදුවේ ආයුර්වේදයේ හඳුන්වන්නේ ශලාකා යන වචනයෙනුයි. එම ශලාකාවන් භාවිතා කර රෝග හඳුනා ගැනීම සහ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සිදුකරන නිසා එය ශාස්ත්‍රයට ශාලාක්‍ය තන්ත්‍රය යන නාමය යොදා ගත් බවද පෙනෙන්නට ඇත.

මෙම ඉන්ද්‍රියන් කොතරම් සංවේදීද ඒවාගේම කොතරම් වැදගත්ද කියන කාරණය කවුරුත් පිළිගන්නවා ඇත. එම සංවේදී ඉන්ද්‍රියන් කිහිපයම පිහිටා ඇත්තේ සිරුරේ ඉහලම ප්‍රදේශයේය.  එබැවින් එම ඉන්ද්‍රියයන් උත්තමාංග යන වචනයෙන්ද  හඳුන්වා ඇත. එනිසා ශාලාක්‍ය චිකිත්සාවට උත්තමාංග චිකිත්සාව කියන නමත් භාවිතා කර ඇත.  විශේෂයෙන්ම ජීවින්ගේ ප්‍රාණය රඳා පවතින විශේෂම ස්ථානයක් වන්නේ මේ උත්තමාංගයයි.  මෙම ස්ථාන වල  දුර්වලතාවයක් ඇතිවුව හොත් එසේත් නැතිනම් නිවැරදිව ක්‍රියා නොකලහොත් මනුෂ්‍යයාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි තත්ත්වයක් උදාවේ.  හිසේ ඇතිවන රෝගයක් නිසා ඕනෑම අයෙකු ක්ෂණිකව මිය යාම පවා සිදුවිය හැකි බව සමාජයම දන්නා කරුණකි.  එනිසා මෙම කොටසට ප්‍රතිකාර සිදුකිරීම ඉතාම වැදගත් සේම ප්‍රවේශමෙන් කල යතු දෙයකි. ආයුර්වේද ශල්‍ය අංශය වගේම ශාලාක්‍ය අංශයත් ඉතිහාසයේ මෙම කාර්යය ඉතා මැනවින් ඉටු කර ඇත. වැදගත්ම කරුණක් වන්නේ බොහෝ දෙනා නිසි පරිදි දැනුවත්ව නොසිටියද වර්තමානයේදි පවා  එම ප්‍රතිකාරයන් වඩාත් නිවරදිවත් ආයුර්වේදය තුල සිදුකෙරමින් පැවතීමයි. නමුත් අවාසනාවකට එය සමාජය හමුවේ ඇත්තේ නිසි අවධානයක් නොලැබීම නිසා යටපත් වූ තත්ත්වයකය.

 ආයුර්වේද ශල්‍ය ශාලාක්‍ය විෂයන් යටපත් වූයේ ඇයි?   

බටහිර ආක්‍රමණ සිදුවීම ආරම්භ වු වකවානුව (ක්‍රි.ව 1505) වෙනතුරුම මෙරට තුල පිළිගත් වෛදය ක්‍රමය වූයේ ආයුර්වේදය මුහුවූ දේශිය වෛද්‍ය ක්‍රමයයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට බටහිර ආක්‍රමණ සිදුවන යුගය දක්වාම මෙරට විසු ජනතාවගේ සමස්ත සෞඛ්‍යය රදා පැවතුනේ ආයුර්වේද වෛද්‍යවරයා නැතිනම් ‍දේශිය වෛද්‍යවරයා මත බව අමතක නොකල යුතුය.  එම යුගවල ජීවත්වූ ජනතාව කොතරම් නිරෝගිව සිටියේද යන වග අනුරාධපුර, පොළොන්නරු ආදි රාජධානි සමයන්හි ගොඩනැගුනු වාරිකර්මාන්ත, පූජණිය ස්ථාන, විධිමත් නගර සහ කළා නිර්මාණ නිරික්ෂණයෙන් අවබෝධය කර ගත හැක. කවුරුත් දන්නා පරිදි  දියුණු ආර්ථික සමාජ සහ සංස්කෘතික පරිසරයක් ගොඩනෑගීමට නම් නිරෝගිමත් ජන ප්‍රජාවක් සිටිය යුතුමය. මෙම ‍නිරෝගී සමාජය ගොඩ නගන්නට මැදිහත් වූයේ කවුරුන්ද?  එම ජනතාව නිරෝගී සහ කාර්යක්ෂම ජනතාවක් ලෙස ගොඩ නැගීම සිදුව ඇත්තේ දේශිය වෛද්‍ය ක්‍රමයේ නිසි රැකවරණය හා උපයෝගීතාවය මනා ආකාරයෙන් ලැබීම තුලිනි. එම මැදිහත් වීම පිළිබඳව දැක්විය හැකි හොදම උදාහරණයක් මෙරට ලිඛිත ඉතිහාසයෙන් හමුවේ. අතීතයේ මෙරට සෑම ග්‍රාමයටකම වෛද්‍යවරයෙකු බැගින් පත්කොට සිටි බවට ලිඛිත සාක්ෂි ඇත. එහි ඇති එක් සුවිශේෂි තාවයක් වන්නේ එම වෛද්‍යවරුන්ට මාසික වේතනය ලබා දිම  සඳහා පදනම් කර ගෙන ඇති නිර්ණායකයයි.  තමා සේවය කරණා ගමේ සිටින නිරෝගී පුද්ගලයින් ප්‍රමාණය අනූව එම වෛද්‍යවරුන්ට ‍ලැබෙනා වේතනය තීරණය වන ක්‍රමවේදයක් එකල තිබී ඇත. මාසය අවසානයට ගම වටා යන වෛද්‍යවරයාට රෝගියෙකු නොමැති සෑම නිවසකින්ම කාසියක් ලබා දීමට නියම කර ඇත. ගමේ රෝගීන් සිටින්නේ නම් එය වෛද්‍යවරයාගේ සේවයේ දුර්වලතාවයක් ලෙස සලකා ඇති අතර රෝගීන් වැඩි වන තරමට වෛද්‍යවරයාගේ වේතනය අඩුවිම සිදුවී ඇත. එයින් නිකුත් කර ඇති සමාජ පණිවුඩය වී ඇත්තේ රට වැසියාගේ සෞඛ්‍යය තත්ත්වය පිලිබඳව වගකීම ඇත්තේ වෛද්‍යවරුන් සතුවය යන්න සහ ජනතා නිරෝගීභාවය අඩුවන්නේ නම් එය වෛද්‍යවරුන්ගේ දුර්වලතාවයක් මත සිදුවන්නක් බව හැගවීමයි.

මෙවැනි උසස් සමාජ සුබසාධන පුරුෂාර්ථ සහිතව පැවති දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය  සහ එහි භාරකාරත්වය දැරු දේශිය වෛද්‍යවරයාට බටහිර ආක්‍රමණ සිදුවන යුගය එළඹීමත් සමගම අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය. වෛද්‍ය ක්‍රමය පිළීබඳව ලියැවුණු ඉතා වටිනා ග්‍රන්ථ ආක්‍රමණිකයන් විසින් විනාශ කිරීම සිදුව ඇත. එසේ විනාශ නොකල පතපොත ආක්‍රමණිකයන් තම තමන්ගේ මවු රටවලට ගෙන යැම සිදුකර ඇත. එසේම ඔවුන්ගේ බටහිර වෛද්‍ය ක්‍රමය බලහත්කාරයෙන් මෙරට ජනතාව වෙත පැටවීමට කටයුතු කර ඇත. දේශිය වෛද්‍යවරුන්ට දඬුවම් කර ඇත. ඒ අතරින් ශල්‍යකර්‍ම ප්‍රතිකාර සහ ශාලාක්‍ය ප්‍රතිකාර සිදුකල වෛද්‍යවරුන් විශේෂයෙන් සිරභාරයට පත් කිරීම හෝ මරණයට පත්කිරීම සිදුකර ඇත.

සාමාන්‍ය ශල්‍යකර්‍ම වල සිට ප්ලාස්ටික් ශල්‍යකර්‍ම දක්වා………

ආයුර්වේද ශල්‍ය ශාලාක්‍ය විෂයයන් තුලින් ලෝකයේ මුල් වරට “ප්ලාස්ටික් සැත්කම්” සංකල්පයද ඉදිරිපත් කිරීම සිදුවී ඇත. ඒ “වෛකෘතාපහම්(විකෘතිතා නැතිකිරීම)” “ සන්ධාන කර්‍ම” වැනි ප්‍රතිකාර තුලින්ය. මෙම ප්‍රතිකාරයන්හි ආරම්භයන් පිළිබඳව ඇති ඉතිහාසය මෙහිදි දැන සිටීමද වැදගත්ය. අතිතයේ විවිධ වැරදි සඳහා හසුවු මිනිසුන්ට පැනවු විවිධ දඩුවම් අතර මිනිසුන්ගේ ශරීර අංග කපා ඉවත් කිරීමද බහුලව සිදුව ඇත. මෙහීදී නාසයවල්, කන් ආදිය කපා දැමිමද සිදුකර ඇත්තේ දැඩි දඬවම් වශයෙනි. ඒවාගේම විවිධ හදිසි අනතුරු හා සටන් වලදිත් ශරීර අංග ඉවත් කිරීමට සිදුවන තරමේ අනතුරු සිදුවී ඇත. මෙහීදී නාසා සහ කන් බිදි ගිය අවස්ථාවලදි එවා නැවත සකස් කිරීමට ආයුර්වේදිය ප්‍රතිකාර ක්‍රම සහ විශේෂ තාක්ෂණයක් යොදාගෙන ඇත. එම ශිල්පය වෙනම ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර යටතේ දක්වා ඇත. වැදගත්ම කරුණක් වන්නේ එහිදි යොදාගෙන තිබූ තාක්ෂණික මුලධර්ම අද බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්ලාස්ටික් සැත්කම් කිරීම සඳහාද ගුරුකොට ගෙන තිබීමයි. එය තහවුරු කිරීමට අවශ්‍ය උදාහරණ අදද බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර තුලින් සොයා ගත හැක.

“දහඅට (18) වැනි සියවසේ පැවති Third Anglo- Mysore War (1789-1792) සමයේදී එංගලන්ත යුධ හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ සේවය කල බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍ය Thomas Cruso කියන බටහිර වෛද්‍ය වරයා ආයුර්වේද ප්ලාස්ටික් සැත්කම් ශාස්ත්‍රය ගැන සකස් කල අපූරු සටහනක් අදද සුරක්ෂිතව බ්‍රිතාන්‍යය සතුව ඇත. ඔහු සේවය කල  හමුදා ඒකකයේ සෙබළෙකුගේ නාසය බිදී ගිය අවස්ථාවක එම නාසය බද්ධ කිරීම ඉන්දියානු දේශිය වෛද්‍ය වරයෙක් විසින් සාර්ථකව සිදුකර ඇත. මෙම බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා එම සැත්කම මුල සිට අගටම බලා ගෙන සිට පියවරෙන් පියවරට සිදු කල දේ සටහන් කර ගෙන ඇත. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක සුරක්ෂිතව ඇත්තේ එම ශල්‍ය කර්‍මය සිදුකල ආකාරය දක්වා ඇති සටහනයි. එම සටහන අනුසාරයෙන් බ්‍රිතාන්‍යය ශල්‍ය වෛද්‍යවරුන් Rhinoplasty සැත්කමක් නිවැරදිව සිදු කරන්නේ කෙලෙසද යන්න ඉගෙන ගෙන තියෙනවය යන්න එහි වැඩි දුරටත් සඳහන් වී ඇත. ආයුර්වේද ශල්‍ය චිකිත්සාව කියන්නේ උසස් දියුණු සහ නිවැරදි වෛද්‍යක්‍රමයක් බව පැවසීමට එයට වඩා වෙනත් උදාහරණයක් අවශ්‍යද?”.

වර්තමානයේද භාරතයේ විවිධ ප්‍රාන්ත තුල මෙම ආයුර්වේදිය ප්ලාස්ටික් සැත්කම් සිදුකරණ ස්ථාන හඳුනා ගත හැකිය. විශේෂයෙන් වෙනම ග්‍රාමයන් මෙම ශිල්ප නොනැසී රැකගෙන පවත්වාගෙන ඒම සිදුකරන බවට පැහැදිලි සාක්ෂි ඇත. වර්තමානයේ බහුලව සිදුවන අක්ෂි ශල්‍ය කර්මයන් අතර ඇසේ සුද ඉවත් කිරීම(Cataract Surgery) සඳහා සිදුකරණ අක්ෂි ශල්‍යකර්‍මය ප්‍රධානතම එකකි. ආයුර්වේදයේ මීට වසර 4000කට පෙර මෙම ශල්‍ය කර්‍මය සාර්ථකව සිදුකර ඇති බව විශ්වාස කල හැකිද.  එම ශල්‍යකර්‍මය  ආයුර්වේද ශාලාක්‍ය විෂය යට‍තේ පියවරෙන් පියවරට සිදුකරන ආකාරය විස්තර කර ඇත (සුශ්‍රැත සංහිතා, උත්තරස්ථාන, දෘෂ්ටිගත රෝග ප්‍රතිශේධ අධ්‍යායය(17), 55-69).  එපමණක් නොව එහි සඳහන් වී ඇත් කරුණු අතර අදාල ශල්‍ය කර්‍මය සඳහා රෝගීන් තොරා ගන්නේ කෙසේද? ඒ සඳහා සුදුසු රෝගීන් කවුද? ශල්‍ය කර්‍මයට පූර්වයෙන් සහ අපර වශයෙන් සිදුකල යුතු ක්‍රියාකාරකම් යනාදිය පිළිබඳවත් සඳහන් කර ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙම ශල්‍ය කර්‍මය පළමු වරට සිදු කර ඇත්තේ ක්‍රි.ව 1747 දි ප්‍රංශ ජාතික අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු වන ජාකුස් ඩේවියල් (Jacques Daviel 1696-1762) නැමැත්තා විසින් බව බටහිර වෛද්‍ය බතිහාසයේ දක්වා ඇත. මීට අමතරව ඇසේ ඇතිවන ලගන වර්ග(ගැට) සඳහාත් අර්ම(Teridium) සඳහාත් සිදුකරණ ශල්‍ය කර්‍ම ආයුර්වේද ශාලාක්‍ය තන්ත්‍රය තුල විස්තර කර ඇත.  ආයුර්වේදයට අනූව ‍”පෝතකී” කියන අක්ෂි රෝගය හඳුනාගෙන ඒ වගේම එයට කලයුතු ප්‍රතිකාරද  විස්තර කර ඇත. ඇසේ පක්ෂ්ම කෝප (Entropion Trichiasis) රෝග තත්ත්වය සඳහා ශල්‍ය කර්‍මයක් දක්වා ඇත.  එම ශල්‍ය කර්‍මයෙහි ඇති විශේෂත්වය වන්නේ වර්තමානයේ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් එම රෝගය සඳහා සිදු කරන ශල්‍ය කර්‍මයත් සුශ්‍රැත විස්තර කල ශල්‍ය කර්‍මයට ඉතාම සමාන විමයි. මෙසේ සඳහන් කර ඇති  ශල්‍ය කර්‍ම සියල්ලක්ගේම පොදු  වැදගත්කම වන්නේ  එවැනි ශල්‍යකර්‍ම පියවරෙන් පියවර සිදුකරණ ආකාරය දක්වා තිබීමයි. මෙවැසි සටහන් දැක්වීමක් සිදුකිරීම කල නොහැකියි එම ශල්‍යකර්‍ම  ප්‍රායෝගිකව සිදු කර නොමැතිනම්. එවැනි අති සංවේදී ස්ථානයක සිදු කරණ ශල්‍යකර්මයක් නිසි ලෙස සිදු කල නොහැකියි  රෝගියා වේදනාවෙන් සහ පියවී සිහියෙන් සිටින විට. මක් නිසාද එම ස්ථානය එතරම්ම සංවේදී සහ අසීරු ස්ථානයක් වන නිසාවෙනි.  ඒ අනූව පෙනි යන්නේ යම් ආකාරයක නිර්වින්ධන ප්‍රතිකාරයක් ශල්‍ය කර්‍ම සිදු කිරීමට ප්‍රථම රෝගියාව වේදනාව නොදැනෙන තත්ත්වයට පත් කිරීම සඳහා භාවිතා කර ඇති බවයි. ආයුර්වේද ශල්‍ය විෂය ගැන විමර්ෂණයේදී මෙම කරුණ ඉතාම සුවිශේෂි කරුණක් වන බව පැවසිය හැක.

ඒ අනූව උපකල්පනය කල හැකිවන්නේ වර්තමාන ආයුර්වේදය තුල  එවැනි නිර්වින්ධන ඖෂධ නොකෙරෙන මුත් නිර්වින්ධන විෂය එම යුගයේදි ආයුර්වේදයේ කොටසක්ව පවතින්නට ඇති බවයි. අවාසනාවකට වර්තමානයේ එම දැනුම නොමැති වන්නට හේතුව ලෙස දැක්විය හැක්කේ එම විෂය ගැන සඳහන්ව තිබූ ආයුර්වේද පත පොත විනාශ වි යාම යැයි දැක්විය හැකියි.     

බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන අක්ෂි රෝග සම්බන්ධ මූලග්‍රන්ථ (Ophthalmology Text Book) වල ඇති ඉතිහාසය සඳහන් කොටස් පරිශිලනයේදී හමුවෙනවා  සූශ්‍රැත ආචාර්යවරයා විසින් මෙම ශල්‍යකර්‍ම පළමු වරට සිදුකර ඇති බව දැක්වෙන ලේඛන. ඊට අමතරව තවත් බොහෝ ‍බටහිර වෛද්‍ය ග්‍රන්ථ තුල ශල්‍ය විෂය පිළිබඳව ‍ආයුර්වේදයේ සහ ස්‍රශ්‍රැත ආචාර්යවරයාගේ මැදිහත්වීම් ගැන ඉහලින්ම  සඳහන් කර ඇත.  

විශේෂඥ ශල්‍ය වෛද්‍ය  කමල් සේරසිංහ මහතා ඔසෙත්මා පෞද්ගලික රෝහලේදීද හමුවිය හැක. එම රෝහල සපයන සේවාවන් ගැන දැන ගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.

http://www.osethmaayurveda.com/

 
සටහන වෛද්‍ය රක්ඛිත සම්පත් බන්ධුසේන
මතු සම්බන්ධයි