ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
පවුලේ ගෘහනියගේ නිරෝගිභාවය පවුලේ අන් අයගේ නිරෝගිභාවයට හේතුවයි!

 ජේෂ්ඨ කථිකාචාර්ය ආයුර්වේද වෛද්‍ය එච්.පී වක්කුඹුර මහත්මිය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කෞමාරභෘත්‍යය සහ ස්ත්‍රීරෝග අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ආචාර්යවරිය වශයෙන් කටයුතු කරණ අතර ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද(ශික්ෂණ) රෝහලේ බාල රෝග සහ ස්ත්‍රී‍රෝග සායනයන්හි ප්‍රධාන උපදේශක වෛද්‍යවරිය වශයෙන්ද කටයුතු කරයි. ආයුර්වේද ක්ෂේත්‍රය තුල වසර විස්සකට අධික කාලයක අත්දෑකීම් ඇති ඇය කාන්තාවන්ට බලපාන විවිධ රෝගාබාධ සඳහා ආයුර්වේදීය ප්‍රතිකාර සාර්ථකව භාවිතා කරමින් ප්‍රතිකාර කරන්නියකි. එසේම දරුවන් නොමැතිකම නිසා පීඩා විදින කාන්තාවන්ට ආයුර්වේද ප්‍රතිකාර තුලින් සාර්ථක ප්‍රතිඵල අත්කරදීමද සිදු කර ඇති අත්දැකීම් බහුල විශේෂඥ වෛද්‍යවරියකි. තම විෂය ක්ෂේත්‍රය තුල  නිරන්තර අධ්‍යයනයේ යෙදෙන ඇය ළමාරෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර සාර්ථක අන්දමින් භාවිතා කල හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර සිටින්නියකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ස්ත්‍රී රෝග සම්බන්ධයෙන් දක්වා ඇති ඉගැන්වීම පිළිබඳව මෙන්ම විශේෂයෙන් වත්මන් කාන්තාව බහුල වශයෙන් පීඩාවිදින සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් ආයුර්වේදීය දෘෂ්ඨි කොණයෙන් පැහැදිලි කර ගැනීමට  ‍වෙදැස ආයුර්වේද වෛද්‍ය සඟරාව වෛද්‍ය එච්.පී වක්කුඹුර ආචාර්යතුමිය සමග පැවැත්වූ සාකච්ඡාව පහත පළවේ.

වෙදැස: ආචාර්යතුමියණි, ආයුර්වේදයේ ප්‍රධාන අංග අටක් එහෙමත් නැත්නම් අෂ්ටාංග ආයුර්වේදයක් ගැන තමයි සදහන් වෙන්නේ. නමුත් අපි මෙම අවස්ථාවේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන ස්ත්‍රී කියන විෂය කොටස එම අංග අටට අයත් වන ප්‍රධාන අංගයක් ලෙස දක්වා නැහැ. ආයුර්වේදය තුල  ප්‍රමුඛත්වයක් ස්ත්‍රි රෝග කියන විෂයට ලබා දී නැති බවද එයින් හැ‍ඟෙන්නේ? එය එසේ නොවේ නම් ස්ත්‍රි රෝග කොටස අෂ්ටාංග අයුර්වේදය තුල අන්තර්ගත කරලා තියෙන්නේ කොතැනද? එලෙස කුමක් හෝ වෙනත් විෂයයකට සම්බන්ධ කරලා දැක්වීමට විශේෂ හේතුවක් බලපා තියෙනවාද? කියන තැනින් මේ සාකච්ඡාව පටන් ගනිමු

පිළිතුර: ඇත්ත වශයෙන්ම එලෙස අඩු සැලකිල්ලක් ස්ත්‍රි රෝග විෂයට දක්වලා තියෙනවා කියලා කියන්න බැහැ. විශේෂයෙන් ස්ත්‍රි රෝග කියලා වෙනම ප්‍රධාන අංශයක් වෙන් කරලා දක්වලා නැති වුනත් ආයුර්වේදය තුල අවශ්‍ය ප්‍රමාණයට ස්ත්‍රිය පිළිබදව සාකච්ඡා කර තියෙනවා. ස්ත්‍රිය වර්ණනා කර තිබෙනවා. ඒ වගේම ස්ත්‍රි රෝග ගැනත් සම්පූර්ණයෙන්ම වාගේ දක්වලා තියෙනවා. කුමණ හෝ හේතුවක් නිසා ආයුර්වේද නිර්මාපකයින් ස්ත්‍රිය කියන ඒකකයට වඩා ප්‍රමුඛතාවය දී තියෙන්නේ කුමාරයා/දරුවා කියන ඒකකයටයි. ඒනිසා තමයි ස්ත්‍රි රෝග කියන නාමය සැඟවී ගොස් තියෙන්නේ. කුමාරයා නැතිනම් දරුවා දරා සිටින තැනැත්තිය විදියට තමයි ස්ත්‍රිය දක්වලා තියෙන්නේ. ගැබක් දරන්න පුළුවන් කාටද නැතිනම් ගැබ දරන්නේ කවුද ඇය තමයි සැබෑම ස්ත්‍රිය කියල ආයුර්වේදය සලකලා තියෙන්නේ. ගැබක් දරන්න බැරිනම් ඇය ස්ත්‍රියක් ලෙස නම් කරන්නේ වත් නැහැ වගේ අදහසක් තමයි ආයුර්වේදයේ තියෙන්නේ. ආයුර්වේදයේ “ ස: ස්ත්‍රී ගර්භෝ යස්‍ය: ඉති ස්ත්‍රී:” යන්නෙන් දක්වන්නේත් එම කරුණම තමයි. අෂ්ටාංග ආයුර්වේදයේ ප්‍රධාන අංගයක් ලෙස කෞමාරභෘත්‍යය කියලා අංගයක් තියෙනවා. කෞමාරභෘත්‍ය කියන එකේ තේරුම කුමාරභරණ කියන එකයි. භරණ කියන්නේ දැරීම/ දරාසිටිම කියන එකටයි. කුමාරයාව/දරුවාව නැතිනම් ගැබ දරාසිටීම/දැරීම  සිදුකල හැකි තැනැත්තිය ස්ත්‍රිය වන බැවින් කුමාරයා ගැන විස්තර කෙරෙන කොටස තුලටම ස්ත්‍රිය ගැනත්, ස්ත්‍රි රෝග ගැනත් විස්තර ඇතුලත් කර තිබෙනවා. මොකද ආයුර්වේදයේ දක්වා තියෙනවා ස්ත්‍රිය, ගර්භණිය හා කුමාරයා යන ඒකකයන් තුන පිළිබඳවම විස්තර එකට දැක්විය යුතුයී කියලා. එනිසා තමයි කෟමාරභෘත්‍යය කියන කොටසට ස්ත්‍රි රෝග කොටසත් සම්බන්ධ කරලා තියෙන්නේ. කාන්තාවක් සිටිය යුතුයි, කාන්තාව ගර්භණියක් බවට පත්විය යුතුයි, ගර්භණිය නිරෝගී දරුවෙකු බිහිකල යුතුයි කියලා ආයුර්වේදයේ මුලික පදනමක් තියෙනවා. එම අවස්ථා තුන තුල සිටින ස්ත්‍රිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුන හොත් ආයුර්වේදය තුල අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය එනම් නිරෝගී දරුවා/ කුමාරයා ලැබෙන්නේ නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයේ ස්ත්‍රී රෝග, ප්‍රසව වේදය හා ළමා රෝග වෙන වෙනම පවතින විෂයයන් ලෙස තිබුනට ආයුර්වේදයේ එසේ නොවෙන්නෙත් ඒ බලාපොරොත්තු වන නිරෝගී දරු උපත ඉටුකර ගැනීම එවැනි කරුණු පවා වැදගත් වන නිසාමයි.

වෙදැස: ස්ත්‍රී රෝග කියන මාතෘකාව ගොඩනැගෙන්නේම තම වර්ගයා බෝ කිරීමට නැතහොත් දරුවන් සෑදීමට සුදුසු පරිදි සැකසුණු විශේෂ පද්ධතියක් ඔවුන් තුල පිහිටා තිබිම නිසා කියලා අදහසක් තියෙනවා. එය සත්‍යක්ද? නැතිනම් ස්ත්‍රී රෝග කියලා හදුනාගත් විශේෂ රෝග තියෙනවාද ප්‍රජනන පද්ධතියෙන් බැහැරව ඇතිවෙන?

පිළිතුර: එහි සත්‍යතාවයක් තියෙනවා. ඇත්තටම ස්ත්‍රියකට නිරෝගී සම්පූර්ණ ප්‍රජනන පද්ධතියක් තිබිය යුතුයි, ඒවාගේම සුකුමාර බව තියෙන්නම ඕනේ. ස්ත්‍රියට තියෙන්නේ පිරිමියාට වඩා වෙනස් ගතිගුණ, ඇය ආදරය කරුණව ලැබීමට කැමතියි පිරිමින්ට වඩා. ඇය ඒවා බලාපොරෝත්තු වෙනවා. ඒවාගේම ඇයගේ හැකියාවන් සහ ක්‍රියාකාරකම් පවා වෙනස්. ඒවාගේම තමයි ස්ත්‍රි ප්‍රජනන පද්ධතිය, ආශය කියලා හදුන්වන ගර්භාෂය, ඩිම්බ කෝෂ වගේ ඒවා විශේෂයෙන් සැකසී තියෙන්නේ දරුවන් සෑදීමේ කාර්යයට තමයි. ඒ නිසාමයි ඇය ස්ත්‍රිය කියලා විශේෂයෙන් හදුන්වන්නේ. ආයුර්වේදයේ කෞමාරභෘත්‍යය කියන කොටස යටතේ එන ස්ත්‍රී රෝග ගැන විස්තර කරන කොට ස්ත්‍රී ජනනේන්ද්‍රීය පද්ධතිය හදුන්වන්නේ යෝනි කියන නාමයෙනුයි. යෝනි කියන පදය හැදිලා තියෙන්නේ  යු+නි කියලා කියන ධාතු දෙක එකතු විමෙනුයි. එහි අදහස වන්නේ හමුවන තැන, සම්බන්ධය සිදුවන තැන කියන එකයි. ඒකට තමයි ස්ත්‍රී ප්‍රජනන පදධතිය කියලා කියන්නේ. ස්ත්‍රි ප්‍රජනේන්ද්‍රීය පද්ධතියේ විවිධ කොටස් ආවර්ත හැටියට හදුන්වලා තියෙනවා. මේ ප්‍රජනේන්ද්‍රීය පද්ධතිය ආශ්‍රීතව ඇතිවන රෝග තමයි කාන්තා රෝග හැටියට එතකොට හැදින්වෙන්නේ. ඒ නිසා ආයුර්වේදයේ යෝනි කියන තනි වචනයෙන් මුළු ජනනේන්ද්‍රීය පද්ධතියම හදුන්වනවා වගේම මුළු පද්ධතියම අදාල රෝග තමයි ආයුර්වේදයේ යෝනි ව්‍යාපත් ලෙස දක්වලා තියෙන්නේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ යෝනිය යන්නෙන් හදුන්වන කොටසට පමණක් නෙමෙයි ආයුර්වේදයේ යෝනිය කියලා දක්වලා තියෙන්නේ කියන කරුණ අපි මෙහිදී මතක තබා ගත යුතුයි. ඊට අමතරව තව තියෙනවා ප්‍රජනේන්ද්‍රීය පද්ධතියට සෘජුව සම්බන්ධ වෙන්නේ නැති සෝම රෝගය, ආර්තවජනිත රෝග(ආර්තව දුෂ්ඨි, ආර්තව ව්‍යාපත්) කියලා හදුන්වන රෝග, ඒවගේම රක්ත ගුල්ම කියන රෝගය වැනි රෝගත් තියෙනවා කෙලින්ම ප්‍රජනක පද්ධතියේ ඇති නොවන.

 වෙදැස: විවිධ ‍කාන්තා රෝග නිසා පීඩා විදින බොහෝ කාන්තාවන් සුලභව අද සමාජයේ දැක ගන්න පුළුවන්. පොදුවේ ආයුර්වේදයට අනූව කාන්තා රෝග හදුනා ගෙන තියෙන ආකාරය පැහැදිලි කර දෙන්න පුළුවන්ද?

පිළිතුර: පෙර සඳහන් කලා වගේ ආයුර්වේදයේ කාන්තා රෝග හදුන්වන්නේ යෝනි ව්‍යාපත් කියන නමිනුයි. සුශ්‍රැත සංහිතාවේ තියෙන රෝග වර්ගීකරණය පහසුයි. මොකද එම  වර්ගීකරණයට පදනම් වන්නේ ත්‍රිදෝෂ සංකල්පය නිසා. එයට අනූව වාතජ යෝනි ව්‍යාපත් පහකුත්, පිත්තජ යෝනි ව්‍යාපත් පහකුත් කඵජ සහ සන්නිපාතජ යොනි ව්‍යාපත් පහ බැගිනුත් දක්වලා තියෙනවා මුළු යෝනි ව්‍යාපත් සංඛ්‍යාව විස්සක් වීමට. හැබැයි මේවායේ එකකට එකක් වෙනස් රෝග ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. මෙයින් සන්නිපාතජ යොනි ව්‍යාපත් කියලා කියන්නේ අපට සුවකරන්න අපහසු කාන්තා රෝග තත්ත්වයන් තමයි.  

වෙදැස:වෛද්‍යතුමියණි, ආයුර්වේදයේ දක්වා ඇති ස්ත්‍රී රෝග වර්ගීකරණයේ ඇති රෝග නාමයන් බොහෝ දෙනා හදුනන්නේ නැහැ. නමුත් PCOD, Fibroids, Breast cancers, cervical carcinoma, Abortions, infertility වැනි නම් කාන්තාවන් බොහෝ දෙනා දන්නවා. ඒ වගේ ම තරමක් හෝ පිරිසක් ඒ පිළිබදව දැනුවත්.  ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද(ශික්ෂණ) රෝහලේ වසර ගණනාවක සිට පවත්වා ගෙන එනු ලබන ස්ත්‍රී රෝග සායනය භාර ජේෂ්ඨ වෛද්‍යවරිය ලෙස සහ ඒ තුලින් ඔබ ලැබු අත්දැකීම් තුලින් අපට පැහැදිලි කර දෙන්න මෙම වකවානුව තුල වැඩියෙන්ම වාර්තා වන්නේ කුමන රෝග තත්ත්වයන්ද?

පිළිතුර:ප්‍රධාන වශයෙන්ම වන්ධ්‍යාභාවය කියන තත්ත්වය නම් දිනෙන් දිනම වර්ධනය වන බව පෙනෙන්න තියෙනවා කියලා කියන්න පුළුවන්. ආයුර්වේදයේ මෙම කාරණය ගැන වැඩිපුර සදහන් කරලා නැතිවූනත් සදහන් වන තැන් ස්වල්පයේත් ප්‍රමාණවත් අයුරින් සාකච්ඡා කෙරී තියෙනවා. වර්තමානයේ සුලභව සාකච්ඡා වන රෝග තත්ත්වයක් තමයි PCOD කෙටි නාමයෙන් හදුන්වන “පොලි සිස්ටික් ඕවෙරියන් ඩිසීස්” කියන රෝගය ආයුර්වේදයේ එම රෝගය හදුන්වා ඇත්තේ “ඩිම්බ කෝෂගත කෝෂ්ඨ”කියන නමිනුයි. ආයුර්වේදයේ ඩිම්බකෝෂ ගත රෝග පිළිබද සාකච්ඡා කරණ අවස්ථාවේදී මෙම රෝගය ගැන විස්තර හමුවෙනවා. මීට වසර දහයකට දොළහකට පමණ පෙර අප මෙම කාන්තා සායනය ආරම්භ කරන සමයේ ඩිම්බ කෝෂගත කෝෂ්ඨ කියන රෝග තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා වුනේ ඉතා අල්ප රෝගීන් සංඛ්‍යාවක් පමණයි. නමුත් දැන් සායනයට පැමිනෙන රෝගීන්ගෙන්  80% ක් පමණ පැමිනෙන්නේ ඩිම්බකෝෂ ගත කෝෂ්ඨ කියන රෝග තත්ත්වයට නිසාවෙන් දරුවන් ලැබීමට නොහැකිවු රෝගී කාන්තාවන්. බටහිර වෛද්‍ය ක්‍රමයට අනූව එන්ඩොමෙට්‍රියෝසීස්, චොකලට් සිස්ට් වැනි නම් වලින් හදුන්වන රෝගී තත්ත්ව නිසාද වන්ධ්‍යාභාවයට පත්වූ රෝගී කාන්තාවන් පැමිනෙනවා අපගේ සායනයට. මෙම රෝග තත්ත්ව වර්තමාන කාන්තාවන් අතර බහුලයි කියලා තමයි අපගේ හැගීම.     

 වෙදැස: වන්ධ්‍යාභාවය කියන රෝග තත්ත්වය ස්ත්‍රීන්ට පමණක් සිමා වු රෝග තත්ත්වයක්ද? 

පිළිතුර: ඇත්තෙන්ම නැහැ. පිරිමින් තුලත් දැන් මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන්. එම තත්ත්වය හඳුන්වන්නේ මදසරුබව කියන නමිනුයි. ඇත්තටම සුශ්‍රැත, චරක ආචාර්යතුමන්ලා පවසලා තියෙනවා දරුවෙක් සකස් වෙන්න නම් සාධක හතරක් සම්පූර්ණ විය යුතු බව. සෘතු, ක්ෂේත්‍ර, අම්බු සහ බීජ කියලා කියන්නේ ඒ හතරයි. ඒකෙන් සෘතු කිව්වේ සරු කාලය, ක්ෂේත්‍ර කිව්වේ ගර්භාෂය නැතිනම් කෙත කියන එකටයි, අම්බු කිව්වේ පෝෂණයටයි, එසේම බීජ කියන්නේ එක් අයෙකුගේ බීජ වලට පමණක් නෙමෙයි, කාන්තාවගේ සහ පිරිමියාගේ යන දෙදෙනාගේම බීජ වලටයි. මේ අතර බීජ කිව්වහම කාන්තාවකගේ ඩිම්බත් අදහස් වෙනවා. නමුත් ශුක්‍රානු වලටත් බීජ යන්නෙන් අරුත් දිලා තියෙනවා මේ අවස්ථාවේ. අප වික්‍රමාරච්චි ‍ශික්ෂණ රෝහලේ මෙම සායනය ආරම්භ කරන කොට ප්‍රතිකාර ගැනීමට පැමිනෙන යුවල වල  බිරිඳගේ පමණක් නොවෙයි ස්වාමිපුරුෂයාගේත් බීජ ගැන පරික්ෂා කරලා ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ඉස්සර සිතා සිටියේ බිරිඳගේ පමණයි දෝෂ තියෙන්නේ කියලා. නමුත් එහෙම නැහැ. දැන් 90% ක් පමණ හමු වෙනවා පුරුෂ වන්ධ්‍යත්වයට භාජනය වූ හෝ ‍ඒ අවදානම තියෙන පුද්ගලයින්. අප හමුවට එන යුවල් වලින් බොහොමයකගේම ගැටළු තියෙන්නේ ස්වාමි පුරුෂයින්ගේ. ඒ නිසා අප දැන් මේ දෙපාර්ශවයටද එකසේ ප්‍රතිකාර ලබා දෙනවා. ඇත්තටම මම හිතන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය තුල පුරුෂ මදසරු භාවයට තිබෙන ප්‍රතිකාර ප්‍රමාණවත් නැහැ කියලයි. ආයුර්වේදයේ පුරුෂ වන්ධ්‍යාභාවයට තියෙන ප්‍රතිකාර ඉතා හොදින් දක්වා තියෙන අතර එවායින් පැහැදිලි ප්‍රතීඵලත් ලැබෙනවා. අනෙක් කාරණය තමයි පිරිමි වන්ධ්‍යාභාවය කියන එක රෝග තත්ත්වයක් ලෙස ආයුර්වේදයේ දක්වා තිබීම. ඒකට කියන්නේ ශුක්‍ර දෝෂ කියලයි. වන්ධ්‍යාභාවය ගැන සාකච්ඡා කරන කොට ආර්තවදුෂ්ඨි ගැන කථා කරනවා වගේම ශුක්‍රදුෂ්ඨි/ශුක්‍රදෝෂ ගැනත් කථා කරනවා. ශුක්‍රදෝෂ අටක් ගැන දක්වලා තියෙනවා. මෙතැනදි ශුක්‍ර යන්නෙන් “ස්පර්ම්”  කියන එක විතරක් නෙමෙයි අදහස් කරන්නේ, තරලය ඇතුළු සියල්ලම අන්තර්ගතයි මෙයට. ඇත්තටම අපේ ශරීරයේ පවතින සප්තධාතු අතර ශුක්‍ර ධාතුවත් ප්‍රධාන ධාතුවක්. ශුක්‍රාණු ප්‍රමාණය, චලන හැකියාව, සාන්ද්‍රණය ආදීයෙහි අඩුවීම් පිළිබදව බටහිර වෛද්‍ය ක්‍රමයේදී විමසා බැලෙනවා. නමුත් ආයුර්වේදයේ බටහිර වෛද්‍යක්‍රමය තුල සලකා බැලෙන දුර්වලතා වගේම එයට හසුනොවෙන වෙනත් විශේෂ තත්ත්වයන්ද සලකා බැලෙනවා. එහි විශේෂම දෙය තමයි එම දුර්වලතා වලට සාර්ථක ප්‍රතිකාරත් දක්වා තිබීම.

 වෙදැස: අප සාකච්ඡා කරන වන්ධ්‍යාභාවය කියන රෝග තත්ත්වය බරපතල සෞඛ්‍යය ගැටළුවක් ලෙස පමණක් නොවෙයි බරපතල සමාජ ගැටළුවක් බවටත් අද වෙන කොට පත් වෙලා තියෙනවා. ආයුර්වේදය තුල මෙම වන්ධ්‍යාභාවය කියන රෝගය හදුන්වා දී ඇත්තේ කොහොමද? වන්ධ්‍යාභාවය ඇතිවීමට හේතු මොනවාද?

පිළිතුර: චරක සංහිතාවේ වත් සුශ්‍රැත සංහිතාවේ වත් ගැඹුරින් මේ ගැන සඳහන් කරලා නැහැ. නමුත් හාරිත ආචාර්යවරයා සංස්කරණය කල හාරිත සංහිතාවේ ප්‍රමාණවත් විස්තරයක් තියෙනවා. චරකයේ සදහන් වෙන්නේ සුළු වශයෙන්. ඒවගේම සුශ්‍රැත සංහිතාවේ යෝනි ව්‍යාපත් ගැන කියවෙන කොටත් සඳහන් වෙනවා වාතජ යෝනි ව්‍යාපත් පහක් තියෙනවා කියලා. මම ඒක පෙරත් සඳහන් කලා. එහි එත් රෝගයක් තමයි වන්ධ්‍යා යෝනි ව්‍යාපත් කියලා කියන්නේ. ඒහිදි සුශ්‍රැත ආචාර්ය වරයා කියන්නේ”නෂ්ටාර්ථව: වන්ධ්‍යා” කියලයි. එහි අදහස ආර්තවය නැත්තේද එය වඳ බව යන්නයි. එපමණයි එතැන සඳහන් වෙලා තියෙන්නේ. ඒවගේම එතැන ආර්තවය කියලා කිව්වේ අප පිටතට දකින ආර්තවය/සෘතුලෙය නෙමෙයි. බීජ කියන එකටයි එතැන ආර්තවය කිව්වේ. ආර්තවයක් වෙන්න නම් එතුමා පවසන්නේ බීජ තියෙන්න ඕනේ කියලයි. බීජ තියෙනවා නම් පමණයි හරියටම සමස්ථ ක්‍රියාවලිය සිදුවෙලා අපි දැන් සඳහන් තරන ආර්තවය සිදුවන්නේ. නමුත් සුශ්‍රැත ආචාර්යවරයා ආර්තවය කියන නම භාවිතා කරලා තියෙනවා බීජ වලටත්. ඒ කියන්නේ ස්‍ත්‍රියකගේ බීජ නිපදවෙන්නේ නැතිනම් දැන් හැටියට අපි කියන්නේ ඩිම්බ මෝරලා නැහැ කියලා, එවැනි දෙයක් සිදුවෙනවා නම් එයාට ආර්තවය දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඩිම්බ පරිණත තත්ත්වයට පත්වෙලා  පිටවෙන්නේ නැතිනම් එයා වන්ධ්‍යාභාවයට පත්වෙලා කියලා තමයි කියන්නේ. හාරිත සංහිතාවේ වන්ධ්‍යාභාවය ගැන සැලකිය යුතු විස්තරයක් තියෙනවා. එහි වන්ධ්‍යාභාවය කොටස් හයක් යටතේ වර්‍ග කරලා තියෙනවා. ඒ යටතේ තමයි දැන් කියන ගර්භස්‍රාව ගැන කියවෙන්නෙත්. ඇබෝර්ෂන් කියලා ඉංග්‍රීසියෙන් හදුන්වන තත්වය තමයි ඒක. වන්ධ්‍යාභාවයේ එක් කොටසක් විදිහට තමයි ඒතක හදුන්වලා තියෙන්නේ. ඊට අමතරව අනපත්‍යා, කාකවන්ධ්‍යා, බලක්ෂයා, මෘතවතස්‍යා සහ ගර්භකෝෂ භංග කියලා වන්ධාභාවයේ වර්ග දක්වලා තියෙනවා. එසේ විවිධ නම් වලින් දක්වා ඇත්තේ එම අවස්ථා වලදි වන්ධ්‍යාභාවය පෙන්වන ලක්ෂණ පදනම් කරගෙනයි. මොනවා උනත් හැම වර්ගයකම අවසන් ප්‍රතිඵලය වන්ධ්‍යාභාවයම තමයි. මේ හෑම වන්ධ්‍යාභාවයක්ම සිදුවන්නේ ආයුර්වේදයේ කියලා තියෙන ආකාරයට සහජයෙන්ම, ඒත් නැතිනම්  ජන්මෝත්තරව සිදුවන ගැටළුවක් නිසා කියලයි තවදුරටත් දකවලා තියෙන්නේ.

 වෙදැස: බොහෝ කාන්තාවන් සහ පිරිමින් මෙම රෝග තත්ත්වයට ආයුර්වේද ප්‍රතිකාර නැතිනම් දේශිය වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීමට වැඩි කැමැත්තක් නැඹුරුවක් දක්වනවා. වෛද්‍යතුමියණි අපට පැහැදිලි කරලා දෙන්න මෙම රෝග තත්ත්වයට ආයුර්වේද හෝ දේශිය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුත්තේ ඇයි කියන කාරණය සහ එහි ප්‍රතිඵලදායකභාවය ගැන ඔබගේ අදහස.  

පිළිතුර: ඇත්ත වශයෙන්ම මම කියන්න කැමති නැහැ බටහිර ප්‍රතිකාර වලට යොමු වෙන්න එපාම කියලා. නමුත් මම හිතනවා බටහිර ප්‍රතිකාර වල ගොඩාක් තියෙන්නේ හෝමෝනමය ප්‍රතිකාර කියලා. ඩිම්බ දහයක් හරි කමක් නැහැ මේරීමට සැලැස්වීම තමයි එම ක්‍රමයේ අරමුණ. එහෙත් එය ස්ථිර විසදුමක් නෙමෙයිනේ. එම ස්ත්‍රියට ඇති ඒ මොහොතේ ප්‍රමුඛතම ගැටළුවට ලබාදෙන පිළියමක් පමණයි එය. ඉදිරියට සිදුවිය හැකි දේවල් ගැන එහිදී සලකා බැලෙන්නේ නැහැ.  අපි එහෙම කියන්නේ අත්දැකීමෙන්. අපගේ සායන වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙනවා හෝමෝන ප්‍රතිකාර වලට යොමුවෙලා පසුකාලීනව වෙනත් විවිධ රෝග තත්ත්ව වලට භාජනය වූ කාන්තාවන්. නමුත් අපට ස්ථීරවම කිව හැකියි ආයුර්වේද ප්‍රතිකාර වලදී එවැනි පශ්චාද් උපද්‍රව තත්ත්වයන් උද්ගත වෙන්නේ නැහැ කියලා. ආයුර්වේදය ප්‍රතිකාර කරන්නේ ත්‍රිදෝෂ සිද්ධාන්තය මුලික කරගෙන. දෝෂ තත්ත්වය අනූව මෙම රෝගය ඇතිවීමට මූලික හේතුව සොයා බලා තමයි ප්‍රතිකාර කරන්නේ. එයට ආයුර්වේදයේ අප පවසන්නේ නිදාන පරිවර්ජනය කියලයි. එය තමයි නිවැරදිම ක්‍රමය. එමගින් වෙනත් රෝගයක් හෝ රෝග පසු කාලීනව ඇතිවන්නේ නැහැ. ඒ වුනත් මෙම කරුණත් මේ අවස්ථාවේදීම ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මොකක්ද දැන්නම් හතු පිපෙන්නා වාගේ මෙම විෂය වෙනුවෙන් ප්‍රතිකාර කරන තැන් බිහිවෙමින් යනවා. අධික මුදල් අය කරමින් ඒවායේ ප්‍රතිකාර කිරීමක් සිදුවෙනවා. නමුත් ආයුර්වේදයේ මූලික සිද්ධාන්ත හා ත්‍රිදෝෂවාදය ගැනවත් අවබෝධයක් නැතිවයි ප්‍රතිකාර සිදුකරන්නේ. අප එවැනි තත්ත්වයකුත් දකිනවා. ඒ කුමන තත්ත්වයන් තිබුනත් නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වීමෙන් විශ්මිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දරුඵල අපේක්ෂාවෙන් විවිධ ප්‍රතිකාර වලට යොමුවී වයස අවු 40ත් පසුවී කාන්තාවන් බොහෝ දෙනෙකුට දරු සුරතල් බැලීමට අවස්ථාව උදාකර දීමට අපගේ සායන තුලින් හැකියාව ලැබී තිබීමෙන් මට එය පවසන්න පුළුවන්.

 වෙදැස: බොහෝ කාන්තාවන් තමන්ගේ පවුලේ සියළුම කාර්යයන්ට වැඩි ප්‍රමුඛතාවයක් දි කටයුතු කලත් තමන්ගේ සෞඛ්‍යය ගැන දක්වන්නේ අල්ප අවධානයක්. පොදුවේ කාන්තාවන් විසින් වෛද්‍ය ප්‍රතිකාර හෝ වෛද්‍ය උපදෙස් පතා යොමු විය යුතු අවධානම් රෝග ලක්ෂණ හෝ තත්ත්වයන් තිබෙනවාද? එ වගේම මෙවැනි රෝග වලට ගොදුරු නොවී සිටිමට නම් වර්තමාන කාන්තාව අනුගමනය කල යුතු චර්යාවන් හෝ කාර්යයන් තිබෙනවාද?

පිළිතුර: ඇත්තටම ගැහැණු ළමයි වැඩිවියට පත්වුනාට පස්සේ මව විසින් තමන්ගේ දියණිය ගැන ගොඩාක් සැලකිළිමත් විය යුතුයි. මව දැනගත යුතුයි දරුවාව දැනුවත් කිරීමට. මල්වර වූ පසු මාස් පතා මේ සිදුවන බව. එය නිසි පරිදි සිදු නොවන්නේ නම් නියමිත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන්න ඕනේ. මව විසිනුත් ඒ දේවල් ගැන සැලකිළිමත් විය යුතුය. තව පියයුරු වල අසාමාන්‍යතා තියෙනවා නම් ඒ ගැනත් සැලකිළිමත් වෙන්න ඕනේ. අනිත් කරුණ තමයි මව පවුලේ අනිත් අයට කන්න බොන්න හදලා දීලා විතරක් හරියන්නේ නැහැ. ඇය තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැනත් සිතන්න ඕනේ. සිරුරට අවශ්‍ය ව්‍යායාම වල යෙදිය යුතුයි. එසේම මවගේ මානසික තත්ත්වය නිරවුල්ව සහ පැහැදිළිව තබා ගත යුතුයි. මානසික තත්ත්වයේ වෙනස් වීම් නිසා ඇයගේ ශරීරයේ හෝමෝන මට්ටම් වෙනස් විය හැකියි. එමගින් විවිධ රෝග ඇතිවීමේ අවස්ථාව උදාවෙනවා. පවුලක් නිරෝගී යැයි කියන්නේ පවුලේ මව නිරෝගීව සිටිනවා නම් පමණයි. එය තමයි ප්‍රධාන වෙන්නේ.ආයුර්වේදයේ සඳහන් වෙන්නේ යෝනි ව්‍යාපත් තත්ත්වයක් කාන්තාවකට ඇති විට එය දැන ගැනීමට පහසුම ලක්ෂණය නැතිනම් පේන්න තියෙන ලක්ෂණය තමයි ආර්තවයේ විකෘතිතා බව. ආර්තවයේ තියෙන වෙනස් කමක් නිසා, අඩු වැඩි වීමක් නිසා, ආර්තවය සිදු නොවීම නිසා, ආර්තවය වැඩියෙන් සිදුවීම නිසා, තමාගේ ශරීරයේ ජනනේන්ද්‍රීය පද්ධතිය සම්බන්ධයෙන් යම් රෝග තත්ත්වයක් තිබෙන බව කාන්තාවටම තේරුම් ගැනීමට පුළුවන්. ඊලඟට ඉස්සර කාලේ මවුවරු තම ගැහැණු දරුවන්ට නාන්න දෙන්නේ නැහැ ආර්තවය සිදුවන දින දෙ තුන තුලදී. නමුත් දැන් උපදෙස් දෙන්නේ ගොඩාක් පිරිසිදුව ඉන්න, ස්නානය කරන්න කියලයි. ආයුර්වේදයේ කොහෙවත් කියලා නැහැ මේ කාල සිමාවේදී නාන්න කියලා. එසේ වුවත් උණු වතුර භාවිතා කරලා ඇඟ සේදීමට අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම උණු වතුරෙන් නැමට වුවත් දැඩි තහංචියක් පනවලා නැහැ. ඒ හේතුවක් ඇතිව. මොකක්ද ඒ හේතුව කියනවා නම් උණුසුම් වතුර වලයි ඇල් වතුර වලයි විශාල ගුණාත්මක වෙනසක් තියෙනවා. උණු වතුර නැමෙන් සිරුරෙන් බැහැර වන රක්තය ඒ ලෙසටම බැහැර වෙනවා. නමුත් ඇල් වතුර නෑමේදී ශරීරයෙන් පිටවිය යුතු රක්තයෙන් යම් ප්‍රමාණයක් සිරුර තුලම රදවා ගැනීම සිදුවෙනවා. එකෙන් ආර්තව රුධිරය ගමන් කරනවා පැලෝපීය නාල හරහා ඩිම්බ කෝෂ දෙසට. එම රුධිරය ඩිම්බ කෝෂ මත තැන්පත් වීමට ඉඩක් මතු වෙනවා.එම තත්ත්වය හදුන්වන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන නමිනුයි. එනිසා ආර්තවය සිදුවන කාලය තුලදී කාන්තාව ක්‍රියා කල යුතු දේවල් සහ රැකිය යුතු පිළිවෙත් රැක ගැනීමට නොහැකි වුනොත් එයින් තවත් රෝගී තත්ත්වයන් ඇති වෙනවා. මෙවැනි දේවල් තමයි සමාජයේ ගොඩාක් තියෙන්නේ. එනිසා දැනුවත්භාවය ඉතාම වැදගත්. දැනට පරම්පරා දෙක තුනකට ඉහතදී මවුවරුන් සිටියේ නිවෙස් වලමයි. ඇය විසින් තම දියණීයන් දැනුවත් කලා ඉතා හොදින්. වැඩිවියට පත්වු තරුණියක් කල යුතු සහ නොකල යුතු දේවල් ගැන. නමුත් දැන් එවැනි මවුවරු නැහැ. බොහෝ මවුවරුන් රැකියා වල නිරත වී නිවෙස් වලට පැමිනෙන්නේ රෑ ‍බෝ වී බැවින් දරුවන්ට මේවැනි දේ දැන ගැනිමට අවස්ථාවක් නැති වෙලා තියෙනවා. 

වෙදැස: වෛද්‍යතුමියනි, බොහෝ කාන්තාවන් ගර්භාෂය ඉවත්කර ගැනීම්, ගර්භාෂය සොදා හැරීම් වැනි දේවල් සිදුකර ගැනීමට රෝහල් ගතවන අවස්ථා බහුලව අප අසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට ඇති ආයුර්වේද කියැවීම කුමක්ද?

පිළිතුර: ඇත්තටම රෝගී තත්ත්වයක් හේතු කොට නොගෙන කාන්තාවකගේ මාසිකව සිදුවන ආර්තවය නැතිනම් ඔසප්වීම ස්වාභාවිකව සම්පූර්ණයෙන්ම නැවතීම තමයි ආර්තවාභාවය කියන්නේ. මෙම සංසිද්ධිය සාමාන්‍යයෙන් කාන්තාවකට අවු 45-50ක් පමණ වන විට සිදුවීමට පටන් ගන්නවා. සමහර කාන්තාවන්ට ඊට පෙර  වයස් වලදීත් ආර්තවාභාවය ඇරඹෙන්න පුළුවන්. නමුත් පොදුවේ පිළිගන්නේ වයස අවුරුදු 50ක් පමන වන විට ආර්තවාභාවය සිදුවිම සම්පූර්ණ වන බවයි. ඒ කාලයේදී ශරීරයේ හෝමෝන ක්‍රියාවලියේ තදබල වෙනස්කම් ඇතිවන නිසා නවතින්නේම නැතිව ආර්තවය ඇතිවන්නට පුළුවන්, ඇඟ රත්වීම, අධිකව දහඩිය දැමිම, අධික ලෙස කේන්තියාම වැනි විවිධ ලක්ෂණ කාන්තාවන්ට පහල වෙන්න පුළුවන්. ඒක ස්වාභාවික දෙයක්. නමුත් එවැනි අවස්ථා වලදි බඩ සෝදනවා කියන එක නැතිනම් ගර්භාෂය ඉවත් කරනවා කියන එක වාගේ දෙවල් වලින් පස්සේ පසුකාලිනව වෙනත් අතුරු ආබාධ වලට මුහුණ දීමට සිදුවෙන්න පුළුවන් කාන්තාවන්ට. ඒ නිසා ඇත්තටම ආයුර්වේදයේ ක්‍රමය ගර්භාෂය ඉවත් කිරීමවත්, ගර්භාෂය සේදීමවත් නෙමෙයි. ඒ තියෙන ලක්ෂණ වලට පිළියම් කරලා ආයුර්වේදයේ සඳහන් වන ආර්තවාභාව කාලයේදී සිදුකල යුතු මානසික හා ශාරීරික ප්‍රතිකාර සිදුකිරීමයි. මෙහිදී සිදුවන්නේ අදාල සංකූලතා ඇතිවීමට බලපෑ හේතුවට ප්‍රතිකාර කිරීමයි. එම මූලධර්මයට අනූව අප විසින් සිදු කරණ ලද සායනික පරික්ෂණයක පර්යේෂණ පත්‍රිකාවක් සහ ප්‍රතිඵල එලි දක්වනු ලැබුවා මීට වසර දෙකකට පමණ පෙර. එම ප්‍රතිඵල වලට අනුව සැකසූ ඖෂධ අපි භාවීතා කරනවා අපගේ සායන වලට පැමිනෙන ආර්තවාභාව සමයේ පීඩා විදින කාන්තාවන්ට ප්‍රතිකාර කිරීමේදී. එය සම්පූර්ණයෙන්ම වාගේ සාර්ථක වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එමගින් එම කාන්තාවන්ගේ මානසික ව්‍යාකූලතා, අමතකවීම්, දහඩිය දැමීම් හා කේන්තී යාම් වැනි ලක්ෂණ සම්පූර්ණයෙන්ම වගේ සමනය වෙලා තියෙනවා. ඒ අනූව අපට නිගමනයකට එන්න පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර මගින් ශල්‍ය ප්‍රතිකාර වලට නොගොස් ඉහත තත්ත්වයනට සාර්ථක විසදුමක් ලබාගන්න පුළුවන් කියලා.    

වෙදැස: බොහෝ ‍ දෙමාපියන් තම දරුවන්ගේ නිරෝගිභාවය කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කරනවා. විශේෂයෙන් දැරියන් වැඩි වියට පත් වීමත් සමගම මවුවරුන් ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබදව දැඩිව අවධානයක් යොමු කරනවා. වැඩි වියට පත් වීමට පෙර දැරියන්ගේ ප්‍රජනන පද්ධතීන් ආශ්‍රිතව විශේෂයෙන් ඇතිවිය හැකි රෝග තත්ත්වයන් තියෙනවාද?

පිළිතුර: විශේෂයෙන් දරුවන්ට කිරිපණු රෝගය කියලා රෝග තත්ත්වයක් ඇතිවෙනවා. එය ආයුර්වේදයේ හඳුනාගන්නේ ක්‍රිමි රෝගයක් ලෙසයි. මෙම කිරි පණුවන් සඳහා ප්‍රතිකාර නොකර සිටීමේදී සුද යාම වැනි තත්ත්වයක් ඇතිවන්න පුළුවන් බාල දැරියන්ගේ. ඒසේ වන්නේ මෙම පණුවන් එම ප්‍රජනන මාර්ග වලත් ගමන් කොට ශ්ලේෂ්මල ස්‍රාවයක් ඇති කරන නිසා. ඒ ඇරෙන්න බාහිර පරිසරයේ අපිරිසිදු කම නිසා ඇතිවන යම් යම් රෝග මෙම දරුවන්ටත් ඇතිවෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි මව විසින් ගර්භණි සමයේදී ගත් විවිධ ආහාර වර්‍ග නිසා දරුවාගේ හොමෙනෙ මට්ටම් වල විවිධ සංකූලතා ඇතිවෙලා ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. මම දුකලා තියෙනවා වයස අවුරුදු එකේදීම ඔසප්වීම ඇරඹුණු කුඩා දියණියක්. එවැනි තත්ත්ව ගැන දෙමාපියන් සැලකිළිමත් විය යුතුයි.

වෙදැස: අස්ථි දිරායාම සහ ආර්ථවාභාවය අතර කිසියම් සම්බන්ධයක් ආයුර්වේදයේ දක්වා තිබෙනවාද? ඔබේ කියැවීම කුමක්ද මේ ගැන?

පිළිතුර: කිලි වැරීම ආර්ථවාභාවය ගැන ගොඩාක් දේවල් මූලග්‍රන්ථ වල සඳහන් වෙලා තියෙනවා. කිලි වැරීමත් සමඟම ඇරඹෙන්නේ කාන්තාව වයසට යාමයි. එහිදී දල්වනවා රතුඑලියක් කාන්තාවට දැන් ඔබ වයසට යාමට පටන් ගත්තාය කියලා. එසේ වයසට යාමත් සමගම ඇතිවන වෙනස්කම් හා විකෘතිතා පිරිමි කාන්තා දෙපාර්ශවයටම සාමාන්‍යයි. එසේ වයසට යන විට අස්ථි දුර්වල වීම වෙන්න පුළුවන්. ඒක අස්ථි වලට විතරක් බලපාන දෙයක් නොවෙයි මුළු ශරීරයටම බලපාන දෙයක්. සප්ත ධාතුන්ගේම ක්ෂය තත්ත්වය බලාපොරොත්තු වෙන්න වෙනවා වයසට යනකොට. ඒකයි ආයුර්වේදයේ රසායන චිකිත්සාවක් දක්වලා තියෙන්නේ. මෙම රසායන චිකිත්සාවේ තියෙනවා ගත යුතු ඖෂධ වර්ග හා ආහාරපාන ඒවාගේම අභ්‍යාස කලයුතු විහරණ ආදියත්. එහෙනම් ආයුර්වේදය අනුව ජීවත් වෙනවා නම් ආර්ථවාහරණයේ සිට ඇති වෙනවාය කියන මේ විශේෂ තත්ත්ව වලට මුහුණ නොදී සිටිමේ හැකියාව ලැබෙනවා. අනිත් කරුණ තමයි මම විශ්වාස කරන්නේ නැහැ ඔය වෙළඳ ප්‍රචාරණයේදී කියනවා වගේ ඔස්ටියොපොරෝසිස් කියන්නේ අස්ථි ඉතාම පහසුවෙන් බිදියන අවදානම් සහගතම රෝගයක් කියලා. ඔවුන් මේ තත්ත්වය තියෙනවාට වඩා වැඩි වර්ධනය කරලා දක්වනවා කියලයි මමනම් හිතන්නේ. මොකද ආයුර්වේදයේ ඔය නමින්ම ඔය රෝගය ගැන සඳහන් කරලා නැති වූනාට සප්ත ධාතුන් ක්ෂය වන කොට කල යුතු දේවල් දක්වලා තියෙනවානේ. ඒක එතරම්ම බලවත් රෝග තත්ත්වයක් නම් අනිවාර්යයෙන්ම ඒක ආයුර්වේදයේ විශේෂයෙන්ම සටහන් වෙලා තියෙන්න ඕනේ.

වෙදැස: අවසාන වශයෙන් වෛද්‍යතුමියට සමස්ත කාන්තාවන්ටම දිය යුතු යම් උපදේශයක් තියෙනවාද? ඒ වගේම ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද(ශික්ෂණ) රෝහලේ කාන්තා රෝග සායනය පිළිබදවත් යමක් සදහන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා

පිළිතුර: ඇත්තටම කාන්තාවන් ප්‍රධානවම තමන්ගේ ආහාරය පිළිබද සැලකිලිමත් විය යුතුමයි. අපි එහෙම පවසන්නේ අපි හමුවට එන බොහොමයක් රෝගී කාන්තාවන් විසින් පවසන දේ අනූවයි. වෙළදපොලේ තියෙන තරම් කෑම ගෙනැල්ලා කෑමට පුරුදු වෙලා තියෙනවා. එහෙම නෙමෙයි රැකියාවක නිරත නොවන කාන්තාවක් නම් ඇයට පුළුවන් වෙන්න ඕනේ රසායනික පොහොර භාවිතා නොකර තම පවුලේ අවශ්‍යතාවයට සරිලන පමණට එළවළු ටිකක් හදා ගන්න. අනිත් එක තමයි ආහාර රටාව, උදේට කනවා, ආයත් පැයකින් විතර තව මොනව හරි කනවා, දහයට විතර තේත් බොනවා, දවස තිස්සේම විටින් විට මොන මොනව හරි කන ගමන් තමයි ඉන්නේ. කිසිම පිළිවෙලක් නැහැ. ආහාර ගැනීමේ රටාවක් නැහැ. මේ නිසා කාන්තාවන්ට විවිධ රෝග ඇතිවීමේ පැහැදිලි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි ව්‍යායාම. ඉස්සර නම් අපේ ගෘහනියන්ට කරන්න වැඩ ගොඩාක් තිබුණා. පිටි කොටන්න, වී කොටන්න, දර පලන්න, තල කුරහන් අඹරන්න, මිරිස් ගලේ වැඩ කරන්න, ගෙවල් මිදුල් අතුගාන්න වැනි වැඩ කරන කොට අමුතුවෙන් ඒ අයට ව්‍යායාම කරන්න අවශ්‍ය වුනේ නැහැ. ඒ නිසාම ඇය සෞඛ්‍යය සම්පන්නව හා නිරෝගීව සිටියා. නමුත් අද එහෙම තත්ත්වයක් නැහැනේ. එයත් මේ කාන්තා රෝග බොහොමයකට හේතුව. හරියටම තමන් ගැන තමුන් සැලැකිලිමත් වෙනවා නම් මේ කිසිදු ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. කාන්තාව තමන් ගැන සැලකිලිමත් වෙනවා කියන්නේ නිරායාසයෙන්ම පවුලේ අන් අය ගැනත් සැලකිලිමත් වෙනවා කියන එකයි. කෙටියෙන්ම කියනවා නම් පවුලේ ගෘහනියගේ නිරෝගීභාවය ඇගේ පවුලේ අන් අයගේ නිරෝගීභාවයට හේතු වෙනවා, මග පාදනවා කියලා කියන්න පුළුවන්.ඒ නිසා කාන්තාව ආහාර හා විහරණ ගැන සැලකිලිමත් විය යුතුමයි.

 ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද(ශික්ෂණ) රෝහලේ අප විසින් පවත්වා ගෙන එනු ලබන කාන්තා රෝග සායනය ගැන පැවසුවහොත් කාන්තාවන්ට ඇතිවන සෑම රෝග තත්ත්වයකටම අපි මෙහිදී ප්‍රතිකාර ලබා දෙනවා. දරුඵල නොමැතිකම නිසා පීඩා විදින බොහෝ විවාහක යුවල් මධ්‍යම රාත්‍රියේ සිට පවා පැමිණ පොලීම් වල සිටිනවා ප්‍රතිකාර ලබා ගැනීමට. ඒ නිසා තරමක තදබදයක් පවා ඇතිවෙලා තියෙනවා. නමුත් අපේ සායනයේදී අපේ වෛද්‍ය කණ්ඩායම උපරිම උත්සහ දරනවා පැමිනෙන සියළුම දෙනාට ප්‍රතිකාර ලබා දීමට. අපේ වෛද්‍ය කණ්ඩායම ඒ පිළිබදව කැපවීමෙන් කටයුතු කරනවා. ඒවාගේම අපි සායන දින උදෑසන පොදුවේ සියළුම රෝගීන්ට දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනවා පැය ½ ක පමණ. එම දැනුවත් කිරීමේ වැඩසටහනක සම්බන්ධ වෙලා තමන්ට කුමක් හෝ ගැටළුවක් ඇති වුනා වෙලාවට එතැනදීම අසා නිවැරදි කර ගැනීමට අවස්ථාව සැලසෙනවා.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දරුඵල නොමැති වීම සදහා ප්‍රතිකාර ගැනීමට කටයුතු කිරීමේදී බටහිර හෝ අයුර්වේද වේවා සුදුසුම හා නිවැරදිම මාර්ගය තෝරාගන්න කියන එකයි. අපිට හමුවෙනවා රෝගීන් තම සේසතම නැතිකරගත් අය මෙම තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට ගිහිල්ලා. ඔවුන් විවිධ ප්‍රතිකාර විවිධ ස්ථාන වලින් අධික මිලක් ගෙවා ලබාගෙන තියෙනවා. පුවත්පත් වල, විද්‍යුත් මාධ්‍යය වලින් හා එක එක තැනැත්තා පවසන දේ අසා ඒ සෑම තැනකටම ගොස් හෙම්බත් වූ පසුව අප වෙත පැමිනෙන අය අපට හමුවී තියෙනවා. බොහෝ තැන්වල නිවැරදි ප්‍රතිකාරයක් නැහැ වගේම මූලික සෞඛ්‍යාරක්ෂිත පහසුකම්වත් නැහැ. ඒ නිසා ප්‍රතිකාර ගැනීමට යොමු වීමට පෙර නිවැරදිව සොයා බලා ඒ සදහා යොමුවන ලෙස ඉල්ලා සිටින්න කැමතියි. ඒ වාගේම විවිධ පුදපූජා  කරන්න, දේවාල වලට යෑමට හා විවිධ කටයුතු වලට එකවර විශාල මුදලක් වියදම් කරනවා. ආගමික කටයුතු වල යෙදීම හොදයි. නමුත් ඒ මාර්ග වලින් පමණක් මෙවැනි රෝග තත්ත්ව වලට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැහැ. මේකට කෙටි මාර්ග නැහැ. අප  සායන මගින් ගර්භාෂයේ තියෙන දුර්වලත සදහා ප්‍රතිකාර ගෙන ඒවා මගහරවා ගැනීමෙන් පසු බටහිර ප්‍රතිකාර මගින් ධාතු තැන්පත් කර ගැනීම වැනි ප්‍රතිකාර වලට ගොස් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් අයත් හුගක් සිටිනවා.