ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ නිවැරදිව සැකසු ඖෂධ වලින් පමණි………..

 

ආයුර්වේදය යනු එයටම අනන්‍යවූ සංකල්ප සහ මූලධර්ම රාශියකින් පෝෂණය වු වෛද්‍ය විද්‍යාවකි. ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන්ද එවැනිම අනන්‍ය සංකල්ප හා මූලධර්ම කොටසක් පවති. අනෙකුත් වෛද්‍ය ක්‍රම තුල ඖෂධ සම්බන්ධයෙන් දක්වා ඇති වැදගත්කමට සාපේක්ෂව වැඩි වැදගත්කමකින් සහ අවධානයකින් ඖෂධ ගැන ආයුර්වේද මුලග්‍රන්ථ වල විස්තර වන්නේ ඒ නිසාවෙනි. ආයුර්වේද ඖෂධ නිශ්පාදනය සම්බන්ධයෙන් තොරතුරු දක්වා ඇති ශාරාංගධර සංහිතාව නම් වු මූලග්‍රන්ථය පරිශිලනයෙන් මෙම‍ තොරතුරු සොයා ගත හැක. එහි අන්තර්ගත විශේෂත්වය වන්නේ ඖෂධ සහ ඖෂධ සංස්කරණ ක්‍රියාවලි සම්බන්ධයෙන් ගත් කල විශේෂයෙන් අවධානය යොමු නොවන අංශ කෙරෙහිද අවධානය යොමු කර තිබීමයි. නූතන බටහිර විද්‍යාවට අනූව  මෙම සුවිශේෂි  සංකල්ප සහ මූලධර්ම අවිද්‍යාත්මක යැයි විවිධ පාර්ශව විසින් අර්ථ නීරූපණය කරමින් පවතින අතර අප යෝජනා කරන්නේ එපරිද්දෙන්ම ඒවා බැහැර කල යුතු ඒවා නම් පර්යේෂණ කර ඔවුන් විසින්ම ඒ බැව් තහවුරු කල යුතුය යන්නයි. එසේ නොකොට ආයුර්වේදයේ දක්වා ඇති  විවිධ සංකල්ප සහ මූලධර්ම පදනමකින් තොරව ප්‍රතික්ෂේප කිරීම යුක්ති යුක්ත ‍නොවේ. නූතන මිනිස් බුද්ධියට සහ නිරික්ෂණයන්ට ගෝචර නොවන  සියල්ලම අවිද්‍යාත්මක යැයි නොසිතා මෙම කරුණු පිළිබඳව නිශ්චිත ක්‍රමවේද අනුගමනය කරමින් පර්යේෂණ සිදුකිරීම ඉතාම වැදගත් කාර්යයක් බව අප දකින්නේ එබැවිනි. එවැනි කාර්යයක් ඉටු නොකොට මෙම ආයුර්වේද නියමයන් සහ සංකල්ප ප්‍රතික්ෂේප කිරීම යථාර්තවාදී නොවන බව නැවතත් කිව යුතුය. මෙම සංකල්ප සහ න්‍යායයන් වල ඇති සත්‍යතාවය සහ සමාජ අදාලත්වය විචාර බුද්ධියෙන් යුතුව මේ දෙස බලන්නෙකුට/විමර්ෂණය කරන අයෙකුට පැහැදිලිව හඳුනා ගත හැකිය. එපමණක් නොව ශතවර්ෂ 20-25 පමණ මෙම කරුණු ප්‍රතික්ෂේප නොවී සමාජයන් තුල රැදී පවතින්නේ මේවා ප්‍රායෝගිකව  භාවිතයේදී යම් සාධනීය ප්‍රතිඵල අත් කර දී ඇති නිසාවෙන්ය යන කරුණද අමතක කර දැමිය නොහැක.

උද්භිද(ශාකමය), ජාන්තව(සත්ත්වමය) සහ පාර්ථිව(ඛණිජමය) යන ස්වාභාවික පරිසරයයෙන් සොයා ගත හැකි ප්‍රධානතම ද්‍රව්‍ය ප්‍රභේද පමණක් ආයුර්වේද ඖෂධ සංස්කරණයේදී භාවිතා කරන බැව් අප අමතක නොකර යුතුය. මෙම ද්‍රව්‍යයන්ගෙන් නිශ්පාදනය වන ඖෂධ වල ගුණ විචලනය වීම කෙරෙහි බලපාන පාරසරික, දේශගුණීක, භෞතික සහ පාරභෞතික සාධක හදුනා ගෙන ඒවායේ බලපෑම ඖෂධයේ අවසාන ගුණ ඵලයට හිතකර ආකාරයෙන් උපයෝගී කර ගැනීමට මෙම මුලධර්ම හා න්‍යායයන් තුලින් අපේක්ෂා කර ඇති බව අප සැවොම තේරුම් ගත යුතු කරුණකි. නුතන විද්‍යාවට තවමත් සාර්ථකව ස්පර්ෂ කිරීමට හැකි වි නැති මෙම අංශ ආයුර්වේදය නිවැරදිව කියවා ඒවායේ උපකාරයන් ලබා ගෙන තිබීම මෙම බටහිර විද්‍යාවේ නොසලකා හැරීමට හේතුව වන්නට පුළුවන.  පහතින් දැක්වෙනුයේ ඖෂධ නිශ්පාදන කාර්යයේදී සහ නිශ්පාදන කාර්යය සඳහා එක් රැස් කර ගැනීමේදී අනුගමනය කල යුතු යැයි/අවධානය යොමු කල යුතු යැයි ආයුර්වේද ශාරාංගධර සංහිතාව තුල දක්වා ඇති විශේෂිත තොරා‍ ගැනීම් පිළිබඳ පරිච්ඡේදයෙන් සැලකිය යුතු කිහිපයකි. මෙම විෂය කොටස ආයුර්වේදය තුල හඳුන්වා ඇත්තේ ඖෂධ ග්‍රහණ නිර්දේශ යන මාතෘකාව යටතේය. ඉතා පුළුල් සහ සංගත මාතෘකාවක් වන මෙය සම්පූර්ණයෙන්ම මේ ලිපිය තුලින් සාකච්ඡා කිරීමට අප අපේක්ෂා නොකරමු.  අපගේ අරමුණ වූයේ මේ ලිපි මාලාව තුලින් ආයූර්වේදය තුල ඇති අනන්‍ය වූ මුලධර්ම සහ සංකල්ප  පිළිබඳව යම් අදහසක් ඔබ වෙත ඉදිරිපත් කිරීමයි. බටහිර වේවා වෙනත් වෛද්‍ය ක්‍රමයකදි ඖෂධ නිශ්පාදනය සඳහා ද්‍රව්‍ය ග්‍රහණයේදී මෙවැනි කරුණු හෝ මෙයට සමාන කරුණු වලට ප්‍රවේශයක්  ලබා ගෙන තිබේදැයි සොයා බලනා මෙන් යොජනා කරමින් ශාරාංගධර සංහිතාවේ දක්වා ඇති කරුණු රාශියෙන් උපුටා ගත් මුලික කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමු.

  • සියළුම ඖෂධ කල්පනාවන්/ සංස්කරණයන් සඳහා ශුෂ්ක ද්‍රව්‍ය යෙදිය යුතුය. විශේෂිත අවස්ථා කිහිපයකදී හැර (ආර්ද්‍රතා‍වයෙන් යුක්ත වූ  ද්‍රව්‍ය අමුවෙන් ගත යුතුය) අන් සියළුම අවස්ථා වලදී හොදින් වියළුනු ද්‍රව්‍ය ඖෂධ නිශ්පාදනයට නිර්දේශ කර ඇත.
  • වර්ෂයකට නොවැඩි වියලි අළුත් ද්‍රව්‍ය ඖෂධ සංස්කරණයට ගත යුතුය. එනමුත් වළඟසාල්-තිප්පිලි දෙවර්ගය, ගුඩ, ගිතෙල්, මීපැණි යන ද්‍රව්‍ය වඩාත් ගුණ දායක වන්නේ එය පැරණි වීමත් සමගය.
  • ඖෂධ ‍රෝගීයාට ලබා දීමේදී ඖෂධ දිය යුතු කාලයක් නොදක්වා ඇති විට  උදෑසනින් ඖෂධ දිය යුතුය. ඖෂධ සඳහා ගත යුතු ද්‍රව්‍ය දක්වා නැති විට මුල් කොටස් ඖෂධ සඳහා ගත යුතුය. ප්‍රමාණ දක්වා නැති අවස්ථා වලදි සමභාගව ගත යුතුය. ඖෂධ ගත යුතු භාජනයක් දක්වා නැති විට මැටි භාජන වලද ඖෂධ ගත යුතුය. ඖෂධ ගත යුතු විශේෂිත අනුපාන දක්වා නැති විට ජලය සමගද තෛලයක් දක්වා ඇති මුත් නාමය සඳහන් කර නැති විට තලතෙල්ද ඖෂධ සඳහා ගත යුතු බව අවධාරණය කර ඇත.
  • චන්දන යනු රත්හඳුන් සහ සුදු හඳුන් යන වර්ග දෙකම හදුන්වන නමයි. ඖෂධ යොගයක චන්දන යන නම පමණක් ඇත්නම් ගන්නා ලෙස දක්වා ඇත්තේ රත් හඳුන්ය.
  • ඖෂධ යොගයකට  ලවන දක්වා ඇති මුත් නිශ්චිත නාමයක් දක්වා නැති විට  සෛන්ධව ලවණද, මුත්‍ර දක්වා ඇති විට ගෝමුත්‍රද, යකෘත් රස ක්ෂිර සහ ඝෘත පිණිස එළ ගව ගොම, කිරි සහ ගිතෙල් යෙදිමට දක්වා ඇත.  ක්ෂාර දක්වා ඇති විට යවක්ෂාර දක්වා ඇත.
  • එක් යොගයක ද්‍රව්‍ය දෙවරක් සඳහන්ව ඇතිනම් එම ද්‍රව්‍යය දෙවරක් කිරා ගත යුතු බව දක්වා ඇත.
  • හුඹස්, කුත්සික කැලි කසලාදී ලන ප්‍රදේශ, දිය සීරාව ඇති පුදේශ, සොහොන්, කරමැටි බිම්, මාර්ග යන ස්ථානයන් හී උපදනා ඖෂධ වර්ගද, කෘමි අග්නි සහ හිම ආදියෙන් විපත් වන ඖෂධද යොග සංස්කරණය සඳහා යොදා නොගත යුතුය.
  • සියළුම ඖෂධ නිශ්පාදන කාර්යය සඳහා ඖෂධ සොයා ගත යුත්තේ ශරත් කාලයේදීය. මෙයට ව්‍යාතිරේඛයක් ලෙස ඇත්තේ විරේක සහ වමණ යන පංචකර්ම කාර්යයන් සඳහා යොදා ගන්නා ඖෂධ සම්බන්ධයෙනි. ඒවා වසන්ත කාලයේ මුල් භාගයේදී ලබා ගත යුතුය. මෙම කාල නිර්ණය ඉදිරිපත් කර ඇත්තේ ආයුර්වේදයේ ආරම්භය සිදුවු ඉන්දියාව වැනි රටවල පැහැදිලි සෘතු භේදයක් දක්නට ඇති නිසාය. එම සෘතුන් අනූව ශාක වල සහ පරිසරයේ පැහැදිලි වෙනස්කම් සිදුවන  බව ශ්‍රි ලංකාව වැනි රටවල් තුල තියුණුව දැක ගත හැකි නොවුවත් එවැනි පරිසර තත්ත්වයන්ගේ වෙනස්වීම් නිසාද ද්‍රව්‍ය වල ගුණ වෙනස් වන බව ආයුර්වේදය විමසීමට ලක් කර ඇත.
  • ඖෂධීය ශාක වලින් ද්‍රව්‍ය ගැනීමේදී අති මහත් වූ මුල් වලින් පොතුද, වෘහත් මූල යුක්ත වු වට(නුග)- ආම්ර(අඹ) ආදී ශාක වල පොතු සුඹුළුද, කුඩා මුල් යුක්ත ඖෂධයන්හී මුල්-පත්‍ර-පුෂ්ප-ශාකාදී සමස්තයද, ඛදිර(රත්කිහිරිය)-අසන(ගම්මාලු)-බබ්බුලආදි ශාක වල අරටුවද, තාලිස(තලිස්) ශාක වල පත්‍රද, ත්‍රිඵලා(අරළු,බුළු.නෙල්ලි)- ප්‍රියංගු(පුවඟු)- කාකෝල(බදු)-මදන(කුකුරුමාන්) ආදියෙහි ගෙඩිද, ධාතකී(මලිත) ආදියෙහි මල්ද, ස්නූහී(දලුක්) ආදියෙහි කිරිද ගැනීමට විශේෂයෙන් දක්වා ඇත.
  • බොහෝ විට ඖෂධ ශාක වලින් තමන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට උපදෙස් දී ඇත්තේ පවිත්‍රව සුමනස්කව මනා වු දිනයන්හී උදය වරුවෙහි හිරුට මුහුණලා(නැගෙනහිර දිශාව බලා) උතුරු දීශා ගත ඖෂධ ද්‍රව්‍ය රැස් කර ගන්නා ලෙසයි. මෙම කරුණු වල විද්‍යාත්මක බව පරික්ෂණ වලින් තහවුරු කර ගත හැක. එසේ කිරීමෙන් අපට නොපෙනෙන අපට ගොචර නොවන දේ වල ඇත් සත්‍යතාවය අපට ස්ථිරවම තහවුරු කර ගත හැක.

අප දැක්වුයේ පොදුවේ ආයුර්වේද ඖෂධ සංස්කරණයේදී ඖෂධ ග්‍රහණයන් පිළිබඳව පොදුවේ දක්වා ඇති කරුණු රාශීයෙන් කිහිපයකි. යම් දල අදහසක් ගැනීමේ අරමුණෙන් සහ මුලික අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම කරුණූ දක්වා ඇති අතර මේ පිළිබඳව ගැඹූරින් සහ වැඩිදුර කරුණූ දැනගැනීමට අවශ්‍ය නම් ශාරංගධර සංහිතාව පරිශීලනය කරණා ලෙස අප යෝජනා‍ කරන්නේමු. මෙම කරුණු තුලින් පෙනි යන එක් වැදගත් උපමානයක් පිළිබඳ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. මෙම කරුණු සහ සංහිතා ග්‍රන්ථයේ අන්තර් ගත අනෙකුත් අවශේෂ කරුණු තුලින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිර්මාපකයන්ගේ පරිකල්පණය සහ අරමුණේ ඇති ගැඹුර ගැන හොද අදහසක් ගත හැකි බව අපගේ වැටහීමයි. තම  ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සඳහා යොදා ගන්නා සෑම දෙයකින්ම නැතිනම් වෛද්‍ය, රෝගී, ඖෂධ සහ උපස්ථායක(වෛද්‍යාදි චතුෂ්පාදය) යන අංග හතරෙන්ම රෝගීයාගේ උපරිම යහපත අත්කර දීමට කල යුතු සහ කලහැකි සියල්ල කිරීමට දරනා උත්සහයක් මේ තුලින් විද්‍යමාන වේ. නොඑසේනම් ඖෂධයක ගුණ අගුණ විචලනය වන කාලයන් සහ ස්ථාන පවා අවධාණයක් යොමු කිරීමට සිතක් පහල වන්නේ නැති බව අපගේ පිළිගැනීමයි. මෙවැනි අදහස් අවිද්‍යාත්මක යැයි පැවසීමම කොතරම් අනුවණ දැයි ඔබම සිතා බලන්න.

සුවිශේෂි සංකල්ප හා මුලධර්ඹ ඇති ආයුර්වේදයේ මාර්ගෝපදේශයන් අනුගමනය නොකර සකසනු ලබන ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ හෝ ප්‍රතිකාරයන් වෙත යොමුවී ඒවායින් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලද කල්හී සමස්ථ ආයුර්වේදයටම ගැරහීම හෝ අපහස කිරීමට පෙළඹි සිටින අයුරක්ද අපට දක්නට ලැබේ. සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් සිදු කරන  ශුද්ධ ආයුර්වේද ප්‍රතිකාරයන් තුල ඇති සාර්ථකභාවය ස්ථිර අතර එවැනි ස්ථිරත්වයක් අත් පත් කර ගත හැක්කේ මෙවැනි සුවිශේෂි අංශ කෙරෙහිද අවධානය යොමුකර නිශ්පාදනය කරණ ඖෂධ යොගයන්ගේ සහයද ලබා ගත් විට කිව යුතුය. වටිනා දේ දුර්ලභ වන්නා සේම වටිනා දේ සොයා ගැනීමට සහ සමාජයට දායාද කිරීමට කල යුතු කැපකිරීම සඳහා  ගෙවිය යුතු වටිනාකම අධික බව සියළු දෙනාම වටහා ගත යුතුය. ලාභ හො පහසු මාර්ග ඔස්සේ ගොස් නිසි ප්‍රතිඵල නොලබා අපේක්ෂාභංගත්වයට පත් විමට එවිට සිදුවන්නේ නැත. ආයුර්වේද ප්‍රතිකාර වලටද නිසි සමාජීය වටිනාකම ලබා දීමට සමාජය උත්සුක වන්නේ නම් ආයුර්වේදයේන් සමජයේ නිරෝගීභාවයට ලබා ගත හැකි සහයෝගය අති මහත් බව කිව හැකිය. නිසි වටිනාකමක් ලබා නොදී ඉහල ගුණාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කිරීම සාධාරණ නැත.

“ස්වස්ථ සිද්ධීම්”