ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ආයුර්වේද ශාස්ත්‍රයේ ආරම්භය

“විද්” ධාතුවේන් බිදි ඇති “වේද” යන්නෙහි අදහස ඥානය යනුයි. “ආයුඃ” යන්නෙහි අදහස “ආයුෂ” හෙවත් “දිර්‍ඝ ජීවිතය” හෝ “යහපත් ජීවිතය” වේ. ලෙඩ රෝග වලකා ගැනීමෙන් සහ රෝග සුව කර ගැනීමෙන් යහපත් ජීවිතයක් ගත කීරිමට උපදෙස් දෙන ශාස්ත්‍රය පිළිබදව ඉගෙනීම හෝ ඉගැන්වීම සහ ආයුෂ පිළිබද වු ඥානය ද ඇතිකර දෙන ශාස්ත්‍රය “ආයුර්වේද” නම් වේ.

ආයුර්‍වෙද ශාස්ත්‍රයෙන් බලාපොරෝත්තු වන යහපත පිළිබදව,

සුශ්‍රැත මෙසේ කියයි.

ආයුරශ්මින් විද්‍යතෙ’නෙන වා ආයුර්වින්දතීත්‍යායුර්වෙදඃ

“ ශාරීර, ඉන්ද්‍රීය, සත්ව ආත්ම ආදී සියල්ල එකතුවීම ආයුෂ නම් වේ. ඒ ආයුෂ පිළිබද වු විස්තරය මේ ශාස්ත්‍රයෙහි විද්‍යාමාන හෙයින් “ආයුර්‍වෙද” නම් වේ. ඒ ආයුෂ පිළිබද වු ඥානය සහ දීර්‍ඝායුෂ ඇති කර ගැනීමේ සහ ස්වාස්ථිතිය ආරක්ෂා කර ගැනීමේ ඥානය පිළිබදව ද උපදෙස් දෙන හෙයින් මේ ශාස්ත්‍රයට ආයුර්‍වෙද යන නම් යෙදේ.”

(සුශ්‍රැත සුත්‍ර අධ්‍යාය 01-13)

චරක මෙසේ පවසයි.

හිතාහිතං සුඛං දුඃඛ මායුසතස්‍යහිතා හිතව මානංච තවව යත්‍රොක්ත මායුර්‍වෙදඃ ස උච්‍යතෙ

“ යහපත් ජීවිතය, අයහපත් ජීවිතය, සැප සහිත ජීවිතය, සැප රහිත ජීවිතය යන සිව් ආකාර ජීවිතයන්ගෙන් (හෙවත්, හිත ආයුෂ, අහිත ආයුෂ, සුඛ ආයුෂ, දුඃඛ ආයුෂ යන සිටි ආකාර වු ආයුෂ අතුරින්) යහපත් ජිවීතය සහ සැප සහිත ජීවිතය ගතකීරිම පිළිබදව උපදෙස් පෙන්වන ශාස්ත්‍රය ආයුර්‍වෙද නම් වේ.”

(චරක සූත්‍ර අධ්‍යාය 01-41)

ආයුර්‍වෙදය ඉගෙනීමෙහි ඇති ප්‍රයෝජනය පිළිබදව මෙසේද විස්තර කෙරේ.

චරක මෙසේද පවසයි.

ප්‍රයොජනංචාස්‍ය ස්වස්ථස්‍ය ස්වාස්ථ්‍ය රක්ෂණ මාතුරස්‍ය විකාර ප්‍රශමනංච.

“ නිරෝගී අයගේ සනීපාරක්ෂාව ඇති කරදීමත්, රෝගී අයගේ රෝග සුවකර දීමත් මේ ශාස්ත්‍රයෙන් ඇතිවන ප්‍රයෝජන යන් වෙති.”

(චරක සූත්‍ර අධ්‍යාය 30-26)

….

සුශ්‍රැත නැවතත් මෙසේ කියයි.

ඉහ බල්වායුර්‍වෙද ප්‍රයෝජනං ව්‍යාධ්‍යුපසෘෂටානාං ව්‍යාධිපරිමෝක්ෂඃ ස්වස්ථස්‍යරක්ෂණංච.

“ රෝගයන්ගෙන් පීඩිත වූ අයගේ රෝග සුවකිරීමත්, නිරෝගී අයගේ සනීපාරක්ෂාව ආරක්ෂා කිරීමත්, මේ ආයුර්‍වෙද ශාස්ත්‍රයෙන් ඇති වන ප්‍රයෝජන වෙති.”

(සුශ්‍රැත සුත්‍ර අධ්‍යාය 01-12)

ආයුර්‍වෙද යන්නෙහි තවත් අදහසක් ඇත; එනම්, ආයුෂ පිළිබදව උපදෙස් දෙන “වේද” ශාස්ත්‍රය යනුයි.

වේද ශාස්ත්‍රය යනු, හින්දු භක්තියට අඩංගුවන “සූත්‍ර” හෙවත් “ආප්ත වචනද”, “උපනිෂද්” හෙවත් බ්‍රහ්ම පදාර්‍ථ ආරම්භය හා සත්වයාගේ උත්පත්තිය, මරණය, ආත්මය යනාදිය විස්තර කරන ශාස්ත්‍ර ද, “දර්‍ශණ” හෙවත් මනෝවිද්‍යාවද, උගන්වන ශාස්ත්‍රය වේ.

“වේද” ශාස්ත්‍ර සතරකි. එනම් “සෘග්වේද, යජුර්‍වෙද, සාමවේද, අථර්‍වවෙද” යන හතරය. මෙයට “චතුර්‍වෙද” යයි කියනු ලැබේ. මේ චතුර්‍වෙද අතුරෙන් අථර්‍වවේදය ඉතාමත් නූතනම වේද ශාස්ත්‍රය වේ. අනිත් “වේද” තුන හෙවත් “ත්‍රිවේද” යෙන්ම කරුණු එකතුකොට “ව්‍යාස” සෘෂීන් විසින් අථර්‍ව වේදය සම්පාදනය කරන ලද්දේයයි කියනු ලැබේ.

වේද ශාස්ත්‍රයෙහි, ඉහත කියන ලද පරිදි සූත්‍ර, උපනිෂද්, ආදිය හැර තවත් “උපවේද” යන නමින් ශාස්ත්‍ර කීපයක් විස්තකර තිබේ. ආයුර්‍වෙද ශාස්ත්‍රයද මේ උපවේද අතුරෙන් එක් උපවේදයකැයි ‘සුශ්‍රැත” පෙන්වාදී තිබේ.

ඉහ ඛල්වායුර්‍වෙදො නාම යදුපාංග මථර්‍වවෙදස්‍යා නුත්පාද්‍යෛාච ප්‍රජාඃ ශ්ලොකශතසහස්‍ර මධ්‍යාය සහස්‍රංච කෘතවාන් සවයම්භඃ

(සුශ්‍රැත සුත්‍ර 1-3)

“සකල ලොක සත්වයාගේම යහපත පිණිස, අථර්ව වේදයෙහි උපාංගයක් වු මේ අයුර්‍වෙද ශාස්ත්‍රය, ශ්ලොක ලක්ෂයක් සහ අධ්‍යාය දහසකින් ද සමන්විත කොට මහා බ්‍රහ්මයා විසින් විස්තර කරන ලද්දේය” යනුයි.

ආයුර්වේද  ශාස්ත්‍රය “සෘග් වේද” යෙහි උපාංගයක් වශයෙන්ද සෘග්වේදයෙහි දක්වා තිබේ. එහි පෙන්වා තිබෙන පරිදි ආයුර්‍වෙදය ඊශ්වරයා විසින් උගන්වන ලද ශාස්ත්‍රයකි. “කෛලාශ ශිඛරෙ රම්‍යෙ පර්‍වතී පරමෙශ්වරෞ” යනාදි වශයෙන් දීර්‍ඝ විස්තරයක් කරමින් ස්වීය භාර්‍ය්‍යව වූ පෘර්‍වතියට ඊශ්වරයා වෛද්‍ය ශාස්ත්‍රය ගෙනඑන ලද්දේය යි විස්තර කෙරේ. සෘෂී යුගයට පෙරද ආයුර්වේද ශාස්ත්‍රයක් තිබුන බැව් “චරක” ආචාර්‍ය්‍යවරයා පවා විස්තර කර තිබේ.

සෝ’යමායුර්‍වෙදඃ ශාශවතො නිර්දිශ්‍යතේ, අනාදිත්වාත්

(චරක සුත්‍ර 30-27)

“එනම්, “ මේ වෛද්‍ය ශාස්ත්‍රය නිත්‍ය වේ; මක්නිසාද? මේ ශාස්ත්‍රයෙහි පටන්ගැනිමක් හෙවත් ආදියක් (හෝ අන්තයක්) පෙණෙන්නට නැති හෙයිනි” යනුයි හෙවත්, යම්තාක් කල් මනුෂ්‍යයා මේ ලෝකයේ ජීවත්ව සිටියේ නම් ඒ තාක් කල් රෝග නිවාරණය පිණිස යම්කිසි වෛද්‍ය ශාස්ත්‍රයක් ද පැවතුනබැව් පෙන්වීමට එසේ කියා තිබේ.

වෛද්‍ය ශාස්ත්‍රය දෙවියන්ගෙන්ම ලැබිණ දෙයක් වශයෙන් පෙන්වාදීම ආයුවේද ශාස්ත්‍රයෙහි පමණක් නොව ලෝකයේ බෙහෝ රටවල්වල වෛද්‍ය ශාස්ත්‍ර ගැන යමක් ග්‍රන්ථාරූඪ කරන විට පෙන්වා දී තිබෙන, එමෙන්ම භක්තිය ඇති කිරීම පිණිස ගෙනහැර පෑ කරුණකි. ග්‍රිසියේ “ඇපොලෝ” නම් දෙවියා ද, මිසරයේ “ඉසිස්” (ඉසි යයි ද භාවිතය) නම් දිව්‍යප්සරාව ද වෛද්‍ය ශාස්ත්‍රය ලෝකයට  දුන්නේය යි කියන කීම් නිදර්‍ශන වෙත්.

ආයුර්‍වෙද ශාස්ත්‍රයෙහි ද බොහෝ තෙල් බෙහෙත් වර්‍ග ආදිය ඒ ඒ දෙවියන්ගෙන් ලැබුණුදැ  මෙන් විස්තර කෙරෙත්. නිදර්‍ශන නම්, නාරායන තෛලය, විෂ්ණු තෛලය ආදිය විෂ්ණු දෙවියාගෙන්ද, භාෂ්කර ලවණ ආදිය සුර්‍ය්‍ය දෙවියාගෙන් ද, මකරධ්වජය අණංගයා ගෙන්ද යනාදී වශයෙන් ඒ ඒ බෙහෙත් තෙල් ආදිය නොයෙක් දෙවියන්ගෙන් ලත් ඖෂධ මෙන් පෙන්වා දී තිබේ.

ආයුර්‍වෙද ශාස්ත්‍රයද නවීන වෛද්‍ය ශාස්ත්‍රය මෙන්ම නොයෙක් ශාඛාවන්ට වෙන්කර තිබේ. ඒ ඒ ශාඛාවන් සහිතව ම, ආයුර්‍වෙද ශාස්ත්‍රය පළමුව දෙකොටසකට වෙන්වේ.

එනම්, ශල්‍ය වෛද්‍ය  ක්‍රමය හෙවත් ශල්‍ය කර්‍මයකින් පමණක් සුව කලහැකි රෝග පිළිබද විස්තරයද, කාය චිකිත්සා හෙවත් සර්‍වාංග වෙදකම යන නමින් හැදින්වෙන ශල්‍යකර්‍ම නොකොට ඖෂධ යෙදීමෙන් පමණක් සුව කරගතහැකි රෝග පිළිබද වු චිකිත්සා විස්තරද වෙත්.

….

මින් ශල්‍ය වෛද්‍ය ක්‍රමය පිළිබද වු චිකිත්සා  ක්‍රමයේ ප්‍රධානියා වූයේ  “ධන්වන්තරී” නම් සෘෂිවරයාය.

කාය චිකිත්සා ක්‍රමයේ ප්‍රධානියා වූයේ “ආත්‍රේය” නම් සෘෂිවරයාය.

“දෙවියන්ගෙන්ම  වෛද්‍ය ශාස්ත්‍රය ලැබුණේය” යි යන කියමන කියන මේ දෙපක්ෂයම, වෛද්‍ය ශාස්ත්‍රය මනුලොවට ලැබීම පිළිබදව කරන විස්තරය එකහා සමාන නොවේ. “ධන්වන්තරී සම්ප්‍රදාය” ය යි සම්මත ශල්‍ය වෛද්‍ය ක්‍රමය මනුලොවට පැමිණි ආකාරය විස්තර කරන “ධන්වන්තරී” සෘෂිවරයා මෙසේ පවසයි.

අහංහි ධන්වන්තරිරාදි දේවො – ජරාරුජා මෘත්‍යුහරොමරාණාම්

ශල්‍යාංග මංගෛරපරෛ රුපෙතං – ප්‍රාප්තො ස්මි ගාං භූය ඉහොපදෙෂ්ටුම්.

(සුශ්‍රැත සූත්‍ර 1-17)

එනම් “ ආදි දෙවි” වූ හෙවත්, මින් පෙර ආත්මයේදී දෙවියෙක්ව සිටි , “ධන්වන්තරී” වන මම, දෙවියෙක්ව සිටියදී, දෙවියන්ගේ ජරා, රෝග, මරණ වලකාලීමේ හා සුව කිරිමේ වෛද්‍ය කර්මයෙහි  නියුක්තව සිටියෙමි. මනුලොව මනුෂ්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස ශල්‍ය ශාස්ත්‍රය සහිත සියළුම අංගයන්ගෙන් සම්පූර්ණ වෛද්‍ය ශාස්ත්‍රය ඉගැන්වීම පිණිස දෙව්ලොවින් මනුලොවට පැමිණියෙමි” යනුයි. හෙවත් තමාද “දෙවියෙකැ” යි ධන්වන්තරී පෙන්වා දෙයි.

කාය චිකිත්සා සම්ප්‍රදාය හෙවත් “ආත්‍රේය සම්ප්‍රදාය” යන නමින් ප්‍රසිද්ධ සර්‍වාංග වෙදකම පිළිබද ආරම්භය මීට වෙනස්ය. සෘෂි යුගයට පෙරද වෛද්‍ය ශාස්ත්‍රයක් තිබුණ බැව් පෙන්වන චරක සංහිතාවෙහි පෙන්වා දී ඇති පරිදි, එහි විසතරය මෙසේයි.

“එකල තිබුනු වෛද්‍ය ශාස්ත්‍ර ක්‍රමයෙන්” සුවකල නොහැකි වූ වසංගත රෝගයන් සෘෂියුගයේදී ඇතිවිය. එය විස්තර කරන චරක මෙසේ කියයි.

විඝ්නභූතා යදා රොගාඃ ප්‍රාදූර්භූත ශරීරාණාම් – තපොපවාසාධ්‍යයන බ්‍රහ්මචර්‍ය්‍ය ව්‍රතායුෂම්

තදාභූතේෂව නුක්‍රෝශාං පුරස්කෘත්‍ය මහාර්‍ෂයඃ – සමේතාඃ පුණ්‍යකර්‍මාණඃ පාර්ශ්වෙහිමවතඃ ශුභේ.

(චරක සූත්‍ර 1-06)

“ එක්තරා කලෙක (යම්කිසි කලෙක) මනුෂ්‍යයින්ගේ තපස් රැකීම, උපවාස කර සිල්රැකීම, ශාස්ත්‍ර හදාරණය, බ්‍රහ්මචර්‍ය්‍යාව රැකීම, ව්‍රත හෙවත් ආගමානූකූල නීති රීති අනුව ජීවත් වීම, ස්වාස්ථිතිය ආරාක්ෂා කිරීම යනාදියට පටහැණිව වසංගත රෝග ඇතිවී පැතීරි යන විට සකල සත්ත්වයා කෙරෙහිඅනුකම්පා පූර්‍වකව , පින්වත් වූ ක්‍රියාවන්හි නිරත වූ මහා සෘෂිවරයෝ හිමාල පර්‍වත පාර්ශවයෙහි එක්තරා සුදුසු  පෙදෙසෙක රැස්වුවාහුය”.  (සෘෂිවරයො සිවු කොටසකි. එනම් “දිව්‍යර්ෂි” හෙවත් දෙවුලොව ආශ්‍රය කරනා සෘෂිවරුද, “මහාර්ෂි” හෙවත් මනුලොව සිටින උසස්ම සෘෂිවරයෝද, “සෘෂි” හෙවත් සාමාන්‍ය සෘෂිවරයෝද, “සෘෂිකා” හෙවත් සාමාන්‍ය සෘෂිවරයන්ට පහතින් සිටින සෘෂිවරයෝද වෙත්.) මේ ස්ථානයට රැස්වුයේ මහාර්ෂිවරු ප්‍රධාන අනෙකුත් සෙසු සෘෂිවරයො වෙති.

….

එහි පැමිණි සිටි සෘෂිවරයෝ, මේ වසංගත රෝගය සුවකිරීමට අපි දන්නා ඖෂධ  ප්‍රමාණ නොවන හෙයින් කුමක් කරමෝදැයි පශ්වාත්තාප වූවාහුය. එය පෙන්වා දක්වන චරක මෙසේ කියයි.

ධර්‍මාථිකාම මෝක්ෂාණාමාරොග්‍යං මූල ම්ත්තමම්‍

රෝගාස්තස්‍යාපහර්‍තාරඃ ශ්‍රෙයයො ජීවිතස්‍යච

ප්‍රාදුර්භූතො මනුෂ්‍යාණා මන්නරායො මහානයම්

කඃ ස්‍යාත්තෙෂාං සමොපාය ඉත්‍යුක්ත්වා ධ්‍යාන මාසථිතාඃ (චරක සූත්‍ර 1-15,16)

“ධාර්මිකව ජීවත්වීම, වස්තු සැපයිම, වස්තුවෙන් ප්‍රයොජනය ගෙන සැපසේ ජීවත් වීම, සහ පසු ආත්මයෙහි දෙව්ලොව සැප ලබාගැනීම ආදී සියල්ලටම ප්‍රධානවන්නේ නිරෝගීව ජිවත් වීමට හැකිවිම වෙයි. මේ කාලයෙහි ඒ සියල්ල පමණක් නොව, සාමාන්‍ය වශයෙන් ජ‍ීවතවීම පවා මේ රෝග  පැතිර යාමෙන් නැතිවි ගොස් තිබේ. මෙසේ මනුෂ්‍යයාගේ යහපත විනාශ කර දමන ඉතාම බරපතල වු වසංගත රෝගයක් පැතිර යන්නේය. “ අහෝ! අපි කවරාකාරයකින් මේ වසංගත රෝගය නිවාරණය කරන්නමෝද”? යනුවෙන් පවසා ඒ මහාසෘෂිවරයෝ ධ්‍යානයට සමවැදුනාහුය” යනුයි.

අථතෙශරණං ශක්‍රං ද දෘශුර්ධ්‍යාන චක්ෂුසා

ස්වක්ෂ්‍යති යමොපායං යථාවදමරප්‍රභූඃ (චරක සූත්‍ර 1-17)

“ මෙසේ ධ්‍යානයට සමවැදී සිටින විට, දිව්‍යඥාන අනුසාරයෙන්, මීට ඇති එකම පිහිට නම් ශක්‍ර දේවයාගේ පිහිට පමණක් යැයි පෙනී ගියහ. එහෙයින් “ දෙවියන්ගේ නායක වු ශක්‍ර දෙවියා මේ වසංගත රෝගය සමනය කිඍිම පිණිස උපායක් පෙන්වා දෙනවා ඇතැයි” ඒ සෘෂිවරයෝ පැවසූහ.

ශක්‍ර භවනට කවරෙක් පිටත් කරන්නමෝදැයි සෘෂිවරයෝ සාකච්ඡා කරනා විට, භාරද්වාජ නම් සෘෂිවරයා එහි යෑමට කැමැත්ත පෙන්වීය.

කඃ සහස්‍රාක්ෂභවනං ගච්ඡත් ප්‍රෂ්ටුං ශවීපතීම්

අහම් අර්‍ථෙ නියුජ්‍යෙය මත්‍රෙහි ප්‍රථමංවචඃ

භාරඞාජෝ’ බ්‍රවීන්තස්මාදෘෂිභිඃ ස නියොජිතඃ (චරක සූත්‍ර 1-18,19)

“ ඇස් දහසක් ඇත්තාවු, ශචීගේ හිමියා වු, ශක්‍රයාගෙන් විමසා බැලීමට කවරෙක් යන්නේදැයි යන ප්‍රශ්නය මතුවු විට, එය විමසා බැලීම පිණිස මා පිටත් කර යැවිය යුතුය යි පළමු කොටම භාරද්වාජ සෘෂිවරයා පැවසුවේය. එහෙයින් සෘෂිවරයින් විසින් භාරද්වාජ සෘෂිවරයා ඒ කටයුත්ත පිණිස පිටත්කර යවන ලදහ.”

භාරද්වාජ” සෘෂිවරයා තෙමේම දෙව්ලොවට ගිය බව චරක මෙසේ පෙන්වයි.

ස ශක්‍රභවනං ගත්වා සුරර්ෂිගණ මධ්‍යගම්

දදර්‍ශ බලහන්තාරං දීප්‍යමාන මිවානලම් (චරක සූත්‍ර 1-20)

“ ඒ භාරද්වාජ ශක්‍ර භවනට ගොස්, දෙව්ලොව දිව්‍ය සෘෂින්ගේ මධ්‍යයෙහි ගිනිජාලාවක් බැබලෙන්නාක් මෙන් දිලිසෙමින් විරාජමාන වු, “බල” නම් අසුරයා විනාශ කර දැමු ශක්‍ර දෙවියා දුටුවේය.” යනුයි.

….

මෙසේ භාරද්වාජ සෘෂිවරයාම දෙව්ලොවට ගොස් වෛද්‍ය ශාස්ත්‍රය මේ ලොකයට ගෙනාවේය යි ස්ථිර වශයෙන්ම චරක සංහිතාවේ පෙන්වා ඇතත්, වෛද්‍ය ශාස්ත්‍රය ඉගැන්වීමෙහි ප්‍රධානියා වූයේ “ආත්‍රේය” සෘෂිවරයා යයි ඒ ග්‍රන්ථයෙහිම, ස්ථිර කොට පෙන්වා තිබේ. එහෙයින් සෑම අධ්‍යායයක් ම  ආරම්භයේදී මෙසේ දක්වයි.

“ඉති හ ස්මාහ භගවාන් ආත්‍රේයඃ”

“ පින්වත් වු ආත්‍රේය සෘෂිවරයා මෙසේ කීවේය” යනුයි. ප්‍රථම අධ්‍යායය පටන් ගන්නා විටම එසේ ආත්‍රේය සෘෂිවරයා විසින් කියන ලද පරිදිය යි පෙන්වා දී තිබෙන හෙයින් මතු සඳහන් වන භාරද්වාජ පිළිබද ඇදින්වීම කළේ ආත්‍රේය යයි පිළිගත යුතුය.

දීර්‍ඝජීවිත මන්විච්ඡන් භාරද්වාජ උපාගමත්

ඉන්ද්‍ර මුග්‍රතපා බුද්ධ්වා ශරණ්‍යමමරෙශ්වරම් (චරක සූත්‍ර 1-3)

“ දීර්‍ඝ ආයුෂ ලබාගන්නා ක්‍රමය සෙවීමේ නියුක්ත වු මහා පින්වත් “භාරද්වාජ” සෘෂීවරයා, එය ලබාගැනීමට හාකි වන්නේ ශක්‍රයාගෙන් පමණකැයි වටහාගෙන දෙවියන්ගේ නායකයා වූ ශක්‍රයා කරා ගියේය” යනුයි.

එහෙයින් “ ආත්‍රේය” සෘෂීන්ගේ ඉගැන්වීම පරිදිම දෙව්ලොවට ගියේ “භාරද්වාජ” යයි පෙනී යයි.

අත්‍රේය මෙසේද කියයි.

“සෘෂිප්‍රොක්තො භාරද්වාජයත ස්මාච්ඡක්‍ර මුපාගමත්” (චරක සූත්‍ර 1-5)

“සෘෂිවරයන්ගේ ඉල්ලීම පරිදි  භාරද්වාජ සෘෂිවරයා ශක්‍රයා කරා ගියේය.

“සෘෂයශ්ච භාරද්වාජජ්ජ ගෘහුස්තං ප්‍රජාහිතම්” (චරක සූත්‍ර 1-27)

“අනිකුත් සෘෂිවරයෝද මනුෂ්‍යයාහට යහපත ගෙන දෙන ඒ වෛද්‍ය ශාස්ත්‍රය භාරද්වාජ සෘෂින්ගෙන් ඉගෙන ගත්තේය.”

එසේ හෙයින් දෙව්ලොවට ගොස් ආයුර්වේද ශාස්ත්‍රය ඉගෙනගෙන අනික් සෘෂින්ට ඉගෙන්වු “භාරද්වාජ” සෘෂි වරයාත්, අනික් සෘෂින්ට වෛද්‍යශාස්ත්‍රය ඉගැන්වුවා වුද, කාය චිකිත්සා සම්ප්‍රදායේ ප්‍රධානියාවූද, “ආත්‍රේය” සෘෂිවරයාත් යන දෙදෙන, ගුරුවරයා සහ ගෝලයාද, නැතහොත් නම් දෙකකින් හැදින්වෙන එකම අයම ද, නැතහොත් දෙව්ලොවට වෙනවෙනම ගිය දෙදෙනෙක්ද යන්න චරක සංහිතාවෙන් නිශ්චිය වශයෙන් වටහාගත නොහැක.

නමුත්, ‘වග්භට’ ආචාරීන්ගේ “අෂ්ටාංගහෘදය” නම් ග්‍රන්ථයෙහි පෙන්වා දී තිබෙන පරිදි දෙව්ලොවට ගියේ එක් සෘෂිවරයෙක් පමණකැයි නොපෙණේ.

බ්‍රහ්මාස්මෘත්වායුෂොවෙදං ප්‍රජාපතිමජිග්‍රහත්

සො’ ශ්විනෟ තෞ සහශ්‍රාක්ෂං සො’ ත්‍රිපුත්‍රාදිකාන් මුනීන් (අෂ්ටාංග හෘදය සූත්‍ර  1-4)

“මහා බ්‍රහ්මයා ස්මරණඥාන බලයෙන් අවබෝධ කරගත් ආයුර්‍වෙද ශාස්ත්‍රය, ඔහුගෙන් ප්‍රජාපති නම් දෙවියාද, ප්‍රජාපතිගෙන්  “අශ්වීනී” නම් (සියම් නිඹුල්ලු) නිඹුලන් වු දෙවිවරු දෙදෙන ද, ඒ දෙදෙ‍නගෙන් ශක්‍රයාද, ශක්‍රයාගෙන් “ආත්‍රේය සෘෂි ආදී සෘෂිවරයින්” ද ඉගෙන ගත්හ” යනුයි.

භරද්වාජ සෘෂි ගැන මෙහි කිසිවක් නොකියා දෙව් ලොවට‍ ගිය ප්‍රධාන සෘෂිවරයා “අත්‍රේය” ය යි පෙන්වතත්,  “ආත්‍රේය” පමණක් නොව තවත් සෘෂිවරයින්ද දෙව්ලොවට ගිය බැව් “වාග්භට” පෙන්වා දී තිබේ; ඒ බව ඉහතින් දක්වන ලද ශ්ලොකයෙන් පෙණිය යි.

“භාවමිත්‍ර“ ආචාර්‍ය්‍යවරයාගේ රචනාව වන “භාවප්‍රකාශය” නම් ග්‍රන්ථයෙහි ද මෙසේ සදහන් වෙයි.

එකදා ජගදාලොක්‍ය ගදාකුලමිත ස්තතඃ

වින්තයාමාස භගවානාත්‍රෙයො මුනිපුඞ්ගවඃ

කිං කරෝමි ක්ව ගච්ඡාමි කථා ලොකා නිරාමයාඃ

භවන්ති සාමයානෙනාන්න ශක්නේ මි නිරික්ෂිතුම්. ( භාවප්‍රකාශ, ප්‍රථම භාග 1-18,19)

“ එක් දිනක, සෘෂි ශ්‍රේෂ්ඨ වු ආත්‍රේය සෘෂි තෙමේ ලොකයෙහි නොයෙක් පෙදෙස් වාසීහු රෝගයන්ගෙන් පීඩිතව සිටිනු දැක, මෙසේ සිතුවේය;‍ අහෝ; මම කුමක් කරම්ද? කොතනකට යායුතුද? කවරාකාරයකින් මනුෂ්‍යයින් නිරෝගි කරන්නෙම්ද? රෝගයන්ගෙන් පීඩිතව සිටින මේ මනුෂ්‍යයින් දැක දැක සිටිම මට නම් කළ නොහැක්කකි.”

ආයුර්‍වෙදං පඨිෂ්‍යාමි නෛරුජ්‍යාය ශරීරීනාම්

ඉති නිශ්චිත්‍ය භගවාන් ආත්‍රෙයස්ත්‍රිදශාලයම්

තත්‍ර මන්දිර මින්ද්‍රස්‍ය ගත්වාශක්‍රං දදර්‍ශ සඃ ( භාවප්‍රකාශ, ප්‍රථම භාග 1-21,22)

“ මනුෂ්‍යයාගේ ලෙඩ දුක් නිවාරණය පිණිස මම ගොස්  ආයුර්‍වෙදය ඉගෙන ගන්නෙම් ය;” මෙසේ නිශ්චය කොට පින්වත් වු ආත්‍රේය තෙමේ දෙව්ලොව පිහිටි ශක්‍රභවනට ගොස් ශක්‍ර දෙවියා බැහැ දැක්කේය” යනුයි.

නමුත් භාවමිශ්‍ර මෙසේද ප්‍රකාශ කරයි;

භාරද්වාජොමුනිශ්‍රෙෂ්ඨො ජගාම ත්‍රිදශාලයම්

තත්‍රෙන්ද්‍ර භාවනංගත්වා සුරර්ෂිගණ මධ්‍යගම්

දෘෂ්ටවාන් වෘත්‍රහන්තාරං දීප්‍යමාන මිවානලම් ( භාවප්‍රකාශ, ප්‍රථම භාග 1- 47, 48)

“සෘෂි ශ්‍රේෂ්ඨ වූ භරද්වාජ සෘෂි තෙමේ දෙව්ලොවට ගියේය; එහි ශක්‍රභවන කරා ගොස්, දිව්‍ය සෘෂින් පිරිවරා ගෙන ගිනිජාලාවක් මෙන් ආලෝකයක් ඇතිව දිලිසෙමින් සිටි ශක්‍රදෙවියා බැහැදැක්කේය” යනුයි.

මෙයින් ද පෙනී යන්නේ “භරද්වාජ” සහ “ආත්‍රෙය” යන සෘෂිවරයින් දෙදෙනම ශක්‍රභවනට ගොස් ශක්‍රයාගෙන් වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගත් බවය. නමුත්, වෛද්‍ය ශාස්ත්‍රය මනුෂ්‍ය ලොකයට ගෙන ඒමට පෙර දිව්‍යලෝකයේදී  ශාස්ත්‍රය පතළ වූ ආකාරය පිළිබඳව සියළුම ග්‍රන්ථයන්හි ඇති ප්‍රකාශන එක හා සමාන වෙති.

බ්‍රහ්මණාහි යථාප්‍රොක්ත මායුර්‍වෙදං ප්‍රාජාපතිඃ

ජග්‍රාහ නිඛිලෙනාදා වශ්වීනෞතු පුනස්තතඃ

අශ්විභ්‍යාං භගවාච්ඡක්‍රඃ ප්‍රතිපෙදෙහ කෙවලම් (චරක සූත්‍ර 1-4)

“ මහා බ්‍රහ්මයා විසින් ප්‍රකාශ කරන ලද පරිදි, සර්‍ව සම්පූර්‍ණ ආයුර්‍වෙද ශාස්ත්‍රය ප්‍රජාපති දෙවියා ඉගෙන ගත්තේය; ප්‍රජාපතිගෙන් අශ්වීනී කුමරුන් දෙදෙන ද, ඒ දෙදෙනගෙන් ශක්‍රයාද ඉගෙන ගත්තේය” යනුයි.

….

බ්‍රහ්මාප්‍රොවාච තතඃ ප්‍රජාපති  රධිජගෙ;

තස්මා දශ්විනාවශ්විභ්‍යාමින්ද්‍ර, ඉන්ද්‍රාදහං (සුශ්‍රැත සූත්‍ර 1- 16)

“ මහා බ්‍රහ්මයා ප්‍රකාශකළ පරිදිම ප්‍රජාපතාද, ඔහුගෙන් අශ්විනී දෙදෙන ද, ඒ දෙදෙනගෙන් ශක්‍රයා ද, ශක්‍රයාගෙන් මම ද ඉගෙන ගත්තෙමි” යි ධන්වන්තරී  සෘෂි  කියේය.

දෙව්ලොවදී ආයුර්‍වෙදයේ ආරම්භය පිළිබඳව ඒකමතික වූ, කාය චිකිත්සා  සම්ප්‍රදායයේ සහ ශල්‍ය චිකිත්සා සම්ප්‍රදායයේද සම්පූර්‍ණ ආයුර්‍වෙද ශාස්ත්‍රය කොටස් අටකට බෙදා තිබේ. මේ සියලුම කොටස් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු සිටියාහූ ය.

ඒ කොටස් අට නම්: ශල්‍ය, ශාල්‍යක්‍ය, කාය චිකිත්සා, භූත විද්‍යා, කෞමාරභෘත්‍ය, අගදතන්ත්‍ර, රසායන තන්ත්‍ර, වාජීකරණ තන්ත්‍ර  යන අට වෙති.

වෛද්‍ය ශාස්ත්‍රය ක්‍රමයෙන් දියුණුවු ආකාරය

කාය චිකිත්සා සම්ප්‍රදායේ ප්‍රධානියාවූ ආත්‍රේය සෘෂින්ගේ ප්‍රධාන ශිෂ්‍යයින් සය දෙනෙක් වූහ. එනම් අග්නිවේශ, භෙල, ජතුකර්‍ණ, පරාශර, හාරීත, ක්ෂාරපාණි යන සයදෙනාය. මේ සය දෙනාම වෙන වෙනම වෙද පොත් රචනා කළාහුය. එවිට, වෛද්‍ය ශාස්ත්‍රය පතළකරන අටියෙන් සෘෂින්ගෙන් යුත් මණ්ඩලයක් රැස්වී  මේ සදෙනාවිසින්ම කරනලද රචනාවන් පරික්ෂා කලාහුය; “අග්නිවේශගේ” රචනාව ඉතාම ශ්‍රේෂ්ඨ ය යි ඒ සෘෂී වරයෝ සම්මත කලාහුය.

නමුත්, ඊට අවුරුදු 800 කට පමණ පසු කලක, “ චරක” නම් දක්ෂ වෛද්‍ය වරයෙක් ඇති විය. ඔහුගේ කාලය වන විට ආත්‍රේය මහ සෘෂින්ගේ ශිෂ්‍ය අග්නිවේශ සෘෂිවරයා විසින් සම්පාදනය කරන ලද තුන්ලොවම සාධුනාද දී පිළිගත්, ඒ වෙදපොත් ප්‍රමානවත් නොවිය. එහෙයින්, චරක ආචාර්‍ය්‍යවරයා, අග්නිවේශ සංහිතාව නමින් ඒ වනතුරු ප්‍රසිද්ධව පැවති පොත, සර්‍මපූණයෙන්ම අළුත්වැඩියා කොට එහි සෑම අධ්‍යායයක්ම ප්‍රතිසංස්කරණය කළේය. එහෙයින් එපමණ කලක් අග්නිවේශ සංහිතා යන නමින් ප්‍රසිද්ධ වී තිබුණ ඒ පොත ඉන් පසුව “චරක සංහිතා” යන නම්න් ප්‍රසිද්ධියට පැමිණියේය. සෑම අධ්‍යායයක්ම අවසානයෙහි මෙසේ ලියා තිබේ; ‘ඉති අග්නිවෙශකෘතෙ තන්ත්‍රෙ චරක ප්‍රතිසංස්කෘතෙ…………..අධ්‍යායඃ”; අග්නිවේශ විසින් ලියන ලද සංහිතාවෙහි, චරක විසින් සම්පූර්‍ණයෙන් ප්‍රතිසංසිකරණය කරන ලද ……………අධ්‍යාය සමාප්තය; යනුයි.

මෙයින් පෙනී යන්නේ සෘෂින් විසින් දෙව්ලොව ශක්‍රයාගෙන් ගෙනෙන ලද ප්‍රතිකාර පවා චරකගේ කාලය වන විට ප්‍රමාණ නොවු හෙයින්, “චරක” වෛද්‍ය වරයා ,සෘෂි භාෂිත දේ වෙනස් කළයුතු නොවේය  යි නොසිතා ඒ කියමන් සියල්ල වෙනස් කොට එකලට හොබින පරිදි ඒ වෙද පොත් සකස්කළ බවය. එසේ වුවද චරකගෙන් අවුරුදු 400කට පමණ පසු, හෙවත් සෘෂින්ගේ කාලයෙන් අවුරුදු 1200 කට පමණ පසු කලෙක, “දෘඪබල” නම් තවත් දක්ෂ වෛද්‍යවරයෙක් ඇතිවිය. ඔහුගේ කාලය වන විට ‘චරක” විසින් ප්‍රත්සංස්කරණය කරන ලද ඒ පොත පවා අසම්පූර්‍ණ බැව් ඔහුට පෙනී ගියේය. එහෙයින්, හෙතෙම “චිකිත්සා ස්ථාන” නම් ප්‍රතිකාර විස්තර සහිත කොටසට තවත් අධ්‍යාය හෙවත් පාඩම් මාලා 17ක් ද, ‘කල්පස්ථාන” සහ ‘සිද්ධිස්ථාන” ය යි තවත් අළුතෙන් ම කාණ්ඩ දෙකක්ද චරකගේ ඒ පොතට එකතු කළේය.

අස්මින් සප්ත දශාධ්‍යායාඃ කල්පාඃ සිද්ධය එවච

නාසාද්‍යනෙත්’ග්නි වෙශස්‍ය තන්ත්‍රෙ චරක සංස්කෘතෙ

තානෙතාන් කාපිලවලිඃ ශෙෂාන් දෘඪබලො’කරොත්

තන්ත්‍රස්‍යාස්‍ය මහාර්‍ථස්‍ය පූරණාර්‍ථං යථාතථම් (චරක චිකිත්සා ස්ථාන  30 – 289, 290)

චිකිත්සා ස්ථානයෙහි අධ්‍යාය 17ක්ද, කල්පස්ථානයද, සිද්ධිස්ථානයද, චරක විසින් ප්‍රතිසංස්කරණයකරන ලද අග්නිවේශ සංහිතාවෙහි පෙනෙන්නට නැත. (අග්නිවේශ සංහිතාවෙහි තිබුනා විය හැක)

“එහෙයින් මෙම අධ්‍යාය 17 සහ කල්ප ස්ථානයද, සිද්ධිස්ථානයද, මේ මහත් ඵලදායක වූ ග්‍රන්ථය සම්පූර්‍ණ කරණ අදහසින් කාපිලවලිගේ පුත්‍ර දෘඪබල විසින් ලියා සම්පූර්‍ණ කරන ලදී” යනුයි. ආත්‍රේය සෘෂින් සහ භාරද්වාජ සෘෂින් ද මනුලොවින් දෙව්ලොවට ගොස් කාය චිකිත්සා ශාස්ත්‍රය ඉගෙනගෙන පැමිණියේ ය යි කියන අතර , තමාම ඉහාත්මයෙහි දෙවියෙක්ව සිට, තමා ම ශක්‍රයාගෙන් ඉගෙන ගෙන පැමිණි බැව් “ධන්වන්තරී” සෘෂින්ගේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍ය සුශ්‍රැත විසින් සකස්කරණ ලද “සුශ්‍රැත සංහිතා” නම් ශල්‍ය වෛද්‍ය ග්‍රන්ථය පවා, පසු කලෙක “නාගර්ජුන” නම් පඬිවරටයක් විසින් ප්‍රතිසංස්කරණය කර  තිබේ යයි ඩල්ලන ආචාර්‍ය්‍යවරයා ප්‍රකාශකර තිබේ. ඉතාම ශ්‍රේෂ්ඨ වෛද්‍ය ග්‍රන්ථ මෙසේ ප්‍රතිසංස්කරණය වූයේ වී නමුදු, ආත්‍රේය සෘෂින්ගේ අනික් ශිෂ්‍යයන් වන භේල, ජතුකර්‍ණ, පරාශර, හාරීත, ආදීන්ගේ කෘත්‍යයන් හෝ, ධන්වන්තරී සෘෂින්ගේ අනිකුත් ශිෂ්‍ය පෞෂක ලාවත, ගොපුරරක්ෂිත ආදින්ගේ කෘතයන් හෝ, ප්‍රතිසංස්කරණය වී නැත.

….

කලට ඔබින පරිදි ප්‍රතිසංස්කරණය කරන ලද ග්‍රන්ථයන් සෘෂීභාෂිත පරිදිම පවතින ග්‍රන්ථයන්ට වඩා ඉතා ශ්‍රේෂ්ඨ බැව් අවබෝධ කිරීම පිණිස, පසුකලෙක සිටි “වාග්භට” ආචාර්‍ය්‍යවරයා මෙසේ කීවේය.

සෘෂිපාණිතේ ප්‍රීතිශ්චෙන්මුක්ත්වා චරක සුශ්‍රැතෞ

භෙඩාද්‍යාඃ කිං නපඨ්‍යන්තේ තස්මාද් ග්‍රාහ්‍යං සුභාෂිතම් (අෂ්ඨාංග හෘදය උත්තරස්ථාන 88)

“සෘෂින් විසින් කී පලියට සෘෂින් කී දෙයම ප්‍රිය කරන්නෙහි  නම්, ප්‍රතිසංස්කරණය කොට කලට ඔබින පරිදි පිළියෙල කර ඇති “චරක, සුශ්‍රැත” සංහිතා දෙක අත්හැර දමා “භෙල, හාරීත” ආදීන් විසින් ලියන ලද ග්‍රන්ථ සෘෂිභාෂිත පරිදිම පවතින හෙයින්, ඒ පොත්  පමණක් කියවන්නේ නැත්තේ ඇයි?”  යන ප්‍රශ්නය වේ. සෘෂින් විසින් කියන ලද පරිදිම ඇති පළියට කියමනෙහි විශේෂ වටිනාකමක් රදා පවතින්නේ නැත යනුයි.

ආයුර්වේද ශාස්ත්‍රයෙහි ආරම්භය මීට අවුරුදු 3000 කට පෙර යැයි විශ්වාස කිරිමට හේතු තිබේ. එනම් පසු කලක ඇති වු වාග්භට ආචාර්යයවරයා විසින් විරචිත අෂ්ඨාංග හෘදය සහ අෂ්ඨාංග සංහිතාව යන ග්‍රන්ථයන්හි මිස චරක සුශ්‍රැත ආදින්ගේ ග්‍රන්ථයන්හි අනිත් සියළු දෙවියන් ගැන සහ හින්දු භක්තියෙහි ඇති විශේෂ දෙවිදෙවතාවුන් ගැන පමණක් සදහන් වනවා විනා බුද්ධාගම හෝ සර්‍වඥයින් වහන්සේ ගැන සදහන් කර නැත. එයින් පෙනි යන්නේ චරක සුශ්‍රැත දෙදෙනාම බෞද්ධ කාලයට පෙර ජිවත් වු අය බවයි. දැනට බුද්ධාගමට වසර 2500 ඉක්ම ගොස් තිබේ.

එහෙයින් ආයුර්වේද ශාස්ත්‍රය අඩු ග‍ණනේ අවුරුදු 2500කට ඉහතින් ඇති වු වෛද්‍ය ශාස්ත්‍රයක් විය යුතු වේ. තවද මහාභාරත නම් රචනාවෙහි සුශ්‍රැතගේ පියා විශ්වමිත්‍ර සෘෂින්ගේ නම සහ සුශ්‍රැතගේ නමද සදහන් වේ. මේ රචනාව ක්‍රිස්තු වර්ෂයට අවුරුදු 1000 කටත් පෙර කරන ලද්දකැයි පඩිවරු විශ්වාස කරයි. එසේ හෙයින් සුශ්‍රැත ජිවත් වන්නට ඇත්තේ අඩු ගණනේ මීට අවුරුදු 2960කට පෙරය. ආයුර්වේදයේ ආරම්භය ඊටත් පෙර වියයුතුය. සෘෂි භාෂිත වෛද්‍ය ශාස්ත්‍රයෙහි ඇති චිකිත්සා ප්‍රණාලියට බෝහෝ කොට යොදා ඇත්තේ වනෞෂධ වර්ග වෙති. රන් රිදි සහ ලෞහද ව්‍යාවහාර කර ඇතත් ප්‍රධාන ඖෂධ වශයෙන් නොවෙති. නමුත් ඉන්පසු කලෙක ලොහ ආදි රසායන ද්‍රව්‍ය සහ රසදිය යෙදු ඖෂධ වලින් ලැබෙන ගුණය ‍වනෞෂධ වර්ගයන් යෙදිමෙන් ලැබෙන ගුණයට වඩා ශ්‍රෙෂ්ඨබැව් පෙනි ගියෙන් ක්‍රමයෙන් වනෞෂධ යෙදිම අඩුවි රසදිය සංයෝග ඖෂධ වර්ග භාරතයේ පැතිරෙන්නට විය.

ඒ කාලයේදිද අද විෂබිජ නාශක ඖෂධයන්ගෙන් ලැබෙන ගුණමෙන් ශිඝ්‍ර ප්‍රථිඵල ඒවායෙන් ලැබිමට හැකිවු හෙයින් රස බෙහෙත් ගැන වෛද්‍යවරු පැහැදි සිටි බැව් මනාව පෙනේ.

අල්පමාත්‍රෝපයෝගිත්වා දර්චේරප්‍රශන්ගතඃ

ශිප්‍රමාරෝග්‍ය දායිත්වා‍ දෞෂධෙභ්‍යො‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්ධීකොරයඃ

සාධ්‍යෙෂුභෙෂජංසර්‍වමීරිතං තත්ව වෙදිනඃ

අසාධ්‍යෙෂ්වපි ද්‍රාතව්‍යො රසොතඃ ශ්‍රෙෂ්ඨ උච්‍යතෙ. (රසෙන්ද්‍ර සාර සංග්‍රහ 1 -4,5)

“ ඖෂධයක් වශයෙන් යෙදිය යුතු මාත්‍රාව ඉතාම කුඩා හෙයින්ද කිසිම ආකාරයක අරුචියක් ඇති නොවන හෙයින් අනෙක් වනෞෂධයන්ට වඩා රස බෙහෙත් ඉතාම ශ්‍රේෂ්ඨ වෙති.”

“ සියළුම වනෞෂධ වර්ගයන් ආචාර්යයවරයන් විසින් නියම කර ඇත්තේ සුවකළ හැකියැයි සම්මත රෝගයන්ට පමණකි. නමුත් රස බෙහෙත් වර්ග සාධ්‍යයැයි සම්මත රෝගවලට පමණක් නොව අසාධ්‍යයැයි සම්මතව තිබුණු රෝගයන්ට පවා යෙදිමෙන් ඒ රෝගයන්ද සුව කිරිමට හැකිවේ. එහෙයින් රස ඖෂධ වර්ග අනෙකුත් වනෞෂධයන්ට වඩා ශ්‍රේෂ්ඨ වෙත්” යනුය.

මේ ආකාරයෙන් සලකා බලන කල ආයුර්වේද ශාස්ත්‍රය දෙවියන්ගෙන් ගෙනා දෙයක්ය ; සෘෂිවරයින් විසින් කියන ලද දෙයක්ය ; එහෙයින් මේ ශාස්ත්‍රයට අන්කිසිවක් සම්බන්ධ කිරිම හෝ සෘෂින් කී දෙය වෙනස් කිරිම හෝ සුදුසු නොවේය ; යන අදහස් පිළිනොගෙන ඒ ඒ කලට සිටි ප්‍රසිද්ධ වෛද්‍යවරයින් විසින් ඒ ඒ කලට සුදුසු වන පරිදි ක්‍රමයෙන් දියුණු කළ ශාස්ත්‍රයකි.

ඉතා මෑත කලකදි (මීට අවුරුදු 500 කට ‍පෙර) සිටි භාවමිශ්‍ර නම් වෛද්‍යවරයා “අබින්” බෙහෙතක් වශයෙන් ආයුර්වේදයට එකතු කළ හෙයින් වේදනා නාශක බෙහෙතක් වශයෙන් එය අද දක්වාම ව්‍යවහාර වේ. “සිපිලිස්” යන නමින් මේ කාලයේ විස්තර කෙරෙන “ඵිරංග” යයි ආයුර්වේදයේ පෙන්වන රෝගය පළමුවෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ට පෙන්වා දුන්නේත් ඒ රෝගයට “චීන අල” බෙහෙතක් වශයෙන් යෙදුවේත් මේ දක්ෂ වෛද්‍යවරයාමය.

කාය චිකිත්සා සම්ප්‍රදාය හෙවත් ආත්‍රෙය සම්ප්‍රදාය යැයි කියනු ලබන උණ අතීසාර ආදි රෝගයන් පිළිබද විස්තර හා චිකිත්සා ක්‍රමද උගන්වා ඇති වෛද්‍ය ශාස්ත්‍ර ක්‍රමය හා ධන්වන්තරී සම්ප්‍රදාය යැයි කියනු ලබන ශල්‍ය සාධ්‍ය රෝග සහ ශල්‍යකර්ම පිළිබදව උගන්වා ඇති චිකිත්සා ක්‍රමයද යන ශාස්ත්‍ර ක්‍රම දෙක ඇසුරෙන් කුමන ශාස්ත්‍ර ක්‍රමයක් පළමුවෙන් ඇතිවුයේදැයි යන්න පිළිබදව නොයෙක් මත සහ තර්ක ඉදිරිපත් කර ඇතත් ඒ පිළිබදව ස්ථිර අදහසක් ප්‍රකාශ කිරිමට කාහට වුවද පහසු වන්නේ යැයි නොසිතමු.

ආශ්‍රය ග්‍රන්ථ   :දොස්තර ආර්.බී. ලෙනෝරා – ආයුර්‍වෙද(1961)