ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
දේශීය චිකිත්සා ක්‍රම‍යේ ‍‍‍ඓතිහාසික පසුබිම හා විකාශනය (දෙවන ‍‍‍කොටස)

පො‍ළොන්නරු යුගය…….‍  පො‍ළොන්නරු‍වේ අසහාය පාලකයා වු පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රිව 1154 – 1186) කුඩා කාල‍යේ දි ඔහු‍ගේ ප්‍රතිවාදියා වු ගජබාහු ‍ගේ ‍‍තොරතුරු සෙවීම පිණිස චරපුරුෂයන් යෙදවීය. මොවුන් අතර විෂ ‍වෙදකම, රස ක්‍රියාවෙහි (රස – රසදිය, ‍ගෙන්දගම්, වච්චනාවි (ඤාණවිමල හිමි, කේ, 2001: ‍දේශීය ‍වෛද්‍ය ශබ්ද කෝෂය, 431 පිටුව)) බෙහෙත් ඔරුවසහ භූතවිද්‍යාවෙහි නිපුණයන් ද සිටි බව මහාවංශ‍වයේ දැක්‍‍වේ(මහවංශය 64: 131 ගාථාව) ‍මෙම තොරතුරු අනූව පොළොන්නරු යුගය වන විට ලක්දිව අෂ්ඨාංග ආයුර්වේද‍යේ (ශල්‍ය, ශාලාක්‍ය, කායචිකිත්සා, භූතවිද්‍යා, ‍‍කෞමාරභෘත්‍යය, අගද තන්ත්‍ර, රසායන තන්ත්‍රය, වාජිකරණ තන්ත්‍රය) නිපුණයන් සිටි බව පැහැදිලිය(ඤාණවිමල හිමි, කේ, 2001: ‍දේශීය ‍වෛද්‍ය ශබ්ද කෝෂය, 35 පිටුව). අනුරාධපුර යුග‍යේ රාජ්‍ය අනුග්‍රහය ලබමින් දියුණුවට පත් වු දේශීය චිකිත්සාවේ මහිමය පොළොන්නරුවට යන විට ඉතා ඉහල තලයක තිබූ බව ‍‍මෙයින් පෙනියයි. සිය ගණනක් රෝගීන්ට දිවා රාත්‍රි ප්‍රතිකාර කිරීමට පහසුකම් ඇති ‍රෝහල් කරවු පැරකුම්බා රජතුමා දක්ෂ ‍‍වෛද්‍යවරුන්ද උපස්ථායක/උපස්ථායිකාවන් ද පත්කරවා ඉහල සේවාවක් සපයන ලදි(මහාවංශය 71: 34 – 39 ගාථා). රට ස්වයං‍පෝෂිත ව තිබු ‍මෙකල දිවා රාත්‍රි දෙකෙහිම රෝගීන්ට ගැල‍පෙන කැද, බත් ආදිය පවා ලබා දි ඇත. රටවැසියන්ට මනා ‍‍සෞඛ්‍ය ‍සේවාවක් සැලසූ රජතුමා ‍පෙ‍හෙවස් දිනවල ‍රෝහල පරික්ෂාකර ‍රෝගීන්ට ප්‍රතිකාරද ලබාදුන් දක්ෂ ‍වෛද්‍යවර‍යෙක් විය(මහාවංශය 71: 42 ගාථාව). ‍මේ නිසා ම ‍දේශීය චිකිත්සාව සංවර්ධනය කිරීමට සහ ‍‍සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණූ කිරීමට එතුමා ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය ය.

දුටුගැමුණූ රජු‍ගෙන් පසුව විශාල යුද සංග්‍රාමයක් කළ පැරකුම්බා රජතුමා විදේශ රටවල් පවා යටත් කර‍ගෙන සිටි‍යෙකි. රාමඤ්ඤ දේශය සමග පැවති සටනට අවශ්‍ය සියලු ‍දේ සහ තුවාල ලබන රෝගීන්ට අවශ්‍ය බෙ‍හෙත් වර්ගද නැව් වලින් ‍ගෙන යා යුතු විය. විෂ වර්ග සහිත හි පහර වැදුණ‍ුහොත් ඒ සඳහා ඖෂධ පිරවු හරක් අං ‍කොපු, හී ගැලවීමට සහ විෂ සහිත ජලය නිර්විෂ කිරීමට සමත් ඖෂධ, දක්ෂ වෛද්‍යවරුන් සහ උපස්ථායක/උපස්ථායිකාවන් යනා දි සියලු දේ සංග්‍රාම භූමියට යවා ඇත(මහාවංශය 74: 48 – 52 ගාථා). සංග්‍රාම භූමියට දක්ෂ වෛද්‍යවරයෙක් යැවු බව නිකාය සංග්‍රහයෙහි “මහ වෙදනා” යනුවෙන් දක්වා තිබීම මගින් සිතිය හැක(එම: 1984: 21 පිටුව). මහ වෙදනා යනු ප්‍රධාන වෛද්‍යවරුන් හැදින්වීම පිණිස එකල පිරිනැමු නම්බුනාමයක් විය හැකිය. විෂ පෙවු හී පහර එකෙණෙහි ම සුව කිරීමට තරම් දක්ෂ රස ක්‍රියා දන්නවුන් පවා සිටින කාලයක් වන පොළොන්නරු යුගය දේශිය චිකිත්සාවේ ඉතා දියුණු අවධියක් බව පැහැදිලිය.
වංශකථාවල සඳහන් තොරතුරු සනාථ කරමින් පොළොන්නරුව ආළාහන පිරිවෙන් භූමිය කැණිමේ දී ශල්‍යකර්ම සඳහා යොදාගත් උපකරණ, අඬු කතුරු, ඇඹරුම් ගල්, බෙහෙත් ඔරු ආදී බොහෝ වෛද්‍ය උපකරණ හමු වී ඇත. අනුරාධපුර මහා ථුපය අසල බෙහෙත් ඔරුව ද මැදිරිගිරි ‍විහාරය අසල ඇති ඇඹරුම් ගල් හා අනෙකුත් නටඹුන් මගින් ආරාම සඳහා රෝහල් කරවු බවට සාධක හමු වේ. පසුකාලීන ව කරන ලද ගවේෂණවල දී ථුපාරාමය අසල තවත් රෝහලක නටඹුන් හමුවී ඇත. මේ සියලු තොරතුරු පෙළගැස්වීමේ දී එකල භාවිත වූ චිකිත්සා ක්‍රම කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැක.
• බුද්ධදාස රජතුමාගේ පාලන සමය තුල ශල්‍යවෛද්‍ය චිකිත්සාව, ශිරාවේද චිකිත්සාව, වාතරෝග චිකිත්සාව, මානසික රෝග චිකිත්සාව, කුෂ්ඨ රෝග චිකිත්සාව, වමන විරේචන කර්ම(පංච කර්මි චිකිත්සාව)
• මහාපරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමය තුල දී විෂ පෙවු ආයුධ වලින් වු තුවාල සඳහා ප්‍රතිකාර, විෂ පෙවු ජලයෙන් වන හානි සඳහා ප්‍රතිකාර, රස ක්‍රියාවල නිපුණ වෛද්‍යවරුන් භූත විද්‍යා චිකිත්සාව යන චිකිත්සාවන් ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නට ඇත. දුටුගැමුනු රාජ්‍ය පාලන සමයේදී පිළිස්සුණු තුවාල සඳහා අවශ්‍ය ක්ෂණික ප්‍රතිකාර ක්‍රම තිබූ බව විජිතපුර සටනින් පැහැදිලි වේ. පණ්ඩුකාභය පාලන සමයේ සිට නොකඩවා ම ගර්භණී චිකිත්සාව (ස්ත්‍රී චිකිත්සාව) ඉතා විශිෂ්ට ලෙස සිදුකල බවට තොරතුරු හමු වේ. මේ සමග ළමා රෝග චිකිත්සාව ද ඉතා හොඳින් තිබෙන්නට ඇතැයි සිතිම සාධාරණ ය. මේ තරම් දියුණු මානව චිතිත්සා ක්‍රම තිබු යුගයක පශු වෛද්‍ය ක්‍රමයන් ද දියුණුව පැවති බවට ඉතිහාසය සාක්ෂි දරයි.

ශිලා ලේඛන සාධක

ශිලා ලිපි 01 ශිලාලිපිදේශිය චිකිත්සා ක්‍රමය පිළිබඳව තොරතුරු ඇතුළත් තවත් මුලාශ්‍රයක් ලෙස ශිලා ලේඛන ද හඳුනාගත හැකිය. ඇතැම් විටක දී වංශකථා සාධක අතිශයොක්ති වර්ණනා වලින් යුක්ත බව ඇතැම් විද්වතුන්ගේ අදහසයි. එසේ වන්නේ අදාළ තොරතුරු එම කාලයේදී ම රචනා නොවීම නිසා විය හැකිය. එහෙත් ශිලා ලේඛන සාධක සමකාලීනව ම රචනා වු නිසාවෙන් විශ්වසනීයත්වයෙන් ඉහළ අගයක් ගනු ලබයි. මේ මගින් රෝහල් පිහිටුවීම, අවශ්‍ය උපකරණ හා පහසුකම් සැලසීම, සුදුසු වෛද්‍යවරුන් තොරා පත්කිරීම හා දීමනා ලබාදීම, භාවිත කළ චිකිත්සා ක්‍රම හා නීති රිති ව්‍යවස්ථා යන ආදී කරුණු රැසක් පිළිබඳ තොරතුරු ලබගත හැකිය.

ශ්‍රීලංකාවේ ලෙන් ආශ්‍රීතව දැකිය හැකි පූර්ව බ්‍රාහ්මී යුගයට අයත් බ්‍රාහ්මී ලෙන් ලිපිවල ද දේශිය චිකිත්සා ක්‍රමයක් තිබූ බවට තොරතුරු සොයාගත හැකිය. එකල “වෙඣ”, “වෙජ” යන නම් වලින් (පොදුවේ වෙජ) නම් වලින් වෛද්‍යවරයා හඳුන්වන ලද බව පෙනේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිතුල්පව්ව, මඟුල්මහ විහාරයේ ඇති ලෙන් ලිපියක දැක්වෙන ආකාරය තිස්ස නම් වෛද්‍යවරයෙක් එම ලෙන පුජා කර ඇත (Inscription of Ceylon, Vol – I, 1970:676). පුත්තලම දිස්ත්‍රික්කයේ පිච්චෙන්දියාවෙන් සොයාගත් බ්‍රාහ්මී ලිපි අතර දෙවනපිය ගාමිණිතිස්ස මහරජුගේ “ගෝභුති” යන අය භික්ෂුන්වහන්සේලා වෙත ලෙන් පුජා කලබව දැක්වේ (Inscription of Ceylon, Vol – I, 1970:1059). එම ස්ථානයෙන්ම සොයාගත් තවත් ලිපියක දැක්වෙන ආකාරයට මෙම “ගෝභූතිය” බ්‍රාහ්මණයා රජුගේ ආචාර්යවරයා ලෙස දක්වයි(Inscription of Ceylon, Vol – I, 1970:1060). මෙසේ ආචාර්යවරයා යනුවෙන් හඳන්වන්නට ඇත්තේ “වෛද්‍යාචාර්ය” යන අර්ථයෙන් හෝ රාජ්‍යම සෞඛ්‍ය පහසුකම් සැපයිම පිළිබඳ රජුට අනුශාසනා කළ අර්ථයෙන් විය හැකිය. රාජාංගනය ප්‍රදේශයෙන් ද වෛද්‍යවරයෙක් සිටි බවට තොරතුරක් හමු වේ. වෛද්‍ය මිත්ත නම් අයෙකුගේ පුතෙකු විසින් කරන ලද ලෙන් පූජාවක් පිළිබඳව එහි ඇතුලත්ය (Inscription of Ceylon, Vol – I, 1970:676). මෙම කරුණු අනූව එකල වෛද්‍යවරයා බොහෝ ඇසුපිරූ තැන් ඇති රජයේ උසස් තනතුරු දැරූ ශ්‍රේෂ්ඨයෙක් වන්නට ඇත. මේ අතර සිටි ඇතැමුන් බමුණන් විය. “උපාසක වෙජ” යන විශේෂණ නාමයෙන් වෙද මහත්මයා සීලා දී උසස් ගුණ ධර්ම ආරක්ෂා කල උසස් අයෙකු යැයි නිගමනය කිරීමද යුක්ති සහගතය.
අනුරාධපුර ජේතවනරාමය අසලින් හමු වු පස්වැනි කාශ්‍යප රජුට අයත් පුවරු ලිපියක අනුරාධපුර නගරයේ මංගල මහා වීදියේ දකුණු දොරටුව අසල කරවන ලද රෝහලක් පිළිබඳව සඳහන් වේ( Epigraphia Zeylanica, Vol I, 1912: 57). දැනට අනුරාධපුර ථුපාරාමයට දකුණු දෙසින් නටඹුන්ව ගිය රෝහල් සංකීර්ණයක් දැකිය හැක. ඇතැම් විට ඉහත පුවරු ලිපියේ දැක්වෙනු‍යේ මෙම රෝහලට අදාළ විස්තරයද විය හැකිය. මීට අමතරව පොළොන්නරුව රාජ සභාව අසලින් හමුවු ටැම් ලිපියකද ආරෝග්‍ය ශිලා ලිපි ශාලාවකට අවශ්‍ය බෙහෙත් ලබා දීම පිළිබඳව සඳහන් වේ. දෝතීවලක්නා නම් අයෙකු විසින් කළ රෝහලකට වාර්ශිකව අවශ්‍ය ඉඟුරු ලබා දිමේ පොරෝන්දුව මත රක්ඛ නම් අයෙකු හා දරු මුණුබුරන්ට ඉඩමක් ලබා දුන් බව එහි දැක්වේ. එසේ ඉඟුරු ලබා දීම කඩ කරයි නම්/ලබා දිය නොහැකි නම් ලහසුවකට රන් අකක් වටිනා රන් හුනක් ලබා දීමටද නියම කර ඇත (Epigraphia Zeylanica, Vol I, 1928: 25-26). මෙම ලිපියේ සඳහන්ව ඇති “මහාවෙදනා” යන්න පිළිබඳව විමසීමේදී ප්‍රධාන වෛද්‍යවරයා හඳුන්වන්නට ඇතැයි කිව හැකිය. වර්තමානයේ රෝහල් අධ්‍යක්ෂ, රෝහල භාර වෛද්‍ය නිළධාරි වැනි තනතුරකට සමාන තනතුරක් වන්නට ඇත.
හතරවන මිහිඳු රජුට (ක්‍රිව 952 – 972) අයත් මිහින්තලා පුවරු ලිපිය භික්ෂු සමාජයේ උන්නතිය සඳහා පිහිටුවනු ලැබූවකි. මේ අතර පිණ්ඩපාත දානය පිළිගැනීම පිණිස දන්හලට නොවඩින ගිලන් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය දානය වෛද්‍ය උපදෙස් අනූව ලබා දීය යුතු බවද දක්වා ඇත ( Epigraphia Zeylanica, Vol I, 1912: 20).
මේ මගින් අපට පැහැදිලි කර ගත හැකි ප්‍රධානතම කරුණ වන්නේ ගිලන් භික්ෂුන් වහන්සේලාට වෛද්‍ය උපදෙස් අනූව වැළඳිමට සුදුසු හා නුසුදුසු ආහාරපාන වර්ග තිබු බවයි. ඒ අනූව දේශිය චිකිත්සා ක්‍රමයේ දැක්වෙන පත්‍ය අපත්‍ය සංකල්පය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය. සෑම රෝගියෙකුම රෝගයේ සහ රෝගියාගේ බලය අනූව පත්‍ය වු ආහාර විහරණඛ බලාගත යුතු බව දේශිය චිකිත්සාවේ සඳහන්ය.
මිහින්තලේ දෙවන පුවරු ලිපියේ එකල භාවිත වු චිකිත්සා ක්‍රම හා චිකිත්සකයන්ට ගෙවන ලද දීමනා දේශිය චිකිත්සාව පිළිබඳව තොරතුරු ඇතුලත්ය. මේ අතර හමු වු විශේෂිත නාමයක් වන්නේ “පුහුඬා වෙද” යන්නය ( Epigraphia Zeylanica, Vol ii , 1928: 89). රක්ත මෝක්ෂණ කර්මය (ශරීරයේ අපිරිසිදු ලේ ඉවත් කිරීම) සඳහා දිය කුඩැල්ලන් යොදා ගනු ලබන බව සුශ්‍රැත සංහිතාවේ සඳහන් වේ(එම. 13 අධ්‍යය. 47 පිටුව). රෝග නිවාරණය සඳහා කුඩැල්ලන් යාදා ගැනීම පෙර සිටම සිදු කල බව අෂ්ඨාංගහෘදය සංහිතාව යොගාර්ණාවය ප්‍රයෝගරත්නාවලිය ආදී ග්‍රන්ථවල ද ශල්‍ය වෛද්‍ය ක්‍රමයක් ලෙස දක්වා ඇත.

 “රක්තමෝක්ෂණයෙහිලා දියපුඩාවන් ම ශ්‍රේෂ්ඨ-මෘදු උපායය වේ. දියපුඩාවා ද රක්තමොක්ෂණය පිළිබඳ උපායෙකැයි කියන ලද හෙයින්යැ”

 සුශ්‍රැත සංහිතාවේ සඳහන් ආකාරයට රක්තමෝක්ෂණය සඳහා දියපුඩාවන් යොදා ගෙන ඇත. කුඩැල්ලා Annelida වංශයේ Hirudinea වර්ගයට අයත් ලේ උරන්නා (Blood Suker) යන පොදු නාමයකින් හඳුන්වයි. පැරණි වෛද්‍යවරු විෂ ඇති සහ විෂ නැති කූඩැල්ලන් තම ඥානය හා අත්දැකීම් අනූව හැඩරුවින් තොරාගත් බව මුලාශ්‍ර ග්‍රන්ථ වලින් පැහැදිලි වේ. විෂ සහිත පුහුඩාවන් යොදා රක්ත මෝක්ෂණය කිරීම නිසා රෝගියාව වෙනත් රෝගාබාධ වැළ‍නඳෙන බව ද ඔවුන් ප්‍රත්‍යක්ෂ කරගෙන සිටි බව පැහැදිලි වේ.
මෙම සෙල් ලිපියේ සදහන් වන වැටුප් හා දීමනා සලකා බැලීමේදී සුවිශේෂි බවක් දැකිය හැකිය. රක්ත මෝක්ෂණය කර්මය කල “පුහුඬා වෙද” යන අයට කල ගෙවීම් මෙහිදි දැක්වීම විශේෂයක් කොට සැලකිය හැකිය. ඊට අමතරව ඖෂධ සංයෝජකයෙකුද සිටි බවට මෙම සෙල්ලිපිය සාක්ෂි දරයි. මේ අනුව ඉතා සංවිධිත දේශීය චිකිත්සා ක්‍රමයක් තිබු බවට සාධක ලැබේ. අනුරාධපුර ජේතවන ස්තූප සලපතල මළුවෙහි ඇති සෙල්ලිපියක “අන්ඳුන් වෙද” යනුවෙන් නාමයක් සඳහන් වන බව කරුණාසේන හෙට්ටිආරච්චි ශල්‍ය උපකරණමහතා සඳහන් කරයි (ශ්‍රීලංකාවේ දේශිය වෛද්‍ය ශිල්පයෙහි ඓතිහාසික පසුබිම හා නීතිය, විදාරණී, 2007, 243-259). ආරෝග්‍යශාලා වලට ඉඩකඩම් පැවරීම, බදු මුදල් ලබා දීම ආදිය මගින් රෝහල් සංවර්ධනය සිදුවු අතර රජයට බරක් නොවී අවශ්‍ය ඖෂධ ද්‍රව්‍යද ආදීය පවා රෝහල් භූමියෙන්ම නිශ්පාදනය කරවා ගත්තේය. පස්වන කාශ්‍යප රාජ්‍ය සමයට (ක්‍රිව 898-914) අයත් කිරිබත් වෙහෙර ටැම් ලිපිය මගින් ද මේ පිළිබඳව තොරතුරු හඳුනා ගත හැකිය. උතුර්මේගිර්වත්ත නම් භූමිය වටා සතර සීමා නිශ්චය කර දීමෙන් පෙනීයන්නේ බෙහෙත් ගෙය අවට ඉඩම් නිරවුල්ව භුක්ති විඳින්නට අවකාශ සලසා දුන් බවයි. මෙය අභය භුමියක් වන නිසා අපරාධකරුවන් පැමිණීය හොත් රාජපුරුෂයන්ට පවා අවසරයක් ලබාගෙන ඔහුව බෙහෙත් ගේ සීමිවෙන් පිටතට බැහැර කරවා ගත යුතු විය (Epigraphia Zeylanica, Vol I, 1912: 158-159). රාජ්‍යක නිළධාරින් ඇතුළු වි රැකවල් ලා සිටිමෙන් රෝගීන්ගේ කායික හා මානසික සුවයට බාධා වේ යැයි සිතා මෙසේ ව්‍යවස්ථා පනවන්නට ඇත.‍
ක්‍රිව පස්වැනි සියවසේදී ජීවමානව තිබූ සීගිරිය සංචාරකයින්ගේසිත් ඇඳ බැඳ ගත් මනරම් ස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම දර්ශනීය පර්වතය දැක බලා ගැනීමට ලක්දිව නොයෙක් ප්‍රදේශ වලින් පැමිණි සංචාරකයින් විසින් තබන ලද සටහන් සීගිරි කැටපත් පවුරේ අදටත් ජීවමානය. සීගිරි කුරුටු ගීයක “වෛද්‍ය අග්බෝ” නැමැත්තෙකු විසින් තැබූ සටහනක්ද ඇත. කාලයාගේ ඇවැමෙන් විනාශ වී මැකී ගිය නිසාවෙන් ඔහු පැමිණී ප්‍රදේශය හඳුනාගත නොහැකි වී ඇත. එහි “වෙදනා” යනුවෙන් දැක්වෙයි. ඒ අනූව උසස් වෛද්‍යවරයෙක් සීගිරි අප්සරාවන්ගේ රූප ස්වභාවය සියැසින් දුටු බව පැහැදිලිය (සීගිරි ගී 172, Epigraphia Zeylanica, Vol IV, 1943: 23-24) කුකුරුමහන්දමන ටැම් ලිපියට අනූව ( Epigraphia Zeylanica, Vol II, 1928: 23-24) “සෙන්” නම් සෙන්පතියෙක් විසින් කරවන ලද ඇතුළු නුවර මහා විදියේ මහින්දාරාම මෙහෙණවර ඉදිරිපස ඇති ආරෝග්‍යශාලාවට අයත් කෙරලැගම පරිහාර ලබා දී ඇත. මෙහිදි ආරෝග්‍යශාලාවට ඇතුළු නොවිය යුතු රාජ්‍ය නිළධාරින් රැසක් විය. එම බෙහෙත් ගෙයට අභය පිණිස පැමිණී කිසිදු අයෙකු අත්අඩංගුවට ගැනීම තහනම්ය (Epigraphia Zeylanica, Vol II, 1928: 23-24).  පස්වන කාශ්‍යප රජුට අයත් (ක්‍රිව 908-918)  මැදිරිගිරියෙහි පිහිටා ඇති ටැම් ලිපියක මියගිය එළුවන්, කුකුලන් වැනි සතුන් ආරෝග්‍යශාලාවට ගෙනවිත් භාර දෙන ලෙස දක්වා ඇත (Epigraphia Zeylanica, Vol III, 1943: 39-40). පංචශිල ප්‍රතිපත්තියට අනුගත වුවන් විසින් පරපන නොනැසිය යුතු නිසා ස්වාභාවිකව මිය ගිය සතුන්ගේ සිරුරු රෝහලට ගෙනවිත් දෙන ලෙස දක්වා ඇත. ජලජවාසි සතුන්ගේ සහ ගොඩබිම වාසි සතුන්ගේ මස්වල ඇති රස, ගුණ පිළිබඳව සුශ්‍රැත සංහිතාවේ සහ සාරාර්ථ සංහිතාවේ දක්වා ඇත. එම නිසා මේවා ඇතැම් විට රෝගීන්ගේ ආහාර සඳහා හෝ ඖෂධ සකස් කිරීම සඳහා භාවිත කලා විය හැකිය. සතුන්ගේ සහ මානව ශරීර විඥානය පිළිබඳ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගන්නටද ඇත.