ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
වල්ලාපට්ටා හරි පාරෙන් යවමු.

 

                                                                                           

වල්ලාපට්ටා නම්වු දේශීය ශාකයේ කොටස් නිතී විරෝධී ලෙස ලඟ තබා ගත් පුද්ගලයින්  සහ එම ශාකයේ කොටස්  නීතිවිරෝධී ලෙස විකිණීමට තැත් කල පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් වු පුවත් මෑත කාලය තුල අපට වැඩි වැඩියෙන්  මාධ්‍ය තුලින් අසන්නට දකින්නට ලැබෙමින් පවති. මෙරට පිළිගත් ලිඛිත නීතිය යට‍තේ ඇත්දල, ගජමුතු සහ කස්තුරු වැනි දුර්ලභවුත් අධික වටිනාකමකින් යුතුවුත් ද්‍රව්‍ය වලට බලපවත්නා නීතින්ම වල්ලාපට්ටා සදහාද බලපැවැත්වෙන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. වල්ලාපට්ටා යනු කොතරම්ම වටිනා ශාකමය ද්‍රව්‍යයක්ද යන්න එයින් මනාව පැහැදිලි වේ. ජාවාරම් කරුවන් මෙම වල්ලා‍පට්ටා නිතිවිරෝධි මාර්ග ඔස්සේ විකිණිමේ ව්‍යාපාරයේ යෙදෙන්නේ එහි වෙළඳපොල වටිනාකම ඉතාම ඉහල බැවිනි. එහෙත් සමාන්‍ය ජනතාව පමණක් නොව බහුතර මෙම ජාවාරමේ යෙදෙනේනන්වත් වල්ලාපට්ටා ශාකය ගැනත් එහි වටිනාම කොටස් ගැනත් නිසි පරිදි දැනුවත්වී නැති බව නම් පැහැදිලිය. නීතිවිරෝධි ලෙස කපා විකිණිමට තැත් කීරිමේදි අත්අඩංගුවට ගෙන ඇති බොහෝ වල්ලාපට්ටා ශාක කොටස් නිසි ප්‍රමිතියෙන් තොර ශාක කොටස් බව හඳුනාගෙන තිබේ. එයින් මෙම ජාවාරම් කරුවන්ගේ වල්ලාපට්ටා පිළිබඳ ඇති අවබෝධය පැහැදිලි වේ. තවද සුදුසු සහ නුසුදුසු දෙවර්ගයේම ශාක කොටස් කපා විකිණිමට තැත් කිරීම තුලින් නිරපරාදේ මුල්‍යමය අතින් වටිනා කමක් ඇති කර ගත හැකි අවස්ථාද මගහැරී යාම සිදුවේ. මේ දිනවල වඩාත් ජනප්‍රියම ශාකය කුමක්දැයි මත විමසුමක් කලහොත් බොහෝදෙනා වල්ලාපට්ටා යන නාමය පවසනවා ඇත. එහෙත් ඒ බහුතරයම නිවැරදිව මෙම ශාකය ගැන දැනුවත් බවක් නැති බව නම් ඒහා සමානවම පැහැදිලිය. අපගේ උත්සහය වන්නේ වල්ලාපට්ටා ශාකය ගැනත් එහි උපයෝගිතාවයත් නිත්‍යානුකූලව ක්‍රම මගින් වල්ලාපට්ටා ශාකයෙන් ලබා ගත හැකි ආර්ථික වාසි ගැනත් දැනුවත් කිරීමටය.

වල්ලාපට්ටා ශාකය යනු මෙරටට ආවේනික ශාකයක් ලෙස හඳුන්වා දිය හැක. උද්භිද විද්‍යාත්මක වර්‍ගකරණයට අනූව Thymelaeacae කුලයට අයත්  මෙම ශාකය විද්‍යාත්මකව හඳුන්වන්නේ Gyronops walla යන නාමයෙනි. නා ගසේ පත්‍ර වලට සමාන හැඩයකින් යුතු පත්‍ර ඇති වල්ලාපට්ටා පත්‍ර ලා කොල පැහැයෙන් යුතුය. ප්‍රමුඛ මධ්‍ය නාරටියක් ඇති අතර මධ්‍ය නාරටියට ලම්බකව දෙපැත්තට සමාන්තරව විහිදුනු උප නාරටි මෙහි දැක ගත හැක. නා පත්‍රයේ යටි පැත්ත අළු පැහැයක් ගන්නා මුතු වල්ලාපට්ටා පත්‍රයේ යටි පැත්ත ලා කොල පැහැතිය. මෙම ශාකයේ අරටුව සුදු පැහයෙන් යුතු අතර විශේෂ ගන්ධයක් නොමැත. නමුත් සමහර ස්ථාන වල අළු පැහැ‍යක් හො අවපැහැයක් ගෙන ඇත්නම් එම ස්ථාන ආවේනික සුවඳක් පිටකරයි. වල්ලාපට්ටා ශාකයේ ඉතාම වටිනා කොටස් වන්නේ එම කොටස්ය. ශාකයේ කඳට හානිකරණ කෘමීන් හෝ වෙනත් කුඩා සතුන් නිසා වෘක්ෂයේ අරටුව දිලිර හෝ වෙනත් ආසාධනයකට ලක් වීමට පටන්ගනී. මෙ‍ම ආසාධනයන්ගෙන් ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා ශාකය විසින් සුගන්ධවත් ස්වාභාවික රසායනිකයක්(resin) නිකුත් කරනු ලැබේ. මෙම කොටස් ඉතා සුවඳවත්ය. තවද මෙසේ  ස්‍රාවය වන රසායනිකය නිසා එම අරටු කොටස් අළු පැහැයෙන් හෝ අවපැහැයෙන් දිස්වේ. වල්ලාපට්ටා වල ආර්ථික අතින් ඉතාම වටිනාකම වැඩි වන්නේ මෙසේ අරටුව හානිවු පසුවය. නිරෝගි පිරිසිදු වල්ලාපට්ටා අරටුවේ ආර්ථික වටිනාකම අවමය. අතීතයේ සිට අපගේ ගැමියන් වල්ලාපට්ටා ශාකය ගැන දැන සිටියත් මෙම සුවඳකාරක ‍අරටුව‍ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවට සාක්ෂි නැත. ඔවුන් වල්ලාපට්ටා ශාකයේ අරටුවට වඩා වැඩි ප්‍රයෝජනයක් ගත්තේ ශාකයේ පොත්තෙනි. වල්ලාපට්ටා ශාකයේ පට්ටා/පොතු ඉතා සවිමත් බැවින් ගව මහීෂාදි සතුන් ගැටගැසීමට මෙම පොතු රැහැන් ලෙස යොදා ගෙන තිබේ. ඊට අමතරව බුලත් වට්ටි සහ ‍වෙනත් වට්ටි සහ මළු සෑදීමටද මෙම පට්ටා යොදාගෙන තිබේ. දේශිය වෛද්‍ය කර්මය තුලදී වල්ලපට්ටා කොල යොදා ගෙන ඇත්තේ දිරාගිය දත් ආදාය ගැලවීම පහසුකරනා ද්‍රව්‍යයක් ලෙසය. වල්ලාපට්ටා පත්‍ර වල දත් බුරුල් කිරීමේ හැකියාවක් ඇති බව දේශිය වෛද්‍යවරු විශ්වාස කර තිබීම එයට හේතුවයි.

වල්ලාපට්ටා වලට ආර්ථීක වටිනාකමක් ලැබුනේ කෙසේද?

ආසියාතික කලාපයේ විශේෂයෙන් දකුණු, අග්ණිදිග සහ මධ්‍යම ආසියානු රටවල ව්‍යාප්ත වී ඇති Thymelaeacae කුලයට අයත් අඟිල්/ අගුරු/ Agarwood/ Aloewood (Aquilaria agallocha)නම් ශාකයේ ඉතා සුවඳවත් රසායනිකයක් (resin) ඇති බව මිනිසුන් සොයා ගත්තේ අද ඊයෙක නොවේ.ජනාවාස ඇතිවු යුගයේ සිට මිනිසා මේ පිළිබඳව දැන සිටියහ. එහිදී එම සුවඳවත් රසායනිකය විවිධ ආකාරයන්ගෙන් ජනතාව තම එදිනෙදා අවශ්‍ය කටයුතු සඳහාද යොදා ගැනීමට කටයුතු කර ඇත. ඖෂධීය ද්‍රව්‍යයක් ලෙසද ආයුර්වේදයේ අගුරු ශාකය ඖෂධ යොග සඳහාද යොදා ගෙන ඇති බව අයුර්වේද ග්‍රන්ථ පරිශිලනයේදී සොයා ගත හැක. එපමණක් නොව විවිධ ආගමික සහ සංස්කෘතික කටයුතු සඳහාද මෙම ශාකයේ කොටස් යොදා ගෙන ඇති අතර  සුදු හඳුන් රත් හඳුන් දේවදාර වැනි සුඟන්ධවත් ශාක යොදා ගන්නා සංස්කෘතික ආගමික උත්සව අවස්ථා වලදි අගුරු ශාකයද ඒ සඳහා යොදා ගැනීමට පුරාණ භාරතීයයන් කටයුතු කර ඇත. මෙම ශාකයේ ඇති සුඟන්ධවත් අරටුව චීනය ජපානය වැනි රටවලද ස්වාභාවික සුවඳ ද්‍රව්‍යයක් ලෙසද යොදා ගෙන ඇත. පසුකාලිනව මෙම ශාකයේ අරටුව යුරෝපයට ගෙන යාමත් සමග ඔවුන් මෙහි ඇති සුඟන්ධවත් රසායනිකය සුවඳ විළවුන්, විවිධ සවඳ කාරක වැනි දෑ නිශ්පාදනය කර ගැනීමට උපයෝගි කර ගත හැකි බව සොයා ගෙන ඇත. අනන්‍ය ස්වාභාවික සුවඳක් විහිදුවන ස්වාභාවික ද්‍රව්‍යක් ලෙස අගුරුල් තහවුරු වීමත් සමගම මේවායේ ආර්ථික වටිනාකමද සිග්‍රයෙන් ඉහල යන්නට විය. මෙම ඉහල ගිය ආර්ථික වටිනාකමත් සමගම අසීමාන්තිකව අගුරු ශාකය කපා වෙළඳ පොලට එවිමට බහුල වශයෙන් මෙම ශාකය වැඩුණු අග්නිදිග සහම මධ්‍යම ආසියානු රටවල් කටයුතු කලේ මුල්‍ය වාසිය ගැන පමණක් සිතාය. එහි අනිවාර්යය ප්‍රතිළුලයක් ඉතා ඉක්මනින් මෙම ශාකය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වෘක්ෂලතා ගොන්නට එක් විය. කපා දමන ප්‍රමාණයට සාපේක්ෂව වගා කිරීමක් සිදු නොවුනු බැවින්  විසිවැනි සියවසේ අගභාගය වන විට ඉල්ලුමට සරිලන ප්‍රමාණයේ අගුරු නිශ්පාදනයක් සිදු කිරිමට නොහැකි විය. ප්‍රංශය, ඉන්දියාව ප්‍රමුඛ සුවඳ විලවුන් කර්මාන්තයේ දැවැන්ත රටවල් ස්වාභාවික සුවදකාරකයක් නොමැති කමින් දැඩි අර්බුඳයකට ලක් වන්නේ මේත් සමගය. එවුන් ඒ සඳහා විසඳුම් ලෙස ආදේශකයක් සොයා ගැනීමට විද්‍යාත්මක  ගවේශන පර්යේෂණ සිදුකිරිම අරඹයි. 

අගුරු වෙනුවට වල්ලපට්ටා…….

සියවස් දෙක තුනක් තුල බටහිර විද්‍යාව සිග්‍රයෙන් දියුණු වුවද ඔවුනට තම බටහිර විද්‍යාවේ සිමා මායිම් ලකුණු කර ගැනීමට ඒ කාලය තුල සිතුවිල්ලක් වත් තිබුනේ නැත. ස්වාභාවධර්මය පවා තමන්ට පාලනය කල හැකිය යන උඬඟු සිතුවිල්ල ඔවුන් තුල නිරන්තරයෙන්ම තිබුනා සේය. තම රටවල ස්වාභාවික පරිසර පද්ධති සංවර්ධනයේ නාමයෙන් සහ කාර්මිකරණයේ නාමයෙන් විනාශ කරමින්  ඔවුන් ගෙන ගිය වැඩ පිලිවෙල තුල අවසානයේදි ඔවුනට පමණක් නොව මුළු මහත් මානව වර්ගයාටත් සත්ව ප්‍රජාවටත් නැවත ගොඩ නැගිය නොහැකි අන්දමේ හානියක් සිදු කර ඇති බව ඔවුනටම පිළිගන්නට සිදුව ඇත. අවසානයේදී නැවත හැරි බැලිමේදි තමන් කෙටිකාලීනව අත්පත් කරගත් ජයග්‍රහණ වලට වඩා දීර්ග කාලීනව නැතිකරගෙන ඇති පරාජයන් ප්‍රමාණය අති විශාල බැව් ඔවුන් තේරුම් ගන්නට ඇත. එහෙත් ඒ වන විට ඔවුන්ට ඔවුන්ගේ කියා කිසිවක් ඉතිරි වී තිබුනෙ නැත. දකුණු ඇමරිකානු, අප්‍රිකානු සහ අසියා මහද්වීප වල පමණක් ස්වාභාවධර්මයේ දායාදයන් නොනැසි රැකි පැවතුනි. මේ වන විට ප්‍රමානවත් සම්පත් නොමැතිකමේ අර්බුදයේ ගිලී සිටිනා ඔවුන් ජීවයේ සාරය සොයා දකුණු ඇමරිකාවට ආසියාවට පැමිනේනනේ තමන්ට නොමැති දේ එම බිම් වලින් හෝ සොරා ගෙන යන්නටය. ජාන සොරුන් සාංචාරකයින් ගවේශකයින් සහ පරිසරවේදීන් ලෙස මෙම කලාප වලට පැමිනෙන්නේ ඒ ආකාරයෙනි. අපගේ රටෙන් කොතලහිඹුටු ශාකය ගෙන ගිය ආකාරයටම වල්ලා පට්ටා ශාක‍යද ගෙන යන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. අගුරු ශාක කුලයේම ශාකයක් වන වල්ලපට්ටා ශාකයෙන්ද ප්‍රථමයෙන් සාම්පල ගෙන යන බටහිර පර්යේෂකයින් එම වල්ලපට්ටා අගුරු වලටත් වඩා සුගන්ධවත් රසායනිකයක් නිශ්පාදනය කරන බව සොයා ගනි. දේශිය ශාකයක් වන වල්ලපට්ටා ශාකයේ වැඩීමට හිතකරම තත්ත්ව ඇත්තේ අප රට තුල පමණක් වන බැවින් ඔවුනට කෘතිමව වත් මේම ශාකය වෙනබූමියක වගා කිරිමේ හැකියාවක් නැත. අපහසුවෙන් වගා කලද එවා ලංකා වල්ලපට්ටා තරම් ගුණාත්මක බවින් ඉහල තත්ත්වයට පත්වේ යැයි විශ්වාසයක්ද නැත. එනිසා  මුල් අවස්ථා වල සංචාරකයන් ලෙස පැමිනෙන විදේශිකයන් සුළු ප්‍රමානයන්ගෙන් මෙම ශාක කොටස් ගෙන ගියේ තම ගමන්මළුවල සඟවාගෙනය. පසුව දේශිය ඒජන්තයන් මාර්ගයෙන් මහා පරිමානයෙන් මෙම ශාක කොටස් පිටරටවලට ගෙන යාමට  කටයුතු ඇරඹෙන්නේ එය අධික ලාබයක් ගෙන දෙන ව්‍යාපාරයක් වු බැවිනි. මෙරටින් එකතු කර ගන්නා වල්ලපට්ටා අරටු කැබලි පළමුව ඉන්දියාවට හොර මාර්ග ඔස්සේ යවා එතැනින් අදාල රටවලට අපනයනය කිරීමේ ජාවාරම ඇතිවන්නේ එලෙසිනි.

කල යුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කළාපයේ (ගාල්ල, කෑගල්ල,රත්නපුර, කළුතර) බහුල වශයේන ව්‍යාප්ත වී ඇති වල්ලපට්ටා ශාකය වගාකිරීමේ ගැටළුවක් නැති පහසුවෙන් වගා කල හැකි ශාකයකි. වගා කිරීමේ තහනමක්ද නොමැති වෘක්ෂයකි. සත්‍ය වශයෙන්ම කුරුඳු වැනි අපටම ආවේනික ආර්ථික බොගයක් බවට පත් කර ගත හැකි වල්ලපට්ටා ශාකය පිළබදව නිවැරදි තක්සේරුවකට බලධාරින් දැන්වත් යොමුවිය යුතුය. අනවසරයෙන් විකිනීම තහනම් කිරීම පමණක් සිදු නොකෙට වගාකිරීම සහ විකිණිම සඳහා විධිමත් වැඩපිළිවලක් ඇතිකල යුතුය. හොර මාර්ග ඔස්සේ විකිණිමෙන් රටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය රටට ඉතුරු වන්නේ නිශ්චිත වැඩපිලිවෙලක් යටතේ වල්ලපට්ටා ආර්ථික බොගයක් බවට පත්කිරිමෙන් පමණි. වල්ලපට්ටා පැල ගෙවතු වගාවක් ලෙස වුවද වගා කල හැක. එපමණක් නොව ආර්ථික බොගයක් ලෙස මහා පරිමානයෙන් වගා කිරිමේ ව්‍යාපෘති පවා ඇති කල හැක. අපටම අනන්‍ය වු ශාකයක් වන වල්ලපට්ටා සඳහා විදේශිය වෙළඳපොලේ ඇති ඉල්ලුම කිසිලෙසකින් වත් වෙනස් වන පහල යන එකක් වන්නේ නැත. හොරෙන් මෙම වල්ලපට්ටා ගස් කපා විනාශකිරීම වැලැක්විය හැක්කේ මේ සඳහා පැහැදිලි වැඩපිළීවෙලක් ඇතිකර බලධාරින් මෙයට මැදිහත්විමෙන් පමණි. ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කර වල්ලපට්ටා වගාවක් ලෙස කිරීමට කැමති අයට ඒ සඳහ අවස්ථාව සහ අවශ්‍ය කෘෂිකාර්මික උපදෙස් සහ මගපෙන්වීම ලබා දි රජය මැදැහත්වී මේවා මිලදී ගැනීමට කටයුතු කල යුතුය. මේ වන විට මියන්මාරය, වියට්නාමය, තායිලන්තය වැනි රටවල අගුරු සම්බන්ධයෙන් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමන් පවති. ඉතින් අප තව දුරටත් පරක්කු විය යුතුද?