ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
ආමවාතය වාතයක් වීමට පෙර………..

(පළමු කොටස)
wedasa amawataරුමැටිසම්(Rheumatism) බටහිර වෛද්‍ය විද්‍යාවේ කායික රෝග තත්ත්වයන් ගණනාවක් ඇතිවීම සමගම බැඳී ඇත්තාවූ ප්‍රධාන රෝග මූලයක් ලෙස හඳුන්වා දිය හැකිය. ප්‍රධානව අස්ථි සහ සන්ධි ආශිතව ඇතිවන රෝග ගණනාවකදි රෝගමුලය ලෙස හඳුනාගන්නේ  Rheumatism තත්ත්වයයි. ඊට අමතරව සිරුරේ ප්‍රධාන ඉන්ද්‍රින් ආශ්‍රිතව ඇතිවන විවිධ රෝග තත්ත්වයන් කිහිපයක්ම ඇතිවීමටද මෙම රෝග හේතුව විවිධාකාරයෙන් සම්බන්ධවේ. ආයුර්වේද වෛද්‍යක්‍රමය තුල සන්ධි සහ අස්ථි අාශ්‍රිතව වැඩි වශයෙන් ඇතිවන්නාවු ප්‍රධාන රෝගයක් වන ආමවාත රෝග අවස්ථාව සාකච්ඡා කිරීමේදී එය Rheumatism යන්නටද ආසන්න වශයෙන් සමාන කර දක්වා ඇත. ආමයේ ප්‍රධානත්වය ඇති වාතය ආමවාත නම්වේ. ආමය හා එක්ව දුෂිත වු වාතය ආමවාතයයි. මෙය වැඩියෙවන් සිරුරේ සන්ධින් ඇසුරු කරන හෙයින් මෙයට ඝඨියා යන නමද ව්‍යවහාර කෙරේ. වාතයකොපය හෝ වාතදෝෂ ගැන සමාජයේ බොහෝ‍ දෙනා දන්නා නමුදු ආමවාතය ඇතිවිමට  රෝගමුලය වන්නාවු ආමය ගැනවත් සම්පූර්ණ ආමවාත තත්ත්වය ගැනවත් එතරම් පැහැදිලි අවබෝධයක් බහුතරයකට නැති බව පෙනේ.

ආමය යනු කුමක්ද?

ආමවාත රෝගය ආයුර්වේදානුකූලව කියවා ගැනීමට ප්‍රථම ආමය යනු කුමක්ද යන්න සරලව හෝ අවබෝධ කර ගෙන සිටිම අත්‍යාවශ්‍යය. සියළුම සත්ත්වයන් ගනු ලබන්නාවු ආහාර එපරිද්දෙන්ම සිරුරට උරා නොගන්නා බවත් සත්ත්වයාගේ ආහාරජීර්ණ පද්ධතින් තුලදි ආහාරය ජීර්ණය වී පෝෂණ කොටස් පමණක් සිරුරට උරා ගන්නා බව අප සියල්ලොම දන්නේමු. මල(Stool) වශයෙන් සිරුරෙන් බැහැර කෙරෙන්නේ එසේ පෝෂණ කොටස් උරා ගැනිමෙන් පසුව ඉතිරිවන ඵලය බවත් අප දන්නෙමු. ආයුර්වේදයේ තුලදි ආහාරයේ පොෂණ කොටස වෙන්කර ගැනිමේ යාන්ත්‍රණය පිළිබඳව සේම එසේ වෙන්කර ගන්නා පොෂණ කොටස පිළිබඳවත් එහි අන්තර්ගත සංඝඨක (සප්තධාතු)පිළිබදවත් විශේෂ සංකල්ප ඉදිරිපත් කරයි. ආයුර්වේදයට අනුව ආහාරයේ ඇති පොෂණ කොටස පොෂණ සංඝඨක වර්ග හතකින්(රස, රක්ත, මාංස, මේදස්, අස්ථි, මජ්ජා සහ ශුක්‍ර) යුක්ත බව දක්වා ඇත. කිසියම් හේතුවකින් අග්නිය(Digestion) දුර්වලවිම නිසා සම්පූර්ණයෙන්ම ආහාර ජීර්ණය/පැසවීම(Metabolism) සිදු නොවී සාමාන්‍යයෙන් ඇතිවන ඵල දෙක වන පොෂණ කොටස සහ මල කොටසට අමතරව මනාව ජීර්ණය නොවු පෝෂණ  කොටස්ද නිර්මාණය වේ. මෙසේ ඇතිවන අසම්පූර්ණ අර්ධ පොෂණ කොටසින් යම් ප්‍රමාණයක් සිරුරට උරා ගැනීමක් සිදුවේ. මනා ලෙස නොදිරවීම නිසා ඇතිවු මෙම කොටස් අමු ආහාර රසය/ අමු ‍පෝෂණ කොටස නැතිනම් අප කථාකරනා “ආමය” නමින් සරලව අර්ථ දැක්විය හැකිය.
ආමයේ අවස්ථා දෙකක් ඇත.

  1. ජඨරාග්නිය/අග්නිය(Digestion) දුර්වල වීම නිසා නිසිසේ නොපැසී ඇඟට අවශෝෂණය නොවී මහා ස්‍රෝතසයේම රැදී සිටිනා ආහාර.
  2. ධාත්වාග්නිය (සප්ත ධාතුවාදයට අනුව රස ධාතුව අනෙකුත් ධාතුන්ට පරිවර්ථනය වන්නේ ධාත්වාග්නියේ බලයෙනි) දුර්වලත්වය නිසා නිසි සේ ධාතුපාකයක් සිදු නොවී නොපැසි සිරුර පුරා පැතිර ගිය අසම්පූර්ණ රස ධාතුව.

ජඨරාග්නිය යනුවෙන් දක්වා ඇත්තේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වන ප්‍රධාන දෝෂය වන පාචකපිතය(මීට අමතරව සමාන වාතය සහ ක්ලේදක කඵ යන වාත සහ කඵ දෝෂ ප්‍රභේද දෙකත් ජඨරාග්නි ක්‍රියාදාමයට සහයෝගය දක්වයි. නමුත් ප්‍රධානව ජඨරාග්නිය යැයි කියු විට අදහස් කරන්නේ පිත් දෝෂ ප්‍රභේදය වන පාචක පිතයි. ). මෙම ක්‍රියාවලිය සඳහා ජඨරාස්‍රාරවය(Gastric juice), පිත්තස්‍රාවය (Bile/යකෘත පිත්තකෝෂ ස්‍රාව), මධුනිෂුදනිය (Insulin) සහ ආන්ත්‍රස්‍රාවය (Intestinal juice) යන ස්‍රාවයන් අවශ්‍යය. මේවා ආමාශය, යකෘතය, පිත්තකෝෂ‍‍‍‍‍, ග්‍රහණිය සහ අග්න්‍යාශය අන්ත්‍ර යන ඉන්ද්‍රියන්ගෙන් ස්‍රාවය වන ඒවා ලෙස දක්වා ඇත. මෙම ස්‍රාවයන් නිකුත කරනා ඉන්ද්‍රින්ගේ දුර්වලතාවය අග්නියේ දුර්වලතාවයට හේතුවයි.
ඉතා මැනවින් ජීර්ණය වු ආහාර රසය/රසධාතුව සප්තධාතු නිර්මාණවාදයට අනූව රක්ත ධාතුව බවට හැරි යන නමුදු විෂක් හා සමාන මෙම ආමකොටස ශුද්ධ රක්තධාතුව බවට පරිවර්ථනය වන්නේ නැත. එහිදි සිදුවන්නේ නියමිත රක්තධාතුව සැදිමක් නොව විකෘති ඵලයක්/අපක්වරස සෑදීමයි. මෙම විකෘතිඵලය නැතිනම් ආමය රුධිරයේ මිශ්‍රව සියුම් ස්‍රෝතස් (ආයුර්වේදයේ විස්තර කෙරෙනා නාල සහ නිර්නාල පද්ධතියයි) ඔස්සේ සිරුර තුල ගමන්කර යම් යම් ස්ථානවලදි සිරවීම නිසා විවිධාකාර පිඩාවන් ඇති කරයි. ආමය කරණ කොට ගෙන සිරුරේ විවිධාකාර රෝග wedasa Rheumatic arthritisඇතිවන්නේ මෙම මාර්ග අවරෝධයන් නිසාය. ලේ නහර වල හැසිරෙන අපක්වරසය/ආමය උකුය. බරද වෙයි. එහෙයින් එයට ස්‍රෝතස් ඔස්සේ හොඳින් ගමන්කල නොහැකිය. එය තැනින්තැන විශේෂයෙන් සන්ධිවල රැදෙයි. එසේ රැදෙනා හැම තැනකදීම රක්තවහනයට බාධා පැමිණෙයි. ක්‍රමාණුකුලව පැමිනෙන ලෙය මේ අවරෝධය(ඇහිරීම) බිඳගෙන යාමට උත්සහ කරයි. එසේ පැමිණෙන ලෙයෙහිද ආමය ඇත. එයද මෙයට එක් වෙයි. මෙසේ ආබාධිත සන්ධින් වල වේදනාව අධික වෙයි. එය ක්‍රමයෙන් අභව්‍ය වේදනාවක් බවට හැරෙන අතර ශෝථයද පැන නැගේ. මෙම ආමය විෂක් මෙන් ක්‍රියා කරන බව දක්වා ඇත්තේ එබැවිනි. මෙම විෂ ආම කොටස සිරුර පුරා ස්‍රෝතස් මාර්ග ඔස්සේ ගමන් කරන්නේ වාත දෝෂයේ බලයෙනි. නමුත් මෙම ආමය සිරුරේ ස්‍රොතසුන් අවහිර කිරිම නිසා එම ස්ථාන වලදි වාතදෝෂයට සාමාන්‍ය පරිදි ගමන් කිරිමට නොහැකිවීම නිසා වාත දෝෂය එම ස්ථාන වලදී විකෘති කරයි. නැතිනම් වාත දෝෂයද කෝප කරයි. එසේ ස්‍රෝතසුන් ආමයෙන් අවරෝධවී එම ස්ථානයේදි වාතයද කොප කර කොපවු වාතය සහ ආමය යන දෙකම එකතුවී ආමවාත රෝග තත්ත්වය ඇතිකරයි. විවිධ බාහිර හේතුන් නිසා ආහාර ජීර්ණයට අවශ්‍ය ස්‍රාවයන් නිකුත් කරනා ඉන්ද්‍රියන් දුර්වල වි එහි ප්‍රතිඵලයක් ලෙස අග්නිමාන්දය ඇතිවිමත් අග්නිමාන්දයේ ප්‍රතිඵල යක් ලෙස සිරුරේ ආම තත්ත්වය ඇතිවුවද ආමය නිසාම අග්නිය තවදුරටත් දුබල වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආහාරය පැසවීමද මද වශයෙන් සිදුවේ. බාහිර හේතුවකින් සිරුරේ ආම තත්ත්වයක් ඇතිවුවද එය නිවැරදිව සකස් නොකර ගන්නා තෙක් ආමය විසින් නැවතත් ආමය වර්ධනය විමට අවශ්‍ය ශරීර තත්ත්වයන් නිර්මාණය කරයි. මෙය ආමය විසින් ආමය ඇතිවිමේ පරිසරය ඇතිකරන මෙම ක්‍රියාවලිය චක්‍රිය ක්‍රියාදාමයකි. අවසාන ප්‍රතිඵලය වන්නේ සිරුරේ ආමතාව තවදුරටත් වැඩිවිමයි .සිරුරේ ආම තත්ත්වයක් ඇතිබව හඳුනාගත හැකි ආමමල…….

සාමාන්‍යයෙන් හොඳින් ආහාර ජිර්ණය සිදුවන්නේ නම් එහිදි ඇතිවන බහිස්‍රාවි ඵලය වන මල වතුරට වැටුන විට වතුර මත පාවෙනු ඇත. නමුදු සිරුරේ ආම තත්ත්වය ඇතිවිට රෝගින් පිටකරනා මල වතුරට වැටුණු විට උඩ පාවිමක් සිදු නොවී යට යයි. මෙයට ව්‍යාතිරේඛ අවස්ථාවක් ලෙස ඇත්තේ තදින් ගෝරෝසුවු හොඳින් පැසුණු මල ඇති විට පමණි. එම මල වතුර මත පානොවී යට යයි. එය විද්‍යාත්මකවද පැහැදිලි කල හැකි සංසිද්ධියක් බැවින් එම තත්ත්වය මෙම රෝග තත්ත්වයෙන් වෙන්කර හඳුනා ගත හැකිය. ආමමල ඇතිවන්නේ ආමරසය/ආමය නිසාය. සිරුරේ ආමය නැතිනම් ආම මල තත්ත්වයක්ද නැති අතර අප පහකරනා මල වතුරට වැටුන විට වතුර මත පාවිය යුතුය. එසේ නොවන්නේ නම් එයින් හැ‍ඟවෙන්නේ සිරුරේ ආම තත්ත්වයක් ඇතිබව සහ ආමවාත රෝගය ඇතිවීමට අවස්ථාව ඇති බවයි. මිට අමතරව මලමුත්‍රා පිළිබඳ මාර්ග ඇවිරී යාම, හේතුවක් රහිතව ශරීර ශක්තිය පිරිහීම, බඩ හිස බරබව, අලසබව, කෑ දෙය නොදිරවීම, කටින් සෙම බේරීම, ආහාර අරුචිය, තෙමැරිය, තදනින්ද වැනි ලක්ෂණ පෙන්නුම් ‍කරන්නේ සිරුර ආමයෙන් යුක්ත වන අවස්ථාවදිය. ආම තත්ත්වය ඇතිවිට එය වලක්වා ගැනිම සඳහා නැතිනම් ආහාර ජීර්ණ පද්ධතිය නැවතත් යථා තත්ත්වයට ගැනීම සඳහා ලංඝනය/උපවාස, උණුසුම් කැඳ, සැහැල්ලු ආහාර, එළවළු සුප්, පාචන තික්තරස ආහාර, තැවීම්, ශෝධන ප්‍රතිකාර වැනි ප්‍රතිකාර සහ ආහාර රටාවන් අනුගමනය කල යුතුය.
ආයුර්වේද වෛද්‍යක්‍රමයට අනුව බොහෝ රෝග වලට හේතුව ලෙස දක්වා ඇත්තේ  අග්නිමාන්දය (“රෝගඃ සර්වේපී මන්දේග්නෞ”). පෙර සඳහන් කල පරිදිම ආමය ඇතිවීමට පදනම වන්නේද අග්නිමාන්දයයි. මෙම ආමය අවිපාක/ නොපැසුනු, අසංයෝග දුර්ගන්ධ, බහුපිච්ඡීල, ගාත්‍රසාද යන ස්වරූපයන්ගෙන් ඇත. ආමයට කඵ දෝෂය හා සමාන ගුණද ඇත. එබැවින් ආමයට පහසුවෙන් රස රක්තය ඇසුරු කරමින් සිරුර පුරා පැතිර ගොස් කඵස්ථාන වල තැන්පත් විය හැකිය. ජානු(දනහිස/ Knee),ගුල්ඵ(විලුඹ/Ankle) බඳු ලොකු සන්ධිවල තැන්පත් වන්නේ ඒ ආකාරයෙනි. මේවා ඉවත් කිරිමට දීර්ඝ කාලයක් ප්‍රතිකාර කල යුතුය. සාමාන්‍යයෙන් බොහෝ රෝග වලදී ආමපාචනය ආරම්භයේදීම කල යුතු බව ආයුර්වේදයේ දක්වා ඇත්තේ එබැවිනි. ආමපාචනය යනු ආමය පැසවීමයි. මෙයින් අපේක්ෂා කරනුයේ ආමය ජිර්ණය කොට මාර්ග ශුද්ධ කර විවෘත කර ගැනීමයි. වමන විරේචන දෙකින් මෙම ආමය සිරුරෙන් ඉවත් කල හැක. ඒ සඳහා අභ්‍යන්තර  ඖෂධද සහයක කර ගත හැකිය.

ආමය ආමවාත ඇතිවිමේ හේතු සහ ඇතිවන යාන්ත්‍රනය

wedasa ayurveda and Rheumatismඅග්නිය දුර්වල වන්නේ අග්නියේ මනාක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන ස්‍රාවයන් කිහිපයක් ස්‍රාවය වය කරනා ඉන්ද්‍රියන්ගේ දුර්වලතායක් බව ලිපිය තුල පෙර අවස්ථාවක සඳහන් කලෙමු. විරුද්ධ ආහාර, විරුද්ධක්‍රියා, මාන්දාග්නිය, අව්‍යායාමය, තෙල් සහිත ආහාර වැඩිපුර අනුභව කොට ව්‍යායාමයෙහි යෙදීම, මස්මාළු වැඩිපුර කෑම, වර්ෂා ශීතවාතාදිය පිළිබඳ අධික සම්පර්කය, දීර්ඝකාළින මලබද්ධය, බර ආහාර ගැනීම, ඉමිහිරි ආහාරවර්ග වැඩිපුර ගැනීම යනාදියෙන් ඉහත ස්‍රාවයන් සිදුකරනා ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වන බව දක්වා ඇත. මේ ත්‍රියා නිසා අවසාන ප්‍රතිඵලය වන්නේ ආමරසය(ආමය) ඇතිවිමයි. සියුම් මාර්ග අවරෝධ කර අවරෝධයන් නිසා කුපිතවු වාතයේ මෙහෙයවීම අනූව සිරුර පුරා ගමන් කර තදබල විදග්ධතාවයට පත්වන ආමය හදවත කරා පැමිණ ධමනිගත පිත්දොස් සමගද සම්මිශ්‍රැව තව තවත් බලවත්ව දුෂිත වැ තුන්දොසට අයත් විවිධ වර්ණ වලින් යුත්තවු පිච්ඡිල පදාර්ථයක් බවට පත්ව සිරුර පුරා පැතිරී ස්‍රෝතසුන් අවුරා කටී, පෘෂ්ඨ, ජානු, ගුල්ඵ සන්ධින් ආක්‍රමණය කොට වේදනාව දුර්වලතාව හා හෘදයේ ගුරුතාව යන මේවා උපදවයි. ආමාශය, පපුව, බොටුව, සන්ධිස්ථාන යන ස්ථාන වල රෝග තත්ත්වයන් ඇති වන බව දක්වා ඇත්තේ ඒ ආකාරයෙනි. ආමය ගැන තව දුරටත් කථා කරන්නේ නම් ආමරසය සෙම මෙන් සමාන ධර්මයවත් බව දක්වා ඇත. එහෙයින් ආමය කඵස්ථානගත වීම ගොඩබිම සිටි ඉබ්බා දියට දැමිම හා සමාන තත්ත්වයකට උපමා කර ඇත. මේ ආමරසය ව්‍යාධීන්ගේ ආශ්‍රය ඇති හෙයින් අතිශයින්ම භයංකාර බව දක්වා ඇත. මෙහිදි එකවිට කිපෙන වාසෙම් දෙක කෝෂ්ඨයටත් ත්‍රිකාස්ථි වෙතටත් පිවිසී එමගින් මුළුමහත් සිරුරම තදබල කෙරේ.

ආමවාත‍ රෝගය අනෙතුත් වාතව්‍යාධි වලින් වෙන්කර හඳුනා ගැනීම සහ වැලකි සිටිම මීලඟ ලිපියෙන් සාකච්ඡා කරමු.