ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ආයුර්වේදය මිනිස් සිරුරේ සියලුම පද්ධති “ස්‍රෝතස්” තුලින් දුටුවේද?

 Systemsබටහිර විද්‍යාඥ විලියම් හාර්වි රුධිර සංසරණ පද්ධතිය සොයා ගැනීමට ශතවර්ශ ගණනාවකට පෙර සිරුර තුල රුධිරය ගමන් කරනා පද්ධතියක් නැතිනම් මාර්ගයක් ඇති බව ආයුර්වේද ආදි කතෘවරුන් තම මුල ග්‍රන්ථ වල ලියා තැබුහ. නූතන බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ආහාර ජීර්ණ පද්ධති, බහිස්‍රාවි පද්ධති, අන්තරාසර්ග පද්ධති, ශ්වසන පද්ධති සහ ස්නායු පද්ධති ඇතුළු සියළුම ශාරිරික පද්ධති පිළිබඳ විස්තර කිරිමට බොහෝ කාලයකට පෙර ආයුර්වේදය මේ සියල්ල පැහැදිලිවත් නිවැරදිවත් විස්තර කර දුන්නේය. ඒ ආයුර්වේදයේ විස්තර කෙරෙනා “ස්‍රෝතස” නම් වු ඉතාම වැදගත් න්‍යායාත්මක කොටස තුලිනි. චරක සංහිතාවේ විමාන ස්ථානයේ ස්‍රෝතෝවිමාන අධ්‍යාය තුල ස්‍රෝතස් පිළිබඳව සාකච්ඡා‍ කෙරේ. සුශ්‍රැත සංහිතා ශරීර ස්ථාන නවවන අධ්‍යාය වෙන් කොට ඇත්තේද ස්‍රෝතස් පිළිබඳ සාකච්ඡා කිරිමටය. ආයුර්වේදයට අනූව ස්‍රෝතස් යනු යම් කිසිවක් ස්‍රාවණය වීම ඉනීම සහ ඒ, ඒ පදාර්ථ ගෙන යන මාර්ගය යන අරුත ගැබ්ව ඇති සංස්කෘත පදයකි. රසාදි පෝෂණ ධාතුන් අභිවහන කරන මාර්ගය ස්‍රෝතස් යැයි චරකයේ දැක්වේ. ශරිරයේ යම්තාක් මුර්තිමත් භාව පදාර්ථ (රස, රක්ත, ස්වේද, ශ්ලේෂ්ම, පිත්ත, මල, මුත්‍රාදි) වේ නම් ඒ තාක් ස්‍රෝතස්ද පවති, එසේම ශරීරයෙහි යම්කිසි භාව පදාර්ථයක උත්පත්ති, වෘද්ධි සහ ක්ෂය ස්‍රෝතසකින් තොරව ඇති නොවේ. ශරීරයේ ඇති අස්ථායි ධාතු (පෝෂක ධාතු) ගමන් කරනා මාර්ග ස්‍රෝතස් නමින් හඳුන්වයි. එම ස්‍රෝතස් වල ස්වභාවය වනුයේ ගමන් ගන්නේ නම් එම පදාර්ථයට අයත් වර්ණයම එම ස්‍රෝතසයෙහිද ඇති බවත්ය. ආකාරයෙන් වෘක්ත, ස්ථුල, අණු, දීර්ඝ හෝ ප්‍රතාන සදෘශ ලෙසද වන බවක්ද දැක්වේ.

ස්‍රෝතස් වනාහි පරිණාමයට පැමිණියා වුද, පැමිණෙන්නා වුද ධාතුන් වහනය කරන්නාහුය. ධාතුන්ගේ ගමනයද ස්‍රෝතස් මාර්ගයන්ගෙන් වන්නේය. සර්වගත සහ සර්වසර හෙයින් “ස්‍රෝතඃ සමුදායත්මකත්වය ම පුරුෂයා” යැයි කීමට සමහර සෘෂි කෙනෙක් කැමති වෙත්. මේ ස්‍රෝතස් සම්බන්ධයෙන් ආයුර්වේද මුල ග්‍රන්ථවල ඇති හැදින්වීම් කිහිපයකි.

“ස්වධාතු සමවර්ණානි – වෘන්ත ස්ථුලාන්‍යාණු නී ච,
ස්‍රෝතාංසි දීර්ඝාන්‍යාකෘත්‍ය යු ප්‍රතාන සදෘශානි ච”– චරක (ස්‍රෝතස් වල ස්වභාවය)

නමුත් එයට පටහැනි තර්කය වන්නේ, යම් මූර්තිමත් භාවයෙක යම් ස්‍රෝතසෙක් වේද, යම් භාවයක් යම් ස්‍රෝතසක් විසින් වහනය කරනු ලැබේද, යම් ප්‍රකාරයෙකින් වහනය කෙරේද, යම් ස්‍රෝතසක් යම් තැනක සිටියේද ඒ සියල්ලම ඒ ස්‍රෝතසෙන් වෙනස් ඒවායි. එහෙයින් අන්‍ය වු පදාර්ථද ඇති පුරුෂයා ස්‍රෝතස් සමුදායත්මක නොවේ.

“සර්ව ශරීරයෙහි හැසිරෙන්නාවු වා, පිත්, සෙම් වහනය කරන්නාවු සිදුරු සහිත මාර්ගයන් වු සියලු ස්‍රෝතස් ද යන මොහු වෙත්.” එසේම මනස ආදි කොට ඇති අතීන්ද්‍රීය පදාර්ථයන්ගේ ස්‍රෝතස් හුද වෙත්. හෙවත් සමස්ථ සජීව වූ ශරීරයෙන් සජීව ශරීරයාගේ මාර්ගයන් සහ ආශ්‍රය ස්ථානයන් හා ස්‍රෝතස්හුද වෙත්, යන්නයි.

digestiveශබ්දාර්ථයෙන් ගෙන බැලුව හොත් ස්‍රෝතස් ශබ්දයට දි ඇති අර්ථය වන්නේ “අවකාශ” ස්ථානය යනුයි. එය පංච මහ භූතයන්ගෙන් එකක් වු ආකාශ මහා භුතයෙන් පැන නගින්නකි. ශරීර නිර්මාණයේදී පංච මහා භුත මුල් වි ඇති බව අයුර්වේදයේ පිළිගැනීමයි. ඒ අනුව ශරීරයෙහි ඇති අවකාශ ස්ථාන සියල්ලක්ම ආකාශ මහා භූතයෙන් නිර්මාණය වි ඇත. ශුක්‍ර ශෝණිත බීජ වල පටන් ඒ දෙක එක්වි නිර්මාණය වු කළලය දක්වාම මේ අවකාශ ස්ථාන ඇත. මේ අවකාශ ස්ථාන හැදින ගැනීම පහසු විම පිණිස (ස්‍රෝතසුන්ට) නම් රාශීයක් දී ඇත. ස්‍රෝතස්, ශිරා, ධමණි, රසායනී, රසවාහිනී, නාඩි, පථ, මාර්ග, ශරීරඡිද්‍ර , සංවෘතස්ථාන, ආශ්‍රය, නිකේත, ස අයන ආදිය මේ සඳහා දී ඇති පර්යාය නාමයන්ය.

ඉහත පර්යාය නාමයන් එකිනෙක විග්‍රහ කර බැලුවහොත් ශරීරයෙහි ස්‍රෝතසුන්ගෙන් තොරවු වෙන දෙයක් නැති බව සක්සුදක් සේ පෙනී යයි. ඒ නිසාම චරක විසින් “ස්‍රෝතෝමයම් අයං ශරීරම්” යනුවෙන් දක්වා ඇත. නවීන ශරීරරචනා (Modern Anatomy) හි විස්තර වන පද්ධති සියල්ල අපේ ස්‍රෝතස් ශබ්දයෙහි ලා ගිනිය හැකිය. අයුර්වේද ශරීර රචනා විෂයෙහි සඳහන් වන පරිදි ස්‍රෝතස් තුලින් ආහාර, රස රක්තාදි ධාතු, ප්‍රාණ, ත්‍රිධාතු, මල ආදි සියල්ල වහනය කරන බව පෙනි යයි. ස්‍රෝතස් රස වහණය කිරී‍මෙන් සෑම ධාතුවක්ම පෝෂණය කරයි. මල වහනයට කොට බැහැර කිරීමෙන් ශරීරය පිරිසිදු කරයි. ප්‍රාණ වහනය කිරීමෙන් පවත්වා ගැනීමට උපකාරි වේ. තව දුරටත් පැහැදිලිව කියන්නේ නම් ශරීරය තුල හා බාහිරව සිදුවන සෑම ක්‍රියාවක්ම පැවැත්ම සහ සෑම සංඥාවක්ම දැනීම(අනුගමනය) මේ ස්‍රෝතසුන්ගේ මාර්ගයෙන් සිදුවන බවයි.

ස්‍රෝතස් සංඛ්‍යාව නිශ්චිතද?

ශරීරයේ ඇති ස්‍රෝතස් සංඛ්‍යාව මෙපමණ යැයි දක්වා විස්තර කර ඇති නමුත් ඒ සමගම අසංඛ්‍ය බවක්ද දක්වා ඇත. ක්‍රියාකාරිත්වය සහ දෘෂ්‍යමාන තත්ත්වය අනූව කාය චිකිත්සකයින් හා ශල්‍ය චිකිත්සකයින් ස්‍රෝතස් නම් කොට සංඛ්‍යා නියමයක් කර ඇත. ආයුර්වේදයට අනූව වාත පිත්ත කඵ යන දෝෂයන්ගෙන් තොර ස්ථානයක් සිරුරේ නැතුවා සේම ස්‍රෝතසුන්ගෙන් තොර ස්ථානයක් සිරුරේ නැති බව කිව හැකිය.

“අපි චෛතේ ස්‍රෝතසා මේවං සමුදයං පුරුෂ මිච්ඡන්ති”

කාය චික්තසාව අනුව ස්‍රෝතස් දහතුනකි.

  1. ප්‍රාණවහ ස්‍රෝතස
  2. උදකවහ ස්‍රෝතස
  3. අන්නවහ ස්‍රෝතස
  4. රසවහ ස්‍රෝතස
  5. රක්තවහ ස්‍රෝතස
  6. මාංශවහ ස්‍රෝතස
  7. මේදෝවහ ස්‍රෝතස
  8. අස්ථිවහ ස්‍රෝතස
  9. මජ්ජාවහ ස්‍රෝතස
  10. ශුක්‍රවහ ස්‍රෝතස
  11. පුරීශවහ ස්‍රෝතස
  12. මුත්‍රවහ ස්‍රෝතස
  13. ස්වේද වහ ස්‍රෝතස

ශල්‍ය චිකිත්සාව අනුව ස්‍රෝතස් එකොළහකි.

  1. ප්‍රාණවහ ස්‍රෝතස
  2. උදකවහ ස්‍රෝතස
  3. අන්නවහ ස්‍රෝතස
  4. රසවහ ස්‍රෝතස
  5. රක්තවහ ස්‍රෝතස
  6. මාංශවහ ස්‍රෝතස
  7. මේදෝවහ ස්‍රෝතස
  8. ශුක්‍රවහ ස්‍රෝතස
  9. පුරීශවහ ස්‍රෝතස
  10. මුත්‍රවහ ස්‍රෝතස
  11. අර්ථවහ ස්‍රෝතස

මුල ග්‍රන්ථ වල දක්වා ඇති එක් එක් මහා ස්‍රෝතස වල උපන් ස්ථාන සහ ඒවාට හානි වීම නිසා සිදුවන සංකුලතා පහත පරිදිය.

• ප්‍රාණවහ (පණ උසුලන) ස්‍රෝතස

මූලය – හෘදය හා මහා ස්‍රෝතසයයි.

අතිසෘෂ්ටය(බොහෝ දිගට හුස්ම හෙලීම), ප්‍රතිබද්ධය(පිට පිට හුස්ම හෙලීම), හෝ ප්‍රකුපිත නිඃශ්වාසය හෝ අල්ප වශයෙන් නිඃශ්වාසය හෝ ඝන වශයෙන් නිඃශ්වාසය හෝ ශබ්ද සහ වේදනා සහිතව නිඃශ්වාසය(හුස්ම හෙලිම) යන ඒවා ප්‍රාණවහ ස්‍රෝතස දුෂණය විම දක්වන ලක්ෂණයන්ය. ස්‍රෝතස දෙකේ මුල් විද්ද හොත් ආක්‍රෝශනය(දුක් මුස් හඬින් හැඬිම), සිරුර නැමි යාම‍, මුලාව, කැරකිල්ල, වෙව්ලිම යන ඒවා හෝ මරණය ඇති කෙරේ.

• උදකවහ (ජලය වහනය කරන) ස්‍රෝතස

මුලය – තල්ල සහ ක්ලෝමය වේ.

දිව, තල්ල, තොල්, බොටුව, ක්ලෝමය යන මොවුන්ගේ වියළුම, අතිශය පිපාසය ලන ලක්ෂණ දුෂිත ලක්ෂණ වේ. මුල් විද්ද හොත් ශුලය, ආහාර අරුචිය, වමනය, පවස, අඳ බව යන මේවා හෝ මරණය ඇති කෙරේ.

• අන්නවහ (ආහාර වහනය කරනා) ස්‍රෝතස

මුලය – ආමාශය සහ වාමපාර්ශ්වය වේ.

ආහාරයේ අභිලාෂයක් නැති බව, අරුචිය, ආහාරය නොපැසිම, වමනය යන ලක්ෂණ අන්නවහ ස්‍රෝතස දුෂිත ලක්ෂණ වේ. පිපාසය මෙන්ම එකෙණෙහිම මරණයද ඇති කෙරේ.

• රසවහ (රසධාතුව වහනය කරන) ස්‍රෝතස

මුලය – හෘදය සහ ධමනි දශකය වේ.

ශෝෂය ඇති කෙරේ. එසේම ප්‍රාණවහ ස්‍රෝතස විදුණ විට ඇති වන ලක්ෂණ හෝ මරණය ඇති කෙරේ.

• රක්තවහ ස්‍රෝතස

මුලය – යාකෘතය හා ප්ලිහාව වේ.

ඇඟ ශ්‍යාමවර්ණ හෝ පඬුවන් බව, උණ, දැවිල්ල, අධිකව රක්ත ස්‍රාවය, ඇස් රතු බව යන මේවා උපදනේය.

• මාංසවහ ස්‍රෝතස

මුලය – ස්නායු සහ සිවිය

මස වියළිම,සිරා ගැට ගැසීම යන මේවා හෝ මරණය සිදු වේ.

• මේදෝවහ ස්‍රෝතස

මුලය – වෘක්කද්ව්‍යය සහ වසාවහනය

දාඩිය වියළිම, ඇඟ සිනිඳු බව, තලු වියළුම, ස්ථුල ශෝථය, පවස යන මේවා ඇති කෙරේ.

• අස්ථිවහ ස්‍රෝතස

මුලය – මේදස් සහ ජඝනය

• මජ්ජාවහ ස්‍රෝතස

මුලය – අස්ථි සහ සන්ධි

• ශුක්‍රවහ ස්‍රෝතස

මුලය – වෘෂණද්වය සහ ලිංගය

ක්ලීවත්වය, පමා වී ශුක්‍රය වැගිරිම, රතු පාට මුත්‍රා පිට වීම ඇතිවේ.

• මුත්‍රාවහ ස්‍රෝතස

මුලය – වස්තිය සහ ඉකිලි දෙක

අධික මුත්‍රාස්‍රාව, මුත්‍රබද්ධය, හෝ වරින් වර ස්වල්ප වශයෙන් කුපිත මුත්‍රස්‍රාවය, මුත්‍ර ඝනබව, මුත්‍ර කාලයෙහි වේදනාව, වස්තිය පිම්බී ඇදුම් කෑම, මුත්‍රභාවය හා ලිඟුව තද බව යන ඒවා ඇතිවේ.

• පුරිශවහ ස්‍රෝතස

මූලය – පක්වාශය හා ස්ථුලාන්ත්‍රය

ඉතා දුෂ්කර සේ අල්ප වශයෙන් මල නික්මීම හෝ ඉතා ද්‍රව වු හෝ බොහෝ ගැට ගැසුනාවු හෝ මල අධික ප්‍රමාණයෙන් නික්මීම, මලපහ කරන කාලයෙහි ශබ්ද සහ වේදනා ඇති බව. ආනාහය, දුඟද බව, බඩවැල් ගැට ගැසී යෑම සිදුවේ.

• ස්වේදවහ ස්‍රෝතස

මූලය – මේදස සහ රෝමකූප

දහඩිය නොදැමීම හෝ අදික දහඩිය දැමීම, සිරුරේ පරුෂ බව හෝ අතිශ්ලක්ෂ්ණතාව (ඉතා සෙවෙනි බව) දැවිල්ල, ලොමු දැහැගැන්ම.

ස්‍රෝතස වෛගුණ්‍යය හෙවත් ස්‍රෝතස දුෂණය

interයම් කිසි ආහාර විහරණාදියක් සමාන ගුණ යුක්ත වීම නිසා යම් අයුරකින් ඒ, ඒ දෝෂ වර්ධනය කරයිද, යම් කිසි ආහාර විහරණාදියක් නිසා ධාතුන්ගේ වෛගුණ්‍යය ඇති කරයිද එමගින් ස්‍රෝතසද දුෂණය නැතිනම් ස්‍රෝතස වෛගුණ්‍යය ඇතිවන බව ආයුර්වේද නියමයයි. එය පැහැදිලි කරනුයේ පහත පරිදිය. ආහාර විහරණ හේතු නිසා වර්ධනය කරනා දෝෂ නිසා නැතිනම් ධාතුන් ශරීරයේ ගමන් කරනා විට කිසියම් ස්‍රෝතසක දුර්වලතාවයක් හේතු කොට ගෙන එම ස්ථානයේ රැස් වී එම ස්ථානයේ ක්‍රියාත්මක වී එම ස්‍රෝතස දූෂණය කරයි. එමගින් රෝග තත්ත්වයක් එම ස්‍රෝතස කේන්ද්‍ර කරගෙන පැන නැගේ.

“කුපිතානාං හි දෝෂාණාං – ශරීරේ පරිධාවණම් යත්‍ර සංගඃ ඛ වෛගුණ්‍යා ද් – ව්‍යාධිස්තත්‍රෛව ජායතේ” (සුශ්‍රැත/සූත්‍ර/24)

චරක සංහිතාවේ එම ක්‍රියාවලිය උපමා කර ඇත්තේ වළාකුලු වලින් වැසි හට ගන්නා ආකාරයටය. ආකාශයේ ගමන් කරනා වළාකුලක් යම් කිසි ස්ථානයක වැදීමෙන් පසු වැසි හටගනී ද එලෙසම ශරීරයෙහි ගමන් කරන්නා වු දෝෂයෝ යම්කිසි දුර්වල ස්ථානයක එල්බ රෝග‍ය උපදවයි.

“ක්ෂිප්‍ය මාණඃ ඛ වෛගුණ්‍යාද් – රසඃ සරති යත්‍ර සඃ කරොති විකෘතිං තත්‍ර – ඛෙ වර්ෂමිව තෝයදඃ” (චරක/චිකිත්සා/15)

පොදුවේ ගත් කල ධාතුක්ෂයෙන්ද , වේග ධාරණයෙන්ද, රෞක්ෂ්‍යයෙන්ද, ව්‍යායාමයෙන්ද, ක්ෂුධාවෙන්ද, අන්‍ය වු වාත වර්ධක දරුණු විෂයන්ගෙන්ද ස්‍රෝතස්හු දූෂණය වෙති. වෙන වෙනම ගත් කල උෂෟණත්වයෙන්ද, ආම දෝෂයෙන්ද, භයින්ද, අතිපානයෙන්ද, අතිශුෂ්ක අන්න සේවනය කිරිමෙන්ද, තෘෂ්ණාහුගේ අති පීඩනයෙන්ද, උදකවහ ස්‍රෝතසහු දුෂණය වෙති.

අතිමාත්‍රයෙන් කැරෙන භෝජනයෙන්ද, අකාල භෝජනයෙන් සහ අහිත ද්‍රවයන් ගේ භෝජනයෙන්ද, අග්නිහු ගේ වෛගුණ්‍යයෙන්ද අන්නවහ ස්‍රෝතස් සමුහය දුෂණය වෙති.

ගුරු, ශිතල, අතිස්නිග්ධ, අතිමාත්‍ර යන භෝජනයෙන්ද, චින්තනය කටයුත්ත පිළිබඳ අචින්තනයෙන්ද රසවහ ස්‍රෝතස සියල්ල දුෂණය වෙයි.

විදාහි අන්නපාන සේවනයෙන්ද, සිනිඳු උණූසුම් සහ ද්‍රව ද්‍රව්‍ය සේවනයෙන්ද, අව්ව සහ ගිනිරැස්, සේවනයෙන්ද, රක්ත වහ ස්‍රෝතස් සියල්ල දුෂණය වෙයි.

අභිෂ්‍යන්දි ද්‍රව්‍ය භෝජනයෙන්ද, ස්ථුල සහ ගුරුපාක හා ද්‍රව්‍ය භෝජනයෙන්ද, ආහාරයෙන් පසු දහවල් නිදිමෙන්ද මාංසවහ ස්‍රෝතස් සියල්ල දුෂණය වෙයි.

අව්‍යායාමය, දහවල් නිදිම, මේධ්‍ය ද්‍රව්‍යන් පිළිබඳ අති සේවනය, වාරුණිමද්‍යාය(රා වැනි මත්පැන්) පිළිබඳ අධික වු සේවනය යන මේවායින් මේදෝවහ ස්‍රෝතස් සියල්ල දුෂණය වෙයි.

අතිව්‍යායාමය, අතිසංක්ෂෝභය, සිරුරේ ඇට එකිනෙක අධිකව ගැටීම, වාතය කොප කරන ද්‍රව්‍ය සේවනය, යන මේවායින් අස්ථිවහ ස්‍රෝතස් සමුහය දුෂණය කෙරේ.

උත්ක්ෂේපණය, අභිෂ්‍යන්දය, අභිඝාතය, ප්‍රපීඩනය, විරුද්ධ භෝජනය යන මේවායින් මජ්ජවහ ස්‍රෝතස් සියල්ල දුෂණය වෙයි.

නොකල්හි ස්ත්‍රි සංවාසය, අයෝනි ගමනය, ශුක්‍රවේග දැරිම, අතිමෛථුනය, ශුක්‍රවහි ස්‍රෝතසුන්හි ශස්ත්‍ර ක්ෂාර හෝ අග්නි ප්‍රයෝගය යන මේවායින් ශුක්‍රවහ ස්‍රෝතස් සමුහය දුෂණය වෙයි.

මුත්‍රවේගය ඇතිව සිටිත්දි හෝ අධිකව ජල පානය කොට ස්ත්‍රි සංවාසය කල විටද මුත්‍ර වේග දැරු කල්හිද මුත්‍රවහ ස්‍රෝතස්හු දුෂීත වෙත්. ක්ෂිණ වුද, කෘශ වුද මිනිසුන්ගේ මුත්‍රවහ ස්‍රෝතස්හු දුෂිත වෙති.

වේගධාරණය, අති භෝජනය, අජීර්ණ භෝජනය, අධ්‍යශනය යන මේවායින් පුරිශවහ ස්‍රෝතසුන් දුෂණය වෙති. දුර්වල වු අග්නිය ඇත්තහු ගේද, කෘශයා ගේද පුරිශවහ ස්‍රෝතස දුෂණය වෙති.

ව්‍යායාමයෙන්ද, සංක්ෂෝභයෙන්ද, අක්‍රමික(පිළිවෙලට නැති) ශීත සහ උෂ්ණ සේවනයෙන්ද, ක්‍රෝධ-ශෝක-භය යන මේවායින්ද ස්වේදවහ ස්‍රෝතස්හු දුෂණය වෙති.

මෙහිදි ‍නොකියන කොටස වන්නේ කොතෙක් දුරට දෝෂ හා ධාතු කොප වුවත් විකෘති ස්‍රෝතසක් හමු නොවුනහොත් රෝගයක් සෑදිමට දෝෂයට නොහැකි බවයි.

අවසන් වශයෙන් ස්‍රෝතස් විකෘති විය හැකි ක්‍රම හතරක් ආයුර්වේදයේ දක්වා ඇත.

  1. අතිප්‍රවෘත්ති
  2. සංග
  3. විමාර්ග ගමන
  4. සිරා ග්‍රන්ථි

අතිප්‍රවෘත්ති ස්‍රෝතස් මාර්ගය තුල ගමන් ගන්නා දෙය එය තුල ගමන් ගත nerves systemයුතු සාමාන්‍ය වේගයට හෝ ප්‍රමාණයට වැඩි වේගයකින් හෝ ප්‍රමාණයකින් ගමන් කිරිම අති ප්‍රවෘත්තියයි. මෙය ස්‍රෝතස විකෘත විය හැකි පළමු ක්‍රමයයි. උදාහරණයක් ලෙස රක්තවහ ස්‍රෝතස තුල ගමන් ගන්නා රක්තයේ වේගය අධික වන විට අප එය හඳුනා ගන්නේ අතිරක්තචාපය(අධික රුධිර පීඩනය/High Blood pressure/Tachycardia) ලෙසයි. ස්වේදවහ ස්‍රෝතස අතිප්‍රවෘත්තියක් නම් අධික ස්වේදය(Excessive sweating) ඇතිවේ. මේ අනුව බහිර්මුඛ ස්‍රෝතස අතිප්‍රවෘත්තියක් නම් ඒ තුල වහනය අධික වු විට බාහිරට ගෙනයාම අධික වේ. අන්තර්මුඛ ස්‍රෝතස වල නම් ඒවායේ අති ප්‍රවෘත්තියන් එම ස්‍රෝතස වල අභ්‍යන්තර පිපිරිම් (Internal Bleeding) ආදි භයානක අවස්ථා පහල වේ.

සංග අතිප්‍රවෘත්තියට විරුද්ධ අවස්ථා ඇතිවීම සංගයයි. එහිදි ඇලිම්, බැදීම් අවරෝදයන් ඇතිවීම සිදුවේ. මේ නිසා ප්‍රමාණය හා වේගය අඩුවේ. උදාහරණ ලෙස රක්තය කැටි ගැසී ස්‍රෝතස අවරෝධ වීම, මුත්‍රාශ්මරී ආදියෙන් ස්‍රෝතස අවරෝධ වීම, අර්ශස් අංකුර නිසා පුරීශවහ ස්‍රෝතසඅවහිර වීම දැක්විය හැකිය.

විමාර්ග ගමන විමාර්ග ගමන යනු නිශ්චිත මාර්ගයෙන් බැහැරව ගමන් කිරීමයි. අතිප්‍රවෘත්තිය හෝ සංගය නිසා ස්‍රෝතස් මාර්ගය සිදුරු වි හෝ විකෘත වී මේ තත්ත්වය ඇතිවේ.

සිරා ග්‍රන්ථි විශේෂයෙන් හඳුනාගත හැකි ස්‍රෝතස වල පමණක් ඇතිවිය හැකි විකෘත තාවයකි. රක්තවහ ස්‍රෝතස, අන්නවහ ස්‍රෝතස එහිදි ප්‍රධානය. Varicocele vain ඇතිවන්නේ සිරා ග්‍රන්ථි නිසාය. මේ ආකාර හතරෙන් පරිභාහිරව කිසිදු ආකාර‍යකින් ස්‍රෝතස් වල විකෘතිතාවයක් හෝ ‍අකර්මන්යාතාවයක් ඇති නොවේ. දැන් සිදු කල යුත්තේ මේ ස්‍රෝතස් පිළිබඳ ආයුර්වේද ඉගැන්වීම නුතන බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව හඳුන්වා ඇති ශරීර පද්ධති(Systems) තුලට ආදේශ කර ගැනීමයි. ආයුර්වේදය කාලින වශයෙන් අර්ථාන්විතව යොදා ගන්නවා යන්නෙන් අදහස් වන්නේ එයයි.