ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
තාක්ෂණික උපකරණ නොමැතිව ආයුර්වේදිය ප්‍රතිකාර කල නොහැකිද…..ශාලාක්‍ය විෂය ආයුර්වේදයේ වැදගත්ම කොටසකි.(අවසන් කොටස)

ශ්‍රී ලංකීය ආයුර්වේද  ශල්‍ය චිකිත්සාවට සාපේක්ෂව ඉන්දියානු ආයුර්වේද ශල්‍ය චිකිත්සාවේ වර්තමානය……….

අතීතයේදී ඉන්දියාව, ශ්‍රි ලංකාව වැනි පෙරදිග රටවල ආයුර්වේදය සමග බද්ධ වු වෛද්‍ය ක්‍රම  එක හා සමානව ඉහල වටිනාකමක් සහිතව එසේම පිළිගැනීමක් සහිතව පැවතියත් වර්තමානයේදී  ශ්‍රී ලංකාව තුල ආයුර්වේදයටත් දේශිය වෛද්‍ය ක්‍රමයටත් එම ස්ථානය අහිමි වී ඇති බව කණගාටුවෙන් වුවද පිළිගැනීමට සිදුව ඇත. එය තහවුරු කල හැකි සරලම සාක්ෂිය වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාව තුල සෞඛ්‍යය සේවාවක් වශයෙන් රජය විසින් නිත්‍යානුකූලව පිළිගෙන නොමැති වීමයි.  මෙරටට සාපේක්ෂව සැලකුව විට ඉන්දියාව ආයුර්වේදයට නිසි වටිනාකම ලබා දී  එරට සෞඛ්‍යය සේවය තුල ඉතා ඉහල ස්ථානයක් ලබා දී ඇත. විශේෂයෙන් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය වරුන්ට ආයුර්වේදයට අනුකූලව ශල්‍යකර්‍ම සිදුකිරීමට පවා ඉන්දියාව තුල ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත. නමුත් ශ්‍රි ලංකාවේ සෞඛ්‍යය සේවය තුල එවැනි ඉඩක් නැත. ආයුර්වේදයේ නිසි ඵල ජනතාව වෙත ලබා දීමට නොහැකි වන ආකාරයේ නොයෙකුත් නීතිමය බාධා එය වටා බැඳ ඇත. මෙරට ආයුර්වේද ශල්‍ය වෛද්‍යවරුන්ට තම උසස් අධ්‍යාපනය කටයුතු ඉන්දියානු විශ්වවිද්‍යාල වල සිදුකරන අවස්ථා වලදී පවා ශල්‍යකර්‍ම සිදුකිරීමට අවස්ථාව ලැබේ. නමුත් ඔවුනට නැවත ලංකාවට පැමිණි පසු තමා උගත් දේ සහ ප්‍රායෝගිකව සිදුකල ප්‍රතිකාර මෙරට ජනතාවට ලබා දීමට අවස්ථාව නිති මගින් සිමා කර ඇත.

බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී භාවිතයට ගන්නා මුලික ශල්‍ය උපකරණ බොහොමයක් සඳහාම තාක්ෂණික සංකල්ප උකහා ගෙන ඇත්තේ ආයුර්වේද ශල්‍ය උපකරණ තුලින් වුවත් වර්තමානයේ ශල්‍යකර්‍ම සිදුකීරීම එක් වෛද්‍ය ක්‍රමයක් වෙත පමණක් පවරා දී ඇත. ආයුර්වේද ශල්‍ය චිකිත්සාවේදී භාවිතා කල යුතු යන්ත්‍ර (මොට ආයුධ) හා ශස්ත්‍ර(තියුණු ආයුධ) යන ඒවා සිරුරේ විවිධ ස්ථාන වල සිදුකරන විවිධ ශල්‍ය කාර්යයන් මැනවින් සිදුකිරීමට උචිත වන පරිදි සැකසීය යුතු ආකාරය ආයුර්වේද මූල ග්‍රන්ථ වල ලිඛිතවම දක්වා ඇත.  විශේෂයෙන් ආයුර්වේද යන්ත්‍ර සිරුරේ කොතැනක හෝ තදින් සවිවී තිබෙන ශල්‍යයක් සිරුවෙන් ඉවත් කිරිමට උචිත වන පරිදි විවිධ හැඩයන්ගෙන් නිර්මාණය කර ඇත. එහිදි විවිධ මාංශ භක්ෂක සතුන්ගේ හා පක්ෂින්ගේ මුඛයන් වල ආකාරයට ඒවා නිර්මාණය කර ඇත්තේ එම කාර්යයන් අදාල හැඩයන්ගෙන් යුත් යන්ත්‍ර වලින් මනාව සිදු කර ගත හැකි බව පැහැදිලි වි ඇති නිසාය. සුශ්‍රැත ආචාර්ය වරයා මෙම යන්ත්‍ර හා ශස්ත්‍ර පිළිබඳව ඉතා ඉහල වර්ගීකරණයක් හා විස්තරයක් සිදු කර ඇත.  එහිදි සුශ්‍රැත ආචාර්යවරයා නිදහසක් ලබා දී ඇත. එනම් තමා විසින් ඉදිරිපත් කර ඇති ශල්‍ය උපකරණ වලට අමතරව ඕනෑම නව ශල්‍ය උපකරණයක් ශල්‍ය වෛද්‍යවරයාට තම අවශ්‍යතාවය පරිදි නිපදවා ගත හැක යන්නයි. ශල්‍ය වෛදයවරයාට එවැනි නිදහසක් තම කාර්යය සාර්ථකව ඉටුකිරීම සඳහා තිබිය යුතුය යන්න සුශ්‍රැත ආචාර්යවරයා පිළිගෙන ඇත. එසේත් නොමැතිනම් අනාගතයේ වෙනත් කවුරු හෝ නිපදවන යන්ත්‍ර හෝ ශස්ත්‍ර ආයුර්වේද ‍ශල්‍ය වෛද්‍ය වරයාට භාවිතා කිරීමට හැකිය යන කාරණයද දක්වා ඇත. එම නිදහසද සුශ්‍රැත විසින් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය වරයාට ලබා දී ඇත.  ඒ අනූව ආයුර්වේද වෛද්‍යවරයාට නව තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් කිසිදු බාධාවක් හෝ සීමා කිරීමක් කිරීමට ආයුර්වේදයේ ආදිකතෘවරුන් කටයුතු කර නැත.  එය එසේ වුවත් වෛද්‍යක්‍රම අතර නොපැවතිය යුතු ගැටුම් ඇතිකරමින් නිතිමය බාධා අයුර්වේද ශල්‍ය වෛද්‍යවරයා මත ඇතිකීරීමට බටහිර වෛද්‍ය ක්‍රමය විසින් කටයුතු කර ඇත. එක් වෛද්‍යක්‍රමයක් මගින් වෙනත් වෛද්‍යක්‍රමයක් අතික්‍රමණය කිරිම සුදුසු නොවූවද වත්මනෙහි සිදුව ඇත්තේ එයයි. පොදුවේ  CDDAct(Cosmetics, Devices and Drugs Act) නීතිය තුලින් ඒ සඳහා බාධා ඇති කර ඇත. වෙදනලාව(stethoscope) බටහිර වෛද්‍යවරුන් පමණක් නොව  යන්ත්‍රසූත්‍ර වල අභ්‍යන්තර ශබ්ද පරික්ෂා කිරීම සඳහාද යාන්ත්‍රික ඉන්ජිනේරුවන්ද භාවිතා කරණා උපකරණයක් (mechanic’s stethoscopes) වන අතර එය භාවිතා නොකරන්න යැයි එම ඉන්ජීනේරුවන්ට පැවසීමට කිසිවෙකුටත් සදාචාර හෝ යුක්තිමය අයිතියක් නැත. තාක්ෂණය යනු මුළු මහත් මානව වර්ගයාටම එකහා සමානව භාවිතා කිරීමේ අයිතිය ඇති දෙයකි. එය එක් වෛද්‍ය ක්‍රමයකට සින්න වූ දෙයක් නොව හැම වෛද්‍ය ක්‍රමයකටම ප්‍රයෝජනයට ගත හැකි සම්පතකි.

ඉන්දියාවේ බරණැස් විශ්වවිද්‍යාලයට අනුබද්ධව පවතින Institute of medical Science කියන  ආයතනය සැලකුව හොත්, එහි පීඨ දෙකක් ඇත. එකක් ඉටහිර වෛද්‍ය විද්‍යාව උගන්වන එකකි. අනෙක ආයුර්වේද වෛද්‍ය විද්‍යාව උගන්වන එකකි. පිඨ දෙක සඳහාම සිටින්නේ එක අධ්‍යක්ෂවරයෙකි. දෙකම පාලනය කරන්නේ ඔහු විසිනි. ‍ දෙගෝල්ලන්ටම ඇත්තේ එක රොහලක් වන අතර දෙපිරිසම පාවිච්චි කරන්නේ ඒම රෝහලයි. එකම පුස්තකාලය දෙගොල්ලම පාවිච්චි කරති. බටහිර වෛද්‍ය අංශය එක් පැත්තක තියෙන අතර ආයුර්වේද වෛද්‍ය අංශය අනෙක් පැත්තේ ඇත. වාට්ටු පවා වෙන වෙනම දෙපැත්තේ පිහිටා ඇත. ආයුර්වේද වෛද්‍ය අංශයේ වාට්ටුවක සිටිනා රෝගියෙකුගේ තත්ත්වය ගැන බටහිර වෛද්‍ය කියැවීම දැනගැනීමට අවශ්‍ය වුවා හොත් රෝගියා පරික්ෂා කර බලා විස්තර දන්වන්න බටහිර වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන්ට ලියා දන්වනු ලැබේ. එවිට ඔවුන් පැමිණ හෝ රෝගියා රැගෙන ගොස් හෝ අදාල පර්යේෂණ සිදුකර අදාල වාර්ථා ලබා දෙනු ලැබේ. ශල්‍යකර්‍මයක් සිදුකරන්න තිබුනත් ඒත් එසේමය. රෝගියා සම්බන්ධයෙන් දැනගතයුතු විශේෂම පර්යේෂණ තොරතුරු බටහිර වෛද්‍ය අංශයෙන් සිදුකරගෙන ආයුර්වේද අංශයේදී ශල්‍යකර්‍මය සිදු කරණු ලැබේ. ආයුර්වේදයත් ඉටහිර වෛද්‍ය ක්‍රමයත් ඉන්දියාවේ පවතින්නේ එවැනි සුහද පරිසරයක් තුලය. එහෙත් අවාසනාවකට අප රටේ තත්ත්වය කොහොමද?

තාක්ෂණික උපකරණ නොමැතිව ආයුර්වේදිය ප්‍රතිකාර කල නොහැකිද…..

ආයුර්වේදීය ප්‍රතිකාරයේදි අවධාරණය කර ඇති ශිල්පීය කරුණක් වන්නේ ඕනෑම ප්‍රතිකාරයකට පෙර අදාල රෝගීයා සහ ප්‍රතිකාරය පිළිබඳව වෛද්‍යවරයා ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගෙන සිටිය යුතු බවයි. ප්‍රත්‍යක්ෂ න්‍යාය(perception) යනුවෙන් දක්වා ඇත්තේ එයයි. යම් තත්ත්වයකට ප්‍රතිකාර කිරීමට පෙර නිවැරදිවම දැනගෙන සිටිය  යුතුය කියන එකයි එහි අදහස. එහිදි ප්‍රත්‍යක්ෂ ඥාණය ලබා ගැනීම වලක්වනු ලබන ප්‍රත්‍යක්ෂ ඥාණ බාධක තිබිය හැකියි. එම ප්‍රත්‍යක්ෂ ඥාණ බාධක ජය ගත යුතු බව සඳහන් කර ඇත. ප්‍රත්‍යක්ෂ බාධක ලෙස සැලකිය හැකි කරුණු ගණනාවක් මුල ග්‍රන්ථ වල දක්වා ඇත. විශේෂයෙන් ඉතාම කුඩා විම, ඉතාම සියුම් වීම, දුරින් පිහිටිම, යමෙකින් ආවරණය වීම, එක වගේ දේවල් රාශියක් එක ලඟ තිබීම වැනි හේතු ප්‍රත්‍යක්ෂ බාධක ලෙස දක්වා ඇත. එහිදි එම බාධක නැති කර ගත යුතු බව ආයුර්වේදයේ දක්වා ඇත. මෙම බාධක නැති කර ගන්නේ කෙසේද? වර්තමානයේදි බාහිර උපකරණ වල සහය පාවිච්චියට ගැනීමට සිදුවන්නේ මේ අවස්ථාවේදීය. එය ප්‍රත්‍යක්ෂයට එළඹෙන්න ඇති මාර්ගයයි. ඒ සඳහා යොදාගන්නා තාක්ෂණය පැමිණියේ අපරදි‍ගින්ද  නැතිනම් පෙරදි‍ගින්ද යන්න එහිදි වැදගත් නොවේ. උදාහරණයක් ලෙස හෘද වස්තුවේ ශබ්ද හොදින්  ශ්‍රවණය කිරීමට වෙදනලාව පාවිච්චි කිරීම දැක්විය හැකියි. කන ඇතුල නිරික්ෂනයට කර්ණ දර්ශක නාඩි යන්ත්‍රය (ඔයොස්කොප්) කියන උපකරණය භාවිතා කෙරේ. ආයුර්වේදයේද  විවිධ නාඩි යන්ත්‍ර ගැන දක්වා ඇත. ඒ වගේම ගුද මාර්ගයේ අර්ශස් රෝග තත්ත්වය නිරික්ෂණයට භාවිතා කරන  සිග්මොඩස්කොපි නැතිනම් ප්‍රෝක්ටොස්කෝප් කියන උපකරණ සැලකුවත් එයත් නාඩි යන්ත්‍ර යටතට තමයි අයත් වන්නේ. මෙයින් කරුණු දෙකක් පැහැදිළි වේ. පළමු කරුණ නම් ආයුර්වේදය යනු බොහෝ දෙනා සිතා සිටින ආකාරයේ හුදෙක් සරල වෛද්‍ය ක්‍රමයක් නොව රෝගින් පරික්ෂාවට සහ ප්‍රතිකාරයට අදාල යුගයට සාපේක්ෂව දියුණු තාක්ෂණික උපකරණ වල සහයද ලබා ගත් විධිමත් වෛද්‍ය ක්‍රමයක්ය යන කාරණාවයි. අනෙක් කරුණ වන්නේ නිවැරදිව සොයා බැලුවහොත් දැන් පවතින බොහොමයක් ශල්‍ය වෛද්‍ය උපකරණ වලට මුලික සිද්ධාන්තමය පදනම ලැබී ඇත්තේ ආයුර්වේදය තුලින්ය කියන කාරණාවයි.

ලංකාව තුල ආයුර්වේද ශල්‍ය ශාලාක්‍ය චිකිත්සාවන්ගේ සමාජ මෙහෙවර………

කෙසේ වෙතත් බොහොමයක්  නිතිමය සහ ආකල්පමය බාධක මධ්‍යයේ වුවත් බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල තුල ශල්‍යාගාරයක් ආරම්භ කර එහි ආයුර්වේදිය ශල්‍යකර්ම සිදු‍කිරීමට කටයුතු කර ගෙන යැම පිළිබඳව සතුටු විය යුතුය. මෙම ප්‍රතිකාර අනෙකුත් ප්‍රධාන ආයුර්වේද රෝහල් වලත් යම් යම් මට්ටම් වලින් දැන් සිදුවෙමින් පවති.  ඊට අමතරව සුව කිරීමට අපහසු යැයි තිරණය වූ සහ නැතිනම් ශල්‍යකර්‍ම සිදුකිරීම තුලින් පමණක් සුවකල හැකි යැයි බටහිර වෛද්‍ය විද්‍යාවෙන් තිරණය කල රෝග සඳහා ආයුර්වේදයට ආවේනික විශේෂිත ප්‍රතිකාර මඟින් ප්‍රතිකාර කිරීමට කටයුතු සිදුකර ඇත. විශේෂයෙන් ශාලාක්‍ය විෂයට අදාලව සැලකුව හොත් ඇස්පෙනීමේ දුර්වලතාවය නිසා පිඩා විදින රෝගීන්ට විශේෂිත ප්‍රතිකාර සිදු කරණු ලැබේ. දුර දුෂ්ටිකත්වය, අවිදුර දුෂ්ටිකත්වය සහ විෂම දුෂ්ටිකත්වය යන අවස්ථාවලදි බොහෝ විට නිර්දේෂ වන්නේ ඇස් කන්නාඩි පැලදීමටය. එනමුත් ඇස් කන්නාඩි භාවිතයට නොගොස් එම තත්ත්වයන් නිවැරදි කර ගැනීමට අවස්ථාව  ආයුර්වේද ප්‍රතිකාර තුලින් උදා කර ගත හැක.  දුෂ්ටි විතානයේ හෝ දුෂ්ටි ස්නායුවේ විශේෂිත දුර්වලතාවයක් නොමැති නම් අක්ෂි තර්පණ ප්‍රතිකාර තුලින් මෙම ගැටළු සඳහා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බව සායනික හා පර්යේෂණ මාර්ගයෙන්ද තහවුරු කරගෙන ඇත. බොරුල්ල ශික්ෂණ රෝහලට අමතරව වෙනත් පර්යන්ත ප්‍රාදේශිය රෝහල් වලද  මෙම ප්‍රතිකාර සාර්ථකව සිදු කරමින් පවති. කන් සම්බන්ධව ගැටළු විශේෂයෙන් කන් ඇසීම අඩු ඒ කියන්නේ බාදිර්යය තියෙන අයට විශේෂ ප්‍රතිකාර සිදු කිරීම සාර්ථකව සිදුකෙරේ. කර්ණ පූර්ණ ප්‍රතිකාර ප්‍රතිකාරය ඒ සඳහා භාවිතා කෙරේ. එහිදී කන් බෙරය සිදුරු වි ඇතිද යන්න පරික්ෂා කර බලා ප්‍රතිකාර සිදුකරණූ ලැබේ. ඒ වගේම නශ්‍ය ප්‍රතිකාර දිර්ඝ කාලීනව තියෙන හිසරදය සිරඃශ්‍රලය සඳහා ඉතාම හොද ප්‍රතිකාරයකි. ඒ වගේම කුරුලෑ තත්ත්ත්වය තියෙන අයට වුවත් නශ්‍ය ප්‍රතිකාරයෙන් හොද ප්‍රතිඵල ලබා ගන්න හැකි වී ඇත. ඊට අමතරව අකලට හිස කෙස් පැසීම, හිසකෙස් අස්වාභාවික ලෙස හැලීයාමට පවා මෙම ප්‍රතිකාරය සාර්ථක වි ඇත.

මීට අමතරව ජලෞකා(දියකූඩැල්ලා) ප්‍රතිකාරයද ඉතා ඉහල ප්‍රතිඵල අත් කර දෙන ආයුර්වේදීය ප්‍රතිකාරයක් බව සඳහන් කල හැක. මෙම ජලෞකා ප්‍රතිකාර දැන් දැන් බටහිර වෛද්‍යක්‍රමය තුලත් අත්හදා බැලෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ජලෞකා ප්‍රතිකාරය අයත්වන්නේ අනුශස්ත්‍ර ප්‍රතිකාර තුලටයි. ජලෞකා ප්‍රතිකාරය සත්‍ය වශයෙන්ම ජෛවීය උපකරණයක්(Bio Instrument) භාවිතයෙන් සිදුකරණ අනුශස්ත්‍ර ප්‍රතිකාරයකි. ප්‍රතිකාරයේදී ජෛවීය උපකරණ භාවිතා කිරීම ඉතාම ප්‍රතිඵලදායක බව බටහිර වෛද්‍ය විද්‍යාව තුල පවා තහවුරු වු  සත්‍යයකි.  දිය කුඩැල්ලන් යොදාගෙන ඇස් වල පීඩනය වැඩිවූ අවස්ථා වලදී(අධිමන්ථ/Glaucoma) ප්‍රතිකාර සිදුකිරිම සාර්ථකව සිදුවේ. දිය කුඩැල්ලන් මඟින් එම රෝගීන්ගේ අවරෝධයන්(Blocks) මගහරවා ඇසේ පිඩනය පාලනය විමක් සිදුකෙරේ. ඊට අමතරව ‍බොහෝ අවස්ථා වලදී ඇස් වල තැලිම්, ඉදිමිම් සහිතව  රෝගීන් ප්‍රතිකාර සඳහා පැමිණිම සිදුවේ. ඔවුන්ටත් ජලෞකා ප්‍රතිකාර මගින් ඉතාම හොද ප්‍රතිඵල ලඟා කරදිමට හැකියාව ලැබී ඇත. දීර්ග කාලීනව ඇසේ ඇතිවන අභිෂ්‍යන්ද තත්ත්ව (Conjunctivitis) වලදීද දියකුඩළු ප්‍රතිකාරය සිදුකරනු ලැබේ. ඇසේ පමණක් නොවෙයි ශරීරයේ අනෙකුත් තැන් වල ඇතිවන විවිධ රෝග සඳහාද ‍ජලෞකා ප්‍රතිකාර ආයුර්වේදය තුල සිදුකරනු ලැබේ. නහර ගැට ගැසීම(ක්ෂිරා ග්‍රන්ථි/  Varicose veins) සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය ‍සාර්ථකව යොදා ගත හැක.

ඒ වාගේම ක්ෂාර කර්‍ම සහ අග්නි කර්ම භාවිතයෙන් සිදුකරණ ප්‍රතිකාර ඉතාම විශිෂ්ඨ ප්‍රතිඵල පෙන්වා දී ඇත. ආයුර්වේදය තුල මෙම ක්‍රම හඳුන්වන්නේ පරාශල්‍ය විධි(Para Surgical methods) ලෙසටයි. ක්ෂාර කියන්නේ ඇල්කලයින් සංයෝගකි. යම් යම් විශේෂිත ගස් වර්ග වලින් ගන්න කොළ, පොතු වැනි දේ පුළුස්සා ගත් කොටස් වලින් සකස් කර ගත් ඖෂධීය සංයෝග ක්ෂාර ලෙස හඳුන්වයි.  නාසා අර්ශස්, නාසයේ මස් දළු ඇතිවීම හුස්ම ගැනීමේ අපහසුතාව පවා ඇතිකරන බරපතල තත්ත්වයක්. නාසයේ එන මස්දළු  ඉවත් කිරීම සඳහා 4-5 පාර ශල්‍යකර්‍ම සිදු කරයි.  නමුත් එය ස්ථිර විසඳුමක් වන්නේ නැත. ඒවා නැවත නැවත ඇතිවේ. රෝගීන්ගේ නාසයේ මස් දළු ඒමට හේතු වුණු අභ්‍යන්තර කරුණු ඉවත් කල යුතුයි . ඒ සඳහා සෙම අඩුවන ප්‍රතිකාර සිදුකල යුතු අතර  බාහිරෙන්  ක්ෂාර ආලේප කල යුතුය යන්න ආයුර්වේදයේ ඉගැන්වීමයි. මිට අමතරව අර්ශස් රෝගීන් සඳහාත් ක්ෂාර ආලේප සිදු කරණු ලැබේ. භගන්ධර(Fistula) රෝගීන් සඳහාද ක්ෂාර සූත්‍ර භාවිතා කරන අතර එමගින් ස්ථිර හා සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකිය.

 මේ ප්‍රතිකාර සියල්ලම පිළිබඳව සමාජය තුල අනියත බියක් ඇති කර ඇත. මෙම ප්‍රතිකාර තුලින් අතුරු ආබාධ හෝ රෝග තත්ත්වයන් වෙනස් ස්වරුප ගනීවී යන පදනම් විරහිත  මතයක් ප්‍රජාව තුල මුල් බැස ගෙන ඇත. නමුත් අවධාරණය කල යුතු කරුණක් වන්නේ එවැනි කිසිදු ගැටළුවක් ඇති නොවන බවයි. අවුරුදු 30 ක පමණ වූ සේවා කාලය තුලදී කිසිදු පැමිණිල්ලක් ඒ සම්බන්ධයෙන් එල්ල වී නැති නිසා විශේෂඥ ආයුර්වේද ශල්‍ය වෛද්‍යවරයෙකු වශයෙන් අපට ඒ පිළිබඳව වගකීමෙන් පැවසිය හැකියි. අතුරු ආබාධ ඇති නොවනවා වගේම ආයුර්වේද ශල්‍ය සහ ශාලාක්‍ය ප්‍රතිකාර ලබා ගත් රෝගීන්ට සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන බවත් සඳහන් කල යුතුයි. ආයුර්වේද ශල්‍ය සහ ශාලාක්‍ය වෛද්‍යවරුන් අනෙකුත් බටහිර වෛද්‍යවරුන් සේම  අවුරුදු 3ක් පශ්චාද් උපාධියක් හදාරා පැමිණි අයයි. ඔවුන් කිර්තිමත් ඉන්දියානු ආයුර්වේද පශ්චාද් උපාධි ආයතන වලින් අධ්‍යාපනය ලැබූ අයයි. එහිදි විවිධ අංශ වල ශල්‍යකර්‍ම රාශියක් සිදුකිරීමට ඔවුනට සිදුවේ. ඒ අතරට අක්ෂි කාච ශල්‍යකර්‍ම පවා ඇතුලත් වේ.  එනිසා ආයුර්වේද ශල්‍ය වෛද්‍යවිද්‍යාව ගැන සැකයක් තබා ගත යුතු නැත. මෙරට තුල නිසි පරිසරය අවශ්‍ය පමණටම සකස් වී සකස් වී නොමැති නිසා එම සියළුම ශල්‍යකර්‍ම සිදු කිරීමේ අවස්ථාව මගහැරී ගොස් ඇතත් ප්‍රායෝගික ගැටළු මැඩගෙන පරා ශල්‍ය ක්‍රම(para surgical methods)  භාවිතා කරමින් හෝ ශල්‍ය ප්‍රතිකාර කිරීමට  අප කටයුතු කරමින් සිටින්නෙමු. නමුත් එයින් අප උත්සහ කරන්නේ නැහැ ආයුර්වේද ශල්‍ය වෛද්‍යවරුන් වශයෙන් අපට ඇති අයිතිය හා හැකියාව අත්හැරීමට.  අප වෙත ඇති කර ඇති යම් යම් සීමා කිරීම් නිසා අපට සිදු කල හැකි සේවාව සිමාවී ඇති වුවත්  දැන් අපි අපට කරන්න පුළුවන් සිමාව තුල උපරිම මට්ටමෙන් අවස්ථාවන් මතුකර ගනිමින් ප්‍රතිකාර කිරීමට යොමු වි සිටින්නෙමු.

ප්‍රජාව තුල ඇති විය යුතු ආකල්පමය වෙනස………..

විශේෂ දෙයක් තමයි ආයුර්වේද වෛද්‍ය වරයා අභිමුවට රෝගීන් එන්නේ පළමු වශයෙන් නෙමෙයි. බොහෝ අවස්ථා වලදී හැමතැනම ප්‍රතිකාර සඳහා ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදි තමයි පැමිණිම සිදුවන්නේ. තත්ත්වය ඉතාම අසාධ්‍ය හෝ බරපතල වූ පසු  ආයුර්වේද ප්‍රතිකාර හරි කරලා බලමුද කියලා හිතලා තමයි බොහෝ රෝගීන් පැමිනෙන්නේ . ඒ අවස්ථාව වන විට අවුරුදු2-3ක් ගිහිල්ලා රෝගය අවසාන අවස්ථාවට පත්වී ඇත. එනිසා රෝගීන් වුවත් වගබලා ගත යුතුයි නිසි අවස්ථාවේදී ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමු විමට. ඒ වාගේම කිව යුතු කරුණක් වන්නේ ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස සමාජයේ ප්‍රසිද්ධ වි සිටින පිරිසකුත් ඉන්නවා. ඒ අය අතරින්  ‍සමහරෙක් සැබෑ ආයර්වේද වෛද්‍යවරුන් නෙමෙයි. ඔවුන් බොහෝ දෙනෙකු ලියාපදින්චි හොද පිළිගත් වෛද්‍යවරුන් නෙමෙයි. එම පුද්ගලයින් සිදුකරණ වැරදි පවා බැර වන්නේ සමස්ථ ආයුර්වේදය කියන ගිණුමටයි.  අදාල වගකිව යුතු ආයතන එවැනි තැනැත්තන්ව නවත්තන්න ක්‍රමයක් යොදලත් නැහැ.  ඒ වාගේම ප්‍රජාව නියම ආයුර්වේද වෛද්‍යවරුන් වෙත යොමු කරන්න ක්‍රමයක්  සකසලාත් නැහැ. පෙර සඳහන් කල විශේෂ පරා ශල්‍ය ප්‍රතිකාර කිරීමට අවශ්‍ය භෞතික සහ යටිතල පහසුකම් රෝහල් වලින් සහ අනෙකුත් බලධාරින්ගෙන් ලැබෙන්න ඕනේ. ඒ වාගේම ආයුර්වෙදයටත් විශේෂයෙන් ආයුර්වේදිය ශල්‍ය සහ ශාලාක්‍ය චිකිත්සාවන්ටත් තියෙන බාධක මගහැරිලා මාර්ගය පැහැදිලි කර ගන්න ඕනේ.  අතිතයේ අපි එම කාර්යය සිදුකලා, දැන් කරන්න වෙනම කට්ටියක් ඉන්නවාය ඒ නිසා අපි ඉතිහාසයේ උරුම කිර්ති නාමය පමණක්  විතරක් තියාගෙන ඉමු කියන ඒක ආකල්පය ඉවත් කල යුතුයි.

බොරුල්ල දේශිය වෛද්‍ය විද්‍යායතනයේ ආයුර්වේද පශ්චාද් උපාධි ආයතනය විසින් නව  MD පාඨමාලාවක් ආයුර්වේද උපාධිදාරි වෛද්‍යවරුන් වෙත ආරම්භ කර ඇත. මෙරට තුල ආයුර්වේද විෂය සම්බන්ධයෙන් මෙවැනි ඉහල පශ්චාද් උපාධි පාඨමාලාවක් ඇරඹෙන්නේ පළමු වතාවටය . එම පාඨමාලාව හදාරන ආයුරවේද වෛද්‍යවරුන් සඳහා මාස හයක ඉන්දියාවේ සම්පූර්ණ සායනික පුහුණුවක්ද අන්තර් ගත කිරීමට පශ්චාද් උපාධි ආයතනය කටයුතු සුදානම් කර ඇත.  එසේ ඉන්දිය‍වේ පුහුණු කටයුතු සඳහා යෑමට සිදුව ඇත්තේ ඒ පාඨමාලාවට ගැළපෙන තරමින් මෙරට රෝහල් පද්ධතිය දියුණු වි නොමැති නිසාවෙනි.  මෙරට‍ රෝහල් තුල එම උස්ස මට්ටමේ සායනික පහසුකම් යටතේ පුහුණුව ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් බලධාරින් ඇති කරන්නේ නම් ඉන්දියාවට යන්න අවශ්‍ය තාවයක් ඇති වන්නේ නැහැ. හැමෝටම ඉන්දියාවට ගොස්  පශ්චාද් උපාධි කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා ගොඩක් දක්ෂ වෛද්‍යවරුන්ට අසාධාරණයකුත් වෙනවා මේ තත්ත්වය තුල.  ඒ පිළිබඳවත් බලධාරින් සිතන්න අවශ්‍යයි.  ඒ සඳහා ශික්ෂණ රෝහල් වල පහසුකම් වැඩි දියු ණු කල යුතුය. රෝහල් පද්ධතිය තව වැඩි කල යුතුය. උපාධිය අරන් විශ්වවිද්‍යාල වලින් පිටවන වෛද්‍යවරුන් සෑම දෙනාටම ඉකිමනින්ම රජයේ රෝහල් වල පත්වීම් ලබා දීමට කටයුතු කල යුතුයි. විශේෂයෙන් ශල්‍ය හා ශාලාක්‍ය කියන විෂයයන් සඳහා රෝහල් වල පහසුකම් වැඩි දියුණු කිරීම අනිවාර්යයෙන්ම සිදු කල යුතුයි.  මොකද රෝහල් වල උසස් තත්ත්වයක් තුල තමයි ශල්‍ය සහ ශාලාක්‍ය ප්‍රතිකාර සිදුකරන්න ඕනේ.  රෝගින් පවා  එම තත්ත්වය බලාපොරෝත්තු වේ. රෝගින් තුල විශ්වාසය වර්ධනය වන්නේ ඒ හරහාය. අනෙක් කරුණ තමයි ආයුර්වේද වෛද්‍යවරුන් කියන්නේ ස්වාධින වෛද්‍ය කණ්ඩායමකි. ඔවුන් ඉතා උගත් බුද්ධි සම්පතක් වේ. එම වෛද්‍යවරුන් වෙනත් වෛද්‍යවරුන් කණ්ඩායමකගේ අධිකාරියට යටත් විය යුතු නැහැ.  ආයුර්වෙද වෛද්‍යවරුන්ගේ අනන්‍යතාව හා අභිමානය පවත්වා ගනිමින් ස්වාධිනව පැවතීමේ අවස්ථාව තිබිය යුතුයි. ඒ සඳහා නීති සැකසිය යුතුයි. විශේෂයෙන්ම ආයුරවෙද වෛද්‍ය සේවාව පිළිගත් වෛද්‍ය සේවාවක් බවට පත් කල යුතුමයි. මෙරට ඇතුළු අග්නිදිග ආසියාතික රටවල දේශිය සහ ආයුර්වේද වෛද්‍යක්‍රම ගැන ලොක සෞඛ්‍ය සංවිධානය කල සමික්ෂණයක ප්‍රතිඵල අනූවය එම කලාපයේ ආයුර්වේද හා දේශිය වෛද්‍ය ක්‍රම තියෙන රටවල් අතුරින් රටවල් 11කින් ශ්‍රි ලංකාව පසුවන්නේ 10ස්ථානයේය. අපට පිටිපසින් ඉන්නේ නේපාළය පමණි. බංගලාදේශය භූතානය මාලදිවයින් පාකිස්ථානය වැනි රටවල් පවා අප රටට වඩා ඉදිරියෙන් සිටියි. මෙරට දේහිය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙනක් ඇති සැබෑ තත්ත්වය එයයි. නිවැරදිව සලකන්නේ නම් ශ්‍රී ලංකාව මෙම කලාපයේ ඉන්දියාට පමණක් හෝ පසු පසින් සිටිය යුතුයි.  යතාර්තවාදිව බැලුව හොත් ඉන්දියාවටත් වඩා වටිනා දේශිය වෛද්‍යක්‍රමයක් ශ්‍රි ලංකාවේ පැවතුන බව කවුරුත් පිළි ගන්නා සත්‍යකි. නමුත් දැන් ඒකත් නැහැ.

ඉන්දියාවට ගොස් ආයුර්වේද විෂය සම්බන්ධව විවිධ පශ්චාද් උපාධි, එම්ඩී, පිඒච්ඩී උපාධි සම්පූර්ණ කර නැවත මෙරටට පැමිණි  ආයුර්වේද වෛද්‍යවරුන් විශාල පිරිසක් සිටිති. විශේෂයෙන් බොරැල්ල දේශිය වෛද්‍ය ආයතනය තුල විශාල විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ගොනුවී සිටිති.  ඇත්තටම ඉන්දියාවේ තුල පවා  එක ආයතනය නොමැති තරම් විශේෂඥ දැණුම පිරි ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් දේශිය වෛද්‍ය විද්‍යායතනයේ රැදි සිටිති. මේ බුද්ධි සම්පත  එක තැනකට කේන්ද්‍ර වි පැවතීම  ජාතික අපරාධයකි. ශික්ෂණ රෝහල් සහ අනෙකුත් රෝහල් දියුණු කර මේ වෛද්‍යවරුන්ගේ සේවය ඒවාට බෙදා දිය යුතුයි. විශේෂයෙන් කොළඹින් ඇතට යන්න යන්න ජනතාවට වැඩිම සේවයක් සපයන්නේ ආයුර්වේද රොහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා බව සත්‍යකි. ඒ නිසා එම රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා වල තතත්වයන් දියුණු කර තව තවත් රෝහල් සහ බොහෙත් ශාලා ඇති කල හැකි නම් එය ජාතික ආර්ථිකයටත් ප්‍රජාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙනුත් ඉතාම වටිනා ආයෝජනයක් වන බව නොඅනුමානය. මෙරට තුල  අවශ්‍ය තරම් පුහුණු ආයුර්වේද වෛද්‍ය සම්පත පවති .අවශ්‍ය කරන්නේ යටිතල පහසුකම් සහ භෞතික සම්පත් ඇතිකිරීම පමණි. බටහිර ඖෂධ ගෙන්වීමට යන වියදම හා සැලකීමේදී  ඉතාම අඩු ප්‍රතිශතයක් පමණක් ආයුර්වේද ඖෂධ  සඳහා වි‍යවෙන්නේ. රෝහල් සහ ඖෂධ ලබා දෙයි නම්  ප්‍රතිපාදන වෙන් කරයි නම් ආයුර්වේද වෛද්‍යවරුන් ඉතා හොද සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දෙන බව විශ්වාසයි.  කිසිදු අංශයක් වෙත ඉතා සුළු ප්‍රතිපාදන පුමාණයක් වෙන් කර ඉතා ඉහල සේවාවක් බලාපොරෝත්තු විය නොහැකි සේම එසේ බලාපොරොත්තු විමත් අසාධාරණයි.

අනෙක් කරුණ වන්නේ  එංගලන්තය යුරෝපය වැනි දියුණු මානව සම්පතක් සිටින සමාජ තුල උපස්ථායකයනුත්, භෞතචිකිත්සකයිනුත් වෙද නලාව පාවිච්චි කරනවා. ඔවුන් එයින් වැඩ ගන්නවා. ඔවුන්ට අවස්ථාව තියෙනවා විවිධ විභාග සමත්වී වෛද්‍ය වෘත්තියට ඇතුලත් වීමට. නමුත් මෙරට තුල එහෙම අවස්ථා තියෙනවාද? පූර්ණ ඒකාධිකාරියක් පවත්වා ගෙන යැමට කටයුතු කරලා තියෙනවා වෛද්‍ය වෘත්තිය තුල. එවැනි එකාධිකාරියන් තුලින් ඇතිවන්නේ සමස්ථ සෞඛ්‍ය අංශයේම දියුණවක් නොවෙයි පරිහාණියකි. ඕනෑම අංශයක පරිපාළන කටයුතු සඳහා පත්විය යුත්තේ අදාල විෂය ගැන දැණුමැති එම විෂයේම නියුතු අයවළුන්ය. එය ආයුර්වේදයටත් පොදුය. නමුත් ආයුර්වේද ක්ෂේත්‍රයේ තිබෙන ගොඩක් පරිපාළන තනතුර වලට පත්වී සිටින්නේ සිවිල් සේවයේ නිළධාරින් වේ. ඇත්තටම එම තනතුරු වලට පත්විය යුත්තේ ආයුර්වේද වෛද්‍යවරුන්මයි.

ස්තූතිය විශේෂඥ ශල්‍ය වෛද්‍ය කමල් සේරසිංහ මහතා
සකස් කලේ වෛද්‍ය රක්ඛිත සම්පත් බන්ධුසේන