ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
මානස රෝග පිළිබඳව ආයුර්වේද ඉගැන්වීම (පළමු කොටස)

මෙම ලිපිය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ චිකිත්සා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද(ශික්ෂණ) රෝහලේ මානස රෝග සායනයේ විශේෂඥ වෛද්‍ය පී විතාරණ මහතා සමග පැවැත්වු සාකච්ඡාවක් ඇසුරෙන් සැකසුවකි.

mental disordersකායික රෝග සහ මානසික රෝග යනුවෙන් ප්‍රධාන බෙදීමක් ආයුර්වේදය තුල ඇත. එයින් මනස මුල් කරගත්/පෙරටු කරගත් රෝග ආයුර්වේදය තුල මනෝ ව්‍යාධි/මානසික රෝග ලෙස සරලව හඳුන්වා දිය හැක. මෙම වර්ගීකරණය ප්‍රධාන ආයුර්වේද මූල ග්‍රන්ථ සියල්ලකම පාහේ දක්වා ඇති අතර තවද මෙම වර්ගීකරණයන් තුල මානස රෝග වෙනම අධ්‍යායයක් ලෙසත් දක්වා ඇත. එතැනදි මානසික රෝග වෙනම රෝග කාණ්ඩයක් ලෙස දක්වා ඇත. වෘද්ධත්‍රයේ (චරක සංහිතා, සුශ්‍රැත සංහිතා සහ අෂ්ඨාංග හෘද සංහිතා) පමණක් නොවෙයි ලඝූත්‍රය (මාධව නිදානය, භාව ප්‍රකාශය සහ ශාරාංගධර සංහිතා) තුලත් මෙම මානස රෝග ගැන විස්තර සොයා ගත හැක.  මෙහිදි මානස රෝග වලට අදාල වැදගත් කොටසකුත් කායික රෝග වර්ගීකරණය තුලද අන්තර්ගත බව පෙන්වා දිය හැක. මානස රෝග යනුවෙන් සෘජුවම ආයුර්වේදයේ වෙනම අධ්‍යායය තුල දක්වා ඇති රෝග වලට අමතරව අනෙකුත් කායික රෝග ගැන දක්වා ඇති අධ්‍යායය තුලත් මනස සම්බන්ධවු රෝග අවස්ථා ගැන විස්තර දක්වා ඇත. මෙසේ මනසේ සම්බන්ධතාවය දක්වා ඇති නමුත් කායික රෝග අවස්ථා ලෙස ඉදිරිපත් කර ඇති රෝග ආයුර්වේදය ශාස්ත්‍රය හොඳින් පිරික්සීමේදී හඳුනාගත හැකිය. උදාහරණ ලෙස මානසික හේතු නිසා කුෂ්ඨ රෝග අවස්ථාවක් ඇතිවිය හැකි බව කුෂ්ඨ රෝග නිදානයෙහි දක්වා ඇත. එපමණක් නොව ශෝකජ අතීසාරය, භයජ අතීසාරය වැනි රෝග අවස්ථා මානසික හේතු නිසා ඇතිවන රෝග අවස්ථා විදිහට හැදින්විය හැකියි. මේ ආකාරයට මානසික හේතුන් නිසා ඇතිවන විවිධ කායික රෝග අවස්ථා රාශියක් කායික රෝග නිදාන තුලින් සොයා ගත හැක. ආයුර්වේදයේ මානසික රෝග ගැන විශේෂ කොට දක්වා ඇත්තේ අධ්‍යායය එකක දෙකක පමණක් වුවාට මුලික වශයෙන් ආයුර්වේදය පුරාම විවිධ තැන්වලදි ‍මනස සම්බන්ධ වු රෝග අවස්ථා ගැන විස්තර සොයා ගන්න පුළුවන් බව ඉහත කරුණු අනුව පැහැදිලි වේ. බටහිර වෛද්‍ය ක්‍රමය අනූව දක්වන සයිකෝ සොමැටික් රෝග කාණ්ඩය (Psycho Somatic Diseases) පැත්තට බරවු රෝග අවස්ථා ලෙසත් මෙම කායික රෝග තුලින් හමුවන මානසික හේතු සම්බන්ධයක් ඇති රෝග හඳුන්වා දිය හැකිය. උදාහරණයක් ලෙස ක්ලීදත්වය කියලා රෝගය දැක්විය හැකියි. එහිදි සිදුවන්නේ ලිංගික අප්‍රාණිකත්වයයි. මෙම ක්ලිදත්වයේදීම මානසික ක්ලීදත්වය කියලා අවස්ථාවක්ද දක්වා තිබේ. ඒපමණක් නොව ඡයදී(වමනය යෑම) කියන රෝග අවස්ථාව ගත්තත් එවැන්නක් දැක ගත හැකියි. මානසික ඡයදි අවස්ථාවක් තියෙනවා කියලා ආයුර්වේදයේ දක්වා ඇත. මානසික හේතුන් නිසා කායික රෝග ඇතිවෙනවාය කියන එකට මේවා හොඳම උදාහරණයන්ය. ඒ අනූව මානසික රෝග කියන්නේ හුදු මනස ලෙඩ වීම පමණක්ම නෙමෙයි කියන වැදගත් සිද්ධාන්තයත් මනස ලෙඩ වුවත් එහිදි මානසික රෝග ලක්ෂණයන් නොපෙන්වා කායික රෝග ලක්ෂණ පෙන්වන අවස්ථා පවා ඇති බවත් එවැනි රෝග අවස්ථා කායික රෝග ලෙස නොසලකා මානස රෝග වර්ගීකරණයට අයත් බවත් පැහැදිලි වේ.
මෙම රෝග ගැන සහ ඒවායේ සම්බන්ධතාවයන් සහ උප්පත්තීන් ගැන නිසි අවබෝධයක් ලබා ගන්න හැකි වෙන්නේ ආයුර්වේද ශාස්ත්‍රය සහ එහි මුලධර්ම සහ සිද්ධාන්ත නිසි පරිදි ග්‍රහණය ක‍ර ගෙන ඇත්තේ නම් පමණයි. නැතිනම් සිදුවන්නේ මේ විස්තර ආයුර්වේද මුලග්‍රන්ථ තුලින් කියවා අතහැර දමන එක පමණය. නිසි අවස්ථා සම්බන්ධය නොදන්නේ නම් කායික ස්වරුපයන්ගෙන් පිළිඹිබු වන මානස රෝග නිසි පරිදි ග්‍රහණය කර ගන්න හැකිවන්නේ නැ. සාමාන්‍ය අතීසාරය නැතින්ම වාතජ හෝ කඵජ අතීසාරය කිව්වොතේ මේ කියන්නේ වාත දොෂය හෝ කඵ දොෂය සම්බන්ධ විම නිසා ඇතිවන අතීසාර අවස්ථා තමයි කියා කිමට හැකිය. නමුත් ශෝකජ අතීසාරය කිව්වහම හිතා ගන්න අපහසුයි මොන දේෂ නිසා මෙම රෝග අවස්ථාව ඇතිවන්නේද කියන කරුණ සහ ප්‍රතිකාර කල යුත්තේ කුමණ දෝෂ වලටද යන්න පවා. මේ හේතුව නිසයි මනස සම්බන්ධයක් ඇතිව ඇතිවිය හැකි කායික රෝග ගැන නිසි පරිදි අවධානයට ලක් කල යුතු වන්නේ. ආයුර්වේදයේ මානස රෝග ගැන සෘජුවම දක්වා ඇති ප්‍රධාන තැනක් වන්නේ චරක සංහිතා නිදානස්ථාන හත්වන අධ්‍යායය වන උන්මාද නිදාන කියන අධ්‍යායයි. එහි දෝෂ භේදය අනූව වාතජ, පිත්තජ, කඵජ කියන ප්‍රධාන දෝෂජ උන්මාදයන් තුනක්ද දෝෂ ත්‍රිත්වයම සම්බන්ධ විමෙන් ඇතිවෙන ත්‍රිදෝෂජ උන්මාදය කියන අවස්ථාවක්ද ආගන්තුක උන්මාදය කියන අවස්ථාවක් වශයෙන් උන්මාද රෝග අවස්ථා පහක් ගැන පමණක් විස්තර දක්වා ඇත. පොදුවේ කායික රෝග ඇතිවීමට බලපාන්නාවු ආහාර විහරණ වල විෂමතාවයම මානස රෝගද ඇතිවෙන්නට බලපාන හේතුන් වන්නේය කියල මුලික පදනම ආයුර්වේදයේ මානස රෝග සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් ඇති ඉගැන්වීමයි. ආහාර විහරණ වල විෂමතාවය නිසා දෝෂ කෝප වන බවත් දෝෂ කොපය නිසා දෝෂයන්ගේ තත්ත්වය විෂම විම සිදුවී එමගින් ඒ ඒ රෝග උප්පත්තිය ලබන්නේය කියලයි ආයුර්වේදයේ පැහැදිලි කිරිම. නමුත් ආගන්තුක රෝග ඇතිවීමට දෝෂ කොපවිමක් බලපාන්නේ නැහැ. ඒයින් අදහස් වන්නේ ආහාර විහරණ වල බලපෑමකින් තොරව වුවද මානස රෝග ප්‍රභේදයක් වන උන්මාද රෝග ඇතිවෙන්න පුළුවන් කියන එකයි.
ආහාර විහරණ වල බලපැමක් නැතිව රෝග ඇතිවන්නේ කොහොමද කියන එක අප පළමුව පැහැදිලිව කියවා ගන්න අවශ්‍යයි. චරකයේ උන්මාද නිදාන අධ්‍යායයේ ආගන්තුක උන්මාද ගැන දක්වා තියෙන කොටස මෙහිදී අප පළමුව කියවා ගෙන සිටිමු.

“යම් උන්මාදයක් නිදාන-පූර්වරූප-රූප-වේදනා-උපෂය යන මොවුන් විෂයයෙහි, වාතාදී දොස් නිමිති කොට වූ උන්මාදයන්ගෙන් විශේෂයෙන් වෙනස් වු ලකුණු වලින් යුක්තව දෘෂ්‍යමාන වේ ද, එය ආගන්තුක උන්මාදය යැයි කියනු ලැබේ. නැවත ඇතැම්හු පූර්වකෘත අප්‍රශස්තකර්ම ආගන්තුක උන්මාදයාගේ නිමිති යැයි කීමට කැමති වෙති. ඒ ආගන්තුක උන්මාදයට හේතුව ප්‍රඥාපරාධයි භගවත් ආත්ත්‍රේය-පුණර්වාස්‍ර මහසෘෂී තෙ‍ම කීය. ප්‍රඥාපරාධ හේතුවෙන් උමතු වූ රෝගියා දේව, සෘෂි, පීතෘ, ගන්ධර්ව, යක්ෂ, රාක්ෂස, පිශාච, ගුරු, වෘඞ, සිඞ ආචාර්ය, පුජ්‍ය යන පුද්ගලයන්ට අවඥා‍ කොට, ඔවුනට අහිත වූ හැසිරීම් පවත්වයි. එසේ නැත ද, එබඳ අන්‍ය වු අප්‍රශස්තකර්ම හෝ අරඹයි. ඒ මිනිසා ප්‍රඥාපරාධය කරණ කොට ගෙන තමා විසින්ම මඬිනු ලබනුයේ, දේවාදිහු ද ඔහු මැඬ උමතු කරවත්.”

mental illnessesආහාර විහරණමය හේතුන්ගේ පැහැදිලි සම්බන්ධතාවයක් නැති ප්‍රඥාපරාධ(අවබෝධයෙන් යුත්ව සිදුකරනා පාපක්‍රියා සහ වැරදි) සිදුකීරිම නිසා ඇතිවන්නාවු ඒවාද ඒ අනුව ආගන්තුක මානස රෝග යටතට දක්වා ඇත. මේ ප්‍රඥාපරාධ සිදුකිරීම නිසා ඇතිවිය හැකි ආගන්තුක උන්මාද වලට අමතරව තවත් ආගන්තුක උන්මාද අවස්ථා ‍රාශියක් හඳුනාගත හැක. යක්ෂ ප්‍රේත භූත අදි නොපෙනෙන බලයන් නිසා ඇතිවන භූතෝන්මාද, ආවේශවීම්, ග්‍රහයන්ගෙ බලපෑම් ආදී අදෘෂ්‍යමාන කරුණු කරණ කොට ගෙන ඇතිවන උන්මාද තත්ත්වයනුත් ආගන්තුක උන්මාද යටතටම දක්වා ඇත. මෙවැනි රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඖෂධ ප්‍රතිකාරයට වඩා සත්ත්වාවජය(මනස සුවපත් කිරිම සඳහා මානසික වශයෙන් යහපත් ගුණ ධර්ම සහ ක්‍රියාවන් සිදුකිරීම) කියන සංකල්පය මත පදනම්ව කරනා ක්‍රියාකාරකම් වැදගත් තැනක් ගනි. සත්ත්වාවජය තුලින් සිදු කරන්නේ මනස සුවපත් කිරීමයි. මෙම මනස සුවපත් කිරිමේ කාර්යය සඳහා කල යුතු ප්‍රතිකාර මුලධර්ම සංකල්ප වෙනමම ආයුර්වේදය තුල දක්වා ඇත. විශේෂයෙන් අෂ්ඨාංග ආයුර්වේදයට අයත් භූතවිද්‍යා කොටස් තුල මේ ගැන වැඩි විස්තර දක්වා ඇත.
යම් රෝගයක් ඇතිවිමට බලපෑ හේතුව ලෙස පුද්ගලයාගේ මානසික ගුණාංග ක්‍රියාකර ඇතිද නැතිද කියන කරුණ මුලග්‍රන්ථ තුල රෝග නිදාන පිළිබඳ දක්වා ඇති න්‍යායයාත්මක කොටස් පරිශිලනයෙන් හඳුනා ගත හැකිය. උදාහරණ ලෙස රෝගයන් ඇතිවීමට බලපාන විවිධ වු ආහාරමය සහ විහරණමය හේතුන් අතර මනසික ගුණාංගද දක්වා ඇත්නම් අදාල රෝගය ඇතිවීමට බලපෑ හේතුන් සොයාගෙන යාමේදී වෛද්‍යවරයා විසින් එම කරුණුද සැලකිල්ලට ගෙන ඒ අනූව රෝගය ඇතිවිමේ හේතුව කායික හේතුවක්ද මානසික හේතුවක්ද කියන එක හඳුනා ගන්න අවශ්‍යයි. ආයුර්වේදය තුල නිරෝගිකම අර්ථ දැක්වීමේදී කායික සහ මානසික යන අංශ දෙක කෙරෙහිම අවධානය යොමුකල යුතු බව දක්වා ඇති අතර වෛද්‍යවරයා මේ අංශ දෙක පිලිබඳවම විමසිලිමත් වීමේ අවශ්‍යතාවය පැහැදිලි කර දේ. ‍එසේ විශේෂ අවධානයක් යොමු කිරීමට පදනම වැටෙන්නේ ආයුර්වේදය වෛද්‍ය ක්‍රමයක් පමණක් නොවිම නිසා සහ එය පෙරදිග බිහිවු විශිෂ්ඨ ජීවන දර්ශනයකුත් වීම නිසයි. ආයුර්වේදය තුල කායිකව සේම මානසිකවත් නිරෝගීව ජීවත් වෙන සහ විය යුතු ආකාරය කියා දේ. ශාරීරිකව සහ මානසිකව යහපත් ජීවිතයක් ගත කිරීමත්, වේද ඉගැන්වීම් අනූව ඉදිරිපත් කරනා ජීවිත කාලය තුලදි ධර්ම, අර්ථ, කාම සහ මෝක්ෂ කියන අංශ හතර සාර්ථකව අත්පත් කර ගැනීමත් කියන දෙකම තෘප්ත කර ගැනීමේ ක්‍රියාමාර්ගය තමයි නිරෝගිකම ලෙස පුළුල්ව අර්ත දක්වා ඇත්තේ. පරලෝක වශයෙන්/ලොකෝත්තර වශයෙන් හිත නිදහස් කර ගැනීම/නිරෝගි කර ගැනීම සඳහා කල යුත්තේ මෝක්ෂය ලඟාකර ගැනීම බවයි ආයුර්වේදයේද අදහස. ඒ අර්ථයෙන් බලන කල ආයුර්වේද දර්ශනය යනු ලෞකික සහ ලෝකොත්තර කියන අංශ දෙකෙම යහපත/නිරෝගිකම ගැන තියෙන දර්ශනයක් බව පැහැදිලියි. ආයුර්වේද වෛද්‍යක්‍රමය තුල මානස රෝග සාකච්ඡා කරන කොට මේ සම්බන්ධතාවයනුත් මතක තබා ගත යුතුයි.
ආයුර්වේදය තුල සියල්ලම විග්‍රහ කරන්නේ ත්‍රිදෝෂවාදය පදනම් කරගෙනය. මානස රෝග වුවත් ප්‍රභේද කරන්නේ ඒ අනූව බව ඉහත සඳහන් කල මානස රෝග වර්ගීකරණය පිළිබඳ අදහසේදි දක්වන්නට යෙදුනි. උන්මාද රෝග වර්ගීකණයේදී වාතජ, පිත්තජ, කඵජ සහ ත්‍රිදෝෂජ කියලා දෝෂ භේදය අනූව හතරකුත් ආගන්තුක කියලා තව ප්‍රභේදයකුත් එහිදි හදුන්වා දෙන ලදි. නමුත් චරකය, සුශ්‍රැතය යන මුලග්‍රන්ථ ගුරු කර ගෙන ලියැවුණු මාධව නිදාන ග්‍රන්ථයේ තියෙනවා දුක්ඛජ සහ ‍විෂජ කියලා තව උන්මාද ප්‍රභේද දෙකකුත්. මෙහිදි පැහැදිලි වෙන තවත් වැදගත් කරුණක් වන්නේ මුල් කාලයේ නොතිබුණු පසුකාලීනව ඇතිවුණු නැතිනම් පසු කාලිනව අවධානයට යොමුවූ සෞඛ්‍යය ගැටළු ගැන පවා පසුකාලින මාධව ආචාර්ය වරයා වැනි ආයුර්වේද නිර්මාපකයින්ගේ අවධානය යොමුවි ‍තිබෙනවාය කියන කරුණ. ඇත්ත වශයෙන්ම මෙම නව ‍උන්මාද ප්‍රභේද දෙක තුලින් ආගන්තුක උන්මාදයට ඇතුලත්ව තිබුණු සමහර දේවල් වලට පැහැදිලි පිළිතුරු ලබා දි ඇත.
drugs addictවිෂජ උන්මාද කියන්නේ ශරීරයට අහිතකර පදාර්ථ විහරණය කිරීම නිසා ඇතිවෙන උන්මාද තත්ත්වයටයි. උදාහරණ වශයෙන් මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය නිසා ඇතිවන උන්මාද තත්ත්වයන් දක්වන්න පුළුවනි. මෙම හේතුන් නිසා මානසික රෝගීන් බවට පත්වන ප්‍රමාණය කොතරම් වැඩිද කියල දැක ගන්න පුළුවන් මානසික රෝහලකට ගියහොත්. මත්පැන් මත්ද්‍රව්‍ය වලට අමතරව ජංගම විෂ සහ ස්ථාවර විෂ කියන ඒවාත් ශරීර ගත වීම නිසා මෙම විෂජ උන්මාද තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් විවිධ රසායනික කර්මාන්ත වල සේවය කල අය විවිධ විෂ වලට නිරාවරණය වීම නිසා සේම සත්ත්ව හපා කෑම් නිසා හෝ විෂ ස්පර්ෂ විම නිසාත් විෂජ උන්මාද රෝග තත්ත්වයට පත්වේ. දුක්ඛජ උන්මාද කියන්නේ ශෝකය, බලාපොරොත්තු කඩවීම, ඉච්ඡාභංගත්වය, අනපේක්ෂිත කරදර වැනි මානසික ව්‍යාකූලතාවයන් නිසි පරිදි කලමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා ඇතිවන හදිසි උන්මාද තත්ත්වයන්ටය. විශේෂයෙන් වර්තමාන සමාජයේ බහුලම සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇත්තේ දුක්ඛජ උන්මාදය යනුවෙන් ආයුර්වේදයේ වර්ග කෙරි ඇති උන්මාද රෝග කාණ්ඩයට අයත් රෝග තත්ත්වයන්ය. වර්තමාන තරගකාරි සමාජ ක්‍රමය තුල එකිනෙකා පරයමින් මිනිසා අසිමාන්තිකව ඉලක්ක සහ බලාපොරොත්තු පසු පස හඹා යෑමට උත්සහ දැරීම නිසා දුක්ඛජ උන්මාද රෝග තත්ත්වයන්ට පහසුවෙන්ම ගොදුරු විමේ මාර්ගය විවෘත කර ගනි. බටහිර මනෝ විද්‍යාව තුල ආතතිය, විෂාදය, ක්ලමතය, කාන්සාව වැනි විවිධ නම් වලින් හදුන්වන බොහොමයක් මානසික රෝග මේ දුක්ඛජ උන්මාද රෝග කාණ්ඩය යටතේ විස්තර කෙරේ. ඕනෑම අයෙකුම හෝ ඕනැම දෙයකට ඕනෑම දෙයක් දරා ගැනිමේ සිමාවක් පවති. එය මිනිස් මනසටත් පොදු සංසිද්ධියකි. මිනිසාද අනන්තවත් ආශාවන් තෘප්තිමත් කර ගැනීමට ගොස් ඒවා ඉටුකර ගැනීමට නොහැකි වන විට තම මනසට දරා ගන්න බැරි තරම් පීඩනයක් ලඟා කර ගැනීම අපේක්ෂා කල හැක්කකි. ‍ලෝක සෞඛ්‍යය සංවිධානයට පවා මේ වන විට මෙම මානසික රෝග තත්ත්වය ලොව බරපතලම සෞඛ්‍යය ගැටළුවක් බවට පිළිගැනීමට සහ ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවිමෙන්ම එහි බරපතල කම පෙනෙනවා ඇත. මෙහිදි තේරුම් ගත යුත්තක් වන්නේ බටහිර විෂයන් දෙස බලා ඒවා ගෙඩිය පිටින් ආයුර්වේදයේ හෝ දේශිය වෛද්‍ය ක්‍රමයේ තුල හොයන්න යන්න බැරි සහ තේරුමක් නැති කාර්යයක්ය යන්නය. නමුත් ආයුර්වේද වේවා දේශිය වේවා මානස රෝග කියන විෂයන්ගේ අන්තර්ගතය නිවැරදිව පැහැදිලි කර ගත්තොත් ඒවායේ අන්තරගතයේ තියෙන පදනම් බටහිර වෛද්‍ය විද්‍යාව තුලිනුත් සොයා ගන්න පුළුවන්. එවිට පමණයි ආයුර්වේදයේ දක්වා ඇති ඖෂධ සහ උපදේශන ප්‍රතිකාර තුලින් ඒවාට සාර්ථක ප්‍රතිකාර ලබා දිය හැකි වන්නේ.