ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
නිරෝගි සහ සැහැල්ලු ජීවිතයකට අත්‍යාවශ්‍ය නිවැරදි ආහාර රටාව සහ ජල පාන රටාව

වෛද්‍ය ජී.වී. චමින්ද ද සිල්වා මහතා අපගේ ජීවිත නිරෝගීව පවත්වා ගෙන යෑමට සිරුරට අවශ්‍ය පොෂණය එදිනෙදා ජීවිතයේදී අප ලබා ගන්නේ ආහාර මගිනි. එහෙත් වඩාත් නිවැරදිම ආහාර ගැනිමේ රටාව පිළිබඳව අවබොධයක් ඇත්තේ අපගෙන් කීයෙන් කීදෙනෙකුද? ඇත්තේන්ම නිවැරදිව සහ උපරිම ඵලදායිතාවයක් ලැබෙන පරිදි ආහාර ගැනීමට අප දැනුවත්ද? අප කෑම ගන්නා ක්‍රමය නිවැරදිද? නැතිනම් විද්‍යාත්මකද? බොහෝ දෙනෙකු නිවැරදි කැම රටාවේ වැදගත්කම පිළිබඳව වැඩි තැකීමක් කරනවාද?. නිවැරදි ආහාර ගැනීමේ රටාව සහ එහි ප්‍රයෝජන කොතරම් වැදගත්ද යන්න පුද්ගලයින් දන්නේ නම් සියල්ලන්ම නිවැරදි කෑම රටාව අනුගමනය කරනු නොඅනුමානය. අපට වැල‍ෙඳෙන බොහෝ නිදන්ගත රෝග වලට පදනම් වැටෙන්නේ මෙම ආහාර ගැනීමේ අක්‍රමවත්භාවයන් නිසා බැව් ඔබ දන්නවාද? නමුත් සත්‍යය එයයි. එනිසා නිරෝගි ජීවිතයක් අපේක්ෂා කරන අප සැමටම ඉතා පහසුවෙන් අනුගත විය හැකි නිවැරදි කෑම රටාව ගැන දැනුවත් වීම යොග්‍ය යැයි අප සිතුවෙමු. නිවැරදි කෑම රටාව සහ එහි ඵලප්‍රයෝජන පිළිබඳව මෙම ලිපිය සැකසෙන්නේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රීක්කයේ ඇල්පිටිය කොට්ඨාශ භාර ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ලෙස කටයුතු කරනා වෛද්‍ය ජී.වී. චමින්ද ද සිල්වා මහතා විසින් දේශනයකදි දැක්වු අදහස් ඇසුරෙනි.

ආහාර ගැනීම සම්බන්ධයෙන් පළමුව පැන නගින්නාවු වැදගත්ම පැණය වන්නේ අප ආහාර ගන්නේ ශරීරයට ආහාර අවශ්‍ය ම මොහොතේදිද යන්නයි. විශේෂයෙන් බොහෝ දෙනා උදෑසන ආහාරය ගැනිමේ වේලාව සම්බන්ධයෙන් දක්වන අවධානය ඉතාම අඩුය. බොහෝ දෙනෙකුට උදෑසන නිශ්චිත වේලාවකදි කුසගිනි නොදෑනීම නිසා උදෑසන තමන්ට කිරීමට ඇති රාජකාරි කටයුතු අවසන් විමෙන් පසු උදා ආහාරය ගැනිමට පෙළඹි සිටියි. එසේ තමන්ගේ උදැසන රාජකාරි අවසන් විමෙන් පසු ආහාරය ගැනීමට ගියහොත් යෙදෙන වැඩකටයුතු වල ස්වභාවය අනූව උදෑසන හතට, අටට, නමයට නැතිනම් උදෑසන දහයට පවා කෑම ගැනීමට සමහර විට සිදුවිය හැක. එනිසා එය නිවැරදි ක්‍රමය නොවේ. උදෑසන ආහාරය නිශ්චිත වේලාවකදී ගැනීමට පුරුදු වන්නේ නම් එය දිනය පුරා තමන්ගේ ඉදිරි කටයුතු හොදින් කරගෙන යාමට මනා රුකුලක් වේ. ගැටළුව වන්නේ ‍උදැසන ආහාරය ගැනීමට නිශ්චිත වේලාවක් සාදා ගැනීමට බොහෝ දෙනා අසමත් විමයි. උදැසනට කුසගිනි දැනෙනා නිශ්චිත වේලාවක් පහසුවෙන් සාදා ගත හැකිය. ඒ සඳහා පළමුව කල යුතු වන්නේ දින කිහිපයක් එකම වේලාවකදි උදෑසන ආහාරය ගැනීමට කටයුතු කිරීමයි. එසේ එක වේලාවකදි දින කිහිපයක් නොකඩවා උදෑසන ආහාරය ගැනීමට කටයුතු කලහොත් නොදැනිම එය ක්‍රමිකව අවශ්‍යතාවයක් බවට පත්වේ. පසුව සෑම දිනකම ශරීරය එම වේලාවේදී උදෑසන ආහාරය ඉල්ලා සිටමට පටන් ගනි. වෙනත් වචන වලින් කියන්නේ නම් උදෑසන කුසගිනි දැනේනා නිශ්චිත වේලාව බවට එම වේලාව පත්කරගනි.
eat and hungryඇත්ත වශයෙන්ම අප ආහාර ගත යුතු වන්නේ දවසේ අපට පහසු වේලාව අනූව නොව අපට කුසගින්න දැනෙන්නාවු වේලාව අනූවයි. කුසගිනි වීම/දැනීම ආහාර ගැනීමට අප යොමු වීම සඳහා තෘප්ත විය යුතු ප්‍රමුඛතම සාධකයයි. නමුත් මෙහිදි දිනයේ නිශ්චිත වේලාවට ආහාර ගැනීමට පුරුදුවී සිටියත් කුසගිනි නැතිනම් එම අවස්ථාවේදි ආහාර ගැනීමෙන් ආහාරයෙන් බලාපොරාත්තු වන්නාවු සැබෑ අරමුණු ඉටු වන්නේද නැත. අරමුණු ඉටු නොවනවා සේම හානිකර ප්‍රතිඵලද ඇතිවිය හැකිය. එනිසා නිවැරදි ආහාර රටාව හඳුනා ගැනීමේදී පළමුව අප අවධානයට ගත යුතු කරුණ වන්නේ කුසගිනි ඇතිවිටදි ආහාර ගැනිමට යොමුවීමයි. එපමණක් නොව පිපාසය දැනෙනා මොහොත දිය බීමට හොඳම මොහොත බවද මතක තබා ගත යුතුය. කුසගින්න හො පිපාසය දැනීම ආහාර ගැනීමට හෝ දියබීමට යොමුවීමට අපව යොමුකරවන සංඥා ලෙස ගත්තද වරදක් නැත. වර්තමාන සමාජ ක්‍රමය තුල අප හේතුන් ඇතිව හෝ නැතිව කාර්යබහුල ජීවන පැවැත්මකට යොමුවි ඇත. එම අධිවේගි ජිවිත තුල අපට අපගේ කටයුතු සඳහා පැවතිය යුතු යහපත් සිහිය පවා පවත්වා ගැනීමට අමතක වී ඇත. බොහෝ විට එකවර කාර්යයන් දෙකක් හෝ තුනකට මැදිවි කටයුතු කරන අය දැක ගත හැක. දුරකතනයට පිළිතුරු දෙමින් මහමග ගමන් ගන්නා බොහෝ අය සිටි. එපමණක් නොව ගුවන් විදුලියට සවන් දෙමින් පාඩම් කටයුතු වල නිරතවන අයද සිටියි. මෙහිදි එකදු කාර්යයකටවත් පුර්ණ අවධානය යොම කිරීමට හැකිවන්නේ නැත. මෙම තත්ත්වය අහාර ගැනීමේදීද දැක ගත හැක. විශේෂයෙන් රූපවාහිනිය නරඹමින්, ගුවන්විදුලියට සවන්දෙමින්, දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින්, නැතිනම් පුවත්පතක් බලමින් හෝ ආහාර ගන්නා අය ඔබ කොතෙකුත් දැක ඇතිය. මෙසේ හොඳ අවධානයක් හෝ සිහියක් නොමැතිව වෙන වෙන කටයුතු eat and watchවලද නිරත වෙමින් ආහාර ගැනීම කිසිසේත්ම නිවැරදි ක්‍රමය වන්නේ නැත. ‍මක්නිසාද අප ආහාර ගත යුත්තේ ගනු ලබන ආහාරය ගැන දැනගෙන එය රසවිදිමින්ය. ආහාරයේ පෝෂණය නිවැරදිව සිරුරට අවශෝෂණය වන්නේ එවිටය. එසේම යහපත් සිතුවිලි වලින්ද යුක්තව ආහාර ගැනීම කල යුතුයි. ක්‍රෝධය, වෛරය, ශෝකය හෝ බය වැනි සෘණාත්මක සිතුවිලි සහ ආවේග සහිතව සිටිනා විට අප ගන්නා ආහාරයේ දිරවීම පවා මන්දනය වේ. මොකද එම ආවේග හේතුවෙන් අපගේ ජීර්ණ ශක්තිය හීන කරනු ලබන බැවිනි.
දැකීමට පවා අප්‍රසන්න කරවන සිදුවීමක් වන්නේ සමහරුන් ඉතා ඉක්මනින් ඉක්මනින් ආහාර ගැනීමයි. එසේම සමහරු ආහාර ගන්නේ ඉතා සෙමිනි. එවැනි දරුවන්ට මවුවරුන් නිතරම පවසන්නේ අත ගගා සිටින්නේ නැතිව ඉක්මනට කෑම කන ලෙසයි. ආහාර ගැනිමේ වේගය ගැන නිවැරදි කෑම ගැනීමේ රටාව තුල පිළිගන්නා මතය ඉතාම පැහැදිලිය. ඇත්ත වශයෙන්ම වෙලාව බල බල ආහාර ගැනීමට කිසිවෙකුටත් නොහැකි අතර එය නිවැරදිද නොවේ. වේගයෙන් ආහාර ගැනීම නිසා අප ගන්නා ආහාරයේ ප්‍රමාණය ගැන අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වනවා සේම ගත් ආහාර පවා නිසි පරිදි ආහාර මාර්ගය දිගේ ගමන් කරන්නේ නැති වන්නේය. මේ නිසා ආහාර ජීර්ණය විමේ ක්‍රියාවලිය ආරම්භයේදීම විකෘති විම සිදුවේ.

අප ගන්නා ආහාර ආහාර මාර්ගය දිගේ ගමන් කරන්නේ කෙසේද?

ආහාර මාර්ගය දිගේ ආහාර පහලට ගමන් කිරීමේ ක්‍රමය අප හඳුන්වන්නේ ක්‍රමාකුංචනය(Peristaltic movements) යන නමිනි. ගනු ලබන ආහාරය ආහාර මාර්ග‍ය දිගේ පහලට ගමන් කරනුයේ ආහාරයේ බර නිසාම නොවේ. ආහාර මාර්ගය සැදී ඇත්තේ ඉහිල් වීමටත් හැකිලීමටත් හැකිවන පරිද්දෙනි. මුඛයෙන් ගන්නා ආහාර ආහාර මාර්ගයට ඇතුළු වීමත් සමග ආහාර කොටස ඇති තැනට ඉදිරියෙන් ඉහිල් වේ. ආහාරය එම තැනට යන්නේ ආහාරය ඇති තැන හැකිලීම නිසාය. මේ ආකාරයට ආහාරය ඉදිරියට යන්නේ ආහාර මාර්ගයේ ආහාරය ඇති තැනට ඉදිරියෙන් ඉහිල්වීමත් ආහාරය ඇති තැන හැකිලීමත් නිසා ඇතිකරනා තෙරපුම් බලය නිසාවෙනි. මෙය ආහාරය ගලනාලය දිගේ ආමාශය දක්වා යන තෙක්ම අනිච්ඡානුගව සිදුවන්නාවු ක්‍රියාවලියක් වන අතර එය රිද්මයකට සිදුවන්නකි.
peristaltic movementsඅප ආහාර අධිවේගයෙන් ගිලගෙන ගිලගෙන ගිය හොත් සිදුවන දේ ඉතා පහසුවෙන් දැන් තේරුම් ගත හැකිය. ආහාර මාර්ගය ඔස්සේ ආහාර ගමන් කරන්නේ යම්කිසි රිද්මයකට නිසා ලඟ ලඟ ආහාර ගැනීමෙන් ආහාර මාර්ගය දිගේ ආහාර කොටස් තැන් තැන් වල හිරවිය හැකියි. අප වේගයෙන් ආහාර ගන්නා විට ආහාර හිරවන්නේ ඒ නිසාවෙනි. ආහාර මාර්ග නාලයට ඉහිල් වීමට සහ හැකිලීමට අපහසුවීම ආහාර කොටස් විශාල වශයෙන් නාලයේ රැස් වීම නිසා සිදුවන්නකි. එසේම ඉතාම සෙමින් ආහාර ගැනීම සිදුකල හොත් වන්නේද එවැනිම දෙයකි. එහිදි වන්නේ එක් ආහාර කොටසක් ආහාර මාර්ග‍ය දිගේ ගමන්කර ජීර්ණ ක්‍රියාවලිය ඇරඹී සෑහෙන වෙලාවකට පස්සේ තව ආහාර කොටසක් මාර්ගයට ඇතුළු වීමයි. මේ නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය පවත්නේ විවිධ මට්ටම් වලයි. ඒකාකාරව සම්පූර්ණ ආහාරය ජීර්ණයක් සිදුවන්නේ නැහැ. මේ අවස්ථාවේදීත් සිදුවන්නේ ආහාරය ජීර්ණය වීමේ විකෘතියකි. එයත් හානිකර ප්‍රතිඵල අත්කර දෙන තත්ත්වයකි.
වඩාත් සුදුසු සහ වඩාත් නිවැරදි ආහාර ගැනීමේ වේගය සැකසෙන්නේ ඔරලොසුව අනුව නොව ආහාර ගන්නා පුද්ගලයා අනුවය. හොදින් ආහාර කොටස් ටික මිශ්‍ර කර මුඛයට ගෙන සියුම් කොටස් බවට පත් වන තුරු මුඛය තුල තබාගෙන සැපිය යුතුය. සියුම් තත්ත්වයට පත්වූ පසු ගිලීම කල යුතුය. ඊලඟ ආහාර කොටස් ටික මිශ්‍ර කර ගන්නේ ඉන් පසුවය. මුඛයට ගත යුත්තේ ඊටත් පසුවය. ආහාර අනන/මිශ්‍ර කර ගන්නා අවස්ථාවේදී ආහාර මුඛය තුල නොතිබිය යුතු වනවා සේම ආහාර මුඛය තුල ඇති අවස්ථාවේදී ආහාර මිශ්‍රකිරීම/ඇනීමද නොකල යුත්තේය. මේ කාල පරතරය පවත්වා ගන්නේ නම් එය ආහාර ගැනීමේ අඩුත් නොවන වැඩිත් නොවන වේගය වශයෙන් දැක්විය හැක.

නියමිත ප්‍රමාණයට ආහාර ගත්තේ නම් ශරීරය මෙන්ම මනසද සැහැල්ලුවේ.

කුසගින්න සංසිදීම නිසා ශරීරයට මෙන්ම මනසටද සැහැල්ලු බවක් දැනිය යුතුයි. කුසගින්නේ සිටීම නිසා ශරීරය විඩාවට පත්වේ. එනිසා මනසද විඩාපත්වේ. කුසගිනි දැනී ඇති විට ආහාර ගැනීමට පටන් ගැනීමත් සමගම මනස සැහැල්ලු වීමට පටන් ගනී. නියමිත ප්‍රමාණයට ආහාර සිරුරට ලැබුනූ විට කුසගින්න සම්පූර්ණයෙන් සංසි‍ෙඳේ. කුසගින්න සංසිඳුණු පසුද ආහාර ගැනීම සුදුසු වන්නේ නැත. එසේ කුසගින්න සංසිඳුනු පසුත් ආහාර ගතහොත් විවිධ ශාරීරික අපහසුතා ඇතිවේ. උදරය ඉදිරියට නෙ‍රා ඒම, සිරුරට බර ගතියක් දැනීම, සිරුරට අපහසුවක් දැනීම, හුස්ම ගැනීමේ අපහසුව ඇතිවීම, දෑලවර හිරවෙන්නාක් මෙන් දැනීම,. නැගිට සිටීමට හිඳගෙන සිටීමට පමණක් නොව ඇවිදීමට පවා අපහසු විම එවිට ඇතිවන තත්ත්වයන්ය. එනිසා එවැනි ලක්ෂණ දැනෙන්නට පෙර ආහාර ගැනීම නතර කිරීමට පුරුදු විය යුතුය. මක් නිසාද ඒ වන විට කුසගින්නද සංසිඳි වැඩිපුරත් ආහාර සිරුරට ලැබී තිබේ. ඒ කියනුයේ ප්‍රමාණය ඉක්මවා ආහාර ගෙන ඇති බවයි. එසේම කුසගින්න සංසිදීමට පෙර(සිරුරට අවශ්‍යම ප්‍රමාණය ලැබීමට පෙර) ආහාර ගැනීම නතර කිරීමද නිශ්ප්‍රයොජනවත්ය.
ආහාර කුසගින්න සම්පූර්ණයෙන්ම සංසිදීමට පමණක් ප්‍රමාණවත් වන තරමට ගතයුතු වන්නේ ඇයිද යන්න මෙහිදි ඇතිවිය හැකි අතුරු පැණයකි. ඉහත අප පැහැදිලි කල ආකාරයට ආහාර ගැනීම පටන් ගැනීමට හොඳම වේලාව යනු කුසගින්න හොදින්ම දැණුනු වේලාවයි. ආහාර ගැනීමට පටන් ගත් මොහොතේ සිට ටිකෙන් ටික කුසගින්න මානසිකවත් ශාරිරිකවත් පහවීම ඇරඹෙන අතර එක් මොහොතකදි කුසගින්න සම්පූර්ණයෙන්ම මානසිකවත් ශාරීරිකවත් පහව යයි. මේ හැඟීම ඇතිවන මොහොත දක්වා ගත් ආහාර ප්‍රමාණය අඩුත් නොවන වැඩිත් නොවන කුසගින්න සංසිඳවීමට අවශ්‍ය නියමිත ආහාර ප්‍රමාණය වේ. කුසගින්න සම්පූර්ණයෙන්ම සංසිඳවිය යුතු වන්නේ එනිසාවෙනි. පුද්ගලයා ඒ මොහොතේ ගනු ලබන ආහාර වර්ගය අනූව කුසගින්න සම්පූර්ණයෙන්ම සංසිඳවීමට අවශ්‍ය ආහාර ප්‍රමාණයද වෙනස් වේ. උදාහරණයක් ලෙස ඉඳිආප්ප වැනි සැහැල්ලු ආහාරයක් ගන්නා අයෙකුට කුසගින්න සංසිඳවීමට බොහෝ කෑමට සිදුවිය හැක. එසේම බත් වැනි දෙයක් කන අයෙකුගේ අවශ්‍ය ආහාර ප්‍රමාණය ඊට වඩා අඩුවිය හැකිය. එසේම කිරිබත් හෝ තෙල් දමා පිසූ ආහාර ගන්නා විට කුසගින්න සංසිඳවීමට අවශ්‍ය ආහාර ප්‍රමාණය සෑහෙන අඩුවිය හැකියි. එසේම ආහාර වර්ගය අනුව වාගේම ආහාර ගන්නා පුද්ගලයාගේ ස්වභාවය අනුවද ආහාර ප්‍රමාණය වෙනස් වේ. එබැවින් වඩාත් යෝග්‍යම ප්‍රමාණය වන්නේ කුසගින්න ඇතිවෙන අවස්ථාවේදීම ආහාර ගැනීම අරඹා කුසගින්න සන් සි‍ඳෙනවාත් සමගම ආහාර ගැනීම අත්සිටුවීමයි.

ආහාර ගැනීමෙන් පසු යම් වේලාවක් විවේකීව සිටීම අත්‍යාවශ්‍යය.

නිවැරදි ක්‍රමය වන්නේ කෑමෙන් පසු පැය ½ ක් වත් විවේකයෙන් සිටීමයි. මෙම විවේකය යනු නිදා ගැනීම නොවන බව පැහැදිලිව කිව යුතුය. එම කාලය තුල ටික වේලාවක් වත් ඇවිදිය යුතුය. අවම වශයෙන් පියවර 100ක් වත් ඇවිදිය හැකි නම් එය ඉතාමත් වටින්නේය. ඊට වඩා ඇවිදිය හැකි නම් වඩාත් හොඳය. නමුත් මෙම ඇවිදීම දිවීමවත් හයියෙන් හයියෙන් ඇවිදීමවත් නොවෙයි. කල යුත්තේ සෙමෙන් සෙමෙන් ඇවිදීමයි. මෙම ක්‍රියාව ආහාර දිරවීමේ ක්‍රියාවලියට ඉතා උපකාර වන්නකි. සෙමින් සෙමින් ඇවිදීම නිසා අප ගත් ආහාරය ආමාශය තුලදී ක්‍රමාණුකූලව මිශ්‍රවීම සිදුවේ. මෙම මිශ්‍රවීම නිසා ආහාර ජීර්ණය වීම සඳහා අවශ්‍ය එන්සයිම සහ ආහාර කොටස් හොඳින් මිශ්‍රවීමද සිදුවේ. මෙම මිශ්‍රවීම අනුක මට්ටම දක්වා සිදුවීම ජීර්ණ කාර්යය සිදුවීමට අත්‍යාවශ්‍යයි. සෙමින් ඇවිදීම නිසා රිද්මයානුකූල සියුම් කම්පන ආමාශ බිත්තියේ සහ ඒ ආශ්‍රිත මාංශපේෂීන් වල ඇතිවේ. මෙය සිදුවන්නේ මාංශපේ‍ෂීන් සියුම්ව හැකිලීම සහ දිගහැරීම නිසාවෙනුයි. වේගයෙන් ඇවිදීම නිසා හෝ දිවීම නිසා මෙය සිදුවන්නේ විපරීත ආකාරයෙනුයි. අක්‍රමවත් අපහසු චලනයක් තමයි ආමාශය තුල සිදුවන්නේ. මෙහිදී මිශ්‍ර වීමකට වඩා වේගයෙන් ආහාර කොටස් ආමාශ බිත්තියේ වැදීම සිදුවේ. පුද්ගලයාට උදරයේ අපහසුතා, බඩ කොරවීම වැනි අපහසුතා දැනෙන්න පටන් ගන්නේ එවිටය.
eat and drinkනිවැරදි සම්පුර්ණ ආහාර රටාව වන්නේ මෙයයි. මෙහිදී අවධානයට ලක් කල යුතු තවත් අමතර කරුණක්ද ඇත. එනම් ආහාර ගන්නා අතරතුර ජලය පානය කිරීම කොතරම් යෝග්‍යදැයි නැතිනම් සුදුසුදැයි යන කරුණයි. පොදුවේ ගත් කල ආහාර ගන්නා අතරතුර ජලය පානය කිරීම හොඳ පුරුද්දක් වන්නේ නැත. නමුත් සමහර අයට ආහාර ගන්නා අතර තුර වතුර බීමේ අවශ්‍යතාවය ඇතිවේ. එවිට වතුර පානය කිරීම හැර වෙන විකල්පයක් නැති අතර වතුර පානය නොකර සිටියොත් ඒ අවස්ථාවලදී ආහාර හිරවී දැඩි දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවේ.

ඇත්ත වශයෙන්ම විය යුත්තේ කුමක්ද?

දිනකට පුද්ගලයෙකුගේ සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය ගැන විවිධ අදහස් බටහිර වෛද්‍ය ක්‍රමය තුල ඇත. දිනකට සිරුරට අවශ්‍ය ප්‍රමාණය මෙපමණ යැයි නිශ්චිතවම පැවසිය නොහැක්කේ එය වෙනස් විය හැකි බැවිනි. පුද්ගලයා අනුව(වාත, පිත්ත සහ කඵ යන දේහ ප්‍රකෘතීන් අනුව), ජීවත් වන පරිසරය අනුව(උෂ්ණ හෝ ශීත පරිසරය), දවසේ සිදුකරනා කාර්යයන් අනුව(එලිමහනේ බරවැඩ කිරිම හෝ වායුසමනය කරණ ලද කාමරයක් තුල කය නොවෙහෙසවා වැඩ කිරීම) සහ තවත් බොහෝ හේතූන් නිසා සිරුරට අවශ්‍ය වන ජල ප්‍රමාණයත් අවශ්‍ය වන වේලාවනුත් වෙනස් වන්නේය. එනිසා ජලය පානයට සුදුසුම සංඥාව වන්නේ පිපාසය දැනෙනා මොහොතයි. එසේ නොකර එක වරකදී අධිකව ජලය පානය කර සිටීම නිවැරදි නොවේ. උදාහරණයක් වශයෙන් උදෑසනින්ම වතුර විශාල ප්‍රමාණයක් පානය කොට දිනයේ ඉතිරි වේලාව තුල ජලය පානය කිරීමෙන් හැකිතාක් වැලකී සිටීමවත්, දිනය පුරා පිපාසයෙන් සිට අවසානයේ අධිකව ජලය පානය කිරීමවත් මෙයින් අදහස් නොකෙරේ. කල යුත්තේ දිනය පුරාම ජලය පානය කිරීමයි. එසේ නොකීරීම නිසා ශරීර අභ්‍යන්තරයේ වියලි තත්ත්වයක් ඇතිවේ. පිපාසය සහ තොලකට වියලීම දැනෙන්නේ සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ජලය ප්‍රමාණවත්ව නොලැබී යාම නිසාවෙනි. පළමුව දැනෙන්නේ පිපාසයයි. තොලකට වේලෙන්නේ පිපාසය දැනුනු විට thirstyජලය පානය නොකර සිටිය විටදීය. පිපාසය යනු ජලය සිරුරට අවශ්‍ය බව දන්වන සුහද සඥාවක් නම් තොලකට වියලීම යනු සිරුරට ජලය අවශ්‍ය බව දන්වන අනතුරු සඥාවකි. තොලකට වියලීම යනු ශරීර අවයව සහ ඉන්ද්‍රීන් ජලය නොමැතිව අකර්මන්‍ය වීමට පටන් ගන්නා බව දනවන භයානක සංඥාවයි. එනිසා තොලකට වියලෙන තුරු නොසිට පිපාසය දැනෙනා විටදීම සම්පුර්ණයෙන් පිපාසය සංසිදෙන තෙක් ජලය පානය කොට අවධානම් තත්ත්වයට පත්වී සිටීමෙන් වැලකී සිටීමද අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතු ක්‍රියාවකි. සමහරුන් ආහාර ගැනීමෙන් පසුව පමණක් ජලය විශාල ප්‍රමාණයක් පානයට පුරුදුව සිටිති. ඇත්තවශයෙන්ම මෙයද නරක පුරුද්දකි. ආහාර ගැනීමෙන් පසු පානය කල යුත්තේ ජලය මධ්‍යස්ථ ප්‍රමාණයකි. අප ගන්නා ආහාරය ආහාර මාර්ගය දිගේ ගමන් කරනා විට ආහාර මාර්ග බිත්තියේ ඇති තෙත් බව නිසා පහසුවෙන් ක්‍රමාකුංචණ චලනයන් සිදුවීම සිදුවේ. එසේම ආහාරය ආහාර මාර්ගය දිගේ ගමන් කරනුයේද මෙම තෙත් බව ආහාරයට උරාගනිමින්මය. ප්‍රමාණවත් තරම් ‍ජලය සිරුරේ නොමැති නම් මෙම ආහාර මාර්ග බිත්තිය තෙත් කිරීමට ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක්ද පවතින්නේ නැත. සමහර විට ජල ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ ආහාර මාර්ගය දිගේ පහලට ගමන් කරනා ආහාරයෙන් යම් කොටසක් පමණක් තෙත් කිරීමට වන්නට පුළුවන. මෙහිදි ඉතිරි කොටස් ආහාර මාර්ගයට පිවිසෙන විට ආහාර මාර්ග බිත්තිය වියලි මතුපිටක් බවට පත්වේ. එවිට නියමිත පරිදි ආහාරයට ක්‍රමාකුංචණ චලනයන් පවත්වා ගනිමින් පහලට ගමන් කිරීමට අපහසුද වේ. තෙත් නොවීම නිසා නියමිත මෘදුබවට පත් නොවු ආහාර හිරිවීමට මෙයද හේතුවත් වේ. තවද ආමාශයේදි රිද්මයානුකූල චලනයන් ඇතිවීමට මෙය බාධාවක්ද වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර ජීර්ණයද විකෘත වේ. වේගයෙන් වේගයෙන් කෑම වගේම මෙම ජලය ප්‍රමාණවත්ව නැතිවීමද ආහාර හිර වීමට හේතුවේ. එවිට අනිවාර්යයෙන්ම ආහාරය අතරතුර ජලය පානය කිරීමට සිදුවේ. මීට විසඳුම වන්නේ දිනය පුරාම පිපාසය එන සෑම මොහොතකදීම එම වේගය දරානොසිට ජලය පානය කිරීමයි.
උදෑසන හිස්බඩ ජලය පානය කිරීම ඉතාමත් වටිනා පුරුද්දකි. මෙම ජලය ආහාරයක් වනවා සේම අභ්‍යන්තර ඉන්ද්‍රීන් පිරිසිදු කරනා පිරිසිදු කාරකයක්ද වේ. එපමණක් නොව මෙම ජලය රාත්‍රීකාලය පුරා සෙමින් සෙමින් ක්‍රියාත්මක වූ අපගේ ඉන්ද්‍රීයන්ට සහ අවයවයන්ට උදෑසන නැවතත් සුපුරුදු වේගයෙන් ක්‍රියාත්මක වීමට සංඥාවක් ගෙනයන මාධ්‍යයක්ද වේ. අම්ල පිත්තය නොඑසේනම් ගැස්ට්‍රයිටිස් යන නාමයෙන් හඳුන්වන සුලබ රෝගි තත්ත්වය ඇති නොවීමටද උදෑසන ජල පානය මනා උපකාරයක් වේ. එපමණක් නොව බොහෝ දෙනා උදෑසන මුහුණදෙන බැරෑරුම් ගැටළුවක් වන මලබද්ධයටද ‍ප්‍රායෝගික විසඳුම වන්නේ මෙම ජලය පානයයි. රාත්‍රීකාලය පුරා බාහිරයෙන් ජලය නොලැබෙන නිසා සිරුරේ අභ්‍යන්තර ක්‍රියාවන්ට අවශ්‍ය ජලය සපයා ගැනීමට ආහාර මාර්ගය තුල ඇති ආහාරයේ ජලය හැකිතාක් සිරුරට උරා ගැනීම සිදුවිය හැකිය. එහිදි පෙර දින පුද්ගලයා ගත් ආහාර වල මල‍කොටස් වල ඇති ජල ප්‍රමාණයද උරාගැනීමට සිදුවිය හැකිය. එහිදී උදෑසන වන විට ආහාර මාර්ගයේ කෙළවර ඇතිවන්නේ පහසුවෙන් පිටවිය හැකි තෙත් මෘදු මල කොටස් නොව වියලි රළු මල කොටස්ය. මෙම මල පහසුවෙන් පිටකල හැකි නොවේ. කෘතිමව යම් උත්ප්‍රේරකයක් නොදුනහොත් එම මල මලාශය තුල එකතු වි පවති. මල බද්ධය යනුවෙන් හඳුන්වන්නේ මෙයයි.
දහවල් කාලය පුරා ආමාශ කුහරය ඉහිල්වී පැවතියත් රාත්‍රීයේදී නිදා ගැනීමෙන් පසු අපගේ ආමාශය හැකිලී යයි. ආමාශ කුහරය හැකිළි පැවතීම නිසා උදෑසන අවදි වීමත් සමගම පානය කරනු ලබන ජලය ආමාශ කුහරයට සම්පූර්ණයෙන්ම පිරෙන්නේ නැත. යම් කොටසක් සෙමින් සෙමින් ආමාශ කුහරයට පිරෙනා විට තව කොටසක් ආමාශයෙන් පහලට ගමන් කරයි. ආමාශයෙන් පහල පවතිනා ආහාර මාර්ගය සුද්ධ කරමින් වියලි ඇති ආහාර මාර්ග බිත්තින් කෙළවරටම තෙත් කරන්නේ මෙම ජලය කොටසයි. මෙසේ තෙත් වු ආහාරමාර්ග බිත්තිය මගින් ආහාර මාර්ගය කෙළවර ඇති වියලි මල කොටස්ද තෙත් කර පහසුවෙන් පිටවිමේ මාර්ගය සකස් කරයි. උදෑසන පානය කරනා ජලය මලබද්ධය වලක්වා වැසිකිලි යාම පහසු කරවන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරන බව පවසන්නේ මේ නිසාවෙනි
නිවැරදි ආහාර රටාව මෙන්ම නිවැරදි ජල පාන රටාවද අනුගමනය කරන්නේ නම් පුද්ගලයාට බොහෝ සෙයින් නිරෝගී සහ සැහැල්ලු ජීවිතයක් එදිනෙදා ගත කිරීමට හැකි වන බව මෙයින් ඔබට වැටහෙනු ඇත. අවශ්‍ය වන්නේ ඒ පිළිබඳව දැනුවත් වීම සහ ඒ අනුව ක්‍රියාත්මක වීම පමණි.
ස්තුතියි.