ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
රාජයක්ෂ්මා උත්පත්ති කථාව

බොහෝ රෝගයන් පිළිබදව ආයුර්වේදයේ සදහන් වන තොරතුරු අතර එම රෝගයන්ගේ උත්පත්තිය පිළිබදව වන්නාවූ විචිත්‍ර නිදාන කථාවන්ද වන්නේය. එම නිදාන කථාවන් බොහෝ විට හින්දු දේව සංකල්පයන් සම්බන්ධ කර ගනිමින් නිර්මාණය වි තිබෙනු පොදුවේ දැක ගත හැකි තත්ත්වයකි. ආයුර්වේද සාහිත්‍යය පෝෂණය වීම කෙරෙහි හින්දු ආගමික බලපෑමද හේතු වන්නට ඇති බව එවැනි උදාහරණ වලින් පැහැදිලි වේ. යක්ෂ්ම, රාජයක්ෂ්ම, ක්ෂය යන නාමයන්ගෙන් ආයුර්වේදයේ හදුන්වන අතරම කාසය, ක්ෂය රෝගය, TB, Tuberculosis යන නාමයන්ගෙන් සමාජය තුල ප්‍රසිද්ධව ඇති රෝග තත්ත්වයේ උපත සම්බන්ධයෙන් ගොඩනැගී ඇත්තේද එවැනිම කථාන්දරයකි.  ප්‍රධාන ආයුර්වේද මූලග්‍රන්ථයක් වන චරක සංහිතාව තුල එම කථාව ඇතුලත් කර තිබීම තුලින් කතුවරයා අරමුණු දෙකක් සාක්ෂාත් කරගැනීමට උත්සහ දරාඇති බව වටහා ගත හැක.

  • වෛද්‍ය කරුණුම පමණක් කියැවීමෙන් තම පාඨකයාට ඇතිවන ඒකාකාරී වෙහෙසකාරී හැගීම දුරු කර යම්කිසි මානසික විවේකයක් පාඨක මනසට ලබා දීමට මෙවැනි සාහිත්‍යාංග එකතු කිරීම
  • ආයුර්වේදය තුල තම ආගමික මතවාදය තහවුරු කර ගැනීමටත් ආයුර්වේදය හා හින්දු දහම අතර ඇති සම්බන්ධය පෙන්වීමටත් පුරාණ හින්දු බ්‍රාහ්මණයින් ගත් උත්සහය නිසා හින්දු ආගමිකයින් වූ ආයුර්වේදඥයින් විසින් මෙවැනි කථා තම ග්‍රන්ථ තුලට ඇතුලත් කිරීම.

කෙසේ හෝ වේවා වර්තමානයේදී ‘ලොව පුරාම ඒකාකාරී ලෙස ආයුර්වේදය කෙරෙහි හින්දු ආගමික සම්බන්ධය තහවුරු වීම’ එපරිද්දෙන්ම පිළිගෙන ඇතිද යන්න විමසිය යුතු මාතෘකාවක් බවට පත්ව තිබේ. නමුත් ආයුර්වේද සාහිත්‍යයේ ප්‍රගමනයට සැලකිය යුතු රුකුලක් ඉන් ලැබී ඇති බව නම් පැහැදිලිය. චරක සංහිතාවේ සදහන් වන රාජයක්ෂ්මා උත්පත්ති කථාන්දරය ආයුර්වේද සාහිත්‍යයට රුචි ඔබගේ රසාස්වාදය සදහා මෙසේ ඉදිරිපත් කරන්නේද ඒ නිසාවෙනි.

නක්ෂත්‍රරාජ වූ චන්ද්‍ර පළමු රාජයක්ෂ්ම රෝගීයා විය.

“චන්ද්‍රයා පිළිබදව අනෙකුත් දෙවියන් අතර පවත්තාවූ කාමදෝෂ සංයුක්ත වූ මේ පුරාණ කථාව මහාර්ෂින් හට අසන්නට පැබී ඇත. අංශුමත් චන්ද්‍ර තෙම, ප්‍රජාපතී දක්ෂයගේ අටවිසි දූවරුන් භාර්යයාවන් සදහා ප්‍රතිග්‍රහණය කළේ නමුදු සියලු භාර්යයාවන් කෙරෙහි සමව නොපැවතී, රෝහීණී නම් භාර්යයාව කෙරෙහි පමණක් අතීශයින් ඇළී, සිය සිරුර නොසලකා අති මෛථුනයෙන් ශාරීරික ස්නේහය ක්ෂය කොට, සිරුර අල්පත්වයට (හීනත්වයට, ක්ෂයත්වයට) පමුණුවා ගති. අවශේෂ දූවරුන් සම්භෝගයට නොගැනීමේ හේතුවින් කුපිත වූ ප්‍රජාපතී දක්ෂ ගේ මුවින් ක්‍රෝධය මූර්තිමත්ව නි:ශ්වාස ආකාරයෙන් නික්මුණේය. මේ අතර මයිල් (මාමණ්ඩිය) දක්ෂ තෙම භාර්යයාවන් කෙරෙහි සම ව නොපැවති, රජෝ ගුණයෙන් වෙළුණු දුර්වල චන්ද්‍රයාට, අබිශාප කෙළේ යි. ඒ හාපයෙන් චන්ද්‍රයාට රාජයක්ෂ්ම රෝගය හටගති. මයිල් ගේ බලවත් ක්‍රෝධයෙන් අභිභවනය වූද ප්‍රභා රහිත වූද චන්ද්‍ර තෙම දෙවියන් හා දේවාර්ෂින් හා සහිතව මයිල් හූ (මාමණ්ඩියගේ) පිහිට පතා සිටියෝය. ඉක්බිති දක්ෂ ප්‍රජාපතී තෙම චන්ද්‍රයාගේ බුද්ධිය ශුද්ධ වූ බව අවබෝධ කොට ප්‍රසාදය පළ කෙළෙයි.  අනතුරුව අශ්වීන් දෙදෙනා චන්ද්‍රයාට චිකිත්සා කොට ඔහු සුවපත් කළහ. මෙසේ රෝගයෙන් මිදුණු චන්ද්‍රග්‍රහයා පෙර මෙන් ශෝභාවෙන් හා ඕජසින් වැඩුණේය. ඔහුගේ මනසද ශුද්ධත්වයට පැමිණියේය. පසුව රාජයක්ෂ්මය අශ්වීනීන් දෙදෙ‍නා විසින් දෙවුලෝවින් පළවාහරින ලදුවැ මනුෂ්‍ය ලෝකයට පැමිණියේය.”

මේ රාජයක්ෂ්ම රෝගයේ උත්පත්ති කථාවයි. ‍මෙම නාමය රෝගයට ලැබෙන්නේත් නක්ෂස්ත්‍රරාජයා වූ චන්ද්‍රයා හට පළමු කොටම ඇතිවූ නිසාවෙන් බව එහිම වැඩිදුරටත් සදහන්වේ. රජු ක්ෂය කරවීම යන අදහස එහි ගැබ්වී ඇති බව ඒ අනූව පෙනී යයි. කෙසේ හෝ ආයුර්වේද සාහිත්‍යය විචිත්‍රවත් කිරීමට මේ රාජයක්ෂ්ම උත්පත්ති කථාව හේතු වී ඇති බව නම් අවසාන වශායන්ද සටහන් කර තැබීමට අප කැමැත්තෙමු.