ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
බිළිඳු පෝෂණය සහ මවුකිරි

ආසන්න වශයෙන් දින 280ක් පමණ කාළයක් මවගේ කුස තුල පරපෝෂිතයෙකු ලෙස ජීවත් වන බිළිඳා මවු කුසින් බිහිවීමත් සමගම තමන්ගේම ස්වාධින ජීවිතයක් ආරම්භ කරයි. මවගේ කුසයෙන් බිහිවු අවස්ථාවේදී බිළිඳා (New Born baby) හඳුන්වන්නේ නවජාතයා නැතිනම් ජාතමාත්‍රයා යන නමිනි. ආයුර්වේදය මෙම ජාතමාත්‍රයාගේ පෝෂණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කොට ඇත. ආයුර්වේදය පිළිගන්නේ නවජාතයා/ජාතමාත්‍රයාගේ පෝෂණ කාර්යය ඇරඹෙන්නේ මෙලොවට බිහිවී නව පරිසරය තුල ජීවිතය මනා සුරක්ෂිත තත්ත්වයකට පත්කර ගැනීමත් සමගම බවයි. වෙනස් පරිසර තත්ත්වයක සිට එයට ඉඳුරාම වෙනස් පරිසරයකට හුවමාරු වන බිළිඳාට මවුකුස තුල සිටියදී ස්වයංසිද්ධව ලැබුණු උණුසුම, පෝෂණය සහ අම්ලකර වායුන් යන මූලික අවශ්‍යතා මෙලොව එළිය දුටු වහාම බාහිර පරිසරයෙන් එපරිද්දෙන්ම ලබාගැනිමට අපහසු වේ. එම අපහසුතා ගැන සංවේදී වී අදාල මුලික කාර්යයන් ඉටු නොකල හොත් එය ළදරුවාගේ ජීවිතය කෙරෙහි අන්තරාදායක ලෙස බලපෑ හැකිය. මෙම අවධානම පහකිරීම බිළිඳු පෝෂණයේ පළමු අත්‍යාවශ්‍ය පියවර වන්නේ ඒ නිසාවෙනි. ආයුර්වේදය එය අවධාරණය කර සිටියි. වර්තමානයේදී සෑම ගර්භණි මවක්ම පාහේ තම දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වීමට කටයුතු කලද අතීතයේ එම කාර්යය සිදු කර ඇත්තේ වින්නඹු මාතාවක් හෝ දැණුවත් වැඩිහිටි කාන්තාවක් විසිනි. එනිසා දරුවන් බිහිකිරිමේ කාර්යයේදි සහය වන වින්නඹු මාතාවන් හෝ අනෙකුත් වැඩිහිටි කාන්තාවන් දරු උපත සහ ඉන් පසු දරුවාගේ සුරක්ෂිතභාවය ඇතිකිරීම පිළිබඳව දැනුවත්ව සිටීම අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්ව  පැවතුණි. පෙරදියග පුරෝගාමි වෛද්‍යක්‍රමයක් වන ආයුර්වේදය තම චිකිත්සා පද්ධතිය තුල මෙම කරුණු පිළිබඳව සවිස්තරව දක්වා ඇත්තේ එබැවින් විය යුතුය. නිරෝගි දරු උපතක් යනු දරුවන් ලැබීමට සිටිනා සෑම දෙමාපියෙකුගේම ඒකායන ප්‍රාර්ථනයයි. එය ඊයේ දිනයටත් අද දිනයටත් හෙට දිනයටත් එකසේ වලංගුය. එබැවින් මෙම කරුණු වත්මන් කාන්තා පාර්ශවයට පමණක් නොව පුරුෂ පාර්ශවයටද එකසේ ප්‍රයෝජනවත් විය හැකි බැවින් අප ඒ සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කරමු.

මෙලොව එලිය දුටු වහාම බිළිඳාට……

මවු කුසින් නික්මී මෙලොවට බිහිවීමත් සමගම බිළිඳා තමාගේ සියළුම ශාරීරික අවශ්‍යතාවයන් තෘප්ත කර ගන්නේ තමන්ගේම ශාරීරික යාන්ත්‍රනය පණගැන්වීම තුලිනි. එතෙක් ඔහු ගතකරන්නේ පරපෝෂි ජීවිතයකි. පෙනහලු ක්‍රියා කරවීම මගින් සිරුරට අවශ්‍ය ඔක්සිජනිකෘත වාතය සිරුරට ලබා ගැනීමටද ශරීර උෂ්ණත්වය යාමනය කර ගැනීම සඳහා හැඬීම අත්පා චලනයන් මඟින් මාංශපේෂින් ක්‍රියාත්මක කිරීමද සිදුවේ. මෙවැනි ක්‍රියාකාරකම් සිදු කිරීමට නවජාතයා වහාම සුදානම් කල යුතුවේ. එවැනි ක්‍රියාකාරකම් බිළිඳා නොකර සිටී නම් බිළිඳා කෘතිමව එම ක්‍රියාකරකම් වල නිරත කරවිය යුතුය. නිසි අයුරෙන් පරිසර අනුවර්තනය සිදුව ඇත්නම් සිරුර රතු පැහැයට හැරීම, තොල් ඉරීම ආදිය නිරික්ෂණය කල හැක. මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ මවගේ ගර්භාෂයේ සහ දරුමග ආශ්‍රිතව ඇති ගර්භ තරලය, වැදෑමහේ කොටස්, උල්බ, සෙම් ආදී අපිරිසිදු පදාර්ථ මගින් බිළිඳාගේ නාසය, මුඛය, උගුර, ඇස් ආදිය අවහිර වී ඇතිදැයි පරික්ෂා කිරීමටය. බොහෝ විට එවැනි දේවල් මගින් යම් යම් අවහිරතා ඇතිව තිබෙන්නට පුළුවන. එවැනි අනවශ්‍ය ද්‍රව්‍ය කොටස් හිරවී ඇත්නම් වහාම අභ්‍යන්තර ලෙසත් බාහිර ලෙසත් බිළිඳා පිරිසිදු කිරීම කල යුතු වේ.

බිළිඳු පෝෂණය සඳහා මවු කිරි……

ආයුර්වේදයේ ළදරු පෝෂණය කිරීම මුල් කොට ඇති තන්ත්‍රය කුමාර තන්‍ත්‍ර කෞමාරභෘත්‍යය යනුවෙන් හැදින්වේ. එහි සරල අදහස වන්නේ කුමාරවරුන් පෝෂණය කිරිම යන්නයි. පෝෂණය ආහාර මුල් කර ගත් කෘත්‍යයකි. බටහිර හා ආයුර්වේද යන දෙඅංශයේම පිළිගන්නා පොදු මතය වන්නේ බිළිඳු මරණ සහ ළදරුවන්ගේ රෝගී බව සඳහා ප්‍රධානතම හේතුවක් වන්නේ පෝෂණ අක්‍රමිකතා සහ ජීර්ණ අක්‍රමිකතා යන්නයි. එබැවින් ළදරු පෝෂණය සඳහා ක්‍රියාත්මක වන්නෙකු ළදරුවන් ගන්නා ආහාර සහ ළදරු ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන් මනා පරිචයක් ලබා සිටිය යුතුය. බොහෝ පෙරදිග සමාජ තුල දරු උපතක් සිදුවූ වහාම එම සමාජ තුල පවතින විශ්වාස අනුව විවිධ රක්ෂාකර්‍ම බිළිඳා වෙනුවෙන් කරනු ලැබේ.ඒවා සියල්ලම අසත්‍ය යැයි නැතිනම් පරම සත්‍ය යැයි අප නොපවසන්නෙමු. නමුත් ආයුර්වේදය තුල දක්වා ඇත්තේ බිළිඳාට පළමු වරට මවගේ දකුණු පයෝදර මගින් කිරි උරන්නට සැලැස්විය යුතු බවයි. ඉන් පසුව වම් පයෝදර ලංකර යුතු බවයි. මෙහිදී බඩගිනි බව සහ ප්‍රසව ජීඩා වලින් වෙහෙස වූ සිරුර යථා තත්ත්වයට පත්වූ බිළිඳාට මවගේ පයෝදර කටට දී කිරි උරා බීමට අවකාශ දිය යුතු බව සඳහන්ය. විශේෂයෙන් මතක තබා ගත යුත්තේ දරුවෙකු ප්‍රසූත කල වහාම මවගේ පයෝදර වලට කිරි (නියම ස්තන්‍ය) උනන්නේ නැති බවයි. දරු ප්‍රසූතිය සිදුවී තුන්වැනි හෝ සිව්වැනි රාත්‍රිය ගතවන විට සූතිකාවගේ (දරුවා බිහිකල මව) පයෝදරයන්හී කිරි (නියම ස්තන්‍ය) එරීම ආරම්භ වන බව දක්වා ඇත.

එසේ නම් මුලින්ම මවගේ පයෝධර වලින් ස්‍රාවය වන්නේ මොනවාද?

ප්‍රසූතියෙන් පසුව මවගේ පයෝධරයන්හි එරෙන ස්‍රාවය මෙලොව ඇති උතුම්මැ ආහාරය ලෙස ආයුර්වේදය විශ්වාස කරණු ලැබේ. ස්වභාවධර්මයා විසින් දරුවාට ලබාදුන් දිව්‍යමය ආහාරය එයයි. මවගේ නියම ශුද්ධ කිරි එරෙන තෙක් පයෝධර උරන්නට අවකාශ සලසා දීමෙන් ළදරුවාට අත්‍යාවශ්‍යතම ඒ උතුම් ආහාරය ලැබෙන්නේය. මෙම කොටස බිළිඳාගේ නිරෝගී ජීවිතය සම්බන්ධයෙන් සැලකුවද එහි පදනම ලෙස සැලකිය හැක. මවු කුසින් බිහිවු පසු පළමු මාසය (දින 28) තුල දිය යුතු ඉතාම සුදුසුම ආහාරය නම් මවගේ පයෝධරයන්හි එරෙන වෙනස් වෙනස් ආකාර වු තන කිරි බව පෙර අපරදෙදිගම පොදු මතයයි. මසක් ගත විමෙන් පසුවත් මවට හැකි පමණ කාලයක් ළදරුවාට මවුකිරි දීම ඉතාම වටින්නේය. මවගේ කිරි එරෙන්නේ නැතිනම් වෙනත් කිරිමවක සොයා‍ ගෙන ඇයගේ කිරි හෝ දීම කල යුතුය. එළගව කිරි හෝ එළුකිරි දිය යුත්තේ කිසිම අයුරකින් මවුකිරි සපයා ගත නොහැකි වුව හොත් පමණි. නමුත් වර්තමානයේ පළමු විකල්පය ලෙස තෝරා ගන්නේ මෙම එළකිරි හෝ එළුකිරි විම යහපත් නොවේ.

කිරිමව සොයාගමු

වර්තමානයේ කිරිමවකගේ සහය ලැබාගැනීම දැක ගන්නට නැති තරම්ය. සුතිකාවගේ කිරි බිළිඳාට ලබා දීමට අමතරව දැන් පුරුදුව අත්තේ පිටිකිරි බිළිඳාට ලබා දීමටය. එහෙත් පෙරදිග එවැනි ක්‍රමයක් පැවතුනේ නැත. මවගේ කිරි නැතිනම් කිරිමවගේ කිරි එසේත් නැතිනම් එළකිරි හො එළුකිරි බිළිඳාට දීමට පුරුදව සිටියේය. මෙහිදී විශේෂත්වය වන්නේ කිරි මවකගේ කිරි හෝ එළකිරි හො එළුකිරි බිළිඳාට ලබා දෙන්නේ නම් එකම මුලාශ්‍රයකින් එම කිරි සපයා ගැනීමට සැලකිළිමත් විය යුතුය යන්න අයුර්වේදය අවධාරණය කර සිටිමයි. එසේ නොවුන හොත් බිළිඳු සිරුරට විවිධ වර්‍ග වල කිරි එකම ආකාරයෙන් නොපෑහීම නිසා විවිධ අසාත්මිකතා ඇතිවිය හැකි බව දක්වා තිබේ. එසේ වුවත් ආයුර්වේද මූල ග්‍රන්ථ තුල මෙම කරුණ සම්බන්ධයෙන් පැහැදිලි බෙදීමක්ද ඇති බව මෙහිදිම සදහන් කර සිටිය යුතුය. චරක සහ සුශ්‍රැත යන සංහිතා ග්‍රන්ථ දෙක තුල කිරි මවුන් එක් අයෙකු පමණක් බිළිඳාට කිරි දීම සඳහා සහය කර ගැනීමට යෝජනා කර ඇතත් වාග්භට විසින් කිරි මවුන් දෙදෙනෙකුගේ සේවය ලබා ගැනීමට නිර්දේශ කර ඇත. මෙය මේ සම්බන්ධයෙන් විවේචනාත්මකව බලන්නන්ට ගැටළුවක් අති කල හැකි තැනක් විය හැකි මුත් මෙහිදී අවධානය යොමු කර ඇත්තේ වඩාත් පිළිගත හැකි ප්‍රායෝගික කරුණක් පිළිබදව බව එය ගැඹුරින් විමර්ෂණයේදි පැහැදිලි වේ. මවගේ කිරි නොමැති බිළි‍ඳෙකුට එක් කිරිමවක් පමණත් පුරුදු කර තිබෙන විටකදී යම් හේතුවක් නිසා ඇයටද කිරි දීමට අවස්ථාවක් නොලැබී ගිය හොත් බිළිඳාට එයද දැඩි බලපෑමක් විය හැකි බැවින් එවැනි අපහසුතාවයක් අහම්බෙන් හෝ ඇතිවීම වැලැක්වීම සඳහා කිරිමවු වරුන් දෙදෙනෙකුගේ සේවය අනුදක්වා ඇත. ඉහතින් සදහන් කල සංකල්පීය කරුණත්  මේ ප්‍රායේගික භාවිතය සම්බන්ධ කරුණත් අතර පරස්පරයක් මෙහිදි දර්ශනය වේ. එයනම් කිරි මවුවරුන් කිහිප දෙනෙකුගේ කිරි බිළඳාට දීම මගින් නානාස්තන්‍යජනක රෝග ඇතිවිය හැකි බව අයුර්වේදයේ ඇති සදහනත් වාග්භටයන් කිරි මවුවරුන් දෙදෙ‍නෙකුගේ සූදානම් කර තිබීම ගැන සඳහන් කර ඇති විට එම නානාස්තන්‍යජනක රෝග ඇති‍ නොවන්නේදැයි යමෙකුට ප්‍රශ්ණ කල හැක. වග්භටයන් විසින් එම තර්කය පිළිගන්නා අතරම එයට පිළියමක්ද තම ග්‍රන්ථයේ අන්තර්ගත කර ඇත. සමාන වයසක සමාන ධාත්‍රි ගුණාංග සහිත සෑම අතින්ම සමාන කිරිමවුවරුන් දෙදෙනෙකුගේ කිරිවලට මුල සිටම බිළිඳා පුරුදු වූ විට මෙම අසාත්මික තත්ත්වයන්ට ගොදුරු වීමේ සම්භාවිතාව අඩුවන බව ඔහුගේ මතයයි. එවැනි සුපරික්ෂාවක් තිබිය යුතු බිළිඳු පෝෂණයේදී බිළිඳාට පිටිකිරි දීමට පුරුදු වීම තුලින් වර්තමාන මවුවරු කෙතෙක් දුරට තම බිළිඳුන් ගැන දක්වන සැලකිල්ල අඩුවී ඇතිද යන්න සිතා ගත හාකි නොවන්නේද?  එම අඩු සැලකිල්ල රෝගි අනාගත පරපුරක් සමාජයට දායාද කිරීමට හේතුවන බව සියල්ලන්ම දැන ගත යුතුය.

වර්තමානයේදි කිරිමවුවරුන්ගේ කිරි බිළිඳුන්ට දීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වාගේ  අභාවයට ගොස් ඇත්තේද ඒ නිසා විය යුතුය. ඒ වෙනුවට කෘතිමව සකසන ලද විවිධ වර්ග වල එළකිරි පිටි ඇතුළු විවිධ කිරිපිටි වර්ග වෙළඳපොළේ දක්නට තිබේ. මවට කිරි දීමේ හැකියාව පවතිද්දීත් බිළිඳා කෘතිම කිරිපිටි වලට හුරු කරන්නේ මවුකිරි වල ඇති විශිෂ්ඨත්වය හරිහැටි මවුවරුන් තේරුම් ගෙන නොමැති නිසාවෙන්ද? එය අපගේ මාතෘ අධ්‍යාපනයේ අඩුපාඩුවක් නොවන්නේද?

“දෙවියන්ගේ ආහාරය වන අමෘතය-පීයුෂය මවුකිරට සමාන කරමින් නැතිනම් අමෘතය, පීයුෂ යන නාමයන් මවුකිරි සඳහා භාවිතා කරණ පර්යාය නාමයන් බවට පත්කරමින් පැරන්නන් මවුකිරි හැදින්වුයේ එහි ඇති වටිනාකම ඒ තරම්ම වන නිසාවෙනි. ඔවුනට එහි වටිනාකම දැක්වීම සඳහා මෙම නාමයන්ට වඩා සුදුසු වචන නොමැති නිසාවෙන් එසේ හැදින්වුවා යැයිද සිතිය හැක. කෙසේ වෙතත් ළදරුවාගේ ආහාර දිරවීමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්  වූද ශරීරයේ ක්‍රියාකාරීත්වය සහ නිර්මාණය සම්බන්ධයෙන් වූද අවශ්‍යතාවයන්ට සුදුසු වන ලෙසට මවුකිරි වල සංයුතිය සකස් වී ඇති බව වත්මන් පෝෂණවේදීන් පවා තහවුරු කරගෙන ඇති කරුණකි. බිළිඳාගේ අහාර දිරවීම සම්බන්ධයෙන්ද ශරීරයේ ක්‍රියාකාරිත්වය සහ නිර්මාණය සම්බන්ධයෙන්ද අත්‍යාවශ්‍ය වන ආකාරයට මවුකිරි වල සංයුතිය සැකසී ඇත. මීට අමතරව අත්‍යාවශ්‍ය ජීවධාතු වලින් සපිරිය. ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරයි. මවුකිරි යනු එකම උෂ්ණත්වයකින් කිරි ඉරි‍ම ආරම්භයේ සිටම අවසානය දක්වාම සෑමවිටම බිළිඳාට ප්‍රධානය වන සුවිශේෂි ද්‍රාවනයකි. එවැනි සුපිරිසිදු ජීවනිය ගුණයෙන් පිරිපුන් ආහාරයක් තවම මේ ලොව තුල නිපදවා නැත.

ප්‍රසූතයෙන් පළමු දින කිහිපය තුල මවගේ පයෝධර වලින් සාවය වන්නේ “නව ස්තන්‍යය” (Colostrums) යනුවෙන් හඳුන්වන ද්‍රාවනයයි. මෙම ද්‍රාවනය තුනී කසාවන් පැහැයෙන් යුතු සුලු වශයෙන් ක්ෂාරගුණ විශිෂ්ට ද්‍රව පදාර්ථයකි.මෙම නව ස්තන්‍යය නියම තනකිරි වලට වඩා මාංසජනක ධාතු වලින් පොහොසත්ය. තෙල් සහ සිනී වලින් තනකිරි වලට වඩා පහත්ය.ගැබිණි කාලයේ අවසාන සති කිහිපය තුල සහ ප්‍රසූතයෙන් පළමු දින දෙක තුන තුල පයෝධර වලින් උනන මේ නව ස්තන්‍යය බිළිඳාට සැම අතින්ම සුදුසු සහ පහසුවෙන් දිරවිය හැකි  ආහාරයද වේ. කොතරම් අපහසුකම් විද දරාගෙන හො මෙම කා‍ටස බිළිඳාට මව විසින් දිය යුත්තේමය.

මවුකිරි වල ශ්‍රේෂ්ඨත්වයට හේතු දහයක්…..

  1. මවුකිරි බිළිඳාගේ ශාරීරික උෂ්ණත්වය සමග සමානව ගැලපේ.
  2. මවගේ තනකිරි බාහිර පරිසරය සමග සම්බන්ධ නොවී බාලකයාගේ සිරුරට ඇතුළු වේ.
  3. මවටග් සිරුරේ යම් යම් රෝග බෝවීම වලක්වන ප්‍රතිශේධ ශක්තියක්  පවතී නම් එම ක්ෂමතාව මවගේ තනකිරි මගින් බිළිඳාට ලැබේ.
  4. මවුකිරි බිළිඳා‍ගේ සිරුරෙහි ස්වාභාවික පැවැත්ම අනූව කිසිදු පරිවර්තනයකින් තොරව ශරීර ගත වන්නේය.
  5. දිරවිමේ පහසුව ඉහලය.
  6. මවුකිරි බීම ප්‍රිය කරවන දුග්ධශර්කරා ඇති නිසා බිළිඳා අප්‍රියතාවයකින් තොරව කිරි උරා බොයි.
  7. මවුකිරි ප්‍රතික්‍රියාවේහිදී ක්ෂාරියයි.
  8. මවුකිරි වල ඇති තෙල් ප්‍රමාණය සාමාන්‍ය වුවද ඒවා දිරවීමට පහසු මෙන්ම අවශෝෂණය කර ගැනීමටද පහසුය.
  9. මවුකිරි වල ඛනිජ පදාර්ථ සාපේක්ෂව  අඩුය.
  10. මවුකිරි පානයෙන් බිළිඳා තුල මාතෘ ස්නේහය උප‍රිමවම ඇතිවේ.

මවුකිරි බිළිඳා උපන් මොහෝතේ සිට මවුකිරිවරණය සිදුවන ‍තෙක් බිළිඳා විසින්  බීම සුදුසුය. එම කිරි උරා බීම මගින් බීළිඳාට ශාරිරික සහ මානසික යන දෙඅංශයෙන්ම පෝෂණය සිදුවේ. පරම්පරාවේ ගතිගුණ මානසික තත්ත්වය ආදි සහජ ගුණ වර්ධනයටද සිය මවගේ තනකිරෙන් පෝෂණය වීම හේතු වේ.

එළකිරි සහ එළුකිරි යන දෙකින් වඩාත් සුදුසු වන්නේ එළකිරිය. ළදරුවා හුදු කිරෙන්ම පමණක් පෝෂණය කල යුත්තේ කොපමණ කාලයක්ද යන්නට ආයුර්වේදානුකූලව දිය හැකි පිළිතුර වන්නේ පළමු මාස පහ කිරි පමණක් බිළිඳාට ප්‍රමාණවත් බවයි. හයවැනි මාසයේ සිට සැහැල්ලුවූ හිතවූ අන්න දානය කල යුතුය. එහි පැහැදිළි තේරුම නම් හයවැනි මාසයේ පටන් කිරි සමග අතිරේක වශයෙන් පිෂ්ට ධාතු අන්තර්ගත ආහාර දීම ආරම්භ කල යුතු බවයි.  එතැන් පටන් ක්‍රමිකව ගණ ආහාර දක්වා ආහාර දීම පුරුද කල යුතුය.