ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
යෝග දර්ශනය හදුනා ගෙන යෝග කරමු….!

ආයුර්වේදය  දර්ශනයක් ලෙස දකින්නේ කොතරම් අඩු පිරිසක්ද  ඊටත් වඩා අඩුවෙන් යෝග ශාස්ත්‍රයද දර්ශනයක් ලෙස දකින්නෝ වෙසෙන බව අපගේ හැගීමයි. ආයුර්වේදය වෛද්‍ය ක්‍රමයක් ලෙස පමණක් සිතා සිටින අය සේම යෝග දර්ශනය යනුද ශරීරයට පහසුවක් සලසාදෙන ශාරීරික අභ්‍යාස ක්‍රමයක් ලෙස පමණක් සිතා සිටින්නෝද බොහෝය. ලොව පුරා සේම මෙරට පුරාද පැතිරී ඇති යෝග පුහුණු මධ්‍යස්ථාන ප්‍රමාණය දකින විට සිතෙන්නේ මෙම මධ්‍යස්ථාන වලින් සැබෑ යෝග දර්ශනය කියා දි සැබෑ යෝගීන් බිහිකරන්නේ නම් පෘථිවිය කොතරම් සාමකාමී ස්ථානයක් විය යුතුද යන්නයි. එහෙත් සත්‍ය එයින් බොහෝ ඈත බව ප්‍රායෝගික තලයේදි පෙනෙන්නට තිබෙන දෙයයි. යෝග අභ්‍යාස වල නිරත වන්නන්ගෙන් බහුතරයක් දෙනා යෝග දර්ශනයේ සැබෑ අරුත හෝ අවසාන ඵලය ගැන දන්නේ නැති බව නම් පැහැදිලිය. තමාගේ එදිනෙදා ජීවිතයේදි ඇතිවන ශාරීරික හා මානසික ගැටළු වලට සහනයක් අත්පත් කර දෙන තවත් එක් වෛකල්පිත චිකිත්සා ක්‍රමයක් ලෙස පමණක් යෝග ගැන සිතන්නෝ අප අතර බහුල වෙති. සතියට දිනයක් හෝ සතියට දින දෙකක් යෝග මධ්‍යස්ථාන වලට ගොස් යෝග අභ්‍යාස වල නිරත වන සැලකිය යුතු පිරිසක් අප සමාජයේ වාසය කරති. සමහර තැනැත්තන් යෝග අභ්‍යාස වල නිරත වීම විලාසිතාවක් කර ගෙන සිටිති.  නාගරිකව වෙසෙන ධනවත් හෝ ධනවත් යැයි සිතා සිටින සමාජ වල බොහො කාන්තාවන් යෝග පුහුණු මධ්‍යස්ථාන හා සම්බන්ධ වී සිටින්නේ එය තමන්ගේ සමාජ තත්ත්වයනට ආභරණයක් කර ගැනීම සදහාය. එසේම මුදල් ඉපැයීමේ චේතනාව පමණක් අරමුණු කරගෙන බොහෝ යෝග පුහුණු මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබන බවද පෙනෙන්නට තිබේ.

යෝග යනු සැබෑ ජීවන දර්ශනයකි. එහි අවසාන අරමුණ වන්නේ මෝක්ෂය නැතිනම් පරමාත්මා හා සම්බන්ධ වීමයි. එම අරමුණ කරා යෑමට සතියට දිනයක් හෝ දෙකක් නැතිනම් වැඩිම වුවොත් දිනපතා පැයක පමණ කාලයක් යෝග ආසන වල යෙදීම කිසිසේත් ප්‍රමාණ වේයැයි සිතිය නොහැක. පහසුවෙන් සහ නිශ්චිතවම කල යුතු සහ හැකි ක්‍රියාකරකම් නොකරමින් යෝග අභ්‍යාස වල පමණක් යෙදීමෙන් සාර්ථකත්වයක් අත්පත් කර ගත හැකි යැයි විශ්වාස කල නොහැක. යෝග දර්ශනය නම් වු සමස්ථ විෂයයෙන්ම යෝගාසන යනු එක් කොටසක් පමණි.

“සිද්ධාන්ත නොදැන සිදුකරණ චිකිත්සාව භයානක වන්නා සේ නිවැරදි සංකල්ප නොදැන සිදුකරන යෝග අභ්‍යාසද ප්‍රතිඵල නොදේ.“

ජිවිතයේ සැබෑ සතුට සහ සැනසීම ලඟා කරගැනීම සදහා අනුගමනය කල යුතු මාර්ගය යැයි පුරාණ ප්‍රාඥයින් තමන් විසින්ම දැඩි කැපවීමෙන් හා අවබෝධයෙන් යුතුව ප්‍රායෝගිකව අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලඟා කර ගත් දර්ශනයක් වු යෝග දර්ශනය අපගේ එදිනෙදා පුද්ගලික හා තාවකාලික ගැටළු විසඳාගැනීම සඳහා පමණක් චිකිත්සාවක් වශයෙන් යොදා ගැනීම කෙතරම් සදාචාරාත්මක හා ප්‍රඥාගෝචර දැයි අප අපගෙන්ම විමසා බැලිය යුතුය.

ආයුර්වේද දර්ශනය සේම  යෝග දර්ශනයද පෙරදිගින් ලොවට දායාද වු අගනා මිණි කැටයකි. පෙරදිග බුද්ධි මණ්ඩපයේ කේන්ද්‍රස්ථානය වු පුරාණ භාරතය යෝග දර්ශනයේ මුල බීජය රෝපණය වූ බිමයි. යෝග දර්ශනයේ ආරම්භය පිළිබඳව ඉතිහාසය සොයා යැමේදි එහි උරුමය පිළිබදව නිරාකරණය නොවූ යම් යම් සැක සංකා සහ අපහැදිලිතා හදුනා ගත හැක. කෙසේ වෙතත් යෝග දර්ශනය පිළිබදව ලියැවුණු ග්‍රන්ථයන් සේම විවිධ ආචාර්යවරුන් පිළිබදවද තොරතුරු රාශියක් ඇති බැවින් මේ පිළිබඳව යම් මතයකට පැමිණිය හැක.

අපගේ අරමුණ වන්නේ මේම අද්විතීය විද්‍යාව නොඑසේනම් මොක්ෂය වෙත ලඟාවීමට සියල්ලටම වඩා යෝග්‍ය වන මාර්ගය ලෙස දක්වා ඇති යෝග දර්ශනය පිළිබදව සියළු න්‍යායාත්මක කරුණු සහ ඒවා ජිවීතයේ යහපත සදහා උපයෝගි කරගන්නේ කෙසේද යන්න පිළිබදව නිරවුල්ව සහ පිළිවෙළින් ඔබ වෙත ඉදිරිපත් කිරීමයි. ආයුර්වේදයේ සේම යෝග දර්ශනයේද එක් ප්‍රධාන අරමුණක් වන්නේ කායික හා මානසික වශයෙන්  නිරෝගි පුද්ගලයෙකු බිහිකිරීමයි. එසේම ආයුර්වේදය සහ යෝග දර්ශනය යන දෙකම හින්දු ආගමේ මූලික සිද්ධාන්ත එකලෙස පිළිගැනිම දක්නට ඇත. එසේම මෙම දර්ශනවාද දෙකම වර්තමාන භෞතික සිද්ධාන්ත මත පදනම් වූ විද්‍යාවන්ද නොවේ. අද භාවිතයේ ඇති භෞතික විද්‍යා සිද්ධාන්ත වලින් පැහැදිලි කල නොහැකි වන,  එම මානයන්ට ගෝචර නොවන විද්‍යාවක් වශයෙන් ආයුර්වේදය ගැන සාකච්ඡා කෙරෙන අතර තුර එම මාර්ගයේම යන යෝග දර්ශනය ගැනද නිවැරදි අවබෝධයක් සමාජය වෙත ලබා දීමට අප අපේක්ෂා කරමු. අදුරේ අත පත ගාමින් වැරදි දේ හරි යැයි සිතමින් නිවැරදි දේ මගහැර යන සමාජයක නිවැරදි දේ වගකීමෙන් යුතුව සමාජගත කිරීමට අපවෙත පැහැදිලි සමාජ වගකීමක් ඇති බව අප උදක්ම  විශ්වාස කරන්නෙමු.

යෝග දර්ශනය ගැන හැදින්වීමක්

යෝග යනු වාද විවාද සදහා කිසිදු ඉඩක් ඉතුරු කර නැති අද්වීතීය විද්‍යාවකි. පුරාණ හින්දු සමාජයේ සියලු දෙනා විසින්ම සම්මත කර ගන්නා ලද පොදු සම්මතයක් වන්නේ ‍”මෝක්ෂය ලබා ගැනීම සදහා සියල්ලටම වඩා උතුම් වන්නේ යෝග වන බවයි”. සසර නැමති තාපයෙන් තැවෙනා සත්ත්වයන් හට භාග්‍යවතුන්(ඊශ්වරයන්) සමග එකතු වීම සදහා භක්තියට හා ඥානයට ප්‍රධාන සහායකයන් වන්නේ යෝගය ම වේ.

පැරණි සෘෂිවරුන්ට ප්‍රාතිභ ඥානය පහළවීම සදහා යෝගයම ප්‍රධාන කාරණය වූ බව පැවසේ.තවද බුදු දහමේ පාලි ත්‍රිපිටකය හා සංස්කෘත ග්‍රන්ථ වල යෝග පිළීබදව කර ඇති විශිෂ්ඨ වර්ණනාවන් දක්නට ඇත. ගෞතම බුදුන් වැඩ සිටි සමයේ ජීවත් වූ ජෛන ආගමේ ශාස්තෘන් වහන්සේ වන මහාවීරයන්ද යෝගියෙක් බව සදහන්ය.

යෝග

යෝග ශබ්දය සමාධිය යන තේරුම ඇති “යුජ්” ධාතුවෙන් (යුජ් සමාධෞ) නිපැයී ඇත. එනිසා යෝග යන යෝගයේ උප්පත්තිය අර්ථය සමාධි නම් වේ. පතංජලී විසින් යෝග යන්නේහි ලක්ෂණය මෙසේ දක්වා ඇත.

“යෝගශ්චිත්තවෘත්තිනිරෝධඃ”  -සිතේ පැවතුම් වැලැක්වීම-

චිත්ත යන්නෙන් අදහස් කෙරෙන්නේ අන්තඃ කරණ (මන, බුද්ධි හා අහංකාර) හා සම්බන්ධයයි. සිත සත්ත්ව ප්‍රධාන ප්‍රකෘතියේ පරිනාමයයි. එනම් ප්‍රකෘතියෙත් පරිණාමයන්හි සියල්ලටම වඩා සත්ත්ව යන්නෙන් පහලවීම සිතේ ඇතිවෙයි. යෝග දර්ශනය පතංජලී මහාර්ෂිවරයා විසින් ආරම්භ නොකරන ලද්දක් බව පිළිගැනීමයි. මෙය ඉතාමත් පැරණි අධ්‍යාත්මික ක්‍රියාවලියකි. සංහිතා ග්‍රන්ථ වලද බ්‍රාහ්මණ වල හා උපනිෂද් වලද මේ පිළිබදව සංකේත දක්වා තිබෙන අතර සමහර තැන්වල ඒ පිළිබදව සිත්ගන්නා සුලු වර්ණනා කර ඇත. මීට අමතරව උෂාස්වාති විසින් තත්වාර්ථ සූත්‍රයේත් හේමචන්ද්‍රයන් විසින් යෝග ශාස්ත්‍රයෙහිත් ගෝරක්ෂනාථගේ නාථ සම්ප්‍රදාය ගන්ථයේත් යෝග දර්ශනය පිළිබදව විස්තර ඇතුලත් කර ඇත.  මොහන්ජොදාරෝ ශිෂ්ඨාචාරය ව්‍යාප්තව පැවති ප්‍රදේශ වල කරන ලද කැණිම් වලදී පවා යෝග මුද්‍රාවෙන් යුක්ත නොයෙක් මූර්තී හමුවි ඇති බව සදහන්ය. එනිසා යෝග වල පැරණි බවට සැකයක් ඇති කර ගත යුතු නොවේ.

පතංජලී ද? හීරණ්‍යගර්භ ද?

කෙසේ නමුත් දැනය ලැබී ඇති යෝගසූත්‍ර වල රචකයා පතංජලී මහාර්ෂීවරයායි. “යාඥවල්ක්‍යස්මෘතිය” නම් ග්‍රන්ථයේ   සදහනකට අනූව යෝගය ප්‍රකාශ කල තැනැත්තා හීරණ්‍ය ගර්භ නම් ආචාර්යවරයෙකු වන්නේය.පතංජලී යෝග පිළිබදව හුදෙක් ප්‍රතිපාදකයා සහ උපදේශකයා පමණක් වන්නේය. එනිසා ඔහු යෝගයේ ප්‍රවර්තකයා නොවන අතර ප්‍රචාරකයා පමණක් වන්නේය. කෙසේ නමුත් භාරතිය පරම්පරා වලට අනුව යෝගසුත්‍රයේ රචකයා හා ව්‍යාකරණ  මහාභාෂ්‍යයේ නිර්මාතෘ පතංජලි එකම පුද්ගලයෙකි.

යොග දර්ශනයේ ප්‍රධාන පද හතරක් ඇත. එහි සුත්‍ර  සංඛ්‍යාව 195 කි.සාමාධි, සාධන, විභූති, කෛවල්‍ය එම පද හතරයි.

සමාධි පාදය                 :සමාධියේ ස්වරූපය හා භේදයන්ද සිත හා එහි පැවැත්ම ආදීය පිළිබද වර්ණානාවක් මීට අන්තර්ගතය.

සාධන පාදය                 :ක්‍රියායෝග, ක්ලේශයන් හා එහි භේදයන් සහ ක්ලේශයන් දුරුකිරීමේ සාධනයන් දක්වා ඇත.

විභූති පාදය                   :ධාරණ, ධාන්‍ය හා සමාධියට පසුව යෝගයන් කිරිමෙන් උපදින්නාවු සම්පත්තීන් විස්තර කෙරේ.

කෛවල්‍ය පාදය           :සම්පත්තිය ලැබීම, නිර්මාණ චින්තය, විඥානවාදය නිරාකරණය කිරීම හා කෛවල්‍ය පිළිබදව තිරණයක් කෙරේ.

තුන්වැනි පාදය අවසානයේ “ඉති” ශබ්දය යෙදීමෙන් සහ හතරවැනි පාදයෙහි  මති මතාන්තරයෙන් ඛණ්ඩනය කිරීම නිසා නොයෙක් උගතුන් අතර ඇති මතය වන්නේ පතංජලී විසින් පළමු හා තුන්වැනි පාදයන් රචනා කල බවයි. දාර්ශනික සිද්ධාන්තයන් සම්පූර්ණ කිරීම සදහා පසුකාලීන ග්‍රන්ථකරුවෙකු විසින් (භාෂ්‍යකාර ව්‍යාස) හතරවැනි පාදය රචනා කරන ලදි යැයි මතයක් ඇත. කෙසේ වෙතත් පතංජලීගේ යෝග දර්ශනය මත ලියන ලද “ව්‍යාසභාෂ්‍යය” අතිශයින් ප්‍රාමානික වු ග්‍රන්ථයක් බව පිළිගෙන තිබේ.යෝග සූත්‍ර වල සැගවුනු රහස් දැක්වීම සදහා මේ භාෂ්‍යය සෑහේන තරම් කටයුතු කර ඇත.

මෙහි රචකයා වන ව්‍යාස යනු කවරෙක්ද?

පුරාණයන් රචනා කල ව්‍යාස මහර්ෂිවරයාට වෙනස් අයෙකු බව නිශ්චිතය. හේතුව වේදව්‍යාස ගේ කාලය ඉතා පැරණි වීමයි. එහෙත් ව්‍යාසභාෂ්‍යයේ රචකයා වික්‍රම තුන්වැනි සියවසට වඩා පැරණි නොවේ. ව්‍යාසභාෂ්‍යයේ ගඪාර්ථ ඇත. එනිසා ඒවා පැහැදිලි කර දීම සදහා වාචස්පති මිශ්‍ර විසින් “යෝගචාර්තිකය” රචනා කර ඇත.

තත්වවෛශාරදී ටිකාවේද රාඝවානන්ද සරස්වතීයේ පතංජලීගේ රහස් ඇතුලත් වේ. මේ රඝවානන්ද විශ්වේශ්වර භගවත්පාදගේ හා අද්වය භගවත්පාදගේ ශි‍ෂ්‍යයෙක් බව දැක්වේ. විඥාන භික්ෂුවගේ “යෝගවාර්තිකය”නම් ග්‍රන්ථය  පිළිබදව භාෂ්‍යයේ විවේචනය ප්‍රමාණවත් නොවේ. එහෙත් එය තත්වවෛශාරදියේ සදහන් කරුණු  පිළිබදව ද සෑහේන සමාලෝචනයක් කර ඇත.

තව දුරටත් යමින් විඥාන භික්ෂුව විසින් “යෝගසාරසංග්‍රහ” නම් ග්‍රන්ථයක යෝග පිළිබදව සිද්ධාන්තයන්ගේ සාරාංශයක් ඉදිරිපත් කර ඇත. දැනට ප්‍රසිද්ධ සාංඛ්‍ය යෝගාචාර්යවරයෙකු වූ ශ්‍රී හරිහරානන්ද ආරණ්‍ය විසින් භාෂ්‍යයට “සරස්වතී” නම් ටීකාවක් ලියා ඇත.

යෝග කර්තව්‍ය හෙවත් පදනම

ඥාණය ලබා ගැනීම උදෙසා පතංජලී දර්ශනයේ යෝගයේ අංග අටක් පිළිබදව විස්තර කර තිබේ. යම්තාක් ආත්මය ශරීරය හා මනසෙහි පූර්ණ අධිකාරයක් නොවූව හෝත් යමකින් ප්‍රඥාවේ උපලබ්ධියක් විය හැකිද? ඒතාක් ඔහුට ශාන්තියක් නැතහොත් නිදහසක් ලැබිය නොහැකිය. ඒ නිසා ශරීරය මනස හා ඉන්ද්‍රියන්ගේ පාරිශුද්ධත්වය සදහා අට වැදෑරුම්  සාධකයන් නිර්දේශ කර තිබේ. ඒවා පිළිවෙලින් දක්වන්නේ නම් යම, නියම, ආසන, ප්‍රාණයාම, ප්‍රත්‍යාහර, ධාරණ, ධ්‍යාන හා සමාධි යන ඒවායි.

  • යම: සංයමයයි. මෙය පස් වැදෑරුම් වේ.
  1. අහිංසා – සැමකල්හි හා සියලු අයුරින් සියලු සතුන් පිළිබදව ක්‍රෝද ද්‍රෝහ නොකිරීම
  2. සත්‍ය – මනස හා වචනයේ යථාර්තවත් වීම. එනම් යමක් දක්නා ලද්දේ හෝ වේවා අනුමාන       කරන ලද්දේ හෝ වේවා එයට සමානව මනස හා වචනය පැවතීම.
  3. ආස්තේය – සොරකම් නොකිරීම. එනම් අනෙක් අයගේ ද්‍රව්‍යයන් පිළිබද ආශාවක් නොතිබීම.
  4. බ්‍රහ්මචර්යා – ගුප්ත ඉන්ද්‍රිය වු ලිංගය සංයම කර ගැනීම.
  5. අප්‍රතිග්‍රහ – විෂයයන් රැස් කිරීම. ආරක්ෂා කිරීම ආදීය දොස් සහිතවීම නිසා ඒවා නොපිළිගැනීම.
  • නියම:
  1. ශෞච – අභ්‍යන්තර හා බාහිර ශුද්ධියයි. අභ්‍යන්තරික වූ සිතෙහි කිලිටි මනාව සොදා දැමීමයි. බාහිර ශුද්ධිය ජලයෙන්ද එසේම විසිතුරු භෝජනයෙන්ද සිදුවේ.
  2. සංතෝෂ – අධික වස්තුන් ග්‍රහණය කර ගැනීමේ කැමැත්තක් ඇතිකර නොගැනීම.
  3. තප – සැප, දුක්, අව්ව, සීතල, බඩගින්න, පිපාසය ආදී ද්වන්වාද්මක දේ ඉවසීම හා චාන්ද්‍රායණ ආදි දැඩි ව්‍රතයන් පාලනය කිරීම.
  4. ස්වාධ්‍යාය – මෝක්ෂ ශාස්ත්‍රයන් අධ්‍යයනය කිරීම හා දෙවියන් පිළිබද ජප කිරීම.
  5. ඊශ්වර ප්‍රණිධාන – භක්ති පූර්වකව සියලු කටයුතු ඊශ්වරයාට පාවා දීම යනුයි.
  • ආසන:  ස්ථිරවූ හා සැප දෙන්නාවු යම් හිදීමක් වෙයි නම් එයට ආසන යැයි කියනු ලැබේ.

“ස්ථිරසුඛමාසනම්“

සාධකයා ධ්‍යාන කිරීම සදහා මෙබදු ආසනයක් ගත යුතුය. එයින් සැපක් ශරීරයට ලැබෙනවාත් සමගම මනසේ ශාන්තියක්ද ඇතිවේ. මෙම ආසන වල අභ්‍යාස කිරීමෙන් හිතෙහි පවත්නා වු ස්වාභාවික සසල බව එකග බවට පත්විය හැක.

හඨයෝග ප්‍රදීපිකා නම් හඨයෝග ග්‍රන්ථ වල මෙම ආසන පිළිබදව  සම්පූර්ණ විස්තර ඇත.

  • ප්‍රාණයාම: ආසන ගත වීමෙන් ආශ්වාස ප්‍රාශ්වාස වල හුස්ම ගැනීමත් හුස්ම නැවැත්වීමත් ප්‍රානයාම නම් වේ. පිටත වායුව ගැනීම ආශ්වාස නම් වේ. ඇතුලත වායුව පිටතට ඉක්ම වීම ප්‍රාශ්වාස නම් වේ. ආශ්වාස ප්‍රාශ්වාස සෑම කල්හිම ගමන් කරමින් පවති. මෙම ගමන නැතිකර ලීම ප්‍රාණයාම නම් වේ.
  1. බාහ්‍ය – කුසෙහි වාතය පිටතට නිකුත් කොට බාහිර වාතය වැලැක්වීම.(රේචක ප්‍රාණයාම)
  2. අභ්‍යන්තර – නාස්පුඩුවෙන් පිටත වායුව ග්‍රහණය කොට එය ඇතුළට ඒම වැලැක්වීම.(පුරක)
  3. ස්තම්භවෘත්ති – එකම ප්‍රයත්නයකින් ආශ්වාස ප්‍රාශ්වාස වැලැක්වීම.(කුම්භක) මෙහි පුරක හොරේචක හෝ නොවේ.
  4. කේවල කුම්භක – ප්‍රාණයාම අභ්‍යාසයෙන් විවේක ඥානය/බුද්ධිය ආවරණය කරන්නාවු කර්මයන් නැතහොත් දෝෂයන් විනාශ වී යාම සිදුවේ. එසේම සිත ඒකාග්‍ර බවට නැතහොත් ස්ථිර බවට පත්වීමට සුදුසු වෙයි. යම්තාක් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවන් පවතිද ඒතාක් සිත ඒකාග්‍ර බවට පත්නොවේ. ප්‍රාණයාම අභ්‍යාසයෙන් යම් විටෙක ආශ්වාස ප්‍රාශ්වාස වල ගමන නිරුද්ධ වෙයිද එවිට සිතේ ඒකාග්‍රතාවයන් ඇතිවේ.
  • ප්‍රත්‍යාහර: යම් විටෙක නොයෙක් ඉන්ද්‍රියයන් තමාගේ බාහිර විෂයයන්ගෙන් ඉවත් කර සිත මෙන් නිරුද්ධ වෙයිද එයට ප්‍රත්‍යාහර යැයි කියනු ලැබේ. බාහිර ඉන්ද්‍රියයන් විෂයයන්ගෙන් ඉවත් කොට අභ්‍යන්තර වෙයි. එවිට එහි ප්‍රත්‍යාහරය උපදී. ප්‍රතිඵලය ලෙස ඉන්ද්‍රියයන් මත සම්පූර්ණ අධිකාරය පැවැත්වීමයි. සාමාන්‍ය පැවතුම් වලදී ඉන්ද්‍රියයන්ගේ ස්වේච්ඡාවෙන් හැසිරීම ප්‍රභලව පවති. යම් තාක් කැමති නම් එය මනස වෙත දුවයි. එහෙත් ප්‍රත්‍යාහර අභ්‍යාස කිරීමෙන් මෙම ඉන්ද්‍රිය මනසට යටත් වෙයි. ඒවා යමක් කැමති නම් ඒවා එබදු කාර්යයන්හි යෙදේ.

මෙතෙක් සාකච්ඡාවට බදුන් වූ අංගයන් පහ බාහිර සාධනය සිදුකරන ඒවායි.මෙතැන් සිට අභ්‍යන්තර සාධනය සිදුකරණ අංග තුන විස්තර කෙරෙනු ඇත

  • ධාරණ:

“දේශබන්ධශ්චිත්තස්‍ය ධාරණා “ (යෝග සූත්‍ර 3/1)

කිසියම් දේශයක (හදවත නැමති පියුමෙහි, නාසයේ අග කොටසේහි, දිවෙහි අග කොටසෙහි) නැතහොත් බාහිර පදාර්ථයක සිත යෙදවිම නැතහොත් සම්බන්ධ කිරීම ධාරණ නම් වේ. මුලින් කී අංගයන්ගේ ජයග්‍රහණයන් මේ කාර්යයට ලෙහෙසි වෙයි. ප්‍රාණයාමයෙන් සුළගද ප්‍රත්‍යාහරයෙන් ඉන්ද්‍රියද වසගයට පත්වීමෙන් සිතෙහි වික්ෂේපය පිළිබද කල්පනාවක් ඇති නොවේ. එනිසා එය එකම ස්ථානයක ප්‍රතිඵල සහිතව යෙදිය හැක.

  • ධ්‍යාන:

දේශ විශේෂයෙහි ධ්‍යෙය වස්තුව පිළිබද ඥානය යම් විටෙක ඒකාකාර වශයෙන් ගලා බසියිද එය ඔබා තැබීමට වෙන කිසිම යානයක් නොමැත. එයට ධ්‍යාන යැයි කියනු ලැබේ.

  • සමාධි:

වික්ෂේපයන් ඉවත් කොට සිතේ ඒකාග්‍රතාවයක් ඇති කිරිමයි. යම් තැනෙක ධ්‍යානය ධ්‍යෙය වස්තුවේ පිවිසීමෙන් මානයන් තම ස්වරූපයෙන් ශූන්‍ය බවට පත් වෙයි. ධ්‍යෙය වස්තුවේ ආකාරය ග්‍රහනය කරනු ලබයි. එයට සමාධිය යැයි කියනු ලැබේ.

ධාරණාදි අවසන් අංග තුනෙහි සාමුහික නාමය සංයම නම් වේ. සංයමය ජයග්‍රහණය කිරීමේ ඵලය නම් විවේකඛ්‍යාතියේ ආලෝකය නැතහොත් ප්‍රකාශයයි. ඥානය නැමති ආලෝකය පහලවීම ම මෙම අභ්‍යන්තර සාධනයන් ජයග්‍රහණය කිරීමේ පරිණාමයයි.

සෑම සාධකයෙකුට ම ක්‍රියායෝග සමාධියෝග පිළිබද අභ්‍යාස කිරීමෙන්තම අරමුණ ඉෂ්ඨ සිද්ධිය වන්නේය. එය ක්‍රියායෝගයෙන් ආරම්භ කරණු ලැබේ. ක්‍රියායෝගයෙන් තපස(චනුද්‍රායණ ව්‍රත ආදීය) ස්වාධ්‍යාය(මෝක්ෂ ශාස්ත්‍රයන් අනුශීලනය කිරීම හා භක්ති පූර්වකව මන්ත්‍ර ජප කිරීම) හා ඊශ්වර ප්‍රණිධාන (භක්ති පූර්වකව සියලු කර්මයන් හා ඵලයන් ඊශ්වරයාට සමර්පණය කිරීම) පිළිබදව අවබෝධ කල යුතුය. ක්‍රියායෝග පිළිබද අභ්‍යාසයේ ඵලයන් ලෙස

                                                1:ක්ලේශතනුකරණය

                                                2:සමාධි භාවනාව

ක්‍රියායෝග නිසා පස් වැදෑරුම් ක්ලේෂයන් ක්ෂීණ වේ. එහෙත් ඒවා දැවීමට කාරණය වන්නේ ප්‍රසංඛ්‍යනා(ඥානය) වෙයි. සමාධි භාවනාවද මෙයින් හටගනී. දැන් යෝගාංගයන්ගේ පටන් ගැනීම අවශ්‍ය වේ. යම නියම ආදී අංග පිළිබද පටන් ගැනීමෙන් සිතේ නිරෝධය වීමෙන් ආත්මය සම්පූර්ණ වශයෙන් චේතනාත්මක ස්වරූපය ලබයි. නිරෝධය සදහා අභ්‍යාසයත් වෛරාග්‍යයත් අවශ්‍ය වේ. යම් විටෙක චිත්ත වෘත්ති රහිත වේද එවිට මෙම අවස්ථාවෙහිදී සාධකයා අවිච්ඡින්නව උත්සහ කල යුතුය. එය හථ අභ්‍යාස නම් වේ. අභ්‍යාස දැඩි කිරීම සදහා බොහෝ දවසක් දැඩිව වෛරාග්‍යයේ එල්බීම කල යුතුය.

යෝග අභ්‍යාස කිරීමෙන්…….

  1. අණීමා(අණුවක් හා සමානවු කුඩා වීම නැතහොත් නොදැකීය හැක්කක් වීම)
  2. ලසීමා(උඩට නැගිටිමේ සිද්ධිය)
  3. මහිමා(පර්වතයක් මෙන් බර බවට පත්වීමේ සිද්ධිය)
  4. ප්‍රාප්ති(කොතනකින් හෝ කිසියම් ද්‍රව්‍යයක් ලබා ගැනීමේ සිද්ධිය)
  5. ප්‍රාකාම්‍ය(ඉච්ඡා ශක්තියට බාධාවක් නොවිමේ සංකල්ප සිද්ධිය)
  6. වශිත්ව(සියලු සත්ත්වයන් තමන්ගේ වසගයට පත් කර ගැනීමේ යෝග්‍යත්වය)
  7. ඊශීත්ව(සියලු පදාර්ථයන්හි අධිකාරය ස්ථිර කර ගැනීමේ සිද්ධිය)
  8. යථාකාමාවසාහිතා(සාධකයාට යම්බදු කල්පනාවක් වෙයිද එය සම්පූර්ණ කිරීම)

මේ සිද්ධීන් යෝගියාගේ මාර්ගයෙහි එළඹ සිටි. මේවා අවසන් ඉලක්කය දක්වාම බාධාවක් වෙයි. මේ පිළිබදව ලෝභයෙන් පැටලුණු යෝගියෙකුට කවරදාවත් තම යෝගි ඉලක්කයට පැමිණිය නොහැකිය. යෝගි දර්ශනයේ අවසන් ඉලක්කය සපුරා ගැනීම සදහා හැමවිටම අවධි වී සිටිය යුතුය. සිද්ධින් පිළිබදව කිසිවිටකත් සැලකිලිමත් නොවිය යුතුය. යෝග දර්ශනයේදී  ඊශ්වරයා ඉතා වැදගත් තැනක් ලැබේ. ඊශ්වරයා නිත්‍ය වූ සර්වඥ වු හා සියලු තැන්හී පැතිර සිටින පරමාර්ථයයි. සංසාරයේ සියලු ජීවින්ගේ වෙනස් නොවන ශ්‍රේෂ්ඨ වු තැනැත්තා ඔහුය.

අප මේ ලිපිය තුලින් යෝග දර්ශනය පිළිබදව යම් හැදින්වීමක් සහ එහි අන්තර්ගතය පිළිබදව දල අදහසක් ඉදිරිපත් කිරීමට උත්සහ කළෙමු. මෙම සැම කරුණක්ම වඩාත් නිරවුල්ව සහ ගැඹුරින් පැහැදිලි කරමින් මෙම ලිපි මාලාව ඉදිරියේදි ඉදිරිපත් කෙරුමට අපේක්ෂා කරමු.

 


  • ඩිකා කොල්ලා

    යෝගා වල සඳහන් වන කුණ්ඩලීණී ශක්තිය සැබවින්ම අප ශරීරයේ නිද්‍රෝපතගව තිබෙන්නාවූ ශක්තියක්ද..නැතහොත් බුද්ධ ධර්ශනයේ බුදුන් වහන්සේ විසින් සඳහන් කරන ලද ධ්‍යාන…අභිඥා යන පදවලටම ආදී හින්දු යෝගීන් විසින් භාවිතා කල නමක්ද??…. බුදු දර්ශනයේ සඳහන් වල ධ්‍යාන අතරත් මෙම කුණ්ඩලණී ශක්තිය අතරත් සමානකම් තිබේද…