ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ආයුර්වේදය මතට තිත තබන්නේ නැත……

OVER DRINKමද්‍යසාර(Alcohol) වල රසායනික ගුණ, මද්‍යසාර පානය නිසා ඇතිවන රෝග තත්ත්වයන් සහ ඒ සඳහා කල යුතු වෛද්‍ය ප්‍රතිකාර යන ඒවා නවීන වෛද්‍ය විද්‍යා ග්‍රන්ථ තුලින් පහසුවෙන් සොයා ගත හැකිය. නමුත් නවීන වෛද්‍ය විද්‍යාව විසින් මද්‍යපානයෙන් සිරුරට යම් හිතකර බවක් ඇති යැයි කිසිවිටෙකත් සඳහන් කරන්නේ නැත. නමුත් මද්‍යපානයෙන් සිරුරට ලැබෙන්නාවු හිතකර ගුණ, එසේම උපරිම ප්‍රයෝජන ලැබෙන ආකාරයට(විධිසේ) මද්‍යපාන කල යුතු ආකාර, ශරීරයේ ප්‍රකෘතිය අනුව මද්‍ය පාන කල යුතු ආකාර සේම රෝග ඖෂධයක් ලෙස මද්‍යපානය කරන්නේ කෙසේද යන ඒවා සේම මද්‍යපානය සඳහා තිබිය යුතු අවදංශ (කටගැස්ම/Bites) වල ලක්ෂණ වැනි වු යන ඒවා පවා දැක්වෙන වෛද්‍ය ක්‍රමයක් මිහිපිට තිබෙනා බව ඔබ විශ්වාස කරන්නේහිද? එසේම එවැනි තොරතුරු පිළිගත් වෛද්‍ය ග්‍රන්ථයක් තුල තිබේ යැයි ඔබ මින් පෙර අසා තිබුනේද? ඔබ විශ්වාස කලද නැති වුවද එවැනි වෛද්‍ය ක්‍රමයක් ලොව ඇත්තේය, එවැනි තොරතුරු ඇතුලත් වෛද්‍ය ග්‍රන්ථයක්ද ඇත්තේය. එම වෛද්‍ය ක්‍රමය අයුර්වේද වෛද්‍ය ක්‍රමයයි. එම වෛද්‍ය ග්‍රන්ථය පෙර අපර දෙදිග ප්‍රාඥයින්ගේ ගෞරවයට පාත්‍ර වු චරක සංහිතාවයි.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉදිරිපත් කර ඇති පොදුවේ ලොව පුරා පිළිගත් එසේම ජනප්‍රිය අදහස වන්නේ මද්‍යසාර භාවිතය යනු නිරෝගි පැවැත්මකට බාධා කරනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කල යුතු දෙයක්ය යන්නයි. එම මතය සමාජ ගත කිරිම සඳහා පිලිගත හැකි සෑම වෛද්‍ය විද්‍යාවක් තුලින්ම ඒ ඒ වෛද්‍ය ක්‍රම වලට අනන්‍ය වු වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉදිරිපත් වී ඇත. ආයුර්වේදයද ඇතුළුව සියළුම වෛද්‍ය විද්‍යාවන් තුලින් උපදෙස් දෙනු ලබන්නේ මද්‍ය පානයෙන් වැලකී සිටිනා ලෙසයි. ආයුර්වේදයේ දක්වා ඇත්තේ සියළුම මද්‍යවලින් වැලකුණ බුද්ධිමත් පුද්ගලයා මානසික රෝගවලට භාජනය නොවන්නේය යන්නයි.

මීට අමතරව මද්‍යපානය නිසා ඇතිවිය හැකි විවිධ පශ්චාත් සංකූලතා සහ රෝග පිළිබදව සෑම වෛද්‍ය ක්‍රමයකින්ම දැනුවත් කෙරේ. එපමණක් නොව බොහෝ ආගම් වලින්ද මද්‍යපානය පිටු දැක ඇත්තේ එහි ඇති සමාජ හානිය සේම සිරුරට සිදුවන ශාරීරික හා මානසික හානින්ද සැලකිල්ලට ගෙනය. එසේ වුවත් සුරාපානය ප්‍රතික්ෂේප කරනා පෙරදිග ආගම් සහ දර්ශනයන් රැසක මාතෘභූමිය වුත් එවැනි දර්ශනයන්ගේ නොමද රැකවරණය ලැබුනා වුත් භාරතීය ආයුර්වේදය වැනි වෛද්‍ය ක්‍රමයක් තුල එම පදනමට අභියෝග කරනා එසේම එම පදනමට පටහැනි අදහසක් ඉදිරිපත් කරනා කොටස් අන්තර්ගතව තිබීම සුළුවෙන් නොතැකිය යුක්තක් නොවේද? මෙවැනි විවාදාපන්න තොරතුරු ඇතුලත් වෛද්‍ය ක්‍රමයක් සෑබෑ වෛද්‍ය ක්‍රමයක්ද යන්න පවා මේ දෙස මතුපිටින් පමණක් බලන්නෙකුට ප්‍රශ්ණයක් විය හැක්කේය. වසර පන්දහසකට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් සහිත එසේම බොහෝ පෙරාපර දෙදිග වෛද්‍ය විද්‍යාවන් ගොඩ නැගීමට පදනම සැලසූ ආයුර්වේදය වැනි වෛද්‍ය ක්‍රමයක් තුල මෙවැනි අදහසක් ඉදිරිපත් වීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද? ඉන් අදහස් වන්නේ ස්වාභාවයෙන් ආහාරපාන මිනිසුන්ගේ පැවැත්මට හිතකර වන්නා සේම මද්‍යද සිරුරට හිතකර බැව් ආයුර්වේද ප්‍රාඥයින් අවබෝධ කරැගෙන සිටි බව නොවේද? මෙයින් පිළිබිඹු වන්නේ මද්‍ය සම්බන්ධයේන ආයුර්වේද ප්‍රාඥයින් තුල තිබුනා වු වෙනස්ම දැක්ම නොවේද? ක්‍රමවිරෝධි මද්‍ය සේවනය රෝග ඉපදීම පිණිස වන අතර යුක්තියුක්ත මද්‍ය සේවනය අමෘතය මෙන් ශරීර වර්ධනය ආදිය පිණිස උපකාර වන බව ආයුර්වේද ප්‍රාඥයින් මෙහිදි ඉදිරිපත් කරනා පැහැදිලි අදහසයි. ආයුර්වේදාචාර්යවරුන් එම කරුණ ඉතාම නිවැරදිව සහ තර්කානූකූලව පැහැදිලි කර ඇත්තේ පහත ආකාරයටය.

“ප්‍රාණින්ගේ ප්‍රාණය ආහාරයයි. මෙබඳු ආහාරය අයුක්තියෙන්/වැරදි අයුරින් සේවනය කිරීමෙන් ප්‍රාණය නැසේ. ප්‍රාණය පවා ප්‍රහරණය කරන්නාවු වසවිස පවා යුක්ති පෙරටුව ප්‍රයෝග කළ විට රසායන/ජරා ව්‍යාධිනාශක ව සිටි. ඒ ආකාරයෙන් යුක්ති යුක්ත මද්‍ය පානයෙහි නියැලෙන්නා හට මද්‍යයෙන් උපදනා රෝ‍ගයෝ ඇති නොවෙත්.”

HAPPY DRINKආයුර්වේදය යනු සරලවූත් ප්‍රාථමික මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් නොවන බව මද්‍යපානය ගැන ඉදිරිපත් කර ඇති පෘථුල අදහස තුලින් බුද්ධිමත්ව විමසා බලන්නෙකුට නැවතත් තහවුරු කරගත හැක. බුද්ධිමතුන්ට පමණක් ග්‍රහණය කර ගත හැකි විශිෂ්ට දර්ශණයක් ගැබ්ව ඇති ආයුර්වේදය මද බුද්ධිය ඇතියවුන් ග්‍රහණය කර ගන්නේ අර්ධ වශයෙනි. බාලයා සියල්ල මතුපිටින් දැක ඒ හරහා තිරණ වලට බසින්නේය. බුද්ධීමතා සියල්ලෙහිම ගුණ ‍දොස් දකියි. සියල්ල තම තර්කන ශක්තියෙන් සහ බුද්ධියෙන් විමසා බලයි. ඉන් පසු කලනොකල යුත්ත දකියි. සීමාවන් දැක තම බුද්ධියෙන් කල යුත්ත නොකල යුත්ත තීරණය කරයි. ආයුර්වේදය මෙම කොටසින් පවසා ඇත්තේ එවැනි අයෙකුට මද්‍යපානය තුලින් ලබා ගත හැකි ප්‍රයෝජන පහසුවෙන් අත්කර ගත හැකිය යන්නයි. නමුත් මද බුද්ධිමතා විසින් ආයුර්වේදයේ දක්වා ඇති මද්‍යපානයේ ගුණ මතුපිටින් පමණක් කියවා බලා මද්‍යපානය හොඳ වන්නේ කවර ආකාරයකට සේවනය කිරිමෙන් දැයි නොසොයා මද්‍යපානයේ අන්තයටම යයි. සුදුසු සේම නුසුදුසු මද්‍ය ද සේවනය කරයි. ප්‍රමාණය ඉක්මවා සේවනය කරයි. එවන් අ‍යට මද්‍යපානයේ නිසි පළ ලබා ගත නොහැකි බව මෙම කොටසෙහිම දක්වා තිබේ. බහුතරයක් දෙනා එම කාණ්ඩයට අයත් වන බැවින් පොදු සමාජයේ ඇති මතය ඉතාම හොඳින් ඔවුන් අරඹයා වලංගු වන්නේය.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යනු විශ්මිත වෛද්‍ය ක්‍රමයකි. එය නිසි පරිදි හඳුනා ගත් තැනැත්තාට දිර්ඝායුෂ විදීමට නිසි මාර්ගය ඒ තුල ඇත්තේය. අප මේ දල්වන්නේ ආයුර්වේදය නිසි පරිදි හඳුනා ගැනීමට අවශ්‍ය දීප්තයයි. අප ආයුර්වේදය තුල ඇති මද්‍යපානය සම්බන්ධ විස්තර සාකච්ඡා කරනුයේද එහි දිගුවක් ලෙසයි. චරක සංහිතා චිකිත්සිතස්ථාන විසි හතර(24) වන අධ්‍යාය වන මදාත්‍ය චිකිත්සිත අධ්‍යායය තුල ඇති මද්‍යපානය සම්බන්ධ පොදුවේ වැදගත් තොරතුරු කිහිපයක් මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කර්න්නෙමු.

සුරාව නැතිනම් මද්‍යය වල ප්‍රභවය(origin) ගැන මතයන් ඉදිරිපත් කිරීමේදී ද අනෙකුත් සෑම අවස්ථා වල පරිදිම හින්දු දේව සම්බන්ධතාවයක් එකතු කිරීමට ආයුර්වේද ප්‍රාඥයින් කටයුතු කර ඇත. බොහෝ අවස්ථා වල දැක ඇති පරිදිම මේ අවස්ථාවේදීත් මද්‍ය වල උපත සම්බන්ධ කර ඇත්තේ ශක්‍ර දෙවියන් ඇතුළු දේව සභාව ‍සමගය. මෙම විස්තරය චරක සංහිතාවේ චිකිත්සා ස්ථානයේ මදාත්‍ය චිකිත්සිත අධ්‍යායයේ ආරම්භයේදිම ඉදිරිපත් කර ඇත.
ආයුර්වේදයටම අනන්‍යව වු ලක්ෂණයක් වන්නේ වෛද්‍ය ක්‍රමයෙන් එහාට ගිය දිර්ඝායුෂ ලැබීමට උපකාර වන්නාවු ජීවන දර්ශනයක් ලෙස ආයුර්වේදය කටයුතු කිරීමයි. විධිසේ කරනා මද්‍යපානයද දක්වා ඇත්තේ එය සාක්ෂාත් කර ගැනීමට මාර්ගයක් ලෙසයි‍. මද්‍යපානයේ සැබෑ ඵල ලැබීමට නම් මද්‍ය පානය කල යුතු ප්‍රශස්ථ ආකාරයක් ගැන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දක්වා ඇත. මද්‍යපානයේ අපේක්ෂිත ඵල ලැබිය හැක්කේ ආයුර්වේදයේ දක්වා ඇති ආකාරය අනූව මද්‍යපාන කාර්යයේ යෙදෙන්නේ නම් පමණි. මද්‍යපානය සඳහා අරමුණු ඇති තැනැත්තා හෝ තැනැත්තන් පවිත්‍රවුත් සුවඳ ද්‍රව්‍යයන්ගෙන් තම ශරීර සුවඳවත් කර ගෙන එසේම විධිමත් ලෙස සුවඳවත් කල පිරිසිදු වස්ත්‍ර වලින් සැරසි එසේම සුවඳ හමනා මල් වලින් කල සැරසි රන් ආභරණයන් පළඳා මද්‍යපානය සඳහා සුදානම් විය යුතුය. ඉන් අනතුරුව මද්‍යපානයට පෙරාතුව යහපත් සිතිවිලි ඇතිව දෙවියන් සහ බමුණන් පිදීම කල යුතුය. සෘතු කාලයට අදාලව සුදුසු මනරම් ස්ථානයක මද්‍ය පානය සඳහා සූදානම් කර ගත යුතුය. එසේ සුදානම් කර ගත් ගෘහයේ විවිධ මල්කම් වලින් සරසා ගත යුතුය. එම ගෘහයේ යහපත් කොට්ට, මෙට්ට හා ඇතිරිලි සහිත විය යුතුය. පිරිසිදුවූත් සහ විචිත්‍රවූත් මනෝඥ වූත් බඳුන් වලින් එහා මෙහා ගෙන යනු ලබනා උත්තම මද්‍යවර්ග පානය කල යුත්තේ එම ඇතිරිලි මත සැපසේ හිඳ හෝ හාන්සි වී‍ ගෙනය. ආයුර්වේදයේ දක්වා ඇති ප්‍රශස්ථ ක්‍රමය වන්නේ එයයි.

එහෙත් ඉහත ක්‍රමයට සූදානම්ව මද්‍යපානය කරනා අය වර්තමාන සමාජයේ සොයා ගැනීම උගහටය. නමුත් ආයුර්වේදයේ දක්වා ඇති ක්‍රමයේ  අපේක්ෂිත අරමුණු විමසා බැලීමේදි පැහැදිලි වන්නේ මද්‍යපානය යනු ඉතාම සතුටු සිතින් සහ සැහැල්ලුවෙන් යුතුව සිදුකල යුතු කාර්යයක් බවයි. එවැනි මනෝභාවයන් නොමැතිව මද්‍යපානය කිරීමට යෑම තුලින් සැබෑ මද්‍යාපානයේ ඵල නොලැබිය හැකිය. මීලඟ ගැටළුව වන්නේ මෙවැනි ආකාරයට සූදානම්ව මද්‍යපානය කිරීමට සාමාන්‍ය පුද්ගයෙකුට හැකිද යන්නයි. සැප සම්පත් වලින් අඩ්‍ය වු අතලොස්සකට පමණක් මෙවැනි පසුබිමක් සකසා ගත හැකිය.  බොහෝ දෙනා මද්‍යපානය කරන්නේ එහි සැබෑ රසය නොලැබෙන පරිසරයන් තුල සිටය. එවැනි සූදානම් විමක් සිදුකර ගත හැකි සැප සම්පත් රහිත අය නම් වඩාත් සුදුසු වන්නේ මද්‍යපානයෙන් වැලකි සිටිම බව ආයුර්වේද ප්‍රාඥයින් පවසා නැති නමුත් අදහස් කර ඇති ව්‍යංගාර්ථය විය හැක්කේ එයයි.
DRINKසාමාන්‍යයෙන් මද්‍යපානය කරනා විට බීම අතරතුර ආහාරය පිණිස සැර යම්කිසි ආහාරයක් ගැනීම සාමාන්‍ය සිරිතයි. මෙම ආහාරය හඳුන්වන්නේ කටගැස්ම (Bites) යන නමිනි. ආයුර්වේදයේ මේවැනි මද්‍යපානය සමග බැඳුනු අවශේෂ දේ ගැනත් දැඩි අවධානය යොමු කර ඇත. කටගැස්ම ආයුර්වේදයේ හඳුන්වන්නේ අවදංශ යන නාමයෙනි. මද්‍යපානය කිරීමේදී භාවිතා කල යුතු අවදංශ වර්ග ගැන අවධානයද යොමු කර ඒවා හඳුන්වා දිමටද කටයුතු කර ඇත. දිය,ගොඩ සහ අහසේ යන සෑම ස්ථානයකම හැසිරෙන්නා වු සතුන්ගේ මස් වලින් කල බැදුම්ද සුවකර ආදීන් විසින් විධානය කරන ලද විවිධාත්මක භක්ෂ්‍ය වර්ග මද්‍යපානයේදි භාවිතයට ගැනීමට උපදෙස් දී ඇත. විශේෂයෙන් මෙම අවදංශ සඳහා ශාක ද්‍රව්‍යය, ඵල වර්ග ලවණ යන ඒවාද එකතු කරගත යුතු බව දක්වා ඇති අතර පොදුවේ මේවා සැකසීමේදී විශේෂිත පුද පුජා පවත්වමින් සකසා ගත යුතු බවද දක්වා ඇත. මෙයින් පෙනි යන්නේ මද්‍යපානය යනු හුදෙක් කය සංතර්පනය කර ගැනීම සඳහා කරනු ලබන සරල ක්‍රියාකාරකමක් නොව මනසින්ද සූදනම් විය යුතු ඉතාම භක්තියෙන් කල යුතු ක්‍රියාකාරකමක් බවයි. වර්තමානයේ මෙන් නොව ආයුර්වේදයේ දක්වා ඇති නිවැරදි මද්‍යපානය සඳහා මනා සූදානමක් සේම නිසි ක්‍රමවේදයක්ද ඇත්තේය.

ශරීර ප්‍රකෘති භේදයන් අනූව මද්‍යපානය කිරිම සඳහා සුදානම් විය යුතු ආකාර සේම මද්‍යපානයේ නිරත විය යුතු ආකාරයන්ද වෙනස් වේ. එකිනෙකට වෙනස් ශරීර දෝෂප්‍රකෘති ඇතියවුන්ට වෙන වෙන ආකාරයේ මද්‍යවර්ග සේම ඒ සඳහා සුදානම් විය යුතු ආකාරද වෙනස් කර දක්වා තිබිම තුලින් පැහැදිලි වන්නේ මෙය උඩින් පල්ලෙන් සිදුකල ක්‍රියාවක් නොව සෑබෑම විශ්ලේෂණයකින් අනතුරුව ඉදිරිපත් කර ඇති වැදගත් කොටසක් බවයි. නිශ්චිත ක්‍රමයකට අනූව සිදුකරනු ලබන මද්‍යපානය නිසා ඇතිවන්නේ ශාරිරික සහ මානසික මදයකි/මත්වීමකි. එම මදය අවස්ථා තුනක පවතින බැව් ආයුර්වේදයේ දැක්වේ.

  • ප්‍රථම මදය
  • මධ්‍යම මදය
  • අත්‍යන්ත මදය යනු එම අවස්ථා තුනයි.

සාමාන්‍යයෙන් මත් විමේදි සිදු වන්නේ මද්‍යයේ ඇති ගුණ වලින් සිරුරෙහි ඇති ඕජසෙහි ගුණ නසා මනස හා මනස ආශ්‍රය කල හෘදය වහා උපද්‍රැත කිරීමයි. නැතිනම් ක්‍රියාවන්ගේ පාලනය වෙනස් කිරීමයි. හෘදය යනු රස රක්තාදි වු සප්ත ධාතු රසයන්ට ප්‍රධාන වු ඕජෝ ධාතුවත්, වාතාදී දෝෂයන්ගේ ගමන් මාර්ගය වූ ධමනීත්, මනස, බුද්ධිය, ඉන්ද්‍රීයන්, ආත්මය යන සියල්ලටම ප්‍රධාන ස්ථානයයි. හෘදයේ ඇති ඕජස් ධාතු සතු ගුණ මද්‍යයේ ඇති ගුණ වලින් පීඩිත වීම නිසා හෘදය මෙන්ම එහි ක්‍රියාකාරකම් සමූහයද අක්‍රමවත් වේ. එම අක්‍රමවත් වීම යනු ශාරිරික හා මානසික මදය ඇතිවීමයි. මෙහිදි මුලිකව සිතෙහි  ප්‍රීතිය, දිවට දැනෙනා පිපාසය, ඇල්ම(රතිය), සැපය යන මේවා ඇතිවේ. නැතිනම් සිතට දැනේ. එසේම සාත්ත්විකාදී මනෝ භේදයෙන් විචිත්‍රවූ රාජස සහ තාමස මනෝ විකාරද ඇතිවීම සිදුවේ. එ් හෘ‍දයේ ක්‍රියාවන් එහි පාලනයෙන් ගිලිහි යාම නිසාවෙනි. අධික මද්‍යසේවනය නිසා සිතෙහි තදබල මුලාව සහ නිද්‍රාව උපදී. මෙම තත්ත්වය මද්‍යවිභ්‍රම මද නමින් ආයුර්වේදය තුල හැදින්වේ.
චරක සංහිතාව තුල මද්‍ය සම්බන්ධයෙන් ඉතා පරිපූර්ණ විස්තරයක් ඇති බව ආරම්භයේදීම සඳහන් කලෙමු. ත්‍රිවිද මද අවස්ථා වලදි ඇතිවන ශාරිරික සහ මානසික ලක්ෂණද වෙන වෙනම එහි දක්වා ඇත. ත්‍රිවිද මද අවස්ථා තේරුම් ගැනීම එම අවස්ථා වල ප්‍රකාශ වන ශාරිරික ලක්ෂණ වලින් සිදුකර ගත හැක.

  • ප්‍රථම මද ලක්ෂණ

සැප ගෙන දේ, ප්‍රීතිකාරකයි, ආහාර පානයන්ගේ ගුණ දකි, වැයුම් ගැයුම්    ප්‍රහාෂණය(උසස් ලෙස ශාස්ත්‍රාදිය ව්‍යාඛ්‍යා කිරීම), කථනය යන මේවා පවත්වයි. මෙම අවස්ථාවේදී බුද්ධි සහ ස්මෘතිය යන දෙක පහ වන්නේ නැත. විෂයන්හි අසමර්ථ නොවේ. සැපසේ නිදා සැපසේ අවදි වේ.

  • මධ්‍යම මද ලක්ෂණ

වරින් වර සිහිය ඇතිව නැති වේ, වරින් වර ව්‍යක්තව මෙන්ම අව්‍යක්තවද කථනය කෙරේ, සමහර විට යුක්ති යුක්ත වචන කියයි, අන් සමහර විට දොඩවයි, සමහර විට පැනයෙයි, විටෙක ස්ථාන-පාන- ආහාර- ඔවුනොවුන් හා කථා කිරීම යන මේවා නිසි සේ මෙන්ම විටෙක විපරිතයෙන්ද කෙරෙයි.

  • අත්‍යන්ත මද ලක්ෂණ

විශේෂයෙන්ම රාජස ගුණ හා තාමස ගුණ හෝ ඇති පුද්ගලයා මධ්‍යම මද අවස්ථාව ඉක්මවා අත්‍යන්ත මද අවස්ථාවට පැමිණීමටත් පෙරම ඉතා නරක ආකාරයෙන් හැසිරෙන බව ආයුර්වේදයේ දක්වා ඇත. එහි දක්වා ඇත්තේ අධික මත්බව නිසා නොකරන්නා වු කිසිදු අශුභ කර්මයක් නැති බවයි. අත්‍යන්ත මදයෙන් මත් වූ පුද්ගලයා බිදුණු ලීයක් මෙන් ක්‍රියාවිරහිත වේ. අධික මොහයෙන් වෙලෙයි, ජීවත් වන නමුදු සිහියෙන් මල එකකු හා සමාන වෙයි. රමණිය විෂයන් තේරුම් ගැනීම අසමත් වෙයි. සහෘදයන් නොහඳුනයි, මදයපානයෙහි පරමාර්ථය වු රතී සැපය ද නොවීදී. කල යුත්ත නොකලයුත්ත, සැප දුක්, හිත අහිත, යන මේවා අවබෝධ කර ගැනීමට සම්පූර්ණයෙන්ම බාධා ඇති කරයි. මේ අවස්ථාවට පත් මිනිසා ව්‍යසනයක් කරන කොට ගෙන සියලු ප්‍රාණින්ගේම දූෂ්‍යත්වයටත් නින්දිතත්වයටත් එසේම නොපිළිගන්නෙකු බවට පැමිණ අනාගතයේදී දුඃඛදායක රෝග වලින් පෙළෙන්නකු බවට ද පත්වේ.

ATHYANTHA MADYAවර්තමාන සමාජයේ බොහෝ දෙනෙකු මද්‍යපානය ලෙස දකින්නේ මෙම අත්‍යන්ත මද්‍ය තත්ත්වයට පත්වන තුරු මද්‍යපානය කිරීමයි. සැබවින්ම එම අවස්ථාව දක්වා මද්‍යපානය කරන්නේ නම් ඇතිවන ප්‍රතිඵල ආයුර්වේදය මනාව දක්වා ඇත. ආයුර්වේදය යනු බුද්ධිමතුන්ට වු විෂයක් යැයි ආරම්භයේ ස්ථානයක සටහන් කලේ මේ නිසාවෙනි. බුද්ධිමතා තම ප්‍රමාණය දැන ගෙන මද්‍යපානය කරයි. ඔහු අත්‍යන්ත අවස්ථාවට පත් වන තුරු මද්‍යපානය නොකරයි. හේ මද්‍යපානයෙන් ලැබෙන්නාවු ඉහලම සැප ලැබ ගන්නේ ප්‍රථම මද අවස්ථාව දක්වා පමණක් මද්‍යපානය කිරීම තුලිනි. මද්‍ය යනු සිරුරට අවැඩදායක ද්‍රව්‍යක් වන්නේ එය භාවිතා කරන්නා පමණ නොදැන භාවිතා කිරිම නිසාවෙනි. මද්‍ය ගැන ආයුර්වේදයේ ස්ථාවරය එයයි.

පමනට මද්‍යපානය කිරිම තුලින්……..

(ප්‍රථම මදය) සිරුරට ලැබෙන්නාවු වැදගත් ප්‍රයෝජන රැසක් ආයුර්වේදයේ දක්වා ඇත. පෞර්ෂය, තේජස, පුෂ්ටිය, ආරෝග්‍යය, ආහාර රුචිය, අග්නි දීප්තිය, හෘදයට හිතකර බව, ස්වර වර්ණ දෙකෙහි ප්‍රසාදය, ප්‍රීණනය(පිනවීම) වෘංහනය, බලයට හිතබව, භය-ශෝක- ශ්‍රම යන මේවා පහ කිරීම, නැතිවු නින්ද ඇති කිරීම, ගොලුවන්ගේ වාක්ශුද්ධිය, අධික නින්ද ඇතිවුන්යගේ නින්ද පහ කිරීම, මලබද්ධය සහ මුත්‍රකෘච්ඡය නැති කරයි, මද්‍ය නිසා අවි ආයුධ මගින් සිදුකරනා ශාරීරික පීඩාවන් හා වදදීම් වල හැඟීම් නැති කරවයි. විධි ප්‍රමාන මද්‍යය සේවනය නිසා වෘද්ධයන්ට පවා විෂයාභිලාෂය, අමෝදය මෙන්ම සතුටද සලසා දෙයි. ප්‍රථම මදයේදී බොහෝ සෙයින් සාත්ත්විකාදී චිත්තයෝ (ශුද්ධ සිතුවිලි) ප්‍රබෝධයට පැමිණෙත්. ද්විතීය මදයේදි මෙන්ම ද්විතීය-ත්‍රිතිය මද දෙක පිළිබඳ මද්‍ය‍යේ (සන්ධීමදයේ) දි සාත්ත්විකාදි චිත්තයෝ අව්‍යක්තය. (අප්‍රකාශිත භාවයට පැමිනේ). මද්‍යය ද සිතෙහි ඇති සාත්ත්වික,රාජස තාමස යන ස්වභාවයන් විදහා දක්වන කැඩපතකි.

විධිසේ සුදුසු ප්‍රමාණයට පානය කල මද්‍ය නිසා ඇතිවන මදයේදී තරුණයන්ට හෝ මහල්ලන්ට හෝ උපදනා රතියට උපමා කල හැකි දෙයක් මිහිපිට නැති බව ආයුර්වේදයේ සඳහන්ය. එ අනූව මද්‍ය වල ඇති ප්‍රභලතාව සිතා ගත හැකිය. එසේම බොහෙවින් දුඛදායක විෂයයන් ගෙන් හා ‍ශෝඛය නිසා පීඩීත ව සිටිනා ලොවැසියන් හට විශ්‍රාමය පරිභෝග කිරීමට ඇති ක්‍රමය වශයෙන් දැක්විය හැක්කේ යුක්තිය අනූව මද්‍ය සේවනය කිරීමයි.

මද්‍යපානය කිරිමට සුදුස්සෝ……

තමන්ට ගැලපෙන පුද්ගලයෙකු සමග මද්‍යපානය කිරීම ද අන්‍යයන් දුරු කිරීමද යහපත්ය. අසමානයන් සමග මද්‍යපානය කිරීමෙන් මද්‍යදෝෂ අනුභව කිරීමට සිදුවේ. එසේම සැප විදින සුලුවුද, මිහිරි වදන් කියන්නා වුද, පහන් මුහුණු ඇත්තාවු ද, සාධුන් විසින් පිළිගනු ලබන්නා වුද, නෘත්‍ය-ගීත-වාද්‍යාදී කලා ශාස්ත්‍රයන්හි නිපුණ වූද, ‍ඓශ්චර්ය බල සම්පන්න වූද, ඔවුනොවුනට වශඟ වූද, සුහද බවින් ඒකත්වයෙහි සිටියා වූද, අය තමන් සමග මද්‍යපානයට සුදුසු අයවලුන් වන්නේය. ඒ මිනිසුන් සමග මද්‍යපානය කල කල්හී අතීශය හර්ෂය, ප්‍රීතිය, මධුරභාවය, යන මේවායින් මත්බව වර්ධනය වේ.
ආයුර්වේදය යනු සංතෘප්ත විෂයයකි. එහි නොගැලපීම් නැත. එසේම සියලුම කරුණු අන්තර්ගතය. ආයුර්වේදානුකූලව මද්‍ය වල ඇති විශේෂ ගුණ රස ගුණ විර්ය විපාක භේදය අනූව දක්වා ඇත්තේ රෝග ප්‍රතිකාරයේදී එය ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන නිසාවෙනි. මද්‍යවල ඇති ගුණයන්හී ඇති විශේෂත්වය වන්නේ එම ගුණ සම්පූර්ණයෙන්ම ඔජසේ ඇති ගුණ වලට විපරීත ගුණයන් වීමයි. මද්‍යවල ඇති විශේෂ ගුණ දහය පහත පරිදි දක්විය හැකිය.
1. සැහැල්ලු බව
2. උෂ්ණත්වය
3. තියුණු බව
4. සියුම් බව(සියුම් ස්‍රෝතස් කරා යෑම)
5. ඇඹුල් බව
6. ව්‍යාවායිත්වය(සේවනය කල වහාම මුළු සිරුර පුරා පැතිර ගොස් පසුව පැසීමට යෑම)
7. ශිඝ්‍ර ගමන් ඇති බව
8. රළු බව
9. විකාශීත්වය(සන්ධි වල බැඳුම් බුරුල් කිරීම සහ ඕජස වියලවීම)
10. විශදබව(ක්ලේදය නැසීම සහ ව්‍රණ රෝපනය)

මද්‍යයේ ඇති අනුරස හතරක් ගැන ආයුර්වේදයේ දක්වා ඇත. මධුර, ක්ෂාය, තික්ත සහ කටු යන රසයයයන් හතර මද්‍ය වල ඇත්තේය. මද්‍ය වල  බොහෝ ගුණයන් ඇති බැවින් සියළුම අම්ල ද්‍රව්‍යයන් අතුරෙහි මද්‍ය ඉහලින්ම පවතින බව ආයුර්වේදයේ දක්වා ඇත.

ශීඝ්‍රව මත් වන පුද්ගලයින්…….

ඉතා සුළු මාත්‍රාවකින් පවා මත් බවට සමහුන් පැමිනෙන අතර සමහරුන්ට ඉතා ඉහල මාත්‍රාවක් අවශ්‍ය වන්නේය. එසේ වන්නේ පිපාසා දෙකින් පීඩිතව හෝ සිරුරෙන් දුබල, වා-පිත් ප්‍රකෘතිකයෝ, රළු ආහාර බුදින්නෝ, මද විසින් ආහාර වළඳන්නෝ, සුදුසු පමණ ආහාර නොබුදින්නෝ, බෙහෙවින් ශාන්ත වු ස්වභාව ඇතියෝ, සත්ත්ව ගුණයෙන් දුබල වුවෝ, කිපෙනසුල්ලෝ, මද්‍යපානයේ අභ්‍යාස නැත්තෝ, කෘශයෝ, වෙහෙසුණෝ, මත්පැන් බීමෙන් උපද්‍රැතවුවෝ යන සියළු දෙනා ස්වල්ප වු මද්‍යපානයෙන් වුව ද ශීඝ්‍රව මත් බවට පත්වන්නේය

මද්‍ය දෝෂ……..

මහත් වූ සුලඟ නිසා වෙන් උස් තැන් වල ඇති වෘක්ෂයන් කඩා වැටෙන්නාක් මෙන් අධිකව පානය කළ මද්‍යයෙන් මිනිසා ගේ මනසද බෙහෙවින් කැළඹී මැඩි යයි. මෙබඳු වු මද්‍ය ප්‍රසංගය(අධික මද්‍යපානය) මහා දෝෂයක් බවද මහා රෝගජනක බව දැන දැනත් රජෝගුණ-තමෝගුණ දෙකින් පරාජය වු මනුෂ්‍යයෝ සැපයෙකැයි සිතා ඒ මද්‍යප්‍රසංගයට යෙති. සාත්ත්වික ගුණවලින් මිදුණා වු (තොර වු) මිනිස්සු මද්‍යයෙන් උපද්‍රත-විඥනයෙන් යුක්තව මදින් අඳ ව සුරාසොඬුන් ව සැප සම්පත් වලින් ඉවතට තල්ලු ව යෙති.

අවසාන වශයෙන්……

අප මෙම ලිපියෙන් ඉදිරිපත් කලේ මද්‍ය සහ මද්‍යපානය ගැන චරක ආචාර්යවරයා ඉදිරිපත් කර ඇති කරුණු වලින් ස්වල්පයක් පමණි. මීට අමතරව මදාත්‍ය රෝගය සහ ඒ සඳහා කල යුතු ප්‍රතිකාර ඇතුළු බොහෝ කරුනු මෙම පරිච්ඡේදයේ අන්තර්ගතය. මෙම තොරා ගත් කරුණු පොදුවේ සාමාන්‍ය පාඨකයන්ට දැන ගැනීමට අවශ්‍ය කරුණු වේ. මෙම ලිපිය අවසන් කිරීමට අවසාන වශයෙන් මද්‍යපානයට ඇබ්බැහි වු අයට එයින් මුදවා ගැනීමට ආයුර්වේදයේ දක්වා ඇති ඖෂධීය නොවන යම් ප්‍රතිකාර කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුවෙමු. මද්‍ය පානයට ඇබ්බැහි වුවන්ට රමණිය වනාන්ත‍ර, පියුමෙහි සැදි ජලා‍ශ ඇති ස්ථාන වල නිරන්තරයෙන් හැසිරිමට අවස්ථාව ලබා දිය යුතුය. එසේම පවිත්‍ර ආහාරපාන, මල්දම්-සුවඳ දෑ විවිධ වස්ත්‍ර, සංගීත ශබ්ද, හෘදයට ප්‍රිය වන සංගමය, යන මේවා හැකිතරම් ලැබෙන්නට සැලැස්විය යුතුය. යහපත් කථා-සිනා සහ ගීත ශ්‍රවනයත් නිර්මල ප්‍රසංගය, කීකරු ප්‍රිය ස්ත්‍රීහු සේවනයත් රෝගිනට මද්‍යපානය අමතක කර දැමීමට උපකාර වන උපාපයයන්ය.