ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ආයුර්වේදයෙහි වැසි ජලය උපමා කර ඇත්තේ……….!!!

“අයුර්වේදය යනු හුදෙක් රෝග සහ ප්‍රතිකාර ගැන පමණක් සාකච්ඡා කර ඇති සාම්ප්‍රදායිකවුත් හුදකලාවුත් වෛද්‍යක්‍රමයක් නොවන බව”  ආයුර්වේදය ගැන සාකච්ඡා කරන බොහෝ අවස්ථා වල ඉදිරිපත් Rainingකරනා අතිශයින් වැදගත් හැඳින්වීමකි. එම හැඳින්වීමට වැදගත්කමක් ලැබෙන්නේ පරිපුර්ණ වෛද්‍ය ක්‍රමයකට අමතරව ජිවන දර්ශනයක් වශයෙනුත්, සමාජය සහ පරිසරය සමග බැඳුනු විද්‍යාවක් වශයෙනුත් ආයුර්වේදය එය මනාව සාක්ෂි සහිතව පෙන්වා දී තිබීම නිසාවෙනි. පුද්ගලයා යන ප්‍රපංචය පමණක්‍ නොව පරිසරය යන ඉතා සංකීර්ණ ප්‍රපංච එකතුවම විධිමත් ලෙසත්, මනා ලෙසත්, වෙනවෙනමත් අර්ථ දක්වීමට, විවරණය කිරීමට ආයුර්වේදය සමත්ව ඇත. කිසිදු තැනක හිඩැසක් හෝ නොගැලපීමක් ඇති නොවන අයුරින් මුල මැද සහ අග යන සියල්ල එකිනෙකට මනා ලෙස ගැලපෙන පරිද්දෙන් ආයුර්වේදය ගොඩ නැංවීමට ආයුර්වේද ආදිකතෘවරුන් සමත්වීම ම ආයුර්වේදයේ විශිෂ්ටත්වය කියා පැමට කදිම සාක්ෂියකි. මෙම ලිපිය තුලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන “මිනිසා පාරිභෝජනය කරනා ජලය පිළිබඳව ආයුර්වේදය දක්වා ඇති අවධානය සහ එය පෙරදිග විද්‍යාව තුලින් විවරණය කර ඇති ආකාරය” පිළිබඳ කරුණු මීට සියවස් ගණනාවකයට පෙර ජීවත් වු පෙරදිග බුද්ධිමතාගේ පුළුල් දුෂ්ටිය පෙන්නුම් කරන්නකි. මෙහිදි අපගේ මුලාශ්‍රය වන්නේ සුශ්‍රැත ආචාර්යවරයා විසින් සම්පාදනය කරන ලද සුශ්‍රැත සංහිතාව නම්වු විශිෂ්ඨ ආයුර්වේද මුලග්‍රන්ථයයි. එම ග්‍රන්ථයේ සූත්‍රස්ථාන හතලිස්පස්වන (45) අධ්‍යාය වන “ද්‍රවද්‍රව්‍ය විධි අධ්‍යායය” තුල ජලය සම්බන්ධ ආයුර්වේද කියැවීම අන්තර්ගතය.
බටහිර විද්‍යා දැනුම තුලින් ආයුර්වේදය කියැවීමට යෑම කිසි ලෙසකින්වත් අර්තාන්විත කාර්යයක් වන්නේ නැත. පෙරදිග ආයුර්වේදයට ඇත්තේ එයටම අනන්‍ය වු න්‍යායාත්මක පදනමකි. අායුර්වේදය නිවැරදිව කියැවීමට නම් එම න්‍යායාත්මක පදනම නිවැරදිව අවබෝධ කර ගත යුතුය. එම පදනම නිවැරදිව ග්‍රහණය කර ගන්නේ නම් ආයුර්වේදය නිවැරදිව ජීවිතයට සමිප කර ගත හැත. වෛද්‍යක්‍රමයක් ලෙස ඉන් නිවැරදි ප්‍රයෝජන ගත හැකි වන්නේද එය නිවැරදිව ග්‍රහණය කර ගන්නේ නම් පමණි. බටහිර වෛද්‍ය විද්‍යාවත් නොවන පෙරදිග වෛද්‍යා විද්‍යාවත් නොවන දෙකෙහිම එකතුවකින් කටයුතු කර සාර්ථකත්වයක් බලාපොරොත්තු වන්නේ නම් එය ආයුර්වේදයට අනුව නම් නොලැබෙන්නකි. “ජලය” සම්බන්ධ ආයුර්වේද කියැවිම ගත යුත්තේද බටහිර විද්‍යා පදනමේ සිට නොව ආයුර්වේද පදනමේ සිටය. නැතිනම් කිසිවෙකුටත් එය සාත්ත්මය නොවනු ඇත. ජලය සම්බන්ධ කරුණු කීමට පෙර ඉහත කරුණු මතක් කර සිටියේ මෙම ලිපිය තුලින් ඉදිරියේදි ඉදිරිපත් කරනා කරුණු වල සැබෑ වටිනාකම සම්පූර්ණයෙන්ම උකහා ගැනීමට නම් එම පදනම දැන සිටියු යුතු නිසාය.
සුශ්‍රැත සංහිතා ද්‍රවද්‍රව්‍ය විධි අධ්‍යායයේ පළමුවෙන්ම දක්වා ඇත්තේ වැසි frostජලය සම්බන්ධයෙනි. වැසි ජලය හඳුන්වා ඇත්තේ “අන්තරික්ෂ ජලය” යන නාමයෙනි. වැසි ජලය විශේෂිත රසයක් නැති/අව්‍යක්ත රසයෙන් යුක්ත බව දක්වා ඇත. තවදුරටත් දක්වා ඇත්තේ “වැසි ජලය අමෘතය හා සමාන” බවයි. ජීවනයට හිත බවයි. තෘප්තිය උපදවන බවයි. ධාරණය(අවි ගැටීම් ආදියෙන් වන වේදනා වලදි උපදනා මුසපත් බව) රැකිම, ආශ්වාසය (වියලුණු සිරුරු ඇතියවුන්ගේ සැඟවුණු පණ) උපදවාලීම. වෙහෙස නසන්නාක් මෙන්ම, ක්ලාන්ත, පිපාස, මත්බව, තන්ද්‍රා-නිද්‍රා-දාහ යන මේවාද ශමනය කරන බවයි. අතිශයින්ම පථ්‍ය ද වේ. වැසි ‍දියෙහි කිසිදු ව්‍යාපන්න ජල දෝෂයක් නොපවතින හෙයින් එය විශිෂ්ඨද වන බව දක්වා ඇත.

දියෙහි තිබිය යුතු ශ්‍රේෂ්ඨ ගුණ දෙක වන්නේ ශීතල බව සහ නිර්මල බව යන්න ආයුර්වේදය නිතරම අවධාරණය කරන්නකි. අප කවුරුත් වැස්ස දෙස බලා සිටියාට වැසි දියෙහි මේ ආකාරයෙහි ගුණ තිබිය හැකි බව මීට පෙර මොහොතක් හෝ සිතා තිබුනේද? අඩුම වශයෙන් වැසිදිය ස්වල්පයක් පානය කිරිමට වත් උත්සහයක් ගෙන තිබුනේද? නැතිනම් වැසිදියේ ඇති රසය ගැනවත් අවධානයක් යොමු කර තිබුනේද? එහෙත් ආයුර්වේද ආදිකතෘවරුන් මිනිසාගේ නිරෝගිබව වැඩි දියුණු කර පවත්වා ගෙන යෑමට පරිසරයේදි මිනිසාට අභිමුඛ වන සියළුම දේ වල ඇති ගුණාගුණ සොයා බලා ඇත. තව දුරටත් වැසිදිය ගැන අදහස් ඉදිරිපත් කරනා ආයුර්වේදය වැසි දිය පතිත වීමෙන් පසු එහි සිදුවන විවිධ පරිවර්තනයන් ගැනද අවධානය යොමු කර ඇත.

වැසි දිය රසවත් වන ආකාරය……

වැසි දිය පොළව මත වැටී, එසේ වැටුණු ස්ථාන වලට අනූව මධුරාදි රසයන්ගෙන් යුක්ත වෙයි. නදී/ගංගා, මහ ගංගා, විල්, පොකුණු, වැව්, ලිං, පතැස්, ඇලි, උල්පත් ඇති ස්ථාන, විකිර(වැලි ඉවත් කල විට ජලය පැදෙන තැන්), කෙත්, තනකොළ වලින් වැසි ගිය පොකුණු ආදි ස්ථාන වල වැසිදිය වැටී පැවත මධුරාදි රස විශේෂ ලබයි. එසේ විවිධ රස ලැබීමට හේතුව වන්නේ එම ස්ථා‍නවල පංචමහා භුතයන්ගේ සංයුතියයි. පෘථිවි ගුණය අධික ස්ථානයන්ගේ ජලය ඇඹුල්-ලුණු රස දෙකින් යුක්තය. ජල ගුණය අධිකව පිහිටි ස්ථාන වල ජලය මධුර රසයෙන් යුක්ත වේ. තේජෝ(ගිනි) ගුණය අධිකව පිහිටි ස්ථාන වල ජලය කටු-තික්ත රස වලින් යුක්තය. වායෝ ගුණය අධිකතර ස්ථාන වල ඇති ජලය කෂාය රස යුක්තය. අකාශ ගුණය බහුල ස්ථාන වල ඇති ජලය අව්‍යක්ත රස වේ. ඒ ආකාශය අව්‍යක්ත රස යුක්ත හෙයිනි.
වැසි දියේ ආකාර හතරක් බව ආයුර්වේදය දක්වා ඇත. මෙම වර්ගීකරණය නවීන විද්‍යාවෙන්ද තහවුරු කර ඇති වර්ගිකරණයට සමානය.

1. ධාරා(ධාරා වශයෙන් වැටෙනා වැහි දිය)
2. කාර (කැට වශයෙන් වැටී පසුව දියවන ජලය)
3. තෞෂර/ තුෂාර ජලය
4. හෛම/ හිම මිදුණු ජලය

ice cube rainingධාරා ජලය සැහැල්ලු හෙයින් ප්‍රධානය, එය ගංගා සහ සාමුද්‍ර යන වශයෙන් දෙවැදැරුම් වේ. මෙහිදි අදහස් කර ඇත්තේ මිරිදිය සහ කරදිය විය යුතුය. ගංගා ජලය බොහෝ සෙයින් වසිනුයේ වප් මාසයේදී බව සුශ්‍රැත අදහසයි. ඉතා දියාරු නොවු වුද, විවර්ණ නොවු වුද(නොදැවුනා වුද) හැලබත් පිඩක් රිදි බඳුනෙක බහා වහිනා අවස්ථාවකදී මොහොතක් (සිංහල පැය දෙකක්) තෙමෙන්නට තැබූ විට බත් පිඩෙහි විකෘතියක් ඇති නොවන්නේ නම් එම වැහිදිය “ගංගා ජලය” යැයි නිගමනය කල හැකි බව දක්වා ඇත. මෙම සරල ක්‍රියාකාරකම වැසි ජලයෙහි අයන ඇති/නැති බව සොයා ගැනීමට පැරැන්නෝ භාවිතා කල සාර්ථක ක්‍රමයකි. දැන් පරික්ෂණාගාර තුල සිදුකර සොයා ගන්නා ජලයෙහි ගුණාත්මක බව අතිතයේදි ඉතා ප්‍රායෝගික ක්‍රම වලින් සොයැගැනීමට ආයුවේදය දැන සිටියේය. එසේම එකි බත්පිඩ වෙනත් වර්ණයකට හැරී, යොදය සහ ක්ලේදය සහිතද වුව හොත් “සාමුද්‍ර ජලය” වහින බව දැන ගත යුතු බව දක්වා ඇත. මෙම “ධාරා වැසි” ආකාර දෙකින් වඩා විශිෂ්ට වන්නේ ගංගා ධාරා වැසි ජලය යැයි සුශ්‍රැත ඉගැන්වීමයි. එය පවසා ඇත්තේ “ගංගා ජලයම ශ්‍රෙෂ්ඨ වේ” යන වැකියෙනි. ඉරිම් පළුදුවිම් සහ අපවිත්‍රවීම් ආදියෙන් තොර පළල් සුදු රෙද්දක් ගෙන වහින විට තිරයක් මෙන් හරහට ඇද කොන් හතර කණුවල බැඳ රෙද්ද මැද පහත්ව බොකු ගැසීම සඳහා පිරිසිදු බර යමක් මැදින් තබා එය‍ට යටින් පවිත්‍ර බඳුනක් තබා වැස්සෙන් එහි එකතු වන ජලය එකතු කර ගැනිම කල යුතු යැයි දක්වා ඇත. නැතහොත් ප්‍රාසාද-තලයෙකින් ගලා බසිනා නිර්මල ජලය පවිත්‍ර බඳුනෙකට එකතු කර ගැනිම කල යුතු යැයි දක්වා ඇත. අහසට විවෘතව තැබෙනා වෙනත් යම්කිසි පවිත්‍ර බඳුනෙක වැටි එකතු වුනු ජලයද එකතු කර ගන්නා තවත් ක්‍රමයකි.‍ මෙසේ ‍එකතු කල ජලය රන්-රිදි-මැටි යන මේ එකෙකින් කල බඳුන්වල බහා තබා ගෙන සෑම කල්හිම ප්‍රයෝග කල හැකි බව ආයුර්වේද නියමයයි.

ප්‍රශස්ත ජල ලක්ෂණ

a) ගඳ රහිත බව
b) අප්‍රකට රසින් යුක්ත බව
c) පවස නසන බව
d) පවිත්‍ර බව
e) ශිතල-පහන්-සැහැල්ලු යන ගුණ සමන්විත බව
f) හෘදයට ප්‍රිය බව

මෙබඳු ජලය නොලබන කලදි පමණක් අහස් ගුණය බහුලව ඇති භෞම ජලය යොදා ගත යුතු යැයි අමතර වශයෙන් දක්වා ඇත. භෞම ජලය; ලිංදිය, snowingගංගා ජලය, විල්දිය, පොකුණු දිය, ඇලි දිය, උල්පත් දිය සහ පතැස් දිය යනුවෙන් සත් වැදෑරුම් වේ. මෙයින් පෙනි යන්නේ මිනිස් පාරිභෝජනයට වඩාත් සුදුසු වන්නේ වැසි දිය බැව් ආයුර්වේදයේ පිළිගැනිම වි ඇති බවයි. ජලය ලබා ගන්නා සියළුම ආකාරයේ ස්වාභාවික භූමි ජල ප්‍රභවයන් වලින් ජලය ලබා ගත යුත්තේ අළුයම් කාලයේදීය යන්න දක්වා ඇත. එයට හේතුන් වශයෙන් දක්වා ඇත්තේ එම අවස්ථාව් ජලයෙහි ශීතල සහ නිර්මල බව උපරිමයෙන්ම පැවතීමයි. දහවල් සූර්ය කිරණ මෙන්ම රාත්‍රි චන්ද්‍ර කිරණද ස්පර්ශ වන්නාවු රළු හෝ අභිෂ්‍යන්දී නොවු විල් පොකුණු ආදියෙහි වන ජලය වැහි දියට සමාන ගුණ යුක්තය. යහපත් බඳුනකට ගත් අහස් දිය සේවනය කිරිමෙන් දොස් තුනම නැසී යයි. එය බලකාරකයි. රසායනයි. මේධාවට හිතකරයි. හැරගත් බඳුනේ ගුණ වලට සමාන ගුණ ඇතිවේ.
ආයුර්වේදය උපන් භාරතය යනු මනාව සෘතු භේදය ක්‍රියාත්මක වන්නාවු භුමියකි. සෘතු භේදය අනූව ජලයේ ගුණයන් වෙනස් වන බව ආයුර්වේදඥයන්ගේ මතය වි ඇත. ඒ අනූව සුදුසු ජලය මුලාශ්‍ර විලින් ගත් ජලය පානය කිරීම එවැනි පරිසරයක ජීවත් වු අයට ඉතාම වැදගත් අවශ්‍යතාවයක් ලෙස දක්වා ඇත. ඒ පිළිබඳවද  දක්වා ඇත්තේ.
• වර්ෂෘ කාලයේදි වැසි දිය හෝ උල්පත් දිය මහත් ගුණ ගෙන දෙන්නේය.
• ශරත් කාලයේදී සෑම ජල වර්ගයක්ම නිර්මල ගුණ වලින් යුක්තය.
• හේමන්ත කාලයේදී විල්දිය හෝ පොකුණු දිය ප්‍රශස්ථය.
• වසන්ත කාලයේදි ලිංදිය හෝ ඇලි දිය ගුණදායකය.
• ප්‍රවෘට් කාලයේදී පතැස්දිය සුදුසුය.

ව්‍යාපන්න(දෝෂක්‍රාන්ත) ජලය සහ භේද

dirty waterවර්තමානයේදී ජලයෙහි දුෂිත බව සොයා ගැනීමට විවිධ පරික්ෂණ සිදුකෙරේ. නමුත් එවැනි පරික්ෂණ සිදු නොකෙරුනු ද ආයුර්වේද ආදිකතෘවරුන් දූෂිත ජලය ඇතිවන්නේ කෙසේදැයි දැන සිටියහ. එ සඳහා විවිධ නිර්නායක භාවිතා කර ඇත. භාවිතා කල නිර්නායක මෙහිදි විස්තර කර ඇත. එපමණක් නොව එම දුෂිත ජලයේ පානයෙන් ඇතිවන දෝෂ ගැනද විස්තර දක්වා ඇත. විෂ සහිතවු පණුවන්ගෙන් මෙන්ම එබඳු පණුවන්ගේ මල-මුත්‍ර වලින් දුෂිත වුද බිත්තර සහ මල සතුන්ගේ සිරුර කුණුව යෑමෙන් දුෂිත වුද, තණකොල වලින් වැසිගියා වුද, කිලිටි වුද, විෂ යුක්ත වූ ජලය ද  වර්ෂා කාලයේදී මිනිසුන් පිහිනා ස්නානය කරනා අලුත් ජලයද පානය කිරීම හේතු කොට ගෙන කුෂ්ඨ ආදී බාහිර රෝග වලින් මෙන්ම අභ්‍යන්තර උදර රෝග වලින්ද පෙළෙන්නට සිදුවන බව දක්වා ඇති කරුණූ අතර වේ. තව දුරටත් දක්වා ඇත්තේ මඩ-සෙවෙල්-පාසි-තණකොළ-නෙළුම්කොළ යනාදියෙන් වැසි යෑමය, සඳකිරණ-හිරුකිරණ-වායු යන මේවායේ ස්පර්ශයෙන් තොර වීමය, කෙබඳු ප්‍රකාර හෝ ගඳ, පාට, රස යන මෙයින් යුක්ත විමය යන මේ ලක්ෂණ සමන්විත වන ජලය ව්‍යාපන්න(දෝෂක්‍රාන්ත) ජලය ලෙස හඳුනා ගත හැකි බවයි. මෙම නිර්නායක වර්තමාන පිළිගැනීම් වලට කොතරම් සමාන දැයි බලන්න.

ව්‍යාපන්න ජලයෙහි, දෝෂ හඳුනා ගත හැකි ක්‍රම හයක් ආයුර්වේදයේ දක්වා ඇත.
1. ස්පර්ශ දෝෂ – ස්පර්ශ දෝෂය නිසා ජලයෙහි කර්කෂබව, බෙලසුල්බව, උෂ්ණත්වය, දත්හිරි වැටීම යන ලක්ෂණ ඇතිවේ.
2. රූප දෝෂ – රූප දෝෂයෙන් වන්නේ මඩ-වැලි-සෙවෙල ආදියෙන්ම මෙන්ම බොහෝ වර්ණයන් ගෙන් යුක්ත වීමයි.
3. රස දෝෂ – රස දෝෂය වන්නේ දිවට යම් රසයක් දැනීමයි.
4. ගන්ධ දෝෂ – ගන්ධ දෝෂය වන්නේ අනිටු ගන්ධයක් ඇතිවීමයි.
5. විෂ දෝෂ – විෂ දෝෂය නිසා පානය කල විට පවස-බරබව-ශුලය-සෙම වැගීරීම ඇතිවේ.
6. විපාක දෝෂ – පානය කල ජලය පමාවී පැසෙන අතර උදරයෙහි විෂ්ටබ්දය/විකෘතිතා ඇති කිරීමයි.

ව්‍යාපන්න /දුෂිත ජලය ප්‍රසාදනය(පිරිසිදු) කිරීම

ගින්නෙන් කැකෑරීම, සුර්ය තාපයෙන් තැවීම(රත් කිරීම), යකඩ ගුලි-වැලි-කැබලිති කැට යන මේවා ගින්නෙහි දවා ගිනියම් කර දියෙහි ගිල්වීම යන උපාය වලින් ව්‍යාපන්න ජලය පහන් කල යුතුය. එබඳු දියේ දුඟඳ පහ කිරීම වස් නාමල්-සපුමල්-මානෙල්මල් යනාදිය ඒ දියෙහි බහා සංස්කරණය කල water boilingයුතුය. රන්-රදි-තඹ-මැටි යන මේ එකකින් නිම කල බඳුනෙක මල් යොදා සැකසු සුවඳවත් දිය යෙදිමෙන් දුෂිත ජලය පිරිසිදු කර ගත හැකි බව දක්වා ඇත. කෙනෙකුට මේවා වර්තමානයට ගැලපෙන ක්‍රම දැයි ප්‍රශ්ණයක් ඇතිවිය හැක. නමුත් කාලානුරූපිව එම යුගයේදී පැවති පාරිසරික තත්ත්ව සමග සන්සන්දනය කර බැලු කල මේවා ඉතාම සාර්ථක උපක්‍රම වන්නට ඇති බව අනුමාන කල හැක. වර්තමානයේදි කල යුත්තේ මේ ක්‍රමයන්ට මුලික වු ආයුර්වේදිය සංකල්ප හඳුනා ගෙන එම සංකල්ප මත සිට වර්තමාන තත්ත්වයනට ගැලපෙන පිළිතුරු සොයා ගැනීමයි.

ව්‍යාපන්න ජලයද, අකාලයෙහි වන වැහි ජලයද නිතර වර්ජනය කල යුතු බව දක්වයි. ඒ ජලයෙන් වාතාදි දෝෂ උපදවා ලයි. අහිතකරද වේ. එහෙයින් එබඳු දිය කිසි විටෙකත් ප්‍රයෝජනයට නොගන්නේය. ගින්නෙන් කැකෑරීම ආදි සංස්කරණයන් සිදු කොට පහන් ‍නොකල ව්‍යාපන්න ජලය පානය කල හොත් ශෝථ, පාණ්ඩු, සිවි දෝෂ, ආහාරය නොදිරවීම, කාස, ශ්වාස, ප්‍රතිෂ්‍යාය, ශුල, ගුල්ම, උදර යන මේ රෝග වලට මෙන්ම වෙනත් උත්කට රෝග වලට කල් නොයවා භාජන වනු ඇත යන්න අවධාරණය කොට ඇත.

දුෂිත නොවුවත් කිලිටිවු දිය පවිත්‍ර කිරීම

දුෂිත දිය සහ කිලිටි දිය යනු ආකාර දෙකකි. දැන් දක්වා ඇත්තේ එම විෂ රහිත වුවත් කිලිටි දිය පිරිසිඳු කර ගන්නා ස්වාභාවික ක්‍රමවේදයන්ය. ඉඟිනි ඇට, ගෝමේද මැණික්, නෙළුම් මුල්, ශෛවාල මුල්(දිය පරණලා?) මුතු සහ පළිඟු ආදිය දියට දැමීම මඟින් මඩ ආදි සියුම් අංශු ජල භාජනයේ යටට බැස ගොස් ජලය පිරිසිඳු වේ. ඉන් පසු පිරිසිඳු රෙදි කඩකින් ඉහල ඇති දිය කොටස පෙරා ගත යුතුය. වර්තමානයේදිද බොහෝ දෙනා මෙවැනි ක්‍රම අනුගමනය කිරීමට පුරුදු වෙමින් සිටින බව දැක ගත හැක. විශේෂයෙන් මෙහි දක්වා ඇති සංකල්ප විශාල දිය පිරිසිදු කිරිමේ යන්ත්‍ර වල සිට නිවෙස් වල භාවිතා‍ කෙරෙනා කුඩා ජල පිරිසිදු උපකරණ දක්වා භාවිතා කිරිමට තරම් නවින විද්‍යාව මෙම පෙරදිග විද්‍යා දැනුමේ නිරවද්‍ය බව පිළිගෙන ඇත.
natural water filterationජලය බඳුන් වල බහාලැම පසු ඒ දිය බඳුන් තැන්පත් කිරිම සිදුකල යුතු වස්තු පහක් දක්වා ඇත. මෙම කරුණු ගැබ්ව ඇති විද්‍යාව තවමත් කිසිවෙකුටත් නිවැරදිව අවබෝධ කර ගන්නට හැකිවි ඇතිදැයි අපහැදිලිය. කෙසේ නමුත් එයින් අරමුණු කර ඇත්තේ සරල දෙයැක් යැයි නොසිතිය යුතුය යන්න අපගේ පුද්ගලික අදහසයි. මේ තුලින් අපට නොපෙනෙන නොසිතෙන  විශේෂ අරමුණක් තෘප්ත කර ගැනීමට පුරාණ ආයුර්වේද ආදිකතෘවරුන් අපේක්ෂා කරන්නට ඇතැයි සිතිය හැක. නමුත් එය කුමක්දැයි පැහැදිලි නැත.
ඉඹුල් ලී වැනි ලි වලින් කල ආධාරක වස්තුවක් මත තැබීම (ඵලක)
• පාද තුනක් ඇති ‍‍ අටපට්ටම් හැඩැති වේදිකාවක් මත තැබීම (ත්‍ර්‍යෂ්ටක)
• පිදුරු ආදියෙන් කල වලල්ලක් මත තැබීම (මුඤ්ජවලය)
• උණ ලී ආදියෙන් සැදු වේදිකාවක තැබීම (උදකමඤ්විකා)
• ලණු වලින් වහලේ එල්ලු භාණ්ඩ තබන වස්තුවක එල්වා තිබීම (ශීක්‍ය)

දිය සිසිල් කිරිමේ උපාය

අද දිය සිසිල් කර ගැනීමට නොයෙකුත් ආකාරයේ යාන්ත්‍රික සහ තාක්ෂණික උපකරණ නිපදවා ඇත. එම උපකරණ නිපදවීම නිසා මිනිසා සිසිල් දිය භාවිතයට පුරුදු වුවා නොව සිසිල් දිය භාවිතය නිසා එම උපකරණ නිපදවුවා යන්න නිවැරදි කියැවීමයි. පෙරදිග බුද්ධිමතා ස්වභාවධර්මයා සමග අනුගතව තම අවශ්‍යතා ඒ තුලින් සපයා ගැනිමට තරම් තික්ෂණ වුයේය. ඒ නිසා ඇතිවු ගැටළු ඉතාම අවමය. එසේ නොවුනු අය ඒ සඳහා කෙටි මන් සෙවිය. කෙටි මාර්ග වලින් කෙටි කාලිනව සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනිමට හැකියාව ලැබුනද එයින් දිගුකාලිනව ඇතිකැර ඇති හානි සාපේක්ෂව ඉතාම ඉහලය. අද සමාජයේ බොහෝ දෙනා මුහුණ දි සිටිනා බොහොමයත් අර්බුද සහ ගැටළු වලට මුලය වි ඇත්තේ ජිවිතයේ පැවැත්මට කෙටිමන් සොයා ගැනිම බව එම කෙටි මාර්ග සොයා ගත් පාර්ශව විසින්ම ස්වයංවිවේචනයක් කිරිම කොතරම් සරදමක්ද? දිය සිසිල් කර ගැනීම සඳහා භාවිතා කල හැකි ස්වාභාවික ක්‍රම කිහිපයක් සුශ්‍රැයන් විසින් දක්වා ඇත. මෙහි දක්වා ඇති මුලධර්ම නොවේද වර්තමානයේ නව නිපැයුම් ලෙස ලොවට ඉදිරිපත් වන බොහොමයකම අඩංගුව ඇත්තේ?

1. හමන සුලං වැදෙනා සේ දිය බඳුන තැබීම
2. දිය පිරුණු බඳුන රෙදි වලින් වෙලා වෙනත් දිය බඳනෙක කට තෙක් ගිල්වා තැබීම
3. දිය තුල යන්ත්‍ර- සැරයටි ආදිය බහා කරකැවීම
4. පවන් ගැසීම
5. රෙදි වලින් පෙරීම
6. වැලි වලට මැදි කොට දිය බඳුන තැබීම
7. රැහැනකින් දිය බඳුන වහලේ එල්වා තැබීම

උණු ජලය

උණු ජලය පානයට බොහෝ දෙනා එතරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැත. නමුත් උණූ ජලයේ විශේෂ ගුණ ඇති බව ආයුර්වේදය විශ්වාස කරයි. සෙම් මේදස් වායු ආම දෝෂ යන මේවා නසාලයි. එයින් ගින්න දැල්වේ. වස්ති ශෝධනය කෙරේ. එය ශ්වාස-කාස-උණ යන මේවා පහ කෙරේ. සෑම කල්හිම පථ්‍ය ද වේ. බොහෝ දෙනා නිවැරදිව උණු දිය පිළීයෙල කර ගන්නා අකාරය නොදනි. නිවැරදිව උණු දිය පිළියෙල කර ගන්නා ආකාරය ද ඒ සමගම දක්වා ඇත්තේ එබැවිනි. වතුර නැටවීම තුලින් පමණක් උණු ජලයේ ගුණ එකතු වන බව සිතා සිටියා නම් එය වැරදිය. ඒ සඳහා යම් නිශ්චිත ක්‍රමයකට ජලය නැටවීම කල යුතුය. ජලය කැකෑරෙන විට වේගයත් පෙණ ගතියත් පහව ගොස් නිර්මල සහ ලඝු වි ජලය ප්‍රමාණය හතරින් කොටසකට(1- ¼) පත්වු කල එම ජලය මැනවින් සිද්ධ වු ගුණවත් දිය යැයි දැන ගන්නේය.

ශෘතශීත ජල ප්‍රයෝගය

උණූ ජලය පමණක් නොව සිසිල් වු දිය ප්‍රයෝගය හිතවත් අවස්ථා වෙනම ආයුර්වේදයේ දක්වා ඇත.
• මධයපානය කිරිමෙන් හටගත් රෝග වලටද, පිතෙන් උපන් රෝග වලටද, ත්‍රිදෝෂජ රෝග වලටද, මුර්ච්ඡා, පිත්, උෂ්ණ, දාහ, විෂදුෂ්ටි, රක්තදුෂ්ටි, මදාත්‍යයය, කැරකිලි, ක්ලාන්ති, තමක, වමන, උර්ධ්වගත රක්තපිත්ත යන මේවාටද විදිසේ කකරා සිසිල් වු දිය හිතය.
• දෑල රුජා, ප්‍රතිශ්‍යාය, වාතරෝග, ගලරෝග, ආධ්මාන, ආමකෝෂ්ඨ, වමන විරේචන දෙක සිදුකල දින වල, අලුත්උණ සහ හික්කා ස්නේහපානය කිරිමෙන් පසුවද සිසිල් දිය නොදිය යුත්තේය.

ආයුර්වේදයේ පරිසරයද ප්‍රධාන කොටස් තුනකට බෙදා ඇත. අනූප(වියලි), water drinkජාංගල(තෙත්) සහ සාධාරණ යනු එම පරිසර තත්ත්ව තුනයි. එහිදි ආනුප දේශජ ජලය සේවනයෙන් බොහෝ දොස් ඇති‍ කෙරේන බවත් එම ජලය අභිෂ්‍යන්ධිය, ගර්හිතය බවත් දක්වා ඇත. ඇත්ත වශයෙන්ම අප රටේද වියලි කලාප වල ජලය පානය කිරිමට අපහසු සහ පිරිසිදු නැති බව ප්‍රායෝගිකව අප කවුරුත් අත් දැක ඇත්තෙමු. ජාංගල දේශජ ජලය ආනුප දේශජ ජල ගුණ වලින් යුක්ත නොවේ. නිර්දෝෂය, පාක වු විට විදාහය උපදවා ලයි. පිපාසය නසයි. ප්‍රශස්ථය. ප්‍රීතිවර්ධකය. සාධාරණ දේශජ ජලය වැලඳිමෙන් ගින්න දැල්වේ. එය මිහිරිය. සිසිල්ය සහ සැහැල්ලුය. වඩාත් පිරිසිදු වතුර ඇත්තේ තෙත් පරිසර ඇති කඳුකරයේ සහ පහතරට ප්‍රදේශවල බව තහවුරු කර ගත් සත්‍යයකි. මෙම සත්‍යය ආයුර්වේදය පැවසුවේ දැනට සියවස් විස්සකට තිහකට පෙර බව අප අමතක නොකල යුතුය.
අවසාන වශයෙන් ඉතාම වැදගත් කරුණක් ඉදිරිපත් කල යුතුය. සුශ්‍රැතයේ දක්වා ඇති මේ කරුණ අපගේ පරිකල්පනයේ පටු බව අපටම පැහැදිලි කර ‍දෙන්නකි. අප සිතා සිටින්නේ ජලය පහසුවෙන් නරක් නොවන දෙයක් බවයි. අපගේ මානයන්ට අනුව අපට එවැනි දෙයක් පහසුවෙන් අභිමුඛ වන්නේ නැත. ඒ නිසා අප එය එසේ යැයි විශ්වාස කරන්නෙමු. කල් ඉකුත් වන්නේ ඉතා සෙමින් යැයි සිතා සිටින්නෙමු. නමුත් ආයුර්වේදය තුල එය එසේ නොවන බව දක්වා ඇත. දිනක් ඇතුලත පවා ජලය ඉතා වැඩි වෙනස් කම් ප්‍රමාණයකට භාජනය වන බව පෙන්වා දී ඇත. පර්යුෂිත ජල දෝෂ (රැයක් තිබි පිළුණු වු දිය) යන මාතෘකාව ඔස්සේ එය ආයුර්වේදය ඉදිරිපත් කරයි. පිපාසිත පුද්ගලයාට පර්යුෂිත වු උණු දිය නොදිය යුතුය. උණුදිය පිළුණු වු කල ඇඹුල් රස වේ. එය පානය කල විට සෙම උඩට යොමුව ඔක්කාරය ඇති කරවයි යනුවෙන් ඒ පිළිබඳව දක්වා ඇති කරුණුයි.

 කිසිදු විශේෂිත ගුණාගුණ නොමැති දෙයක් ලෙස සිතා සිටි ජලය(H2O)  කෙතරම් වැදගත් කෙතරම් ගුණගුණ ඇති දෙයක්ද යන්න ආයුර්වේදය තුලින් පැහැදිලි කර දෙයි. ආයුර්වේදය සම්පූර්ණ විද්‍යාවක් වන්නේ මේ නිසාවෙනි.