ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ආයුර්වේදයේ ඥාති චීන වෛද්‍ය ක්‍රමය

(සංවාදයට විවෘතයි)පෙරදිග වෛද්‍ය සම්ප්‍රදායයන් අතර චීන වෛද්‍ය ක්‍රමයටද ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. එම වෛද්‍ය ක්‍රමයේ ඇති පැරණි බව සේම එම වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේදය අතර ඇති යම් සමාන බවක් මෙම සුවිශේෂි භාවයට හේතු වි ඇත.  මානවයා ශිෂ්ඨාචාර ගතවිමේ ක්‍රියාවලිය ක්‍රි.පූ 3000 පමණ චීනයේ කහ ගඟ(හොවැංහෝ ගඟ) නිම්නයේදී ආරම්භවූ බව පිළිගැනීමය. චීන වෛද්‍ය ක්‍රමයේ උපත සිදුවී ඇත්තේද ඒ සමඟමය. ෆූ-ෂී (Fu-shi) නම්වූ සමාජ නිර්මාතෘවරයා චීන ශිෂ්ඨාචාරය නිර්මාණය කිරීමේ කාර්යයෙහි පළමුවැනි පුරුක වී ඇත. චීන ජනතාව ඔහුව දේවත්වයෙන් පිදීමටද පෙළඹී ඇත්තේ එබැවිනි. ෆූ-ෂී අධිරාජයා විසින් ජනතාවගේ රෝග නිවාරණයත් සෞඛ්‍යය සංරක්ෂණයත් ක්‍රියාත්මක කරණු උදෙසා චීන වෛද්‍ය ක්‍රමයේ පදනම දමා ඇත. ඊට අමතරව ස්වභාව ධර්මයේ ක්‍රියා මාර්ග වලට අනූකූලව කායික හා මානසික පැවතුම් ගලපා අධ්‍යාත්මික සුඛයක් වින්ධනය කිරීමේ මාර්ග හෙලි පෙහෙලි කරන ටාඕ (TaO) දර්ශනයද සමාජය වෙත හඳුන්වා දී ඇත.

චීන TaO යන්නෙහි අර්ථය “සත් මාර්ග දර්ශනය” යන්නයි. මෙම සත් මාර්ග දර්ශනය චීන වෛද්‍ය ක්‍රමයේ මූලධර්මයන් සැකසීමටද යොදා ගෙන ඇත. ෆූ-ෂී ප්‍රජා නිර්මාතෘ අධිරාජයාගෙන් පසු පාලනයට පත්වී ඇත්තේ සෙන්-උන් (Shen-Ung)නම් පාලකයාය. එතුමා චීන ඉතිහාසයේ හඳුන්වා ඇත්තේ රතු අධිරාජයා (Red Empire) යන ප්‍රසිද්ධ නාමයෙනි. සමාජ පාලන කටයුතු වලට අමතරව ප්‍රතිකාර ශාස්ත්‍රය, සෞඛ්‍යය රක්ෂණ විධි පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත. රෝග සහ ඖෂධ පිළිබඳව විවිද පර්යේෂණ සිදුකරවා එයින් ලත් ප්‍රතිඵල අනූව ඖෂධෝපයෝගී වෘක්ෂලතාදිය දහසක පමණ ගුණාගුණ සම්බන්ධ විස්තර අන්තර්ගත ද්‍රව්‍ය ගුණ ග්‍රන්ථයක් සකස්කර ඇත. එයට චිකිත්සා විධිද ඇතුලත් කර ඇත. එහි නම වි ඇත්තේ පෙන්-සාඕ-චින් (Pen-TsaO-Ching) යන්නයි. මෙම ග්‍රන්ථය රචනා කල සෙන්-උන් අධිරාජයා “චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ පීතෘවරයා” ලෙස සලකනු ලබයි. මෙතුමා ක්‍රි.පූ 2679 දී පමණ මිය යයි. ඉන් අනතුරුව සිහසුනට පත්වන්නේ හුවාං ඩී (Huan-Ti)නැමැත්තාය. එතුමා හඳුන්වන්නේ කහ අධිරාජයා (Yellow Empire) නමිනි. එතුමා විචක්ෂණ පාලකයෙකු ලෙස චින ඉතිහාසයේ සඳහන්ය. චීන වෛද්‍ය ක්‍රමය තුලට සුචි වෙධ්‍ය චිකිත්සාව(Acupuncture Treatment) සහ අග්නිකර්‍ම ප්‍රතිකාරය(Moxibustion Therapy) හඳුන්වා දී ඇත්තේ මෙම වකවානුවේදීය. මෙම ප්‍රතිකාරයන් සීග්‍ර ක්‍රියාකාරී ප්‍රතිකාරයන් ලෙස හඳුනාගෙන ඇත. මෙම කරුණු ඉදිරිපත් කර ඇත්තේ නේ-ජින් (Nei-Ghing) නම් වෛද්‍ය ග්‍රන්ථයෙනි. තවද චීන වෛද්‍ය ක්‍රමයට මෙම නව හඳුන්වා දීම් සිදු කිරීමට  හුවාං-ඩී අධිරාජයාට චිපෝ (Chipo) නම් තැනැත්තාගේ සහයද ලැබී ඇත. ඔහු පාළකයාගේ පුරෝහිත විද්‍යඥයෙකු ලෙස ඉතිහාසයේ හඳුන්වා ඇත. නේ-ජින් වෛද්‍ය ග්‍රන්ථය මගින් චීන වෛද්‍ය ක්‍රමයේ විප්ලවයක්ද සිදු කර ඇති අතර එම ග්‍රන්ථය හුවාං ඩී- චිපෝ දෙපළගේ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගුණකි.

කටු චිකිත්සාව  

කටු චිකිත්සාව හෙවත් නිල විදීමේ ප්‍රතිකාරය යන අපර නාමයන්ගෙන ද හැදින්විය හැකි යථෝක්ත චිකිත්සාව මගින් සිදුකරනුයේ ශරීරයේ විශේෂීත නිල ස්ථානයන්ට  ලොහයෙන් නිර්මිත සියුම් කටු ප්‍රවේශ කර රුජාකාරි අවස්ථා ශමනය කිරීමයි. එයින් ක්ෂණිකව වේදනාව සමනය වීමත් ක්‍රමාණුකූලව රෝගය ශාන්තවීමත් සිදුවෙයි චින කටු චිකිසාවේ පිළිගැනීමයි. යථොක්ත නිල විදීමේ ප්‍රතිකාරයට සමාන්තරව රෝගෝපශමනය උදෙසා නිලයන් පිළිස්සීමේ හෝ රත් කිරීමේ චිකිත්සාව අග්නි කර්මය යන නාමයෙන්  යුතුව හඳුන්වා දී ඇත.

චින ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම යම් යම් රෝගා බාධ සඳහා උල් ගල් කැබලි, උණ පතුරු, ලෝහ කටු ආදියෙන් ශරීරයේ විශේෂ ස්ථාන වල‍ට ඇන වේදනා දුරු කර ගන්නා ක්‍රමයක් ජනතාව අතර ක්‍රමයෙන් ක්‍රියාත්මක වී තිබේ. රත් කරගත් ගල් කැබලී, ලෝහ ශලාකා නිලයන් මත තබා දැවීමේ පිළියමක්ද ව්‍යාධි උපශමනයට යොදා ඇත. වැදගත්ම කරුණ වන්නේ ඔවුන් මෙම නිල හඳුනා ගත් ආකාරයයි.

හුවාන් ඩී- චිපෝ යන මහා පර්යේෂකයන් විසින් යථොක්ත නිල පීඩක ප්‍රතිකාරය ශාස්ත්‍රීය පරිදි ක්‍රියාවෙහි යොදවන ආකාරය න්‍යායාත්මක පදනමක මත පිහිටා සකසා ඇත. එම නිල චිකිත්සා පද්ධතියක් චීන වෛද්‍ය සම්ප්‍රදායට අනුයුක්ත කොට ඇත්තේ මුළු චින වෛද්‍ය ක්‍රමයේම  අභිවෘද්ධිය සඳහාය.

යථෝක්ත ආකාරයෙන් සංවර්ධනය වූ චීන වෛද්‍ය සම්ප්‍රදාය ගොඩ නැගී තිබෙනුයේ,

  • ටාඕ – සත්මාර්ග දර්ශනය
  • යින්- යැන් න්‍යාය
  • පංචභූත සිද්ධාන්තය
  • පති පතිනී නියමය
  • මාතෘ පුත්‍ර නිගමනය යන දර්ශන, න්‍යාය සහ සිද්ධාන්ත මතය.

මෙසේ පවත්නා යින් සහ යැන් න්‍යාය සහ පංචභුත සිද්ධාන්තය යන මූලධර්මයන් මත ගොඩ නැගුණූ චීන වෛද්‍ය සම්ප්‍රදාය,  “දීර්ඝ ආයුෂය වින්දනය කිරීම මනුෂ්‍යත්වයේ උපරිම ඵලය” ලෙස සලකා ඇත්තේ ආරෝග්‍යය අත්‍යාවශ්‍ය තත්ත්වයක් බව අනුමත කිරීමෙනි. හුවාංඩි අධිරාජයා චිපෝ නම් පුරෝහිතයාගෙන් දිර්ඝායුෂ වින්ධනය සම්බන්ධව මෙවැනි කරුනු විමසීමක් සිදු කර ඇත.

“ ආදි කාලයේ මිනිසුන් දීර්ඝායුෂ වින්දනයෙන් හෙවත් ශත වර්ෂාදික කාලයක් ප්‍රීතියෙන් හා ආරෝග්‍යයෙන් දිවිය ගෙවා ඇත. එහෙත් දැන් ඒ පමණ ආයුෂ විධිමක් නැත. මෙසේ හීනායුෂ ඇතිවීමට හේතු කවරෝද?”

චිපෝ ඒ සඳහා පිළිතුරු දී ඇත්තේ පහත පරිදිය.“ආදි කාලීන මිනිසුන් ටාඕ දර්ශනය අනූව කටයුතු කිරීමත්, යින් සහ යැන් යන ස්වාභාවික බලවේගයන් අනූව සෞඛ්‍යාරක්ෂක විධි වල යෙදීමත්, පංච භූත සිද්ධාන්තය අනුගමනය කිරීමත් විචාරවත්ව අහාර පාන ගැනීම සහ දිනචර්යා සහ  සෘතුචර්යා මනාව පැවැත්වීමත් එයට හේතුවී තිබේ. එහෙත් වර්තමානිකයන් එසේ නොකිරීම මන්දායුෂ්ක විමට හේතු වී තිබේ.”(නේ-ජින්-සූ-වෙන් ප්‍රකරණය)

පුරාණ චීන දාර්ශනිකයන් විශ්වයේ ක්‍රියා කලාපය සහ පෘථිවියේ පැවැත්ම සම්බන්ධ විශේෂ සොයා බැලීම් සිදු කොට ඇත. ඒ සඳහා ඔවුන් උපයෝගී කොට ඇත්තේ අධ්‍යාත්මික ශක්තියෙන් යුත් බුද්ධි බලවේගයත් පංච ඉන්ද්‍රියන්ට හා එහි අර්ථයන්ට අයත් සන්නිකර්ෂයත් පමනෙකි.

ටාඕ දර්ශනයේ පදනම

විශ්ව‍යත් එහි අන්තර්ගත සියල්ලත් සර්ව බලධාරි දෙවි කෙනෙකුන් ගේ නිර්මාණයක් ලෙස හෝ පාලනයක් සහිත මැවිමක් මෙන් හෝ පිළිගැනීමට සාධක ඔවුනට ලැබී නැත. එහෙත් විශ්වයත් පෘථිවියත් අතර පවත්නා විශ්මජනක සම්බන්ධතාවයත්, ක්‍රියාකාරීත්වයත් අරඹයා පවත්නා රහස් ඔවුනගේ පර්යේෂණයට හසුවි තිබේ. ටාඕ දර්ශනයෙන් ඉදිරිපත් කර ඇත්තේ එයයි. ටාඕ ධර්මතාවයේ  ක්‍රියාකාරි බලවේගය යින් සහ යැන් (Yin & Yang) යන ශක්තීන් මත රඳා පවති. එය සමස්ත විශ්වයෙහි සහ එහි නිෂ්පත්තීන්හි ප්‍රධාන ක්‍රියා ශක්ති ප්‍රවර්තකයද වේ. එයින් යින් බලවේගය ස්ත්‍රී තත්ත්වයන් දරණ අතර යැන් බලවේගය පුරුෂ භාවයක් උසුලයි. ඒ සමගම යින් බලය නිෂ්ක්‍රීය ද යැන් බලය සක්‍රිය ද වනු ඇත.

යින් බලය අන්ධකාර, අප්‍රකාශ ස්වභාවයෙන් යුක්ත වන අතර  චන්ද්‍ර, පෘථිවි, රාත්‍රි, ජල, ශීත, ආර්ද්‍රතාවය යන නිශ්පත්තීන් ආශ්‍රය කොට පවති. යැන් බලය දීප්තිමත් ප්‍රභාවවත් ගතියෙන් යුක්ත වන අතර සූර්‍ය, ස්වර්ග(විශ්ව), දිවාකලය, අග්නිය‍, උෂ්ණය, ශූෂ්කතාවය යන  භෞතිකයන්හී ක්‍රියාකාරි වේ. විශ්වය විසින් මනුෂ්‍ය ලෝකයේ  හෙවත් පෘථීවියේ භවබෝග සම්පත්  වල නිශ්පත්තිය සඳහා යැන් බලය පොළොවට විහිදුවයි. එය පෘථිවිය හා සම්බන්ධව පවත්නා යින් ශක්තිය විසින් ග්‍රහණය කරනු ලබන්නේ ස්ත්‍රියක් පුරුෂයෙකු හා පවත්වන සම්බන්ධයට අනුකූලවය.

පත් පතිනී නියමය සම්පූර්ණ කරමින් හටගන්නා යථොක්ත ක්‍රියාදාමයෙන් පෘථිවියෙහි දිවා කාලය රාත්‍රියට පෙරලේ.  ආලෝකය අන්ධකාරයට හැරේ. වසන්ත සෘතුව වර්ෂා සෘතුවට හැරේ. ඒ ආකාරයෙන් ග්‍රීෂ්ම කාලය හේමන්ත සමයටද පරිවර්ථනය වේ. එය ජීහු-ආ ප්‍රවර්ථන චක්‍රය යනුවෙන් හැදින්වේ. මෙසේ යින් සහ යැන් බලශක්තීන්ගේ විශ්මජනක හෙවත් ක්‍රමික ක්‍රියාකාරීත්වයෙන් පවත්නේ නමුදු උභය බලවේගයන්හී අසමාන ගුණ හා ලක්ෂණද පවතී.

යින් සහ යැන් බලවේගයන්හී නිශ්පාදක ක්‍රියාවලියේහි ඵලය පංච භූතයන්ගේ නිර්මාණයයි. චීන දාර්ශනිකයන්ගේ නිගමන වලට අනූව පෘථිවි යන වස්තු නිශ්පත්තියෙහි මුලාශ්‍රයද එයයි. ඒ අනූව පංච භූත සිද්ධාන්තය  ප්‍රභවයක් ලබන සියළු වස්තූන් විෂයෙහි ක්‍රියාකාරී වනු ඇත. එය අග්නි, පෘථිවි, ලෝහ, ජල, කාෂ්ඨ යන භූත පංච ප්‍රකාරයෙන් හැදීන්වේ.

චීන වෛද්‍ය ක්‍රමයට අනූව,

දීර්ඝ ආයුෂය වින්දනය උදෙසා අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග නම් ටාඕ සත්මාර්ග  දර්ශනය අනූව ජීවත් වීමත් ශාරීරික ජීව ශක්තියේ සමතුලිත තාවය  රකිනුව යින් සහ යැන් බලවේගයන්හී ක්‍රියා දාමය නිරවද්‍යව පැවැත්වීමට ආධාර දීමත්ය. රෝගය නම් යින් සහ යැන් බලයන්හී විෂමතාවයයි. එය ශාන්ත කරනුව ජීව ශක්තිය ශරීරයේ යින් සහ යැන් පථයන්හී හෙවත් ස්‍රෝතසයන්හී යෝග්‍යය පරිදි ක්‍රියාත්මක වීමට අදාල උපක්‍රම යෙදිය යුතුය. ඒ සඳහා චීන වෛද්‍ය සම්ප්‍රදාය අනුගමනය කරනුයේ,

  • ශාක චිකිත්සාව
  • සුචි වේධ්‍ය චිකිත්සාව සහ අග්නි කර්‍ම චිකිත්සාව
  • ශල්‍ය චිකිත්සාව යන ප්‍රධාන ක්‍රම තුනයි.

ශාක චිකිත්සාව

උද්භිද ගනයේ නිර්දේශිත ද්‍රව්‍යයන්ගෙන් මුල්, අල, පොතු, අරටු, කොළ, මල්, රොන් ඇට, ලාටු ආදී  අංග උචිත ආකාරයෙන් ගෙන යෝග්‍ය පරිදි සංයෝග කොට තනාගත් භෛෂජ්‍යය කල්පයන් රෝග ශාන්තිය සඳහාත් සෞඛ්‍යය රක්ෂණය උදෙසාත් යෙදීමයි. සාත්වජ ද්‍රව්‍යය ප්‍රමාණවත්වද පාර්ථිව ද්‍රව්‍යය අල්ප ප්‍රමාණයෙන්ද එයට මිශ්‍ර කොට ඇත්තේ ගුණාධික්‍යයත් යෝගවාහී ගුණයත් සංයෝග කිරීමේ අපේක්ෂාවෙනි.

සුචි වේධ්‍ය චිකිත්සාව සහ අග්නි කර්‍ම චිකිත්සාව

කායික සහ මානසික රෝග ශාන්තිය උදෙසා ලෝහ නිර්මිත සුචි(කටු) වර්ග, ශරීරයේ තෝරා ගත් විශේෂිත නිල ස්ථානයන්ට අදාල ප්‍රමාණයෙන් ප්‍රවේශ කොට ජීව ශක්තියේ සාම්‍ය ක්‍රියාවක් යින් සහ යැන් පථ වල ඇති කිරීම සුචිවේධ්‍ය චිකිත්සාවෙන් කෙරේ. ශරීරයේ විශේෂ නිලයන් මත ඖෂධ සංයෝග තබා රත් කොට ලූ කටු හෝ ශලාකා එහි යෙදීමෙන් ස්ථානික පිළිස්සීමක් හෝ තැවීමක් දනවා රෝග සුව කිරීමේ ප්‍රතිකාර විධිය අග්නී කර්‍ම චිකිත්සාවයි.

ශල්‍ය චිකිත්සාව

 ශල්‍ය කර්‍ම චිකිත්සාව නම් හදිසි අනතුරු වලදී හට ගන්නා සද්‍යොව්‍රණයන්ට හා භග්න ආදීයට, යුධ කොලාහල වලදී උපදනා මාරක ව්‍රණාදියට ද අර්බුද, ව්‍රණශෝථ, උදර, උදර වෘද්ධි ආදි රෝග සඳහා සහ උපද්‍රවයන් ටද ශස්ත්‍ර යන්ත්‍ර ප්‍රයෝගයෙන් කැපුම් කෙටුම් පැළුම් ආදී ක්‍රමයන් යොදා ගෙන රුජාකර අවස්ථා ශාන්ත කොට රෝගීන් සුවපත් කිරීමේ ප්‍රතිකාරයයි.

චීන වෛද්‍ය ක්‍රමය ගැන වැඩි දුරටත් විමර්ශනය කිරීමේදී එහි යම් යම් ස්ථානයන්ගෙන් ආයුර්වේදයේ ආරම්භය ගැනද(ආයුර්වේදාවතරණය) යම් ඉඟි ලැබේ. ඒවා කොතෙක් දුරට සත්‍ය වන්නේදැයි කිව නොහැකි මුත් භුගෝලිය සහ පුරාවිද්‍යාත්මක සාධක අනුව පර්යේෂණ කරන්නේ නම් මෙම වෛද්‍ය ක්‍රම දෙක පිළිබඳව අනාවරණය නොවූ වටිනා රහස් මතු කර ගැනීමේ අවස්ථාව තවමත් ඇත.