ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
චරක සංහිතාව – පසුබිම් කරුණු

භාරතයේ උපන් විවිධ ශිල්පයන් අතර ආයුර්වේද ශාස්ත්‍රයද ඉහලින්ම වැජඹේ. එම සියළුම ශිල්ප සහ විද්‍යාවන්හීම මුල් අයිතිය සහ ගරුත්වය  තමන්ගේ හින්දු  ධර්මයට  අනුව ලොක පාලක ත්‍රීමූර්තිය (බ්‍රහ්ම, විශ්ණු, ඊශ්වර) වෙත ලබාදීමේ දැඩි අවශ්‍යතාවයක් සහ නැඹුරුවක් පුරාතණයේ විසු බ්‍රහ්මණ පඬිවරුන් තුල විද්‍යමාන විය.  ආයුර්වේද මූල ග්‍රන්ථයන් සකු(සංස්කෘත) භාෂාවෙන් ලියවීමට පටන් ගත්තේ ක්‍රි. පූ හතර වන සියවසේදී පමණය. ඊට පෙර යුග වලදී ආයුර්වේදය ලියැවුනේ වෛදික භාෂාවෙනි. ආයුර්වේද දර්ශනය සම්බන්ධයෙන් රචනා වී ඇති ග්‍රන්ථයන් අතුරෙන්  වර්ථමානයේ ඉතිරිව ඇති විශිෂ්ටතම ග්‍රන්ථ ත්‍රිත්වය හැදින්වීමට  “වෘද්ධත්‍රය” යන නාමය භාවිතා වේ. චරක සංහිතා, සුශ්‍රැත සංහිතා, සහ අශ්ඨාංග හෘදය සංහිතා යන ග්‍රන්ථ ත්‍රිත්වය වෘද්ධත්‍රයට අයත් වන ග්‍රන්ථයෝ වන්නෝය. ඒ අතරින්ද චරක සංහිතාව අග්‍රය. ප්‍රධානය. චරක සංහිතාව ආයුර්වේදීය මෞලික ග්‍රන්ථය වශයෙන් මෙන්ම ආයුර්යව්දයේ ශ්‍රේෂ්ඨතම  කාය චිකිත්සා ග්‍රන්ථය වශයෙන්  ආයුර්වේදඥයන් අතර පමණක් නොව අනෙකුත් ප්‍රාඥයන් අතරද  පිළිගැනීමට පත්ව ඇත. වඩාත් පැරණිවුත් එලෙසම වඩාත් පුළුල් ලෙස ආයුර්වේදය සංග්‍රහ කොට ඇති බැවිනුත් චරකයට අග්‍රස්ථානය නිතැතින්ම හිමි වේ. එම කරුණ තහවුරු වන්නේ චරක ග්‍රන්ථාවසානයේ දැක්වෙන පාඨයක් මගිනි. එය බොහෝ දුරට චරක ආචාර්යවරයාගේම කියමනක් නොවිය හැකි අතර චරක සංහිතාව බිහිවීමට පාදක වු අග්නිවේශ මහසෘෂි වරයාගේ කියමනක් වියහැකි බව පිළිගැනීමයි. මක්නිසාද චරක සංහිතාව බිහිවන්නේ අග්නිවේශ සෘෂිවරයා රචිත අග්නිවේශ තන්ත්‍රය තුලින් වීම  නිසාවෙනි. එම පාඨය නම් “ චරකයේ දැක්වෙන දෑ වෙනත් ග්‍රන්ථයන්හී තිබිය හැකිය, එහෙත් චරකයේ නොදැක්වෙන දෙයක් වෙනත් ග්‍රන්ථයක නැත.” යන්නයි.

අග්නිවේශ

අග්නිවේශ පුණර්වසු ආත්‍රේය සෘෂීවරයාගේ දෙටු ගෝලයා විය. හිමවත සෘෂි සම්මේලනයේදි පැමිණී එකඟතාවයට අනූව ශක්‍ර දේවේන්ද්‍රයා වෙත ගිය භාරද්වාජ මහ සෘෂිවරයා ශක්‍රයා වෙතින් උගත් ආයුර්වේද ශාස්ත්‍රය සමඟ නැවත මනුලොවට පැමි‍ණිමෙන් පසු එය අ‍නෙකුත් මහා සෘෂී වරුන් වෙතද උගන්වන ලදි. පුණර්වසු ආත්‍රේය ඒ අතර සිටි අයෙකි. පළමුව තමන්ගේ ප්‍රධාන ශිෂ්‍යයන් හය දෙනෙකු වෙත පුණර්වසු ආත්‍රේය පවිත්‍ර ආයුර්වේද ඥානය ලබාදෙන ලදි. අග්නිවේශ, භේල, ජතුකර්‍ණ, පරාශර, හාරිත, ක්ෂාරපාණි යන එම ශිෂ්‍යයන් අතුරෙන් අග්නිවේශ තෙමේ තික්ෂණ බුද්ධියෙන් යුක්ත වුයෙ, ප්‍රථම කොටම ආයුර්වේද ශාස්ත්‍රය අළලා පරිපූර්ණ ග්‍රන්ථයක්ද රචනා කලේය. එය අග්නිවේශ තන්ත්‍රය නම් විය.

චරක සංහිතාව බිහිවීම

චරක සංහිතාව බිහිවීම සම්බන්ධයෙන් ඇත්තේ යම් ව්‍යාකූල තත්වයකි. මක් නිසාද මෙම ග්‍රන්ථය රචනා කල කතුවරයා  ලෙස චරක ආචාර්යවරයාගේ නාමය සදහන් කලත්  ග්‍රන්ථයේ අඩංගු තොරතුරු වල නියම හිමිකරුවන් පිළිබදව විවිධ මත පැවතීමයි.

පෙර ලිපියක සදහන් කර ඇති  පරිදිම ආයුර්වේදය ප්‍රධාන පරම්පරා දෙකක් ඔස්සේ ගමන් ඇරඹු බව අප දනිමු. ආදිදේව ධන්වන්තරී මහාර්ෂි වරයාගෙන් පැවත එන්නේ යැයි පැවසෙන ශල්‍ය චිකිත්සාව ප්‍රම්ඛ කර ගත් ධන්වන්තරී සම්ප්‍රදාය ඉන් එකකි. අනෙක් සම්ප්‍රදාය වන්නේ කාය චිකිත්සාව මූලික කර ගත් ආත්‍රේය සම්ප්‍රදායයි. ආත්‍රේය පරම්පරාවේ කාය චිකිත්සා ක්‍රමය ආත්‍රේයානුශාසනය අනූවම අග්නිවේශ මහාසෘෂිහු විසින් ග්‍රන්ථාරුඪ කිරිමේන් අග්නිවේශ තන්ත්‍රය ඇතිවු බව ඉතිහාසයේ සදහන් වේ.

“ඉත්‍යග්නිවේශකෘතේ තන්ත්‍රේ චරක ප්‍රතිසංස්කෘතේ…………..” යනුවෙන්  චරක සංහිතාවේ සෑම  අධ්‍යායයක් අවසානයේදීම සටහන් වන ශ්ලෝක පාඨයක් ඇත. ඉන් අදහස් වන්නේ අග්නිවේශ(අගිවෙසුන්) කරණ ලද්දාවු චරක විසින්  ප්‍රතිනිර්මාණය කරණ ලද්දාවු අධ්‍යායය යන්නයි.එයින් පැහැදිලි වන්නේ චරක සංහිතාවේ ඇති සෑම වචනයක්ම චරක ආචාර්යවරයාගේ නොවන බවයි.

මුල් යුගයේ රචනා වු ආයුර්වේදීය ශාස්ත්‍රීය ග්‍රන්ථයන් සෑම එකක්ම පාහේ කිනම් හෝ ප්‍රමාණයකට විනාශවි ගොස් තිබුණි. ඒ අතරිනුත් අග්නිවේශ තන්ත්‍රය ඉතා දැඩි ලෙස විනාශ වි ගොස් ඇත. ජරාහත අග්නිවේශ තන්‍ත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමෙන් විය හැකි අනූපමේය ලෝකාර්ථය ගැන මෙනෙහි කල චරක පඬිතුමා ග්‍රන්ථයේ මුල පටන් චිකිත්සිත ස්ථානය අර්ධ සීමාව දක්වා ම ප්‍රතිසංස්කරණය කීරිමට මහත් වෙහෙසක් දැරීය. චිකිත්සා ස්ථානයේ අධ්‍යාය තිහකි. මින් අධ්‍යාය දහතුනක් වන තුරු චරක ආචාර්යවරයා  ප්‍රතිසංස්කරණය කල බව සදහන් වේ. ඉතා උනන්දුවෙන් සහ ඕනෑකමකින් මෙම කාර්යය මේ තරම් දුරට ගෙන ගියද අග්නිවේශ තන්ත්‍රය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංසිකරණය නොකිරීමට හේතු වු කාරණය පැහැදිලි නැත.  මෙම ප්‍රත්සංස්කරණය කරණ ලද කොටසට පමණක් අග්නිවේශ තන්ත්‍රය යැයි කීමට අසමත් වු අතර මෙම ග්‍රන්ථය චරක සංහිතා නමින් හදුන්වා දෙන්නට තරම් ශක්තිමත් වු බව සිතිය හැකිය. කෙසේ වෙතත් චරක  මුනිවරයා අතින් සංස්කරණය නොවු චිකිත්සිත ස්ථානයේ තුදුස් වැනි අධ්‍යයයේ සිට ඉදිරියට වු ඉතුරු සියළු කොටස් තෙවන ශතවර්ශය තුළ කාශ්මීරයේ පංචනද නගරයේ උපන් දෘඩබල පඩිතුමා සංස්කරණය කල බැවු ආයුර්වේදයේ සදහන් වේ. චරක සංහිතාවට කල ටීකා ග්‍රන්ථ ගැන විස්තර ඇත.

චරක සංහිතාවේ සුචි පත්‍රය

මෙහිදී  චරකයේ අඩංගු කොටස්  වෙන් වෙන්ව සහ පැහැදිළි රටාවක් අනුව ඇතුල් කර ඇති බව සංහිතාවේ සුචි පත්‍රය කියෑවීමෙන්  අවබෝධ කර ගත හැත. වඩාත් දියුණු ක්‍රමවේදයක් අනුගමණය කරමින් ස්ථාන වශයෙන් පළමුව ග්‍රන්ථය කොටස් අටක‍ට බෙදා ඇත.

  • 1.      සූත්‍රස්ථාන
  • 2.      නිදානස්ථාන
  • 3.      විමානස්ථාන
  • 4.      ශාරීරස්ථාන
  • 5.      ඉන්ද්‍රයස්ථාන
  • 6.      චිකිත්සිතස්ථාන
  • 7.      කල්පස්ථාන
  • 8.      සිද්ධිස්ථාන

ඉහත ආකාරයට ප්‍රධාන ලෙස බෙදා දක්වා ඇති චරකය ඉන්පසුව තවත් පියවරක් ඉදිරියට යමින් අධ්‍යායය ලෙස සෑම ස්ථානයක්ම නැවත බෙදීමකට ලක්කර ඇත. මේ අනූව සෑම ප්‍රධාන මාතෘකාවක්ම නැවත මාතෘකා සහ උප මාතෘකා ලෙස බෙදා දක්වා ඇත. මෙම ලිපියට අදාල දෙවන ලිපියකදී වෙන වෙනම ස්ථාන , අධ්‍යායය සහ මාතෘකා සහ උප මාතෘකා සම්බන්ධ කරමින් චරකයේ ඇති න්‍යායාත්මක කරුණු විස්තර කරණු ලැබේ.