ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ආයුර්වේද ප්‍රතිකාරය තුල උපදේශන‍යද අන්තර්ගතය.

 නව්‍ය මනෝවිද්‍යාත්මක උපදේශන සංකල්ප සහ ප්‍රතිකාර මුලධර්ම වල‍ ආරම්භයට දිගු ඉතිහාසයක් නොමැති අතර 14-15 වැනි සියවස් වල යුරෝපයේ ඇතිවු කාර්මික විප්ලවයේ අනිවාර්ය ප්‍රතිඵල වශයෙන් පැනනැගුණු සමාජ, ආර්ථික ගැටළු වල‍ට පිළිතුරක් ලෙස මෙම විෂය බිහිවු බව හඳුනාගෙන ඇත. එහෙත් මෙම විෂය වඩාත් ප්‍රයෝගිකව සහ විධිමත්ව ගොඩ නැ‍‍ඟෙන්නේත් භාවිතයට ගැනෙන්නේත් 20වන සියවසේ පළමු දශකයේ පමණ  සිටය. එසේ වුවත් ක්‍රි.පූ 500 පමණ සිට පුද්ගල මනස, සිතුවිලි සහ ආකල්ප පිළිබඳව දාර්ශනික විග්‍රහ වල යෙදුනු අපරදිග ප්‍රාඥයින්ද සිට ඇත. ඇනල්ස් ගොරස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි දාර්ශනිකයින් ඒ අතරින් ප්‍රමුඛ අය වුහ. ඔවුන්ගේ එම දාර්ශනික කියැවීම් එම යුගයේ අපරදිග සමාජිය ආගමික සහ භුදේශපාලනික කියැවීමට සමපාත නොවු නිසාම ඒවාට වැඩි දියුණු වීමට තිබු අවස්ථාද ගිලිහි ගියහ. එසේ වුවත් පසුකාලිනව නූතන මනෝවිද්‍යාවේ පියා ලෙස සැලකෙන  ජර්මන් ජාතික බිල්හෙල් වුන්ඩ් විසින් විධිමත් මනෝවිද්‍යාවක් හඳුන්වා දීමට කටයුතු කරන්නේ පෙර සිටි විවිධ අපරදිග බුද්ධිමතුන් දාර්ශනිකයින් විසින් විටින් විට ඉදිරිපත් කර තිබු විවිධ දැනුම් කොටස් එකතු කර ගැනීම මගිනි. වර්තමානයේ ක්‍රියාත්මක වන මනෝවිද්‍යාත්මක උපදේශනයේ ආරම්භය සිදු වන්නේ එපරිද්දෙන් වන අතර එය වඩාත් සංවර්දනය වෙමින් අද වන විට සාර්ථක ාර්යයක් ඉටු කරමින් සිටියි.

අපරදිගට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ භූදේශපාලනයක් සහ සමාජීය සහ ආගමික පසුබිමක් පැවති පෙරදිග සමාජය තුල  දක්නට ලැබුනේ මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. මනස , මනසේ ක්‍රියාකාරිත්වය, පුද්ගල සිතුවිලි වල බලපෑම මිනිස් ජීවිතය සමග බද්ධ වී ඇති ආකාරය  වැනි කරුණු විවෘතවත් සහ පිළිගැනීමකින් යුතුවත් සාකච්ඡා වු සමාජ පසුබිමක් එහි පැවතීය. එනිසාම ආගමික අර්ථයෙන් පමණක් නොව සාමාජීය අර්ථයෙන්ද මනස සහ මනසේ ක්‍රියාකාරිත්වය එදිනෙදා පුද්ගල ජිවිත පැවැත්මේ සාර්ථකත්වය උදෙසා  යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා වූ අතර ඒ පිළිබඳව මතවාද සංකල්ප සහ මුලධර්ම ඉදිරිපත්වීමක්ද සිදුවිය. මීට ශතවර්ශ බොහෝ ගණනකට පෙර ක්‍රි.පූර්ව යුගයේදී ජීවන දර්ශනයක්‍ ලෙසත් වෛදය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසත්  පෙරදිග ගොඩ නැගෙන ආයුර්වේද තුලටද  මෙම සංකල්ප හා න්‍යායයන් එකතු වන්නේ ඒ පදනමේම සිටය. සෘජුවම මනෝවිද්‍යාව හෝ උපදේශනය වැනි විෂයයන් ආයුර්වේදය නම්වූ මහා විෂය ක්ෂේත්‍රය තුල අන්තර්ගත ‍නොවුවත්  වර්තමාන උපදේශන කාර්යය තුලින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කල  ප්‍රතිඵලට සමාන හෝ ඊටත් වඩා වැඩි දෙයක් ඉටුකර ගැනීමට අවශ්‍ය විධික්‍රම සහ මාර්ගොපදේශ පෙරදිග ආයුර්වේද වෛද්‍යක්‍රමය තුල සාකච්ඡා කිරීමට කටයුතු කර ඇත. ශාරීරික දෝෂ(වාත, පිත්ත සහ කඵ)වලට පමණක් සීමා නොවී මානසික ගුණ සහ දෝෂ(සත්ත්ව, රජස් සහ තමස්) සඳහාද ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවයත් හඳුනා ගෙන  ඒ සඳහා ප්‍රතිකාර කල යුතු ආකාරය  ආයුර්වේද තුල අන්තර්ගත වන්නේ එබැවිනි.

පෙරදිග සමාජය අපරදිග සමාජයට සාපෙක්ෂව ශරීරය(Body) මනස(Mind) සහ අධ්‍යාත්මය(Spirit) යන අංශ තුනෙහි සම්බන්ධතාවය කෙරෙහිම තම සාමාජීය ජීවිතය තුලදී වැඩි අවධානයක් සහ නැඹුරුතාවයක් සහිතව ජීවත් වීමට  උත්සහ දැරුහ. පෙරදිග බිහිවු ආගම් සහ විශ්වාස  බොහෝ දුරට මිනිසාගේ මනස සහ  අධ්‍යාත්මය ඉලක්ක කරමින් එය විග්‍රහ කර ගැනූමට කටයුතු කරමින් ගොඩනැගුණු ඒවා විම නිසා එසේ වන්නට ඇති බව සිතිය හැක. ස්වභාවයෙන්ම ආගමික ජීවිතයකට නැඹුරුව  පෙරදිගයන් තමා කෙරෙහි ඇතුවන්නාවු ශාරීරික දොෂ වලදී  එම දෝෂ/රෝග ඇතිවීමට බලපෑ හේතූන්ටත් එසේම එම ශරීරික දෝෂ සමනය කර ගැනීමේ මාර්ගයන්ටත් මානසික සහ අධ්‍යාත්මික අංශයේ සම්බන්ධතාවයක් ඇතිබව විශ්වාස කිරීමටද පෙළඹි සිටියහ. මානසික සුවය ශාරීරික සුවයට හේතුවන්නා සේම මානසික රෝගිභාවය ශාරිරික රෝගිභාවයටත් ශාරිරික රෝගීභාවය මානසික රෝගිභාවයටත් හේතුවන බව ආයුර්වේදයේ දක්වා තිබිමෙන් එය සනාථ වේ. ආරම්භයේ සිටම  ආයුර්වේදය  වෛද්‍යක්‍රමය පුහුණු කලේත් භාවිතා කලේත් සමාජයේ සිටි  යම්කිසි උසස් ජීවන පැවැත්මක් පවත්වා ගෙන ගිය  පිරිසක් විසිනි. ඔවුන් බොහෝ විට  සමාජයේ අන් අයගේ ගෞරවයට පාත්‍රවූත් පැවති ආගමික ප්‍රතිපත්ති වලට  දැඩිව බැඳුනාවුත් ජිවිත ගතකල අය විය. එනිසා ඔවුනට තම ආගමික  පරිසරයෙන් ලැබුනා වු  යම් හික්මීමක් සහ සංඥමයක් සේම ආගමික දැණුමත් ප්‍රතිකාර කිරිමේදී  උපයෝගි කර ගැනීමට හැකි විය. එම සම්බන්ධය සාර්ථක වුයේ මුළු මහත් සමාජයම  එම ගුණාංග සහ මාර්ගය අනුමත කර සිටි නිසා සහ ඒවා අනුගමනය කිරීමට සැදී පැහැදි සිටි නිසාවෙන්ය. ජිවිතයේ යථා‍ ස්වභාවයත් ජීවත් විමේ අරමුණත් ආයුර්වේද වැනි වෛද්‍ය චිකිත්සා කර්‍මයක් තුල  ප්‍රතිකාරයේදී සාකච්ඡා කෙරෙන්නේ හුදු ඖෂධීය ප්‍රතිකාරයෙන් පමණක් සැහීමකට පත් නොවී වෙනත් මානයකින්ද රෝගය සහ රෝගියා දෙස බලා ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදා කර ගැනීමටය.

පූජනීය වේද  ග්‍රන්ථ වල ඇති තොරතුරු වලට අනූව  මනුෂ්‍ය ජීවිතයේ චතුර්වර්‍ග සම්පත්( නිත්‍ය පරමාර්ථ) වූයේ ධර්ම, අර්ථ, කාම සහ මෝකෂය කියන අරමුණු හතරය. ධර්ම, අර්ථ සහ කාම යන මුල් සම්පත් ත්‍රිත්වය මනුෂ්‍ය ජීවිත කාලය තුලදී  විඳිනු ලබිය යුතු සම්පත්  බව හින්දු භාරතීයයන්ගේ ආගමික විශ්වාසයයි. එම විශ්වාසයන්ද ආයුර්වේදය තුලට ඇතුළු වන්නේ ආයුර්වේදය සහ හින්දු ආගම යන දෙකම අතපත ගැවෝ හින්දු බ්‍රාහ්මණ පූජකයින් විම නිසාවෙනි. ඒ අනූව ආයුර්වේදයේ අරමුන වූයේ  එම සම්පත් ලඟා කර ගැනීම සඳහා පුද්ගලයා බල ගැන්වීමයි. පහත දැක්වෙන ශෟලෝකයෙන් කියැවෙන්නේ එම අවශ්‍යතාවය සමඟ බැදුනු ආයුර්වේදයේ ප්‍රධාන පරමාර්ථ/ප්‍රයෝජන දෙක පිළිබදවයි.

 “ප්‍රයෝජනං චාස්‍ය ස්වස්ථස්‍ය ස්වස්ථ්‍ය
රක්ෂණ මාතුරස්‍ය විකාර ප්‍රශමනංච”
(චරක/සූත්‍ර/30/26)
  • නිරෝගී පුද්ගලයාගේ නිරෝගි බව ආරක්ෂා කිරීම(Prevention)
  • රෝගි පුද්ගලයාගේ රෝගි බව සමනය කිරීම(Cure)

මෙම පරමාර්ථ නැතිනම් ප්‍රයෝජන දෙක ඉටු කර ගැනීමට  ඖෂධීය ප්‍රතිකාරය  මත පමණක් නොයැපී ඖෂධීය නොවන ප්‍රතිකාර වෙත අවධානය යොමුවීමද සිදුව ඇත.  එහිදි රෝගියා සමග ඇතිකර ගන්නා වූ වෛද්‍ය රෝගි සම්බන්ධතාවය හුදු ඖෂධ ප්‍රතිකාර සම්බන්ධතාවයෙන් ඔබ්බට විහිදුණු ඇහුම්කන් දීමේ සහ අසා සිටිමේත් කාර්යයක්ද ඇතුලත් දැනුවත් කිරීමේ කොටසකින්ද යුක්තව ඇත. මෙහිදි අනුගමනය කරන මූලධර්ම සහ සංකල්ප තුලින් සාර්ථක කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල වලට බෝහෝ දුරට සමාන ප්‍රතිඵල අපේක්ෂාවෙන් නවීන උපදේශනයේදීද විවිධ සංකල්ප සහ මූලධර්ම අනුගමනය කර ඇත. යොදා ගන්නා මුලධර්ම සහ සංකල්ප විවිධ වුවත් අපේක්ෂිත අවසාන ඵලය සමාන වන්නේ නම් සහ එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ නම් යොදා ගත් ක්‍රමවේදයේ නිවැරදි බව  විමසිල්ලට ගත යුතු නොවේ. ආයුර්වේද ප්‍රතිකාරයේ නිරත උගත් වෛද්‍යවරයා තම ප්‍රතිකාරය සාර්ථක කර ගැනීමේදී ඖෂධ කෙරෙහි දක්වන උනන්දුවට හා සමාන උනන්දුවක්  රෝගියා සමග සාකච්ඡා කිරීමටද දක්වන්නේ එමගින් රෝග සමනයට ලැබෙන්නාවු දායකත්වය දන්නා නිසාවෙනි. බටහිර වෛද්‍යවිද්‍යාව තුල මීට පෙර මෙම අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර සිටියේ නැති අතර දැරන් දැන් ඔවුන්ද මෙම ක්‍රමය සාර්ථකව භාවිතා කිරිමට පටන් ගනිමින් සිටියි.

නූතන බුද්ධිමතුන් විසින් වැඩි දියුණු කර ඇති මනොවීද්‍යාත්මක උපදේශනය යනු මනොවිද්‍යාත්මක ප්‍රවේශයක් මගින් තම සේවාලාභියාගේ (රෝගියා) සමග අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වමින් ගුටළු නිරවුල් කරමින් පුද්ගලයා සංවර්ධනය කර ගෙන යාමයි. (මැක්ල්ඩ් 2003)

උපදේශනයේ අරමුනු වන්නේ ප්‍රතිකාරය, වැලැක්වීම සහ සංවර්ධනයයි. මෙය බොහෝ දුරට ආයුර්වේදයේ පරමාර්ථ වලට සහ ක්‍රමවේදයට සමපාත වෙයි.

  •  ප්‍රතිකාරය – මෙහිදි ප්‍රතිකාරය ලෙස අදහස් කරනුයේ ඖෂධීය නොවන       ප්‍රතිකාරයයි.
    උදා:     ප්‍රජානන ප්‍රතිකාරය(Cognitive therapy)
            චර්යා ප්‍රතිකාරය(Behavioral therapy )              යොග ප්‍රතිකාර(Yoga etc)

පුද්ගලයාගේ වැරදි චර්යාවන් නිසා කායික මෙන්ම මානසික ව්‍යාධින්ද ඇතිවේ. එවැනි අවස්ථාවන්හිදී ප්‍රද්ගලයින්ගේ චර්යා හැඩගැස්විමේ ප්‍රතිකාර භාවිතා කිරිම උපදේශනයේදී සිදුවේ.

  •  වැලැක්වීම – පුද්ගලයාට ඇතිවිය හැකි විවිධාකායේ ගැටළු පළමුව වලක්වා ගැනීමයි. යම් කිසි පද්ගලයෙකුගේ ගැටළුවක් උග්‍රවීම වැලැක්වීමටද අනාගතයේ ඇතිවිය හැකි ගැටළුකාරි තත්ත්වයන් වලක්වාලීමද උපදේශනයේ අරමුණ වේ.
  • සංවර්ධනය – පුද්ගලයාට තම ගැටළුවට මුහුණ දීමටත් එය විසඳා ගැනීමටත් අවස්ථාව සැලසීම සංවර්ධනයයි.

 මෙය ආයුර්වේද ප්‍රතිකාර පද්ධතිය තුලද දැකිය හැකිය. නවින මනෝවිද්‍යාත්මක උපදේශනය තුලින් සිදු කිරිමට යත්න දරන ප්‍රතිකාර කාර්යයට සමාන කාර්යය කොටසක් ආයුර්වේදයේ ප්‍රතිකාර පද්ධතිය තුල අන්තර්ගතව ඇති බව පැහැදිලිය . වෙනසකට ඇත්තේ වෙතන් විෂය කොටසක් ලෙස හුවා දක්වා නොතිබීමයි. නමුත් ආයුර්වේදයේද උපදේශන කොටසක් ඇතිබව පිළිගැනීමට එම විශේෂ කොට නොදැක්වීම තවදුරටත් ගැටළුවක් නොවනු ඇත.