ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
“ආයුර්වේදයේ ඇත්තේ නිශ්චිත පදනම් යටතේ සංස්කරණය කරන ලද ඖෂධ පමණයි.”

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජේ.ටී.ආර්. ජයකොඩි මහතා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ද්‍රව්‍යගුණ විඥාන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන වශයෙන් කටයුතු කරන විෂය  ප්‍රාමාණික බුද්ධිමතෙකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ එහි ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ හසල අත්දැකිම් සහිත ආයුර්වෙදඥයෙකි. එසේම ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද(ශික්ෂණ) රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙසද කටයුතු කරන්නෙකි. පහත පළවන්නේ ආයුර්වේද ද්‍රව්‍යගුණ විඥානය විෂය පිළීබඳවත් ආයුර්වේද ඖෂධ පිලිබඳවත් සමාජය තුල ඇතිව ඇත්තාවු විවිධ අදහස් පිළිබඳවත් වෙදැස ආයුර්වේද සඟරාව එතුමා සමඟ පැවැත්වු සාකච්ඡාවකි. වෙදැස සඟරාව වෙනුවෙන් තම වටිනා කාලය කැප කර මෙම සාකච්ඡාවට සම්බන්ධ වී වටිනා අදහස් වලින් අප පාඨකයන් පෝෂණය කිරීම පිළිබඳව  එතුමාට ස්තුතිවන්ත වෙමු.    

ප්‍රශ්නය: ප්‍රතිකාර සඳහා භාවිතයට ගනු ලබන ඖෂධ වෙනුවෙන් ඉතා ඉහල සැලකිල්ලක් දක්වීම ඕනෑම වෛද්‍යක්‍රමයක් තුල දක්නට ඇති පොදු සමානතාවයක්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලත් ඖෂධ සඳහා එවැනිම ඉහල වටිනාකමක් ලබා දී ඇති බවයි අපේ පුද්ගලික හැඟිම. එබැවින් ඖෂධ කියන කොටසට නැතිනම් මාතෘකාවට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ලබා දී ඇති ප්‍රමුඛස්ථානයත් ඒ වගේම ඖෂධ නිපදවීමට භාවිතා කරනු ලබනා අමුද්‍රව්‍ය පිළිබඳව ආයුර්වේදයේ ඇති මුලික අදහසත් ඉදිරිපත් කරමින්ම මෙම සාකච්ඡාව ආරම්භ කරන්න කියලා මම ජේෂ්ඨ කථිකාචාර්යතුමාට ආරාධනා කර සිටිනවා.

සත්‍ය වශයෙන්ම ආයුර්වේදය තුල ඖෂධ කියන කොටසට විශාල දායකත්වයක් සහ වටිනාකමක් ලබා දී තිබෙනවා. මෙය ආයුර්වේදයේ ආරම්භයේ සිටම පැවතෙන තත්ත්වයකි. ආයුර්වේදයේ ඉතිහාසයට ගියහොත් ආයුර්වේදය ලොව පහල වීම එහෙමත් නැතිනම් මිනිසා තුල ආයුර්වේදය පිළිබඳ සංකල්ප වැඩෙනවාත් සමඟම ඖෂධ පිළිබඳව සංකල්පයත් ගොඩ නැගී ඇති බව කිව යුතුයි. ‍ “හේතු ලිංග ඖෂධානාම්” යන ආයුර්වේදයේ ආරම්භක ශ්ලෝක පාඨය තුලින් එය පැහැදිලිව ප්‍රකාශිතයි. ආයුර්වේදයේ ඖෂධ පිළිබඳ දැනුම වෙනම විෂයක් එසේත් නැතිනම් දැනුම් සම්භාරයක් ලෙස සැලකිය හැකි අතර එය විධිමත්ව සංග්‍රහ කර තැබීමත් විවිධ කාල වකවානු වල සිදුවී තියෙනවා. ආයුර්වේදයේ ද්‍රව්‍ය ගුණ විඥානය කියන කොටසින් සාකච්ඡා කෙරෙන්නේ ඖෂධ සහ ඖෂධ සඳහා ගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳ සම්පූර්ණ න්‍යායාත්මක කොටසයි. මේ තුල ආයුර්වේද ඖෂධ නිශ්පාදනය සඳහා භාවිත අමුද්‍රව්‍ය වල උප්පත්තිය අනූව තුන් ආකාරයක් ගන්න බව සඳහන් වෙනවා. උද්භිද ද්‍රව්‍ය එහෙම නැතිනම් ශාකමය කොටස් ප්‍රධානවත් ජාන්තව ද්‍රව්‍ය නැතිනම් සතුන්ගෙන් ලබා ගන්නාවූ ද්‍රව්‍ය සහ පාර්ථිව ද්‍රව්‍ය හෙවත් පොළවෙන් ලබා ගන්නා ඛනිජ සහ ලවණ වර්ග යනාදිය මේ යටතට ගැනෙනවා. මීට අමතරව කිසිදු කෘතිම ද්‍රව්‍යයක් ආයුර්වේද ඖෂධ නිශ්පාදනය සඳහා භාවිතා කරන්නේ නැහැ කියන එක පැහැදිලිව කිව යුතුයි.

ප්‍රශ්නය: ඔබ පැවසුවා ප්‍රධාන ද්‍රව්‍ය ප්‍රභේද තුනක් ගැන. මෙම විවිධ ද්‍රව්‍ය ඖෂධ ලෙස යොදා ගැනීමේදී ඒ ආකාරයෙන්ම යොදා ගන්නවාද නැතිනම් කිසියම් සංස්කරණ ක්‍රියාවක් සිදුකිරීමෙන් පසුවද ඖෂධ ලෙස යොදා ගන්නේ?

අප සඳහන් කල ද්‍රව්‍ය ප්‍රභේද තුන මුලික ස්වරූපයෙන්ම ඖෂධ වශයෙන් යොදා ගන්නා අවස්ථා ඉතාම විරලයි. එසේ වුවත් ඖෂධීය ද්‍රව්‍ය අතරින් සමහර ද්‍රව්‍ය ආහාරමය ද්‍රව්‍ය වශයෙන් ඉතා සුළු සුළු වෙනස්කම් සමගින් පාවිච්චියට ගනු ලබන අවස්ථා ඇති බවත් මෙහිදි සඳහන් කල යුතුයි. නිශ්පාදිත ඖෂධ(සංස්කරණය කල ඖෂධ) ඖෂධ කියන තත්ත්වයට ගැනෙන කොට  මෙම ද්‍රව්‍ය වලට  වඩා ක්‍රමවත් සහ නිශ්චිත සැකසීමක් නැතිනම් සංස්කරණයක් සිදු කරනු ලබනවා. ඖෂධ සැකසීමේ ක්‍රමවේදය අයත් වන්නේ ආයුර්වේද ඖෂධ නිශ්පාදනය(භෛෂජ්‍ය කල්පනා) කියන විෂය කොටස යටතටයි. රස ඖෂධ නිශ්පාදනය රස ශාස්ත්‍රය යටතට ගැනෙනවා. භෛෂජ්‍ය කල්පනා කියන සංස්කෘත යෙදුම භාවිතා කරන්නේ විවිධ ඖෂධ නිශ්පාදනය කිරීමේ ක්‍රම හැදින්වීමටයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ ෆාර්මකොලොජි කියන විෂයම තමයි ආයුර්වේද ද්‍රව්‍යගුණ විඥානය, භෛෂජ්‍ය කල්පනා වැනි විෂයයන් තුල ගැබ්වී ඇත්තේ. මෙහිදි සඳහන් කල යුතු වැදගත්ම කරුණ වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය තුලින් මෙවැනි විෂයන් හඳුන්වා දීමට බොහෝ කාලයකට පෙරදී තමයි ආයුර්වේදයේ ඖෂධ පිළිබඳ විද්‍යාව සහ ඖෂධ නිශ්පාදනය පිළිබඳ විද්‍යා විෂයන් හඳුන්වා දී තියෙන්නේ. භෛෂජ්‍ය කල්පනා කියන විෂය හුදකලා විෂයයක් නොවෙයි, ද්‍රව්‍ය පිළිබඳ ප්‍රධාන න්‍යායයන් සහ මුලධර්ම ඇතුලත් ද්‍රව්‍යගුණ විඥාන කියන පුළුල් විෂයයෙන් පෝෂිත විෂයයක් ලෙසයි වර්ධනය වී තියෙන්නේ. එහි වැදගත්කම වන්නේ ආයුර්වේදය ඖෂධීය ද්‍රව්‍ය වෙන වෙනම ‍ප්‍රතිකාර සඳහා යොදා ගන්නවට වඩා ඒ ඒ ද්‍රව්‍යයන්ගේ රස ගුණ වීර්යය විපාක සහ ප්‍රභාව කියන විවිධ ශක්තීන් අනූව නිශ්චිත පදනමක් යටතේ සකස් කල ඖෂධ සංයෝග යොදා ගැනීමට අවස්ථාව ලැබීමයි. විවිධ රෝග සම්බන්ධයෙන් ‍අදාල අවස්ථාවන්ට ගැලපෙන ඖෂධීය ද්‍රව්‍ය කිහිපයක් හෝ රාශියක් එකතු කර පැහැදිලි න්‍යායාත්මක පදනමක සිට නිශ්පාදනය කල ඖෂධ සකස් කිරීමට හැකියාව මෙමගින් ලැබී තියෙනවා. ඇත්ත වශයෙන්ම ආයුර්වේදයේ තියෙන්නේ එවැනිවු නිශ්චිත පදනම් යටතේ සංස්කරනය කරන ලද ඖෂධ පමණයි.

ප්‍රශ්නය: ආයුර්වේද භෛෂජ්‍ය කල්පනා කියන විෂය තුල ඖෂධ නිශ්පාදනයට අදාල දැනුමට අමතරව වෙනත් විශේෂ කරුනු අන්තර්ගතද?

ඇත්ත වශයෙන්ම ඔව්. ඖෂධ නිශ්පාදනයන්ට අදාල දැනුම පමණක් නොවෙයි තවත් බොහෝ කරුණු එහි අන්තර්ගතයි. විශේෂයෙන් ඖෂධ ග්‍රහණය (සුදුසු ඖෂධ තෝරා ගැනීම) පිළිබදව කරුණු රාශියක් දක්වා තියෙනවා. ඖෂධ ග්‍රහණ නිර්දේශ කියන කොටස ආයුර්වේදයට අනන්‍ය වු විෂය කොටසක්. මෙහි අන්තර්ගත සියළුම දේවල් සඳහා යම්කිසි නිශ්චිත ආයුර්වේදිය පදනමක්, දැක්මක් මූලික වෙලා තිබෙන බව කිව හැකියි. ඖෂධ සකස් කිරීම සදහා අමුද්‍රව්‍ය සපයා ගත යුතු ස්ථාන සහ ඒ සඳහා නොසුදුසු ස්ථාන, ද්‍රවය එකතු කිරීමට සුදුසු කාලය, එකතු කර ගත යුතු ක්‍රමවේදය ආදි වශයෙන් විවිධ පදනම් රාශියක් යටතේ තොරතුරු දක්වා තියෙනවා. ඒ වගේම ලබා ගත් ද්‍රව්‍ය වල අමු-වියලි යන තත්ත්වය මත ඖෂධ සඳහා ද්‍රව්‍ය කොපමණ භාවිතා කල යුතුද,  ගුණ හානි නොවන පරිදි ද්‍රව්‍ය කල් තබා ගන්නේ කෙසේද, ඒ සඳහා අනුගමනය කල යුතු ක්‍රමවේද මොනවාද යන්න පවා දක්වා ඇත. තව දුරටත් කියනවා නම් ශාක කොටස් එකතු කර ගැනීමේදී මුල්-කොල-අතු විහිදි ඇති දිශාවන් අනුව පවා ද්‍රව්‍යන්ගේ ගුණ වෙනස් වෙන බව පිළිගැනෙනවා. මේවැනි කරුණු ගැන විධිමත් පර්යේෂණයන් සිදුනොකර, සත්‍ය-අසත්‍යතාවය පිරික්සා නොබලා  එම කරුණූ වල සත්‍යතාවයක් නොමැතියැයි පවසා ඉවත් කිරීම නොසුදුසු බවයි අපගේ හැගීම. වර්තමානයේ ඇත්තේ දන්නා දෙයින් නොදන්නා දේ පැහැදිලි කිරීමට යාමයි. එසේ නොකොට අතීතයේදී මෙවැනි ඉතා සියුම් සහ ගැඹුරු කොටස් කෙරෙහි පවා අවධානය යොමු කර ඇත්තේ හුදෙක් වචන මාත්‍රයෙන් පමණක් නොව ඒ පිළිබඳව නිශ්චිත අවබොධයක් සහ පදනමක් සහිතව වන්නට ඇති  බව පිළිගැනීමට අප නිහතමානි විය යුතුය.     

ප්‍රශ්නය: ඖෂධීය ද්‍රව්‍ය එක්රැස් කර ගැනීම සම්බන්ධයෙන් මෙවැනි විශේෂ අවධානයක් යොමු කිරීමට හේතු මොනවාද?

රෝගියාගේ ආරක්ෂාව සහ යහපත ගැනම විශේෂ අවධානය යොමු කිරීම ආයුර්වේදයේ අරමුණ නිසා තමයි මෙවැනි කටයුතු සිදු කර ඇත්තේ. වාණිජ පරමාර්ථයක් සහිතව අමුද්‍රව්‍ය රැස් කිරීම නැතිනම් ඖෂධ නිශ්පාදනයට කටයුතු කලා නම් මෙවැනි විශාල සීමා-රීති යටතේ කටයුතු කරන්නේ නැහැනේ. ආයුර්වේදය ශුද්ධ චිකිත්සාවක්, ඒ කියන්නේප්‍රමාණවත් පිවිතුරු එසේම විශ්වාසනීය ප්‍රතිකාර ක්‍රමයක් සහිත වෛද්‍ය ක්‍රමයක්  කියලා ඔප්පු වෙන්න ඒකම හොඳ සාධකයක් නොවෙයිද?

ප්‍රශ්නය: එකතු කර ගත් අමුද්‍රව්‍ය වලින් ඖෂධ යෝග  සංස්කරණය පිළිබඳව ඔබ පැවසු භෛෂජ්‍ය කල්පනා කියන විෂයේ ප්‍රමාණවත් තොරතුරු ඇතුලත්ද? 

ඇත්ත වශයෙන්ම ඔව්. පළමුව ඖෂධ නිශ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය නිසි ප්‍රමාණයන්ගෙන් කිරුම් මිනුම් කර ගැනීම කෙරෙහි අවධානය යෙමු කර එයට විශේෂ මාන ක්‍රමයන් හඳුන්වා දී ඒ පිළිබඳව තොරතුරු දක්වා තියෙනවා. ඒවාගේම ඖෂධ සංස්කරණ (Processing) ක්‍රම රාශියක් පිළිබඳව පරිපූර්ණ තොරතුරු දක්වා තියෙනවා. සිදු කරණ සංස්කරණයන් මොනවාද?  ඒ සංස්කරණයන් අදාල රෝග තත්ත්වය සදහා සහ රෝගියාගේ තත්ත්වය සඳහා සුදුසු වන්නේ කෙසේද? එසේනම් එම ඖෂධයන්ගේ භෞතික ආකාරය විය යුත්තේ කුමක්ද? එම ඖෂධ වල මාත්‍රා කොපමණද? යොදනා ආකාර(Administrative Form) මොනවාද? යන කරුණු පිළිබඳවද අවධානය යොමු කර තියෙනවා. මෙහිදී අප කවුරුත් පොදුවේ දන්නා අරිෂ්ඨ, ආසව, ගුලි, කල්ක, චූර්ණ,‍ තෛල, ඝෘත, රසායන සහ මොදක වැනි සංස්කරණ ආකාර වලට අමතරව තවත් විශේෂ ක්‍රම වලින් ඖෂධ නිපද වෙනවා. ඇත්ත වශයෙන්ම යම් කිසි ඖෂධයක් නිපදවීමේදි අදාල ඖෂධය පහසුවෙන් රෝගියාට ශරීර ගත කර ගැනීමේ හැකියාව ගැන පමණක් නොව  එහි අන්තර්ගත ඖෂධ ද්‍රව්‍ය වල ක්‍රියාකාරිත්වය උපරිමයෙන්ම ශරීරයට උකහා ගත හැකි ආකාරය ගැනත් ආයුර්වෙදය තුල සලකා බලා තියෙනවා. උදාහරණයකට ගොටුකොළ ගත්තොතින් ගොටුකොළ ඝෘතයක්, ‍චූර්ණයක්, සිරප් වර්ගයක් ආදී විවිධ ස්වරූපයන් ලෙස රෝගින්ට ලබා දීමේ ක්‍රම මේ තුල අන්තර්ගතයි. එපමණක් නොවෙයි ඖෂධ වල  ගුණ වැඩි දියුණු කිරීමට සහ එම ඖෂධ ශරීර ගත වීමේ පහසුව මුල් කර ගෙන අනුපාන, සහපාන සමගින් යොදනු ලබනවා. ඒ අනූව මී පැණි සමඟ නැතිනම් එළඟිතෙල් සමග දවටලා නැතිනම් වෙනත් ප්‍රතිවාපයක් සම්බන්ධ කරලා හෝ යම් ඖෂධ ද්‍රව්‍යක් තැමුබූ වතුර සමග මෙම ඖෂධය රෝගීන්ට ලබා දෙනවා. ඒ ආකාරයට බොහෝ අංශයන් පිළිබඳ සැලකිල්ල යොමුකර ඉතා නිවැරදි ආකාරයෙන් තමයි මෙම ඖෂධ නිශ්පාදනය හා රෝගින්ට ලබා දීම පිළිබදව ආයුර්වේදයේ ප්‍රකාශ වී ඇත්තේ. මෙය කිසිසේත්ම සරල හෝ අනවබෝධයෙන් සිදු කරන නිශ්චිත පදනමක් නැති ක්‍රියාදාමයක් නෙවෙයි. තවද රෝගින්ට ඖෂධ ලබා දිමේදි ඒ ඒ රෝගීන්ගේ රෝගී තත්ත්වය, ශරීර ප්‍රකෘති තත්ත්වය, රෝගියාගේ බලාබලත්වය වැනි සාධක කෙරෙහිත් අවධානය යොමු කරලා ඒ ඒ ඖෂධ  සිරුරට කොතරම් අවශ්‍යද නැතිනම් යොග්‍යද කියනා කරුණූ කෙරෙහි පවා අවධානය යොමු කරලා තියෙනවා.

ප්‍රශ්නය: රස ඖෂධ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් මෙහිදි එකතු කල හැකිද?

රස ඖෂධ විශේෂයෙන් (පාර්ථිව ද්‍රව්‍ය ප්‍රධානව අවශ්‍ය විටෙක උද්භිද ද්‍රව්‍ය උපයෝගී කර ගෙනනිශ්පාදනය වන ඖෂධ වශයෙන් හඳුන්වන්න පුළුවන්. පාර්ථිව ද්‍රව්‍යයන් ඖෂධයක් ලෙස පරිවර්ථනය කර ගැනීමට පෙර ඒ ඒ ද්‍රව්‍ය වල තිබෙන ශක්තිය, ඒවායේ  තිබෙන ගැලපීම නොගැලපීම සලකා බලා සුදුසු පරිදි පරිවර්තනය කර ගැනීමේ ආයුර්වේද විද්‍යානුකූල ක්‍රමවෙද රස ශාස්ත්‍රය යට‍තේ හඳුන්වා දී තිබෙනවා. සමහර ද්‍රව්‍ය තිබෙනවා ඒවා ඒකියව සහ ස්වාභාවික තත්ත්වයෙන්ම ගත්තොත් ඖෂධ පිණිස යොදා ගැනීමට නොසුදුසු පාර්ථිව ද්‍රව්‍යයන්.එබඳු ද්‍රව්‍ය රෝග අවස්ථා සඳහා යොදා ගැනීමට හිතකර  වන තත්ත්වයට පත් කර ගැනීමක් සිදුවනවා. මෙය අමෘතිකරණය ලෙස හැදින්වෙනවා.ඒ කියන්නේ විෂ ද්‍රව්‍යක් වුවත් එහි විෂ ස්වභාවය ඉවත් කර ඖෂධයක තත්ත්වයට පත් කර ගෙන නිසි මාත්‍රාවෙන් දුන්විට රෝගියාගේ රෝගී තත්ත්වයට අමෘතය සේ ප්‍රයෝජනවත් කියලා කියලා ආයුර්වේද ශාස්ත්‍රය තුල පැහැදිලිවම දක්වා තියෙනවා.මේ අනූව මෙවැනි නිශ්පාදිත රස ඖෂධ අති විශාල ප්‍රමාණයක් ආයුර්වේද රස ශාස්ත්‍රය යටතේ ප්‍රයෝජනයට ගැනෙනවා. මෙමගින් රෝගි සිරුරට සේම රෝගි තත්ත්වයට අදාල රෝගය සුවපත් කිරීමට අදාල හිතකර ගුණ පමණක් ඉතුරු වන පරිදි තමයි එවා සකස් කර ගන්නේ. රස ඖෂධ නිශ්පාදනයේදී හා අබිං කංසා ජයපාල වැනි විශේෂ උද්භිද ද්‍රව්‍ය සෘජුවම ඖෂධ නිශ්පාදනයට පාවිච්චි නොකරන අතර ඒවා ශෝධනය, මාරණය. ජාරණය ආදී වූ ආයුර්වේදයට අනන්‍ය වූ ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඒවායේ පවතින අහිතකර තත්ත්වයන් ඉවත් කර ශරීරයට යෙදීමට සුදුසු තත්ත්වයට පත්කීරීම ආයුර්වේදයේ ගැඹුරින් හා පුළුල් වශයේන සඳහන් කරනවා. ඇත්තටම ඒ සඳහා භාවිතා කර තියෙන ක්‍රම ඉතාම විද්‍යාත්මකයි. ඒවාගේම ප්‍රථිඵලදායකයි. ආයුර්වේදයට අනන්‍යවු පෙරදිග දැණුම තමයි ඒ සඳහා යොදා ගෙන තියෙන්නේ. එය එසේ නොවේ නම් මෙපමණ කාලයක් එවැනි ඖෂධ සහ එම ඖෂධ ලබා දෙන වෛද්‍ය ක්‍රමයක් ප්‍රතික්ෂේප නොවි පැවතිය නොහැකි නේද. ඒවාගේම ඒවා නිවැරදි නොවේ නම් නවීන පර්යේෂණ මගින් එවායේ සදොස් තැන් ඔප්පු කර දැක්විය හැකියි. නමුත් එවැනි ඔප්පු කිරිමක් හෝ  සමාජයෙන් ප්‍රතික්ෂේප විමකටවත් මේ දක්වා සිදුවී නැහැ.

ප්‍රශ්නය: ආයුර්වේද ඖෂධ පාවිච්චියෙන් අමතර ආබාධ සහ වෙනත් හානි සිරුරට සිදුවන බවට යම් මතයක් සාමාන්‍ය පොදු සමාජයෙත් දැනුවත් සමාජයෙත් තියෙනවා. මෙහි සත්‍යතාවය කුමක්ද?

ඇත්ත වශයෙන්ම ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් එවැනි ගැටළුවක් කොහෙත්ම නැහැ. ඒක දැන හෝ නොදැන සමාජයේ ඇතිකර තිබෙන දුර්මතයක්. අනිත් කරුණ වන්නේ ආයුර්වේද ඖෂධ දීර්ඝ කාලයක් එක දිගට පාවිච්චි කිරීමට කිසිසෙත්ම නිර්දේශ කරන්නේ නැහැ. කිසියම් කෙටි කාල වකවානුවක්, කාල සීමාවක් තුල රෝගයේ කිසියම් කඩයිම් පරිච්ඡේදයක් සුවපත් කර ගැනීමට පමණයි නිශ්චිත ඖෂධයක් පාවිච්චි කිරීම සිදුවන්නේ. ඒ නිසා දිර්ඝ කාලයක් එකම ඖෂධයක් පාවිච්චි කිරීමට ආයුර්වේදය තුල නිර්දේශ කර නැහැ. අදාල අවස්ථාව අදාල ඖෂධ මගින් නිවැරදි වූවට පසුව ඊලඟ අවස්ථාවට ගැලපෙන වෙනත් ඖෂධයක් නිර්දේශ කරනවා. මෙයයි ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තුල සිදුවන්නේ. ආයුර්වේදයේ පවසනවා ආහාරමය වශයේන හෝ ඖෂධමය වශයෙන් කිසිම දෙයක් දීර්ඝ කාලීනව පාවිච්චි කිරීමනිරෝගී භාවය සඳහා යෝග්‍ය නොවන බව. ඒ අනූව ආහාර රටාව, ආහාර වර්ග, විවිධ සංස්කරණ වෙනස් කරමින් යොදා ගැනීම තමයි සුදුසු කියලා  දක්වා ඇත්තේ. එමගින්  විවිධ ද්‍රව්‍ය වල ඇති රස-ගුණ ලබා ගත හැකි වන පරිදි විවිධ දේ අත් දකින්න ආයුර්වේදය අවස්ථාව ලබා දී තියෙනවා. එකම දෙයක ඇලි ගැලී නොසිට ස්වභාවධර්මයේපවතින යහපත් සියළු දේ නිවැරදි ලෙස හා යහපත් ලෙස ඇසුරු කරන්න තමයි ආයුර්වේදය උගන්වා ඇත්තේ.

මෙහිදී ඉහත කරුණ වඩාත් නිවැරදිව කියනවා නම් එකම ඖෂධයක් දීර්ඝ කාලයක් නිර්දේෂ කරන්නේ නැහැ කියනවට වඩා සාධාරණයි දිර්ඝ කාලයක් එකම ඖෂධයක් යෙදෙන්න අවශ්‍යතාවයක් ඇතිවෙන්නේ නැහැයි කියන එක. ඖෂධ භාවිතා කරන්නේ ඒ ඒ අවස්ථාවේ රෝගය සංසිදුවා ගැනීමට හෝ සුවකර ගැනීමට  පමණයි. එම තත්ත්වයෙන් මෑත් වුනාට පසුව නැවත එම ඖෂධය පාවිච්චි  කිරිමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා ඔබ පැවසු කාරුණට සත්‍යතාවයක් නැහැයි කියන එක තමයි පිළිතුර විය යුත්තේ.

 ප්‍රශ්නය: පසුගිය දිනක යම් වාර්ථාවක් මගින් ප්‍රසිද්ධ වුවා මෙරට සීග්‍රයේන් ව්‍යාප්ත වී යන වකුගඩු රෝග තත්ත්වය සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිතා වන ‍ඖෂධීය ද්‍රව්‍යයක්ද හේතු කාරක වන බව. ඔබට ඒ සඳහා යම් පැහැදිලි කිරීමක් කල හැකිද?

ඔබ කථා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කල වාර්ථාවක සඳහන් වන සප්සඳ පිළිබඳ කරුණ නේද? මෙය ඉතාම පුළුල්ව කථා කල යුතු මාතෘකාවක එක කොටසක් පමණයි. ඇත්ත වශයෙන්ම සප්සඳ කියන ද්‍රව්‍ය ආයුර්වේදීය ප්‍රතිකාර සඳහා භාවිතා කරන්නේ රෝග කාණ්ඩ කිපයක් සඳහා පමණයි. එහිදි විෂ ශරීර ගත වීම නිසා ඇතිවන ක්ෂණික රෝග තත්ත්වයන්ට ඉක්මන් ප්‍රතිකාරයක් ලෙස සප්සඳ යොදා ගන්නවා  විෂ ඉක්මනින්ම ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාවක් සප්සඳ වල අන්තර්ගතයි. හැබැයි ඒ සඳහා භාවිතා කරන්නේ සප්සඳ පමණක්ම නොවෙයි. විශාල ද්‍රව්‍ය සමුහයක් අතරේ සප්සඳත් එක් සංඝඨකයක් පමණයි. විෂ චිකිත්සාවේදී භාවිතා කරන ආයුර්වේදයේ සඳහන් අභ්‍යන්තර, බාහිර(ස්ථානික) ප්‍රතිකාර රාශියක් තිබෙනවා. වේදු වර්ග, තැවිලි වර්ග, කැඳ වර්ග, කෂාය වර්ග ඒ අතරට අයත්.  සප්සඳත් ඒ ආකාර‍ දෙකේම ඖෂධ සඳහා යොදා ගන්නවා. මිට අමතරව බාලඃග්‍රහ රෝග, කොළරාව, පාචනය, උණ රෝග සහ සන්ධි රෝග සඳහාද මේ දෙයාකාරයෙන්ම භාවිතයට ගන්නා බව සඳහන්ව තියෙනවා. නමුත් ඒ කිසිදු අවස්ථාවක ඒකිය වශයෙන් පමණක් නොවෙයි යොදන්නේ, ඖෂධ වට්ටෝරු වල සංඝඨකයක් වශයෙනුයි දක්වා ඇත්තේ. ඒ වාගේම පෙර අවස්ථාවක සඳහන් කලා වගේම දීර්ඝ කාලයක් මෙම ද්‍රව්‍ය යොදා ගැනීමක් සිදුවන්නේ නැහැ. විශේෂයෙන්ම විවිධ ද්‍රව්‍ය සමග මිශ්‍රව සප්සඳ භාවිතා කරන බව දැක්විය හැකියි. විශේෂයෙන් විෂ අවස්ථාවන් සඳහා ගම්මිරිස් සමඟ මිශ්‍රව තමයි බොහෝ විට යොදා ඇත්තේ. මිපැණි සමගත් සප්සඳ ‍ලබා දෙනවා. නමුත් දීර්ඝ කාලිනව නොවෙයි කියන එක අවධාරණය කර ගත යුතුයි.

ඒකිය ද්‍රව්‍යයක් වශයෙන් ගත් විට එම ද්‍රව්‍යයේ වකුගඩු වලට බලපෑ හැකි සංඝඨක අන්තර්ගත බව නවින විද්‍යාවට අනූව සොයා ගත්තා විය හැකියි. නමුත් එය සිරුරේ වකුගඩු වලට හානි වන්නේ කිනම් ප්‍රමාණයකින් සිරුරට ඇතුළු වු විට දැයි පැහැදිලිව දක්විය යුතුයි. උදාහරණයක් ලෙස යම් කිසි මාත්‍රාවක් ඉක්මවු විට එය සිරුරට හානිකරය නැතිනම් සයනයිඩ් වැනි උග්‍ර විෂක් මෙන් ඉතා සියුම් ප්‍රමාණයක් පවා ප්‍රමානවත්ය යන්න දැක්විය යුතුය. ඒවැනි පර්යේෂණ මෙතෙක් සිදුවී නැහැ. ඒ නිසා එවැනි පර්යේෂණයකින් තොරව නිගමන වලට පැමිණිම සාධාරණද නැහැ. ඇත්ත වශයෙන්ම ‍මෙම ගැටලුවට අදාල කාරණය ඉහතිනුත් මම සඳහන් කලා, ඒ තමයි  ආයුර්වේද ඖෂධ ඒකිය වශයෙන් භාවිතා කරණවාට වඩා සංයෝග වශයෙන් භාවිතා කර ඇත්තේ කුමණ පදනමක සිටද යන කාරණය. යම් සැකයක් මේ සම්බන්ධයෙන් තියෙනවා නම් ඒකට උත්තරය ඒ පදනම විමසුමෙන් පැහැදිලි වෙනවා. ආයුර්වේද ඖෂධීය ද්‍රව්‍ය සංයෝග කිරිමෙහි අරමුණු අතර සංයෝගයේ අන්තර්ගත සමස්ථ ද්‍රව්‍ය වල ඇති ගුණ වැඩිකර ගැනීමත් සිරුර තුල ක්‍රියාත්මක විමේදි වැඩි සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමත් යම් යම් ද්‍රව්‍ය වල යම් අනවශ්‍ය හෝ හිතකර නොවන ගුණ අන්තරගත නම් ඒවා යටපත් කිරීමත් අපේක්ෂා කරනවා. ඇත්ත වශයෙන්ම එවැනි හැකියාවක් ආයුර්වේද ඖෂධවේදය සහ ද්‍රව්‍ය ගුණ විඥාන විෂය තුලින් ඉදිරිපත් කර තියෙනවා. ද්‍රව්‍ය සතු ගුණ ඉස්මතු කර ගැනීමට වාගේම ගුණ යටපත් කිරීමටත් භාවිතා කල යුතු තාක්ෂණය හා අනුගමණය කල යුතු න්‍යායාත්මක දැනුම ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥානය සතුයි. එය ආයුර්වේදයේ සුවිශේෂිතාවයක්. ඉතින් මට කියන්න තියෙන්නේ එවැනි අවධානම් තත්වයක් ආයුර්වේදයේ භාවිතා කල සහ කරණ ඖෂධීය අමුද්‍රව්‍ය වල අන්තර්ගත නම් කිසි ලෙසකින් වත් එවැනි ද්‍රව්‍ය ආයුර්වේද ප්‍රතිකාර සඳහා භාවිතා කිරීමට ආයුර්වේදය නිර්දේශ කරන්නේ නැති බව. මක්නිසාද එවැනි කරුණු ගැන ඉතා පුළුල් සහ ගැඹුරු අවබෝධයක් සහිතව තමයි ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥානයත් ආයුර්වේද ඖෂධවේදයත් ගොඩ නැගි ඇත්තේ.          

 ප්‍රශ්නය: ආයුර්වේද ද්‍රව්‍යගුණ විඥානය සහ භෛෂජ්‍ය කල්පනා කියන විෂයන් පිළිබඳව විෂය ප්‍රාමානිකයෙකු ලෙස ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් අපගේ පාඨක හිතවතුන්ට අවසාන වශයෙන් ලබා දිය යුතු වැදගත් උපදේශයක් තිබෙනවාද?

රෝගියා විසින් වෛද්‍යවරයාගේ භුමිකාව රඟ දැක්වීමට යාම තුල විශාල ප්‍රශ්ණ ඇතිවනවා. සැබෑ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ නිර්දේශයන් යටතේ අදාල ප්‍රතිකාර නිවැරදිව ලබා ගන්නවානම් තමන්ගේ රෝග තත්ත්වයන් සුව කර ගත හැකි වනවා සේම අතුරු ආබාධ ගැන බිය විය යුතුත් නැහැ. ඒක තමයි පළමු පණිවුඩ‍ය. ඊට අමතරව කියන්න තියෙන්නේ ආයුර්වේදය වැරදි නම් වසර 6000කට වඩා කාලයක් ආයුර්වේදය සමාජය තුල පවතින්නේ කොහොමද ප්‍රතික්ෂේප නොවී කියන කාරණය. එවැනි වංචාවක් බොරුවක් ආයුර්වේදය තුලින් සිදුකරනවා නම් ඒක‍මොන තරම් බරපතලද? ඒ නිසා ආයුර්වේදය,බෞද්ධ දර්ශනය වැනි පෙරදිග දර්ශන සහ විද්‍යාවන්ට පරිභව නොකල යුතුයි හෙලා නොදැකිය යුතුය යන්නයි මාගේ විශ්වාසය. යමෙකුට මේවා ගොචර නොවු පමණීන්මඒවා අවිද්‍යාත්මකයි, අසත්‍යයයි යන නිගමනයන්ට එළඹීම සාධාරණද? අනෙක් අතට වර්තමානයේ රෝගි වි සිටින ලොව පුරා ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් ආයුර්වේද ප්‍රතිකාර නොලබපු පිරිසක්. ඒ වාගෙම විවිධ රො‍ග වලට  ලබා ගත් ප්‍රතිකාර හේතුවෙන් අතුරු උපද්‍රව ඇතිවු රෝගි ජනතාව අති බහුතරයක් ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත් උදවිය නෙවෙයි.  එයින් පෙනෙනවා අතුරු ආබාධ, පශ්චාද් උපද්‍රව බහුතරයක් ඇතිවන්නේ කිනම් ඖෂධ භාවිතයෙන්ද කියලා. ඒනිසා නිවැරදිව තේරුම් ගත යුතුයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් ප්‍රතිකාර වලත් ඇති සඵලතාවය.

ආයුර්වේදය කියන විෂය ලොකයට බිහි වන්නේ සුවි‍ශේෂි අරමුණක් සහිතවයි. “ධර්ම අර්ථ කාම මෝක්ෂානාං මාරෝග්‍යං මුල මුත්තමං” කියන අදහස පෙරදැරිවයි.  ධර්ම අර්ථ කාම මොක්ෂ කියන චතුර්විධ සම්පත්ති ලබා ගැනීමට නිරෝගි කම තමයි අත්‍යාවශ්‍යම අංගය වන්නේ. එයයි මේ ශ්ලෝක පාඨයේ අදහස. ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු පරිහරණය කරන්න කැමති ඒ වගේම පරිහරණය කරන උපරිම සම්පත් හතර තමයි දැනුම, භවබෝග සම්පත්, පංචේන්ද්‍රිය පිනවීම සහ අවසානයේදි භවයේ සාර්ථකත්වයයි. මේ කරුනු ඉටු කර ගැනීමේදී ආයුෂ, කාලය සහ නිරෝගිබව කියන ඒවා අත්‍යාවශ්‍ය සාධක වෙනවා. එ නිසා මේ අවශ්‍යතාවයන් හතර ඉටුකර ගැනීමට අවශ්‍ය සාධක නොකැඩි සහ හොදින් පවත්වා ගෙන යාමට තමයි ආයුර්වේදය වැනි විද්‍යාවක අපේක්ෂාව වි ඇත්තේ. ආයුර්වේදයේ අරමුණ මිනිසුන් රෝගින් කිරීම නොවෙයි. මිනිසුන්ගේ ලෞකික සහ ලෝකෝත්තර කියන දෙයංශයේම ඇති සැපයට බාධා පමුණුවන්නාවු රෝගය නැමති අවස්ථාව දුරු කිරීම සහ පුද්ගල නිරෝගීභාවය තවදුරටත් තහවුරු කිරීමයි. ඒ දැක්ම ඒ අභිලාෂය ඒ පදනම ආයුර්වේදය තුල නොබිදී සුරැකිව තියෙනවා. ඒ වගේම ආයුර්වේදයේ සියළුම අංශයන් තුල ඒය විද්‍යමාන වෙනවා. රෝගීන් සුවපත් කිරීමට පළමුව නිරෝගි කම ආරක්ෂා කර දීමට උත්සහ ගන්නේ ඒ නිසයි. ඒ නිසා මෙය වාණිජ අරමුණකින් පමණක්ම ක්‍රියාත්මක වන වෛද්‍යක්‍රමයක් නොවේ. එය අප සමාජයේ කවුරුත් ආයුර්වේදය පිළිබඳව හොදින්ම අවබෝධ කර ගත යුතු කරුණකි.

 සාකච්ඡාව මෙහෙයවීම වෛද්‍ය ආර්.පි.රක්ඛිත සම්පත් බන්ධුසේන

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
Not Found
Apologies, but the page you requested could not be found. Perhaps searching will help.