ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ගේබ්‍රියල් පෙරේරා වික්‍රමාරච්චි වෛද්‍යාචාර්යතුමා

ජී.පී. වික්‍රමාරච්චි වෙද රාලහාමිමෙරට සුදු අධිරාජ්‍යවාදින්ගේ පාලනය මනාව ස්ථාපිතව පැවති  දහනම වැනි සියවසේ අගභාගයේදි ‍සියැනෑ කොරළයේ හෙනරත්ගොඩ ග්‍රාමයට නුදුරු රතුපස්වල නැදුන්ගමුව ග්‍රාමයේදී වෙළුන් පෙරේරා නම් වු වෛද්‍යාචාර්යතුමාගේ නිවසේදී පින්වන්ත වූත් ප්‍රඥාවන්ත වුත් පුත් කුමාරයෙක් මෙළොව එළිය දකින්නේ වෙළුන් පෙරේරා වෛද්‍යාචාර්යතුමාටත් එම මැතිණියටත් දාවය. හරියටම කියුවොත් ඒ 1889 වර්ෂයේ සැප්තැම්බර් මස විසි අටවැනි දිනයේදීය. පසු කලෙක ජාතික නිදහස් සටනේ නියමු සෙන්පතියෙකු වූත් එක්දහස් නමසීය පනස්හය වසරේ සිදුවු ආණ්ඩු පෙරළියට පාර කැපු පංච මහා බලවේගයේ වෙද බලවේගයේ නායකයා වූත් මෙරට තුල පිරිසිදු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ස්ථාපිත කිරීමට මුල්වු යුග පුරුෂයා වූත් ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ගේබ්‍රියල් පෙරේරා වික්‍රමාරච්චි (ජී.පි.වික්‍රමාරච්චි පණ්ඩිත රාළහාමි) වෛද්‍යපීතෘ වරයා මෙලොව එලිය දකින්නේ ඒ ආකාරයෙනි. මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුල්වන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් එහි කටයුතු කරන අවධියේදිය. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වෙතින් ප්‍රාචින භාෂා සහ පෙරදිග දර්ශනයන් පිළිබදව හදාල වික්‍රමාරච්චි තරුණයා ප්‍රාචින භාෂෝපකාර සමාගම මගින් පණ්ඩිත උපාධීය සදහා පවත්වන පරික්ෂණ තුනෙන්ම ඉහලින්ම සමත්විය. එම ප්‍රතිඵලයත් සමගම පණ්ඩිත උපාධිය දිනාගත් මෙරට ප්‍රථම ගිහි ප්‍රාඥයා  බවට වයස අවුරුදු විසිපහේදී පත්වන්නේද ජි.පි වික්‍රමාරච්චි ශ්‍රීමතාණන්ය.

ශිෂ්‍යත්ව ලබා ඉන්දියාවට….

ජාතියේ නිදහසත් රට දැය සමයත් ආරක්ෂා කර ගැනීමට අරමුණු කරගනිමින් විසිවැනි සියවසේ මුලදීම මෙරට විසු දේශප්‍රේමි ප්‍රභූන් පිරිසක් විසින් ලංකා සමාජ ප්‍රතිසංස්කරණ සංගමය පිහිටුවා ගත්හ. 1908 වසරේදි එහි සභාපතිත්වයට පත්වුයේ අධිනිතිඥ ඩොනල්ඩ් ඔබේසේකර මැතිතුමාය. දේශිය වෙදකම රැක ගනිමින් එය තව දුරටත් දියුණු කරගැනීම මෙම සංගමයේ එක් ප්‍රධාන ඉලක්කයක් විය. ඒ සදහා භාරකාර මණ්ඩලයක්ද පිහිටුවා ගන්නා ලදි. එමගින් පළමු හා ස්ථිර පියවරක් ලෙස 1910 වසරේදී පෙරදිග වෛද්‍ය විද්‍යා අරමුදල යනුවෙන් අරමුදලක් ඇතිකරගන්නා ලදි. එහි එක් අරමුණක් වුයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක් සහ ආරෝග්‍යශාලාවක් පිහිටුවා ගැනිමයි. සුදු රජය ඒ සදහා භුමියක් සැපයීමටද ගිවිස‍ගෙන සිටියේය. ප්‍රමාණවත් තරම් අරමුදල් නොලැබීම නිසා මෙම කාර්යය දිනෙන් දින පමා වුණු අතර එයින් ප්‍රයෝජන ගත් සුදු ආණ්ඩුව භූමිය ලබාදීමද සිදු නොකරන ලදි. කෙසේ වෙතත් මේ අතර වාරයේදී වෛද්‍ය භාරකාර මණ්ඩලය  විසින් භාරතයේ කල්කටා (කොල්කටා) හා මදුරාසි විශ්ව විද්‍යාලවල  සහ යාපනය කයිතඩි ආරෝග්‍ය ශාලාවේ ඉගෙනුමටත් පුහුණුවටත් ශිෂ්‍යත්ව ලබාදීමට ව්‍යාපෘතියක් ආරම්භ කලහ.

එම පළමු  වෛද්‍ය ශිෂ්‍යයන් අතරට වික්‍රමාරච්චි තරුණයාද ඇතුලත් වු අතර කල්කටාවේ අශ්ඨාංගායුර්වේද විද්‍යාලයෙන් ආයුර්වේදය මැනවින් හැදෑරීමට එතුමාණන්ට හැකියාව එමගින් උදා විය. කල්කටා විශ්වවිද්‍යාලයෙන් ඇල්.ඒ.එම්.ඇස්(ගෞරව) උපාධියත්, කවිරන්ජන් උපාධීයත්,භිෂග්රත්න ගෞරව නාමයත් ජී.පි වික්‍රමාරච්චි වෛද්‍යාචාර්වරයා දිනා ගන්නේ ඉතාමත් පහසුවෙනි. භාරතයේ ගත කාල සමය තුලදී ඒ වන විට භාරතයේ ගොඩනැගෙමින් තිබුනු නිදහස් අරගලයේ සෙවනැලිද පණ්ඩිත රාළහාමි වෙත පතිතවන්නට විය. භාරතීය නිදහස් අරගලයේ පතාක යොධයන්ගේ ස්වභාවයන් හා ඔවුන්ගේ කටයුතු මනාව හා සමීපව නිරික්ෂණය කිරීමටත් ඒවා පිළිබදව ස්වයං විවරණයක යෙදෙන්නටත් මෙතුමන්ට එම කාලයේදි අවස්ථාව උදා වී ඇත.

සාර්ථකව අධ්‍යාපන කටයුතු නිමකිරීමෙන් අනතුරුව නැවතත් මවුබිමට පැමිනෙනා පණ්ඩිත ජි.පි වික්‍රමාරච්චි වෛද්‍යාචාර්යවරයා තම පියානන් සමගින් එකතුව නැදුන්ගමුවේ තම නිවසේ සිට ප්‍රතිකාර කටයුතු කිරීම පළමුව ආරම්භ කරයි. කල් යත්ම නිවසින් බැහැර ස්ථානයකද රෝග පරික්ෂාවන් සහ ප්‍රතිකාර කිරිම් සිදුකිරිමට මෙතුමාණෝ අවස්ථාව සලසා ගන්නා ලදි.

ආයුර්වේද අධ්‍යාපනයට සුවිශේෂ වසරක්

මෙරට තුල ආයුර්වේද අධ්‍යාපනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1929 වසරේදී කීර්තිමත් අයුර්වේද විද්‍යස්ථාන දෙකක් මෙරට තුල ඇරඹිම සිදුවේ. එකක් ස්වදේශිය වෛද්‍ය මණ්ඩලයට රජයෙන් ලද මුදලකින් 1929 ජුනි මස දහවැනි දින රාජගිරිය කොට්ටේ පාරේ ‘ද බවර්’ නම් ස්ථානයේදී ඇරඹි ස්වදේශිය වෛද්‍ය විද්‍යාලයයි. එහි පළමු අධිපතිත්වයට පත් වන්නේ කැප්ටන් ඒ.එන්.එන්. පනික්කාර් මහතායි. වර්තමානයේදි මෙරට ආයුර්වේද විද්‍යාර්ථයන් බිහිකරනා ප්‍රධානතම අයතනය වන කොළඹ විශ්වවිද්‍යාලයීය අනුබද්ධිත දේශිය වෛද්‍ය විද්‍යායතනය ලෙස හදුන්වන්නේ එසේ ඇරඹි ආයතනයයි. ඉතිරි ආයතනය ස්වදේශිය වෛද්‍ය විද්‍යාලය අරඹා දින දහයක් ගත වීමටත් මත්තෙන් කොළඹ නුවර මහා මාර්ගයට මුහුණලා යක්කල නගරයෙන් මදක් නුවර පැත්තට වන්නට පිහිටි රමණිය භූමි භාගයක ඉදිවන්නේ අයුර්වේදයේ නව පිටුවක් පෙරළමිණි.

නව ගමනක ඇරඹුම

සමස්ථ ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ ගම්පහ ශාඛාවේ ආරාධනය පරිදි පණ්ඩිත් ජි.පි වික්‍රමාරච්චි ශ්‍රීමතාණන් විසින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස 1929 ජුනි දහනමවැනි දින ශ්‍රි ලංකා සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලය අරඹන්නේ මෙරටට කීර්තිමත් ආයුර්වේද විද්‍යායතනයක් උරුමකර දීමේ අධිඨන සහිතවය. ආරම්භයේදි සීමිත සිසුන් පිරිසක් බදවා ගත්තද කල්ගත වත්ම එම ගණන තිහ දක්වා වර්ධනය විය. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නවාතැන් හා ආහාරපාන ඇතුළුව සියළුම අවශ්‍යතා සපුරණ ලද්දේ පණ්ඩිත රාළහාමි විසිනි. හුදෙක් සාම්ප්‍රදායික ඉගැන්වුම් ක්‍රමයෙන් ඔබ්බට ගොස් ප්‍රරාණ දඹදිව පැවති දිසා‍පාමොක් ගුරු ගොල සම්බන්ධතාවය අනූව යමින් පණ්ඩිත රාළහාමි අනෙක් ආචාර්යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන් සම්බන්ධ කර ගනිමින් අරිෂ්ඨ, ආසව, තෙල් , කල්ක, ගුලි ආදිවු සියළුම ඖෂධ වර්ග තමා විසින්ම සිදුකර ගැනීම සිදුකලේ ශිෂ්‍යයන්ටද අනෙකුත් ගුරුවරුන්ටද ප්‍රායේගික කර්ම අභ්‍යාසය ලබා දෙමිනි. තම සිසුන්ගේ විනයත් ආයුර්වේද ආචාරධර්ම වලට අනූකූලව හැඩගැසීමත් කෙරෙහි දැඩි අවධානයක් යොමු කල සැබෑ ආයුර්වේද ප්‍රේමියෙකු වූ පණ්ඩිත රාළහාමි විසින් ආචාරධර්ම පද්ධතියක්ද ශිෂ්‍යයන්ට හදුන්වා දෙන ලදි. එතුමා එම ආචාරධර්ම පද්ධතිය සැකසීමේදි කෙතරම් දාර්ශනික වුත් පෘථුල වූත් පරාසයක කල්පනා කර තිබේදැයි වටහා ගැනීමට එම ආචාරධර්ම පද්ධතියේ සදහන් කර තිබු පළමු සහ අවසාන ප්‍රතිපත්ති දෙක පමණක් පහත දක්වනු ලැබේ.

  • පළමු ප්‍රතිපත්තිය
“ස්වස්ථ වු තම පරමායුෂ ආරක්ෂා කර ගැනීම පිණිස බුහ්ම මුහුර්තයෙන් අවදිවෙමි.”
  • අවසාන ප්‍රතිපත්තිය
“ලේ මස් සහිත මාගේ මේ ශරීරය ලෝකයාගේ හිත සුව පිණිස යෙදවීමට හැකි තරමින් පුරුදු කරමි.”
 

ජාතික දේශපාලනයට සම්බන්ධ වීම

මහත්මා ගාන්ධි, ශ්‍රි නේරු, චන්ද්‍රබෝස් වැනි භාරතීය නිදහස් සටනේ ප්‍රමුඛ පෙලේ වීරවරයන් තම නිදහස් ව්‍යාපාරය අරඹා ගොඩනගමින් සිටි කාලයේ භාරතයේ සිට අධ්‍යාපනය හැදෑරු පණ්ඩිත රාළහාමිටද එවා තම දෙඇසින් දැක ගැනීමට හැකියාව ලැබුණි. නැවත තම මවුබිමට  පැමිණිමෙන් පසු මෙරට නිදහස් සටනට එකතු වීමට එම අත්දැකීම් මනා පිටුවහලක් වී ඇත. තම ජීවන ක්‍රමය තුලින්ම ආදර්ශය සැපයීමට කටයුතු කල මෙතුමා ඉන්දියාවෙන් ගෙන්වා ගත් කපු ඇට පැල කරවා එයින් හටගත් කපු පුළුන් වලින් සැකසු රෙද්දක් තම සුදු කබායත් රෙද්දත් මසා ගැනීමට භාවිතා කර ඇත. එසේ ක්‍රියාවෙන්ම ස්වදේශි චින්තනය අනුගමනය කල මෙතුමා නිදහස් සටන සදහා තම දායකත්වය උපරිමයෙන්ම ලබා දීමට කටයුතු කළේය.

අනගාරි ධර්මපාල තුමා ඇරඹි “සිංහල ‍බෞද්ධයා” පුවත් පතේ කතුවරයා වශයෙන් සේවය කිරිමටද ධර්මපාල තුමා මෙරට තුල සිටියදීම පණ්ඩිත රාළහාමිට අවස්ථාව සැලසුණි. එහිදි තම භාෂා සහ දාර්ශනික ඥානය උපයෝගි කර ගනිමින් බෞද්ධයන් හට ආමන්ත්‍රණය කිරීමටත් කල යුතු සහ නොකල යුතු දෑ පිළීබදව නිවැරදි මග කියා දීමටත් පෙරමුණ ගත්තේය.

ප්‍රසිද්ධ නොතාරිස් වරයකු ලෙසද කටයුතු කිරීමට අවස්ථාව ලද පණ්ඩිත රාළහාමි රටේ ඉහලම දේශපාලනික නායකත්වය සමග සමීප සම්බන්ධතාවයන්ද ගොඩනගා ගෙන තිබුණි. නමුත් ඒ කිසිවක් වත් තම පෞද්ගලික සුඛ විහරණය හෝ අර්ථසාධනය සදහා යොදා ගැනීමට ‍කටයුතු නොකල එතුමා සෑම විටම තම පුද්ගලිකත්වයත් තමාගේ වෘත්තීය ගරුත්වයත් රැක ගත්තේය.

වරක් මහාමාන්‍ය ඩී.ඇස් සේනානායක ශ්‍රීමතාණන් කෘෂිකර්ම ඇමතිව සිටි යුගයේදි යක්කල ප්‍රදේශය පසු කරමින් තම මෝටර් රථයෙන් ගමන් කරනා සිටින අවස්ථාවකදී හදිසියේම සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලය අසලදී රථය නවතා පණ්ඩිත රාළහාමි හමුවීමට පැමිණ ඇත. එහෙත් එම අවස්ථාවේදි රළහාමි රෝගීන් පරික්ෂා කරමින් සිට ඇති බැවින් සේනානායක ශ්‍රීමතාණන්ට ටික වේලාවක් එහි රැදී සිටීමට සිදුව ඇත. තමා සිදු කරමින් සිටි කාර්යය මග නවතා දමා ඇමතිවරයා/ප්‍රභූවරයා හමුවීමට පණ්ඩිත රාළහාමි පැමිණ නැත්තේ තම වෘත්තීය ගරුත්වය අන් සියළු දෙයටම වඩා වැදගත් බව එතුමාණෝ දැඩිව විශ්වාස කල නිසාය. තමා පැමිනෙන තුරු ඇමතිවරයාට සප්පායම් වීමට බෙලි මල් තැම්බූ වතුර සමග ඉස්තරම් කිතුල් හකුරු පිළිගැන්වීමට උපදෙස් දී පණ්ඩිත රාළහාමි තම කාර්යයේම නිරත වී ඇත.  මේ අවස්ථාවේ තමා වැනි කුලවතෙකු නැතිනම් රටේ ප්‍රසිද්ධ ප්‍රභූවරයෙකු නැතිනම් රටේ නායකයා වීමට සූදානමින් සිටිනා තැනැත්තාව ටික වේලාවක් රදවා තබා ගැනීමින් සැලකීම ගැන ඩී.ඇස් සේනානායක ශ්‍රීමතාණන් කිසි සේත් උරණ වී නැත. පණ්ඩිත රාළහාමි පිළිබදව එතුමන් තුල තිබු ගෞරවය සහ රාළහාමිගේ චරිත ස්වභාවය ගැන දැනගෙන සිටි සේනානායකයන් එම පමාව සම සිතින් ඉවසා සිට ඇත. තම කාර්යය අවසන් කර පැමිණි පණ්ඩිත රාළහාමි වෙත ඇමතිවරයා යෝජනා කර ඇත්තේ වෛද්‍ය විද්‍යාලයට රජයේ ආධාර ලබා දීමට තමාට කටයුතු කල හැකි බවයි. එහෙත් එම යෝජනාව ස්තූති පූර්වකව ප්‍රතික්ෂේප කල පණ්ඩිත රාළහාමි තම ස්ව ශක්තියෙන් වෛද්‍ය විද්‍යාලය ගොඩ නැගීමට තිබු කැමැත්ත සහ අදිඨන එහිදි පෙන්වා දී ඇත. තමාව මද වේලාවක් රදවා තබාගනිමින් තමා කල යෝජනාව පවා ප්‍රතික්ෂේය කිරීමට කටයුතු කල රාළහාමි සමග කිසිදු අමනාපයක්  සේනානායක ශ්‍රීමතාණන් තුල ඇතිවී නැත. එසේ වි ඇත්තේ කීර්තිමත් වෛද්‍යවරයෙකු ලෙසත් මනා පෞර්ෂත්වයකින් හෙබි යුග පුරුෂයෙකු ලෙසත් ජී.පි වික්‍රමආරච්චි ගුරු දේවයන් විසින් එම යුගයේ රටේත් සමාජයේත් අත්පත් කරගෙන සිටි ස්ථානය සේනානායක ශ්‍රිමතණන් මනාව වටහා ගෙන සිටි නිසාවෙනි.

කෙසේ වෙතත් නිදහස් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මෙතුමාණන්ගේ සේවය පළමු වරට ලබා ගැනීමට කටයුතු කරන්නේ ඇස්.ඩබලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසිනි. 1956 වර්ෂයේදී සිදුවු ආණ්ඩු පෙරළියට පදනම් වූ පංච මහා බලවේගයේ වෙද බලවේගයට නායකත්වය දීමට තොරා ගැනෙන්නේ පණ්ඩිත රාළහාමිවය. සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසත් ඉදිරිගාමි නායකයෙකු ලෙසත් එම අවස්ථාව් ලබා දුන් සහය හා කැපකිරීම මත බණ්ඩාරනායක රජයේ උත්තර මන්‍ත්‍රි මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකු ලෙස එතුමා පළමුවරට තෝරා පත් කර ගැනීම සිදුවේ. එහෙත් බණ්ඩාරනායක අගමැතිවරයාගේ හදිසි මරණයත් සමගම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණීයට දේශපාලනයට පැමිණීමට අවස්ථාව උදා කර දෙමින් පණ්ඩිත රාළහාමි තම මන්ත්‍රී අසුනෙන් ඉල්ලා අස්වේ. සිරිමාවෝ මැතිණිය ප්‍රථම වරට අගමැති බවට පත් වීමත් සමගම නැවතත් පණ්ඩිත රාළහාමිට මන්ත්‍රි ආසනය පිරිනැමමීමට කටයුතු සම්පාදනය වේ. දේශපාලනයෙන් හරි හම්බ කර ගැනීමටවත් සමාජයේ බලවතෙකු ලෙස විසිමටත් තමා ලද මන්ත්‍රි ආසන ධූරය භාවිතා නොකල වික්‍රමාරච්චි ගුරු දේවයන් තමාගේ වෘත්තිය කෙරෙහිත් එසේම එහි අනාගත අභිවෘද්ධිය කෙරෙහිත් මැරෙන මොහොත දක්වාම දැඩි අවධානයනින් පසුවිය.

පණ්ඩිත රාළහාමි කෙතරම් කාර්යයබහුල වුවත් ලිවිමේ කටයුතු වලින්ද සම්පූර්ණයෙන්ම ඉවත් වුයේ නැත. හැකි පමණින් කාලය සපයා ගනිමින් ග්‍රන්ථකරණයේද යෙදුනේය. සිහල ආහාරපාන විධි, භෝජන සංග්‍රහය වැනි කෘති රචනා කරමින් ආයුර්වේදානුකූල ජීවක රටාවක් සකසා ගැනීමට ආහාර පාන  ගතයුත්තේ කෙසේදැයි යනුන නිවැරදිව සමාජගත කිරීමට කටයුතු කළහ. එසේම රක්ත රෝග සංග්‍රහය, චරක සූත්‍රස්ථාන අනුවාදය වැනි න්‍යායාත්මක ග්‍රන්ථයන්ද රචනා කලේ තම භාෂා දැනුමත් ප්‍රකට කරමිනි.  කෙසේ වුවත් කුමණ හෝ හේතුවක් නිසා එතුමානෝ ග්‍රන්ථකරණය තුල ඇලිගැලී සිට නැත.

සියවස් දෙකක කාලයක් තුල වසර අසූ හයක් ආයු වලදා මේ ශ්‍රේෂ්ඨ පඩිරුවන ජාතියට සමුදෙන්නේ වසර 1975 ක් වූ මාර්තු මස විසි නමවැනිදාය. එතැන් පටන් සෑම වසරකම මාර්තු මස තුලදී ගුරු දේව ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත රාජ වෛද්‍ය ජී. පි වික්‍රමාරච්චි ශ්‍රීමතාණන්ගේ ගුණ රුව සමරා කුමණ හෝ ආකාරයක  පින්කම් වික්‍රමාරච්චි විදුහල් භූමිය තුලත් ඉන් පිටතත් සිදුකිරීමට වික්‍රමාරච්චි විදුපියසින් වෛද්‍ය ශාස්ත්‍රය හදාල සියලු දෙනා කටයුතු කරන්නේ සැබෑ පීතෘ ගෞරවය නිසාවෙනි.

පසු කලෙක ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය යනුවෙන් රජයේ විශ්වවිද්‍යාල ආයතනයක් ලෙස බෞතිස්ම ලබන්නේ වික්‍රමාරච්චි ශ්‍රීමතාණන් විසින් ඉතා සංඥමයකින් යුතුව ආරම්භ කල  ශ්‍රි ලංකා  සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයයි.  මෙරට ආයුර්වේදයේ උන්නතියටත් ගම්පහ සම්ප්‍රදාය ගොඩනැගූ  සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලය බිහිකිරීමටත් රාජවෛද්‍ය ජි.පි වික්‍රමාරච්චි පණ්ඩිත රාළහාමි විසින්  සිදු කල අනූපමේය මෙහෙය ස්මරණය කරණු වස් එම වෛද්‍ය විද්‍යාලය වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය යන නමිනුත් ආයතන භුමියේ ජි.පි වික්‍රමාරච්චි ශ්‍රීමතාණන්ගේ මණරම් පිළිරුවකුත් සකසා ඇත්තේ එහි එන යන සැමටම ඔවුන් පය තබනා බිමෙහි සැබෑ නිර්මාණකරුවා ගැන සැම විටම මතක් කර දීමටය.